යුරෝ අර්බුදය: ප‍්‍රධාන බලයන් බැංකු ඇප දී බේරා ගැනීමේ නව වැඩ පිලිවෙලක් සැලසුම් කරයි

The euro crisis: Major powers plan new bank bailout

28 September 2011

ප‍්‍රධාන බලවතුන් යලි වතාවක් අවපාතය වෙතට ඇදී යාමත් සමග ම අත්ලාන්තික් සාගරයෙන් වෙන් වන කලාප ද්වයේ ම ආන්ඩු බැංකු ඇප දී බේරා ගැනීමේ තවත් දැවැන්ත වැඩ පිලිවෙලක් සැලසුම් කරමින් සිටී. එවැනි ඇප දීමක් සැලසුම් කල යුත්තේ කෙසේ ද යන්න ගැන සැලකිය යුතු මත ගැටුම් පවතී. එසේ වතුදු, ග‍්‍රීසිය රාජ්‍ය නය ආපසු නොගෙවීම නිසා බැංකුවලට සිදු වූ අලාභ පියවීමට මහජන අරමුදල්වලින් තවත් බිලියන සිය ගනනක් යෙදවිය යුතු යැයි පොදු එකඟතාවක් පවතී.

වසර තුනකට ඉහත දී වෝල් වීදියේ කඩා වැටීමෙන් අනතුරුව සිදු වූවාක් මෙන්-මෙවර ඊටත් වඩා දැවැන්ත පරිමානයේ කඩා වැටීමක්ව තිබිය දීත්, තම සමපේක්ෂන ක‍්‍රියාකාරකම් ඔස්සේ ගෝලීය අර්බුදය වේගවත් කල මූල්‍ය ප‍්‍රභූවේ ධනය රාජ්‍ය භාන්ඩාගාර කොල්ල කෑම හරහා සුරක්ෂිත කරනු ඇත. මෙය කරනු ඇත්තේ ආන්ඩු "රාජ්‍ය ආදායම ශක්තිමත් කිරීමේ” නාමයෙන් කම්කරු පන්තිය මත තම ප‍්‍රහාර වේගවත් කරමින් සිටිය දී ම ය.

බැංකුවලට අභිනවයෙන් පුදන ධනස්කන්ධය හිලව් කර ගනු පිනිස දැනට මත් ආර්ථික පරිහානියටත් දැවැන්ත සමාජ ව්‍යසනයකටත් ඇද දමා ඇති ග‍්‍රීසිය හා බෙහෙවින් ම නයගැති අනෙකුත් යුරෝපා රටවල් තුල අතිශය ම්ලේච්ඡ පටි තද කිරීමේ පියවරවල් ක‍්‍රියාවට දමනු ඇත. එමෙන් ම එක්සත් ජනපදයෙහි හා යුරෝපයේ අනෙකුත් කොටස්වල සමාජ කප්පාදු තව දුරටත් උත්සන්න කරනු ඇත.

පසු ගිය සති අන්තයේ වොෂින්ටනයේ දී පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සංවිධානය කල රැස්වීමේ දී ඉස්මත්තට පැමිනි ඉල්ලීම්වල අර්ථය වූයේ මෙය යි. යුරෝපා බැංකු "ප‍්‍රතිප‍්‍රාග්ධනායනය” කිරීමටත් ෆ‍්‍රෑන්ක් බිලියන 440 යුරෝපා මූල්‍ය ස්ථාවරකරන වැඩ පිලිවෙල (ඊඑෆ්එස්එෆ්),වඩාත් දැවැන්ත මුදල් කඳු යුරෝපා මහ බැංකුව (ඊසීබී) මගින් මූල්‍යමය වෙලඳ පොලවල් වෙතට පොම්ප කිරීමට ඇති ශක්‍යතාව තහවුරු කර ගෙන, ප‍්‍රසාරනය කිරීමටත් මෙම රැස්වීම පැවැත්වින.

ජර්මනියේ සහ අනෙකුත් උතුරු යුරෝ කලාපීය රටවල ප‍්‍රතිරෝධයට එරෙහිව එක්සත් ජනපදය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ආක‍්‍රමනශීලි අයුරින් පිටුබලය දෙන ලද මෙකී පියවරයන් ග‍්‍රීක රාජ්‍ය බැඳුම්කරවල වටිනාකම මත සියයට 50ක පාරිතෝෂිකයක් පිරිනැමීම මගින් ග‍්‍රීක රාජ්‍ය නය "ප‍්‍රතිව්‍යුහගත කිරීමේ” වැඩ සටහනකට ඈඳනු ලබමින් ඇත. එවැනි "පාලිත නය පැහැර හැරීමක” ප‍්‍රතිඵලයක් ලෙස පීඩාවට පත් වනු ඇති යුරෝපා හා ඇමරිකානු බැංකුවල යෝධ පාඩු ඊඑෆ්එස්එෆ් හා ඊසීබී හරහා ක‍්‍රියාවට දමන නව ඇප දීම් මගින් පියවෙනු ඇත.

එවැනි යුරෝපා පරිමාන ඇප දීමේ වැඩ සටහනකට එරෙහිව ජර්මානු නිලධාරීන් පෙරට විත් ඇත. එවැන්නක වියදම විශාල වසයෙන් දැරීමට සිදු වනු ඇත්තේ ජර්මනියට ය. ඒ වෙනුවට බර්ලිනය, ග‍්‍රීක නය පැහැර හැරීමක් සිදු වුව හොත් ඇප දී ජර්මානු බැංකු බේරා ගැනීමේ තමන්ගේ ම ජාතික වැඩ සටහනක් සැලසුම් කරමින් සිටී.

පසු ගිය සති අන්තයේ දී, ඇමරිකානු හා බි‍්‍රතාන්‍ය පුවත්පත් ගනනාවක් ම යුරෝපා නය අර්බුදය සමග ගනුදෙනු බේරා ගැනීමේ ඊනියා "යෝධ විපර්යාසකර” හා "ක්ෂනික මවිතකර” සැලැස්මක් පිලිබඳව ලියුවේ ය. ඊඑෆ්එස්එෆ් සඳහා පවතින සම්පත් ප‍්‍රමානය ෆ‍්‍රෑන්ක් ටි‍්‍රලියන 2ක මට්ටමට වැඩි කරනු ඇති අතර, යුරෝ මුදල් අච්චු ගැසීමේත් ග‍්‍රීසිය, අයර්ලන්තය, පෘතුගාලය, ස්පාඤ්ඤය හා ඉතාලිය යන ආන්ඩුවල බැඳුම්කර මිල දී ගැනීම වැඩි කිරීමේත් පූර්න අභිමතානුකූල බලය යුරෝපා මහ බැංකුවට පිරිනමනු ඇත.

සමපේක්ෂකයන් පිලිබඳව හා බැංකු ඇප දී බේරා ගැනීමේ නව වැඩ පිලිවෙලක් පිලිබඳව බලාපොරොත්තුවෙන් සඳුදා හා අඟහරුවාදා දිනයන්හි එක්සත් ජනපද හා යුරෝපා කොටස් වෙලඳ පොලවල් ක්ෂනිකව ඉහල ගියේ ය. වසර තුනකට ඉහත දී දියත් කල ප‍්‍රථම ඇප දී බේරා ගැනීමේ රැල්ල ප‍්‍රධාන බැංකු හා සංගතවලට ඒවායේ ලාභ කඳු ඉමහත් පරිමානයෙන් වැඩි කර ගැනීමට අවස්ථාව සම්පාදනය කලේ ය. ඒ, එක්සත් ජනපදයේත් යුරෝපයේ වැඩිමනත් කොටසකත් විරැකියාව අවපාත පරිමානයට ලඟා වී තිබිය දීත් ය. වැටුප් පහල හෙලීමටත් සුභසාධන රාජ්‍යයේ ඉතිරිපහදු ටිකත් කීතු කිරීමටත් ධනපති පන්තිය විසින් අර්බුදය යොදා ගැනීමත් සමග ම ධනපතියන් හා දුප්පතුන් අතර පරතරය පුලුල් වී ඇත.

මෙරිල් ලින්ච් හා කැප්ජෙමිනි ආයතන නිකුත් කල මෑත ම ධනසම්පත් වාර්තාවට අනුව මිලියන 11කට ආසන්න "ඉහල ශුද්ධ වත්කමක්” සහිත පුද්ගලයන්ගේ ඒකාබද්ධ ආදායම 2009 සහ 2010 වසරවල දී පිලිවෙලින් සියයට 17කින් හා සියයට 9.7 කින් ඉහල ගොස් ඇති අතර එහි මුලු එකතුව ඩොලර් ටි‍්‍රලියන 42.7 දක්වා ලඟා වී ඇත. මෙම එකතුව, පටි තද කිරීමේ වැඩ සටහන්වල ප‍්‍රතිඵලයක් ලෙස ජනයා දරිද්‍රතාවට ඇද වැටී ඇති යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ සියලු ම රටවල ඒකාබද්ධ රාජ්‍ය අයවැය හිඟයන්ට වඩා බෙහෙවින් වැඩි ය.

යුරෝපය මුලුල්ලේ පටි තද කිරීමේ පිලිවෙත් ක‍්‍රියාවට දැම්මවීම සඳහා තොරක් නැතිව බලපෑම් දමන ජර්මනියේ පෞද්ගලික ධනය පසු ගිය මාස 15 පුරා ෆ‍්‍රෑන්ක් බිලියන 350කින් ඉහල ගොස් තිබේ. මෙම ප‍්‍රමානය ග‍්‍රීසියේ සමස්ත නය ප‍්‍රමානයට හරියට ම සමාන ය. ස්විස් බැංකුවේ තැන්පත් කර ඇති ග‍්‍රීසියේ බහුමිලියනපතියන්ගේ සමස්ත ධනය ෆ‍්‍රෑන්ක් බිලියන 600ක් බව, රටේ රාජ්‍ය නය මෙන් දෙගුනයකට ආසන්න ප‍්‍රමානයක් බව, ඩර් ස්පීගල් සඟරාව මෑතක දී වාර්තා කලේ ය.

වත්මන් ඊඑෆ්එස්එෆ්ය ප‍්‍රසාරනය කිරීමකට පක්ෂව මෙම බ‍්‍රහස්පතින්දා දින ජර්මානු පාර්ලිමේන්තුවේ දී බලපෑම් සහගත ඡන්දයක් දීමට පොරොත්තු වෙමින් සිටිය දී එක්සත් ජනපදය හා ජර්මනිය අතර ආතතීන් වැඩි දියුනු වී ඇත. යුරෝපයට "ඕනෑවට වඩා කාලයක්” නැති බවටත් "එය ඉදිරියට ගෙන යාම”අවශ්‍ය බවටත් සඳුදා දින එක්සත් ජනපද භාන්ඩාගාර ලේකම් තිමොති ගයිත්නර් අනතුරු ඇඟවූවේ ය. යුරෝපය සිය අක‍්‍රිය භාවයෙන් "ලෝකය තැති ගැන්වූ” බවට ජනාධිපති බැරැක් ඔබාමා චෝදනා කලේ ය.

බර්ලිනයේ ප‍්‍රතිචාරය කඩිනමින් පැමිනියේ ය. ඊඑෆ්එස්එෆ් කෙරෙහි දක්වන වත්මන් කැප වීම පුලුල් කිරීමට ආන්ඩුවට කිසි ම අදහසක් නැති බව ජර්මානු මුදල් අමාත්‍ය වුල්ෆ්ගැන්ග් ෂොයිබ්ලර් සඳහන් කලේ ය. ජර්මානු කර්මාන්තකරුවන්ගේ සංගමය ආමන්ත‍්‍රනය කරමින් චාන්සලර් ඇන්ජිලා මර්කල් ප‍්‍රකාශ කලේ, මොන යම් හෝ තව දුර උත්තේජන පියවරයන්ට හෝ නය වැඩි කිරීමකට ජර්මනිය විරුද්ධ බව යි.

ආර්ථික අර්බුදය ගැඹුරු වීමත් එක්සත් ජනපදය පසුපසින් යුරෝපය ද පරිහානිය කරා ඇදී යාමත් නිසා අන්තර්-අත්ලාන්තික් මිතුරන් අතර ඝට්ටන උත්සන්න වෙමින් තිබේ. එමෙන් ම, යුරෝපා සංගමය තුල ම පසමිතුරුතා වැඩෙමින් පවතී. ඉතිහාසය පිලිබඳ අවබෝධයෙන් යුතු ඇතැම් ජ්‍යෙෂ්ඨ යුරෝපා දේශපාලනඥයන් යුරෝ කලාපය කැබලි වී යාමකින් මතු වන අනතුරු පිලිබඳව දැනට මත් අනතුරු අඟවා තිබේ.

යුරෝපා ව්‍යාපෘතිය බිඳ වැටුන හොත් දශකයක් ඇතුලත යුද්ධයක් ඇති විය හැකි බවට මෙම මස මුල දී පෝලන්තයේ මුදල් ඇමති ජාසෙක් රොස්ටොව්ස්කි අනතුරු ඇඟවූවේ ය. යුද්ධය "ඉදිරි මාසයේ දී සිදු නොවිය හැකි වුවත් වසර දහයක කාල පරාසයක් තුල දී සිදු විය හැකි යැ”යි රොස්ටොව්ස්කි වාර්තාකරුවන්ට කී ය.

ධනවාදය ලෝක මහජනතාවට ඉදිරිපත් කරන අනාගතය මෙය යි: එනම්, අවපාතය, ආඥාදායකත්වය සහ යුද්ධය යි. වත්මන් අර්බුදය නියෝජනය කරන්නේ ලෝක ධනේශ්වර පද්ධතියේ අසමත්කම යි. වැඩ කරන ජනයාගේ ප‍්‍රජාතාන්ත‍්‍රික පාලනය යටතේ නිෂ්පාදන බලවේග පොදු අයිතියට නතු කෙරෙන සහ පාලනය වන පද්ධතියකින් සහ පෞද්ගලික ලාභය සඳහා නො ව සමාජ අවශ්‍යතාවන්ට ඔබින අයුරින් සැකසුනු සැලසුම්ගත ආර්ථිකයකින්, එනම් සමාජවාදයෙන් එම පද්ධතිය විස්ථාපනය කල යුතු ය.

මෙය ඉල්ලා සිටින්නේ, බැංකු සහ සංගතවල ඒකාධිකාරය බිඳ දමා කම්කරු ආන්ඩු ස්ථාපිත කිරීම සඳහා යුරෝපා, ඇමරිකානු හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ මහා විප්ලවවාදී බලමුලු ගැන්වී ගැනීම යි.

ස්ටීවන් ස්ටයින්බර්ග්

Share this article: