වෝකර් ඉදිරියේ වෘත්තීය සමිතිවල යටත් වීමට එරෙහි වනු! සියලු විස්කොන්සින් කම්කරුවන්ගේ මහා වැඩවර්ජනයක් සඳහා!

No surrender to Walker! For a general strike by all Wisconsin workers!

12 March 2011

ආන්ඩුකාර ස්කොට් වෝකර් විසින් සිකුරාදා නීතිගත කරන ලද පනත කම්කරු පන්තිය මත එල්ල කල ඓතිහාසික ප‍්‍රහාරයකි. එහි ඉලක්කය වන්නේ රැකියා, වැටුප්, අධ්‍යාපනය හා අනෙකුත් සමාජසේවා විනාශ කිරීමට දැක්වෙන ඕනෑ ම සංවිධිත විරුද්ධත්වයක් අපරාධකරනය කිරීම යි. එය සංගතවල විවෘත ආඥාදායකත්වයක් දෙසට තැබූ ප‍්‍රධාන පියවරකි.

නව පනත එක්සත් ජනපද කම්කරුවන්ට එරෙහි පන්ති යුද්ධයේ හැරුම් ලක්ෂ්‍යයක් ලෙස සංගත හා විධායක කාමරවල උත්කර්ෂයට නංවනු ලබමින් තිබේ. තම ප‍්‍රධාන කතුවැකියෙන් විස්කොන්සින් රිපබ්ලිකානුවන්ට සුභපැතුම් යැවූ වෝල් ස්ටී‍්‍රට් ජර්නල් පුවත්පත වෝකර්ගේ "ජයග‍්‍රහනය අනෙකුත් ප‍්‍රාන්ත ආන්ඩුකාරවරුන්ට” පාඩමක් යයි ප‍්‍රකාශ කලේ ය.

විස්කොන්සින් කම්කරුවන් මෙයට ප‍්‍රතිචාර දැක්වූයේ කෝපයෙනි. බදාදා රාතී‍්‍රයේ දහස් ගනනක් මෙඩිසන්හි ප‍්‍රාන්ත ව්‍යවස්ථාදායක ගොඩනැගිල්ලට කඩාවැදුනි. මහා වැඩවර්ජනයක් සඳහා වන මනෝගතිය වැඩෙමින් තිබේ.

වෘත්තීය සමිති මෙයට ප‍්‍රතිචාර දක්වා ඇත්තේ 1981 දී රීගන් විසින් පැට්කෝ ගුවන් පාලකයන්ව නෙරපාහැරීමට ඒඑෆ්එල්-සීඅයි ඕ දැක්වූ ප‍්‍රතිකි‍්‍රයාව සිහිගන්වමින් බියගුලුකමෙන් හා යටත්වීමෙනි. ප‍්‍රාන්ත ඩිමොක‍්‍රටිකයන් සමග කටයුතු කරමින් විස්කොන්සින් සමිති නිලධාරීහු කම්කරුවන්ට පෙරලා වැඩට යන ලෙස හා වැඩිදුර පියවර නො ගන්නා ලෙස නියෝග කර ඇත.

විස්කොන්සින් ඒඑෆ්එල්-සීඅයි ඕ නායක ෆිල් නෙවුන්ෆෙල්ඩ්ට් හා අනෙකුත් වෘත්තීය සමිති නිලධාරීන් කම්කරුවන්ට කියා ඇත්තේ ප‍්‍රාන්ත ව්‍යවස්ථාදාකයේ රිපබ්ලිකානුවන් ආපසු යවා ඒ වෙනුවට ඩිමොක‍්‍රටිකයන් පත් කරගැනීමට කරන බෙලහීන උද්ඝෝෂනයක් හැර වෙනත් කි‍්‍රයාමාර්ගයක් ඔවුන්ට නොමැති බවයි. වෝකර් හා ඔහුගේ සංගත සහායකයෝ මෙම නීච යටත් වීම සාදරයෙන් පිලිගනු ඇත. ඉරිදා ප‍්‍ර‍්‍රාන්ත කම්කරුවන් 39,000ක කොන්ත‍්‍රාත්තුවල කල් ඉකුත් වෙද්දී ආරම්භ වන කි‍්‍රයාදාමයක් මගින් කම්කරුවන්ගේ මූලික අයිතීන් අහිමි කිරීමට එය ඔවුන්ට නිදහස් හස්තයක් දෙයි. නව පනත යෝධ සමාජ දුෂ්කරතාවන් ජනනය කරමින් ප‍්‍රාන්ත සේවකයන්ගේ වැටුප් කප්පාදු කරනු ඇත.

මේ කිසිවක් පිලිබඳව සමිති විධායකයන්ට වගේ වගක් නැත. මුල පටන් ම සමිති නිලධාරීන් තකන ලද්දේ තමන්ගේ ම ආයතනික හා මූල්‍ය අවශ්‍යතා පිලිබඳව පමනි. වෝකර් ඔවුන්ට ඔවුන්ගේ නෛතික තත්වය හා ස්වයංකී‍්‍රය මැදිහත් දීමනා දිගට ම තබාගැනීමට ඉඩ දෙන්නේ නම් ඩොලර් මිලියන 330ක වැටුප් හා ප‍්‍රතිලාභ කප්පාදුවක් පැටවීමට ඔහු සමග වැඩකිරීමට ඔවුහු පොරොන්දු වූහ.

රිපබ්ලිකන් ආන්ඩුකාරවරයාගේ "වැඩවරද්දා ගැනීම” නිසා ඩිමොක‍්‍රටිකයන්ට හිතකර ප‍්‍රතිකි‍්‍රයාවක් ජනනය කිරීම සහ බොහෝ ජනයා වෘත්තීය සමිතිගත වීමට උනන්දු කිරීම කරනු ඇතැයි ප‍්‍රකාශ කරමින් වොෂින්ටන් ඩීසීහි ජාතික මාධ්‍ය සමාජය ඉදිරියේ කල කතාවක දී ඒඑෆ්එල්-සීඅයි ඕ නායක රිචඩ් ට්රුම්කා උපහාසාත්මක ලෙස වෝකර්ට ස්තුති කලේ ය. කම්කරු පන්තිය මත පනතේ බලපෑම කෙරෙහි නො තකා හැරීමත් මුග්ධත්වයත් මෙම ප‍්‍රකාශයෙන් ඒකාබද්ධ කරයි. ඇත්ත වසයෙන් ම වෝකර් ලබන ජයග‍්‍රහනයක් මේ හා සමාන ප‍්‍රහාර කි‍්‍රයාත්මක කිරීමට රටපුරා සිටින සංගත පිටුබලය ලබන දේශපාලනඥයන්ව දිරිමත් කරයි. දැනට මත් ඔහියෝ, ඉන්ඩියානා, මිචිගන් හා අනෙකුත් ප‍්‍රාන්ත තුල කම්කරු විරෝධී පියවර සැලසුම් කෙරෙමින් හෝ කි‍්‍රයාත්මක කෙරෙමින් පවතී.

යලි මැතිවරනයක් කැඳවීමේ මූලික අභිප‍්‍රාය වන්නේ ගෙවීයන මාසයේ ප‍්‍රාන්තය පුරා පැතිරුනු සටන්කාමී විරෝධතා අවසන් කිරීම සහ මහා වැඩවර්ජනයක් සඳහා කෙරෙන ඉල්ලීම නිහඬ කිරීම යි. එහි කේන්ද්‍රීය දේශපාලන ඉලක්කය වන්නේ ඩිමොක‍්‍රටිකයන් කම්කරුවන්ට සහයෝගය දෙන්නේ ය යන බොරුව මත පදනම්ව විරුද්ධත්වය ඩිමොක‍්‍රටික් පක්ෂය පසුපස ගාල් කිරීම යි. වෝකර්ගේ ඩිමොක‍්‍රටික් පූර්වගාමියා වූ ආන්ඩුකාර ජිම් ඩොයිල් යටතේ විස්කොන්සින් කම්කරුවෝ වැටුප් කැටිකිරීම්, සේවයෙන් නෙරපීම් හා අනෙකුත් ප‍්‍රහාරවලින් බැට කෑහ.

රිපබ්ලිකානුවන් මෙන් ම රටපුරා ඩිමොක‍්‍රටික් ආන්ඩුකාරවරු අධ්‍යාපනය, සෞඛ්‍යාරක්ෂනය හා වැටුප් කැපීම් හරහා අයවැය හිඟයේ බර කම්කරු පන්තිය ලවා ගෙවීමට අධිෂ්ටානවත්ව සිටිති. මෙය අයවැය හිඟයන් වනාහි වෝල් වීදියේ සමපේක්ෂකයන් විසින් ඇති කරන ලද ආර්ථික දිය වී යාම ද එයින් පසුව පැමිනි ඇපතැබීම් හා ධනවතුන්ගේ බදු කප්පාදුවල ද ප‍්‍රතිඵලය යි.

ඔබාමාගේ පටන් ප‍්‍රාන්ත හා ප‍්‍රාදේශීය මට්ටම් දක්වා ඩිමොක‍්‍රටිකයන් කම්කරුවන්ගේ රැකියා හා ජීවන තත්ත්වයන්ට කෲර ප‍්‍රහාරයක් එල්ල කර ඇති අතර එසේ කර ඇත්තේ වෘත්තීය සමිතිවල සහයෝගය ද සහිතව ය. ඉලක්කයට ලක්වන සෑම රිපබ්ලිකානුවෙක් ම වෙනුවට ඩිමොක‍්‍රටිකයන් පත්කර ගැනීමේ උද්ඝෝෂනය සාර්ථක වුව ද වැටුප්, සෞඛ්‍යාරක්ෂනය හා අධ්‍යාපන කප්පාදු දිගට ම පවතිනු ඇත.

විස්කොන්සින් පිලිබඳ අදහස් දැක්වූ ඔබාමාගේ මාධ්‍ය ලේකම්, "රාජ්‍ය අංශ කම්කරුවන් ද ඇතුලුව සියලු දෙනා කැපකිරීම බෙදා හදා ගත යුතු” යයි ජනාධිපතිවරයා විශ්වාස කරන බව කීවේ ය. රාජ්‍ය අංශ කම්කරුවන්ට නින්දා කරනවා වෙනුවට ජනාධිපතිවරයාගේ විශ්වාසය වන්නේ අයවැය කප්පාදු කල යුත්තේ "ඔවුන් ද කි‍්‍රයාවලියට සහභාගි කරගෙන” බව, එනම් සිය සාමාජිකයන්ගේ වැටුප් කැපීමට හා සමාජ වැඩපිලිවෙලවල් විනාශ කිරීමට වෘත්තීය සමග එක්ව වැඩකල යුතු බව ජනාධිපතිවරයාගේ විශ්වාසය බව ඔහු වැඩිදුරටත් කීවේ ය.

මෙම ප‍්‍රහාර සමග කම්කරුවන්ට ජීවත් විය නො හැක. වෘත්තීය සමිතිවල යටත්වීම ප‍්‍රතික්ෂේප කරමින් මහා වැඩවර්ජනයක් තුල කම්කරු පන්තියේ සම්පූර්න ශක්තිය ඒකාබද්ධ කිරීමට සූදානම්වීම් ඇති කල යුතු ය. මෙය පහත ඉල්ලීම් මත පදනම් කල යුතු ය:

*සියලු ආර්ථික හා සමාජ වියදම් කප්පාදු ප‍්‍රතික්ෂේප කල යුතු ය. කප්පාදු කිරීම් වෙනුවට රටපුරා මිලියන ගනන් ජනයා මුහුන දෙන අර්බුදයට ප‍්‍රතිචාර ලෙස සමාජ වියදම් වැඩිකල යුතු ය.

*කම්කරුවන්ට තම ජීවන තත්ත්වයන් ආරක්ෂා කරගැනීම හා වර්ධනය කරගැනීම සඳහා සාකච්ඡා කිරීමට හා වැඩවැරීමට ඇති නෛතික අයිතිය මත සියලූ සීමා එකහෙලා ප‍්‍රතික්ෂේප කල යුතු ය.

*අයවැය හිඟය හා නව හා අත්‍යවශ්‍ය සමාජමය වියදම් පියවීමට සංගත ලාභ හා ධනවතුන්ගේ ආදායම් මත සැලකිය යුතු බදු ඉහල දැමීම් කල යුතු ය.

*වෝකර් හා ඔහුගේ ප‍්‍රතිගාමී පරිපාලනය වහා ම ඉල්ලා අස්විය යුතු ය. කම්කරු පන්තිය මත සංගත ප‍්‍රහාරයේ හා ආඥාදායක විධික‍්‍රම භාවිතා කිරීමේ දේශපාලන මූලිකයා ලෙස ආන්ඩුකාරවරයා හිතාමතා ම තමන්ව ම ඉස්මතු කරගෙන ඇත.

එවැනි අරගලයක් සූදානම්වීම ආරම්භ කලයුත්තේ සෑම වැඩබිමක ම වෘත්තීය සමිති යන්ත‍්‍රනයෙන් ස්වාධීනව කි‍්‍රයාකාරී කමිටු තෝරා පත්කර ගැනීමෙනි. මෙම කමිටු රාජ්‍ය හා පුද්ගලික අංශ කම්කරුවන්, තරුනයන්, රැකියා විරහිතයන්, විශ‍්‍රාමිකයන් හා ප‍්‍රජාතාන්ති‍්‍රක අයිතිවාසිකම්, වැටුප් හා සමාජ සේවා මත එල්ල කරන ප‍්‍රහාරවලට එරෙහි වන සියල්ලන්ගේ සහයෝගය බලමුලූ ගැන්විය යුතු ය.

ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය වැනි ව්‍යාජ වාම කන්ඩායම් එවැනි අරගලයක් වැලැක්වීමට කටයුතු කරමින් සිටී. පන්ති අරගලය මර්දනය කිරීමට කැපවූ දක්ෂිනාංශික සංවිධාන වන වෘත්තීය සමිති අරගල කිරීම සඳහා පීඩනය යොදා නම්මාගත හැකි ය යන මිථ්‍යාව ඉදිරියට දමන ඔවුහු ඒවායේ අධිකාරය අනුමත කරති. මෙම මාර්ගය ඔස්සේ ඔවුහු කම්කරු පන්තික විරුද්ධත්වය ඩිමොක‍්‍රටික් පක්ෂය පිටුපස ගාල් කිරීමේ මං සොයති.

වෘත්තීය සමිතිවල ක්ෂනික යටත්වීම හා කිසිදු ගැඹුරු අරගලයක් වැලැක්වීමට ඔවුන් දරන උත්සාහය මෙම යල්පැනගිය සංවිධානවලට කම්කරු පන්තිය ආරක්ෂා කල නො හැකි බව අවධාරනය කරයි. ඉදිරියේ එලැඹෙන දිනවල දී සංගතවලට හා රාජ්‍යයට සිය ප‍්‍රායෝජනවත් භාවය ප‍්‍රදර්ශනය කිරීම සඳහා විස්කොන්සින් හා අනෙකුත් ප‍්‍රාන්තවල වඩා විශාල ප‍්‍රහාරවලට සහයෝගය දෙමින් වෘත්තීය සමිති තවදුර දකුනට යනු ඇත.

විස්කොන්සින් අරගලය හුදෙක් එක් රිපබ්ලිකානු ආන්ඩුකාරවරයෙකුට එරෙහිව පමනක් නොව ජනගහනයේ ධනවත් ම සියයට දෙකේ ධනය වැඩිකිරීම සඳහා කම්කරු පන්තිය දරිද්‍රතාවට ඇදහෙලන පද්ධතියකට එරෙහි අරගලයක් ද වේ. එක්සත් ජනපදයේ පමනක් නොව සමස්ත ලෝකය පුරා ධනේශ්වර පද්ධතිය අසමත් වී ඇත.

මූල්‍ය ප‍්‍රභූතන්ත‍්‍රයේ ආර්ථීක ආඥාදායකත්වය බිඳදමා සුරක්ෂිත රැකියා, ශිෂ්ට ජීවන තත්ත්වයන්, අධ්‍යාපනය, සෞඛ්‍යාරක්ෂනය හා අනෙකුත් සමාජ අයිතිවාසිකකම් සහතික කර ගැනීම සඳහා සමාජය සමාජවාදී රේඛා ඔස්සේ ප‍්‍රතිසංවිධානය කලහැක්කේ තම අත්අඩංගුවට දේශපාලන බලය ගැනීමට කම්කරු පන්තිය කරන විප්ලවවාදී අරගලයකින් පමනි.

මෙම අරගලයට අවශ්‍ය නායකත්වය සූදානම් කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය රටපුරා අද්‍යතන සමාජවාදය සඳහා අරගලය මැයෙන් සම්මේලන පවත්වති. කම්කරු පන්තිය රැකගැනීමට අවශ්‍ය සියලු කම්කරුවන්ට හා තරුන ජනයාට මෙම සම්මේලනවලට සහභාගි වන ලෙස අපි උනන්දු කරමු.

සමාජවාදී සමානතා පක්ෂය