යලි වතාවක් ඔබාමා හා වෝල් වීදිය ගැන

once again on Obama and Wall Street

11 November 2011

ඇමරිකානු දේශපාලනයේ පිරිහෙලා තිබෙන ප්‍රමිතීන්ට අනුව පවා, තමා ජනතාවාදී නායකයෙකු ලෙස පුම්බා ගැනීමටත්, වෝල් වීදියට එරෙහි විරෝධතා තම ජනාධිපතිවරන ව්‍යාපාරය පිටුපස පෙල ගස්වා ගැනීමටත්, ජනාධිපති බරක් ඔබාමා දරන උත්සාහය, නරුමත්වයේ හා වංචාවේ නව ඉහලකට ලඟාවී ඇත.

මෙය වනාහි, ඇමරිකානු ජනතාව ඔහේ රැවටෙන්නවුන් හා සාමූහික අසිහියෙන් පෙලෙන කොටසක්ය යන උපකල්පනය මත, ඇමරිකානු පාලක පන්තිය ක්‍රියාත්මක වනවාය යන්න පිලිබඳ තවත් එක් ප්‍රකාශනයකි.

කිසිදු කොන්දේසියකට යටත් නොකර, මහජන භාන්ඩාගාරයෙන් ධනය මූල්‍ය පැලැන්තිය වෙත මාරු කෙරුනු ඉතිහාසයේ දැවැන්තම සිදුවීම් අධීක්ෂනය කර තිබෙන, මහා අවපාතයෙන් පසුව එලඹී තිබෙන නරකම රැකියා අර්බුදය විසඳීමට කිසිදු බැරෑරුම් පියවරක් ගැනීම ප්‍රතික්ෂේප කරන ලද, දුප්පත්කම හා සමාජ කාලකන්නිකම ගැඹුරුවීමට සමානුපාතිකව, වාර්තාගත සංගත ලාභ හා විධායකයින්ගේ වැටුප් පිම්මේ ඉහල නඟින, තෙවසරකට ආසන්නව ඇති ආන්ඩුවක නායකයා ලෙස ඔබාමා හා ඩිමොක්‍රටිකයින් දැන්, රැකියා හා සමාජ යුක්තියේ පක්ෂය ලෙස තමන් පෙන්වා ගැනීමට තැත් කරයි. මෙම සාහසික මවා පෑම, හිටපු ගෝල්ඩ්මන් සැක්ස් ප්‍රධාන විධායක හා නිව් ජර්සිහි සෙනේට් සභික හා ආන්ඩුකාරයාව සිටි ජොන් කොසිනි විසින් මෙහෙයවන ලද, යුරෝපීය නය පිලිබඳ වෝල් වීදියේ සමපේක්ෂකයා වූ එම් එස් ග්ලෝබල් සමාගමේ බිඳ වැටීමට සම්පාත විය. තවමත් ගනුදෙනුකරුවන්ගේ ඩොලර් මිලියන 633කට සිදුවූයේ කුමක් දැයි නොදනී. කොසිනිගේ චර්යාව, අධ්‍යක්ෂ මන්ඩල කාමරය හා ආන්ඩුවේ කාර්යාලය අතර කැරකෙන දොර හා ඩිමොක්‍රටික් පක්ෂය වෝල් වීදියට බැඳ තබන කුලුපග කමේ පුද්ගලාරෝපිතය යි. දැන් ගනුදෙනුකරුවන්ගේ මුදල් ගසාකෑම පිලිබඳ අපරාධ පරීක්ෂනයකට බඳුන්ව සිටින, දශ ලක්ෂපති බැංකුකරු/දේශපාලඥයා, ඔබාමාගේ දෙවන වාරයේ ජනාධිපතිවරන ව්‍යාපාර‍යෙහි ප්‍රධාන අරමුදල් රැස්කරන්නා ය. මෙම වසරේ ඔබාමාගේ ප්‍රධාන දායකයා ලෙස ඔහු, මෑන්හැටන්හි තම සුපිරි තට්ටු නිවාසයේ සාදයක් පැවැත්වී ය.

ඔබාමා හා ලොව පුරා ඔහුගේ හවුල්කරුවන්ගේ උදව් ඇතිව සිදු කල සිය වංචනික කටයුතු මගින් ගෝලීය ආර්ථික අර්බුදය උග්‍ර කරන ලද, තමන් නිර්මානය කල සමාජ ව්‍යසනයෙන් තවදුරටත් තරවූ, ආදායම් හිනිපෙලේ ඉහලම සියයට 0.1ට ඇතුලත් මූල්‍ය පරපුට්ටන්ගෙන් කෙනෙකි කොසිනි.

කොසිනි පලහිලව්ව, පසුගිය සැප්තැම්බරයේදී නිවේදනය කල ඇමරිකානු රැකියා පනත සමඟින් දියත් කල ඔබාමාගේ ව්‍යාජ ජනතාවාදී සූදුවෙහි දිගටම නිමග්න වීමෙන් ඔහු වලක්වාලූයේ නැත. “රැකියා සැපයීමට” ඔහුගේ ආන්ඩුව විසින් යෝජනා කල අන් සෑම පියවරක් සේම, සමාජ ආරක්ෂන භාරකාර අරමුදල සිඳුවීමට තුඩුදෙන පරිදි, හාම්පුතුන්ගේ මෙන්ම සේවකයින්ගේ ද වැටුප් බි‍ල මත අයකල බදු කපාහැරීම ද ඇතුලු අනෙකුත් නාස්තික පියවර මෙන්ම මෙය ද ව්‍යාපාරික බදු කැපාහැරීමේ සංගත ගැති පැකේජයකි. ඩොලර් බිලියන සිය ගනනක, සංගත හා ධනවතුන්ගේ බදු කාපාහැරීමට නියමිත බදු “ප්‍රතිසංස්කරන” මෙන්ම මූලික සමාජ වැඩසටහන් කප්පාදුව ද ඇතුලු ඩොලර් ට්‍රිලියන 4ක්වූ, ඔබාමාගේ යෝජිත හිඟ පියවීමේ සැලැස්මට මේවා අන්තර්ගතවේ.

රිපබ්ලිකානුවන් පනතට අවහිර කරනු ඇති බවට පවතින විශ්වාසය මත ඔබාමා, නිවාස අත්පත්කර ගැනීම් හා ශිෂ්‍ය නය වැනි දැවෙන සමාජ ප්‍රශ්න විසඳන බව කියන නාමික විධායක පියවර, විවිධ නගර තුල ඔහු ඇමතීමට නියමිත වේදිකාවලදී “අපට බලාසිටිය නොහැකිය” යන ඔහුගේ මග දැක්ම මගින් ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටියි. සැබවින්ම නම්, ඔබාමා නිවේදනය කර තිබෙන සියලු පියවර, කිසිදු ආකාරයකින් තම ලාභ පොට්ටනි විනිවිද නොයන බවට බැංකු විසින් තරයේම වගබලාගන්නවා ඇත.

ඔබාමා නොවැම්බර් 02දා, පෙන්සිල්වේනියාවේ ෆිලඩෙල්ෆියා උප නඟරයක් වන යීඩොන් ආරම්භක මධ්‍යස්ථානයකදී කථාකල විට එවන් අලුත්ම රඟපෑම දැකගත හැකි විය. “ප්‍රතිසංස්කරනයේ” හා “වගකීම් පැවරීමේ” නාමයෙන් ඔබාමා, ආන්ඩුවේ ප්‍රමිතීන්ට අනුකූල නොවන්නේය යන කඩතුරාව යටතේ රටපුරා ආරම්භක වැඩසටහන් සඳහා අරමුදල් අත්හිටුවනු ඇති නව නියමයක් නිවේදනය කලේ ය. පාසැල් සිය ගනනක් වසාදැමීමටත් ගුරුවරුන් දහස් ගනක් දොට්ට දැමීමටත් තුඩුදී තිබෙන ඊනියා “ප්‍රතිසංස්කරනයේ” න්‍යායපත්‍රය තවත් එහාට ගෙනයාමක් මෙයින් නියෝජනය කෙරේ.

“ඔබාමාගේ පාලන කාලය, වෝල් වීදිය යලි හිස එසවීම” යනුවෙන් 1දා වොෂින්ටන් පෝස්ට් පුවත්පතපල කල ලිපියකින්, තව තවත් ධනවත් වීමට මූල්‍ය පැලැන්තියට ඉඩ සැල‍ෙසන, ඔබාමාගේ ධවල මන්දිර‍ෙය් නොසැලෙන අධිෂ්ඨානය මතුකර දැක්වෙන නිශ්චිත කාරනා ගෙනහැර දැක්වී ය. එය මෙසේ සඳහන් කරයි,

* ඔබාමා යටතේ, ඩොලර් බිලියන 100කට වඩා වත්කම් සහිත විශාලතම බැංකු ඒවායේ ලාභ, අර්බුදයට පෙරාතු කාලයේ මට්ටම් කරා නංවාගෙන ඇති අතර සිය ඒකාබද්ධ වත්කම් සමස්තය සියයට 10න් තරම් වැඩි කර ගෙන ඇත.

* ස්වාධීන සමාගම් හා බැංකුවල මෙවලම් ලෙස සුරැකුම් ජාවාරමේ යෙදෙන සමාගම් ඇතුලු වෝල් විදියේ ආයෝජන සමාගම්, අට වසරක බුෂ් පාලන අවධියේ ජනනය කල ඩොලර් බිලියන 77 ඉක්මවා යමින් පසුගිය වසර දෙක හමාර ඇතුලත සිය ලාභය අවම වශයෙන් බිලියන 83ක් බවට පත්කරගෙන තිබේ.

* බෑන්ක් ඔෆ් ඇමරිකා, සිටිගෲප් හා වෙල්ස් ෆාගෝ ඇතුලු විශාලතම බැංකු, මෙම වසරේ මුල් භාගය තුල ඩොලර් බිලියන 34ක ලාභ වාර්තා කර තිබේ. එය 2007 වසරේ එම කාලයටම ලැබූ ලාභයට ආසන්නව සමානවන අතර එම කාලයටම වෙනත් කිසිදු වසරක ලැබූ ලාභයට වඩා එය ඉහල ය.

*නිව් යෝර්ක් නගරය තුල වෝල් වීදිය එක් අයෙකුට ගෙවු සාමාන්‍ය වැටුප පසුගිය වසරේදී ඩොලර් 361,330ක් හෙවත් සියයට 16.1න් ඉහල ගිය අතර එය නගරයේ පුද්ගලික අංශයෙහි සේවකයෙකුගේ වැටුප මෙන් පස් ගුනයකටත් වඩා වැඩි ය.

පාරිභෝගිකයින්ට මුදල් නයට දීම ප්‍රතික්ෂේප කරමින් අවදානම් නමුත් බෙහෙවින් ලභදායී සමපේක්ෂන ඔට්ටු ඇල්ලීමට ආන්ඩුවෙන් ඇප ලැබූ බැංකු, එම මුදල් යෙදවීමෙන් ලබාගත් ආයෝජන ප්‍රතිලාභ සියයට දහයක් තරම් වී තිබෙන බව අධ්‍යයනයන් උපුටා දක්වමින් පුවත්පත සඳහන් කරයි.

සියලු රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකයින්ට මැතිවරන අරමුදල සඳහා ලැබුනු මුලු මුදල ඉක්මවා යමින් මේ වන විට ඩොලර් දශ ලක්ෂ 15.6ක් ඔබාමාට හා ඔහුගේ ඩිමොක්‍රටික් ජාතික කමිටුවට මූල්‍ය සමාගම්වල සේවකයින්ගෙන් ආධාර වශයෙන් ලැබී ඇත්තේ මන් ද යන්න ‍වටහා ගැනීමට මෙම කරුනු ඉවහල් වෙයි.

වෝල් වීදියට එරෙහි විරෝධතාකරුවන්ට සිය අනුකම්පාව පලකරන අතරතුර පවා ඔබාමා, මූල්‍ය මාෆියාව සමග පෙරමුන පවත්වා ගැනීමට දැඩි ලෙස කැප වෙයි. ඔබාමාට පිටුබලය දීමට ලොල්කම දක්වන නිව්යෝර්ක් ටයිම්ස් පත්‍රය කෙසේ වෙතත් 02දා “බැංකුවලට පහසුවෙන් පැන යාමට ඉඩ හැරීම” නම් කතුවැකියක් පලකිරීමට නිහතමානී ‍වෙමින්, නිවාස අත්පත්කර ගැනීමේ ක්‍රියාවලියේදී නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමට එරෙහිව ප්‍රාන්ත ආන්ඩු ගන්නා නීතිමය ක්‍රියාමාර්ගවලින් බැංකු මුදා හැරීමට උදව් කරන ගිවිසුමක් පැනවීමට දරන වෑයම පිලිබඳව ආන්ඩුවට විවේචන එල්ල කලේ ය. ඊට හිලව් වශයෙන් බැංකු ඩොලර් බිලියන 25ක නාමික ගෙවීමක් කල යුතු ය.

වත්මන් ගෝලීය අර්බුදයට තුඩුදුන් බිඳවැටීම නිර්මානය කල අවමුඛ උකස්කර පිලිබඳ වංචනික වැඩපිලිවෙලෙහි හදවතේම පැවති භාවිතාවන් වන උකස්කර පිටුබලය සහිත කූට මෙන්ම ප්‍රෝඩාකාරී සුරැකුම් ජාවාරම් ද ඇතුලු අනෙකුත් සාපරාධී කටයුතු වලක්වන නීති බලගැන්වීම මේ ගිවිසුම මගින් වලක්වනු ලබයි.

ඔබාමා පාලනය හා වෝල් වීදිය අතර ඇතිකරගත් ගිවිසුමට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කල නිව් යෝර්ක්, කැලිෆෝනියා හා ඩෙලවෙයා ද ඇතුලු ප්‍රාන්ත පාලනයන් ධවල මන්දිරයේ හෙලා දැකීමට ලක්ව තිබේ.

කම්කරු පන්තිය හා සංගතවල ආධිපත්‍යයට හා සමාජ අසමානතාවයට එරෙහි අරගලයේ යෙදී සිටින අය මුහුනපා සිටින්නේ රිපබ්ලිකානුවන්ට නොදෙවෙනි ලෙස මූල්‍ය කතිපයාධිකාරයේ සුවච කීකරු මෙවලමක් හා තමන්ගේ නිර්දය සතුරෙකු වන ඩිමොක්‍රටිකයින් හා ඔබාමා පාලනයට ය. මෙම දේශපාලන පද්ධතියට, මූල්‍ය පැලැන්තියේ නාස් ලනුවෙන් මිදී ගැනීමට බලකල නොහැකි ය. මන් ද, එම පැලැන්තියේ නිර්මාතෘ හා දාසයා එයම වීම නිසා ය. කර්තව්‍ය වන්නේ ධනවාදය අවසන් කිරීම පිනිස කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම හා සමාජ අවශ්‍යතා තෘප්තිමත් කිරීමටත් සමානාත්මතාවයටත් එකම පදනම වන සමාජවාදය පිහිටුවීමයි.

බැරී ග්‍රේ

Share this article: