එක්සත් ජනපදය/බි‍්‍රතාන්‍ය, ඉරානයට එරෙහි යුද්ධයට සූදානම් වෙයි

US/Britain prepare for war against Iran

4 November 2011

බි‍්‍රතාන්‍යයේ පලවන ගාඩියන් හා ටෙලිග‍්‍රාෆ් පුවත්පත් 02දා ප‍්‍රසිද්ධ කල ලිපි, නෛතික හදිසි සැලසුම් ඉක්මවා යමින්, ඉරානයට එරෙහි ප‍්‍රහාරයක් සඳහා එක්සත් ජනපදය හා බි‍්‍රතාන්‍යයේ මිලිටරි සූදානම පිලිබඳ වසා තිබුනු තොරතුරු එලිමහනට ගෙන ආවේ ය.

ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කරමින්, ඒකපාර්ශවික ගුවන් ප‍්‍රහාර දියත් කරන්නේ ද යන්න පිලිබඳව ඊස්රායල් අභ්‍යන්තර කැබිනට්ටුව හා මාධ්‍ය තුල කෙරීගෙන යන විවාදය මධ්‍යයේ, අන්තරායකාරී නව මිලිටරි මදාවියක් වෙත මෙම කාන්දුවීම් ඇඟිල්ල දිගු කරයි.

රටවල් තුනෙහි ම නිලධාරීන් හා ඇමතිවරු වාර්තා ප‍්‍රතික්ෂේප කර තිබුනේ වී නමුත් "සියලු විකල්ප මේසය මත තිබේ” යන දිගුකාලීන තර්ජනය ඔවුන් පුනරුච්ඡාරනය කර ඇත. කෙසේ වෙතත්, ජත්‍යන්තර පරමානුක බලශක්ති ආයතනය (අයිඒඊඒ) ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන් පිලිබඳ නව තක්සේරුවක් නිකුත් කිරීමට නියමිත ය. ඒ පිලිබඳව ගාඩියන් පුවත් පතට නම හෙලි නොකල බටහිර නිලධාරියෙක් කියා ඇත්තේ එය "ක‍්‍රීඩාවේ වෙනසක්” බව ය. එනම් යුද්ධය සඳහා නිමිත්ත සම්පාදනය කල හැකි වාර්තාවක් වන බව යි. ඉරානය දිගින් දිගටම අවධාරනය කර ඇත්තේ තමන්ට න්‍යෂ්ටික අවි සෑදීමේ කිසිදු සැලැස්මක් නැති බව ය.

ගාඩියන් පුවත්පත මෙසේ වාර්තා කලා ය. "(බි‍්‍රතාන්‍ය) ආරක්ෂක අමාත්‍යාංශය විශ්වාස කරන්නේ, එක්සත් ජනපදය සමහර මූලික ඉරාන මධ්‍යස්ථාන වෙත ඉලක්ක කල මිසයිල් ප‍්‍රහාර සඳහා සිය සැලසුම් වේගයෙන් යථාවත් කිරීමට තීරනය කල හැකි බව යි. වොෂින්ටනය එසේ ඉදිරියට තල්ලූ වන්නේ නම් ඔවුන්, මහා බි‍්‍රතාන්‍යයේ සහාය පතනු ඇති බවත්, කුමන හෝ දූත මෙහෙයක් සඳහා තම මිලිටරි සහාය ලැබෙනු ඇති බවත් බි‍්‍රතාන්‍ය නිලධාරීන් පවසා ඇත. සභාග ආන්ඩුව තුල යම් ගැඹුරු වෙනස්කම් පැවතියේ වී නමුත් එසේ වන බව ය. එවැන්නක් අපේක්ෂාවෙන් "බි‍්‍රතාන්‍ය මිලිටරි සැලසුම් කරුවෝ එලඹෙන මාස වලදී ටොමහෝක් කෲස් මිසයිල සවි කල රාජකීය නාවික හමුදාවේ නැව් හා සබ්මැරින යෙදවීමට වඩාත්ම සුදුසු තැන් කවරේ ද යන්න පරීක්ෂා කරමින් සිටිති.”

කොම් නගරය ආසන්නයේ පොලොව යට ගැඹුරෙහි පිහිටුවා ඇති මධ්‍යස්ථාන කරා ඉරානය, සිය යුරේනියම් සුපෝෂන තාක්ෂනය මාරු කරමින් සිටින්නේ යයි පලවූ ප‍්‍රකාශ පදනම් කරගෙන, ක්ෂනිකව ක‍්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය ආරක්ෂක අමාත්‍යාංශය ඇඟවුම් කර තිබෙන බව ටෙලිග‍්‍රාෆ් පත‍්‍රයේ පලවූ ලිපියකින් සනාථ කලේ ය. එහි සැලසුම්කරුවන් පුවත් පතට ප‍්‍රකාශ කර ඇත්තේ, මෙහි ප‍්‍රතිපල වශයෙන් "කාලය කෙටි වෙමින්” තිබෙන බව යි. එක් මූලාශ‍්‍රයක් මෙසේ ප‍්‍රකාශ කර ඇත. "ඔවුන් ඒවා පොලොව යටට ගෙන ගියාට පසුව කාර්යය වඩා දුෂ්කර වන බැවින් කල්තියා එයට යොමුවිය යුතුව ඇත.”

නම් නොකල බි‍්‍රතාන්‍ය මූලාශ‍්‍රයන් ගාඩියන් පුවත්පතට පැවසුවේ, "එක්සත් ජනපද ජනාධිපති ඔබාමාට ”ලබන නොවැම්බරයේ ජනාධිපතිවරනයට පෙරාතුව අලුත් ප‍්‍රකෝපකාරී මිලිටරි මෙහෙයුම් දියත් කිරීමට අවශ්‍ය නො වේ. එහෙත් එම ගනන් බැලීම්, බටහිර බුද්ධි අංශ රැස්කරන තොරතුරු මත හටගන්නා වැඩෙන කනස්සල්ල හේතු කොට ගෙන වෙනස්වීමේ හැකියාව පිලිබඳව ඔවුහු අනතුරු ඇඟවූහ.” යනුවෙනි. "මැතිවරනයට පෙරාතුව කිසිවක් සිදුවීම පිලිබඳව ඔහුගේ නොකැමැත්ත නිසා, එලඹෙන මාසවල දී ජනාධිපති ඔබාමාට වැදගත් තීරන ගැනීමට සිදුවනු ඇත.” යනුවෙන් වයිට්හෝල්හි නිලධාරියෙක් පැවසී ය.

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ඒකපාර්ශවිකව ප‍්‍රහාර එල්ල කිරීමෙන් හෝ එසේ කිරීමට තර්ජනය කිරීමෙන් ඊස්රායලයට, ඔබාමා අලුත් යුද්ධයකට ඇද දැමීම සඳහා ඇති හැකියාව නොතකා හැරිය නොහැකි ය. පසුගිය සිකුරාදා ප‍්‍රමුඛ පෙලේ ඊස්රායල් මාධ්‍යවේදියෙකු වන නාහුම් බාර්නියා යෙඩියොට් අහරනොට් පුවත්පතට ලියමින් සඳහන් කලේ, අගමැති බෙන්ජමින් නෙතන්යාහු හා ආරක්ෂක ඇමති එහුඩ් බරාක්, අභ්‍යන්තර කැබිනට්ටුව හා ආරක්ෂක ප‍්‍රධානීන් ඉරානයට එරෙහි ප‍්‍රහාරයක් සඳහා එකඟකර ගැනීමේ උත්සාහයක නිරතව සිටි බව ය. මෙම ප‍්‍රකාශයට අභ්‍යන්තර කැබිනට්ටුවේ සාමාජික බෙනී බෙගින් වෙතින් කෝපාවිෂ්ඨ ප‍්‍රතිප‍්‍රහාරයක් එල්ල විය. මෙම ප‍්‍රශ්නය පිලිබඳව "තීරන ගැනීමට ආන්ඩුවට ඇති හැකියාව දරුනු ලෙස නොතකා හරින, තරයේම වගකීම් විරහිත” මාධ්‍ය විවාදය ඔහු හෙලා දුටුවේ ය.

ඊස්රායල් ආන්ඩුව ඉරානයට එරෙහි ප‍්‍රහාරයක් සඳහා දැනටමත් ඉහලින්ම සූදානම් වෙමින් සිටියි. හා අරිට්ස් පුවත්පත පසුගිය අඟහරුවාදා ප‍්‍රකාශ කලේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන රාජ්‍යතාන්ත‍්‍රික බලපෑම් හා සම්බාධක හරහා අවසන් කිරීමට තවත් කාලයක් ඉතිරිව නැති බව තම මිතුරන්ට අවධාරනය කිරීම සඳහා ඊස්රායල් විදේශ අමාත්‍යාංශය, සැප්තැම්බර් මැද හරියේ රාජ්‍යතාන්ත‍්‍රික උද්ඝෝෂනයක් පටන්ගෙන ඇති බවයි. මිලිටරි පෙරමුනේදී ඉරානය තෙක් විහිදුවිය හැකි වර්ගයේ ඊස්රායල් යුද ගුවන්යානා පසුගිය සතියේදී දිගු දුර යුද අභ්‍යාසයක යෙදුන අතර ඒ සඳහා නේටෝවේ ඉතාලියානු සාඩිනියා දිවයිනේ ගුවන් කඳවුර යොදාගන්නා ලදී. නොවැම්බර් 02දා ඊස්රායලය ඉරානයට පහරදීමේ ශක්‍යතාවය සහිත දිගු දුර බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලී ය.

ඊස්රායලය හා එහි ඇමරිකානු, යුරෝපීය ආධාරකරුවන්, ඉරානයට පහරදීමේ හා ඉන් හටගත හැකි කම්පනකාරී ප‍්‍රතිවිපාක ගැබ්කර ගන්නා අවදානමක් නොගනු ඇතැයි කියා සිටින අය, එම රටවල ඔත්තු සේවා දැනටමත් යුද කටයුතු වලට සමාන ක‍්‍රියාකාරකම්වල නිරතව සිටින්නේ ය යන කාරනය නොතකා හරියි. ඊස්රායලය බොහෝවිට එක්සත් ජපදයේ ද ආධාරය ඇතිව, ඉරානයේ සුපෝෂන මධ්‍යස්ථාන කඩාකප්පල් කිරීම සඳහා ස්ටුක්ස්නෙට් පරිගනක වෛරසය යොදාගනිමින් ගෙන යන අන්තර්ජාල යුද ක‍්‍රියාන්විතය මෙන්ම, පසුගිය වසරේ ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයින් ගනනාවක් ඝාතනය කිරීම පිටුපස ද සිටින බව පුලුල් වශයෙන් පිලිගන්නා කාරනයකි.

වඩාත් මූලිකව, ඉරානයට එරෙහි යුද සූදානමට තල්ලුව ලැබෙන්නේ, ඉරාක හා ඇෆ්ගනිස්ථාන ආක‍්‍රමන අභිපේ‍්‍රරනය වූයේ "ත‍්‍රස්තවාදයෙන්” නැත්නම් "ජන ඝාතන අවි” හෝ ලිබියාවට නේටෝ බෝම්බ හෙලීම ලිබියානු ජනතාව ආරක්ෂා කිරීම පිලිබඳ උත්සුකයන් කරනකොට ගෙන යයි පැවසීමට වඩා වැඩි දෙයක් නො වේ. පසුගිය දශකය පුරාවට එක්සත් ජනපදය එකකින් පසුව තවෙකකට වශයෙන්, නොසැලකිලිමත් ලෙස යුද්ධයට වහ වැටුනේ, බලශක්තියෙන් පොහොසත් මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ ප‍්‍රදේශ මතින් සිය ආධිපත්‍ය සහතික කර ගැනීම මගින් එහි ආර්ථික පරිහානිය තුරල් කර ගැනීමේ මංමුලා සහගත උත්සාහයක් ලෙස ය.

ඇමරිකානු විචාරකයින් යලි යලිත් පෙන්වාදී ඇති ආකාරයට, සතුරු පාලන තන්ත‍්‍රයන් දෙක පිටුදැකීමෙන් කලාපය තුල ඉරානයේ තත්වය ශක්තිමත් කිරීමට තුඩුදී ඇති ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ නව යටත්විජිතවාදී ආක‍්‍රමන දෙකම, ව්‍යසනයන් බවට පත්ව තිබේ. එක්සත් ජනපදය බැග්ඩෑඩය සමග ඉරාකය තුල නිල හමුදා බලයක තත්වය සහතික කර ගැනීමට අසමත් වීම නිසා එරටෙහි තැන, වසර අවසානය වන විට එරටින් ඉතිරි හමුදාවන් ද ඉවත්කර ගන්නා විට තවදුරටත් දුර්වල කෙරෙනු ඇත. එක්සත් ජනපදය හා එහි මිතුරන් 2014 වන විට ප‍්‍රහාරක හමුදාවන් ආපසු කැඳවීමට සූදානම් වීම හමුවේ, ඇෆ්ගනිස්ථානය පිලිබඳ අපේක්ෂාවන් ඊට වඩා යහපත් නොවනු ඇත. තව ද, ලිබියාව පිලිබඳ ප‍්‍රශ්නයේදී මෙන්ම, එක්සත් ජනපදය ප‍්‍රමුඛ කොට ගත් ටෙහෙරානයට එරෙහි යුද්ධයක දී, ඉරානය සමග චීනයට හා රුසියාවට ඇති සැලකිය යුතු බැඳීම් වලට මෙන්ම සමීප මූලෝපායික බැඳීම් ඇතිකර ගැනීමේ එම රටවල උත්සාහයන්ට ද දැඩි ලෙස වල කපනු ඇත.

නරක අතට හැරෙන ගෝලීය ආර්ථික අර්බුදය විසින් එක්සත් ජනපදයට බලකරනවා ඇත්තේ, ගැටුම් සමතයකට පත්කරන්නාගේ කාර්යය කෙසේ වෙතත්, තම මිලිටරි හයිය, තම ප‍්‍රධාන යුරෝපීය හා ආසියානු ප‍්‍රතිමල්ලවයන්ගේ වියදමෙන්, එහි ආර්ථික හා මූලෝපායික අවශ්‍යතා නඟා සිටුවීම පිනිස යොදාගැනීමට ය. ටෙහෙරානය ඉලක්ක කිරීම පිටුපස ඇති ඇඹරුනු තර්කය නම් මෙය යි. වොෂින්ටනය එය සලකනු ලබන්නේ, මැද පෙරදිග සිය අභිලාෂයන්ට හරස් වන ප‍්‍රධාන බාධකය ලෙස මෙන්ම, ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ තම අසාර්ථකත්වයට ප‍්‍රමුඛ හේතුව ලෙසත් ය.

ගැඹුරුවන ආර්ථික අර්බුදය මෙන්ම, වෝල් වීදියට එරෙහි විරෝධතා හටගැනීමෙන් සලකුනු කර තිබෙන ආකාරයට, රට තුල නැගී එන පන්ති ආතතීන් ද මගින් ඔබාමා පාලනය තෙරපනු ලබයි. පසුගිය දශකය පුරාවට වර්ධනය වී පැතිර පවතින මිලිටරිවාදයට හා යුද්ධයට එරෙහි මහජන විරෝධය තිබිය දී ම ඇමරිකානු මූල්‍ය ප‍්‍රභූව, මැද පෙරදිග තම අවශ්‍යතා සපුරා ගැනීමේ හා සිය කප්පාදු න්‍යායපත‍්‍රය මගින් නිර්මානය කර තිබෙන සමාජ ව්‍යසනය වෙතින් අවධානය ඉවතට හැරවීමේ මාධ්‍යයක් ලෙසින්, තවත් එවැනි වගකීම් විරහිත සූදුවකට පැනීමට සැදී පැහැදී සිටියි.

අලුත්ම බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා, ඇමරිකානු හා ජාත්‍යන්තර කම්කරු පන්තියට තියුනුම අනතුරු ඇඟවීම් ගැබ්කර ගනියි. ගෝලීය ධනවාදය එක් ආර්ථික හා දේශපාලන අර්බුදයකින් තවෙකකට ලුහුටා යද්දී වෙලඳපොලවල්, සම්පත් හා මූලෝපායික වාසි සඳහා පුමුඛ බලවතුන් අතර එදිරිවාදිකම් මතින්, ග‍්‍රහ ලෝකය විනාශ කරනු ලබන ව්‍යසනකාරී ගැටුම් තුලට මානව වර්ගයා ඇද දමනු ලබයි. ලාභ පද්ධතිය අහෝසි කර සැලසුම්ගත ලෝක සමාජවාදී ආර්ථිකයක් නිර්මානය කිරීමේ ඒකාබද්ධ අරගලයක් හරහා, ලෝක යුද්ධයේ තර්ජනය අවසන් කිරීමේ හැකියාව සහිත එකම සමාජ බලවේගය වන්නේ, ජාත්‍යන්තර කම්කරු පන්තිය යි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ හා සෑම රටකම එහි ශාඛාවන්ගේ ඉදිරිදර්ශනය එය යි.

පීටර් සිමන්ඩ්ස්

Share this article: