හිලරි ක්ලින්ටන් තරීර් චතුරස‍්‍රයේ

Hillary Clinton in Tahrir Square

17 March 2011

කයිරෝවේ තරීර් චතුරස‍්‍රය හරහා සක්මන් කිරීමකින් කුලුගැන්වුනු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ මැද පෙරදිග සංචාරය කුහකත්වයේ අසමසම පැතිකඩක් පෙන්නුම් කලේ ය. එමෙන් ම ඊජිප්තුවේ හා ටියුනීසියාවේ එක්සත් ජනපද පිටුබලය ලද ආඥාදායක පාලනයන් යලි ස්ථාවර කිරීමේත් කලාපය පුරා සෙසු ප‍්‍රදේශවල විප්ලවවාදී අරගල පැතිරයාම වලකාගැනීමේත් වොෂිංටනයේ අධිෂ්ඨානය ද එයින් අවධාරනය කෙරුනි.

එක්සත් ජනපද හා ඊජිප්තු ශරීරාරක්ෂකයන් සේනාංකයක් පිරිවරාගෙන, ක්ලින්ටන්, මුබාරක්ට බලය හැර යාමට බල කෙරෙන තෙක් ම දින 18ක් තිස්සේ දශ ලක්ෂ සංඛ්‍යාත ඊජිප්තුවන් තන්ත‍්‍රයට අභියෝග කරමින් රැඳී සිටි මධ්‍යම කයිරෝ චතුරස‍්‍රය හරහා මඳ වේලාවක් පැදකුනු කලා ය. ඇය සමග සිටි මාධ්‍යවේදීන් අමතා ඇය මෙසේ ප‍්‍රකාශ කලාය: "මෙම විප්ලවය සිදු වූ ස්ථානය ද එය ලෝකයට අදහස් කල දෑ සියල්ල ද දැකගැනීම මට අති විශේෂ කාරනාවකි.” "මෙය සිදු වූ ස්ථානය දැක බලා ගැනීම තරමක් විශ්මයජනක අත්දැකීමක්” බව ද ඇය පැවසුවා ය. ඉන් අනතුරුව තම සංචාරය "ඉතා උද්දීපනීය හා සිත සසල කරවන” දෙයක් ලෙස ද ඇය විස්තර කලාය.

ඊජිප්තු ජනතාව කෙටි කාලීන අමතකවීමකින් බලගතු ලෙස පෙලෙන බවක් ක්ලින්ටන් විශ්වාස කරනවා විය යුතු ය. ඇය හොස්නි මුබාරක්ට සිය අත්‍යධික සහයෝගය ප‍්‍රකාශයට පත් කලේ මීට යන්තම් සති හතකට පෙර ය. එම දිනය ජනවාරි 25 දා ය, එනම්, පිලිකුලට ලක් වූ එක්සත් ජනපද පිටුබලය ලත් ආඥාදායකයා පලවා හැරීම බල කල විප්ලවවාදී අරගලවල ආරම්භය සනිටුහන් කල දිනය යි.

දස දහස් සංඛ්‍යාත ඊජිප්තු තරුනයන් කයිරෝ නගර මධ්‍යයේ කැරලි මර්දන පොලීසියේ හා පැරා-මිලිටරි භටයන්ගේ සන්නද්ධ ප‍්‍රචන්ඩත්වයට මුහුන දෙමින් සිටිද්දී, ක්ලින්ටන් වොෂිංටනයේ සිට මෙසේ ප‍්‍රකාශ කලාය: "අපගේ තක්සේරුව නම් ඊජිප්තු ආන්ඩුව ස්ථාවර බවත් එය ඊජිප්තු ජනතාවගේ යුක්තියුක්ත උවමනාකම්වලට හා අවශ්‍යතාවන්ට ප‍්‍රතිචාර දැක්වීමේ විධික‍්‍රම සොයමින් සිටින බවත් ය.”

යන්තම් සතියකට පසුව, විරෝධතා දැක්වීම් ප‍්‍රමානයෙන් වැඩී ඊජිප්තුව පුරා පැතුරුනු කල, එක්සත් ජනපද රාජ්‍ය ලේක්ම්, "දශක තුනක් තිස්සේ එක්සත් ජනපදයේ හවුල්කරුවා” ලෙස සේවය කර තිබීම ද "අභියෝග රැසකට පාත‍්‍ර වූ කලාපයක් ස්ථාවර කිරීමට උත්සාහ කිරීම” සම්බන්ධයෙන් ද මුබාරක් තන්ත‍්‍රයට ප‍්‍රශංසා කලා ය. ඒ අවස්ථාවේ, මුබාරක් උත්සාහ කරමින් සිටියේ විරෝධතා පෙලපාලිකරුවන්ට එරෙහිව තන්ත‍්‍රයේ සන්නද්ධ මැරයන් ලිහා හැරීම මගින් කයිරෝව "ස්ථාවර” කර ගැනීමටයි.

මුබාරක්ට පිදෙන එක්සත් ජනපද සහයෝගය පිලිබඳ තවත් නිශ්චිත සංඥාවක් ලෙස, ක්ලින්ටන් කයිරෝවට යවන ඔබාමා පාලනාධිකාරයේ විශේෂ නියෝජිතයා ලෙස ඊජිප්තුවේ හිටපු එක්සත් ජනපද තානාපති ෆ‍්‍රෑන්ක් වයිස්නර් තෝරා ගත්තා ය. වයිස්නර් ඊට පෙර දෙවසර ගත කර තිබුනේ ඊජිප්තු තන්ත‍්‍රය හා මුබාරක් වෙනුවෙන් වොෂිංටනය තුල ඉහල පෙලේ ලොබිකරුවකු ලෙස ය.

උත්සන්න වන මහජන විරෝධතා මුබාරක්ගේ පැවැත්මේ හැකියාව වඩ වඩා සැකයට හෙලූ තතු යටතේ, ක්ලින්ටන්, මිලිටරි බුද්ධි අංශයේ ප‍්‍රධානියා ලෙස දිගු කලක් සේවය කලා වු ද රටේ ජ්‍යෙෂ්ට වධකයා ද වූ ඔමාර් සුලෙයිමාන්ගේ දැඩි හස්තය යටතේ "ක‍්‍රමානුකූල පරිවර්තනයක්” ඉල්ලා සිටින පාලනාධිකාරයේ ප‍්‍රධාන අද්වකාත් බවට පත් විය.

කි‍්‍රයාදාමයේ සෑම පියවරක දී ම, ක්ලින්ටන් විසින් නිරූපනය කරන ලද එක්සත් ජනපද පිලිවෙත, මහජන ව්‍යාපාරය මැඩීමේත් එක්සත් ජනපද පිටුබලය ලද තන්ත‍්‍රයේ ආරක්ෂාව සහතික කර ගැනීමේත් මුබාරක්ගේ සහ අවසානයේ සුලෙයිමාන්ගේ හැකියාව පිලිබඳ වෙනස්වන තක්සේරුවලට අනුකුලව, ප‍්‍රවේශමෙන් ක‍්‍රමාංකනය කරන ලදි. අවසානයේ දී, ඇය සහ ජනාධිපති බරක් ඔබාමා මුබාරක් ඉවත් කිරීමට සහයෝගය දක්වමින් නිවේදන නිකුත් කලේ එය ඒ වන විටත් සිදු වීමෙන් පසුව පමනි.

අඟහරුවාදා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ පැවති කතාවක දී, ක්ලින්ටන් ඊජිප්තුවේ මහජන නැගිටීම "ඉතා වැදගත් ඓතිහාසික සන්ධිස්ථානයක්” ලෙස විස්තර කොට මෙසේ ප‍්‍රකාශ කලාය: "මේ විප්ලවය කොල්ලකන්න කිසිවෙකුට අවසර නැහැ. ඔරලෝසුව ආපසු කරකවන්න කිසිවෙකුට අවසර නැහැ.”

ඇය සිතන්නේ ඇය ගොනාට අන්දවන්න යන්නේ කවුරුන් කියල ද? ඇයගේ සංචාරයේ ද පොදුවේ එක්සත් ජනපද පිලිවෙතේ ද සමස්ත අරමුන වන්නේ, මහජන නැගිටීම්වලින් මතුව ආ ඕනෑම තන්ත‍්‍රයක් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සහ එහි ප‍්‍රධාන සගයා වන ඊස්රායලයේ අවශ්‍යතා රකිනු ඇති බව සහතික කර ගනු වස්, ඊජිප්තු සමාජයේ වඩාත්ම ප‍්‍රතිගාමී කොටස්වල -- මිලිටරියේ හා ධනවත් ප‍්‍රභූවේ -- ග‍්‍රහනය ශක්තිමත් කිරීම යි.

විදේශ ආයෝජන දිරිගැන්වීම, එනම් ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ මැදිහත්වීම්වලට ඊජිප්තුව තව දුරටත් විවෘත කිරීම, ඉලක්ක කර ගත් ආර්ථික ආධාර පැකේජයක්, ක්ලින්ටන් සිය සංචාරය තුල දී නිවේදනය කලාය. ඇය කයිරෝවේ දී පැවැත්වූ වඩාත්ම වැදගත්ම හමුව වූයේ, මුබාරක් බලයෙන් පහ කිරීමෙන් පසුව බලය තහවුරු කර ගත් සන්නද්ධ හමුදා උත්තරීතර මන්ඩලයේ ප‍්‍රධානි ෆීල්ඩ් මාෂල් මොහොමඩ් තන්තාවි සමග පැවති හමුවයි.

තන්තාවිගේ හා ඔහුගේ සගයන් වන සෙසු ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ ඉලක්කය වන්නේ, ඔවුන් මැනවින් වාසි ඩැහැගත් ඩොලර් බිලියන 2කට ආසන්න වාර්ෂික එක්සත් ජනපද ආධාර සමග, ආඥාදායක මිලිටරි ආධිපත්‍යයෙන් යුක්ත තන්ත‍්‍රය රැකගැනීමයි. එම ඉලක්කය ජයගනු වස්, ඔවුහු මෙම තන්ත‍්‍රයට ව්‍යවස්ථාමය සැරසිල්ලක් ලබා දෙන ජනමත විචාරනයකට සහයෝගය දෙති. එමෙන් ම ඔවුහු මර්දනය උත්සන්න කරමින් සිටිති.

මහජන නැගිටීම මධ්‍යයේ කරන ලද ඉල්ලීම්වලට ගරු කරන ලෙස මිලිටරි තන්ත‍්‍රයෙන් ඉල්ලා සිටින විරෝධතාකරුවන් තරීර් චතුරස‍්‍රයෙන් ඉවත් කරනු පිනිස, මාර්තු 9 දා, සිවිල් ඇඳුමෙන් සැරසුනු රහස් පොලිස් නිලධාරින් සහ සොල්දාදුවන් එහි යවන ලදි. පැය ගනනාවක් තිස්සේ පැවති ප‍්‍රහාරයක දී, විරෝධතාකරුවන් සිය ගනනකට මුගුරුවලින්, ලෝහ කේබල්වලින් හා යකඩ පොලුවලින් පහර දෙන ලදි. සිය ගනනක් අත් අඩංගුවට ගෙන වධබන්ධනයන්ට ලක් කෙරුනි. අඩු ගනනේ ඔවුන්ගෙන් 190ක්, යුද අධිකරනයන්ට හා ත‍්‍රස්තවාදී චෝදනාවන්ට මුහුන දෙමින්, තවමත් අත් අඩංගුවේ පසු වේ.

තරීර් චතුරස‍්‍රයේ මහජන විරෝධතා තුල දී ඊජිප්තු තරුනයන් බලමුලු ගැන්වූ දුසිම් භාගයක් පමන වූ සංවිධාන නියෝජනය කරන විප්ලවයේ තරුනයන්ගේ සන්ධානය, ක්ලින්ටන් සමග "සාකච්ඡාවක්” සඳහා රාජ්‍ය දෙපාර්තමේන්තුව කල ආරාධනය නිවැරදිව ම එකහෙලාම ප‍්‍රතික්ෂේප කලේ ය.

සිය තීන්දුව පැහැදිලි කරන නිවේදනයක් තුල, සන්ධානය අවධාරනය කලේ එක්සත් ජනපද ආන්ඩුව උත්සාහ කරන්නේ, "එය ඊජිප්තු මහජනතාවගේ අභිලාෂයන්ට ප‍්‍රතිකූල වුවත්, ඊජිප්තුව හා මැද පෙරදිග තුල තමන්ගේ ම අවශ්‍යතා මත පාදක” වූ "සාකච්ඡාවක්” සඳහා පමනක් බවයි.

එක්සත් ජනපද පාලනාධිකාරය "බලයෙන් පහ කල ජනාධිපති මුබාරක්ගේ ද පැවති තන්ත‍්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ ද ඉතාම වැදගත් සගයන් හා පුද්ගලික මිතුරන්” අතර සිටි බව ද "කලාපයේ ප‍්‍රජාතාන්ති‍්‍රක නොවන මර්දනකාරී තන්ත‍්‍රයන් බොහොමයක” ප‍්‍රධාන සගයා ලෙස තවමත් සිටින බව ද එම නිවේදනය තව දුරටත් සටහන් කලේ ය.

සත්තකින් ම, ක්ලින්ටන් කයිරෝවේ දී "ප‍්‍රජාතන්ත‍්‍රවාදය” හා "විප්ලවය” පිලිබඳ සිය උද්යෝගය ප‍්‍රකාශයට පත් කරමින් සිටිය දී පවා, කලාපයේ සිටින වොෂිංටනයේ සමීපතම සගයන් දෙදෙනෙක් -- බහරේන්හි අල්-ඛලිෆා රාජාන්ඩුව සහ යේමනයේ ජනාධිපති අලි අබ්දුල්ලා සලේගේ ආඥාදායකත්වය -- තමන්ගේ ම රටවල මහජන විරෝධතා පෙලපාලිවලට එරෙහිව ලේවැකි මර්දන කි‍්‍රයාවට දමමින් සිටිති.

එක්සත් ජනපද පස් වන නාවික බල ඇනියේ කඳවුර පිහිටි, බහරේන්හි දී, සවුදි අරාබියේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හමුදාවන්ගේ පිටුබලය ලබන, ආරක්ෂක හමුදාවෝ, කඳුලු ගෑස්, රබර් උන්ඩ හා ජීව උන්ඩ යොදාගනිමින්, පර්ල් චතුරස‍්‍රයෙන් ලක්ෂ සංඛ්‍යාත විරෝධතාකරුවන් පලවා හැරියහ. තුවාලකරුවන්ට ප‍්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට හා හෙදියනට පහර දෙමින් ආරක්ෂක හමුදාවන් රෝහල් ආක‍්‍රමනය කල අතර, එක්සත් ජනපදය විසින් සපයන ලද අපාචේ හෙලිකොප්ටර් යානා විරෝධතාකරුවන්ට එරෙහිව යොදා ගැනුනි. ආගමික නිකායික ප‍්‍රචන්ඩ කි‍්‍රයා පිපිරීමක් මධ්‍යයේ, ෂියා ගම්මානවලට හමුදා භටයන් යැවූ අතර ඔවුහ ලොකු පතරොම්වලින් සියගනනකට වෙඩි තැබූහ.

ඩොලර් මිලියන 250ක එක්සත් ජනපද මූල්‍ය ආධාරවලින් පෝෂනය වන ආරක්ෂක හමුදාවන් සහිත යේමනයේ, හමුදා භටයන් සහ තන්ත‍්‍රයේ මැරයන්, වසර 32ක් බලයේ සිටින සලේ ඉවත් වන ලෙස ඉල්ලා සිටින විරෝධතා පෙලපාලිකරුවන්ට නැවතනැවතත් වෙඩි ප‍්‍රහාර එල්ල කරමින්, සිය ගනනක් මරා දමා දහස් ගනනකට තුවාල සිදු කර ඇත.

මෙය වනාහි, කලාපය සහ එහි බල ශක්ති සම්පත් මත සිය ආධිපත්‍යය බලාත්කාරයෙන් පැටවීම පිනිස ලක්ෂ ගනනින් මරා දැමීමට එය සූදානම් බව ඉරාකය තුල සිය යුද්ධය මගින් දැනටමත් පෙන්නුම් කර ඇති, මැද පෙරදිග එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සැබෑ මුහුනයි.

මුබාරක්ගේ ඇදවැටීම, ඊජිප්තු කම්කරුවන්ගේ හා පීඩිත ජනතාවගේ මහජන ව්‍යාපාරයට දැවැන්ත ජයග‍්‍රහනයක් මෙන්ම ඊජිප්තු පාලක ප‍්‍රභූවට හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට අපකීර්තිමත් පසුබැස්මක් ද නියෝජනය කලේ ය. කෙසේවෙතත්, ඊජිප්තුවේ හා කලාපය පුරා ඉන් පසුව සිදු වූ සිද්ධීන් මගින් පැහැදිලි කෙරුනේ, මුබාරක්ගේ ඇදවැටීම විප්ලවයේ අවසානය නොව එහි ආරම්භය පමනක් සනිටුහන් කල බවයි.

බලය තවමත් රැඳී තිබෙන්නේ, ඊජිප්තුව හා මැද පෙරදිග පුරා ප‍්‍රතිවිප්ලවවාදී මූලෝපායක් කි‍්‍රයාවට දැමීමට අධිෂ්ඨානවත්ව සිටින වොෂිංටනයේ පිටුබලය ලබන, මිලිටරි අන දෙන මන්ඩලයක හා මුදලට විකිනෙන පාලක ප‍්‍රභූවක් අතය.

මෙම මූලෝපාය පරාජය කිරීම ද මිලියන ගනන් ජනයා අරගලයට තල්ලු කල ඉල්ලීම් -- ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්, සමාජ සමානතාව, ජීවන මට්ටම් ඉහල දැමීම සහ මර්දනය හා සූරාකෑම අවසන් කිරීම -- ජයගත හැක්කේ ද බලය සහ සමාජයේ සමාජවාදී පරිවර්තනය සඳහා අරගලය තුල, පීඩිත මහජනතාවට නායකත්වය දෙමින්, කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම මගින් පමනි.

අවසන් විග‍්‍රහයේ දී, මෙම විප්ලවයේ සාර්ථකත්වය රඳා පවතින්නේ, ඊජිප්තු කම්කරුවන්ගේ අරගලය මැද පෙරදිග පුරා සහ වැඩි දියුනු ධනපති රටවල කම්කරුවන්ගේ අරගල සමග ඒකාබද්ධ කරමින්, විප්ලවය ඊජිප්තුවේ දේශසීමාවන්ගෙන් ඔබ්බට පුලුල් කිරීම මතය. වඩාත්ම තීරනාත්මක කර්තව්‍යය වන්නේ, කලාපය පුරා හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැගීම මගින් කම්කරු පන්තිය තුල නව විප්ලවවාදී ජාත්‍යන්තරවාදී නායකත්වයක් ගොඩනැගීමයි.

බිල් වෑන් ඕකන්