සසප කොලඹ දුගී නිවැසියන් ඉවත්කිරීමේ වැඩපිලිවෙලට එරෙහි රැස්වීමක් පවත්වයි

By our correspondents , 20 October 2011

සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) කොලඹ ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේ දී කොලඹ නාගරික කලාපයේ දුගී නිවැසියන් පලවාහැරීමේ ආන්ඩුවේ සැලසුම්වලට එරෙහිව රැස්වීමක් පැවැත්වූහ.

ඔක්තෝබර් 2 ඉරිදා පැවැත්වූ මෙම රැස්වීමට පලවාහැරීමේ තර්ජනයට මුහුනපා සිටින්නන්, තරුනයින් හා සසප සාමාජිකයින්, ඇතුලුව 50ක් පමන සහභාගි වූහ.

රැස්වීමට පෙරාතුව සසප සාමාජිකයෝ හා හිතවත්තු මට්ටක්කුලිය හා කොම්පඤ්ඤවීදිය වැනි දුගී නිවහන් ප‍්‍රදේශවල උද්ඝෝෂනයේ යෙදුනහ. එහි දී "ආන්ඩු පක්ෂයට ඡන්දය නො දුනහොත් නගර සභාව විසුරුවා හැරෙන බවට තර්ජනයක්” යන සසප ප‍්‍රකාශය දහස් ගනනින් බෙදා හැරුනි. නිවැසියන්ට "නවීන පන්නයේ” නිවාස ලබා දෙන බවට ආන්ඩුව දෙන බොරු පොරොන්දු කෙරෙහි කෝපය හා පිලිකුල පලකල නිවැසියන් සමග උද්ඝෝෂකයෝ සාකච්ඡාවල නිරත වූහ.

සසප දීර්ඝ කාලීන සාමාජික කේ. බී. මාවීකුඹුර රැස්වීමේ මුලසුන දැරුවේ ය. නිවැසියන්ව අවතැන් කිරීමේ ආන්ඩුවේ සැලසුම්වලට එරෙහිව ඔවුන් කම්කරු පන්තියේ නායකත්වය යටතේ සංවිධානය කිරීමේ රැස්වීමේ අරමුන පිලිබඳව ඔහු කෙටියෙන් විස්තර කලේ ය. මෙම පලවාහැරීම සිදුකරන්නේ රට සංවර්ධනය කිරීමේ නාමයෙනි. "එහෙත් එහි සැබෑ ඉලක්කය වන්නේ දේශීය හා විශේෂයෙන් ම විදේශීය ප‍්‍රාග්ධනය අද්දවාගැනීම සඳහා කොලඹ නගරය කලාපයේ වානිජ මධ්‍යස්ථානයක් බවට පත්කිරීම යි. මෙම කි‍්‍රයාදාමයට 1990 ගනන් දක්වා දිවෙන ඉතිහාසයක් තිබෙනවා” යයි මාවීකුඹුර පැවසීය. එහෙත් බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) විරුද්ධව ගෙනගිය වර්ගවාදී යුද්ධය නිසා එම සැලසුම කි‍්‍රයාවට දැමිය නො හැකි විය.

එක්සත් ජාතික පක්ෂය (එජාප) අවධාරනය කිරීමට උත්සාහ දරන ලෙස එය යටතේ දේවල් යහපත් වේ යයි කිසිදු මිථ්‍යාවක් තබාගත යුතු නැතැයි කතිකයා කීවේ ය. ජනාධිපති මහින්ද රාජපක්ෂ දැන් කි‍්‍රයාවට දමන්නේ ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ආඥාවන් සමග එකපෙලට සිටිමින් 2000 ගනන්වල මුල රනිල් වික‍්‍රමසිංහ පාලනය යටතේ පිඹුරුපත් කල "යලි පුබුදමු ශී‍්‍ර ලංකා" කි‍්‍රයාමාර්ගය යි. ජනාධිපති සොහොයුරු හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දුගී නිවැසියන් "සංවර්ධනයට බාධාවක්” යයි මෑත දී යලි යලිත් අවධාරනය කලේ ය.

"කොලඹ මහ නගර සභාව ප‍්‍රථම වරට ජයග‍්‍රහනය කිරීම සඳහා ආන්ඩුව එහි උපරිම වෑයම යොදන අතර එජාපය සභාවේ පාලනය දිගට ම තබාගැනීමට මංමුලා සහගතව කි‍්‍රයා කරනවා. අනාවරනය වෙමින් පවතින්නේ මෙම දුගී නිවැසියන් මුහුනපාන ගැටලුවලට කිසිදු පිලිතුරක් මෙම පක්ෂවලට නැති බව යි. වසර තුනකට පෙර හමුදාව හා පොලීසිය යොදාගෙන කොම්පඤ්ඤවීදියෙන් පලවාහැරි නිවැසියන් තවමත් දැරිය නො හැකි කොන්දේසිවලට මුහුන දෙමින් මට්ටක්කුලිය ලෑලි නිවාසවල දිවිගෙවනවා” යයි කතාව අවසන් කරමින් මාවීකුඹුර පැවසීය.

සසජාශි නියෝජනය කරමින් කල්ප ප‍්‍රනාන්දු රැස්වීම ඇමතීය. මෙලෙස දුගී නිවැසියන් පලවාහැරීමේ ජාත්‍යන්තර සන්දර්භය දිග හරිමින් 2008 පසුභාගයේ පටන් පුපුරා යන ලෝක ආර්ථික අර්බුදයට හා අධ්‍යාපනය කෙරෙහි සියලු ආන්ඩුවල වාර්තාවට ප‍්‍රනාන්දු අවධානය යොමු කලේ ය. ආන්ඩුව අධ්‍යාපනය පුද්ගලීකරනය කිරීමට තමන්ට පවතින අධිෂ්ටානය අවධාරනය කොට ඇත. මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එම්බීබීඑස් උපාධිය පිරිනැමීමට අවසර දීම එහි එක් අවස්ථාවකි. මෙහි අභිප‍්‍රාය වන්නේ ධනවතුන්ට හා දිලින්දන්ට වෙන වෙන ම පන්ති දෙකක අධ්‍යාපන පද්ධතියක් ස්ථාපිත කිරීම යි.

මේ වසරේ මැද භාගය වනවිටත් සමහර පාසල්වල සිසු සිසුවියන්ට පෙලපොත් හා නිල ඇඳුම් ලබා දී නො තිබුනි. ඔවුන්ගෙන් සමහරකට ගුරුවරුන් ඇත්තේ ම නැත. මේ නිසා එක් පාසලක දෙමව්පියන් සැම දෙමව්පියකුගෙන් ම රුපියල් 150 බැගින් එකතුකොට ස්වේච්ඡා ගුරුවරුන්ගේ සේවය ලබාගැනීමට කටයුතු කොට තිබුනි. මෙය එම පාසලට පමනක් සීමා වූවක් නො වේ.

"කොලඹ නගර සීමාවේ පවා පන්ති දෙකක අධ්‍යාපන පද්ධතියක් නිර්මානය කිරීමේ ආන්ඩුවේ පිලිවෙතේ ප‍්‍රතිඵල දැකගැනීමට පුලුවන්. දිලිඳු දරුවන් යන පාසල්වල බොහෝ විෂයයන් ඉගැන්වීමට සුදුසුකම් සහිත ගුරුවරු නැහැ. දෙමව්පියන්ට ඉගැන්විය හැකි කතෝලික ධර්මය වගේ විෂයයන් ඔවුන් උගන්වනවා. විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් ගත්විට ඒවායේ ආරක්ෂක කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය යටතට පැවරීමට පාලකයන් කි‍්‍රයා කරනවා. මෙහි ඉලක්කය වන්නේ සිසුන් දඩයම් කිරීමේ ජාලය පුලුල් කිරීම යි” යයි ප‍්‍රනාන්දු විස්තර කලේ ය. තරුනයන්ගෙන් අවුරුදු 20-29 අතර වයස් කාන්ඩයේ සියයට 13.7ක් විරැකියාවෙන් පෙලෙති.

Vilani Peirisවිලානි පීරිස්

සසප දේශපාලන මන්ඩල සභික විලානි පීරිස් ප‍්‍රධාන වාර්තාව ඉදිරිපත් කරමින් රැස්වීමේ ඉලක්කය මෙම කොලඹ දුගී නිවැසියන්ට ජීවත් වීමට සුදුසු හොඳ නිවාස ලබාගැනීමේ අයිතිය ආරක්ෂා කිරීම බව පවසමින් සිය කතාව ආරම්භ කලා ය. "දුගී නිවැසියන් ද ඇතුලුව පවුල් 75,000ක් ඉවත් කරන බව ආන්ඩුව ප‍්‍රකාශ කර තිබෙනවා. මෙයට සූදානමක් වසයෙන් නාගරික සංවර්ධන අධිකාරිය (යූඩීඒ) හා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව (එල්ආර්ඩීසී) ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී ලෙස ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගත්තා. මෙහි ඉලක්කය වන්නේ කම්කරුවන්ට හා පීඩිත ජනයාට එරෙහි යෝධ ප‍්‍රහාරයක් එල්ල කිරීම යි.” පීරිස් සඳහන් කලා ය.

"ධනවතුන්ට උපරිම ලාභ පොදිගසා ගැනීමට ඉඩ සැලසෙන වැඩ පිලිවෙලක් කි‍්‍රයාවට දැමීම සඳහා කොලඹ, දෙහිවල-ගල්කිස්ස, හා කෝට්ටේ මහනරග සභා ද කොලොන්නාව නගර සභාව හා කොටිකාවත්ත-මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාව ද ඇතුලත්ව කොලඹ නාගරික අධිකාරියක් බිහිකිරීමේ අදහස පාලක කව තුල දීර්ඝ වසයෙන් සාකච්ඡාවට බඳුන් වූ මාතෘකාවක්” යයි පීරිස් කීවා ය. පාලක ප‍්‍රභූවේ නියෝජිතයෝ තමන් කොලඹ නගර සීමාවේ දිලින්දන්ගෙන් හෙක්ටයාර 390ක් මුදාගැනීමට බලාපොරොත්තු වන බව කියා තිබේ.

මෙය කි‍්‍රයාවට දැමීම සඳහා මිලිටරියේ ආධාරය ද සහිතව මූලික පියවර ගෙන තිබේ. එහෙත් පලාත් පාලන මැතිවරනය ලංව තිබිය දී ඉවත් කෙරෙන සියලු දෙනාට හොඳ පහසුකම් සහිත නිවාස ලබා දෙන්නේ ය යන ව්‍යාජ පොරොන්දුව තොරොම්බල් කිරීමට ආන්ඩුව ඉදිරිපත් වී සිටී. "බ්ලූමැන්ඩල්, ඇපල් වත්ත හා අනෙකුත් වතුවල ජනයාට මෙම පොරොන්දුව දී තිබෙනවා. පීඩිත ජනයා තේරුම් ගත යුත්තේ මේවා මුලුමනින් ම බොරු පොරොන්දු බව යි” යයි පීරිස් පැවසුවා ය. ආන්ඩුවේ නිලධාරීන් සෑම දුගී නිවහන් ප‍්‍රදේශයකට ම ගොස් ඉඩම් මැන නිවැසියන්ට ඒවායින් ඉවත්වන ලෙස දන්වා නිවසේ ඉදිරිපස ලේබලයක් අලවා ගොස් තිබීමෙන් ම මෙය බොරුවක් බව පැහැදිලි වේ.

පීරිස් තවදුරටත් මෙසේ සඳහන් කලා ය: "නිවැසියන් ඉවත් වීමට සූදානම් නැතිනම් ඔවුන් පදිංචිව සිටින්නේ අනවසරයෙන් ය යන හංවඩුව ගසා උසාවි නියෝග ලබාගෙන ඔවුන් ඉවත් කරනවා. උදාහරනයක් ලෙස කොම්පඤ්ඤවීදියේ අත්දැකීම ගන්න. එහි දී කාන්තාවන් හඬා වැටෙමින් විරුද්ධත්වය පලකරද්දී මිලිටරියත් සමග පැමිනි නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් නිවාස සමතලා කලා. දුගී නිවැසියන් යහපත් නිවසක් සඳහා වන අයිතිය තේරුම් නො ගත හොත් ඔවුන්ට තම අයිතිය ආරක්ෂා කරගත නො හැකියි. ඉඩම් අත්පත් කරගෙන ඒවා ආයෝජකයන්ට විකිනීමේ ආන්ඩුවේ උත්සාහයට එරෙහිව ජනයා අතර වැඩෙන විරුද්ධත්වය පිලිබඳව දැනුවත් ආන්ඩුව දැන් ප‍්‍රකාශ කර සිටින්නේ මෙම ඉඩම් ආයෝජකයන්ට 99 අවුරුදු බද්දට ලබාදෙන බව යි. පුද්ගලයෙකුගේ ජීවිත කාලයක් සමග ගත්විට එය ද දීර්ඝ කාලයකි.”

ජනාධිපති රාජපක්ෂ නව නිවාස 70,000ක් ඉදිකරන බව කියද්දී ආරක්ෂක ලේකම් ඉදිරිපත් කරන ගනන 35,000කි. මිනිසුන්ගෙන් උතුරට, අවිස්සාවේල්ලට, හෝමාගමට හෝ හොරනට යාමට කැමති දැ’යි විමසා තිබෙන තතු තුල මේවා වනාහි මැතිවරන පච ය. නිවාස ගනනාවක් කඩා ඉවත් කිරීමට නියමිත යයි පුවත්පත් වාර්තා කොට තිබේ. "කොලඹ ආසියාවේ ප‍්‍රධාන වෙලඳ මධ්‍යස්ථානවලින් එකක් බවට පත් කිරීමේ ආන්ඩුවේ ප‍්‍රකාශිත අරමුනේ සැබෑ ඉලක්කය වන්නේ එය ආයෝජකයන්ට පුජා කිරීම යි. මහ ව්‍යාපාරිකයන්ගේ හා දිලින්දන්ගේ අවශ්‍යතා එකවර ඉටුකරන්නට බැහැ. ආන්ඩුව තෝරාගෙන තිබෙන්නේ ව්‍යාපාරික අවශ්‍යතා” යයි පීරිස් විස්තර කලා ය.

සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලිපියක් ලියූ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ කොලඹින් බොහෝ ප‍්‍රදේශයක් ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයට විකිනීමේ ආන්ඩුවේ සැලැස්ම විස්තර කොට තිබේ. "එහෙත් මෙම පිලිවෙත් මුලින්ම හඳුන්වා දුන්නේ වික‍්‍රමසිංහ පාලන සමයේ යි. මෙම පිලිවෙත් එජාප යටතේ වෙනස් වෙතැයි විශ්වාස කිරීම මුලාවක්. ආන්ඩුව යුද්ධය ගෙන ගියේ මව් බිම සුරැකීමේ දේශපේ‍්‍රමවාදී සිංහල ස්වෝත්තම ප‍්‍රචාරයක් පෙරට දමාගෙනයි. යුද්ධයෙන් පසුව ආන්ඩුව රකින බව කිවූ "මව්බිම” ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයට විකිනීමේ සැබෑ වැඩපිලිවෙල ආරම්භ කර තිබෙනවා. මින් පැහැදිලිවන්නේ වර්ගවාදී දේශපේ‍්‍රමවාදය ඉදිරිපත් කලේ කම්කරුවන් බෙදීමට හා තමන්ගේ ධනපති පන්තික වැඩ පිලිවෙල ආවරනය කර ගැනීමට යි. ඉදිරියේ එන මැතිවරනයේ දී ආන්ඩුවට ඡන්දය දියයුතු යයි අඟවන ප‍්‍රකාශ ජනාධිපති රාජපක්ෂ තර්ජනාත්මකව ඉදිරිපත් කොට තිබෙනවා” යයි පීරිස් ප‍්‍රකාශ කලා ය.

"අනෙක් අතට නව සම සමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) වැනි "රැඩිකල් පක්ෂ” මෙන් ම වෘත්තීය සමිති ද ඒ හෝ මේ ධනේශ්වර කල්ලියට කම්කරුවන්ව ගැටගැසීමට කි‍්‍රයාකරනවා. මෙම වංචනික නායකත්වයන්ගෙන් බිඳී නිවාස අයිතිය ආරක්ෂා කිරීමේ වගකීමට කම්කරුවන් උරදිය යුතුයි.

"සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ නිවාස අයිතිය ආරක්ෂා කිරීම සඳහා කි‍්‍රයාකාරී කමිටු ගොඩනගා කම්කරු පන්තියේ නායකත්වය යටතේ සංවිධානය වන ලෙස දුගී නිවැසියන්ට කැඳවුම් කර සිටිනවා. එම කි‍්‍රයාකාරී කමිටු සමාජවාදී කි‍්‍රයාමාර්ගයක් මත පදනම්ව ඒවාට කම්කරුවන්, තරුනයන්, ශිෂ්‍යයන්. කලාකරුවන් හා බුද්ධිමතුන් බඳවාගත යුතු යි. කම්කරුවන්ට නිවාස කැඩීමේ වැඩවලට සම්බන්ධ නො වන ලෙස අප ඉල්ලා සිටිනවා. සමාජවාදී වැඩපිලිවෙල කි‍්‍රයාවට දැමීමට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තහවුරු කිරීමට නම් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ආ යුතුයි. සසප ඉදිරිදර්ශනය මෙයයි” ප‍්‍රකාශ කරමින් පීරිස් සිය කතාව සමාප්ත කලා ය.

රැස්වීමෙන් පසුව දුගී නිවැසියන්ගේ අයිතීන් ආරක්ෂා කරන යෝජනාවක් ඒකමතිකව සම්මත විය. රැස්වීමෙන් මතුවන ගම්‍යයන් පිලිබඳව සාකච්ඡා කිරීමට ද ලෝසවෙඅට හැකි විය. එක් ශිෂ්‍යයෙක් මෙසේ අදහස් දැක්වීය: "රැස්වීම පැවතීගෙන යද්දී මට ඒකෙ වැදගත්කම තේරුනා. දුගී නිවැසියන් ඉවත් කිරීමේ කරුන ආන්ඩුව කි‍්‍රයාත්මක කිරිමට අපේක්ෂා කරන පුලුල් කි‍්‍රයාමාර්ගයක කොටසක්. කතිකයන් පැහැදිලි කිරීමට උත්සාහ කල දෙය මුලුමනින් ම නිවැරදි යි. ආන්ඩුව අන්තිම දුර්වල යි. එය අසීරු ආර්ථික තත්ත්වයකට මුහුන පා සිටිනවා.

"ආන්ඩුව ශක්තිමත් නම් මේ විදිහට බලහත්කාරයෙන් මිනිසුන් ඉවත් කරන්න ඕන නැහැ. මෙයට ගොදුරුවන ජනතාවට විශාල ආර්ථික දුෂ්කරතාවන්ට මුහුන දීමට සිදුවනු නියත යි. උදාහරනයක් හැටියට ඒගොල්ලන්ට හැමදාම අවිස්සාවේල්ලේ ඉඳල යන්න එන්න වුනොත් ඒක දැඩි බලපැමක් වේවි.” ඉවත්කිරීම නිසා දුගී නිවැසියන් මුහුන දෙන ගැටලු පිලිබඳව අදහස් දක්වමින්: "මේ වගේ කරුනු මුලුමනින් ම නො තකා හැරියා. විශේෂයෙන් ම ලමයින්ට දැඩි බලපෑමක් වේවි. කොහොමත් මේ ලමයින් කොලඹ ලොකු ඉස්කෝලවලට ගන්නේ නැහැ. ඒගොල්ලො යන්නෙ අඩුපහසුකම් ඇති පාසල්වලට.”

Share this article: