ඡන්දය දා මුල්ලේරියාවේ ඝාතන: රාජපක්ෂ ආන්ඩුවේ මැර ස්වභාවයේ පිලිබිඹුවක්

By Deepal Jayasekera, 14 October 2011

පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ (එජනිස) දෙපිරිසක් අතර පසුගිය සෙනසුරාදා මුල්ලේරියාවේ දී සිදු වූ මිනී මරාගැනීම, ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනයේ මැර ස්වභාවය ද සමස්ත ධනපති දේශපාලන සංස්ථාපිතයේ අන්ත කුනුවීම ද ප‍්‍රදර්ශනය කලේය.

මුල්ලේරියාව-කොටිකාවත්ත ප‍්‍රාදේශීය සභාව ද ඇතුලූ පලාත් පාලන ආයතන 23ක් සඳහා පැවති මැතිවරන අවසාන වීමට ආසන්නයේ සවස 3.30ට පමන එජනිස කොලඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වාගේ කන්ඩායම සහ ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍රගේ කන්ඩායම අතර ඇතිවූ මෙම ගැටුමෙන් පේ‍්‍රමචන්ද්‍ර සහ ඔහුගේ ආරක්ෂකයන් දෙදෙනෙක් එතැනදීම වෙඩි ප‍්‍රහාරවලින් ඝාතනයට ලක් වූ අතර සිල්වා මාරාන්තික තුවාල ලබා රෝහල්ගත කෙරුනි. දින තුනකට පසුව පේ‍්‍රමචන්ද්‍රගේ තවත් ආධාරකරුවකු තුවාලවලින් මිය ගිය අතර සිල්වා තවමත් සිටින්නේ සිහිසුන් තත්වයේය.

පලාත් පාලන මැතිවරනයේ දී මුල්ලේරියාව-කොටිකාවත්ත ප‍්‍රාදේශීය සභාව සඳහා තරඟ වැදුනු එජනිස අපේක්ෂක කන්ඩායමේ සිටි තමතමන්ගේ ආධාරකරුවන්ට වැඩිම මනාප ඡන්ද ලබාගැනීම මගින් ප‍්‍රදේශය තුල සිය අධිකාරිය තහවුරු කරගනු පිනිස පේ‍්‍රමචන්ද්‍ර හා සිල්වා අතර පැවතුනු ප‍්‍රතිවාදී ගැටුම හේතුකොටගෙන එහි පැවතියේ ඉතා ආතති සහගත තත්වයකි. මැතිවරන දින එය වඩාත් උත්සන්න අතට හැරී එකිනෙකා මරාගත් වෙඩි හුවමාරුවක් බවට පත් විය.

ජනාධිපති උපදේශකයකු ඝාතනයට ලක් කරමින් පිපිරී ගිය ගැටුමෙන් පාලක සභාගයේ දේශපාලන අර්බුදය තීව‍්‍ර කෙරී තිබේ. ඔක්තෝබර් 10 දා කොලඹ දී පැවති එජනිස මාධ්‍ය හමුවක දී, ඇමති ඩලස් අලහප්පෙරුම එම සිද්ධිය සිය පක්ෂයේ ඇහැ ඇරවීමේ කැඳවුමක් යයි ප‍්‍රකාශ කරමින් මවාපෑමක් කලේ මහජනයාගේ ඇස්වලට වැලි ගැසීමටය. ඔහු ද එහි සිටි සෙසු ඇමතිවරුන් වූ සුසිල් පේ‍්‍රමජයන්ත හා මෛතී‍්‍රපාල සිරිසේන ද පාලක පක්ෂයේ යම් භේදයක් පවතින බවට නැගෙන චෝදනා සියල්ල ප‍්‍රතික්ෂේප කලහ.

සිල්වා හා පේ‍්‍රමචන්ද්‍ර දෙදෙනාම ප‍්‍රදේශයේ සිය අධිකාරිය තහවුරු කරගනු උදෙසා මැර බලය යොදාගෙන ඇති අතර එය ඔවුන්ගේ කල්ලි අතර ගැටුමකට තුඩු දී තිබුනි. සිල්වා එලෙස මැර බලය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් වඩා කුප‍්‍රකට පුද්ගලයෙකි. ඔහු පසුගිය සෙනසුරාදා පැවැත්වුනු පලාත් පාලන ඡන්දයේ දී ආන්ඩුවේ මැතිවරන ව්‍යාපාරය තුල කි‍්‍රයාත්මක වූයේ සිය දේශපාලන විරුද්ධවාදීන් බියගන්වමින් හා ඔවුන්ට විරුද්ධව මැර කල්ලි මුදාහරිමිනි.

කොලඹ තුල පදිංචිව සිටින දුගී පවුල් 75,000ක් පමන ඉවත් කරමින් අගනුවර ආසියාවේ ප‍්‍රධාන වානිජ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ වැඩපිලිවෙලක් ආන්ඩුව ගෙනයයි. එහෙත් කිසිදු පවුලක් කොලඔ නගරයෙන් ඉවත් නොකරන බවට ද පැල්පත්වාසීන් සඳහා එම ස්ථානවලම සියලු පහසුකම් සහිත මහල් නිවාස තනා දෙන බවට ද ආන්ඩුව දුන් බොරු පොරොන්දු ප‍්‍රචාරය කිරීමෙහිලා සිල්වා මූලිකත්වය ගත්තේය.

2004 ජුලි මස පැවති පලාත් සභා මැතිවරනයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් (එජාප) බස්නාහිර පලාත් සභාවේ මන්තී‍්‍රවරයකු ලෙස තේරී පත් වූ සිල්වා 2007 නොවැම්බරයේ දී පාලක එජනිස වෙත කරනමක් ගැසුවේය. 2009 අපේ‍්‍රල් මස එජනිස මන්තී‍්‍රවරයකු ලෙස බස්නාහිර පලාත් සභාවට තේරී පත් වූ සිල්වා 2010 අපේ‍්‍රල් මස මහ මැතිවරනයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් ලෙස ජයගති.

එමෙන්ම සිල්වා කොලොන්නාව ආසනයේ ආන්ඩු පක්ෂයේ සංවිධායක ලෙස පත් කෙරුනේ පේ‍්‍රමචන්ද්‍ර පසෙකට තල්ලු කර දමාය. ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂක මන්ත‍්‍රීවරයකු ලෙස 2010 දෙසැම්බරයේ පටන් උසස්වීමක් ද ලබා සිටි සිල්වා තම සහායකයන් සඳහා ගෙනගිය මැතිවරන ප‍්‍රචාරක රැලි ඇමතීමට ආරක්ෂක ලේකම් ගෝඪාභය රාජපක්ෂ ඉදිරිපත් විය.

එජනිසයේ ප‍්‍රධාන පක්ෂය වන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ (ශී‍්‍රලනිප) සාමාජිකයකු වන පේ‍්‍රමචන්ද්‍ර ජනාධිපතිගේ වෘත්තීය සමිති පිලිබඳ උපදේශකයකු ලෙස පත් කෙරුනේ සමිති නායකයකු ලෙස ඔහුට පැවති අත්දැකීම් ආන්ඩුවට එරෙහි කම්කරු පන්තියේ වැඩෙන ප‍්‍රතිරෝධය පාලනය කරගැනීම හා මැඞීම සඳහා යොදාගැනීමටය.

සිල්වා හා පේ‍්‍රමචන්ද්‍ර අතර ගැටුම අහම්බයක් නොව එය පාලක පක්ෂයේ හා එහි දේශපාලන සංස්ථාපිතයෙහි යථා ස්වභාවයේ පැතිකඩකි. රාජපක්ෂ ආන්ඩුව, තම පාලනය ගෙනයාමේ දී, එල්ටීටීඊයට එරෙහි සිය වර්ගවාදී යුද්ධය තුල දී වර්ධනය හා පෝෂනය කෙරුනු මිලිටරිය මත වාරු වන අතරම කම්කරු පන්තියට, තරුනයන්ට හා සෙසු පීඩිත ජනයාට හා විශේෂයෙන් ම සිය දේශපාලන විරුද්ධවාදින්ට එරෙහිව මැර බලය ද යොදා ගනී.

මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට පහර දීම පිනිස ආන්ඩු පක්ෂයේ දේශපාලනඥයන් රාජ්‍ය බලය ද යොදාගනිමින්, හමුදාවට හා පොලීසියට සමාන්තරව කි‍්‍රයාත්මක වන, බොහෝ විට පාතාලයට සම්බන්ධ, මැර කල්ලි නිර්මානය කර තිබේ. ඔවුන් නීති විරෝධී ලෙස ගිනි අවිවලින් සන්නද්ධ කර ඇත. කොලඹ හා ඒ තදාසන්න ප‍්‍රදේශවල පමනක් නොව දිවයිනේ විවිධ පලාත්වල මැර නායකයන් ලෙස එවන් දේශපාලනඥයන් ඉස්මතු වී තිබේ. ඔවුන් සිය දේශපාලන විරුද්ධවාදීන්ට විරුද්ධ ප‍්‍රචන්ඩ කි‍්‍රයා සඳහා තමන් යටතේ සිටින මැර කල්ලි මුදා හැර තිබෙන අතර තමන් ම ද රාජ්‍ය බලයේ ආරක්ෂාව යටතේ එවන් කි‍්‍රයාවන්ට සහභාගි වෙති.

මෙම ආන්ඩුවේ දේශපාලනඥයෝ නීතිය පිලිබඳව මොනම තැකීමක් නැතිව කි‍්‍රයා කරන අතර ආන්ඩුව, පොලීසිය හා හමුදාව එයට ඉඩදී සිටිති. ඒ කම්කරුවන්ට, සිසුන් ඇතුලු තරුනයන්ට හා සෙසු පීඩිතයන්ට එරෙහිව මුදා හරිනු පිනිස පාලක පන්තියට එවන් මැර කල්ලි අවශ්‍ය බැවිනි.

ආන්ඩු පක්ෂයේ ම විවිධ දේශපාලනඥයෝ තමතමන්ගේ ආධිපත්‍යය තහවුරු කරගෙන ධනය හා වරප‍්‍රසාද ගසාකෑම සඳහා එකිනෙකා සමග පොර වැදී සිටිති. එහෙත් කම්කරුවන්ට හා පීඩිතයන්ට එරෙහිව මැර කල්ලි මුදා හැරීමේ දි ඔවුහු එකම මර්දන යාන්ත‍්‍රනයක කොටස්කරුවෝ ය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකාරයකට පාලනය ගෙනයා නොහැකි දේශපාලන හා ආර්ථික අර්බුදයකට ද සමාජ පිපිරීම් ඇතිවීමේ භීතියකට ද ආන්ඩුව මුහුන දී සිටී. කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට රුදුරු ලෙස කඩා පැන පහර දීමට ද මොන ම දේශපාලන විරුද්ධත්වයකට ඉඩ නොදී තලා දැමීමට ද ආන්ඩුව ඉදිරිපත්ව සිටින්නේ මෙම තතු තුලය.

සෙනසුරාදා සිද්ධිය නිසා ආන්ඩුව ද පොලීසිය, හමුදාව ඇතුලු රාජ්‍ය යන්ත‍්‍රනය ද කෙරෙහි මහජනතාවගේ විශ්වාසය තව දුරටත් භංගවීම පිලිබඳව පාලක පන්ති කවයන් තුල කනස්සල්ලක් මතුව තිබේ.

ඔක්තෝබර් 11 දා දි අයිලන්ඞ් කතුවැකිය පාලක පක්ෂයේ දේශපාලනඥයන්ගේ මැරකම් සම්බන්ධයෙන් පොලීසිය ඇතුලූ රාජ්‍ය යන්ත‍්‍රයෙන් ලැබෙන අනුබලය විවේචනය කරමින් මෙසේ පැවසීය: "ත‍්‍රස්තවාදය තලා දැමීම (එල්ටීටීඊය මිලිටරිමය ලෙස පරාජයට පත් කිරීම) පිලිබඳ ගෞරවය ආන්ඩුවට ලැබිය යුතුය. එහෙත්, අවාසනාවන්ත ලෙස, නීතිය කඩන්නන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී එය කරන තෝරා ගැනීම, නීතිමය කි‍්‍රයාමාර්ග පිලිබඳ බිය නොවීමේ සංස්කෘතියක් බිහි කොට ඇති අතර එය නීතියේ පාලනයට හානි සිදු කොට යුක්තිය පසිඳලීමේ පද්ධතිය පිලිබඳ මහජන විශ්වාසය බැරෑරුම් ලෙස ඛාදනය වීමකට තුඩු දී තිබේ."

ඔක්තෝබර් 10 දා ඬේලි මිරර් කතුවැකිය ධනපති දේශපාලනඥයන්ගේ මැරකම් පිලිබඳව මහජනතාවටම දොස් පවරමින් මෙසේ සඳහන් කලේය: "පුදුමයට කාරනාව නම්, මැතිවරන නීති එලෙස විවෘතව හා මුලුමනින්ම උල්ලංඝනය කිරීම ඉදිරියේ අන්ධයන් හා බිහිරන් මෙන් සිටීමට ජනතාව තීරනය කොට තිබීමයි. බොහෝ විට, ඔවුන්ගේ අතට බලය ලබාදීමේ අන්තරාය අවබෝධ කරගැනීමකින් තොරව, එවන් පුද්ගලයන්ට ඡන්දය දීමට ජනතාව මුලුමනින්ම කටයුතු කොට තිබේ." මෙය මැර දේශපාලනය මගින් සිය කුනුවීම හා සාපරාධී ස්වභාවය ප‍්‍රදර්ශනය කර ඇති ධනපති රාජ්‍ය යන්ත‍්‍රයට සුදු හුනු ගෑමේ ප‍්‍රයත්නයකි.

ඔක්තෝබර් 11 දා ඬේලි මිරර් කතුවැකිය, ගෝඨාභය රාජපක්ෂගේ ප‍්‍රකාශයක් හුවා දක්වමින් සඳහන් කලේ, දේශපාලනඥයන්ට ආරක්ෂාව පිනිස යොදවනු ලබන, "ආරක්ෂක නිලධාරින් හා වාහන සංඛ්‍යාවන් ද ගෙන යා යුතු ආයුධ ද පිලිබඳව නිකුත් කල යුතු දැඩි නිර්දේශයන් ගැන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කල ප‍්‍රකාශයට අවධානය යොමු කිරීම නිසැකවම දිරිගන්වන සුලු" බවයි.

සෙනසුරාදා සිදු වූ මරාගැනීම වැනි සිද්ධීන් කම්කරු පන්තියට තවත් එක් අනතුරු ඇඟවීමකි. පාලක පන්තියේ කොටස් තම පන්තිය තුල ප‍්‍රතිවාදී කල්ලි අතර ගනුදෙනු බේරාගන්නේ මෙවන් ම්ලේච්ඡ ආකාරයකින් නම්, ඔවුන් තම පන්ති සතුරා වන කම්කරු පන්තිය සිය මූලික අයිතීන්වලට පාලක පන්තියෙන් එල්ල වන ප‍්‍රහාරයන්ට එරෙහිව අරගලයන්ට අවතීර්න වන කල ඒවා මඩිනු පිනිස කුමන ආකාරයකින් කි‍්‍රයා කරනු ඇති ද?

ඉහල යන ජීවන වියදම හමුවේ ද රාජපක්ෂ ආන්ඩුව රැකියා, ජිවන තත්වයන් හා වැටුප් මත එල්ල කරන ප‍්‍රහාරයන්ට ද එරෙහිව කම්කරු පන්තියේ හා සෙසු පීඩිත ජනතාවගේ අරගල ඉදිරි කාලයේ දී පුපුරා ඒමට නියමිතය. එම තතු තුල මෙම මැර කල්ලි පොලීසිය හා හමුදාව සමග එක පෙලට කම්කරු පන්තියට, පීඩිත ජනයාට හා දේශපාලන විරුද්ධවාදීන්ට විරුද්ධව යොදා ගැනෙනු ඇත.

Share this article: