ලිබියාව: අධිරාජ්‍යවාදයේ සාපරාධී මුහුනුවර

Libya: The criminal face of imperialism

27 August 2011

පස් මසකටත් එපිට ඇරඹුනු තැන් පටන් ම ලිබියාවට එරෙහි නේටෝවේ ප‍්‍රහාරය සාපරාධී අධිරාජ්‍යවාදී යුද්ධයකි. විශේෂ හමුදා භටයින් හා රහස් ඔත්තු සේවා ඒජන්තයන් ලිබියානු නායක මුවම්මර් ගඩාෆි ලුහුබඳිමින් සිටින තතු තුල, දැන් එය මුලුමනින් ම මිනීමරු ව්‍යායාමයක් බවට පත්ව ඇත.

ආරම්භයේ සිට ම මෙම යුද්ධයට ප‍්‍රධාන අරමුනු දෙකක් තිබින: එකක් නම්, ලිබියාවේ තෙල් සංචිතවල පාලනය අත් කර ගැනීම යි. අප‍්‍රිකානු මහාද්වීපයෙහි පවතින විශාලතම තෙල් සංචිතය එය යි. අනෙක නම්, දැවැන්ත මහජන ව්‍යාපාර මැඩ ලීමේ සහ වෙනතකට හරවා යැවීමේ උපක‍්‍රමයක් ලෙස අධිරාජ්‍යවාදී බලය ප‍්‍රදර්ශනය කිරීමකට ඉඩ පාදා ගැනීම යි. එක්සත් ජනපද සහ නේටෝ සහාය ලද ඊජිප්තුවේ මුබාරක් සහ ටියුනීසියාවේ බෙන් අලි පාලන තන්ත‍්‍ර ඒ මහජන ව්‍යාපාර නිසා ඇද වැටී තව ම ගතව ඇත්තේ දෙමසක් පමනකි.

නේටෝව සිය මිලිටරි ආක‍්‍රමනයට පටබැඳ ඇති නම "ඒකාබද්ධ ආරක්ෂක මෙහෙයුම” යන්න යි. එහෙත්, "අධිරාජ්‍යවාදී මංකොල්ලයේ කල්ලි මෙහෙයුම” යැයි විස්තර කල හොත් එය වඩා නිවැරදි වනු ඇත. ලිබියාව ඇතුලු කලාපය තුල තම තමන්ට පවතින අවශ්‍යතා මුදුන් පමුනුවා ගැනීමට ක‍්‍රියා කරමින් සිටින එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍යය, ප‍්‍රන්සය සහ ඉතාලිය යන මේ සෑම බලවතෙක් ම, "පාලන තන්ත‍්‍රය වෙනස් කිරීම” නමැති පොදු අරමුන උදෙසා එක්සත් වීමට සමත් වූහ.

මෙම අරමුන සපුරා ගැනීම සඳහා නේටෝ ගුවන් යානා ගුවන් ප‍්‍රහාර 20,000කට වැඩි සංඛ්‍යාවක් එල්ල කලේ ය. එම ප‍්‍රහාරවලින් පාසල්, රෝහල් සහ නිවාස විනාශ විය, ලිබියානු සොල්දාදුවෝ අප‍්‍රමාන සංඛ්‍යාවක් (මොවුන්ගෙන් වැඩි දෙනා බලාත්කාරයෙන් බඳවා ගත් තරුන සොල්දාදුවන් ය) ඝාතනයට ලක් වූහ.

එක්සත් ජනපදය, ප‍්‍රන්සය සහ බි‍්‍රතාන්‍යය ඇතුලු නේටෝ බලවත්තු, සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා "අවශ්‍ය සියලු පියවර” ගැනීමට බලය ලැබෙන එක්සත් ජාතීන්ගේ යෝජනාවේ වගන්ති ගර්හාවට ලක් කලහ; විශේෂ බලකාවල සොල්දාදුවන් ද කොන්ත‍්‍රාත්කාර මිලිටරි කුලී හේවායන් ද රහස් ඔත්තු සේවා ඒජන්තයන් ද ලිබියාවට යැවූහ. අපේක්ෂාව වූයේ ඊනියා "කැරලිකරුවන්” සන්නද්ධ කිරීම, සංවිධානය කිරීම සහ මෙහෙයවීම යි. කැරලිකරුවන් කල යුතු ප‍්‍රධාන කාර්යය වූයේ ගුවනින් පහරදී විනාශ කල හැකි වන පරිදි ලිබියානු ආන්ඩුවේ හමුදා එලිමහනට ගැනීම යි.

මෙය සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා කරන යුද්ධයක් යැයි කියා පෑම සදාචාරාත්මක අශික්ෂිත කමක් බව හෙලිදරව් වී ඇත. ටි‍්‍රපොලියෙහි පමනක් ම මරන සංඛ්‍යාව දහස් ගනනක් දක්වා ඉහල යමින් තිබේ. නේටෝ බෝම්බ සහ මිසයිල බෙහෙවින් ජනාකීර්න ප‍්‍රදේශවලට නොකඩවා පතිත වේ.

මීට සමාන වාතාවරනයන් සොයා ගන්නට නම්, ලෝක ධනවාදය අද මෙන් ම ආර්ථික අර්බුදයකින් ඇලලී ගිය 1930 ගනන් කරා ආපසු යෑමට සිදු වේ. එකල ඉතාලිය, ඉතියෝපියාව ආක‍්‍රමනය කිරීමේ දී, චෙකොස්ලෝවැකියාව කැබලිවලට බෙදීම සඳහා හිට්ලර් කඳුකර ප‍්‍රදේශවල විසූ ජර්මානුවන්ට සහාය දීමේ දී සහ ෆ‍්‍රැන්කෝගේ ෆැසිස්ට් කැරැල්ලට සහාය වශයෙන් ස්පාඤ්ඤයට බෝම්ම දැමීම සඳහා ජර්මානු කොන්ඩෝ ලීජන් ගුවන් යානා පිටත් කර යැවීමේ දී මුදා හැරුනු ම්ලේච්ඡ ආක‍්‍රමනකාරිත්වයෙන් මානව වර්ගයා කම්පනයට පත් වූහ.

එවක දී, මෙම ප‍්‍රචන්ඩ ආක‍්‍රමනයන් දකිනු ලැබුනේ ලෝක ධනවාදය ම්ලේච්ඡත්වය කරා පල්ලම් බැසීමක් ලෙස ය. අද දින ලිබියාව තුල කරන ඊට සමාන ක‍්‍රියාවන්

"මානවහිතවාදය” සහ "ප‍්‍රජාතන්ත‍්‍රවාදය” මල්පල ගැන්වීමක් යයි කියනු ලැබේ.

එම කාල පරිච්ඡේදයේ දී, ෆැසිස්ට් ආක‍්‍රමනය "නිරෝධායනය’’ කරන ලෙස ඉල්ලමින් එක්සත් ජනපද ජනාධිපති ෆ‍්‍රෑන්ක්ලින් ඩෙලානෝ රූස්වෙල්ට් ඇමරිකානු ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවේදිතාවන්ට ආයාචනය කලේ ය. එහෙත් ඒ අතරතුර ඔහු, එරට අධිරාජ්‍යවාදී අරමුනු ලූහුබැඳ යාම සඳහා එක්සත් ජනපදය නිසි ලෙස ස්ථානගත කල බවට ද කිසිදු සැකයක් නැත.

1937 දී ඔහු මෙසේ ප‍්‍රකාශ කලේ ය: "යුද්ධ ප‍්‍රකාශ කිරීමකින් තොරව, කවර හෝ අනතුරු ඇඟවීමකින් හෝ යුක්ති සහගත කිරීමකින් තොරව ගුවනින් බෝම්බ හෙලමින් ස්ත‍්‍රීන් සහ ලමයින් අතිමහත් සංඛ්‍යාවක් ද ඇතුලු සිවිල් වැසියෝ අනුකම්පා විරහිත ලෙස ඝාතනය කෙරෙමින් පවතින අතර.... අවුස්සනු ලබන ජාතීහු තමන්ට කිසිදු හානියක් නොකල ජාතීන්ට එරෙහි සිවිල් යුද්ධයේ දී පැති ගනිමින් සිටිති. අනෙකුත් අයගේ නිදහස ප‍්‍රතික්ෂේප කරන ජාතීහු තමන්ට නිදහස ඉල්ලා සිටිති. සාධාරනත්වයේ සහ ශිෂ්ට සම්පන්න භාවයේ කිසිදු අරුතකින් තොර බලය සහ ආධිපත්‍යය සඳහා වන කෑදරකම වෙනුවෙන් අහිංසක ජනයා ද අහිංසක ජාතීහු ද කුරිරු ලෙස බිලි ගනිමින් තිබේ.”

හැත්තෑ පස් වසරකට පෙර පවසන ලද ඒ වදන්, ඔබාමා පාලනයට ද කැමරන්, සාර්කෝසි හා බර්ලුස්කෝනි ආන්ඩුවලට ද එරෙහි දෝෂාරෝපනයක් වැන්න.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව පැවැත්වුනු නියුරම්බර්ග් නඩු විභාගය තහවුරු කල පරිදි, ආක‍්‍රමනකාරී යුද්ධයක් යනු "පරම ජාත්‍යන්තර අපරාධයකි, ආක‍්‍රමනකාරී යුද්ධය අනෙක් යුද අපරාධවලින් වෙනස් වන්නේ එය ඒ තුල සමස්ත දුෂ්ඨත්වයම අඩංගු කර ගන්නා නිසා පමනකි.”

මෙම සංකල්පය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලධර්මයක් බවට පත් විය. ඒ අනුව, "කවර හෝ රාජ්‍යයක භෞමික අඛන්ඩතාවට හෝ දේශපාලන ස්වාධීනත්වයට එරෙහිව තර්ජනය කිරීම හෝ බලය යොදා ගැනීම” තහනම් විය.

එහෙත් නේටෝ මිත‍්‍ර පාක්ෂිකයන් කර ගෙන යන ආක‍්‍රමනකාරී යුද්ධය පිලිබඳව වත්මන් දේශපාලන සංස්ථාපිතය තුල ඇත්තට ම කිසිදු විවේචනයක් දක්නට නැත. අධිරාජ්‍යවාදී යුද යාන්ත‍්‍රනයේ කොටස්කරුවන් බවට පත්ව සිටින අධම මාධ්‍යකරුවෝ, සැබවින් ම නම් මල සිරුරු උඩින් පැන යන අතරතුර කැමරාවට බියක් දක්වන බටහිර යුද බල්ලන් සඟවමින් ලිබියාවේ "විප්ලවය” සහ "විමුක්තිය” පිලිබඳ ප‍්‍රචාරය වඩා හොඳින් වාත්තු කරති.

ලිබියානු යුද්ධය පසුපස පවත්නා ගාමක බලවේගය අධිරාජ්‍යවාදය යි, ලෙනින් උචිත ලෙස විස්තර කල පරිදි, මග දිගට සියලු ප‍්‍රතිගාමිත්වය වගුරන අධිරාජ්‍යවාදය යි. එය වනාහි මූල්‍ය ප‍්‍රාග්ධනයේ කොල්ලකාරී අවශ්‍යතා මත කර ගෙන යන යුද්ධයකි. එය සැලසුම් කර තිබෙන්නේ, මූල්‍ය පුවත්පත් තුල පුලූල්ව සඳහන් වන "ගජවාසි” නිර්මානය කර දීම සඳහා ය; මූල්‍ය සමපේක්ෂනය මාර්ගයෙන් පාලක ප‍්‍රභූව රැස් කර ගත් අතිමහත් ධනස්කන්ධයන් ආරක්ෂා කරන ගමන් ම, ඇමරිකාව සහ යුරෝපය තුල ශ‍්‍රම වියදම් පහලට තල්ලු කරන ගමන් ම සහ ලොව පුරා ලාභ වැටුප් ශ‍්‍රමය සූරා කන ගමන් ම, ප‍්‍රධාන බලශක්ති සමාගම් සඳහා පමනක් නො ව බැංකු සහ සංගත සඳහා ද ඒ ගජවාසිය නිර්මානය කර දීම සඳහා ය.

ජාත්‍යන්තර මැරකම සිදු වන්නේ රට තුල ක‍්‍රියාත්මක ආර්ථික සහ දේශපාලන සාපරාධිත්වය සමග අත්වැල් බැඳ ගෙන ය. විදේශවල කරන ආක‍්‍රමන, යුරෝපයෙහි, ඇමරිකාවෙහි සහ සැබවින් ම සෑම ප‍්‍රධාන රටක ම පුලුල් වැඩ කරන ජනතා කොටස්වල ජීවන තත්ත්වයන්ට සහ මූලික අයිතිවාසිකම්වලට එල්ල කරන ප‍්‍රහාරයෙන් වෙන් කල නොහැකි ය. රැකියාවලට, අධ්‍යාපනයට, සෞඛ්‍ය ආරක්ෂනයට, විශ‍්‍රාම වැටුප්වලට හෝ අත්‍යවශ්‍ය සමාජ සේවාවලට ගෙවන්නට මුදල් නැතැයි ලොව හැම තැනක ම කම්කරුවන්ට කියා සිටින අතරවාරයේ, ලිබියාවට බෝම්බ දැමීම සඳහා සහ එරට ආක‍්‍රමනය කිරීම සඳහා කිසිදු ප‍්‍රශ්නයකින් තොරව බිලියන ගනන් වැය කරනු ලැබේ.

ලිබියානු යුද්ධයේ පැහැදිලිව පෙනෙන ලක්ෂනය නම් එය තමන් පිටුපස හිටපු මධ්‍යම පන්තික වම්මුන්ගේ, ලිබරල් ශාස්ත‍්‍රඥයන්ගේ සහ හිටපු විරෝධතාකරුවන්ගේ සමාජ-දේශපාලන තට්ටුවක් බලමුලු ගන්වා ගෙන තිබීමයි. දශක කිහිපයක් තිස්සේ වර්ධනය වෙමින් ආ මෙම ක‍්‍රියා දාමය, යට කී තට්ටුවේ කොටසක් පාරාජිකා වීම නිසා වේගවත් විය. ප‍්‍රධාන කොට ම සෝවියට් ස්ටැලින්වාදී නිලධරයේ මුක්කුවෙන් සිය "වාමවාදය” පවත්වා ගෙන ගිය ඒ කොටස, නිලධරයේ ස්වයං දිය වී යාමත් සමග විසිරී ගියහ. ඔවුන්ගේ අනෙක් කොටස, බෝල්කන්හි අධිරාජ්‍යවාදී මැදිහත් වීම වටා එක්රොක් වූහ; අද මෙන් එදා ද ඔවුහු, ලෝකයේ දැවැන්ත ම ආක‍්‍රමනිකයන් "මානව අයිතිවාසිකම්” උදෙසා යුද වැදී සිටිතැයි කෙරුනු ව්‍යාජ කියා පෑම්වලට ආකර්ෂනය වූහ.

අද දින, මෙම තට්ටුව තුල සිදු වෙමින් පවතින ප‍්‍රගාඪ වෙනස් වීම නොදකින්නට නම් කෙනෙකු අන්ධයෙකු විය යුතු ය. මිචිගන් විශ්ව විද්‍යාලයේ මැද පෙරදිග ඉතිහාසය පිලිබඳ මහාචාර්ය ජුවාන් කෝල් වැනි ශාස්ත‍්‍රාලයීය අධමයෝ ද ඒ තට්ටුවෙහි සිටිති. බුෂ් පාලනාධිකාරය ඉරාකයට එරෙහිව කල යුද්ධය විවේචනය කල අයෙකු ලෙස තමන්ට පවතින ප‍්‍රසිද්ධිය ගසා කමින් ඔහු ඔබාමා පාලනාධිකාරය ලිබියාවට එරෙහිව කරන යුද්ධය විකුනමින් සිටියි.

යුරෝපය තුල ප‍්‍රන්සයේ නව ධනපති-විරෝධී පක්ෂය (එන්පීඒ) වැනි කන්ඩායම්, තමන්ගේ ම ආන්ඩු සමග සමීප සම්බන්ධකම් ඇති කර ගැනීමටත් තම පාලක ප‍්‍රභූ කල්ලිවල අවශ්‍යතා ප‍්‍රවර්ධනය කිරීමටත් යුද්ධය යොදා ගෙන ඇත. ඔවුන්ගෙන් නියෝජනය වන්නේ, අධිරාජ්‍යවාදය වෙනුවෙන් නව සහයෝගිතා පදනමක් ලෙස බඳවා ගැනෙමින් තිබෙන වරප‍්‍රසාදිත මධ්‍යම පන්තියේ සමස්ත තට්ටුවකි. ඔවුන්ගේ දේශපාලනයේ එක ද මූලිකාංගයක් වත් ඔබාමාගේ සහ සීඅයිඒහි දේශපාලනයෙන් වෙන් කොට දැක්විය නොහැකි ය.

එක ම ආක‍්‍රමනකාරී රටක දී වත් ලිබියාවෙහි යුද්ධය සැලකිය යුතු මහජන සහායක් දිනා ගෙන නැත. කලින් යුද්ධ මෙන් ම මෙම යුද්ධය ද කෙරී ගෙන යන්නේ මූල්‍ය ප‍්‍රභූ කල්ලියේ වාසිය තකා බවත්, පලල් මහජනතාවගේ වියදමින් බවත්, වැඩ කරන ජනතාව නිසගයෙන්ම සැක කරති.

යුද්ධයට සහ අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය පෙරට ගෙන යා හැක්කේ එය කම්කරු පන්තිය කේන්ද්‍ර කර ගත හොත් පමනකි. අද දින, යුද්ධයට එරෙහි සටනත් රැකියා, ජීවන තත්ත්වයන් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් විනාශයට එරෙහි අරගලයත් එකිනෙකින් වෙන් කල නොහැකි ය. විදේශවල මිලිටරිවාදයටත් රට තුල ප‍්‍රතිවිප්ලවයටත් ඇත්තේ ලෝක ධනවාදයේ නොවිසඳිය හැකි අර්බුදය තුල මුල් බැස ගත් පොදු වෛෂයික මූලයන් ය. ඒවා පරාජය කල හැක්කේ, සමාජවාදය සඳහා අරගලයේ දී කම්කරු පන්තිය දේශපාලනිකව බලමුලු ගැන්වී ගැනීමෙන් සහ ජාත්‍යන්තරව එකමුතු වීමෙන් පමනකි.

බිල් වෑන් ඕකන්