ඔසාමා බින් ලාඩ්න් ඝාතනය: ඔබාමාගේ "ඉතිහාසගත මොහොත"

The killing of Osama bin Laden: Obama’s “historic moment”

4 May 2011

මැයි 01 දින රාත‍්‍රියේ සිදුවූ සදාචාරාත්මකව අශුද්ධ සිදුවීම් මාලාවකින් පැනනැගි සියලු ප‍්‍රතිරූපයන් අතරින් වඩාත්ම දේශපාලනිකව අර්ථභාරී යයි ද චිරාත්කාලීන යයි සිතාගත හැකි වූ ද චිත‍්‍රය නම් ඔසාමා බින් ලාඩ්න් සහ කාන්තාවක් ද ඇතුලු තවත් මනුෂ්‍යයන් කිහිපදෙනෙක් අමුඅමුවේ මරාදැමීම නරඹමින් ජනාධිපති බැරක් ඔබාමා ද උප ජනාධිපති ජෝසෆ් බිඩන් ද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ද ආරක්ෂක ලේකම් රොබට් ගේට්ස් ද ඇමරිකා එක්සත් ජනපද ආන්ඩුවේ වෙනත් ඉහල නිලධාරීන් ද ධවල මන්දිරයේ තත්ත්ව නිරීක්ෂක මැදිරියේ ඈඳිගෙන සිටි ආකාරයයි.

සාමාන්‍යයෙන්, නිල මිනීමැරුමක් බලා සිටින අයගේ ඡායාරූප ගන්නා සිරිතක් නැත. එහෙත් ධවල මන්දිරයට පැහදිලිව ම උවමනා වී තිබුනේ මතු පරපුර සදහා මෙම "ඉතිහාසගත මොහොත" ඡායාරූප ගත කිරීමට ය. මෙම මුර්ග අවස්ථාවට සහභාගිවූ සියලු දෙනාගේ දෑස් - කොම්පියුටරයේ වැඩකරමින් සිටි මිලිටරි නිලධාරියාගේ හැරනු විට - පැහදිලිව ම ඇලී තිබුනේ රූපවාහිනී තිරයට බව පෙනුනි. ඉදිරියට නැමී සිටි ඔබාමා ගල්ගැසුනාක් මෙන් ඒ දෙස බලා සිටියේය. එවැනි මෙහෙයුම් පිලිබඳව ඕනෑ තරම් පලපුරුද්දක් අත්තකුගේ ඇඹුල් මුහුනින් ගේට්ස් බලා සිටියේ ය. තම දෑස් ඉදිරිපිට දිගහැරෙන දෙයෙහි භයංකර බව නොදැනුවත්ව ම පෙන්වමින් හිලරි ක්ලින්ටන් තම මුව දකුනතින් වසා සිටියා ය.

බින් ලාඩ්න් ඝාතනය කිරීමෙන් අනතුරුව ධවල මන්දිරය හා මාධ්‍ය ඇත්ත වසයෙන්ම නීති විරෝධී වූ රාජ්‍ය මිනීමැරුම පිලිබඳ උත්සව සංවිධානය කිරීමට වහවහාම වැඩට බැසගත්තෝ ය. 01 දින මැදියම් රැයේදී බින් ලාඩ්න් ඝාතනය ජාතියට දැනුම් දීමට ජනාධිපතිවරයා ධවල මන්දිරයේ ඊස්ට් රූම් තෝරා ගත්තේය.

මෙම මිනීමැරුම සම අනන්‍යවීගැනීමට මෙතරම් වියරුලෙස උනන්දු වූ ඔබාමා මෙය තමාගේ ජනාධිපතිත්වයේ ”නීර්නක මුහුර්තය” යයි නිසැකව ම විස්වාස කරයි. එසේ වුවුද මාධ්‍ය විසින් ඉමහත් උනන්දුවෙන් අනුමත කරනු ලැබූ මෙම සංකල්පය එක්සත් ජනපදයේ ආන්ඩුවේ දේශපාලන සහ සදාචාරාත්මක තත්වය පිලිබඳව පවසන්නේ කුමක් ද?

බින් ලාඩ්න්ගේ ඝාතනය පිලිබඳ නිවේදනයෙන් පසුව එලඹි - වඩාත් නිවැරුදිව කිවහොත් මාධ්‍ය විසින් වාර්තා කරන ලද සහ හුවාදක්වන ලද - දසුන් ජුගුප්සා ජනක ද නින්දා සහගත ද වේ. ලොස් ඇන්ජලීස්හි පැවති 1984 ඔලිම්පික් තර ග අවමානයට පත් කල ක‍්‍රීඩා ප‍්‍රචාරකයන්ගේ තුච්ච ස්වෝත්තමවාදය මගින් අවුස්සාලන තෙක් ඇමරිකාව තුල දැකගත නොහැකිවූ "එක්සත් ජනපදය! එක්සත් ජනපදය!" යන ජපකිරීම පසුගිය වසර විසිපහ තුල ප‍්‍රසිද්ධ බලියාගයක් බවට පත්ව ඇත. ඇත්ත වසයෙන්ම දේශපාලන පසුගාමීත්වයේ එවන් ප‍්‍රදර්ශනවලට සම්බන්ධ වූයේ ඉතා ටික දෙනෙක් පමනි. එහෙත් මාධ්‍ය විසින් ඒවා වාර්තාකොට පෝෂනය කරනු ලබන්නේ මහජනයා බියගැන්වීමටත්, විවේචනාත්මක චින්තනය මැඩපැවැත්වීමට සහ තමන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර ප‍්‍රතිපත්ති හා සදාචාරාත්මක තිරසරබව පාවාදීමට සූදානම් නැති සියලූ දෙනා අතර දේශපාලන සහ සංවේදනාත්මක හුදකලාවක් පිලිබඳ මනෝගතියක් වගා කිරීමටත් ය.

දැන් වනවිට, ඇමරිකා එක්සත් ජනපදයේ ජනමාධ්‍ය වැටී තිබෙන තැන විස්තර කිරීමට වචන නැත. බින් ලාඩ්න් ඝාතනයට දැක්වෙන ප‍්‍රතිචාරය යලි වරක් හෙලිදරව් කරන්නේ, ප‍්‍රවෘත්ති සහ ප‍්‍රචාරය අතර වෙනස මකා දමා ඇති තරමයි. මාධ්‍ය ජාලයන් ඔබාමාගේ කතාව බලාපොරොත්තුවෙන් සිටින අතරතුරේ දී, දිගහැරෙන සිද්ධීන් පිලිබඳව සීඑන්එන් මාධ්‍ය ජාලය ගෙනගිය "වගකිවයුතු” ප‍්‍රචාරය පිලිබඳව එයට ප‍්‍රශංසා කරන පනිවුඩයක් ධවල මන්දිරයෙන් ලැබී ඇතැයි සීඑන්එන් පුවත් ජාලයේ ප‍්‍රධාන නිවේදකයා වන වුල්ෆ් බ්ලිට්සර් තම ශ‍්‍රාවකයට කල දැනුම්දීම ඔහු නොසිතූ පරිද්දෙන් එලිදරව්කාරී විය. බැරෑරුම් මාධ්‍යවේදියෙක් විසින් නම් ලජ්ජාවෙන් සැලකිය යුතු වූ මෙම පැසසුම බ්ලිට්සර් වාර්තා කලේ ඉමහත් ආඩම්බරයෙනි.

03 දින නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මුල් පිටුවේ පහත සඳහන් සිරස්තලය "බින් ලාඩ්න් දඩයමට පිටුපසින්”දැවැන්ත අකුරින් පල විය: ඊට යටින් ආ ලිපිය පා ලෙවකන වර්ගයේ ප‍්‍රචාරයකි. එහි මෙසේ සඳහන් විය: "බුද්ධි අංශයේ වැරදීම් මාලාවක් පිලිබ`දව ගතවූ දශකය පුරා දැවෙන විවේචන විඳීමට සිදුව සිටි බුද්ධි අංශ ප‍්‍රජාවට බින් ලාඩ්න් ඝාතනය එක්තරා ඉස්පාසුවක් ලබා දී ඇත. මුස්ලිම් රටවල් තුල අමාරු යුද්ධ දෙකක් තුලින් ගමන් කොට දැන් යුද්ධ තුනක පැටලී සිටින මිලිටරියකට බින් ලාඩ්න් ඝාතනය තනිකර සාර්ථකත්වයක් ලබා දී ඇත. එසේම, ජාතික ආරක්ෂාව සපයා දීමේ ලා තම නායකත්වය ප‍්‍රශ්නයට බඳුන්ව තිබෙන ජනාධිපතිවරයෙකුට ස්ථම්භක සිද්ධියක් වූ අතර එය ඉතිහාස පොත්වලට ඇතුල්වනු ඇත.”

සිදුවීම් පිලිබඳව ඔබාමා පාලන තන්ත‍්‍රයේ වාර්තාව විසින් මතුකර ඇති ප‍්‍රතිවිරෝධතා හා පිලිතුරු නැති ප‍්‍රශ්න සම්භාරයක් විමර්ශනය කිරීම කෙසේ වෙතත් පැහැදිලිව ම නීති විරෝධී වූ පකිස්ථානයට ඇතුලුවීම සහ මිනීමැරුම ම පිලිබඳ විචාරාත්මක පරීක්ෂනයක් තිබුනේ ම නැත. බින් ලාඩ්න් මරා දමන විට රයිෆලයක් අතැතිව සිටියේය යන මුලින් කරන ලද කියාපෑම, ඔහුට වෙඩි තබන විට සිටියේ නිරායුධව යැයි 03දා පලවූ වාර්තාව මගින් බොරු කරන ලදී.

ද ටයිම්ස් පුවත්පතේ ප‍්‍රධාන කතුවැකිය ඊටත් වඩා සැනකෙලිවත් ය. එය මෙසේ ඇරඹෙයි: "ඇමරිකානු භටයින් ඔසාමා බින් ලාඩ්න් සොයාගොස් මරා දැමුවේය යන ප‍්‍රවෘත්තිය අප ද සියලු ඇමරිකානුවන් ද තුල ඉමහත් සහනයක් ඇති කලේ ය.”

ද ටයිම්ස් පුවත්පත "සියලූ ඇමරිකානුවන්” වෙනුවෙන් කතා කරන්නේය යන උපකල්පනය අහේතුක ය; එපමනක් නොව දශක ගනනාවක් තිස්සේ සැඟවී සිටියා වූ ද හා ලෝකය පුරාම පාහේ පිලිගත් පරිදි, සිද්ධීන් හැසිරවීම තබා සැලකිය යුතු බලපෑමක් කිරීමට හෝ හැකියාවක් නැති මිනිසෙකුගේ මරනය "සහනයක්” ඇති කරන්නේ කෙසේද? එක්සත් ජනපදය විසින් පුද්ගලයකු නීති විරෝධීව ඝාතනය පිලිබඳ දුරදිග යන සහ දිගුකල් පවත්නා ප‍්‍රගාඪ මනස්තාපය බින් ලාඩ්න්ගේ මරනයෙන් අත්වන "සැනසීම” නිසා හීනවී යා යුත්තේ මක් නිසා ද? බින් ලාඩ්න් ඝාතනය සිදුවූයේ, ලිබියානු නායකයා ඝාතනය කිරීමට දැරූ අසාර්ථක ප‍්‍රයත්නයකදී මුවමර් ගඩාෆිගේ පුතෙකු හා මුනුපුරන් තිදෙනෙකු එක්සත් ජනපදය හා නේටෝව විසින් මරාදැමීමෙන් හරියටම දිනකට පසුව බව සටහන් කිරීමට ටයිම්ස් පුවත්පත අසමත් වීම මවිතයට කරුනක් නොවේ.

මාධ්‍ය, බින් ලාඩ්න් ඝාතනයේ "ඉතිහාසගත” අර්ථභාරය ගැන පුන පුනා දොඩවති. කෙසේ වෙතත්, මෙම සිදුවීම ඇත්තවශයෙන්ම එවන් අනුස්මරනීය වැදගත් කමක් දරන්නේ මන්දැයි හරියටම විස්තර කිරීමට ඒවා අසමත් වී ඇත. බින් ලාඩ්න්ගේ මරනය එක්සත් ජනපදය නිරතව සිටින යුද්ධවලට හා ආක‍්‍රමනවලට අවසන් තිත තැබීමක් වනු ඇතැයි ඔබාමා වත් මාධ්‍ය වත් සඳහන් කොට නැත. ඔවුන් කර ඇත්තේ හරියට ම එහි පරිපූර්න ප‍්‍රතිවිරුද්ධයයි. ඉහතින් උපුටා දක්වන ලද කතුවැකියේ ම නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත මෙසේ කියා ඇත: "අපට දැන් ටිකක් පහසුවෙන් හුස්ම ගත හැකි වුවත්, අප එලෙස ම සිහිපත් කරගත යුතු කරුන නම් අන්තවාදීන්ට එරෙහි සටන නිමා කිරීමට තවත් බොහෝ දුර ඇති බවයි.” වෙනත් වචනවලින් කිවහොත්, යුද්ධ දිගින් දිගටම පවතිනු ඇත. බින් ලාඩ්න්ගේ තැනට තවත් ව්‍යාජ සතුරෙකු ඉක්මනින්ම සොයා ගනු හෝ නිපදවනු ඇත.

මැයි දිනයේ මිනීමැරුම විස්තර කිරීමෙහිදී "ඉතිහාසගත” යන පදය දුෂ් පරිහරනය කිරීම හුදෙක් මාධ්‍යවේදී අතිශයෝක්තියට උදාහරනයක් නොවේ. එය, ඉතිහාසයේ දිශාවනතිය නොහික්මුනු ප‍්‍රචන්ඩත්වය මගින් තීන්දු කල හැකිය යන ඇමරිකානු පාලක පන්තිය තුල පවතින මංමුලාසහගත විශ්වාසය පිලිබිඹු කරයි.

එහෙත් ඉතිහාසයේ චලනය හැඩ ගැසී ඇත්තේ, ඇමෙරිකානු මිලිටරියට වඩා බෙහෙවින් බලගතු ආර්ථික හා සමාජයීය සන්තතීන් මගිනි.

ඇමරිකානු ධනවාදයේ අනිවාරනීය ජරපත්වීම අඛන්ඩව සිදුවෙමින් තිබේ. පසුගිය දශක දෙක අතරතුර කෙලවරක් නැති මිලිටරි මැදිහත් වීම් හා යුද්ධ මාලාවක් ගෙනගිය ද පාලක පන්තියට එක්සත් ජනපදයේ ගෝලීය ආර්ථික තත්වය ප‍්‍රකෘතිමත් කිරීමට හැකිවී නැත. බින් ලාඩ්න් ඝාතනය කිරීමට පෙර සතිය තුල එක්සත් ජනපද ඩොලරය ඓතිහාසික ප‍්‍රපාතයකට ඇද වැටුනේය.

ඇමරිකානු ධනවාදය මහා අවපාතයෙන් මෙපිට දරුනුම ආර්ථික අර්බුදයේ තවමත් එරී සිටී. ඇමරිකාවේ මධ්‍යම ආන්ඩුව බංකොලොත්කමේ මුවවිට සරමින් පවත්නා අතර ප‍්‍රාන්ත රාජ්‍යවල සම්පත් හිඟ කම හාමතක තත්වයට පත්ව ඇත. සමාජ යටිතල ව්‍යුහය බිඳ වැටෙමින් පවතී. කෑදරකම, දූෂනය හා සුපිරි-ධනවතුන්ගේ පරපුටුකම පෙර කවරකලකටත් වඩා මහජන වෛරයට පාත‍්‍රව ඇත. එහෙත් දේශපාලන පද්ධතිය ආර්ථික සහන හා සමාජ ප‍්‍රතිසංස්කරන සඳහා වන මහජන ඉල්ලීම්වලට ප‍්‍රතිචාර දැක්වීමෙහිලා අසමත්ය.

ඇමරිකානු ජනාධිපති හා මාධ්‍යය විසින් මීට පෙර "ඉතිහාසගත” යැයි සැලකෙවුනු සිදුවීම් - එයින් මෑතකම ඒවා අතරට සදාම් හුසේන් අල්ලා ගැනීම ද ඇතුලත්ය - මෙන්ම මෙම සිද්ධිය ද එයම මතුවී ඒමට තුඩුදුන් තකතිරු තීන්දුවල ම පෙර නොදක්නා ලද ප‍්‍රතිවිපාක මගින් ඉක්මනින්ම යටපත් කර දැමෙනවා ඇත. ඉතා ඉක්මනින්ම, ඔබාමාගේ "ඉතිහාසගත මොහොත” ඇමරිකානු පාලක පන්තියේ දේශපාලනික, ආර්ථික හා සදාචාරමය පරිහානිගත වීමේ තවත් බඩදඟලන ජවනිකාවක් පමනක් බව සනාථ කෙරෙනු ඇත.

ඩේවිඩ් නෝර්ත්