ගඩාෆිගේ නිවාස සංකීර්නයට බෝම්බ හෙලීම

The bombing of Gaddafi’s compound

22 March 2011

ඉරිදා රාතී‍්‍රයේ ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ ටි‍්‍රපොලි නුවර පුද්ගලික නිවහනට බෝම්බ හෙලීම එක්සත් ජනපදය හා එහි සහචරයන් විසින් දියත් කරන ලද යුද්ධයේ අපරාධකාරී ස්වභාවය මූර්තිමත් කරන අතර සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට ගන්නා "සීමිත කි‍්‍රයාවේ” මානවවාදී කඩතුරාවන් හෙලිදරවු කරයි.

වාර්තා වන ආකාරයට බි‍්‍රතාන්‍ය සබ්මැරීනයක් විසින් එල්ල කරන ලද කෲස් මිසයිලයෙන් නිවාස සංකීර්නයේ් තෙමහල් ගොඩනැගිල්ලක් සුන්බුන් බවට පත් කෙරින. ගඩාෆි, එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍යය හා ප‍්‍රන්සය විසින් තථ්‍ය වසයෙන් අනාරක්ෂිත පැරනි යටත් විජිත රටට එරෙහිව දියත් කරන ලද යෝධ ගුවන් ප‍්‍රහාරයේ සාධාරන ඉලක්කයක් බව ඉරිදා පූර්ව සමයේ බි‍්‍රතාන්‍ය ආරක්ෂක ලේකම් ලියම් ෆොක්ස් කියා තිබුනි.

ඇමරිකානු අපි‍්‍රකා විධානයේ ප‍්‍රධානී හා ලිබියාවට ප‍්‍රහාර එල්ල කරන හමුදාවල ඒකාබද්ධ අනදෙන්නා වන එක්සත් ජනපද ජෙනරාල් කාටර් හැම් සඳුදා ජර්මනියේ සිට කතාකරමින් ගඩාෆිව ඉලක්ක කරගනු ලැබ ඇතැයි යන්න ප‍්‍රතික්ෂේප කලේ ය. එසේ පවසන අතර ම ඔහු, ගඩාෆි තන්ත‍්‍රයේ "සන්නාහ හා පාලක හැකියාව” පහත හෙලීමේ උපක‍්‍රමවල කොටසක් ලෙස මිසයිල ප‍්‍රහාරය ආරක්ෂා කලේ ය.

බි‍්‍රතාන්‍ය ඩේලි මේල් පුවත්පතේ වෙබ් අඩවිය සඳුදා වාර්තා කලේ ගඩාෆිගේ ජෙනරාල්වරු රටහැර නො ගියහොත් මිසයිල මගින් ඔවුන්ව ඉලක්ක කරගනු ඇතැයි අනතුරු අඟවමින් එම්අයි6 ඔත්තුකරුවෝ ඔවුන්ට දුරකථන ඇමතුම් දෙමින් සිටි බවයි.

මිලිටරිමය හා සිවිල් යන දෙවර්ගයේ ම ඉලක්කවලට අවිචාරී ලෙස පහර දීම බලාත්මක කල එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩල යෝජනා කඩතුරාවට මුවා වන එක්සත් ජනපද නීත යුද සන්ධානයේ සාහසික ස්වභාවය ගඩාෆිගේ නිවහනට බෝම්බ හෙලීම මගින් ඉස්මතු කොට දක්වයි. එත්සත් ජාතීන් එකඟ වූ ආක‍්‍රමනයේ අභිප‍්‍රාය වන්නේ සිවිල් වැසියන් ආරක්ෂා කිරීම නොව ගඩාෆිගේ ආඥාදායක තන්ත‍්‍රය වෙනුවට එක්සත් ජනපදය, ප‍්‍රන්සය හා බි‍්‍රතාන්‍යයට හා බටහිර තෙල් බහ්වාධිකාරයන්ට වඩා නම්‍යශීලී තන්ත‍්‍රයක් බලයට ගෙන ඒම සඳහා ගඩාෆිගේ මිලිටරි යටිතල පහසුකම් විනාශ කොට හැකිනම් රාජ්‍ය නායකයාව මත් මරාදැමීම යි.

තම පූර්වගාමියා වූ ජාතීන්ගේ සංගමය "හොරුන්ගේ කුස්සියක්” ලෙස ලෙනින් කල ආප්තවාචී සඳහන සනාථ කරමින් එක්සත් ජාතීන් යලි වතාවක් අනාවරනය කොට ඇත්තේ තමන් ද මහා බලයන්ගේ උපකරනයකට වැඩි දෙයක් නො වන බව ය.

පිපිරීමේ තුවාලකරුවන් පිලිබඳව ලිබියානු ආන්ඩුව කිසිවක් වාර්තා කොට නැතත් මාධ්‍ය වාර්තා කියා සිටින්නේ ප‍්‍රහාරය සිදුවන වේලාවේ නිවස්නය තුල ගඩාෆිගේ සහායකයන් 300 ගනනක් සිටි බව ය.

ඉරාක ආක‍්‍රමනයේ අටවන සංවත්සරය මෙන්ම ගඩාෆිගේ හදාගත් දියනිය ඇතුලු ලිබියානුවන් 60ක් ඝාතනය කරමින් රොනල්ඩ් රීගන් ගඩාෆිගේ නිවහනට ම එල්ල කල ප‍්‍රහාරයේ විසිපස්වන සංවත්සරය යෙදෙන තැන ලිබියාවට යුද්ධය දිගේලි කරමින් ජනාධිපති බැරැක් ඔබාමා රොනල්ඩ් රීගන් හා ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ ම්ලේච්ඡ වගකීමට හිමිකම් කීමට බොහෝ දුරක් යමින් සිටින බව පෙන්නුම් කරයි.

සීමිත හා පටු ලෙස අර්ථ දක්වන ලද ආක‍්‍රමනයක් පිලිබඳ සියලු කතා තිබිය දී ගඩාෆිගේ හමුදාවලට එරෙහිව "අවශ්‍ය සියලු පියවර” බලාත්මක කරමින් පසුගිය බ‍්‍රහස්පතින්දා සම්මත කරන ලද එක්සත් ජාතීන්ගේ යෝජනාවේ භාෂාව සඳහා එක්සත් ජනපදය තල්ලුව දුන්නේ ය. මෙය පූර්න පරිමාන යුද්ධයක් සඳහා කොල එලිය දල්වයි.

"වාඩිලාගැනීමේ හමුදා” තහනම් කිරීම තවත් වංචාවකි. බි‍්‍රතාන්‍ය කැබිනට් ඇමතිවරු හා අගමැති ඩේවිඩ් කැමරන් දැනට මත් කියමින් සිටින්නේ එක්සත් ජාතීන්ගේ යෝජනාව උල්ලංඝනය නො කොට ආයුධ සම්බාධක අධීක්ෂනය කිරීමේ අභිප‍්‍රාය සඳහා බි‍්‍රතාන්‍ය භටකායන් හඳුන්වා දෙනු ලැබිය හැකි බව යි.

තම න්‍යෂ්ටික පහසුකම් වසා දැමීමට, එක්සත් ජනපදයේ "ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” සමග සහයෝගී වීමට හා බටහිර සමාගම්වලට සුඛෝපභෝගී තෙල් සහනාධාර ප‍්‍රදානය කිරීමට එකඟ වෙමින් පසුගිය දශකය තිස්සේ ගඩාෆි වොෂින්ටනයේ අතිශය උනුසුම් සබඳතා භුක්ති විඳ ඇත. එහෙත් දැන් ඔහු එක් කලෙක එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සම්පතක් ලෙස සිට පසුව ඇමරිකානු පාලක ප‍්‍රභූවේ භූ-මූලෝපායික ඉලක්ක සමග පටලැවුනු අයගේ දීර්ඝ ලැයිස්තුවට එකතු වෙයි. එම ලැයිස්තුවට පැනමාවේ නොරීගා, සෝමාලියාවේ අයිඩිඩ්, සර්බියාවේ මිලොසෙවික් හා සදාම් හුසේන් ඇතුලත් වෙති.

උතුරු අපි‍්‍රකාව හා මැද පෙරදිග බොහෝ ප‍්‍රදේශ පුරා හඹායන විප්ලවවාදී රැල්ල මෙල්ල කොට අවසානයේ තලා දැමීම සඳහා එක්සත් ජනපදය යෙදෙන පුලුල් අරගලයේ දී ගඩාෆි අත්‍යවශ්‍ය බවට පත්විය. ගඩාෆිව ඉවත් කිරීමට සහ විශේෂයෙන් ම ඊජිප්තුවේ හා සවුදි අරාබියේ සමාජවාදී විප්ලවය පිලිබඳ තර්ජනයට එරෙහිව එක්සත් ජනපදයට මිලිටරිමය හා දේශපාලනික ලෙස නව විජිත පන්නයේ තන්ත‍්‍රයක් හැඩ ගැස්සවීමට සහ සිය වැදගත් සගයා වන ඊස්රායලය ආරක්ෂා කරගැනීමට ලිබියාවේ නැගෙනහිර ප‍්‍රදේශයේ ගඩාෆිට එරෙහි නැගිටීම ගසා කෑ වොෂින්ටනයේ හස්තයක් එම නැගිටීම පිටුපස තිබිය හැකි ය.

ටි‍්‍රපොලි හා අනෙකුත් නගර මත සඳුදා ද නො කඩවා බෝම්බ පතිත වෙද්දී සහ සුන්බුන්වන යුද ටැංකිවල දුමෙන් හා ගඩාෆිගේ පසුබසින භටකායන්ගේ පිලිස්සුනු සිරුරුවලින් බෙන්ගාසි හා අනෙකුත් නගරවලින් පිටත මාර්ගයන් අපිරිසිදු වෙද්දී පවා ලේ හැලීමේ ඉලක්කය ගඩාෆි ඉවත් කිරීම බව ඔබාමා අවධාරනය කලේ ය. චිලී රටේ සන්තියාගෝ නුවර මාධ්‍ය හමුවක දී "තවමත් එක්සත් ජනපද පිලිවෙත ගඩාෆි යා යුතු බව” යයි ඔහු කියා සිටියේ ය.

ලාක්ෂනික දෙපිටකාට්ටු කතා සමගින් ඔබාමා හා ඔහුගේ යුරෝපීය සහකරුවෝ තන්ත‍්‍ර මාරුවක් සඳහා වන ඉල්ලීම ලිබියානු ජනතාවට ම තමන්ගේ ඉරනම තීන්දු කිරීමට ඉඩ ලබාදීමේ පොරොන්දු සමග ඒකාබද්ධ කිරීමේ ප‍්‍රයත්නයක නිරතව සිටිති. ඇත්ත වසයෙන් ම ආක‍්‍රමනය හරියට ම ඉලක්කය කරනු ලැබ ඇත්තේ ලිබියාවේ හා සමස්ත කලාපයේ පීඩිත ජනතාවගේ නායකයා ලෙස කම්කරු පන්තිය විවිධ ධනේශ්වර රූකඩ තන්ත‍්‍ර සමග ගනුදෙනු බේරාගැනීමෙන් හා තමන්ගේ ම අතට බලය ගෙන අධිරාජ්‍යවාදයේ ග‍්‍රහනය බිඳ දැමීමෙන් වැලැක්වීමට යි.

ලිබියාව මත ප‍්‍රහාරයේ ඉවබව නැතිකම පිටුපස තවත් අතිරේක අභිපේ‍්‍රරනයක් තිබේ. කිසිදු නායකයෙකුට විපාක නො විඳ සිය ආඥාවන් ප‍්‍රතික්ෂේප කිරීමට ඉඩදීම වොෂින්ටනයට කල නො හැකි ය. පාලනයෙන් ඉවත්ව යන ලෙස එක්සත් ජනපදය ගඩාෆිගෙන් ඉල්ලා සිටිවිට එක්සත් ජනපදයේ ගරුත්වය පරදුවට තැබී තිබුනු නිසා ඔහු එසේ කල යුතුව තිබුනේ යයි ප‍්‍රකාශ කරමින් ඉරිදා සාකච්ඡාවකට සහභාගි වූ පැරනි ඩිමොක‍්‍රටික උප ජනාධිපති අපේක්ෂකයෙකු වන ජෝසෆ් ලිබර්මාන් මෙය ඉඟි කලේ ය.

සියලු පීඩිත රටවල් විසින් ලිබියාව විෂයය පාඩමක් ලෙස ගත යුතු ය. යෝධ වෙඩි බලයක් මුදාහැර මරනයේ හා විනාශයේ වැසි වැස්සවීමට අධිරාජ්‍යවාදී බලයන්ට පවතින හැකියාව ප‍්‍රදර්ශනය කිරීම මගින් අපේක්ෂා කරන්නේ සමස්ත කලාපය පුරා කම්කරුවන්ගේ හා තරුනයන්ගේ විප්ලවවාදී අභිලාෂයන් බියවැද්දීමට යි.

වසර තුනහමාරකට පෙර සිදු වූ ගෝලීය මූල්‍ය පද්ධතියේ බිඳ වැටීමෙන් ඉස්මතු වන ගැඹුරු වන ආර්ථික, සාමාජීය හා දේශපාලන පරස්පර විරෝධයන් හා තියුනු වන අන්තර්-අධිරාජ්‍යවාදී ගැටුම් මගින් අධිරාජ්‍යවාදී ප‍්‍රචන්ඩත්වයේ ගින්නට තෙල් දමනු ලබයි. වර්තමාන යුද්ධය තුල ප‍්‍රන්සයේ හා බි‍්‍රතාන්‍යයේ ආක‍්‍රමනශීලී භූමිකාව, නායකත්වය ගැනීමට එක්සත් ජනපදයේ කල් පසු වූ හා ක්ෂනික උත්සාහයන්, මිලිටරි ආක‍්‍රමනයට රුසියාව හා ජර්මනිය විරුද්ධ වීම යන මේ සියල්ල පිලිබිඹු කරන්නේ අපි‍්‍රකාව, මැද පෙරදිග හා ඉන් ඔබ්බේ බලපෑම් කලාප හා සම්පත් හා වෙලඳපොලවල් පාලනය අරබයා මහා බලයන් අතර තීව‍්‍ර වන පොරවැදීම යි.

මෙම කොන්දේසි යටතේ ජාත්‍යන්තර නීතියේ සමස්ත පශ්චාත් දෙවන ලෝක යුද රාමුව බිඳ වැටී ඇත. එහි තැන ගෙන ඇත්තේ වධබන්ධනයට ලක්කිරීම් හා ඉලක්කගත ඝාතන සමගින් විදෙස් පිලිවෙතේ සුජාත උපකරනයක් ලෙස යුද්ධය යලි අවධාරනය කිරීම යි.

ලිබියාව තුල අවනීතිය හා ම්ලේච්ඡත්වය අලුතින් පුපුරායාම තුල අඩංගු වන්නේ ධනවාදය ලෝක යුද්ධය දෙසට චලනය වීම යි. 1938 හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක කි‍්‍රයාමාර්ගයේ ට්‍රොට්ස්කිගේ වචන අද දින විශාල අදාලත්වයක් ගැබ්කර ගනී: "ධනේශ්වර බිඳ විසිර යාමේ වැඩි දියුනුවන ආතතීන් යටතේ අධිරාජ්‍යවාදී ප‍්‍රතිඝතිතා එහි උච්චයේ දී (ඉතියෝපියාව, ස්පාඤ්ඤය, ඈත පෙරදිග, මධ්‍යම යුරෝපය වැනි) වෙන් වෙන් ගැටුම් හා ලේවැකි ප‍්‍රාදේශීය කලිකෝලාහල ලෝක පරිමානයේ ලැව් ගින්නක් බවට අනිවාර්යයෙන් ම පත්විය යුතු ය.”

එදා මෙන් ම අද දින ද යුද්ධය අවසන් කිරීමේ හා ගෝලීය ලැව් ගින්නක් වැලැක්වීමේ එක ම මාවත වන්නේ ලෝක සමාජවාදී විප්ලවයේ කි‍්‍රයා මාර්ගය මගින් අධිරාජ්‍යවාදීන් නිරායුධ කිරීම යි.

බැරී ගේ‍්‍ර