ධනවාදයේ බිඳවැටීම සහ ඇමරිකා එක්සත් ජනපදය තුල සමාජවාදය සඳහා සටන

The Breakdown of Capitalism and the Fight for Socialism in the United States

By Socialist Equality Party, 3 September 2010

සමාජවාදී සමානතා පක්ෂයේ කි‍්‍රයා මාර්ගය
2වන කොටස

යට දැක්වෙන ලියවිල්ල 2010 අගෝස්තු 11-15 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප‍්‍රාන්තයේ ඈන්ආබර්හි පවත්වන ලද සමාජවාදී සමානතා පක්ෂය (ඇමරිකා එක්සත් ජනපදය) ප‍්‍රථම ජාතික සම්මේලනය විසින් සම්මත කර ගන්නා ලදී. මෙය කොටස් තුනකින් යුත් ලියවිල්ලේ දෙවන කොටසයි. පලමු කොටස 2011 මාර්තු 5 පල විය. තුන්වෙනි කොටස පසුව පලවේ. සමාජවාදී සමානතා පක්ෂයට බැඳෙන්නේ කෙසේද යන්න පිලිබඳ තොරතුරු ලබා ගැනීම පිනිස මෙහි ක්ලික් කරන්න.

කම්කරු පන්තියේ මූලික අයිතිවාසිකම්

44. සෑම මිනිසෙකුට ම ගැහැනියකට ම සහ ලමයෙකුට ම තමාගේ ජීවිතය සැපවත්ව ගත කරමින් තමාගේ හැකියාවන් දුප්පත්කමේ සහ අගහිඟකමේ සාපයෙන් තොරව ඉහලම මට්ටමට වර්ධනය කර ගැනීමේ අයිතිය ඇත. ජනාධිපති රූස්වෙල්ට් එවන් තත්වයන් දැරිය නොහැකි යයි ප‍්‍රකාශ කොට 70 අවුරුද්දකට පසු ද ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන 10කට අධික ජනසංඛ්‍යාව "ආහාර හිඟයෙන් ද, ඇඳුම්පැලඳුම් හිඟයෙන් ද නිවාස හිඟයෙන් ද පෙලෙමින් සහ අනාරක්ෂිතව” සිටීම වනාහී ඇමරිකානු ධනවාදය පිලිබඳ පිලිතුරු දිය නොහැකි චෝදනාවකි. සමාජවාදී සමානතා පක්ෂය යෝජනා කර සිටින්නේ කම්කරු පන්තිය විසින් පහත සඳහන් කරුන වටහාගෙන තහවුරු කර ගත යුතුය කියා ය. ඒ වනාහී සංකීර්න නූතන සමාජයක ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වූ ද එහෙයින්ම "අවියෝජනීය වූ ද” අයිතිවාසිකම් පවත්නා බවය. කම්කරු පන්තිය මහා සංගත විසින් පාලනය කරනු ලබන දේශපාලන පක්ෂ සහ සංස්ථාවන් ගෙන් ස්වාධීනව ද ඒවාට එරෙහිව ද පන්තියක් ලෙස බලමුලුගැන්වී ගැනීම තුලින් මෙම අයිතිවාසිකම් අත්පත් කර ගැනීමට සනිටුහන් කර ගත යුතුය. එම අයිතිවාසිකම් පහත දැක්වේ:

රැකියාවක් සඳහා අයිතිය

45. රැකියාවක් සඳහා අයිතිය අන් සියල්ලටමත් වඩා මූලික අයිතියයි. ස්ථිරසාර යහපත් වැටුප් සහිත රැකියාවකින් තොරව අනික් කුමන අවශ්‍යතාවක් හෝ සපුරා ගත නොාහැකිය. රැකියාවක් නැතිවීම වනාහී ආත්මගරුත්වය නැතුව යාමකි. සමාජ සම්බන්ධතාව නැතුව යාමකි. දැරිය නොහැකි මානසික පීඩනයකි; සෞඛ්‍ය සේවා පහසුකම් නැතුව යාමකි; ජීවිත කාලයක් තුල ඉතුරු කරගත් දේ නැතුව යාමකි; තමා ද තමාගේ පවුල ද දුප්පත් කමට නිවාස නැතිකමට ගොදුරු වීමකි.

46. මිලියන ගනන් ඇමරිකානුවෝ මෙම අපේක්ෂා භංග තත්වයන්ට මුහුන දෙති. කලකට පෙර ඇමරිකා එක්සත් ජනපදය තුල කිසිසේත් ම පිලිගත නොහැකි තත්ත්වයක් යැයි සලකනු ලැබූ දෙයක් දැන් "නව සාමාන්‍යය” ලෙස පිලිගනු ලැබේ. නිල විරැකියා අනුපාතය සියයට 10 කි. එහෙත් සැබෑ විරැකියාව ඊට වඩා බෙහෙවින් වැඩිය. රැකියා නැති වූවන්ගෙන් හරි අඩක් පමන සති 27කට වැඩි කාලයක් රැකියාවකින් තොර ව සිට ඇත; එපමනක් නොව මෙකල කෙනෙකු විරැකියාවට හසුව සිටින කාලය මාස 9කට වඩා දිග් ගැස්සෙනු ඇත. මෙය වනාහී මහා අවපාතයෙන් මොබ දක්නට නොලැබුනා වූ දිගු කාලීන විරැකියා මට්ටමකි. මිලියන 26ක් ජනයා එක්කෝ රැකියාවෙන් තොරව එසේ නැතිනම් තම හැකියාවට නො සරිලන රැකියාවක යෙදී සිටිති. සමහර ප‍්‍රාන්ත රාජ්‍යයන් හි නිල විරැකියා මට්ටම සියයට 14ට වැඩිය. එහෙත් නාගරික මධ්‍යස්ථානයන්හි මෙම මට්ටම සියයට 50 ට ද වැඩිය.

47. දිගුකාලීන විරැකියාව මුලුමහත් තරුන පරපුරකට ඔවුන්ගේ අනාගතය අහිමි කර දමා තිබේ. සරසවිවලින් උපාධිය ලබා පිටවන ශිෂ්‍යයන්ගෙන් සියයට 60කට ම රැකියා යෝජනා ලැබෙන්නේ නැත. වයස 16 සහ 24 අතර කම්කරුවන්ගෙන් හරි අඩකට වඩා රැකියා නැතුව සිටිති. මෙය වනාහී දෙවන ලෝක යුද්ධයෙන් පසු වැඩිම ප‍්‍රමානයයි. අද දවසේ තරුනයින්ගේ තත්ත්වය ඔවුන්ගේ දෙමාපියන්ගේ තත්ත්වයට වඩා බෙහෙවින් නරක යයි යන්න සෑම තැනකම පිලිගනු ලබන කරුනකි.

48. සියලු දෙනාට වහාම රැකියා සම්පාදනය සඳහා ක්ෂනික පොදු වැඩ කි‍්‍රයාමාර්ගයක් ඇරඹිය යුතුය. කරන්නට ඕනෑතරම් වැඩ තිබේ. පාසල්, රෝහල්, පොදු ජන නිවාස, මංමාවත්, පොදු ජන ප‍්‍රවාහනය, ජල පහසුකම්, ජලාපවාහන පහසුකම්, ජන සංනිවේදන ජාලා සහ වෙනත් පොදු පහසුකම් පිලිසකර කිරීමේ වැඩ සහ වැඩ කරන ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුනු කිරීම මීට ඇතුලත්ය.

49. මහජන විරැකියාවට, දොට්ට දැමීම්වලට, සහ වැඩපල වසා දැමීමට එරෙහිව රැකියාවක් සඳහා අයිතිය කම්කරු පන්තිය විසින් කොන්දේසි විරහිතව ආරක්ෂා කල යුතුය. දොට්ට දමනු ලබන සෑම කම්කරුවකුට ම සහ ශ‍්‍රම බලකායට අලුතෙන් ඇතුලු වන සෑම කම්කරුවකුටම ද වැටුප් සහිත පුහුනුව හා රැකියා සම්පාදනය කල යුතුව ඇත.

ජීවන වැටුපකට ඇති අයිතිය

50. දශක ගනනාවක් තිස්සේ වැටුප් පහත දමනු ලබමින් ඇත. කර්මාන්ත ශාලා වසා දැමීම හේතු කොට ගෙන හොඳ වැටුප් පහසුකම් සහ රැකියා ආරක්ෂිතභාවය සහිත "මධ්‍යම පන්තික” යැයි කියන ලද කාර්මික රැකියා අහෝසි වී ගොසිනි. දිගු කලක් තිස්සේ කාර්මික වැටුප්වල මට්ටම සලකුනු කල ඔටෝ කර්මාන්තයේ දැන් අලුත් කම්කරුවකුට ගෙවන්නේ පැයකට ඩොලර් 14ක් පමනි. මෙය වනාහී හතර දෙනෙකුගෙන් යුතු පවුලකට නිලවශයෙන් නියම කර ඇති දරිද්‍රතා කඩඉමෙන් යන්තම් ඉහලට ගියා පමනි. එම දරිද්‍රතා කඩඉම ද කිසිසේත් ම සෑහෙන නීර්නකයක් නොවේ. ශ‍්‍රමයේ මිල පහත දැමීමට ද ලාභ ඉහල දමාගැනීමට ද මහා විරැකියාව දැනුවත් ව යොදාගනු ලැබේ. ඇමරිකා එක්සත් ජනපදය අපනයන සඳහා ලාබ ශ‍්‍රම වේදිකාවක් බවට පත්කර ගැනීම මත ඔබාමා පාලනාධිකාරයේ ආර්ථික වර්ධන මූලෝපාය පදනම් වී තිබේ.

51. දැනට මධ්‍යම ආන්ඩුව විසින් නියම කර ඇති (පැයකට ඩොලර් 7.25ක) සොච්චම් වැටුප දශලක්ෂ සංඛ්‍යාත ජනයා දිලිඳු බවට ඇද හෙලයි. ඒ වෙනුවට මහජනයාගේ සියලුම අවශ්‍යතාවන් සහතික කරන්නා වූ වාර්ෂික ආදායමක් නියම කොට ලබා දිය යුතුය. වයස්ගත බව ආබාධිතතාව හෝ අසනීප නිසා වැඩ කිරීමට නොහැකි බොහෝ ජනයා සඳහා ද මෙම ආදායම ම සහතික කල යුතුය.

52. දශක ගනනාවක් තිස්සේ ජීවන තත්වයන්ගේ පරිහානිය ක්‍රෙඩිට් කාඞඩ් ද දෙවරක් උගස් කිරීමේ පහසුකම් ද වෙනත් ආකාර නය ද මගින් වසංකර දමා තිබේ. මහජන මුදල් යොදා ගලවා ගනු ලැබූ බැංකු ම දැන් වැඩ කරන ජනතාව තව තවත් උග‍්‍ර ලෙස මිරිකා දමති. ආර්ථික සුරක්ෂිතතාවය සහතික කර ගැනීම සඳහා යෝධ මූල්‍ය සංස්ථාවන් වල නයට බැඳුනවුන් ලෙස වැඩට බැඳගෙන ඇති දස ලක්ෂ සංඛ්‍යාත ඇමරිකානුවන්ට වහාම නය සහන ලබා දිය යුතුය. එසේ කිරීමට නම් දරුනු පොලී රේට්ටු, බැංකු ගාස්තු සහ අයිරා ගාස්තු අහෝසි කොට නය වාරික ගෙවා ගත හැකි ලෙස අඩු කර දැමිය යුතුය.

විවේකය සඳහා අයිතිය

53. දස ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ට අතිකාල වැඩ අනිවාර්ය කොට එක කම්කරුවාට රැකියා දෙක තුනක් නොකර බැරි වූ තත්ත්වයක් උද්ගත කිරීම මගින් අනුකම්පා විරහිතව වැඩ සතිය දික්කර ඇත. මෙයට අවුරුදු 150කට පෙර කම්කරු ව්‍යාපාරය විසින් මතුකරන ලද පැය අටේ වැඩ දිනය දැන් මුලුමනින්ම යට ගසා ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ කම්කරුවන්ට ප‍්‍රන්ස කම්කරුවන්ට වඩා වසරකට පැය 340ක් එනම් පූර්න සති 9ක් වැඩියෙන් වැඩ කිරීමට සිදුව තිබේ. දසලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් විරැකියා පෝලිම්වල ඉන්නා අතර කම්හල් හිමියෝ දැනට වැඩෙහි යෙදී සිටිනවුන්ගේ වැඩ පැය ගනන වැඩි කරමින් ද අලුතෙන් රැකියාවලට බඳවා නො ගනිමින් ද වියදම් කපා දැමීමට කටයුතු කරති. මෙය පිලිගත හැකි තත්වයක් නොවේ. කම්කරුවන්ගේ ජීවන තත්වයන් දියුනු කිරීමට ද රැකියා විරහිතයන්ට රැකියා සම්පාදනය කිරීමට හැකි වන පරිදි වැඩ සතිය කෙටි කල යුතුය. කම්කරුවන්ගේ වැඩ සතිය පැය 30කට සීමා කරන අතර ඔවුන්ගේ පූර්න අවශ්‍යතා සපුරාගත හැකි පරිදි වැටුප් වැඩි කල යුතුය.

54. ලෝකයේ දියුනු රටවල් 33ක් අතුරෙන් කම්කරුවන්ට නීතිමය වශයෙන් නියමිත වැටුප් සහිත නිවාඩු නොලැබෙන එකම රට ඇමරිකා එක්සත් ජනපදයයි. ඇමරිකාවේ සියලු කම්කරුවන්ගෙන් හරි අඩක් පමන වැටුප් සහිත නිවාඩු දින නො ලබති. තමන්ගේ පවුල සඳහා ද ව්වේකය සඳහා ද සංස්කෘතික කටයුතු සඳහා ද සෑහෙන කාලයක් ගතකිරීමට කම්කරුවන්ට අයිතියක් තිබිය යුතුය. එපමනක් නොව වාර්ෂිකව සති 5ක වැටුප් සහිත නිවාඩු ද ගෙවීම් සහිත අසනීප නිවාඩු ද වැටුප්සහිත පවුල් නිවාඩු ද ඔවුන්ට ලැබිය යුතුය. පවුල් බර ලිහිල් කිරීමට නම් සමාජය විසින් ලමයින් බලා කියා ගැනීමේ පහසුකම් නොමිලයේ සැපයිය යුතුව ඇත. පාසල් වේලාවෙන් පසුව ලමුන්ගේ වැඩකටයුතු සඳහා යන විශේෂ වියදම් ද ඔවුන්ට ලබාදිය යුතුය. යහපත් වූ ආදායමට සරිලන නිවෙස් වලට අයිතිය.

55. සෑම වර්ෂයකදී ම එක් මිලියනයක් ලමයින් ද ඇතුලු මිලියන 3.5ක ජනයාට උන් හිටිතැන් නැතිව යයි. වර්ෂයකට එක් මිලියනයක් ජනයාගේ නිවාස උගසට සින්න වේ. දස දහස් ගනන් ජනයා කුලී නිවාස වලින් දොට්ට දමනු ලබති. ප‍්‍රධාන නගර වාටියේ මහා පැල්පත් මුඩුක්කු නගර පැන නැගීම ලාභ ගරන ධනපති ක‍්‍රමයට එරෙහිව එල්ල කැරුනු බරපතල චෝදනාවකි. මේවා අප සිහියට නංවන්නේ 1929න් පසු මහා අවපාත සමයේ දී නිවාස නැතියන් සඳහා පැන නැගි "හූවර් විල්” නගරයන්ය.

56. 2008 ආර්ථික අර්බුදය අවමුඛ උගස් වලින් සමන්විත සමපේක්ෂන වියරුවක ප‍්‍රතිඵලයක් විය. බැරි ම අයගෙන් උපරිමයට මිරිකාගැනීම සඳහා ඉලක්ක කොට තුච්ඡ පොලී සහිත නය ඇටවීම සඳහා උගස් නය දෙන්නෝ මහජනයාගේ නිවාස නැතිකම ගසාකෑවෝය. මෙසේ කිරීමේදී නිවාස වල මිල පෙර නුවූවිරූ මට්ටම්වලට ඉහල නැගි අතර ගතවූ දෑවුරුද්ද තුල දී (උගස් ගෙවා ගැනීමට බැරිවූ නිසා) නිවාස මිල බිඳවැටුනු තතු තුල මිලියන ගනනක් ජනයා තම නිවෙස්වල මුලු වටිනාකම්වලට ද වඩා වැඩි ප‍්‍රමානයක් බැංකුවලට නය වීම නිසා "දියෙහි ගිලී” සිටිති.

57. නිවාස නැතිවීමට ප‍්‍රධාන හේතුවක් නම් පහසු මිල නිවාස නැතිකමයි. නිවාස මිල ඉහල යාම ද ආදායම පහත වැටීම ද හේතු කොට ගෙන සාමන්‍ය ඇමරිකානු පාරිභෝගිකයාට තමාගේ ආදායමෙන් සියයට 34ක් නිවාස සඳහා ද තවත් සියයට 30ක් ප‍්‍රවාහනය සඳහා ද යට කිරීමට සිදුව තිබේ. මෙම වියදම් කල පසුව ආහාර, ජීවන අවශ්‍යතා, සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය හා වෙනත් මූලික අවශ්‍යතාවන් සඳහා ඉතුරු වන්නේ සොච්චමකි.

58. උගසට සින්න කිරීම සහ නිවාස වලින් දොට්ට දැමීම වහාම නැවැත්විය යුතුය. සියලු උගස් කර කම්කරුවන්ට ගෙවාගත හැකි මට්ටමට ආදායමට සහ රැකියා තත්වයට අනුව ගාස්තු සැකසිය යුතුය.

59. සියලු දෙනා ම සඳහා යහපත් නිවාස සඳහා අයිතිය සහතික කල හැක්කේ නිවාස ගොඩනැගීම ද මුදල් සැපයීම ද පොදු අයිතිය භාරයට ගෙන නව නිවාස සහ තට්ටුගෙවල් ගොඩනැගීම ද පවත්නා ගොඩනැගිලි ප‍්‍රතිසංස්කරනය සඳහා ද ඩොලර් බිලියන ගනන් සපයා දීම මගිනි.

පහසුකම් සහ ප‍්‍රවාහනය සඳහා අයිතිය

60. සෑම වර්ෂයකම ඇමරිකා එක්සත් ජනපදයේ දසලක්ෂ සංඛ්‍යාත කුටුම්බයන්ට තම පහසුකම් මිල ගෙවා ගැනීමට නොහැකි වීම ද නිවාස වලින් දොට්ට වැටීමට තවත් හේතුවකි. පොදු පහසකම් සපයන දැවැන්ත සමාගම්වල ලාභ ගැරිල්ල සඳහා මෙසේ පහසුකම් නවතා ලීම ගෙවල් ගිනිගැනීම සහ අධික සීතල නිසා ජනයාට ඔවුන්ගේ ම නිවාස වල ම මරනයට පත්කරන්නා වූ භයංකර සමාජ කොන්දේසි නිර්මානය කෙරේ.

61. පොදු පහසුකම් සපයන සමාගම් මත පරිපාලනය ලිහිල් කොට පුද්ගලීකරනයට භාජන කිරීම මගින් විදුලිය සහ උනුසුම සැපයීමේ ගාස්තු දැවැන්ත මට්ටමකින් ඉහල දමනු ලැබ ඇත. මේ නිසා ඉමහත් විනාශයට ලක්වන්නේ දුප්පත්ම ජනයා ය. සාමාන්‍ය වශයෙන් වයස් ගත සහ ආබාධිත පුද්ගලයන්ට සම්පාදනය කෙරෙන අතිරේක ආරක්ෂක ආදායම (එස්එස්අයි) ලබන්නෝ තම ආදායමෙන් සියයට 20ක් ම පහසුකම් සඳහා වියදම් කරති. දරාගැනීමට නොහැකි ඩොලර් දහස් ගනන් පහසුකම් ගාස්තු බිල්වලට බොහෝ කම්කරුවෝ යටවී සිටිති. අඩු අදායම් ලබන්නන්ට බලශක්ති ආධාර සැපයීම සඳහා මධ්‍යම ආන්ඩුවේ හා ප‍්‍රාදේශීය ආන්ඩුවල ප‍්‍රතිපදානය කිසිසේත් ම නො සෑහෙන අතර එවාට අවශ්‍ය මුදල් ද සපයනු නොලැබේ. දැන් ඔබාමා පාලනාධිකාරය මෙම අවුරුද්ද තුල තවත් ඩොලර් 26.8ක ආධාර කැපීමට සැලසුම් කරමින් සිටී.

62. සියලුම මූලික පහසුකම්, විදුලිය, ගෑස්, ටෙලිෆෝන් සහ අන්තර්ජාල සම්බන්ධකම් සෑම පුද්ගලයෙකුගේ ම මූලික අයිතිවාසිකමක් වන අතර පහසුකම් සම්පාදනය කරන සමාගම් වල ලාභ අවශ්‍යතාවන් ට ඒවා යටත් නොකල යුතුය.

63. එසේම මහජනයාගේ ප‍්‍රවාහන පද්ධතින්ට පොදු ආයෝජන පහසුකම් නොදීම නිසා ඒවා යාන්තමින් පවත්නා තැන්වල පවා දිරාපත් වීමට ඇද වැටී ඇත. මෙය විශේෂයෙන් ම තමන්ගේ ම ප‍්‍රවාහනය සපයාගැනීමට නොහැකි වැඩිහිටියන්ට ද ආබාධිතයන්ට ද ඇති කරන්නේ ඉතා දරුනු තත්ත්වයකි. සියලුම ජනයාට සුරක්ෂිත හා දැරිය හැකි ප‍්‍රවාහන පහසුකම් සපයා දිය යුතුය.

ගුනාත්මක ඉහල සෞඛ්‍ය සේවයක් සඳහා අයිතිය

64. වෛද්‍ය තාක්ෂනයේ ඇතිවී තිබෙන දියුනුව ලෝකයේ ජනයාගේ සෞඛ්‍යය දැවැන්ත ලෙස දියුනු කිරීම සඳහා හැකියාව ජනිත කර ඇත. එහෙත් ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන 46ක් ජනකාය ට මොනම සෞඛ්‍ය සංරක්ෂනයක් වත් ඇත්තේ නැත. මීට අමතරව ඇති තරම් සුරක්ෂිත නොවූ මිලියන 25ක ජනයා සිටිති. මොවුහු වෛද්‍ය ගාස්තු සහ සංරක්ෂනය අතර හිඟය පියවාගැනීමට නොහැකිව සිටිති. මෙඩිකෙයා ඇතුලු පවත්නා මධ්‍යම ආන්ඩුවේ සෞඛ්‍ය වැඩ පිලිවෙලවල් නොසෑහේ. මුදල් හිඟයෙන් පෙලේ. නිර්දය කප්පාදුවට ලක්ව ඇත.

65. ඇමරිකාවේ සෞඛ්‍ය සේවා වියදම් වෙනත් දියුනු ධනේශ්වර රටවල සෞඛ්‍ය වියදම් මෙන් දෙගුනයක් වන අතර සෞඛ්‍ය තත්ත්වයෙන් ගත හොත් එක්සත් ජනපදයේ පවතින්නේ ඒ සියල්ලට වඩා නරක තත්වයකි. 2009 දී හාවර්ඩ් සරසවිය විසින් කරන ලද පර්යේෂනයකට අනුව, 2005 දී එක්සත් ජනපදය තුල 45,000ක් පමන මරන වලට හේතුව වූයේ සෞඛ්‍ය සංරක්ෂනය නැති වීම ය. පුද්ගලික බංකොලොත් කම් වලින් සියයට 62ක් ම ඇතිවී තිබෙන්නේ වෛද්‍ය බිල්පත් ගෙවා ගැනීමට නොහැකි වීම නිසාය. මෙයින් සියයට 80ක් ම සෞඛ්‍ය සංරක්ෂන තිබෙන අය වේ.

66. මෙම සෞඛ්‍ය සේවා අර්බුදයට පාලක පන්තියේ ප‍්‍රතිචාරය වී ඇත්තේ මහා සංගතවල වියදම් හා රාජ්‍ය වියදම් කපා ජනගහනයෙන් අති මහත් වැඩි කොටසක සෞඛ්‍ය පහසුකම් වලට සලාක පැනවීම ය. ඔබාමා පාලනාධිකාරය මගින් සකස් කල මෙම කප්පාදු වැඩපිලිවෙල ඉදිරියට ගෙන යනු ලබන්නේ සංරක්ෂන කොම්පැනි සහ බෙහෙත් නිෂ්පාදකයන් සමග සමීප සාකච්ඡාවන් මගින් සැකසුනු සෞඛ්‍ය සේවා "ප‍්‍රතිසංස්කරනයේ” ව්‍යජ ධජය යටතේ ය. ඒ සමග ම ඔබාමා පාලනාධිකාරය මධ්‍යම රජයේ සෞඛ්‍ය සේවා වැඩපිලිවෙල කප්පාදු කිරීම බාර වූ ද්වීපාක්ෂික අයවැය හිඟ මන්ඩලයක් පිහිටුවිය. සම්පත් අහේනියට පත් ප‍්‍රාන්ත රාජ්‍ය දිලිඳු, වැඩිහිටි, ආබාධිත, කොටස්වලට සෞඛ්‍ය පහසුකම් අයිතිය නැති කොට ප‍්‍රතිපාදන කපා දමයි.

67. සෞඛ්‍ය සේවා අර්බුදයට විසඳුම පවතින්නේ මහා සංගත විසින් සෞඛ්‍ය සේවය පුද්ගලික අයිතියක් බවට පත්කර ගැනීම අවසන් කොට ඔවුන් අවුරුදු පතා ලබා ගන්නා ඩොලර් බිලියන 200 ලාබ පොදි අහෝසි කොට සමාජ පාලිත වෛද්‍ය සේවාවක් පිහිටුවීමෙනි. එහි තේරුම නම් ලාබය සඳහා වෙද හෙදකම් කිරීම අවසන් කොට ඉහල මට්ටමේ නිදහස් රාජ්‍ය සෞඛ්‍ය සේවාවක් පිහිටුවීමයි. රෝග නිවාරනය, බෙහෙත් නියම කිරීම, මානසික සෞඛ්‍ය පහසුකම්, දියුනු පරීක්ෂන ක‍්‍රම සහ පටිපාටි යන මේ සියල්ල මෙයට අයත් ය. එයට අමතරව දැන් රට පුරා ප‍්‍රහාරයට ලක් ව පවත්නා ගබ්සා කර ගැනීමේ අයිතිය ද තහවුරු කල යුතුය. අලුතින් වෛද්‍යවරුන් සහ වෙනත් සෞඛ්‍ය සේවා සම්පාදකයින් පුහුනු කිරීමේ වැඩ පිලිවෙලක් සඳහා ඩොලර් බිලියන ගනනාවක් යෙදවිය යුතුය. ඒ අනුව සියලුදෙනාගේ අවශ්‍යතාවයන්ට සේවය කරන්නාවූ නව පහසුකම් මධ්‍යස්ථාන පිහිටුවිය යුතුය. සෞඛ්‍ය සේවා වියදම් නිසා ගොඩ ගැසී තිබෙන පෞද්ගලික නය සියල්ල අහෝසි කල යුතුය.

සුරක්ෂිත විශ‍්‍රාමයක් සඳහා අයිතිය

68. තව දුරටත් වැඩ කිරීමට නොහැකි තරමට වයස්ගත වීම නිසා තම සේවා දායකයන්ට ලාබ සපයා දීමට අසමත් වූ මිලියන ගනන් විශ‍්‍රාමික කම්කරුවෝ ද වැඩිහිටියෝ ද ඇමරිකානු ධනවාදයේ කසල ගොඩට ඇද දමනු ලැබ දිලිඳුව සිටිති. වැඩිහිටියන් සඳහා වූ සමාජ සේවාවන් කප්පාදු කරන ලද තත්ත්වයන් තුල වයස්ගත දෙමාපියෝ වැඩිහිටි දරුවන්ට බරක් බවට පත්වෙති.

69. වැඩිහිටි ඇමරිකානුවන් මිලියන 7ක් එනම් පනහකින් එකක් දරිද්‍රතා කඩඉමෙන් පහතට වැටී සිටිති. මෙයට සෞඛ්‍ය සේවා වියදම් ඉහල යාමද හේතු වේ. සියයට 60ක් වැඩිහිටියෝ පන රැකගැනීම සඳහා සමාජ සංරක්ෂනය මත රැඳී සිටිති. සෞඛ්‍ය සේවා පහසුකම් නොසෑහෙන හෙයින් වැඩිහිටි කම්කරුවන්ගෙන් එන්න එන්නම වැඩිවන කොටසක් විශ‍්‍රාම ගැනීම කල්දමා යලිත් වැඩට යමින් බොහෝ විට බාල කම්කරුවන් සමග හිඟන වැටුප් සඳහා තරගයට ඇද වැටී සිටිති. වැඩිහිටි කම්කරුවෝ වයස්ගතකම මත නිරතුරුව වෙනස්කම්වලට භාජන වෙති. එවන් තත්ත්වයන් පිලිබඳ වාර්තා 2004-2009 අතර සියයට 10කින් වැඩි විය.

70. කලින් කාල පරිච්ඡේදයකදී මනා විශ‍්‍රාම වැටුප් ලබාගැනීමට සමත් වූ කම්කරුවෝ දැන් එම පහසුකම් කප්පාදු කරනු දැක ගනිති. අලුතින් රැකියාවට යන්නෝ වඩ වඩාත් අඩු පහසුකම් ලබති; නැතහොත් මොන ම පහසුකමක් වත් නොලබති. ගතවූ දශක තුන තුල විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය කපාගන්නා වාරික මත පදනම් කරනු ලැබ ඇත. (කම්කරුවන් තමන්ගේ වැටුපෙන් නිශ්චිත කොටසක් අනිවාර්යයෙන් ම සේවාදායකින්ගේ ගිනුමක තැන්පත් කල යුතු වූ) 401 කේ. සැලසුම මෙයට ඇතුලත් ය. මෙම විශ‍්‍රාම සැලසුම් වලින් කුමන පහසුකම් ලැබේ දැයි නිශ්චිතව දක්වා නැත. මේ නිසා ව්‍යාපාරික වියදම් බෙහෙවින් කැපෙන අතර ඔවුන්ට තවත් වැඩි මුදලක් මූල්‍ය සමපේක්ෂකයන්ගේ වැයික්කිය වූ කොටස් වෙලඳපලට ඇද දැමීමට ඉඩ සැලසේ.

71. සියලුම කම්කරුවන් සුරක්්ෂිත විශ‍්‍රාමයකට ඉඩ සැලසෙන විශ‍්‍රාම වැටුපකට ද ජීවිතයේ සියලු පහසුකම් සපයන්නා වූ ආදායමකටද හිමි කල යුතුය. වයස 60 දී කම්කරුවන්ට විශ‍්‍රාම යාමට ඉඩ සැලසිය යුතුය.

අධ්‍යාපනය සඳහා පහසුකම්

72. සමාජයේ සහ වැඩවල එන්න එන්නම වැඩිවන්නා වූ සංකීර්නතාවය ගුනාත්මක අධ්‍යාපනයක අවශ්‍යතාවය තහවුරු කරයි. එම තතු තුල එවන් අධ්‍යාපනයක් ලබාගැනීමේ අවස්ථාව සියලුම කම්කරුවන්ට ලබාදිය යුතුය. එහෙත් අධ්‍යාපනය මහා ප‍්‍රපාතයකට ඇද දමනු ලැබ ඇත. රට පුරාම ප‍්‍රාන්ත රාජ්‍ය සහ ප‍්‍රාදේශීය පාලන මන්ඩල අරමුදල් කප්පාදු කිරීම මගින් පොදු පාසැල් වසා තීරනාත්මක අධ්‍යාපන සැලසුම් අහෝසි කර දමති. අධ්‍යාපන අර්බුදය ගුරුවරුන් ගොදුරු කරගනී. මහා පරිමාන දොට්ට දැමීම් සේවා හා වැටුප් කප්පාදු සහ පන්ති වල ශිෂ්‍ය සංඛ්‍යාව ඉහල නැංවීම මගින් ඔවුන් මත බර පටවනු ලැබේ. සමාජ අර්බුදය පාසැල් දිරාපත්කොට එන්න එන්නම වැඩිවන ශිෂ්‍ය සංඛ්‍යාවක් පන්තිවලින් එලියට එලියට ඇද දමයි. මෙහි අනිවාර්ය ප‍්‍රතිපලය නම් සමාජයේ පොදු අධ්‍යාපන තත්වය පහත වැටීම ය.

73. පොදු පාසල් මුහුන දී සිටින්නා වූ මහා ව්‍යසනය ඇතිකරන ලද්දේ දශක තුනක් තිස්සේ අයවැය කැපීම, පාසල් සේවාවන් පුද්ගලිකකරනය කිරීම, පොදු සම්පත් ලාබ ගරන පාසැල්වලට හරවා යැවීම, "කි‍්‍රයාකාරිත්වය මත පදනම් වූ” පරීක්ෂන වැඩි කිරීම සහ වෙනත් ප‍්‍රහාර මගිනි. මේ සමග එක්ව කි‍්‍රයාත්මක කර ඇති තවත් වැඩපිලිවෙලක් නම් පාසැල් තුලට ආගමික ප‍්‍රචාරය කාන්දු කරමින් ආගම සහ රාජ්‍ය අතර වෙන්වීම අහෝසි කර දැමීමය. මේ අනුව විකාශනය, විශ්වය පිලිබඳ විද්‍යාව සහ වෙනත් විද්‍යාවන් වෙනුවට ආගම උගැන්වීම ආදේශනය කෙරේ. ඔබාමාගේ "රේස්ටුද ටොප්” (මුදුනට දුවන තරගය) ජනාධිපති බුෂ් විසින් ඩිමොක‍්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙකෙහිම සහායෙන් නීතිගත කරන ලද "නෝ චයිල්ඩ් ලෙෆ්ට් බිහයින්ඩ් ඇක්ට්” (සෑම දරුවෙකුම අත නොහැරීමේ) නම් දක්ෂිනාංශික පිලිවෙත තව දුරටත් ගැඹුරු කර ඇත. මෙම තතු තුල දිස්ති‍්‍රක්කයන් ට සිදුවී තිබෙන්නේ පෞද්ගලික පාසැල් ප‍්‍රසාරනය කරමින් ද "අඩු ප‍්‍රතිඵල සහිත පාසැල්” වල ගුරුවරුන් දොට්ට දමමින් ද පාසැල් මුලුමනින් ම වසා දමමින් ද රාජ්‍ය ආධාර මුදල් සඳහා තරග වැදීමට ය.

74. එක්සත් ජනපදයේ අධ්‍යාපනය සෑම කල්හි ම අසමානතාවය නිසා රෝගීව පැවතුනු අතර ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රසාරනය නිසා අධ්‍යාපන පහසුකම් යම් තරමක් පුලුල් කලේය. මෙයට ඇමරිකානු විප්ලවයෙන් පසු රාජ්‍ය අධ්‍යාපනය තහවුරු කිරීම ද ඇතුලත් ය. ප‍්‍රතිසංස්කාරකයෙකු වූ හොරස් මෑන් ගේ මූලිකත්වයෙන් රාජ්‍ය අනුග‍්‍රහය ලත් ඉහල අධ්‍යානය තහවුරු කරන ලදී. සිවිල් යුද්ධයෙන් පසු සමයේ දී අපි‍්‍රකානු ඇමරිකානුවන්ට ද අධ්‍යාපන පහසුකම් ලබා දෙන ලද අතර වර්න භේදය අනුව සිසුන් වෙන් කර ලීම විසිවන සියවසේ දී අවසන් කර දමන ලදී. කලින් ඇති කරන ලද මෙම ප‍්‍රතිසංස්කරන දැන් අහෝසි කරනු ලබමින් පවතී. පොදු අධ්‍යාපනයේ මෙම සමානතාවාදී අංශය දක්ෂිනාංශික දේශපාලකයින් ද ඔවුන් නියෝජනය කරන මහා සංගත ආසක්තයන් ද අතින් ප‍්‍රහාරයට ලක්වෙයි.

75. තරුන කම්කරුවෝ එක්කෝ ගාස්තු ගෙවා ගැනීමට නොහැකිව සරසවි සහ උසස් අධ්‍යාපන මට්ටමේ දී එලියට තල්ලු වෙති. නැතහොත් පුද්ගලික පන්තිවලට උග‍්‍ර ගාස්තු ගෙවීම් සඳහා ඩොලර් දස දහස් ගනන් නයට ගැනීමට ඔවුන්ට සිදු කෙරේ. අවුරුදු හතරක පාඨමාලාවකින් පසු ප‍්‍රසිද්ධ ආයතනයකින් උපාධි ලබා පිටවන ශිෂ්‍යයෙක් මත සාමාන්‍යයෙන් ඩොලර් 20,000ක නයක් පැටවේ. මේ අතර ඔවුන්ට රැකියා ලබාගැනීමට එන්න එන්නම දුෂ්කර තත්වයකට මුහුන දීමට සිදුවේ. සමස්තයක් වශයෙන් අධ්‍යාපන අංශයේ ශිෂ්‍යයන්ගේ නය ප‍්‍රමානය ඩොලර් ටි‍්‍රලියනයකට ලංවෙයි. මෙය සමස්ත ක්‍රෙඩිට් කාඩ් නයට වඩා වැඩිය. ශිෂ්‍යයන්ගේ මෙම මුලු නය ප‍්‍රමානය ම අහෝසි කල යුතුය.

76. අධ්‍යාපනයට අත ගසා ගැනීමට තිබෙන අවස්ථාව බොහෝ දුරට ආදායම් විසින් තීන්දු කරන සමාජයක් තුල සමානතාවය පිලිබඳ කෙරෙන කතාව ප්‍රෝඩාවකි. ප‍්‍රසිද්ධ සැලැස්මකට ඇතුලත් විය යුතු එක් දෙයක් නම් ඉහල වැටුප් හා පහසුකම් සහිත ගුරුවරුන් දසදහස් ගනනක් බඳවාගැනීම ද පන්ති වල ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීම ද පැරනි ගොඩනැගිලි පිලිසකර කිරීම ද අලුත් ඒවා ගොඩ නැගීම ද ඉතාම දියුනු පොත්පත් සහ අධ්‍යාපන තාක්ෂනය සපයා ඒ පාසල් සන්නද්ධ කිරීම ද වේ. සියලු දෙනාටම ඉහල අධ්‍යාපනය සැපයීම ද වැඩිහිටි කම්කරුවන්ට දිගින් දිගටම අධ්‍යාපනය සැපයීම ද වත්මන් සමාජයේ දී අත්‍යවශ්‍ය වන්නේ ය. එම පහසුකම් සියලු දෙනාටම නොමිලේ සම්පාදනය කල යුතුය.

සුවදායී හා ආරක්ෂා සහිත වාතාවරනයක් සඳහා අයිතිය

77. මානව වර්ගයාට සෞඛ්‍යමත් හා සැපවත් ජීවිතයක් සඳහා සුවදායී වාතාවරනයක් අවශ්‍ය වේ. එහෙත් සෑම තීන්දුවක් ම ලාබගැරීම මත රඳා පවත්නා සමාජයක පරිසරයේ පිරිහීම විසඳාලීම කිසිසේත් ම කල නොහැක්කකි.

78. මෙක්සිකානු බොක්ක ප‍්‍රදේශයේ තෙල් උතුරා යාමෙන් ඇතිවූ විනාශය එම මුලු මහත් ප‍්‍රදේශය තුල ආර්ථික හා පාරිසරික පදනම මුලුමනින් ම බිඳ දමා ඇත. එම ව්‍යසනය වනාහී රෙගුලාසි ලිහිල් කිරීමේ, සංගතවල වියදම් කැපීමේ සහ දැවැන්ත මහ සංගත ලාබ ගරාගැනීමට දිව යාමේ මාරක ප‍්‍රතිවිපාක පිලිබඳ සිත් කාවදින උදාහරනයකි. එක්සත් ජනපද ඉතිහාසයේ යෝධතම පාරිසරික විනාශයට මුහුන දුන් ඔබාමා පාලනාධිකාරය එම ව්‍යසනයට වගකිවයුතු වූ බි‍්‍රටිෂ් පෙට්ට්‍රෝලියම් සමාගම සියලූ වගකීම්වලින් මුදා හැරියා පමනක් නොව සියලුම වැඩ කටයුතු එම සමාගමට ම පවරා ඇත. මෙම ව්‍යසනයෙන් වහාම විපතට පත් වූවන්ට එනම් ගල්ෆ් ප‍්‍රදේශයේ කම්කරුවන් සහ කුඩා ජාවාරම් කරුවන්ට ලැබෙන වන්දි ඔවුන්ගේ ජීවන තත්ත්වයන් විනාශවීම හා සසඳන කල කිසිසේත්්ම නොසෑහෙනු ඇත.

79. නගර සහ ජලමාර්ග දූෂනය කිරීම ද වනාන්තර විනාශ කිරීම ද වෙරලාසන්න ප‍්‍රදේශ විනාශ කිරීම ද ජීව පරිසරය විනාශ කිරීම ද ඇතුලු මානව වර්ගයා මුහුන දී සිටින්නා වූ පාරිසරික විනාශයන් අතුරෙන් සමහර විටෙක වඩාත් දරුනු වන්නේ, ලෝකයේ කාලගුනය අවුල්කොට දමා කෘෂිකාර්මික නිෂ්පාදනය විනාශ කොට රෝග පැතිරීම වැඩිකොට මෙම ග‍්‍රහලෝකයේ සකල ජීවයම අනතුරේ හෙලන්නා වූ ගෝලීය උෂ්නත්වය ඉහල යාම ය. විද්‍යාඥයන්ගේ අනතුරු හැඟවීම් නොතකන ලෝකයේ ධනේශ්වර ආන්ඩු මෙම තත්වයට ප‍්‍රතිචාර දැක්වීමට අසමත්වෙති. කියොටෝ ප්‍රොටොකෝලය වැනි තත්ත්වයට නො සෑහෙන ජාත්‍යන්තර ගිවිසුම් පවා කි‍්‍රයාත්මක කල නොහැකි යයි දැන් ප‍්‍රකාශ කොට ඇත.

80. පාරිසරික මහා ව්‍යසනයට හදිසි ප‍්‍රතිචාරයක් දැක්වීමට නම් ප‍්‍රථම පියවර විය යුත්තේ ලෝකයේ මහා ගෝලීය ඉන්ධන කොම්පැනි කම්කරු පන්තියේ පාලනය යටතට ගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව පරිපාලනය කිරීමයි. ඉන්ධන හා බලශක්තිය සමාජමය අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි සහ පරිසරය ආරක්ෂා වන පරිදි නිෂ්පාදනය කිරීම සඳහා ද විකල්ප බලශක්ති සම්පත් සඳහා සහ ජන ප‍්‍රවාහනය සඳහා දැවැන්ත සමාජමය ආයෝජනයක් කිරීම සඳහා ද ප‍්‍රථම පියවර මෙය වනු ඇත. මෙම සමාගම් කම්කරු පන්තිය විසින් අත්පත් කර ගැනීම පාරිසරික ව්‍යසනයට හසුවූ ප‍්‍රදේශ පුනරුත්ථාපනය කොට මෙම ව්‍යසනයන් මගින් ජීවනෝපාය විනාශයට පත්වූ අය පුනරුත්ථාපනය කිරීම සඳහා සම්පත් ලබා දෙනු ඇත. මෙයට බි‍්‍රටිෂ් පෙට්ට්‍රෝලියම් සමාගමේ තෙල් වැගිරීමේ ව්‍යසනයට හසුවූ අය ද අයත්ය.

81. සෞඛ්‍ය සම්පන්න පරිසරයක් සඳහා කම්කරු පන්තියට පවත්නා අයිතියට සුරක්ෂිත වාතාවරනය තුල වැඩ කිරීමේ අයිතිය ද ඇතුලත්වේ. දශක ගනනාවක් තිස්සේ වියදම් කැපීම ද ආන්ඩු විසින් පරිපාලනය ලිහිල් කිරීම ද වඩ වඩාත් අන්තරායකාරී තත්ත්වයන් වැඩ පලවල් තුල නිර්මානය කර ඇත. සෑම වසරකට ම මිලියනයක් පමන ඇමරිකානු කම්කරුවන්ට වැඩපල ආතතිය නිසා ඇතිවන රෝගී තත්වයන්ට මුහුන දීමට සිදුව තිබේ. අපර් බිග් බ‍්‍රාන්ච් නම් ස්ථානයේ ඇතිවූ අවුරුදු 40 කින් මොබ භයංකර ම ගල් අඟුරු හදිසි අනතුර මගින් පතල් කම්කරුවන් 29ක් මරා දමන ලදී. ධනේශ්වර පද්ධතිය කම්කරුවන්ට සලකන්නේ ඉවත දැමිය හැකි කසල ලෙස ය. ඔවුන්ගේ මරනය හෝ ඔවුන්ට සිදුවන තුවාල ලාබ ගැරීමේ සහ පුද්ගලික ධන සමුච්චයේ නිර්දය ධාවනය හා සම කර බලනවිට කිසිදු වැදගත්කමක් නැතැයි සලකනු ලැබේ.

සංස්කෘතිය සඳහා අයිතිය

82. කලාව සහ සංස්කෘතිය භුක්ති විඳීමට ඇති අයිතිය සෞඛ්‍ය සම්පන්න සමාජයක මූලික අංගයකි. එහෙත් අන් සියලු දෑ මෙන්ම මෙය ද රුදුරු පහරට ලක්ව ඇත. ඇමරිකානු සංස්කෘතිය - සිනමාව, ටෙලිවිෂනය සහ සංගීතය, නව නිර්මාන නිසා ද බලවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා මානුෂික අධ්‍යාසය නිසා ද ආකර්ෂනීය වූයේය. අද සංස්කෘතිය ලාබ ගැරීමට යටත් කිරීම මගින් අතිමහත් විනාශයකට මග පාදා ඇත.

83. කලාව සඳහා මුදල් සම්පාදනය ද කලාත්මක ප‍්‍රකාශනයට එරෙහි දක්ෂිනාංශික දෘෂ්ටිමය ප‍්‍රහාරය ද ඇමරිකානු සමාජය පොදුවේ මෘගත්වයට ලක් වීම ද තුලින් සංස්කෘතිය පරිහානිගතව ඇත. බොහෝ පොදු පාසැල් වලින් කෞතුකාගාර, සංගීත පර්ෂද, නාට්‍ය ශාලා, රූපවාහිනිය, සහ ගුවන් විදුලියට රාජ්‍යයෙන් ලැබෙන ආධාර මුදල් කපා දමා ඇත. කලාව සහ සංගීතමය අධ්‍යාපනය දරුනු ලෙස සීමා කොට නැතිනම් මුලුමනින් ම අහෝසි කොට දමා ඇත. පුස්තකාල කාලය ද සේවාවන් ද කපා දමා ඇත. අධ්‍යාපන අරමුදල් කැපීමට පාසැල් පුස්තකාල ද හසුවී තිබේ. මහා සංගතවලට අයිති වූ මාධ්‍ය ආන්ඩුවේ ද මහ ධනපතියන්ගේ ද හොරනෑ ලෙස කි‍්‍රයාකරමින් පොදු වාතාවරනය දූෂනය කරමින් බොරු වගුරුවයි. මෙවන් කෑදර මුග්ධ ප‍්‍රවිෂ්ටයක් තුලින් සමාජයේ සදාචාර සහ බුද්ධිමය ව්‍යුහයට කැරෙන විනාශය නොමිනිය හැකි ය.

84. කලාව සහ සංස්කෘතිය කරා ලංවීමට සකල වැඩ කරන ජනතාවට හැකි කිරීම සඳහා පොදු අරමුදල් විශාල වශයෙන් වෙන් කල යුතුය. නව පාසැල් සංගීත රංගන හා නාට්‍ය මධ්‍යස්ථාන නිර්මානය කොට ඒවාට ඉතා සුලු වියදමකින් හෝ නොමිලයේ හෝ ලංවීමට මග පෑදිය යුතුය. කලාවන් සඳහා ආධාර මුදල් ලබා දීම පිලිබඳ තීන්දු දේශපාලකයින් හා නිලධාරින්ගෙන් ඉවතට ගෙන කලාකරුවන් හා සංගීතඥයන් සහ වෙනත් සංස්කෘතික කි‍්‍රයාකාරීන් අත තැබිය යුතුය.

මතු සම්බන්ධයි