යුරෝපීය සංගමය බේරුම් කිරීම

The unravelling of the European Union

14 November 2011

වසරකටත් අඩුකාලයකට පෙර යුරෝවේ අභාවය හා යුරෝපීය සංගමයේ බිඳවැටීම සාමාන්‍යයෙන් සිතාගැනීමට වත් නොහැකි වූ බව පිලිගෙන තිබුනි. දැන් යුරෝපීය දේශපාලනය හා මාධ්‍යය අරක්ගෙන ඇත්තේ ඒවා ය.

ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් මෑත දී ‚ “යුරෝව වැටුනොත් යුරෝපය වැටෙ යි”යනුවෙන් පාර්ලිමේන්තුවට අනතුරු ඇඟවූවා ය. ප්‍රන්ස ජනාධිපති නිකොලායි සාර්කෝසි විසින් ද ඒ සමාන අනතුරු හැඟවීම් කර ඇත. කුප්‍රකට යුරෝ සංශයවාදී බ්‍රිතාන්‍ය මාධ්‍ය පමනක් නොව, ප්‍රන්සයේ යුරෝපීය හිතවත් ල මොන්ඩේ හා ජර්මනියේ ඩයි ෂෙයිට් ද පොදු යුරෝපීය මුදලේ වැටීම තව දුරටත් බැහැර කරන්නේ නැත.

යුරෝපී සංගමයේ සභාපති ජොසේ මැනුඑල් බරාසෝ එවැනි වර්ධනයක ආර්ථික ප්‍රතිවිපාක ප්‍රබල ම වචනවලින් විස්තර කලේ ය. යුරෝ කලාපයේ වැටීම‚ 1930 අවපාතය තරම් ගැඹුරු කිඳා බැසීමකට සම්බන්ධ කරමින්, යුරෝපා ආර්ථිකයේ වටිනාකම ක්ෂනිකව අඩකින් අතු ගා දැමීමට ඉඩ ඇති ආර්ථික බිඳවැටීමකට හේතු වනු ඇතැ යි ඔහු ප්‍රකාශ කලේ ය.

එහෙත් එවැන්නක් මගහැරීමට මර්කෙල්‚ සාර්කෝසි හා බරාසෝ විසින් යෝජිත විකල්පය විනාශය අතින් ඊට අඩු නැත. එය, සමාජ ජීවිතයේ සෑම අංශයක්ම මත මූල්‍ය වෙලඳපෙලේ ආඥාදායකත්වය පිහිටුවීමට සමානය. ඉතාලියේ හා ග්‍රීසියේ මෑත සිදුවීම් එය තහවුරු කලේ ය. කිසි දු ප්‍රජාතන්ත්‍රවාදී නීත්‍යානුකූලභාවකින් තොරව එක් එක් රටෙහි යුරෝපීය සංගමය විසින් තෝරාගත් විශේෂඥයින්ගේ ආන්ඩු පිහිටුවමින් තිබේ. එහි කර්තව්‍යය පෙර නොවූ විරූ කප්පාදු පියවර ක්‍රියාත්මක කරමින් ජනතාව‍ගේ ජීවන තත්වයන් විශාල වශයෙන් වැනසීම යි.

ඇත්තෙන්ම කප්පාදු පියවර මගින් යුරෝව “රැකගැනීම” හා යුරෝපය බිඳ දැමීම එකිනෙකට පරස්පරවිරෝධී නැත. ඒ වනාහි එකම මූලික අරමුන සඳහා වන සමාන්තර දේශපාලන මූලෝපායන් ය. එය, ග්‍රීසිය හා ඉතාලිය සඳහා දන්ඩනීය කප්පාදු පියවර අන කල අතර ග්‍රීසියේ අයවැය, යුරෝපීය සංගමය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා යුරෝපීය මධ්‍යම බැංකුව යන “ත්‍රිත්වයේ” පාලනයට යටත් කලේ ය. ඒ සමගම එය, ග්‍රීසිය යුරෝ කලාපයෙන් ඉවත්වීම බැහර කලේ ද නැත.

මර්කෙල්ගේ නායකත්වය, එවැනි පියවරක මූල්‍ය ගම්‍යයන් පිලිබඳව මේ වන විටත් අධ්‍යයනයන් සිදු කරමින් සිටියි. එක රටක් යුරෝ කලාපයෙන් බැහැර වුවහොත්, අනෙක් රටවල් ද ඉවත් වීම මගහැරීමට අසීරු වනු ඇත.

බ්‍රසල්ස් සමුළුව, යුරෝපීය සංගමය තුල තවත් සදොස් ක්‍රියා පිලිවෙතක් ඉස්මතු කර තිබේ. යුරෝ ජාතීන් 17 මූල්‍ය හා ආර්ථික ප්‍රතිපත්ති වඩාත් කිට්ටුවෙන් සම්බන්ධීකරනයට හා එක්තරා ආකාරයක ආර්ථික පාලනයක් ඇති කිරීමට එය ගත් තීන්දුව මගින්, යුරෝපීය සංගමය පිටතින් පවතින සමාජික රටවල් දහය කොන් කෙරෙනු ඇත. ජර්මනිය හා ප්‍රන්සය ආධිපත්‍යය දරන කේන්ද්‍රයක් හා බෙලහීන පරියන්තයක් වශයෙන් යුරෝපය බෙදීම දැන් සූදානම් කෙරෙමින් පවතී. විශේෂයෙන්ම ලන්ඩනය මෙම පියවරට තියුනු ලෙස විරුද්ධ වී ඇත.

යුරෝපිය සංගමය නො විසඳිය හැකි උභතෝකෝටියකට මුහුන දෙයි. යුරෝව අසාර්ථක වුවහොත් යුරෝපා සංගමය බිඳවැටේ. ජර්මනිය විසින් හෝ ජර්මනිය හා ප්‍රන්සය විසින් ආධිපත්‍යය දරන යුරෝපා කේන්ද්‍රයක් විසින් යුරෝව සක්‍රීය කරනු ලැබුවහොත් එය ද යුරෝපයේ පිපිරීමකට තුඩු දෙනු ඇත. මෙම කාරනා දෙකේ ම ප්‍රතිපලය වනු ඇත්තේ යුරෝපය බෝල්කනීකරනය වීම හා පසු ගිය සියවසේ ලෝක යුද්ධ දෙකක් ඇති කල ආකාරයේ ජාතික ගැටුම් තුලට එය යලි ඇද වැටීමයි.

මාක්ස්වාදීහු බොහෝ කලකට පෙර යුරෝපයේ පිපිරීම පෙර දුටහ. යුරෝපය එක්සත් කිරීම හදිසි අවශ්‍යතාවක් ලෙස දුටු ලියොන් ට්‍රොට්ස්කි‚ 1920 ගනන්වල මෙම තේමාව මත ලිපි ගනනාවක් ප්‍රකාශයට පත් කලේ ය. ධනේශ්වර දේපල වෙන්කල නොහැකි සේ ජාතික රාජ්‍යයට බැඳී ඇති බැවින්, ධනේශ්වර පදනමක යුරෝපය එක්සත් කල නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය. කම්කරු පන්තිය සමග ගැටුම හා එහි ජාත්‍යන්තර ප්‍රතිමල්ලවයින් සමග තරගය තුල ධනේශ්වරයට, තම පන්ති අවශ්‍යතා රැක ගැනීමට ජාතික රාජ්‍යය නැතුවම බැරිය.

1923 ප්‍රව්ඩා පත්‍රයේ පලකල ලිපියක ට්‍රොට්ස්කි මෙසේ ලීවී ය: “වර්සායිහි දී පැටවූ රාජ්‍යය හා තීරුබදු මායිම් තුල යුරෝපය ආර්ථිකව දියුනු කල නොහැක. මෙම මායිම් ඉවත් කිරීමට හෝ සමුපූර්න ආර්ථික පරිහානියකට මුහන දීමට හෝ යුරෝපයට බල කෙරේ. එහෙත් මායිම් ජය ගැනීමට පාලක ධනේශ්වරය යොදා ගත් ක්‍රමවේද‍යෙන්ම නිර්මානය වූයේ, පැවතුනු වියවුල් වැඩිවීම හා කැඩීබිඳීයාම වේගවත් වීම පමනි.

1989 දී නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී පාලනයන් ඇද වැටෙමින් ද සමෘධිමත් ධනේශ්වර යුරෝපයක් ගැන මිත්‍යාවන් පලල් ව ප්‍රවර්ධනය කෙරෙමින් ද පැවතුන තතු හමුවේ, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව එහි යුරෝපා මැතිවරන ප්‍රකාශනයෙහි මෙසේ ලීවේ ය: “යුරෝපීය තනි වෙලඳපොල යුරෝපයේ එක්සත්කම අර්ථවත් කරන්නේ නැත. සිදුවන්නේ මුලුමනින්ම එහි අනික් පැත්ත එනම්, මේ වන විටත් මෙම සියවසේ ලෝක යුද්ධ දෙකක් කර ඇති ඉතාමත් බලවත් යුරෝපීය සංගතයන්ට, යුරෝපීය ආධිපත්‍යය සඳහා වන ඔවුන්ගේ අරගලය යලි ඇරඹීමට වේදිකාවක් නිර්මානය කිරීම පමනි. එය ප්‍රාග්ධන සමුච්චයනයේ හා ඒකාධිකාරීකරනයේ නව රැල්ලක් සමග එක පෙලට යන අතර පවතින දේශපාලන‚ ආර්ථික හා සමාජ ප්‍රතිවිරෝධතා නව ඉහලකට නංව යි.”

මෑත සිදුවීම් මෙම විශ්ලේෂනය සම්පූර්නයෙන් ම තහවුරු කර ඇත.

විසිවැනි සියවසේ දෙවැනි භාගයේදී, යුරෝපීය ආර්ථික ඒකාබද්ධතාව තුල නිර්මානය කල වාසි අසාමාන්‍ය ඓතිහාසික තත්වයන්ගේ ප්‍රතිඵල ය. එනම් ස්ටැලින්වාදය හා සමාජ ප්‍රජාතන්ත්‍රය විසින් පන්ති අරගලය මැඩීම සහ, මාර්ෂල් සැලස්ම හා ඩොලරය ලෝක සංචිත මුදල වශයෙන් ස්ථාපිත කිරීම මගින් යුද්ධයෙන් විනාශ වූ යුරෝපීය ආර්ථික පුනර්ජීවනයට පදනම සැපයූ එක්සත් ජනපදයේ දැවැන්ත ආර්ථික ශක්තිය යි. සීතල යුද්ධයේ අවධිය තුල සෝවියට් සංගමයට එරෙහිව පැවති පොදු පෙරමුන ද යුරෝපීය බලවතුන් එකට පෑහීමට උදව් කලේ ය.

එහෙත් ආර්ථිකව වැඩියෙන් ම ශක්තිමත් ජාතික රාජ්‍යයට පවා ලෝක ආර්ථිකයේ ප්‍රගතිශීලී වර්ධනයට ස්ථාවර හා ශක්තිමත් ව්‍යුහයක් සැපයීමට නොහැකි විය. තම උපදේශ හා ආධිපත්‍යය යටතේ ලෝක ධනවාදය යලි ගොඩනැගීමේ එක්සත් ජනපද උත්සාහය, යුරෝපය හා ආසියාව තුල බලගතු විරුද්ධවාදීන් මතුවීමට හා තමන්ගේ ම බිඳවැටීමට තත්වයන් නිර්මානය කලා පමනි.

කෙසේ නමුත්‚ ප්‍රතිපක්ෂ ජාතික අවශ්‍යතා කිසි දිනක ජය ගැනුනේ නැත. ඒ වෙනුවට යුරෝපය ඒකාබද්ධ කිරීමේ සන්තතිය, එයට මැදිහත් වූ සියල්ලන්ගේ ම ජාතික අවශ්‍යතාවන්ට අනුකූලව පොදුවේ පෙරට ගියේ ය: ජර්මනිය විදේශ වෙලඳපොලට පහසු ප්‍රවේශයක් ලැබුවේ ය‚ ප්‍රන්සය එහි පාරම්පරික ජර්මානු පසමිතුරා පාලනය කිරීමට මාධ්‍යයක් ලැබුවේ ය. සිය අධිරාජ්‍යයේ අභාවයෙන් පසු බ්‍රිතාන්‍ය, ලන්ඩන් නගරයේ තම විශේෂ භූමිකාව රැක ගන්නා අතර යුරෝපීය වෙලඳපොලට ප්‍රවේශයන් අත් කර ගත්තේ ය. දැන් එක්සත් ජනපදයේ ආර්ථික පරිහානිය හා ජාත්‍යන්තර මූල්‍ය අර්බුදය, යුරෝපයේ ජාතික එදිරිවාදිකම් යලි පන ගන්ව යි.

යුරෝපීය සංගමයේ අනුග්‍රහය යටතේ එක්සත් යුරෝපයක් වෙනුවෙන් කථා කරන්නන්, එක්සත් ජනපදය සමග නිතරම සැසඳීමක් කර ඇත. එහෙත් ඇමරිකා එක්සත් ජනපදය, විප්ලව දෙකක‚ එනම් 18වැනි සියවසේ නිදහසේ යුද්ධය හා 19වැනි සියවසේ සිවිල් යුද්ධයේ නිමැවුමකි. මෙම දෙක ම මිලියන ගනන් මිනිසුන් ආවේශ ගැන්වූ ප්‍රගතිශීලී පරමාදර්ශයන්‚ එනම්‚ මහජන ස්වාධිපත්‍යය හා වහල්භාවය අහෝසි කිරීම විසින් පොලඹවන ලදී.

ඊට විසංවාදීව යුරෝපීය සංගමය ව්‍යාපෘතියට, භාන්ඩ හා ප්‍රග්ධනය නිදහසේ බෙදා හැරීමට වඩා වැඩි උසස් අරමුනක් කිසිදා තිබුනේ නැත. එය ගල් අඟුරු හා වානේ ප්‍රජාවක් ලෙස පටන් ගත් අතර තනි වෙලඳපොල හා පොදු මුදල සමග එහි උච්චතම ලක්ෂයට පැමිනියේ ය. එහි දක්ෂිනාංශික‚ නව ලිබරල් නැඹුරුව නිසා ප්‍රන්ස හා නෙදර්ලන්ත ඡන්දදායකයින් යුරෝපා ව්‍යවස්ථා කෙටුම්පත ප්‍රතික්ෂේප කල විට‚ 2005දී එයට මහජන සහයෝගය නොමති බව හොඳින් ප්‍රකට විය.

යුරෝපා සංගමයත්, එහි වැසියන්ගේ මූලික අවශ්‍යතාවන්ට එහි නොගැලපෙන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අර්බුදය විසින් සෑම අයෙකුට ම දැක බලා ගත හැකි වන සේ හෙලිදරව් කර ඇත. යුරෝපා සංගමය ප්‍රජාතන්ත්‍රවාදී හා ප්‍රගතිශීලී විකල්පයන්ට ඉඩ දෙන්නේ නැත. යුරෝව හා ජාතික මුදල් ඒකකය අතර‚ යුරෝපීය සංගමය හා ජාතික පරමාධිපත්‍යය අතර තේරීම, ප්‍රතිගාමී විකල්පයන් අතර තේරීමකි. එනම් මූල්‍ය ප්‍රාග්ධනයේ ඍජු ඒකාධිපතිත්වය හෝ අර්ද්ධවීපය බෝල්කනීකරනය මාර්ගයෙන් එහි වක්‍ර ඒකාධිපතිත්වය යි.

නියම විකල්පය ඇත්තේ, ධනවාදී හා සමාජවාදී යුරෝපයක් අතර ය. වර්තමාන අර්බුදය, සමාජ විප්ලවය හෝ යුද්ධය, අවපාතය හා ඒකාධිපතිත්වය තුලට ඇද වැටීම යන පැහදිලි විකල්ප ඉදිරිපත් කර යි.

මූල්‍ය වෙලඳපොලේ දැඩි ග්‍රහනය බිඳීමකින්, බැංකු, සමූහ සංගත හා පෞද්ගලික වාසි අස්වාමික කිරී‍මෙන් සහ ඒවා සමස්තයක් වශයෙන් සමාජයේ යහපත සඳහා යෙදී‍ෙම‍න් තොරව විසඳුමක් ඇත්තේ නැත. යුරෝපය තුල බෙදුම් රේඛාව පවතිනුයේ , ග්‍රීකයින් හා ජර්මානුවන්, පෘතුගීසීන් හා ප්‍රන්ස ජාතිකයින් හෝ අයර්ලන්ත හා බ්‍රිතාන්‍යයන් අතර නොව, අර්බුද‍ෙය් බර දැරීමට බල කෙරුනු කම්කරු පන්තිය සහ යුරෝපීය සංගම‍ෙය් හෙන්චයියන්, ජාතික ආන්ඩු හා සංස්ථාපිතයේ පක්ෂ සමග එක පෙලට සිටිමින් ධනය පොදිගසා ගන්නා මූල්‍ය ප්‍රභූව අතර ය.

පීටර් ෂ්වාස්

Share this article: