2011 කම්කරු දිනය: ධනවාදයේ හා ඔබාමා පාලනයේ අසමත්කම

Labor Day 2011: The failure of capitalism and the Obama administration

5 September 2011

කම්කරු දිනයේදී ඇමරිකානු කම්කරු පන්තිය මුහුනදෙන්නේ සමාජ ව්‍යසනයකටය

විසිපන් ලක්ෂයකටත් වැඩි කම්කරුවන් එක්කෝ රැකියා නොමැතිව හෝ අර්ධ සේවා නියුක්තියෙන් පෙලෙයි. කම්කරු පන්තියේ ජීවන තත්වයන් වේගයෙන් පිරිහෙමින් තිබේ. හාම්පුත්තු සෞඛ්‍ය ආරක්ෂන හා විශ‍්‍රාම වැටුප් වැනි සහන කපමින් හෝ අහෝසි කරමින් සිටිති. දශ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් පන ගැටගසා ගන්නා අධ්‍යාපනය, සෞඛ්‍ය ආරක්ෂනය, සෞඛ්‍ය පහසුකම් හා සමාජ ආරක්ෂන වැනි පොදු සමාජ සේවා දැවැන්ත අයවැය කප්පාදුවේ ඉලක්ක බවට පත්වී ඇත.

දශ ලක්ෂ සංඛ්‍යාත වැඩකරන ජනතාව ආර්ථික ප‍්‍රකෘතියක් පිලිබඳ කතාන්තර බොරුවක් බව වටහාගනිමින් සිටිති. ව්‍යාපාරික විධායකයින් හා වෝල් වීදියේ සමපේක්ෂකයින්ගේ ධනය සුරක්ෂිත කිරීම පිනිස බැංකු වලට ඩොලර් ටි‍්‍රලියන ගනනින් ලබාදී ඇත. මේ අතර ජනගහනයේ අති මහත් බහුතරය මුහුනපාන ආර්ථික තත්වය එන්ට එන්ටම නරක අතට හැරෙනවා පමනි. වත්මන් ලෝක අර්බුදය මහා අවපාතයෙන් පසුව එලඹි ඉතාමත්ම බරපතල අර්බුදයයි.

1930 ගනන් හා වර්තමානය අතර කැපී පෙනෙන වෙනසක් ඇත. 1930 ගනන් වලදී සමාජ නැඟිටීමේ තත්වයන් යටතේ එක්සත් ජනපද පාලක පන්තියේ කොටසකට සමාජ ප‍්‍රතිසංස්කරන න්‍යායපත‍්‍රයක් අනුව වැඩ කිරීමට බල කෙරුනි. ආන්ඩුව වැදගත් ෆෙඩරල් වැඩසටහන් මෙන්ම සමාජ ආරක්ෂාව හඳුන්වාදීමට ද වගබලා ගත්තේය.

එවන් කිසිවක් අද දිනයේ හඳුන්වාදෙනු නොලබයි. ඒ වෙනුවට ඔබාමා ආන්ඩුවේ නායකත්වය යටතේ ආර්ථික අර්බුදය යොදාගනු ලබන්නේ එම අතීත සහන සියල්ල ආපසු කරකැවීමට ලැබුනු අවස්ථාවක් ලෙසය. ඩිමොක‍්‍රටිකයින් හා රිපබ්ලිකානුවන් ඔවුන්ගේ විවාදය සොඛ්‍ය ආරක්ෂන, සෞඛ්‍ය පහසුකම්, ආහාර මුද්දර හා සමාජ ආරක්ෂන වැඩසටහන් සඳහා කරන ෆෙඩරල් ආන්ඩුවේ වියදම් වලින් ඩොලර් ටි‍්‍රලියන කීයක් කපා හැරිය යුතු ද යන්නට සීමාකර ඇත. මහා ව්‍යාපාරික දේශපාලඥයින් සියලු දෙනාගේ සුපුරුදු කියමන ආර්ථික අර්බුදය හා මහා විරැකියාව මගින් නිර්මිත සමාජ ගැටලු විසඳීමට මුදල් නැත යන්නයි.

මුදල් නැති කථාවේ වංචාව එක් කාරනයකින් වුවත් පෙන්වාදිය හැකිය. දැවැන්ත සංගත හා බැංකු මඩිගසාගෙන සිටින ගනන් බලා ඇති පරිදි ඩොලර් ටි‍්‍රලියන දෙකකටත් වැඩි මුදල් කන්දරාව ෆෙඩරල් ප‍්‍රාන්ත හා පලාත් ආන්ඩු හිඟ එක් රැයකින් කපා හැරීමටත් සෑම රැකියා විරහිත ඇමරිකානුවෙකුට ම හොඳ වැටුප් හා සහන සහිත රැකියා සම්පාදනයටත් සෑහෙන්නේය.

දැන් ධනපතියන් නිරතව සිටින්නේ ආයෝජන වර්ජනයකය. මූල්‍ය වෙලඳපොලවල සමපේක්ෂනය වඩාත් ලාභදායක බැවින් ඔවුහු නව නිෂ්පාදනයන්හි ආයෝජනයට හෝ නව ශ‍්‍රමිකයින් බඳවා ගැනීමට මැලිවෙති. දිගු කාලීන විරැකියාව ව්‍යාපාරික ලොක්කන්ට වැටුප් සහන හා සේවා තත්වයන් පහත හෙලීමට රුකුලක් වී ඇත.

රැකියා සම්පාදනය කල හැක්කේ පෞද්ගලික අංශයට පමනක් බවට ඔබාමා මෙන්ම රිපබ්ලිකානුවන් ද එකඟව සිටින අතර ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් සීමා ඉවත් කිරීම බදු කපා හැරීම හා වෙනත් වාසි සලසන එම ප‍්‍රතිපත්තියේම වෙනස්කම් ඔවුහු හඳුන්වා දෙති.

සමාජ ප‍්‍රතිවිප්ලවයේ ක‍්‍රියාමාර්ගය මත පාලක පන්තීන් අතර ඇතිව තිබෙන සාර්වත‍්‍රික එකඟත්වය පහත සඳහන් කාරනාවල නිමැවුමකි 1) ඇමරිකානු ධනවාදයේ දිගුකාලීන පරිහානිය. 2) සමස්තයක් වශයෙන් සමාජය සමග පවතින අවශ්‍යයෙන්ම පරපුටු සම්බන්ධතා සහිතව දේශපාලන පද්ධතිය පාලනය කරන මූල්‍ය ප‍්‍රභූ පැලැන්තියක වැඩී ඒම.

දැන් අප මුහුනදී සිටින ආර්ථික ව්‍යසනයට එරෙහිව සටන් වැදීම සඳහා කම්කරු පන්තියට ක‍්‍රියාමාර්ගයක් අවශ්‍ය කෙරෙයි. එක්සත් ජනපදයේත් ජාත්‍යන්තරවත් දිගහැරෙන ආර්ථික හා සමාජ අර්බුදයට විසඳුමක් ධනේශ්වර පද්ධතියට හා යෝධ බැංකු හා සංගතවල ලාභ අවශ්‍යතාවන්ට පහර නොදී සාක්ෂාත් කල නොහැකි බව සමාජවාදී සමානතා පක්ෂය (සසප) අවධාරනය කරයි.

සසප පහත සඳහන් කරුනු ඉදිරිපත් කරයි:

* ඩොලර් ටි‍්‍රලියන ගනනක ප‍්‍රසිද්ධ වැඩ සඳහා ක‍්‍රියාමාර්ගයක්! සාධාරන වැටුපක් සහිත රැකියාවක් වනාහි සමාජ අයිතියකි.!

අපි මිලියන 20ක් මිනිසුන් ඉහල වැටුප් ගෙවන පලදායී රැකියාවන්හි යොදවන ප‍්‍රසිද්ධ වැඩ සඳහා හදිසි ක‍්‍රියාමාර්ගයක් කැඳවුම් කරන්නෙමු. මෙයට පොදු පහසුකම්, මහාමාර්ග, පොදු ප‍්‍රවාහනය, ජල හා කානු පද්ධතීන්, රෝහල් හා සායන වැනි ගරාවැටෙන යටිතල ව්‍යුහය යලි ගොඩනැඟීම ද හරිකේන් හා සුලි කුනාටු, වෙනත් ස්වාභාවික විපත් වලින් සිදුව ඇති හානි පිලිසකර කිරීම හා අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා හා විවේක සුව මධ්‍යස්ථාන වැනි සමාජ සේවා සම්පාදනය ඇතුලත් වනු ඇත.

* නෙරපා හැරීම් හා අත්පත්කරගැනීම් නතර කරනු!

කම්කරු පන්තික නිවාස හිමියන්ගේ උකස් ගෙවීම් සඳහා වසරක සහන කාලයක් සසප ඉල්ලා සිටියි. සියලු නෙරපා හැරීම් හා අත්පත්කර ගැනීම් නතර කල යුතුය. දැනට බැංකුවලට පමනක් හිමිව තිබෙන පහල පොලී අනුපාතික අනුව තම උකස්කරයන් යලි තක්සේරු කිරීමට නිවාස හිමියන්ට ඉඩ සැලසිය යුතුය. නිවාස මිලගනන් පහත වැටීම පිලිබිඹු කරන පරිදි උකස්කරයන් පහත හෙලීම මූලධර්මයක් විය යුතුය.

* සියලු අයවැය කප්පාදු අවලංඟු කර පොදු සේවා පුලුල් කරනු!

පසුගිය සිව් වසර තුල දොට්ට දැමූ සියලූ රාජ්‍ය හා පලාත් ආන්ඩු සේවකයින් යලි සේවයේ පිහිටුවිය යුතු අතර අත්‍යවශ්‍ය සමාජ වැඩසටහන් හා සේවා කැපීම අත්හිටුවිය යුතුය. ආදායම් හා පන්ති පසුබිමකින් තොරව සියලු ලමුන්ට මනා අධ්‍යාපනයක් සහතික කිරීම හා පන්ති තදබදය අවම කිරීම පිනිස ලක්ෂ ගනන් නව පොදු අධ්‍යාපන ගුරුවරුන් බඳවාගත යුතුය. යහපත් සෞඛ්‍ය සේවයක් සමාජ අයිතියක් බව සහතික කල යුතුය.

* අර්බුදයේ බර දැරීම ධනපතියන් වෙත පැවරිය යුතුය

එවන් හදිසි වැඩසටහනක් ක‍්‍රියාවට නැඟීම සඳහා අවශ්‍ය සියලු සම්පත් බහුලව තිබෙන නමුත් ඒවා සුපිරි ධනේශ්වරයේ ඒකාධිකාරයක් බවට පත්ව තිබේ. අති මහත් බහුතරයක් ඇමරිකානුවන් සිය මූල්‍ය සම්පත් පිරිහී යනු අත් දකින අතර පොහොසත්ම ඇමරිකානුවන් 400 දෙනාගේ ධනය 2009දී ටි‍්‍රලියන 3.6ක් දක්වා වැඩී යනු අත්දැක තිබේ. එක්සත් ජනපද ජනගහනයේ ඉහලම සියයට 1 ජාතික ආදායමෙන් ඔවුන්ගේ පංගුව 1970දී සියයට 9 සිට 2007දී සියයට 24 දක්වා වැඩිකරගෙන තිබේ.

සමාජ සමානතාවය පිහිටුවීම් වස් වසරක ආදායම ඩොලර් 500,000 ඉක්මවන සියල්ලන් සියයට 90ක බද්දකට යටත් කිරීම හා දශ ලක්ෂපතියන් ද කෝටිපතියන් ද ඒ හා සමාන ධන බද්දකට යටත් කිරීම ඇතුලු හදිසි පියවර ගත යුතුය.

සමාජවාදී ක‍්‍රියාමාර්ගයක්

මුලු මහත් ආර්ථිකය හා සමස්ත දේශපාලන පද්ධතිය ම අරක්ගෙන සිටින ධනපති පන්තියේ බලයට සෘජු ලෙස පහර නොදී ඉතා අවම ඉල්ලීමක් පවා සාක්ෂාත් කල නොහැකිය.

බැංකු හා යෝධ සංගත පුද්ගල අයිතිය යටතේ පවත්නා තාක් කල් කිසිදු සමාජ අයිතියක් සපුරාලිය නොහැකිය. මෙම ආයතන පොදු අයිතිය හා කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍ර පාලනයක් යටතට ගෙන එන පරිදි ජනසතු කිරීම, පුද්ගල ලාභය නොව සමාජ අවශ්‍යතා සපුරාලනු වස් ආර්ථික සැලසුම්කරනයේ ද ධනය යලි බෙදාහැරීමේ ද ක‍්‍රියාමාර්ගයක් සඳහා අත්‍යවශ්‍ය පූර්වාවශ්‍යතාවක් වෙයි. එක්සත් ජනපදයේත් ජාත්‍යන්තරවත් ආර්ථිකයේ සමාජවාදී ප‍්‍රතිවර්තනයක් සඳහා අවශ්‍ය පදනම මෙය වන්නේය.

මෙම ක‍්‍රියාමාර්ගය සඳහා සටන් කිරීමට නම් කම්කරු පන්තිය වෘත්තීය සමිතිවල හා ඩිමොක‍්‍රටික් පක්ෂයේ දේශපාලන අධිකාරය පවත්වාගෙන යාමට උත්සාහ කරන සියලු සංවිධානවල දඬු අඬුවෙන් මිදී ගත යුතුය.

එක්සත් මෝටර් රථ කම්කරු සමිතියේ සභාපති බොබ් කිං හා ඒඑෆ්එල්-සීඅයි ඕ සංගමයේ සභාපති රිචඩ් ටෘම්කා ජනාධිපති ඔබාමා සමග ඩෙට්‍රොයිට් කම්කරු දින වේදිකාව අරක් ගැනීම මෙම ප‍්‍රතිගාමී පෙලගැසීම මූර්තිමත් කරයි. බුෂ් පරිපාලනයේ ප‍්‍රතිපත්තිය වූ එතෙර අධිරාජ්‍යවාදී යුද්ධයත් මෙතෙර ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට පහර දීමත් ඔබාමා අඛන්ඩව හා තවත් එහාට පවා ගෙනයමින් සිටියි. ඔබාමා වෝල් වීදියට ඇප දීම පුලුල් කල අතර මෝටර් රථ කම්කරුවන්ගේ වැටුප් සියයට පනහකින් කපාහෙලීම සාර්ථක ලෙස ක‍්‍රියාවට නැඟීය. එසේ තිබියදී පවා වෘත්තීය සමිති මෙම දක්ෂිනාංශික ව්‍යාපාර ගැති ජනාධිපති යලි පත්කර ගැනීම සඳහා තමන් සතු සියලු සම්පත් පෙල ගැස්වීමට සූදානම්ව සිටිති.

හදිසි කර්තව්‍යය වන්නේ නව දේශපාලන නායකත්වයක් හා ඉදිරිදර්ශනයක් ගොඩනැඟීමයි. සසප ද්වි පක්ෂ ධනේශ්වර ක‍්‍රමයට එරෙහි අරගලය සඳහා කම්කරු පන්තිය ස්වාධීන කාර්මික හා දේශපාලන බලමුලු ගැන්වීමකට පෙරමුන ගෙන සිටියි. මෙම ක‍්‍රියාමාර්ගය සමග එකඟවන සියලු කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් අප ඉල්ලා සිටින්නේ සසපයට බැඳෙන ලෙසට හා සමාජවාදය සඳහා සටනට ඒකාබද්ධ වන ලෙසට ය.

සමාජවාදී සමානතා පක්ෂය