කැනඩාව මහා සමාජ අරගල අබියස

Canada on the brink of mass social struggles

5 May 2011

මැයි 2 දා පැවති මැතිවරනයේ දී ස්ටීවන් හාර්පර් සහ ඔහුගේ කොන්සර්වෙටිව් පක්ෂය බහුතර ආන්ඩුවක් බවට ප‍්‍රවාලනය කිරීම මගින්, කැනේඩියානු පාලක ප‍්‍රභූව එලිදරව් කර ඇත්තේ, සිය එල්ලය විසි වන සියවසේ බොහෝ කාලයක් තිස්සේ අත්විඳ නැති ආකාරයක පන්ති පීඩනයේ කොන්දේසිවලට කම්කරුවන් බලාත්කාරයෙන් ඇද දැමීම බවයි.

කැනඩාව, එක්සත් ජනපදය හා සෙසු ප‍්‍රධාන කාර්මික රටවල් මෙන් ම, පුපුරනසුලු පන්ති අරගලවල අබියස පවතී. මැතිවරන ප‍්‍රතිඵල මගින් පෙන්නුම් කෙරෙන පරිදි, ධනේශ්වරයේ සමාජ ප‍්‍රතිගාමිත්වයේ වැඩපිලිවෙලට ඡන්දදායකයන්ගෙන් බහුතරයක් විරුද්ධය. දැන් කොන්සර්වෙටිව් පක්ෂයට කැනේඩියානු නියෝජිත මන්තී‍්‍ර මන්ඩලයේ ආසනවලින් සියයට 54ක් පවතින නමුත් තථ්‍ය වසයෙන් ගත් කල ඔවුන් දිනාගෙන ඇත්තේ ඡන්දදායකයන්ගෙන් හතරෙන් පංගුවකට අඩු ප‍්‍රමානයක සහයෝගයයි.

හාර්පර් දිනා ගත් ඡන්ද පදනම් වූයේ දේශපාලනික වංචාවක් මතය -- එනම්, ප‍්‍රගතිශීලී කොනසර්වෙටිව් පක්ෂයේ ඉතිරිපහදු දැඩි දක්ෂිනාංශික ප‍්‍රතිසංස්කරන/කැනේඩියානු සන්ධානය සමග එක්වීමේ ප‍්‍රතිඵලයක් වූ කොන්සර්වෙටිව් පක්ෂය මධ්‍යස්ථ මතධාරී ය යන්නයි. හාර්පර්ගේ පිලිවෙත්වල ස්වභාවය පිලිබඳ අනතුරු ඇඟවීම් "සැඟවුනු න්‍යාය පත‍්‍රයක්” පිලිබඳ කුමන්ත‍්‍රන න්‍යායක් ලෙස නොතකා හරින ලදි.

කෙසේවෙතත්, කැනේඩියානු පාලක පන්තිය හාර්පර්ගේ ප‍්‍රතිගාමී න්‍යාය පත‍්‍රය සඟවන්නේ නැත, එය ලැජ්ජා විරහිත ලෙස පාරට්ටු කිරීමේ යෙදී සිටී.

කැනේඩියානු මහ ව්‍යාපාරිකයෝ "පවත්වාගෙන යා නොහැකි” යයි කියනු ලබන කැනඩාවේ පොදු මහජන සෞඛ්‍ය රක්ෂන සැලසුම වන මෙඩිකෙයා වැඩපිලිවෙල බිඳවිසුරුවා දැමිය යුතු යයි කෑ මොර ගැසීමක යෙදී සිටිති. කැනඩා බැංකුවේ හිටපු අධිපතියකුගේ සම-කර්තෘත්වයෙන් යුක්තව මෑත දී නිකුත් කරන ලදුව, සංගත මාධ්‍ය විසින් වහාම අනුමත කරනු ලැබූ, වාර්තාවකට අනුව, මෙඩිකෙයා "නිදන්ගත වියදම් කිරීමේ රෝගයකින් පෙලෙමින්” සිටී. එයින් ආවරනය වන කොටස තියුනු ලෙස කප්පාදු කිරීම සහ පුද්ගලීකරනය යන පියවර දෙකේ සංකලනයකින්, සෞඛ්‍ය සේවාව සැපයීමේ වගකීම රාජ්‍යයේ සිට පුද්ගලයන් හා ඔවුන්ගේ පවුල් මතට මාරු කිරීමට නියමිතය.

සූදානම් කෙරෙමින් පවතින ප‍්‍රහාරයන්ගේ පරිමාව කැනේඩියානු ධනේශ්වරයේ සැලසුම් මගින් පමනක් නොව, ජාත්‍යන්තරව නිවේදනය කර ඇති එවන් කප්පාදු මගින් ද එලිදරව් කෙරෙයි. සියලුම පැරනි කාර්මික බලවතුන්ගේ රටවල, ධනේශ්වරය 2008 මූල්‍ය කඩාවැටීමට හා ගෝලීය ආර්ථික පරිහානියට ප‍්‍රතිචාර දක්වා ඇත්තේ, පසුගිය ශත වර්ෂයේ දී දැවැන්ත සමාජ අරගල මගින් මහ ව්‍යාපාරිකයන් වෙතින් කම්කරුවන් උදුරා ගත් සමාජ ප‍්‍රතිලාභවල ඉතිරිව පවතින සියල්ල විනාශ කිරීමට උත්සාහ කිරීම මගිනි.

යුරෝපය තුල, මහජන අරමුදල්වලින් ගෙවන ලද බැංකුවලට ඇපදීම් කම්කරුවන් මත රුදුරු සමාජ කප්පාදු පැටවීම පිනිස කඩතුරාවක් ලෙස පෙන්නුම් කෙරෙන තතු යටතේ, මෙම කප්පාදුවලට ප‍්‍රතිඵලයක් ලෙස ගී‍්‍රසියේ කම්කරුවන්ට සිය ආදායමෙන් සියයට 30ක් අහිමි වන බව වාර්තා වන තතු යටතේ, යුරෝ මුදලේ බිඳවැටීම පිලිබඳ සාකච්ඡාවක් වැඩෙමින් පවතී.

එක්සත් ජනපදය තුල, ඩොලර් ටි‍්‍රලියන ගනනක් කිසිදු ප‍්‍රශ්නයක් විමසීමකින් තොරව, වෝල් වීදියේ අපරාධකරුවන්ට භාර දීමෙන් පසුව, මහ ව්‍යාපාරික පක්ෂ දෙකම මෙඩිකෙයා සහ සමාජ සංරක්ෂන විශ‍්‍රාම වැඩපිලිවෙල පෙර නොවූ විරූ කප්පාදුවලට ලක් කිරීමට සූදානම් වෙති.

කැනේඩියානු ධනවාදය ද එම න්‍යාය පත‍්‍රය ම අතැතිව සිටින අතර, එහි ආස්ථානයෙන් ගත් කල, ලාභ, වෙලඳ පොලවල් හා මූලෝපායික ආනුභාවය සඳහා ගෝලීය තරගය තුල තමන් ඉදිරියට යාමට නම්, වෙනත් ආකාරයකින් කි‍්‍රයා කල නොහැකිය. කෙසේවෙතත්, මෙයින් අදහස් කෙරෙන්නේ, දකුනේ සිටින සිය නොහික්මුනු ඇමරිකානු ඥාති සොහොයුරාට සාපේක්ෂව වඩා කාරුනික හා වඩා ශිෂ්ඨසම්පන්න ලෙස මවා පෑමට කැනේඩියානු ප‍්‍රාග්ධනයට හැකිව තිබු කාල පරිච්ඡේදයේ අවසානයයි.

ලෝක ධනපති ක‍්‍රමයේ සිදු වන භූචලනාත්මක වෙනස්කම්, සිය ලාභ ඉහල දමාගැනීම සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග පවතින සමීප සබඳතා නිසා තමන්ට ලැබී ඇති මූලෝපායික වාසි පවත්වා ගෙන යාම පිනිස සමාජ ප‍්‍රතිගාමිත්වය හා යුද්ධය දෙසට කැනේඩියානු පාලක පන්තිය තල්ලු කරමින් සිටී.

කැනේඩියානු අධිරාජ්‍යවාදය එක්සත් ජනපදයේ ගෝලීය ආධිපත්‍යය ඛාදනයට ලක්වීමට ප‍්‍රතිචාර දක්වා ඇත්තේ, කැනේඩියානු සන්නද්ධ හමුදාවන් (සීඒඑෆ්) ප‍්‍රසාරනය හා යලි සන්නද්ධ කිරීම මගිනි. සීඒඑෆ් වර්තමානයේ දී ඇෆ්ඝනිස්ථානයට හා ලිබියාවට එරෙහි යුද්ධවල මූලික කි‍්‍රයාකලාපයක් ඉටු කරයි. කැනේඩියානු ප‍්‍රාග්ධනයේ වඩාත්ම බලගතු කොටස්වල ඉල්ලීමට අනුව, හාර්පර්, මහාද්වීපික ආරක්ෂක පරිමිතියක රූපයෙන් වොෂිංටනය සමග වඩා සමීප නිත්‍ය හවුල්කාරිත්වයක් සඳහා සාකච්ඡා පැවැත්වීමට ඉහලම ප‍්‍රමුඛත්වයක් දී තිබේ.

තම න්‍යාය පත‍්‍රයට විරුද්ධත්වය එල්ල වන බව පාලක ප‍්‍රභූව හොඳින් දනී. නිදසුනක් ලෙස, කැනේඩියානු පුවත්පත්, මෙඩිකෙයා සඳහා පවතින මහජන සහයෝගය පිලිබඳව පැමිනිලි කරන විවරනවලින් පිරී තිබේ. එයට ප‍්‍රතිචාරයක් වසයෙන්, කැනඩාවේ වාර්තාගත පුවත්පත වන ග්ලෝබ් ඇන්ඩ් මේල් හාර්පර්ගේ මුරන්ඩුකම -- එනම්. මහජන මතය නොතකා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් තලා දැමීමට ඇති ඔහුගේ සූදානම -- පිලිබඳව ඔහුට ප‍්‍රශංසා කලේය.

හාර්පර්ගේ මුරන්ඩුකම පිලිබඳව වඩාත්ම වැදගත් නිදසුන නම්, 2008 දෙසැම්බරයේ දී විශ්වාසභංග යෝජනාවක් පිලිබඳ ඡන්ද විමසීමක දී පරාජය මගහැරීමත් ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් යුක්ත සභාග ආන්ඩුවකින් සිය ආන්ඩුව විස්ථාපනය වීම වැලැක්වීමත් පිනිස ඡන්දයෙන් තේරී පත් නොවූ අග‍්‍රාන්ඩුකාරවරයාගේ අත්තනෝමතික බලතල ඔහු විසින් යොදාගනු ලැබීමයි. ධනවත්කමෙන් ලෝකයේ දහහත් වන ස්ථානයේ සිටිතැයි කියා සිටින ඩේවිඩ් තොම්සන්ට අයත් ග්ලෝබ් සහ කැනේඩියානු ප‍්‍රාග්ධනයේ සියලු වඩාත්ම බලගතු කොටස් මෙම ව්‍යවස්ථාමය කුමන්ත‍්‍රනයටත් එමගින් තමන් නුසුදුසු යයි සලකන ආන්ඩුවක් බලයට පත්වීම වැලැක්වීමටත් සහයෝගය දුන්හ.

මෙම න්‍යාය පත‍්‍රය පාලක පන්තිය කම්කරු පන්තිය සමග ගැටුමකට යොමු කරන අතර දේශපාලන න්‍යාය පත‍්‍රය මත විප්ලවවාදී අරගල තබයි.

මේ සම්බන්ධයෙන් ගත් කල, පොලීසිය හේතුවක් නැතිව සිය ගනනක් අත් අඩංගුවට ගත් හා සාමකාමී විරෝධතාකරුවන්ට ප‍්‍රචන්ඩ ලෙස පහර දුන්, පසුගිය ජූනි මස පැවති ටොරොන්ටෝහි ජී-20 සමුලූව පැවැත්වෙද්දී හාර්පර් ආන්ඩුව කි‍්‍රයාවට දැමූ රාජ්‍ය ප‍්‍රකෝපකරනය නව අර්ථයක් ගනී. හාර්පර්ගේ සගයා වන ටොරොන්ටෝ නගරාධිපති රොබ් ෆෝර්ඩ් සිය පුද්ගලීකරන සැලසුම් ඉදිරියට තල්ලු කරනු පිනිස වර්ජන බිඳින්නන් යොදා ගැනීමට සූදානම් වේ. ටොරොන්ටෝහි දිනපතා පත‍්‍රවල, ”ප‍්‍රන්ස ශෛලියේ” මහජන විරෝධතා සඳහා සූදානම් වීම ගැන සාකච්ඡා කෙරෙයි.

කම්කරු පන්තිය මුහුන දෙන කේන්ද්‍රීය දේශපාලන ගැටලුව නම් දේශපාලන නායකත්වයේ අඩුවයි. වත්මන් මැතිවරනයේ දී, හාර්පර්ගේ වැඩපිලිවෙලට එරෙහි මහජන වෛරය ගත්තේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී එන්ඩීපී වෙත ලබා දුන් සැලකිය යුතු මට්ටමක විරෝධතා ඡන්දයක රූපයයි. එය, මේ වන තෙක් එයට තනි මන්තී‍්‍රවරයකු සිටි ක්විබෙක් ප‍්‍රාන්තය තුල ආසන 57ක් ද ඇතුලුව, අමතර ආසන 64ක් දිනාගෙන, සිවු වන ස්ථානයේ සිට නිල විපක්ෂය දක්වා ඔසවා තැබුනි.

කෙසේවෙතත්, එන්ඩීපී, කම්කරු පන්තියේ වැඩෙන දේශපාලනික අතෘප්තියේ ප‍්‍රතිලාභියා වීමට මුලුමනින්ම නුසුදුසු ය. වෘත්තීය සමිති නිලධරයේ පක්ෂය වන එන්ඞීපී කම්කරු පන්තිය දේශපාලනිකව යටපත් කිරීමේ උපකරනයකි.

ලොව පුරා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ මෙන්, එන්ඩීපී දිගු කලකට ඉහත දී සිය ප‍්‍රතිසංස්කරනවාදී වැඩපිලිවෙල පවා අතහැර දැමුවේය. මීට වසර දෙකකට වඩා මඳ කලකට පෙර, ඇෆ්ඝනිස්ථානයේ යුද්ධය ගෙනයාමට ද සිය ප‍්‍රථම මූලධර්මය ලෙස ”මූල්‍යමය වගකීම” සහිත හාර්පර්ගේ සංගත බදු කප්පාදු පිලිවෙත කි‍්‍රයාවට දැමීමට ද කැප වූ ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් යුක්ත සභාග ආන්ඩුවක කනිෂ්ඨ හවුල්කරුවා ලෙස සේවය කිරීමට එය සූදානම් විය.

මේ දැන් අවසන් වූ මැතිවරනය සඳහා එය ඉදිරිපත් කල වැඩපිලිවෙල තුල, එය කොන්සර්වෙටිව් පක්ෂයේ කාල සටහනට අනුකූලව අයවැය හිඟය පියවීමට පොරොන්දු වූ අතර ධනවතුන්ගෙන් අය කරන බදු වැඩි නොකිරීමට ද මිලිටරි වියදම්වල වත්මන් මට්ටම -- මූර්ත අගයෙන් ගත් කල දෙවන ලෝක යුද්ධයෙන් පසු මේ වන තෙක් පැවති ඉහල ම මට්ටම -- පවත්වා ගෙන යාමට ද යෝජනා කලේය.

ලොව වටා කම්කරු පන්තිය මෙන් ම, කැනඩාවේ කම්කරු පන්තිය ද අරගලයට තල්ලු කෙරෙන අතර ධෛර්ය සම්පන්නව හා දෘඩතරව සටන් වදිනු ඇත. එහෙත්, එයට ජයග‍්‍රහනය ලැබීමට නම්, පසුගිය දශක තුනේ අත්විඳි පරාජයන්ට වඩා දැවැන්ත ප‍්‍රතිවිපාක පවා ගෙන එන පරාජයන් වලක්වා ගැනීමට නම්, එය ධනපති ලාභ ගරන ක‍්‍රමය ප‍්‍රතික්ෂේප කිරීම මත පාදක වූ නව ඉදිරිදර්ශනයක් ද ලොව වටා සියලු කම්කරුවන්ගේ පොදු අවශ්‍යතාවන් ද සිය අරගලයේ පදනම බවට පත් කර ගත යුතු ය.

කැනඩාවේ සමාජවාදී සමානතා පක්ෂය කම්කරු පන්තිය තුල මෙම ඉදිරිදර්ශනය සඳහා අරගලය සිය අතිමූලික කර්තව්‍යය ලෙස පිහිටුවා ගනී. වැඩපොලවල් වැසීමට හා සමාජ කප්පාදුවලට එරෙහි කම්කරු පන්තියේ බොහෝ අරගල, ලාභ මත නොව සමාජ අවශ්‍යතා මත ආර්ථික ජීවිතය පදනම් කරන, කම්කරුවන්ගේ ආන්ඩුව, කැනඩාව තුල හා ජාත්‍යන්තරව, බලයට ගෙන ඒමේ එල්ලය සහිත, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් තුලට ඒකාබද්ධ කල යුතුය.

කීත් ජෝන්ස්