අධිරාජ්‍යවාදය උදෙසා නව ආධාරක කංඩායමක්

A new constituency for imperialism

3 September 2011

"අධිරාජ්‍යවාදයේ සමෘද්ධිය ද වියරු ලෙස එය ආරක්ෂා කිරීම ද දීප්තිමත් ම පැහැයන්ගෙන් එය පින්තාරු කිරීම ද සම්බන්ධයෙන් පොදුවේ දක්නට ලැබෙන උද්‍යෝගය-මෙකල ලකුනු එවැනි ය.” මෙම වචන ලියන ලද්දේ 95 වසරකට පෙර වුව, අන් කිසි කලෙකටත් වඩා වත්මන් දේශපාලන වාතාවරනයට උචිත වේ. ලිබරල් පුවත්පත් කලාවේදීන්, වාමාංශික බුද්ධිමතුන් සහ හිටපු රැඩිකලුන් ලිබියාවෙහි යුද්ධයට ප‍්‍රතික‍්‍රියා කරන ආකාරය පිලිබඳව, මීට වඩා හොඳ විස්තර කිරීමක් සොයා ගත නොහැකි ය.

උපුටා ගැනීම ලෙනින්ගේ "අධිරාජ්‍යවාදය” කෘතියෙනි. ඔක්තෝබර් විප්ලවයේ අනාගත නායකයා පලමු වන ලෝක යුද්ධයට බලපෑ හේතු විශ්ලේෂනය කලේ එම කෘතියෙහි ය. ලෙනින් ආර්ථික පසුබිම අධ්‍යයනය කිරීමට පමනක් සීමා වූයේ නො වේ. ඔහු මානව වර්ගයාගේ ඉතිහාසයෙහි දැවැන්තතම ජන සංහාරයට පෙරටුව සිදු වුනු සමාජ සහ දේශපාලන වෙනස්කම් ද සාකච්ඡාවට බඳුන් කලේ ය.

ආර්ථිකයේ සියලු අංශ මත කිහිප දෙනෙකු අත සංකේන්ද්‍රනය වුනු මූල්‍ය ප‍්‍රාග්ධනය ආධිපත්‍යය දැරීම සහ ලෝකය බෙදා ගැනීමට උත්සාහ දැරීමේ දී මහ බලවතුන් අතර වර්ධනය වුනු ගැටුම්, ”... දේපොල හිමි පන්තීන් මුලුමනින් ම අධිරාජ්‍යවාදයේ පැත්තට යාමට හේතු වී” තිබින.

ජර්මනියේ සුලු ධනේශ්වරය තුල එකල එය සලකන ලද්දේ, අධිරාජ්‍යවාදී පරමාර්ථවලට සහාය දීමට හොඳ පිලිවෙලක් ලෙස ය. බි‍්‍රතාන්‍ය නාවික හමුදාවට සමාන ජර්මානු නාවික හමුදාවක් ගොඩ නැගිය යුතු යැයි බලපෑම් කල 1898 දී පිහිටැවුනු ජර්මානු නාවික හමුදා ලීගයෙහි, 1908 වන විට දසලක්ෂයකට වැඩි සාමාජිකයෝ සිටියහ. යුද උන්මාදයට, මේ සියල්ල ම තුඩු දුන්නේ ය. 1914 දී සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය (එස්පීඩී) හරහා ද වේගයෙන් පැතිර ගිය මෙම උන්මාදය, නොනවතින ගෝලීය ව්‍යසනයක් මුදා හලේ ය. ඒ ව්‍යසනය තාවකාලික විරාමයකට වුව ලඟා වූයේ තිස් වසරකට පසුව, දෙවන ලෝක යුද්ධයේ අවසානයත් සමග ය.

ලිබියාවට සිදු වන බලහත්කාරී මැදිහත් වීමට ප‍්‍රතිචාර දැක්වීමේ දී වත්මන් යුරෝපා සහ ඇමරිකානු මාධ්‍යය ද දේශපාලනඥයන් ද පෙන්නුම් කරන උන්මාදය සහ උද්‍යෝගය, පලමු වන ලෝක යුද්ධයට පෙර සමය සිහි ගන්වයි. ඇෆ්ඝනිස්ථාන සහ ඉරාක යුද්ධ සම්බන්ධයෙන් ඇල්මැරුන මනසකින් ක‍්‍රියා කල බොහෝ පුවත්පත් කලාවේදීන් සහ බුද්ධිමතුන්, විවේචනාත්මකව වටහා ගැනීමේ ශක්තීන් සියල්ල අහිමි කර ගෙන ඇත. කලින් යුද බෙර හඬට නටමින් සිටි අය, දැන් සියලු සීමා මායිම් අහිමි කර ගෙන ඇත.

යුද්ධයට පිවිසි බලවතුන් සිය කොල්ලකාරී අරමුනු වසං කර නැත. නේටෝව මාස හයක් තිස්සේ රටට ගුවනින් බෝම්බ දැමීම, තාවකාලික ජාතික කවුන්සිලයේ සාමාජිකයන්ගේ වැනෙනසුලු බව, කැරලිකරුවන්ගේ පාර්ශ්වයෙහි ඉස්ලාම්වාදී සටන්කරුවන් සහ විදේශීය පාලක ප‍්‍රභූ පිරිස්වලට අයත් භටයන් යොදා ගැනීම, ගඩාෆිගේ ආධාරකරුවන් සහ කලු අප‍්‍රිකානුවන් සංහාරය කිරීම (බටහිර පුවත්පත් මේ පිලිබඳව බෙහෙවින් නිහඬ ය) යන මේවා, "සිවිල් ජනගහනය ආරක්ෂා කිරීම” සහ "ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයක්” පිලිබඳ නිල ප‍්‍රචාරය සනාථ කිරීමට ගැලපෙන්නේ නැත.

බ‍්‍රහස්පතින්දා පැරිසියෙහි පැවැත්වුනු ලිබියාව පිලිබඳ ජාත්‍යන්තර සමුලුවේ දී, රැස් වුනු මහ බලවතුන් තෙල් බිම් සහ බිලියන සංඛ්‍යාත නිශ්චල දේපොල සම්බන්ධයෙන් එලිපිට ම කේවෙලෙහි යෙදුනු තතු තුල, යුද්ධයේ සැබෑ අරමුනු එලිදරව් විය: එනම්, තෙල්, ධනය, ආනුභාවය සහ මුලු මහත් මැද පෙරදිග ම යලි බෙදීම යි.

එහෙත් මාධ්‍යයෙහි සහ දේශපාලනයෙහි නිමග්නව සිටින යුද ප‍්‍රචාරකයෝ, තමන්ට දකින්නට වුවමනා නොකරන සියල්ලට සාහසික ලෙස සිය දෑස් වසා ගෙන, "ලිබියාවේ විමුක්තිය” පිලිබඳ ප‍්‍රතිරූපයට නොගැලපෙන සියල්ල ප‍්‍රතික්ෂේප කලහ.

මේ සම්බන්ධයෙන් යුරෝපා පාර්ලිමේන්තුවෙහි හරිතයන්ගේ නායක ඩැනියෙල් කොහ්න්-බෙන්ඩිට් පල කරන බයාදුකම සහ එඩිතරකම අසමසම ය. පැරිස් ශිෂ්‍ය කැරැල්ලේ ප‍්‍රකාශකයෙකු ලෙස 1968 දී කැපී පෙනුනු කොහ්න්-බෙන්ඩිට්, "අරාබි ලෝකය තුල බටහිර කීර්තිය වැඩි කල” "සාර්ථක මිලිටරි මැදිහත් වීම” වගවර්නනා කලේ ය. ආරම්භයේ සිට යුද ප‍්‍රයත්නයට පූර්න සහායක් නොදුන් ජර්මනියෙහි හරිත පක්ෂ මිතුරන් "දක්ෂ පොරවල්” සහ "නුවනක්කාර හාදයන්” යැයි ඔහු හෙලා දුටුවේ ය. ඔවුන් ප‍්‍රසිද්ධියේ නේටෝවෙන් සමාව ගත යුතු යැයි ඔහු ඉල්ලා සිටියේ ය.

ප‍්‍රන්ස සමාජවාදී පක්ෂය ජනාධිපති සර්කොසි වර්නනා කිරීමේ දී ඉහලින්ම කැපීපෙනුනි. "ප‍්‍රන්සය මෙම මුල පිරීමට අත ගැසීම සතුටට කරුනක්” වී යැයි පැවසූ පක්ෂ සභාපති මාර්ටින් ඕර්බි, "නිසි මොහොතේ දී ක‍්‍රියා කිරීම” ගැන සර්කොසිට ප‍්‍රශංසා කලේ ය. කලින් අධ්‍යාපන සහ සංස්කෘතික අමාත්‍යාංශවල ප‍්‍රධානයාව සිටි, පක්ෂය තුල මහා බුද්ධිමතෙකු ලෙස සැලකෙන ජැක් ලෑන්ග්, ටි‍්‍රපොලි සිදුවීම පිලිබඳව අදහස් දැක්වූයේ මෙම වචනවලිනි: "ලිබියාවේ නිදහස පතා කරන යුද්ධයෙහි අධිෂ්ඨාන සහගතව සහ සාර්ථකව නියැලුනු නිසා ප‍්‍රන්සයේ කීර්තිය වර්ධනය වී තිබෙනවා ය කියන කරුන ගැන අද හැමෝට ම සතුට ප‍්‍රකාශ කරන්න පුලූවන්.”

නව ධනපති-විරෝධී පක්ෂය (එන්පීඒ) ද යුද ප‍්‍රචාරයට පිවිසී ඇත. හෙබ්ඩෝ ටෞට් ඉස්ට් එ නෞස් නම් එහි සතිපතා පුවත්පත, නේටෝ මැදිහත් වීමට සහාය දිය යුතු යැයි ප‍්‍රබල ලෙස තර්ක කල සාකච්ඡාකරුවන්ගේ අදහස් ප‍්‍රසිද්ධ කලේ ය. මාර්තු අග දී ඔවුහු මෙසේ ලියූහ: "එක්සත් ජාතීන්ගේ අංක 1973 දරන යෝජනාව භාවිතයට ගැනීමට අද දවසේ විරුද්ධ වන අය බෙන්ගාසියේ සහ ලිබියාවේ නැගෙනහිර සිටින කැරලිකරුවන්ට කෙලින් ම කියා සිටින්නේ, ‘අපි අපගේ අධිරාජ්‍ය විරෝධය වෙනුවෙන් ඔබගේ ජීවිතය, ඔබගේ නිදහස සහ ඔබගේ බලාපොරොත්තු කැප කරමින් සිටිමු. අපගේ සමහරුන් එය කරනු ඇත, එහෙත් අපි එසේ නොකරන්නෙමු” යන්න යි.

ටි‍්‍රපොලිය ඇද වැටීමෙන් පසුව නිකුත් කල නිල පුවත්පත් නිවේදනයක දී එන්පීඒය මෙසේ කියා සිටියේ ය: ”ආඥාදායක ගඩාෆි පෙරලා දැමීම මහජනයාට සතුට දනවන පුවතකි. ... දැන් ලිබියානු මහජනතාවට නව ජීවිතයක් විවෘත වෙමින් ඇත. දැන් න්‍යාය පත‍්‍රයෙහි තිබෙන්නේ, නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් සහ මහජනතාවගේ මූලික අවශ්‍යතා සැපිරීම සඳහා භාන්ඩ සංචිතවලින් ලැබෙන අතිවිශාල ආදායම් ප‍්‍රයෝජනයට ගැනීම යි.”

නිල කතාබහේ දී සාමාන්‍යයෙන් එන්පීඒය විස්තර කරනු ලබන්නේ "අන්ත වමේ” කොටසක් හැටියට ය. විවෘතව සහ නිර්ලජ්ජිතව මෙවන් අධිරාජ්‍යවාදී යුද්ධයක් යුක්ති සහගත යැයි කියන සංවිධානයකට, "නව දකුන” යන්න වඩා හොඳ නමක් වනු ඇත.

ජර්මනියෙහි ද මීට සමාන නැඹුරුවක් දැකිය හැකි ය. ඉරාක යුද්ධයට එරෙහිව සියදහස් ගනනක් වීදිවලට දැක්කුනු මුත්, ලිබියාවෙහි යුද්ධයට එරෙහිව එක ද මහා උද්ඝෝෂනයක් වත් කැඳවා නැත. ඊනියා සාම ව්‍යාපාරය විශ‍්‍රාම ගෙන ඇත.

කොහ්න්-බෙන්ඩිට්ගේ දිගු කාලීන මිතුරියක සහ හරිත සගයෙකු වන, 1999 දී විදේශ ඇමතිනිය ලෙස යුගෝස්ලාවියාවට එරෙහි යුද්ධයේ දී ජර්මනියේ සහභාගිත්වය සහතික කල ජොෂ්කා ෆිෂර්, බර්ලිනය ලිබියාවෙහි යුද්ධයට සම්බන්ධ වීම ප‍්‍රතික්ෂේප කිරීම පිලිබඳව දෝෂාරෝපනය කර ඇත්තේ, "ෆෙඩරල් සමූහාන්ඩුව පිහිටැවුනු තැනින් මෙපිට සිදු වුනු දැවැන්තතම විදේශ ප‍්‍රතිපත්තිමය පරාජය” ලෙස ය. එස්පීඞී හිතවාදී ඩයි සීට් නම් සතිපතා පුවත්පත එය හැඳින්වූයේ "ජර්මනියට අවමානයක්” ලෙස ය. ජර්මනිය නේටෝ මැදිහත් වීමට සම්බන්ධ වීමෙන් වැලකී සිටිය යුතු යැයි නැගෙන එක ද හඬක් වත්, මාධ්‍යය තුලින් හෝ සංස්ථාපිත දේශපාලන පක්ෂ තුලින් සොයා ගත නොහැකි තරම් ය.

එක්සත් ජනපදයේ දී, බුෂ් යුගයේ යුද්ධවල කැපී පෙනෙන විරුද්ධවාදීන්ව සිටි අය ලිබියාවෙහි යුද්ධයට උද්‍යෝගයෙන් යුතුව සහාය දෙති. නියම නිදසුනක් නම්, මිචිගන් විශ්ව විද්‍යාලයේ ඉතිහාසඥ ජුවාන් කෝල් ය. ඉරාක යුද්ධයේ විවේචකයෙකු ලෙස නමක් දිනා සිටි ඔහු දැන් ලිබියාවෙහි යුද්ධයට උනන්දුවෙන් සහාය දෙයි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ලිපි කිහිපයක් ඔස්සේ, ඔහුගේ පරිනාමය විවේචනාත්මක විශ්ලේෂනයකට හසු කලේ ය.

හිටපු ලිබරල්වාදීන් සහ ෆැසිස්ට්වාදීන් අධිරාජ්‍යවාදී යුද කඳවුරට මාරු වීම ඉතා පුලුල්ව දැකිය හැක්කකි. එය පෞද්ගලික ප‍්‍රපංචයක් ලෙස සැලකිය නොහැකි ය. මහා සමාජ අරගල බොහෝ විට ප‍්‍රකාශයට පත් වන්නේ එවන් දේශපාලන පරිවර්තනයන් හරහා ය. දේශපාලන පක්ෂ, අනාගත පන්ති අරගලවල දී තමන් ඉටු කරන්නට යන කාර්ය භාරය සඳහා සූදානම් වෙමින් සිටී.

මෙම වර්ධනය අලුත් දෙයක් නො වේ. දොලොස් වසරකට පෙර යුගෝස්ලාවියානු යුද්ධය අතරතුර දී, ෆැසිස්ට්වාදීන් සහ හරිතයන් අතර සිටි බොහෝ කොටස්, නේටෝව අනාරක්ෂිත රටකට බෝම්බ දැමීමට සහාය දුන්නේ ය. එහෙත් ලිබියාවෙහි යුද්ධයේ දී මෙම වර්ධනය නව අදියරකට සේන්දු වී ඇත.

කලින් තිබුනු තම ෆැසිස්ට්, ලිබරල් හෝ "වාමවාදී” අදහස්වලට ප‍්‍රධාන වශයෙන් ම සමු දෙමින් සිටින්නේ මධ්‍යම පන්තියේ සමෘද්ධිමත් ස්තරවල නියෝජිතයන් ය. හරිතයන්ගේ, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ, වෘත්තීය සමිතිවල සහ සුලු ධනේශ්වර වමේ-එනම් එන්පීඒහි-සාමාජිකත්වය තුල මෙම ස්තර ප‍්‍රබල ලෙස නියෝජනය වේ. ඔවුන් ප‍්‍රතිචාර දක්වමින් සිටින්නේ, තෙවසරකට පෙර ජාත්‍යන්තර මූල්‍ය සහ ආර්ථික අර්බුදය පුපුරා ගිය තැන් පටන් එන්න එන්න ම ගැඹුරු වී ඇති තියුනු පන්ති ධ‍්‍රැවාන්තගත වීමකට ය. ග‍්‍රීට් වයිල්ඩර්ස් හෝ තිලෝ සරසින් වැනි වර්ගවාදී ගෝසාබද්දයන් මෙම ස්තර තුලින් ලබන සහයෝගය, එම දේශපාලන ප‍්‍රපංචයේ ම තවත් පැතිකඩකි.

කම්කරු පන්තිය එලඹෙමින් පවත්නා පන්ති අරගලවලට සූදානම් විය යුතු ය. ලිබියාවෙහි සිදු වන බලහත්කාරී මැදිහත් වීමට ලබා දෙන සහායත් සමග, හරිතයන්, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් සහ එන්පීඒය වැනි කන්ඩායම්, තමන් ඉන්නට යන්නේ කුමන පාර්ශ්වයේ දැයි පරිපූර්න ලෙස පැහැදිලි කරයි-එනම්, පාලක පන්තියේ පාර්ශ්වය තුල යි.

අද දින ලොව පවතින, ස්ථිරසාරව සමාජවාදී ඉදිරි දර්ශනයක් වෙනුවෙන් පෙනී සිටින්නා වූත් ජාත්‍යන්තර කම්කරු පන්තියේ අවශ්‍යතා ආරක්ෂා කරන්නා වූත් එක ම ව්‍යාපාරය, සමාජවාදී සමානතා පක්ෂය (පාටි ෆර් සෝශලේ ග්ලීච්හයිට්) සහ හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව යි. මේ පැයේ හදිසි කර්තව්‍යය මෙම පක්ෂය ගොඩ නැගීම යි.

පීටර් ෂ්වාර්ස්