එක්සත් ජාතීන්ගේ වාර්තාව ශ‍්‍රී ලංකා ආන්ඩුවේ යුද අපරාධ විස්තර කරයි

UN report details Sri Lankan government war crimes

By Sarath Kumara, 4 May 2011

වාර්තාව, ශී‍්‍ර ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන මාසවල දී සිදු කල මිලිටරි ප‍්‍රහාර මානුෂික මෙහෙයුමක් බවත් සිවිල් ජනයා මරනයට පත්නොවූ බවටත් කෙරෙන කොලඹ ආන්ඩුවේ ප‍්‍රකාශයට බලවත් පහරකි.

ශ‍්‍රී ලංකාව තුල සිදු වුනු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පරීක්ෂා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි-මූන් පත් කල විශේෂඥ මඬුල්ල කොලඹ ආන්ඩුවේ කටුක විරුද්ධත්වය තිබිය දී ම අපේ‍්‍රල් 25 වන දා සිය වාර්තාව ප‍්‍රකාශයට පත් කලේ ය. දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි සිවිල් යුද්ධය අවධියේ කෙරුනු යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ආන්ඩුව සහ මිලිටරිය වගකිව යුතු බවට කලින් නිකුත් කෙරුනු විධායක මන්ඩල ප‍්‍රකාශයේ දී එලඹුනු නිගමන සනාථ කෙරෙන ප‍්‍රබල සාක්ෂි සම්පූර්න වාර්තාවෙන් ඉදිරිපත් කෙරේ.

පිටු 196කින් සමන්විත වාර්තාව යුද්ධයේ අවසන් මාස තුල සිදු කෙරුනු මිලිටරි ආක‍්‍රමන හමුදාව සිවිල් වැසියන් ඝාතනය නොකල "මානුෂීය මෙහෙයුමක්” යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ කරන ප‍්‍රකාශවලට එල්ල වන දැඩි පහරකි. වාර්තාව සැලකිල්ලට ගෙන ඇත්තේ එල්ටීටීඊය ප‍්‍රධාන නගරවලින් පලවා හැර දිවයිනේ උතුරු-නැගෙනහිර වෙරල තීරයේ පිහිටි කුඩා ප‍්‍රදේශයක් තුලට කොටු කල 2008 සැප්තැම්බර් මාසයත් එල්ටීටීඊය පරාජයට පත් වූ 2009 මැයි මාසයත් අතර කාලයයි.

එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් මෙරටට පැමිනීම හෝ රජයේ නිලධාරීන් හෝ මිලිටරි නායකයින් සමග සම්මුඛ සාකච්ඡාවන්ට ඉඩ දීම රාජපක්ෂ ආන්ඩුව ප‍්‍රතික්ෂේප කලේ ය. එහෙත්, එක්සත් ජාතීන් සහ එහි නියෝජිත ආයතන, අනෙක් ජාත්‍යන්තර සහන සහ මානව හිමිකම් ආයතන, මාධ්‍යය සහ පුද්ගලයන් ඇතුලු විවිධ මූලාශ‍්‍රවලින් ලැබුනු සම්මුඛ සාකච්ඡා, වාර්තා, විඩියෝ පට සහ ඡායාරූප හරහා සැලකිය යුතු තොරතුරු රැස් කර ගැනීමට කමිටුව සමත් විය. චන්ද්‍රිකා මාර්ගයෙන් යුද කලාපය පරීක්ෂා කිරීමේ අවස්ථාව ද එය සතු විය.

ආන්ඩුව දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍යය යුද කලාප තුලට පිවිසීම වැලැක්වූ බැවින් චිත‍්‍රය අසම්පූර්න ය. සුරක්ෂිත භාවය සහතික කල නොහැකි යැයි 2008 සැප්තැම්බරයේ දී ආන්ඩුව ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසුව යුද පෙරමුනු ආසන්නයේ හෝ එල්ටීටීඊ පාලනය යටතේ පැවති ප‍්‍රදේශ තුල කටයුතු කිරීමෙන් බොහෝ සහන සංවිධාන ද වලකනු ලැබින. යුද්ධයේ අවසන් මාසවල දී කොටු වුනු එල්ටීටීඊ ප‍්‍රදේශය තුලට රැගෙන යාමට ඉඩ සලසා දී තිබුනේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙන් සහ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන කිහිපයකින් රැගෙන ගිය සීමිත සැපයුම් ප‍්‍රමානයකට පමනකි.

මිලිටරි මෙහෙයුම්වල තීරනාත්මක සන්ධිස්ථානයක් වූයේ මාස ගනනාවක් තිස්සේ අධිෂ්ඨාන සහගත ප‍්‍රතිරෝධයක් පෑ එල්ටීටීඊයේ පරිපාලන මධ්‍යස්ථානය වූ කිලිනොච්චිය ඇද වැටීම යි. අලිමංකඩ සහ මුලතිව් ඇතුලු වන්නි ප‍්‍රදේශය තුල පිහිටි සියලු ප‍්‍රධාන නගර සහ මූලෝපායාත්මක ස්ථාන වහ වහා අල්ලා ගත් වඩා විශාල වූත් වඩා හොඳින් සන්නද්ධ වූත් මිලිටරි බලය හමුවේ එල්ටීටීඊයේ සටන් ශක්තිය හීන වී ගියේ ය.

එල්ටීටීඊ භටයින් ද සියදහස් ගනන් සිවිල් වැසියෝ ද මුලතිව්වලට උතුරින් පිහිටි වඩ වඩාත් පටු වෙමින් තිබුනු වෙරලබඩ බිම් තීරුවක් තුල කොටු වූහ. එල්ටීටීඊ පාලනය යටතේ පැවති ප‍්‍රදේශය තුල අවස්ථා තුනක දී යුද මුක්ත කලාප ප‍්‍රකාශයට පත් කල ආන්ඩුව සහ මිලිටරිය "සිවිල් වැසියන්ට උපරිම ආරක්ෂාව සැපයීම සඳහා ආරක්ෂක හමුදා පූර්න ලෙස කැප වී සිටින්නේ යැ”යි කියා සිටියේ ය. ආරක්ෂා කිරීම කෙසේ වෙතත් මිලිටරිය නිර්දය ලෙස මෙම ප‍්‍රදේශවලට ගුවන් සහ කාල තුවක්කු බෝම්බ ප‍්‍රහාර එල්ල කරද්දී දහස් ගනනක් සිවිල් වැසියෝ ඝාතනයට ලක් වූහ.

මුලතිව්වලට උතුරින් කිලෝමීටර ගනනාවක ප‍්‍රදේශයක් ආවරනය කරමින් පලමු යුද මුක්ත කලාපය නිවේදනය කෙරුනේ 2009 ජනවාරි 20 වන දා ය. එක්සත් ජාතීන්ගේ මධ්‍යස්ථානයක් සහ සහන බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් එහි ස්ථාපනය කරනු ලැබුන ද ඒවා ද විගසින්ම ප‍්‍රහාරයට ලක් විය.

කමිටු වාර්තාව මෙසේ පැහැදිලි කලේ ය: "ජනවාරි 24 වන දා අලුයම් යාමයේ යුද මුක්ත කලාප තුලට ෂෙල් වෙඩි වරුසාවක් ඇද හැලින. බංකරවලට යා ගත හැකි වූ අය ආරක්ෂාව පතා ඒවා තුලට වැදී ගත් නමුත් බොහෝ අවතැන් වූවන්ට බංකර නොතිබුනු බැවින් ආරක්ෂාව සලසා ගැනීමට කිසි තැනක් නො වී ය. ජනයා උදව් ඉල්ලා කෑ ගැසූහ, විලාප නැගූහ.”

කලාපය තුල සිටි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක නිලධාරියෙකු මෙහෙයුම භාරව සිටි ආඥාපතිවරයා ඇතුලු මිලිටරි ප‍්‍රධානීන්ට දුරකථනයෙන් කතා කොට ෂෙල් වෙඩි ප‍්‍රහාර නතර කරන ලෙස ඉල්ලූ නමුත් ඉන් පලක් නො වී ය. එක්සත් ජාතීන්ගේ නිලධාරීන් සිය බංකරවලින් එලියට ආ විට, "බොහෝ කාන්තාවන් සහ ලමුන් ද ඇතුලු තැලී පොඩි වී ගිය සිරුරු සහ සිරුරුවල කොටස් ඔවුන් හාත්පස විසිරී තිබින.”

ජනවාරි 25 වන දා රතු කුරුස කාර්ය මන්ඩලය සමග යුද මුක්ත කලාපය හැර ගිය එක්සත් ජාතීන්ගේ කාර්ය මන්ඩලය තමන් දුටු දේ මෙසේ විස්තර කලහ: "යුද මුක්ත කලාපය තුල පුදුකුඩිඉරිප්පු දක්වා දිවෙන ඒ 35 මාර්ගය දිගේ දකින්නට ලැබුනු දර්ශනය මහා විනාශයන්ගෙන් එකකි. ගහ කොල පවා සුනු විසුනුවී තිබුනි. සුන් බුන්වූ වාසස්ථාන, විසිරී ගිය තම බඩු බාහිරාදිය ද සමග මරනයට පත් වුනු හෝ දරුනු තුවාල ලැබූ සිවිල් වැසියන් මිය ගිය සතුන් අතරෙහි මග දෙපස වැටී සිටියා. හානියට පත් වාහන සිය ගනනක් ද මග දෙපස තිබුනා.”

පැහැදිලිව සලකුනු කර තිබුනු රෝහල් පවා ප‍්‍රහාරවලින් නොගැලවින. ජනවාරි 20 වන දා රෝගීන් ගනනාවක් ඝාතනය කරමින් යුද මුක්ත කලාපය තුල පිහිටා තිබුනු වල්ලිපුනම් රෝහලට ෂෙල් වෙඩි එල්ල විය. එම කලාපයේ ම පිහිටා තිබුනු උදයාර්කඩ්ඩු රෝහලට ජනවාරි 24 වන දා ප‍්‍රහාර එල්ල විය. ජනවාරි 29 සහ පෙබරවාරි 4 අතරතුර දී පුදුකුඩිඉරිප්පු රෝහලට දිනපතා බෝම්බ හෙලුනු අතර, කාර්ය මන්ඩලය සහ රෝගීන් ඝාතනය කරමින් අවම වශයෙන් ඍජු ප‍්‍රහාර නවයක් වත් එල්ල විය.

වෙරල තීරයේ කිලෝමීටර 12ක ප‍්‍රදේශයක් ආවරනය කරමින් පෙබරවාරි 12 වන දා මිලිටරිය දෙවන යුද මුක්ත කලාපයක් ප‍්‍රකාශයට පත් කලේ ය. පෙබරවාරි 6 වන දා සිට දැඩි ලෙස බෝම්බ හෙලා තිබුනු එම ප‍්‍රදේශය තුලට සිවිල් වැසියන් - පිරිමින්, ගැහැනුන් සහ ලමයින් - 300,000කට වැඩි පිරිසක් කොටු කෙරුනු බවට එක්සත් ජාතීන් ගනන් බැලී ය.

යුද මුක්ත කලාපය නිවේදනය කෙරුනු පසුව ද ප‍්‍රහාර එල්ල කිරීම නොකඩවා දිනපතාම සිදු විය. එක්සත් ජාතීන්ගේ වාර්තාව උදාහරන කිහිපයක් ගෙන හැර දක්වයි: මාර්තු 25 වන දා අම්බලාවන්පොක්කනෙයි ගම්මානය මතට මල්ටි බැරල් රොකට් විදිනයකින් එල්ල වුනු ප‍්‍රහාරවලින් බොහෝ ලමුන් ද ඇතුලු 140ක් ජනයා ඝාතනයට ලක් වූහ. අම්බලාවන්පොක්කනෙයිහි කිරිපිටි බෙදා හැරි ස්ථානයක පෝලිම් ගැසී සිටි කාන්තාවන් සහ ලමයින් විශාල පිරිසකට 2009 අපේ‍්‍රල් 8 වන දා ෂෙල් වෙඩි ප‍්‍රහාර එල්ල විය.”

පුදුමාතලන්හි, මුල්ලිවයික්කාල්හි සහ වෙල්ලාමුලිවයික්කාල්හි පැවති තාවකාලික රෝහල ද වෙඩි ප‍්‍රහාරයට ලක් විය. රෝහල්වල තත්ත්වය බියජනක විය. පුදුමාතලන් රෝහලෙහි පැවති තත්ත්වය වාර්තාව මෙසේ විස්තර කරයි: "අංග ඡේදනය කිරීම්වලින් විශාල ප‍්‍රමානයක් සිදු කෙරුනේ නිර්වින්දකවලින් තොරව, සැත්කම් පිහි වෙනුවට මන්නා යොදාගනිමින් ය. වෙලුම් පටි ලෙස යොදා ගැනුනේ සනීපාරක්ෂක තුවා සහ කපු රෙදි ය. දරුනු ලෙස තුවාල ලැබ ගස් යට වැතිර සිටි රෝගීන් මතට ගස්වල එල්ලෙමින් තිබුනු අතුනුබහන්වල ස‍්‍රාවය වැගිරින.”

අපේ‍්‍රල් 27 වන දා ආන්ඩුව වඩාත් කුඩා තුන් වන යුද මුක්ත කලාපයක් ප‍්‍රකාශයට පත් කලේ ය. ඒ වන විට 170,000කට ආසන්න ජනයා ආන්ඩුවේ පාලනය යටතේ පැවති ප‍්‍රදේශය තුලට පලා ගොස් සිටියහ. එහෙත් නිසි ආහාර, ජලය හෝ වෛද්‍ය ප‍්‍රතිකාර නොමැතිව, නොඉවසිය හැකි කොන්දේසි යටතේ එකට ගුලි වුනු සිවිල් වැසියන් 100,000ක් පමන කලාපය තුල තව මත් රැඳී සිටි බවට ගනන් බලා තිබුනි. එසේ වුව රැඳී සිටින්නේ සිවිල් වැසියන් 10,000ක් පමනකැයි ආන්ඩුව ව්‍යාජ ලෙස කියා සිටි අතරතුර මිලිටරිය හිතාමතා ම හදිසි සැපයුම් සීමා කලේ ය.

එක්සත් ජාතීන්ගේ වාර්තාව මෙසේ පැවසී ය: "තුන් වන යුද මුක්ත කලාපය තුල ඉඩකඩ මඳකම නිසා සතර අතින් එල්ල වුනු ෂෙල් වෙඩිවලින් බේරී සැඟවෙන්නට තැනක් සිවිල් වැසියන්ට නො වී ය.... බොහෝ දෙනෙකු මිය ගිය අතර, මරන වාර්තාගත නොකෙරුනු අතර බංකර යටම ඔවුන් වැලලී ගියේය.” තුවාල ලැබූවන් කරා ලඟා වනු වස් ප‍්‍රහාර නතර කරන්නැයි වෛද්‍යවරුන් සහ ඉතිරිව සිටි ප‍්‍රධාන පරිපාලන නිලධාරීන් යලි යලිත් ඉල්ලා සිටිය ද ඉන් පලක් නො වී ය. මැයි 18 වන දා අවසන් වුනු යුද්ධයේ අවසන් දින කිහිපය "සිතා ගත නොහැකි තරමේ මානව ව්‍යසනයක්” විය.

ෂෙල් වෙඩි ප‍්‍රහාර බෙහෙවින් තීව‍්‍ර වුනු හෙයින් රෝගීන් ඉවත් කර ගැනීමටත් හදිසි සැපයුම් ගොඩ බෑමටත් යුද මුක්ත කලාපය වෙත ලඟා වන්නට රතු කුරුස නෞකාවලට නොහැකි විය. මැයි 14 වන දා අවසන් තාවකාලික රෝහල වසා දැමූ ඉතිරිව සිටි වෛද්‍යවරු ආන්ඩුවේ පාලනය යටතේ පැවති ප‍්‍රදේශයකට මාරු වූ අතර, කලින් මිලිටරියේ අපරාධ පිලිබඳව මාධ්‍යයට දැනුම් දීම සම්බන්ධයෙන් වහා අත් අඩංගුවට ගනු ලැබූහ.

එල්ටීටීඊය මිලිටරි පරාජයකින් පමනක් නො ව දේශපාලන බිඳ වැටීමකින් ද පීඩා විඳි බව එක්සත් ජාතීන්ගේ වාර්තාව තහවුරු කලේ ය. වඩා පුලුල් ලෙස මෙරට සහ ජාත්‍යන්තර කම්කරු පන්තියට ආයචනය කරනු තබා දෙමල මහජනතාව වෙත වත් කිසිදු ආයචනයක් කිරීමට අසමත් වූ එල්ටීටීඊය සිය අනසක ක‍්‍රියාත්මක කිරීම සඳහා කලේ යලිත් මර්දනය ආරම්භ කිරීම යි. එල්ටීටීඊ ප‍්‍රදේශය හැර යන සිවිල් වැසියන් වැලකූ එහි සටන්කරුවෝ අවසන් සතිවල ආරක්ෂාව පතා පලා යාමට උත්සාහ දැරූවන්ට වෙඩි තැබූහ. වයස 14 තරම් ලමුන් පවා බලයෙන් හමුදාවට බඳවා ගත් එය සිය උපාය මාර්ගික ආරක්ෂක ඉදි කිරීම් ගොඩ නැගීම සඳහා බලාත්කාරී ශ‍්‍රමය යොදා ගත්තේ ය.

පරාජය ඉතා පැහැදිලි බව පෙනී ගියවිට සටන් විරාමයක් සඳහා තැරැව්කරුවෙකු සොයා "ජාත්‍යන්තර ප‍්‍රජාවට” නිරර්ථක ආයචන කරනු විනා යුද්ධයේ අවසන් මාසවල දී එල්ටීටීඊයට කල හැකි අන් කිසිවක් නො වී ය. කෙසේ වුව ද එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ඉන්දියාව ඇතුලු මෙකී ජාත්‍යන්තර ප‍්‍රජාව ඇතැම් අවස්ථාවල දී ආයුධ, පුහුනුව සහ සහාය සපයමින් රාජපක්ෂ ආන්ඩුවට සහ එහි සාපරාධී යුද්ධයට උදව් දී තිබුනේ ය.

එක්සත් ජාතීන්ගේ වාර්තාව ආන්ඩුව සිදු කල පුලුල්ව පැතිර ගිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් ද සටහන් කලේ ය. "ආරක්ෂිත එල්ටීටීඊ නිවාස” යැයි කියැවුනු ස්ථාන වනසා දැමීම සඳහාත් යුද්ධය විවේචනය කලවුන් නිහඬ කිරීම සඳහාත් මිලිටරිය ක‍්‍රමානුකල මෙහෙයුම් ක‍්‍රියාවට නැංවී ය. සුදු වෑන් යොදා ගනිමින් ක‍්‍රියාත්මක වුනු එහි ඝාතක කල්ලි සිය ගනන් පැහැර ගැනීම් සහ නීති විරෝධී ඝාතන සිදු කලේ ය. මෙම ක‍්‍රියාවන් සම්බන්ධයෙන් අති විශේෂ පොලිස් කාර්ය බලකායට චෝදනා එල්ල වී ඇත. මානව හිමිකම් ක‍්‍රියාකාරීන් සහ පුවත්පත් කලාවේදීන් ඇතුලු "එල්ටීටීඊ සැකකරුවෝ” අල්ලා, නඩු විභාගයකින් තොරව රඳවා තබා ගෙන, ඇතැම් අවස්ථාවල දී වධබන්ධනවලට ද ලක් කරනු ලැබුනහ.

අවසන් මිලිටරි ප‍්‍රහාරයෙන් දිවි ගලවා ගත් දෙමල සිවිල් වැසියෝ 280,000ක් පමන ආහාර, ජලය සහ නිසි පහසුකම්වලින් තොර මිනිසුන්ගෙන් පිරී ඉතිරී ගිය මිලිටරිය විසින් පවත්වා ගෙන ගිය රැඳවුම් කඳවුරු තුල ගාල් කරන ලදහ. ඒවා පවත්වා ගෙන ගියේ සිර කඳවුරු ලෙසිනි. ප‍්‍රශ්න කිරීම සඳහා තරුනයන් සහ තරුනියන් තෝරා තනි කොට රැගෙන ගිය අතර, "එල්ටීටීඊ සැකකරුවන්” යයි සැලකුන අය "යලි අධ්‍යාපනය” ලබා දීම සඳහා රහසිගත, විශේෂ කඳවුරුවලට යවනු ලැබුනහ. ඇතැම් තරුනියෝ දූෂනය කරන ලද අතර අනෙක් අය මරා දැමුනි.

රටේ සහ එහි මිලිටරියේ කීර්තිය කෙලෙසීම සඳහා දරන "ජාත්‍යන්තර කුමන්ත‍්‍රනයක” කොටසක් යැයි පවසමින් රාජපක්ෂ ආන්ඩුව එක්සත් ජාතීන්ගේ වාර්තාව හෙලා දැක ඇත. කෙසේ වුව ද එය යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ සවිස්තරාත්මක චෝදනාවලින් එකක් වත් නිෂ්ප‍්‍රභා කර නැත.

වාර්තාවේ එන සවිස්තරාත්මක තොරතුරු චෝදනා පිලිබඳව පරීක්ෂා කරන ලෙස මෙම අපරාධවලට වගකිවයුත්තන්ගෙන් ම - ආන්ඩුවේ සාමාජිකයන්ගෙන් ම ඉල්ලා සිටින එහි නිර්දේශවලට පටහැනි ය. ආන්ඩුව සහ උසාවි ද ඇතුලු විවිධ රාජ්‍ය ආයතන ආරක්ෂක හමුදා කල අපරාධ ක‍්‍රමානුකූලව වසං කර ඇති බවට වාර්තාවෙන් සාක්ෂි රැසක් සැපයේ. ආන්ඩුවේ උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධානය පිලිබඳ කොමිසම යනු සිය සාපරාධී යුද්ධය යුක්ති සහගත කිරීම ඉලක්ක කර ගත් විකට නාටකයකි.

වාර්තාවේ නිගමනවල බෙලහීන ස්වභාවය ගලා එන්නේ ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ පිලිබඳ පරීක්ෂනයක් සඳහා ප‍්‍රධාන වශයෙන් එක්සත් ජනපදය සහ යුරෝපා කොමිසම කරන උද්ඝෝෂනයේ දේශපාලන ස්වභාවයෙනි. රාජපක්ෂගේ යුද්ධයට සහාය දුන් වොෂින්ටනය "මානව හිමිකම් ප‍්‍රශ්නය” යොදා ගෙන නරුම ලෙස උත්සාහ දරමින් සිටින්නේ චීනය මත පමනට වඩා යැපෙන්නෙකු යැයි තමන් සලකන වත්මන් කොලඹ ආන්ඩුව තුලින් තමන්ට දේශපාලන ලීවරයක් සකසා ගැනීමට ය.

වාර්තාව නිකුත් කිරීමේ දී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි-මූන් ප‍්‍රකාශ කර සිටියේ ශ‍්‍රී ලංකාව ඇතුලු කවර සාමාජික රාජ්‍යයක් හෝ අන්තර්-ආන්ඩු සංවිධානයක් කරන ඉල්ලීමක් මත සිය නිර්දේශ පිලිබඳව පියවර ගන්නා බව යි. එක්සත් ජනපදය සහ බි‍්‍රතාන්‍යය දැනට මත් වාර්තාවට සිය සහාය පල කර ඇති අතර, රාජපක්ෂ ආන්ඩුවෙන් වාසි ඩැහැ ගැනීම සඳහා වාර්තාවේ සොයා ගැනීම් යොදා ගනු ඇති බවට කිසිදු සැකයක් නැත.