වෝල් වීදිය යූඒඩබ්ලිව්-ජෙනරල් මෝටර්ස් ගනුදෙනුවට ප‍්‍රනාමය පුදයි

Wall Street hails UAW-GM deal

1 October 2011

එක්සත් මෝටර් රථ කම්කරු සමිතිය (යූඒඩබ්ලිව්) සහ ජෙනරල් මෝටර්ස් සමාගම අතර ඇති වුනු නව සිව් අවුරුදු ශ‍්‍රම ගිවිසුමට වෝල් වීදියේ විශ්ලේෂකයන් වගවර්නනා කර ඇත. 2009 දී ජනාධිපති බැරැක් ඔබාමා ඇප දීම සඳහා කොන්දේසියක් ලෙස වැටුප්, දීමනා සහ සේවා කොන්දේසිවල බරපතල කප්පාදුවක් ඉල්ලා සිටි අතර, සමාගම බංකොලොත් වීමෙන් පසුව එලඹි මෙම පලමු කොන්ත‍්‍රාත්තුවේ දී රථ නිෂ්පාදකයා එම කප්පාදු තවත් පුලුල් කලේ ය.

48,500ක් වන ජෙනරල් මෝටර්ස් කම්කරුවන්ගේ පැයක වැටුප වැඩි කිරීම සියයට 1ට සීමා කර ඇත. මෙය දශක හතරක් තුල සිදු වුනු සොච්චම් ම පඩි වැඩි වීම යි. කොටස් මිල දී ගැනීම සඳහා දැරූ අමතර වියදම, ප‍්‍රසාද දීමනා සහ අඩු ම පඩි ලබන කම්කරුවන්ට ලබා දුන් සොච්චම් පඩි වැඩි වීම සඳහා වැය කල මුදලට වැඩි මුදලක්, ජීවන වියදම් දීමනා වැඩි කිරීම් අහෝසි කිරීමෙන්, අතිරික්ත යැයි සේවය අත්හිටවූ කම්කරුවන්ට ගෙවන දීමනා අහිමි කිරීමෙන් සහ තවත් සහන ගනනාවක් වනසා දැමීමෙන් හිලව් කර ගැනේ.

කාර්තු හයක් තිස්සේ ලාභ වාර්තා කල, ඩොලර් බිලියන 30ක මුදල් තොගයක් සන්තක ජෙනරල් මෝටර්ස් සමාගම වසර අටක් තිස්සේ වැටුප් අත්හිටුවීමකින් පීඩා විඳින කම්කරුවන් වෙනුවෙන් කිසිදු පඩි වැඩි කිරීමක් ලබා නොදෙනු ඇත. වත්මන් උද්ධමන අනුපාතිකය යටතේ කොන්ත‍්‍රාත්තු කාල සීමාව අතරතුර දී සෑම කම්කරුවෙකුට ම තම මූර්ත වැටුපෙන් තවත් ඩොලර් 16,000ක් අහිමි වනු ඇත. 1953න් මෙපිට පලමු වතාවට විශ‍්‍රාමිකයන් සියදහස් ගනනක් කිසි ම වැඩි දියුනුවක් නො අත්විඳිනු ඇත.

මේ අවුරුද්දේ ඩොලර් මිලියන 11ක් සාක්කුවේ ලා ගනිතැයි අපේක්ෂිත ප‍්‍රධාන විධායක නිලධාරි ඩෑන් ඇකර්සන් දුරකථන සමුලුවක දී ආයෝජකයන්ට පැවසුවේ, "අලුත් ගිවිසුම දිගු කාලයේ දී ජය ගත හැකි තත්ත්වයකට ජෙනරල් මෝටර්ස් පත් කරන” බව යි. ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් ආයතනය ජෙනර්ල් මෝටර්ස් වත්කම් ශ්‍රේනිය වහා ඉහල නැංවී ය.

ගනුදෙනුව ව්‍යාපාරික ආයතන දෙකක් අතර කුමන්ත‍්‍රනයකි. ඉන් එකක් තව මත් හඳුන්වන්නේ "වෘත්තීය සමිතියක්” ලෙසිනි. එය අධිෂ්ඨාන සහගතව සිටින්නේ 1930 ගනන් කරා ආපසු යාමට ය. මහ ව්‍යාපාරිකයන්ගේ ලාභ නො තකා ආරක්ෂා කල යුතු අවශ්‍යතාවන් කම්කරුවන්ට ඇති බව ඇඟවෙන කිසි ම යෝජනාවක් ඉදිරිපත් කිරීම ප‍්‍රතික්ෂේප කරමින් යූඒඩබ්ලිව් සභාපති බොබ් කිං මුල සිට ම පිලින දුන්නේ සංගතයේ "ස්ථාවර පිරිවැය” ඉහල නො දමන බවට ය.

2005න් පසු සමය පමනක් සැලකිල්ලට ගත්ත ද පැය ගනනට වැඩ කරන කම්කරුවන් සංඛ්‍යාව 111,000 සිට 48,000 දක්වා අඩු කිරීමටත් තුනෙන් දෙකක් තරම් අතිවිශාල ප‍්‍රමානයකින් ශ‍්‍රම වියදම කප්පාදු කිරීමටත් සමිතිය සමාගමට උදව් කර ඇත. කම්කරුවන්ට මින් අර්ථවත් වන්නේ ජීවන තත්ත්වයන් පහත වැටීම, තරුන කම්කරුවන්ට දරිද්‍රතා මට්ටමට ආසන්න වැටුප් සහ කුරිරු ලෙස වැඩ වේගවත් කිරීම යි.

කොන්ත‍්‍රාත්තුව අනුමත කිරීම සතුටින් පිලිගනිමින් "ඇමරිකාව තුල යහපත් වැටුප් සහිත රැකියා පවත්වා ගෙන යාම” සම්බන්ධයෙන් ජනාධිපති ඔබාමාට ප‍්‍රශංසා කල කිං, "ඇමරිකාව තුල රැකියා වැඩි කිරීම සඳහා” යූඒඩබ්ලිව් සමිතිය "ජෙනර්ල් මෝටර්ස් කලමනාකරනය සමග එක්ව වැඩ කිරීමට අධිෂ්ඨාන සහගතව සිටින” බව ද පැවසී ය.

වැටුප් පහත හෙලීමෙන්, සමිතිය මෙක්සිකෝවේ තිබෙන කර්මාන්ත ශාලාවල නිෂ්පාදනයෙන් යම් කොටසක් එක්සත් ජනපදය කරා ආපසු රැගෙන ඒමට සමාගම පොලඹවා ඇත. ටෙනසිහි කර්මාන්ත ශාලාව යලි විවෘත කිරීම ද මීට ඇතුලත් ය. කම්කරුවන්ගෙන් බහුතරය නො වේ නම් විශාල ප‍්‍රතිශතයක් වැටුප් තල දෙකක් මත වැඩ කරන "නවීන” ශ‍්‍රම ගිවිසුමක් යටතේ එය ක‍්‍රියාත්මක වනු ඇත.

පවතින "යහපත් වැටුප් සහිත රැකියා” ලබා දෙන්නේ යූඒඩබ්ලිව් සමිතිය දුවවන දූෂිත ව්‍යාපාරිකයන්ට පමනකි. කම්කරුවන් දරිද්‍රතා මට්ටමේ වැටුප් පිලිගත යුතු යැයි ඉල්ලා සිටින නමුත් පසු ගිය දෙවසරේ දී කිංගේ සහ අනෙක් ඉහල පෙලේ යූඒඩබ්ලිව් නිලධාරීන්ගේ ඉලක්කම් හයේ වැටුප සියයට 24කින් වැඩි විය.

කොන්ත‍්‍රාත්තුවෙන් අදහස් වන්නේ ලාභ ආදායම වශයෙන් තවත් මිලියන ගනනක් ලැබෙනු ඇති බව යි. තම ශ‍්‍රම බලකාය පාලනය කිරීම සඳහා යූඒඩබ්ලිව් සමිතිය කුලියට ගැනීමට යුරෝපා සහ ආසියානු මෝටර් රථ නිෂ්පාදකයන් පොලඹවා ගැනීමට කොන්ත‍්‍රාත්තුව යොදා ගැනෙනු ඇත.

කම්කරු පන්තිය සහ මෙම සංගත කල්ලිය අතර නොවැලැක්විය හැකි ගැටුමක් මෝදු වෙමින් පවතී.

කිංට අනුව, අනුමත කරමින් ලබා දුන් සියයට 65 ඡුන්දය වූකලි හඬ නගා අනුමැතිය පල කිරීමකි. එහෙත් සැබෑව නම්, පාවා දීමේ යෝජනාව පරාජය කරමින් අඩු ගනනේ කර්මාන්ත ශාලා තුනක-මිචිගන්හි ඩෙල්ටා ටවුන්ෂිප් එකලස් කම්හලෙහි සහ විලෝ රන් බෙදා හැරීම් මධ්‍යස්ථානයෙහි සහ ඉන්ඩියානාපොලිස්හි ඉන්ඩියානාපොලිස් ස්ටෑම්පිංහි-බරපතල විරුද්ධත්වයක් පැවති බව යි. ඩෙට්රොයිට් නගරාසන්න ලේක් ඕරියන් එකලස් කම්හලෙහි සහ අනෙක් කම්හල්වල කම්කරුවෝ විශාල සංඛ්‍යාවක් විරුද්ධත්වය පල කරමින් "නැහැ” යි ඡන්දය දුන්හ. කම්කරුවන් පවත්වා ගෙන යන බ්ලොග් පිටු සහ ෆේස්බුක් පිටු යූඒඩබ්ලිව් සමිතිය හෙලා දැකීම්වලින් පිරී ගියේ ය. විශ‍්‍රාම වැටුප් කප්පාදුව නිසා විශ‍්‍රාමිකයෝ සාමාජික ගාස්තු ගෙවීම වර්ජනය කල යුතු යැයි කැඳවුමක් කලහ.

ඇතැම් විට වඩාත් ම අර්ථභාරී කරුන වූයේ විශාල පිරිසක් ඡන්දය දීමෙන් වැලකී සිටීම විය හැකි ය. ඇතැම් ශාඛාවල ප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රමානය සියයට 10ක් තරම් පහල මට්ටමක විය. මෙයින් අනාවරනය වන්නේ කම්කරුවන් බරපතල ලෙස යූඒඩබ්ලිව් සමිතියෙන් දුරස්ථ වීම යි. කොන්ත‍්‍රාත්තුව ප‍්‍රතික්ෂේප කල හොත් සමිතිය තමන් ආරක්ෂා කිරීමට කිසිවක් නොකරන බව ඔවුහු දැන සිටියහ. කම්කරුවන්ගෙන් බහුතරය තව දුරටත් සමාගම සහ ඊනියා වෘත්තීය සමිතිය අතර කිසිදු වෙනසක් නො දකිති.

කෙසේ වුව ද, විරුද්ධත්වයට අකර්මන්‍යව පැවතිය නොහැකි ය. කම්කරුවන් සහ යූඒඩබ්ලිව් සමිතිය අතර පන්ති ගැටුමක් පවතී. තම සමිතියෙන් භේද වී ගොස් මෝටර් රථ කම්කරු කැරවනය සහ සහයෝගිතාවේ සොල්දාදුවෝ යන සංවිධාන තුල සිටින අයගේ සහ ඔවුන්ගේ ව්‍යාජ වාම ආධාරකරුවන්ගේ ප‍්‍රකාශවලට විරුද්ධත්වය පාමින් සමාගමට එරෙහිව සටනට පිවිසීමට යූඒඩබ්ලිව් සමිතියට නොහැකි ය. සටනට පිවිසෙන ලෙස සමිතියට බල කෙරෙනු ද නැත. එය කම්කරුවන්ට වග නො කියන සංගතවල සහ ආන්ඩුවේ උපකරනයක්.

කම්කරුවන්ට අරගලය සඳහා නව සංවිධානයක් අවශ්‍ය වන්නේ එබැවිනි. මෝටර් රථ කම්කරුවන් දැන් යූඒඩබ්ලිව් සමිතියෙන් ස්වාධීනව සහ ඊට විරුද්ධව මහජන කමිටු සංවිධානය කරමින් ජෙනරල් මෝටර්ස් ගිවිසුම පරාජය කිරීමට සූදානම් විය යුතු ය; ෆෝඩ් සහ ක‍්‍රයිස්ලර් සමාගම් තුල සාකච්ඡා වෙමින් තිබෙන ඕනෑ ම තුච්ඡ ගනුදෙනුවක් පරාජය කිරීමට, වැටුප් තල දෙකේ ක‍්‍රමය අහෝසි කිරීමට සහ සියලු වැටුප් සහ දීමනා සහන යලි ස්ථාපනය කිරීමට සූදානම් විය යුතු ය.

මෙය වනාහි සංගත විධායකයන්ගේ සහ වෝල් වීදියේ ආයෝජකයන්ගේ සාක්කුවලට බිලියන ගනන් ගලා යැවීම සඳහා කම්කරුවන් මහා විරැකියාව සහ දරිද්‍රතාව පිලිගත යුතු යැයි අවධාරනය කරන ඔබාමා පාලනාධිකාරයට සහ මහ ව්‍යාපාරිකයන්ගේ පක්ෂ දෙකට එරෙහි දේශපාලන අරගලයකි.

මූල්‍ය ප‍්‍රභූව සමාජය මත පවත්වා ගෙන යන දැඩි ග‍්‍රහනය බිඳ දැමීම සඳහා කාර්මික සහ දේශපාලනික සටනක් කිරීමටත් කම්කරු පන්තියේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ආර්ථිකය ප‍්‍රතිසංවිධානය කිරීමටත් කම්කරුවන් ස්වාධීන බලවේගයක් ලෙස සංවිධානය විය යුතු ය.

හැත්තෑපස් වසරකට පෙර සමාගම් හිතැති ඒඑෆ්එල් සමිතිවලට එරෙහි කැරැල්ලකට නායකත්වය දුන් වාමාංශික සටන්කාමීන් සහ සමාජවාදීහු ෆ්ලින්ට්හි සහ වෙනත් නගරවල ක‍්‍රියාවට නැංවුනු වාඩි ලා ගැනීමේ වැඩ වර්ජන මධ්‍යයේ යූඒඩබ්ලිව් සමිතිය පිහිටුවූහ. එම අරගලවලට ජීවය දුන් සටන්කාමී සහ සමාජවාදී සම්ප‍්‍රදායන් යලි පන ගැන්විය යුතු ය.

පෞද්ගලික ලාභය නො ව මානව අවශ්‍යතා තෘප්තිමත් කිරීම උදෙසා සමාජයේ ධනය නිපදවන්නන් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කෙටුම්පත් කරන තාර්කික සැලැස්මකට අනුව ආර්ථික ජීවිතය සංවිධානය විය යුතු ය. එක්සත් ජනපදයෙහි සහ ජාත්‍යන්තරව ඇති වන සැලසුම්ගත සමාජවාදී ආර්ථිකයක කොටසක් ලෙස මෝටර් රථ කර්මාන්තය මහජන උපයෝගිතා ආයතනයක් බවට පරිවර්තනය කිරීම ද මෙහි අඩංගු ය.

මෙම සටන ආරම්භ කිරීමේ අවශ්‍යතාව දකින සියලු කම්කරුවන්ගෙන් සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටින්නේ අප අමතන්න. අපගේ ක‍්‍රියා මාර්ගය අධ්‍යයනය කරන්න. කම්කරු පන්තියේ නව නායකත්වය ලෙස සසපය ගොඩ නැගීමට උදව් වන්න. සසපය සහ එහි කි‍්‍රයාමාර්ගය පිලිබඳ තොරතුරු ලබා ගැනීම සඳහාමෙතැනින් යන්න.

ජෙරී වයිට්

Share this article: