ලිබියාව "නිදහස් කර ගැනීම”

The “liberation” of Libya

22 October 2011

හිටපු පාලක මුවම්මර් ගඩාෆිට අත්තනෝමතික මරන දන්ඩනය පැමිනවීමෙන් පසුව, නේටෝවේ පිටුබලය ලබන ලිබියාවේ ජාතික අන්තර්වාර මන්ඩලය (එන්ටීසී), රට "නිදහස් කර ගැනීම” සම්පූර්න කලැයි නිවේදනය කිරීමට පේ වෙමින් සිටී.

එන්ටීසී සභාපති ද ගඩාෆිගේ හිටපු අධිකරන ඇමති ද වන මුස්තාෆා අබ්දෙල් ජලීල් පැවැත්වීමට නියමිත කතාවෙන් උත්සවශ‍්‍රීයෙන් සමරන්නට යන්නේ, ලිබියානු ජනතාව නිදහස් කර ගැනීම නො ව, විජිතවාදී කාල පරිච්ඡේදය කරා කාලය ආ පස්සට හැරවීමේ එල්ලය ඇතිව කල යුද්ධයකින් ප‍්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් ලද ජයග‍්‍රහනය යි.

එම ජයග‍්‍රහනය අත්පත් කර ගන්නා ලද්දේ, රටේ යටිතල පහසුකම්වලින් බොහොමයක් සුන්බුන් බවට පත් කලා වූ ද දහස් ගනන් ලිබියානු පිරිමින්, ගැහැනුන් සහ ලමයින් මරනයට සහ තුවාලවලට ගොදුරු කලා වූ ද නේටෝ බෝම්බ ප‍්‍රහාර මාලාවකිනි. එහි අවසන් පරිච්ඡේදයෙන්, එනම් වෙරලබඩ සර්ත් නගරය රුදුරු ලෙස වට ලෑමෙන් සහ ගඩාෆි, ඔහුගේ පුත‍්‍රයා සහ ඔහුගේ තන්ත‍්‍රයේ හිටපු සාමාජිකයන් ඝාතනය කිරීමෙන් අවධාරනය වන්නේ සමස්ත ව්‍යාපෘතියේ සාපරාධිත්වය පමනකි.

ලිබියාවෙහි යුද්ධය ගෙන ගියේ "මානුෂීය” අරමුනු ඇතිව ය, එනම් ගඩාෆි තන්ත‍්‍රයෙන් ලිබියානු සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා ය යන ව්‍යාජ මවා පෑම මෙම අපරාධවලින් මුලුමනින් ම එලිදරව් වේ. එක්සත් ජනපද-නේටෝ මැදිහත් වීම සැලසුම් කලේ සිවිල් ජන මධ්‍යස්ථානයකට එල්ල කිරීමට යන ලේ වැකි ප‍්‍රහාරයක් වැලැක්වීම සඳහා යැයි කියනු ලැබුන ද, මුලුමනින් ම ඊට සමාන ලේ වැකි ප‍්‍රහාරයක් එල්ල කරමින් සිටි "කැරලිකාර” හමුදාවකට, නේටෝව සර්ත්හි දී ගුවන් ආරක්ෂාව ලබා දුන්නේ ය.

ආරම්භයේ සිට ම යුද්ධය පැවතී ඇත්තේ, නිශ්චිත භූ මූලෝපායික සහ ආර්ථික අවශ්‍යතා සපුරා ගැනීමේ අටියෙන් එක්සත් ජනපදය සහ බටහිර යුරෝපා බලවතුන් මෙහෙය වූ, පාලන තන්ත‍්‍ර වෙනසක් සඳහා වන යුද්ධයක් ලෙස ය. ගඩාෆි පාලානාධිකාරිය සමග සැලකිය යුතු මට්ටමේ තෙල්, යටිතල පහසුකම් සහ අවි ගනුදෙනු තීන්දු කර ගෙන සිටි, මධ්‍යධරනී ප‍්‍රදේශයෙහි ප‍්‍රධාන බලශක්ති නිෂ්පාදක රටක් වන ලිබියාව තුල බටහිර ආධිපත්‍යයට අභියෝග කරමින් සිටි චීනය සහ රුසියාව තීරනාත්මක ලෙස පසු බස්වමින් පහරක් එල්ල කිරීම, ඔවුන්ගේ යුද අරමුනුවලින් එකක් විය.

ගඩාෆි පෙරලා දැමීම තුල නේටෝ බලවතුන් දුටුවේ-බීපී, කොනොකෝෆිලිප්ස්, ටෝටල් සහ ඊඑන්අයි වැනි-ප‍්‍රධාන බටහිර බලශක්ති සංගත ලවා ලිබියාවේ තෙල් සහ ගෑස් සංචිත මත වඩ වඩා දැඩි පාලනයක් පිහිටුවා ගැනීම පිලිබඳ අපේක්ෂාව සාක්ෂාත් වීම යි. බටහිරට හා නැගෙනහිරට කම්පන තරංග විහිදුවමින් ටියුනීසියාවෙහි හා ඊජිප්තුවෙහි හට ගත් මහජන නැගිටීම්වලින් කැලඹුනු කලාපය තුල මිලිටරි බලය තහවුරු කර ගැනීමේ උපක‍්‍රමයක් ලෙස, ටි‍්‍රපොලියෙහි මුලුමනින් ම යටහත් අනුග‍්‍රාහක තන්ත‍්‍රයක් අටවා ගැනීම ගැන ද ඔවුහු කල්පනා කලහ.

ටි‍්‍රපොලියෙහි සහ බෙන්ගාසියෙහි හැඩ ගැසෙමින් පවතින පාලන තන්ත‍්‍රය වූකලි මැරයන්, බටහිර රහස් ඔත්තු සේවාවල "සම්පත් දායකයන්” සහ රට යලි විජිතකරනය කිරීම සඳහා තම සේවාවන් පිරිනැමූ දූෂිත හිටපු ලිබියානු නිලධාරීන් ආධිපත්‍යය දරන පාලානාධිකාරයක් වනු ඇත. "නිදහස” සහ "ප‍්‍රජාතන්ත‍්‍රවාදය” ඈඳා ගත් මෙම නීච ව්‍යවසාය සමග පෙල ගැසී ගත හැක්කේ, යුරෝපා සහ ඇමරිකානු ඊනියා "වමෙහි” සිටින සදාචාරාත්මකව සහ දේශපාලනිකව වඩාත් ම දූෂිත කොටස්වලට පමනකි.

නිව් යෝක් ටයිම්ස් සහ වොෂින්ටන් පෝස්ට් දෙපුවත්පත සිකුරාදා ගඩාෆි ඝාතනයට ප‍්‍රතිචාර දැක්වූයේ, ලිබියාව තුල එක්සත් ජනපද ආධිපත්‍යය තහවුරු කර ගැනීමට වොෂින්ටනය උනන්දු කරන කතුවැකි පල කරමිනි. ඝාතනය "ලිබියාවේ පරිනාමනයේ අවසානය ලෙස නො ව ආරම්භය ලෙස දැකිය යුතු යැ”යි පෝස්ට් පුවත්පත ලීවේ ය. ලිබියාවේ තෙල් ධනයට "එක්සත් ජනපද ආරක්ෂක හමුදා පුහුනු මෙහෙයුමකට මිල ගෙවිය” හැකි යි සඳහන් කල කතුවැකිය, එක්සත් ජනපදය "නායකත්වය ගත” යුතු බවට තර්ක කලේ ය. ලිබියාව "ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආන්ඩුවක් යටතේ ස්ථාවර වීම, අරාබි මැද පෙරදිග තුල නැගෙමින් පවතින වඩා පුලුල් පරිවර්තන රල පෙල නිදහසට පක්ෂපාතීන් දෙසට හරවා ගැනීමට උදව් විය හැකි යැ”යි ද එය සඳහන් කලේ ය. මෙහි දී "නිදහස” යන වචනය යොදා ගැනෙන්නේ, එක්සත් ජනපද විදේශ ප‍්‍රතිපත්තිය සාම්ප‍්‍රදායිකව එය යොදා ගන්නා ආකාරයෙන් හෙවත් ඇමරිකානු ආධිපත්‍යය යටතේ සිටීම අඟවනු පිනිස ය.

"සල්ලිවලට වඩා-තෙල්වලට පින් සිදු වන්නට ලිබියාව පොහොසත්-ලිබියාවට අවශ්‍ය වනු ඇත්තේ දිගු කාලීන තාක්ෂනික උපදෙස් සහ පූර්න කාලීන සබැඳියාව යැ”යි නිව් යෝක් ටයිම්ස් අනුශාසනා කලේ ය. එවන් "උපදෙස්” තුල, ලිබියාවේ තෙල් කොන්ත‍්‍රාත්තුවල කොන්දේසි නැවත ලිවීම ඇතුලත් වනු ඇති බවට කිසිදු සැකයක් නැත.

"කැරලිකාර” භටකායන් දුසිම් ගනනක් සිටීම පිලිබඳවත්, බිම සිට අහසට විදින මිසයිල ඇතුලු ලිබියාවේ අවි සංචිත විසුරුවා හැරීම පිලිබඳවත් සඳහන් කනස්සලෙන් යුතු ඡේද කතුවැකි දෙකෙහි ම අඩංගු වේ. මෙය, එක්සත් ජනපද-නේටෝ මිලිටරි මැදිහත් වීම දිගින් දිගට පවත්වා ගෙන යාම සඳහා වහෙන් ඔරෝ බාසාවෙන් බොරු හේතුවක් සැපයීමකි.

මුවම්මර් ගඩාෆි කුරිරු ලෙස මරනයට පත් වීම වනාහි වොෂින්ටනය එලිපිට ඉල්ලා සිටි රාජ්‍ය ඝාතනයකි. ගඩාෆි සර්ත්වලින් පලා යමින් සිටි රථ පෙලට, නේටෝ යුද ගුවන් යානාවලින් සහ එක්සත් ජනපද නියමුවන් රහිත ප‍්‍රහාරක යානාවකින් ප‍්‍රහාර එල්ල කොට, ඔහු "කැරලිකරුවන්ගේ” අනුකම්පාවට අත හැරෙන්නට පැය 48කට ඔන්න මෙන්න තියා ටි‍්‍රපොලියට ගුවනින් ගිය රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, බලයෙන් පහ කෙරුනු ලිබියානු රාජ්‍ය නායකයා හැකි ඉක්මනින් "අල්ලා ගත” යුතු හෝ "ඝාතනය කල” යුතු යැයි ඉල්ලා සිටියා ය.

නසාර්වාදයෙන් ආවේශය ලද ගඩාෆි, 1969 දී තරුන නිලධාරීන්ගේ කුමන්ත‍්‍රනයකට නායකත්වය දුන්නේ ය. තම මරනය සිදු වන්නට බොහෝ කලකට පෙර ම, ඔහු විප්ලවවාදී ජාතිකවාදයේ සියලු ඉඟි අත හැර දමා තිබින. ඔහු බලය අල්ලා ගත් ඒ මුල් කාලයෙහි, මහා විජිත-විරෝධී ව්‍යාපාරය සමග බැඳුනු ජාතික සහ සාමාජීය න්‍යාය පත‍්‍රයක් ප‍්‍රකාශයට පත් කරමින්, රටවල් ගනනාවක ම ලිබියාවෙහි වැනි ජාතිකවාදී තන්ත‍්‍ර බලයට විත් තිබින.

ලිබියාවේ දී මෙම න්‍යාය පත‍්‍රයට ඇතුලත් වූයේ, එක්සත් ජනපද සහ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට මුලුමනින් ම යටහත්ව සිටි ඉද්රිස් රජුගේ දූෂිත රාජාන්ඩුව පෙරලා දැමීම, අප‍්‍රිකා මහාද්වීපයෙහි පැවති විශාලතම එක්සත් ජනපද මිලිටරි මධ්‍යස්ථානය වූ වීලස් ගුවන් කඳවුර වසා දැමීම, විදේශීය තෙල් සමාගම් සමග වඩා බැරෑරුම් කේවෙල් කිරීම්වල යෙදී ගැනීම සහ වෙලඳ කටයුතු අත්හිටුවීම ඇතුලු ක‍්‍රම හරහා අවියක් ලෙස තෙල් යොදා ගැනීමට ඔපෙක් සංවිධානයට බල කිරීම යි.

1969 දී, ගඩාෆි ඝාතනය කිරීම හෝ පෙරලා දැමීම සඳහා රහසිගත ක‍්‍රියාවන්හි යෙදීමට අනුමැතිය ඉල්ලා බල කිරීමට, එවක ජාතික ආරක්ෂක උපදේශකව සිටි හෙන්රි කිසිංගර් මෙහෙයවූයේ මෙම ප‍්‍රතිපත්තිය යි.

අනෙක් සියලු ම රැඩිකල් ජාතිකවාදී පාලකයන් මෙන් ගඩාෆි ද, රට තුල සමාජ අරගල මැඩ ලීම සඳහා මර්දනයේත් ප‍්‍රතිසංස්කරනවලත් මුසුවක් යොදා ගන්නා ගමන් අධිරාජ්‍යවාදය සහ සෝවියට් ස්ටැලින්වාදී නිලධරය අතර තුලනය වෙමින්, ජාත්‍යන්තර සංග‍්‍රාම භූමියෙහි උපාමාරු දැමීමට වැඩි ඉඩක් අත් කර ගැනීම සඳහා උත්සාහ කලේ ය. 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීම, ලිබියාව සහ ඒ සමාන තන්ත‍්‍ර අධිරාජ්‍යවාදී බලවතුන්ගේ අනුග‍්‍රහය ඉල්ලා බඩ ගාන තත්ත්වයකට පත් කලේ ය.

2003 දී, එනම් එක්සත් ජනපදය ඉරාකය ආක‍්‍රමනය කිරීමෙන් පසුව, අල් කයිඩාවට එරෙහි ගෝලීය කුරුස යුද්ධයේ දී සීඅයිඒ සංවිධානය සමග සහයෝගී වන ගමන්, න්‍යෂ්ටික අවි අත්පත් කර ගැනීම සඳහා කිසිදු අභිලාෂයක් නැතැයි ඒ චෝදනා ප‍්‍රතික්ෂේප කරමින් සහ ත‍්‍රස්තවාදය හෙලා දකිමින්, ලිබියාව බටහිර සමග සම්බන්ධතා යථා තත්ත්වයට පත් කර ගැනීමකට උත්සාහ කලේ ය. ගඩාෆි මෙම මග ගත් විට, වොෂින්ටනය සහ බටහිර යුරෝපයෙහි සියලු ප‍්‍රධාන බලවත්තු, තෙල් ගනුදෙනුවලට, අවි කොන්ත‍්‍රාත්තුවලට සහ වෙනත් වාසිදායක ගිවිසුම්වලට ගඩාෆි නම්මා ගැනීමට තැත් කලෝ ය.

එහෙත්, මුල් කාලීන රැඩිකල්වාදය සම්බන්ධයෙන් ගඩාෆිට කිසි දා සමාවක් නොදුන් අධිරාජ්‍ය බලවත්තු, කිසි දා ඔහු විශ්වාස නොකලහ. ඒ අනුව ගත් කල, ඔහුට බොරු හිතවත්කම් පෑ එම දේශපාලන නායකයන් ම ඔහුගේ රුදුරු ඝාතනය පිලිබඳව උදම් අනා ලිබියානු නායකයාගේ මරනයට පත් වූ පුත‍්‍ර මෝතිස්සම් 2009 රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දී සාදරයෙන් පිලිගත් හිලරි ක්ලින්ටන්, බ‍්‍රහස්පතින්දා ගඩාෆිගේ මරනය පිලිබඳව දැන සිනහ පා මෙසේ පැවසුවා ය: "මං ආවා, මං දුටුවා, ඔහු මැරිලා.”

මෙයින් හකුලූවා දැක්වෙන්නේ, රාජ්‍ය ඝාතනයක් වෙනුවෙන් කීර්තිය යැදීමට පසු ගිය හය මාසය තුල තුන් වතාවක් ම”ඇමෙරිකන් පුරවැසියෙක් වන නිව්-මෙක්සිකෝවේ උපන් මුස්ලිම් පූජක අන්වර් අල්-අව්ලාකි ඝාතනය කිරීම ඉන් එක් සිද්ධියකි-- රූපවාහිනී කැමරා ඉදිරියෙහි පෙනී සිට ඇති ජනාධිපතියෙකු නායකත්වය දෙන, ඇමරිකානු ආන්ඩුවේ දාමරිකකම යි.

"ලෝකය තුල ඇමරිකානු නායකත්වයට තිබෙන ශක්තිය අප දැන් අත්දකිමින් සිටින බව” ගඩාෆි ඝාතනයෙන් ඔප්පු වන්නේ යැයි, බ‍්‍රහස්පතින්දා පැවැත්වූ කතාවේ දී ඔබාමා කියා පෑවේ ය.

මෙය විකාර කතාවකි. විදේශ ප‍්‍රතිපත්තියේ අඛන්ඩ මෙවලමක් ලෙස ඝාතනය යොදා ගැනීම, එක්සත් ජනපද ශක්තිය නො ව එහි ඓතිහාසික පරිහානිය පෙන්නුම් කරන ලක්ෂනයකි. ඉන් පිලිබිඹු වන්නේ, ඇමරිකානු ධනවාදයේ ප‍්‍රගාඪ අර්බුදය සහ පිරිහීම නග්න ප‍්‍රචන්ඩ ක‍්‍රියාවන්ගෙන් කෙසේ හෝ හිලව් කල හැකි බවට පාලක ප‍්‍රභූව තුල පවත්නා සාහසික සහ මුග්ධ විශ්වාසය යි.

එක්සත් ජනපදය ඉරාකයෙහි සහ ඇෆ්ඝනිස්ථානයෙහි කල ආක‍්‍රමනවලින් ලද පරාජය නව සහ වඩා ලේ වැකි යුද්ධවලට පදනම සකසා ඇතිවා පමනකි. ඇමරිකානු "සාරධර්ම සහ අවශ්‍යතා” අවදානමට ලක් වන්නේ යැයි හැඟෙන ඕනෑ ම තැනක දී, එක්සත් ජනපද ආක‍්‍රමනයකට ඉඩ සැලසෙන පරිදි, පූර්ව භංග යුද්ධයක් පිලිබඳ මතයක් ප‍්‍රකාශයට පත් කිරීමට ඔබාමා තමන් ලිබියාවට එල්ල කල ප‍්‍රහාරය ප‍්‍රයෝජනයට ගැනීමත් සමග එවන් යුද්ධ එලඹෙන්නට වැඩි කලක් ගත නොවනු ඇත.

ගඩාෆි ඝාතනයෙන් කුලු ගැන්වුනු ලිබියාවෙහි යුද්ධය, "උඩ සිට පහලට ප‍්‍රතිගාමිත්වය” ලෙස ලෙනින් විස්තර කල අධිරාජ්‍යවාදයේ සැබෑ ස්වභාවය පිලිබඳව, ලොව පුරා වැඩ කරන ජනතාව යලි දැනුවත් කිරීමට සේවය කර ඇත. මූල්‍ය ප‍්‍රාග්ධනයේ අවශ්‍යතා මත විදේශවල කෙරෙන කොල්ලකාරී යුද්ධ, අවසානයේ කම්කරු පන්තියට එරෙහිව එල්ල කෙරෙන ප‍්‍රතිවිප්ලවවාදී ප‍්‍රතිපත්තියේ අංගයක් බවට පත් වන්නේ ය. මෙම යුද්ධ, රට තුල කම්කරු පන්තියේ සාමාජීය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහිව එල්ල කෙරෙන අනුකම්පා විරහිත ප‍්‍රහාරයක් සමග නොවැලැක්විය හැකි ලෙස බැඳී පවතී.

යුද්ධයට එරෙහි සටන සහ රැකියා, ජීවන තත්ත්වයන් සහ මූලික අයිතිවාසිකම් විනාශයට එරෙහි අරගලය එකිනෙකින් වෙන් කල නොහැකි ය. ඒවා ජය ගත හැක්කේ, සමාජවාදය සඳහා අරගලයේ දී කම්කරු පන්තිය දේශපාලනිකව බලමුලු ගැන්වී ගැනීමෙන් සහ ජාත්‍යන්තරව එකමුතු වීමෙන් පමනකි.

බිල් වෑන් ඕකන්

Share this article: