ලිබියානු "කැරලිකරුවන්ගේ” අපරාධ පිලිබඳ තොරතුරු එක්රැස්වෙයි

Evidence mounts of atrocities by Libyan “rebels”

29 August 2011

ටි‍්‍රපොලි නුවර රැඳී සිටින මාධ්‍යකරුවන්ගෙන් ලැබෙන වාර්තා රැසකින් ලිබියානු සිවිල් යුද්ධයේදී නේටෝවේ පිටුබලය ලබන හමුදා සිදුකරන ජන සංහාර පිලිබඳ සාක්ෂි අනාවරනය කෙරෙයි. ගඩාෆි තන්ත‍්‍රය පෙරලා දැමීමට එක්සත් ජනපද-නේටෝ මැදිහත්වීමට බෙහෙවින් අනුබලය සපයන ප‍්‍රකාශයන්හි අන්තර්ගතවන මෙම වාර්තා ලිබියාවට එරෙහි අධිරාජ්‍යවාදී යුද්ධය මානවවාදී අරමුනු වලින් ද සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ද කෙරෙන බවට පලවන බේගල් තවදුරටත් එලිදරව් කෙරෙයි.

වොෂින්ටන් පෝස්ට් පුවත්පත 27දා "ලිබියාව තුල වැඩිවෙමින් තිබෙන කැරලිකරුවන්ගේ නීතිවිරෝධී ජනඝාතන හා පලිගැනීමේ මිනිස් ඝාතන නව නිදහස මත අඳුරු සෙවනැල්ලක් පතිත කරයි” යන සිරස්තලය සහිත ප‍්‍රධාන වාර්තාවක් පලකලේය. එම සිරස්තලය දැන් ලිබියාව තුල සිදුවෙමින් ඇත්තේ නිදහසේ නව උපතක් යයි ලිබියාවේ නේටෝ පිටුබලය සහිත නව තන්ත‍්‍රය වන ජාතික සංක‍්‍රමනීය කවුන්සිලය (එන්ටීසී) මෙන්ම ඔබාමා පාලනය ද කියාපාන දේ හා දේශපාලනිකව මෙහෙයවනු ලබන හා සමහර අවස්ථාවල වාර්ගික හේතුමත සිදුකෙරෙන ඝාතන පිලිබඳ යථාර්තය අතර පරස්පර විරෝධය ද පෙන්නුම් කරයි.

පුවත්පතේ සයිමන් ඩෙන්යර් නමැති වාර්තාකරු අවධාරනය කරන්නේ, ගඩාෆිගේ හමුදා "මෙම සතිය තුල බොහෝ දෙනෙක් සමහරවිට සිය ගනනක් දේශපාලන සිරකැවන් ඝාතනය කල අතර ජයග‍්‍රහනයෙන් පසුව පවා කැරලිකරුවන් ද තමන්ගේ ම ක‍්‍රමයට එවන් අපරාධ සිදුකර ඇත” යනුවෙනි. ඩයනා එල්තහාවි නම් ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ ලිබියානු පරියේෂිකාවකගේ සාක්ෂි ඔහු උපුටා දැක්වීය. "නැගෙනහිර සිට බටහිර දෙසට රට යටත්කරගෙන සිටින කැරලිකරුවන් අතට හසුවූ ගඩාෆි හිතවාදී සටන්කරුවන් අපයෝජනයට වධදීමට හා නීති විරෝධී ලෙස ඝාතනය කිරීමට සම්බන්ධ වාර්තාවක් ඇය ඉදිරිපත් කලාය.”

එම වාර්තාකරු දුටු ආකාරයට දැන් "කැරලිකරුවන්” මුර සංචාරයේ යෙදෙන කොටසක හමුදා රෝහලක් තුල ගඩාෆිගේ තුවාල ලැබූ හමුදා භටයින් පස් දෙනෙක් ආහාර, ජලය හෝ වෛද්‍යාධාර නොමැතිව මිය යමින් සිටියේය. ගඩාෆිට පක්ෂපාතී යයි විශ්වාස කල බොහොමයක් කලු අප‍්‍රිකානුවන් වූ අයගේ සිරුරු 15ක් ගඩාෆි පවුලේ වැඩි දෙනෙක් ජීවත්වූ බාබ් අල් අසිසියා සංකීර්නයෙන් පිටත හිරු රැසින් කරවෙමින් තිබුනි. ඩෙන්යර්ට අනුව "ඒ සියල්ලම සාමාන්‍ය හමුදා ගැටුමකින් පසුව සිදුවූ මරන ලෙස දිස් නොවීය. තනකොල මත මුනින් අතට මැරී වැටී සිටි දෙදෙනෙකුගේ දෑත් ප්ලාස්ටික් නූල්වලින් පිටුපසට ගැටගසා තිබුනි.”

මැක් ක්ලැචි ප‍්‍රවෘත්ති සේවය ද එම බිහිසුනු දර්ශනය ම වාර්තාකර තිබුනි. "මියගියවුන් ගඩාෆිට පක්ෂපාතී වූවන් බව පෙනෙන්නට තිබුනි. එහෙත් ඔවුන් සටනක යෙදී සිටියේ නැත. සමහරෙකුට වෙඩි තබා තිබුනේ සමහරවිට නින්දේ සිටිය දී ඔවුන්ගේ කූඩාරම් තුලම ය. ඔවුහු පාවහන් පැලඳ නොසිටියහ. එක් අයෙකුට ගිලන් රථයක් තුල වෙඩිතබා ඇති අතර තවත් අයෙකු කූඩාරම් රෝහලක් තුල මරා දමා තිබුනි. ඒවන විටත් ඔහුට සවිකර තිබූ බෙහෙත් නලයෙන් බෙහෙත් වෑස්සෙමින් තිබුනි. අනෙකුත් අයගේ හිස පිටුපස වෙඩි පහරවල් දක්නට ලැබුනි. මෙය කැරලිකරුවන් විසින් සිදුකල ඝාතනයක් බවට තොරතුරු අනාවරනය වෙමින් ඇත.”

බි‍්‍රතාන්‍යයේ පලවන ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පතේ පැටි‍්‍රක් කොක්බර්න් එම දර්ශනය ම 28දා විස්තර කර තිබුනේ, "කැරලිකරුවෝ ආඥාදායකයාගේ මිනිසුන්ගෙන් පලිගනිති” යන සිරස්තලය යටතේය. "මිනිසුන් 30 දෙනෙකුගේ කුනුවන මල සිරුරු වලින් බොහොමයක් කලු ජාතිකයින්ගේ ය. බොහෝ දෙනෙකුගේ දෑත් බැඳ තිබුනි. මධ්‍යම ටි‍්‍රපොලිහි ගිලන්රථ තුල ලෙඩ ඇඳන් මත සිදුකර තිබුනු මෙම ඝාතන ලිබියාවේ අනාගතය කෙබඳු විය හැකි ද යන්න පිලිබඳව පැහැදිලිව ම තිත්ත රසයක් ජනිත කරයි. බලයට පත්වීමට නියමිත තන්ත‍්‍රය ගඩාෆිට පක්ෂපාතී හමුදාවන්ගෙන් පලි නොගන්නා බව කියන පක්ෂග‍්‍රාහී ප‍්‍රකාශ පලකොට ඇතත් එමගින් කුලී භටයින් ලෙස හංවඩු ගසන අයගේ ආරක්ෂාව සහතික නොකෙරෙයි. පැරනි තන්ත‍්‍රය වෙනුවෙන් සටන්කල බවට චෝදනා එල්ල කෙරෙන කලු හම ඇති කිසිදු ලිබියානුවෙකුට දිවිගලවා ගැනීමට ඇත්තේ මඳ අවස්ථාවක් පමනි.”

ජාත්‍යන්තර ක්ෂමා ආයතනය උප සහරානු අප‍්‍රිකාවෙන් සංක‍්‍රමනයවූ දස දහස් සංඛ්‍යාත කම්කරුවන්ගෙන් වැඩි දෙනෙකුට ටීඑන්සී හමුදා "කුලී භටයින්” යන හංවඩුව ගසා ඇති බවත් ඔවුන්ගේ හමේ පාට නිසා පමනක් එසේ වන බවත් සිරභාරයට පත්කිරීමේ වධදීමේ හා සමූහ වශයෙන් මරාදැමීමේ අවදානමට මුහුනපා ඇති බවත් සනාථ කර තිබේ.

කැරලිකරුවන්ගේ අපයෝජන පිලිබඳ එක් වාර්තාවක් පලකලේ "කැරලිකරුවන්ට” උද්යෝගිමත්ව පිටුබලය දුන් රූපට් මර්ඩොක්ගේ ස්කයි නිව්ස් නමැති බි‍්‍රතාන්‍ය විකාශන ජාලයක ඇලෙක්ස් ක්‍රෝෆර්ඩ් විසිනි. එම වාර්තාකාරිනිය ගඩාෆි විරෝධී හමුදාවන් සමග සහවාසයේ යෙදෙමින් සාවියා සිට ටි‍්‍රපොලි වෙත ගමන්කල එක් හමුදා අනු ඛන්ඩයක් කැටුව ගමන්ගත් අයෙකි. "අපි එය දුටු පරිද්දෙන් වාර්තා කරන්නෙමු. ගඩාෆිගේ භටයින් බැඳදමා මරා දමනු අපි දුටවෙමු. එය යුද්ධයකි. සිදුවූයේ මෙයයි, මෙහි කැරලිකාර ප‍්‍රතිප‍්‍රහාර සැබවින්ම අප‍්‍රසන්නය.”

බි‍්‍රතාන්‍ය රොයිටර් ප‍්‍රවෘති සේවය "ලිබියාවේ අගනුවර සඳහා සටනේදී සමූහ ඝාතන පුලුල් ලෙස සිදුවූ” බව තහවුරු කෙරෙන සාක්ෂි වශයෙන් සමූහ මිනී වලවල් ගනනාවක් සොයාගෙන ඇති බව වාර්තා කලේය. ගඩාෆිගේ හමුදාවන්ට පිලිස්සුනු ගබඩාවක තිබී මල සිරුරු 53ක් හමුවී ඇති අතර එක් ස්ථානයක සිදුවූ බිහිසුනුම අපරාධය එය බව වාර්තා කරයි. "දෙපාර්ශවයම අමු අමුවේ මිනීමැරීම් සිදුකල බවට තොරතුරු පසුගිය දින කිහිපය තුල වාර්තා විය. ගඩාෆිගේ බිඳවැටීම පිලිබඳව සතුට පලකරන නිවැසියන් බොහොමයකගේ වාතාවරනය මේ අනුව අඳුරු වී ගොසින්ය.”

ලොස් ඇන්ජලීස් ටයිම්ස් 28දා වාර්තා කලේ: "ගඩාෆි ආධාරකරුවන්ගේ බලකොටු බවට සැක කරන නිවහන් ප‍්‍රදේශ වෙත කැරලිකරුවන් කඩාවැදුනු අවස්ථාවල ඔවුන් කාලතුවක්කු හා ගුවන්යානා නාශක අවි යොදාගනිමින් පහර දුන්නේය. අබු සලිම්, හඩ්බා හා සලහඩින් ඒ අතර විය. මෙම සතියේ එක් අවස්ථාවක දී කැරලිකරුවෝ අබු සලිම්හි තට්ටු නිවාසයක තුවක්කු කරුවෙකු සැඟවී ඇති බව පවසමින් රයිෆල් තුවක්කු යොදාගෙන නොකඩවා වෙඩි තැබූහ.”

වෙනත් වචන වලින් කිවහොත් බර අවි යොදාගෙන නිවහන් ප‍්‍රදේශ වලට පහරදෙන ලෙස ගඩාෆි සිය හමුදාවන්ට අනදුන් විට එය නේටෝ මැදිහත්වීමට නිමිත්ත කොටගත් අතර නේටෝ පිටුබලය ලබන හමුදා ද දැන් නිරතව සිටින්නේ ඉවබව නැතිව සිදු කරන එවැනි ම ක‍්‍රියාවන්හිය යන්නයි. ටයිම්ස් වාර්තාව ටි‍්‍රපොලිහි කුලී රථ රියැදුරෙකු උපුටා දක්වමින් මෙසේ සඳහන් කරයි: "කිසියම් දිනෙක අප ද ඉරාක වැසියන් ලෙස කටයුතු කරමින් ගඩාෆිගේ දවස් සිහිපත් කරනු ඇතැයි මට බියක් පවතී.”

ඉන්ඩිපෙන්ඩන්ට් පත‍්‍රය ඉරිදා ප‍්‍රධාන ලිපියෙන් ටි‍්‍රපොලි නුවර වීදිවල දක්නට ඇති ම්ලේච්ඡත්වය දේශපාලනිකව ආපසු කැරකෙනු ඇති බවට එන්ටීසීයට අනතුරු අඟවා තිබුනි. පුවත්පතේ කතුවැකි පිටුව සේම මැදිහත්වීමට සහයෝගය දුන් අයට ගඩාෆි සිවිල් ජන සංහාරයේ යෙදුන බව කියන අතර බල තුලනයේ මාරුව ජන සංහාර ගෙනයාම මුලුමනින්ම පාහේ දිරවාගත නොහැකිවනු ඇත.”

එම පුවත්පත ටි‍්‍රපොලි මිලිටරි කවුන්සිලයට අලුතින් පත්කල අබ්දෙල් හකීම් බෙලාජ් හිටපු මුජහිඩින්වාදියෙකු බවත් "ඇෆ්ගනිස්ථානයේදී තලිබාන්වරු සමග එක්ව සටනේ නිරතවූ සීඅයිඒ සංවිධානය විසින් ප‍්‍රශ්න කරනු ලැබූ ඉස්ලාම් ත‍්‍රස්තවාදී සැකකරුවෙකු බවටත්” හඳුනාගෙන තිබේ. ඔහු සැප්තැම්බර් 11 ත‍්‍රස්තවාදී ප‍්‍රහාරවලින් පසුව අල් කයිඩාවේ ලිබියානු නියෝජිතයා ලෙස කටයුතු කරමින් ලිබියානු ඉස්ලාම් සටන් කන්ඩායම ගොඩනැඟීය.

ටි‍්‍රපොලිහි පැලපදියම්කර ඇති නව තන්ත‍්‍රය පිලිබඳ ඇඟ කිලිපොලන පින්තූරයක් මතුවී තිබේ. නේටෝ මූලස්ථානයෙන් හා ධවල මන්දිරයෙන් දැන් තමන්ගේ නියෝග ලබාගන්නා අල් කයිඩා සහකරුවෙකුගේ මඟපෙන්වීම යටතේ ගඩාෆිට පක්ෂපාතී නිවැසියන් ඝාතනය කිරීම මෙන්ම අප‍්‍රිකානු සංක‍්‍රමනික කම්කරුවන්ට එරෙහිව ප‍්‍රචන්ඩත්වය ලිහා හරිමින් මෙම තන්ත‍්‍රය අටවා ඇත්තේ ලේ වලිනි.

නේටෝවේ පිටුබලය ඇතිව එන්ටීසී හමුදා සිදුකර තිබෙන අපරාධ "මානව අයිතීන්” පිලිබඳ හා ලේ ස්නානයක් වැලැක්වීමේ කඩතුරාව යටතේ තෙල් වලින් පොහොසත් ලිබියාවට එරෙහි මිලිටරි ප‍්‍රහාර යුක්තිසහගත කරමින් ඔබාමා පාලනය හා බි‍්‍රතාන්‍යය, ප‍්‍රන්සය යන එහි සාපරාධී සහකරුවන් විසින් මුදාහල ප‍්‍රචාරක ව්‍යාපාරයේ කුහකත්වය විදහා දක්වයි.

ටි‍්‍රපොලිහි සිටින සමහර මාධ්‍යවේදීන්ට සිදුවෙමින් තිබෙන ලේ වැකි ගනුදෙනු බේරාගැනීමේ ක‍්‍රියාවන් නොදුටුවාක් මෙන් සිටීමට නොහැකිවී ඇත. එය ඔවුන්ගේ හොඳ නම පිනිස වන අතර ඉන් ලිබියාවට එරෙහි අධිරාජ්‍යවාදී යුද්ධය හා එහි කොල්ලකාරී ස්වභාවය වසං කිරීම යුක්තිසහගත කරන එක්සත් ජනපදයේත් යුරෝපයේත් "වාම” ප‍්‍රකාශකයින් ගෙන ඇති නරුම හා ප‍්‍රතිගාමී ආස්ථානයත් මනාව සලකුනු කෙරෙයි.

ලිබියාව තුල දිගහැරෙමින් තිබෙන සිදුවීම් ජාත්‍යන්තර කම්කරු පන්තියට වෛෂයික පාඩමක් සම්පාදනය කරයි. ප‍්‍රජාතන්ත‍්‍රය හා මානව අයිතීන් සුරැකීමේ නමින් අධිරාජ්‍යවාදී බලවතුන් කරන මැදිහත්වීම් "ප‍්‍රගතිශීලී” යයි හුවාදක්වන අය දැන් කිව නොහැකි තරමේ අපරාධ සම්බන්ධයෙන් දේශපාලන වගකීම දරයි. අධිරාජ්‍යවාදයට අව්‍යාජ හා අඛන්ඩ විරුද්ධත්වයක් පෑ හැක්කේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා සමාජවාදී සමානතා පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන විප්ලවවාදී සමාජවාදී ව්‍යාපාරයක ඓතිහාසික මූලධර්ම මත පදනම් වීමෙන් පමනකි.

පැටි‍්‍රක් මාටින්