බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රන්සය ලිබියාවට එරෙහි විජිතවාදී ප‍්‍රහාරයෙහි පෙරමුන ගනී

Britain and France lead the colonial charge into Libya

17 September 2011

බි‍්‍රතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සහ ප‍්‍රන්ස ජනාධිපති නිකොලස් සර්කොසි බ‍්‍රහස්පතින්දා ලිබියාවට කල සංචාරය අධිරාජ්‍යවාදයේ සකලවිධ අධම සහ ලේ වැකි සම්ප‍්‍රදායන් යලි සිහියට නංවයි: එනම්, අත්‍යධික කුහකත්වය, ආර්ථික කොල්ලය සහ සිය අරමුනු සපුරා ගැනීම සඳහා අනුකම්පා විරහිත ලෙස බලය යොදා ගැනීම යි.

ටි‍්‍රපොලිහි දී දැඩි ආරක්ෂාව යටතේ නේටෝවේ දේශීය අනුග‍්‍රාහකයා වන ජාතික අන්තර්වාර මන්ඩලයේ (ටීඑන්සී) නායකයන්ගෙන් නොමසුරුව ගරු බුහුමන් ලද කැමරන් සහ සර්කොසි අනතුරුව වහා ම ටීඑන්සී බල මධ්‍යස්ථානය වන බෙන්ගාසියට රැගෙන යන ලදහ. රැස්ව සිටි පිරිසේ ප‍්‍රීති ඝෝෂාවට පිලිතුරු වශයෙන් කැමරන් "නිදහස් ලිබියාවක්” යැයි හඬ නැගී ය. "ප‍්‍රන්සය, මහා බි‍්‍රතාන්‍යය, යුරෝපය හැම විට ම ලිබියානු ජනතාවගේ පැත්තේ ඉඳීවි,” යි සර්කොසි කියා සිටියේ ය.

නේටෝවේ නව විජිතවාදී වික‍්‍රමයට-මුවම්මර් ගඩාෆි තන්ත‍්‍රයෙන් ලිබියානුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට-ව්‍යාජ හේතුව වී ඇත්තේ අත් හැර දැමීමේ වුවමනාව විනා අන් යමක් නො වේ. ටීඑන්සීය ද එහි නේටෝ සහායකයන් ද මුලු රට ම සිය පාලනය යටතට ගැනීමට දැඩි ප‍්‍රයත්නයක යෙදී සිටිය දී සිර්ටේ සහ බානි වාලිඩ් යන ඉතිරි ගඩාෆි හිතෛෂී නගර වටා ඉලක්කවලට නේටෝ යුද ගුවන් යානා අඛන්ඩව පහර දෙන්නේ සිවිල් වැසියන්ගේ ජීවිත තඹයකට නොතකමිනි. ගඩාෆි තන්ත‍්‍රය කරන්නට යතැයි කියන ජන සංහාර ගැන අනතුරු අඟවමින් අධිරාජ්‍යවාදී මැදිහත් වීමට අනුබල දුන් බටහිර මාධ්‍යය නේටෝවේ බෝම්බ ප‍්‍රහාරවලින් සිවිල් වැසියන් දහස් ගනන් නො වේ නම් සිය ගනන් ඝාතනයට ලක් වෙද්දී හිතාමතා නිහඬව සිටී.

"ආඥාදායකයෙකු ඉවත දමා නිදහස තෝරා ගත් බැවින්” බෙන්ගාසිය "ලෝකයට අනුප‍්‍රානයක් වුනා” යි කැමරන් කියා සිටියේ ය. වේදිකාවේ ඔහු ලඟින් ම සිටියේ ගඩාෆිගේ හිටපු අධිකරන ඇමති, එන්ටීසී සභාපති මුස්තාෆා ජලීල් සහ ගඩාෆිගේ ජාතික ආර්ථික සංවර්ධන මන්ඩලයේ ප‍්‍රධානියාව සිටි, එන්ටීසී "අගමැති” මහ්මූද් ජබ්රිල් ය. මේ දෙදෙනා ම ගඩාෆි තන්ත‍්‍රය කල අපරාධවල වගකීම දරා සිටින්නෝ ය. නේටෝවෙන් නිර්මානය කෙරෙන නව පටිපාටියට එරෙහිව මතු වන ඕනෑ ම දේශපාලන විරුද්ධත්වයකට මුහුන දීමේ දී ඔවුන්ගේ අනුකම්පා විරහිත භාවය ඊට අඩු නොවනු ඇත.

තම ලිබියානු සංචාරය කුලී හේවාකම් සැපයීමේ අවශ්‍යතා සමග බැඳී ඇති බව අඟවන සියලු ප‍්‍රකාශයන්, කැමරන් සහ සර්කොසි විය යුතු ලෙස ම ප‍්‍රතික්ෂේප කලහ. කිසිදු ප‍්‍රතිඥාවක් හෝ බලාපොරොත්තුවක් දෙනු නොලැබින. ප‍්‍රන්ස ජනාධිපතිවරයා වාර්තාකරුවන් හමුවේ මෙසේ ද පැවසී ය: "අපි කල දේ කලේ මානුෂීය හේතූන් නිසා. න්‍යාය පත‍්‍රයක් තිබුනේ නැහැ.” එහෙත් ප‍්‍රන්සය සහ බි‍්‍රතාන්‍යය "අනාගතයේ දී බලපෑමක් කරනු ඇතැ”යි සහතික වීමට ජලීල් ඉක්මන් විය. ඔහු තව දුරටත් මෙසේ ද කී ය: "කලින් ඇති කර ගත් සියලු කොන්ත‍්‍රාත්තුවලට අප ඉදිරියටත් ගරු කරනවා. ඒත් ලිබියාවට සහාය දීමේ දී අපේ මිතුරන් දරන පරිශ‍්‍රමයන් හේතුවෙන් ඔවුන්ට ප‍්‍රමුඛ කාර්ය භාරයක් පැවරේවි.” වෙනත් වචනවලින් කිව හොත්, කොල්ල කා ගන්නා තෙල් අයිති වන්නේ දිනූ අයට ය.

එතරම් ම නග්නව පෙනී යන දෙය නම් නව විජිතවාදීන් ලිබියාවට කඩා වැදීම සංස්ථාපිත පුවත්පත්වල විවෘත පිලිගැනීමට ලක්ව තිබෙන්නේ ය යන්න යි. මේ සතියේ සංචාරය ගැන අදහස් දක්වමින් ගාඩියන් පුවත්පතේ සයිමන් ටිස්ඩාල් මෙසේ සඳහන් කලේ ය: "ඇත්තට ම ඉතිහාසය පුරා තමන්ගේ ම යැයි කියා ගත් ක‍්‍රමයකට ජය ගත් වීරයන් මෙන් බි‍්‍රතාන්‍ය සහ ප‍්‍රන්ස නායකයන් ද සේන්දු වූයේ-මෙකල නම් මූල්‍යමය ත්‍යාගයක් විය හැකි-ජයග‍්‍රාහකයාගේ කිරුල හඹා යාමේ ප‍්‍රබල වුවමනාවෙනි. ඩේව් සහ සර්කෝ යුද චාරිකාවේ ප‍්‍රමුඛ වාසිය එම කිරුල විය.”

කැමරන් සහ සර්කොසිගේ සංචාරය සලකුනු කරන්නේ ලිබියාව තුල දේශපාලන ආනුභාවය, මූලෝපායාත්මක තත්ත්වය සහ ලාභ උදෙසා වන බිහිසුනු තරගයක ආරම්භය යි. තුර්කි අගමැති රිසෙප් ටායිප් එර්ඩොගන් ඊයේ ටි‍්‍රපොලියට ලඟා වූයේ "මර්දනකාරී තන්ත‍්‍රවල යුගය හමාර වී ඇතැ”යි නිවේදනය කිරීමට ය. පෙබරවාරියේ දී සිවිල් යුද්ධය පුපුරා යාමට කලින් තුර්කිය ඩොලර් බිලියන 15කට ආසන්න මුදලක් ලිබියාවෙහි ආයෝජනය කර තිබින. එර්ඩොගන් උනන්දු වූයේ එම ආයෝජන සුරක්ෂිත කර ගැනීම ගැන ය.

මේ සතිය මුල හරියේ දී ඉතාලි බලශක්ති දැවැන්තයෙකු වන ඊඑන්අයි සංගතයේ ප‍්‍රධාන විධායක නිලධාරි පාඔලෝ ස්කැරෝනි ටි‍්‍රපොලියෙහි පෙනී සිටියේ ලිබියානු ගෑස් අපනයන යලි මිල දී ගැනීම පිලිබඳව සාකච්ඡා කිරීමට ය. යුද්ධයට පෙර ලිබියාවේ විශාලතම බලශක්ති නිෂ්පාදකයා වූයේ ඊඑන්අයි සංගතය යි. තම අධිපති තත්ත්වය ආරක්ෂා කර ගැනීමට එය නිසැකව ම උනන්දු වනු ඇත. අප‍්‍රිකාවෙහි තිබෙන විශාලතම බලශක්ති සංචිත බවට සනාථ වී ඇති නිධි-තෙල් බැරල් බිලියන 46.4ක් සහ ස්වාභාවික ගෑස් ඝන අඩි ටි‍්‍රලියන 55ක්-ලිබියාව සතු ය. සැප්තැම්බර් 2 දා පැරිසියෙහි පැවැත්වුනු "ලිබියාවේ මිතුරෝ” හමුවට ලිබියානු නිලධාරීන් වාර්තා කලේ ප‍්‍රධානතම විදේශීය බලශක්ති සංගත පහක් යලි රට වෙත පැමින සිටින බව යි.

යුද්ධය කරන්නේ ලිබියාව තුල "තන්ත‍්‍රය වෙනස් කිරීම” සඳහා බවට කල කුහක ප‍්‍රකාශ සියල්ලෙහි ම සාරය නම් මිනිස් ජීවිතවල ආරක්ෂාව නොතකා හැරීම යි. ලිබියාව, උතුරු අප‍්‍රිකාව සහ මැද පෙරදිග සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය සහ ප‍්‍රන්ස අධිරාජ්‍යවාදයේ අරමුනු පසු ගිය 200 වසරේ දී මෙන් අද ද මානුෂීය නො වේ.

ලිබියාවේ සහ එහි සමීප අසල්වැසියන්ගේ ඉතිහාසය කෙටියෙන් සලකා බැලීම වුව මෙහි ලා ප‍්‍රමානවත් ය. 1882 දී ඊජිප්තුවෙහි හැත්තෑ වසරක බි‍්‍රතාන්‍ය විජිතවාදී ආධිපත්‍යය ඇරඹුනේ නාවික හමුදාව ඇලෙක්සැන්ඩි‍්‍රයාවට එල්ල කල කාල තුවක්කු ප‍්‍රහාරයකින් සහ කාර්ය සාධක බලකායක් හරහා ජාතිකවාදී විරෝධය මර්දනය කිරීමෙනි. බි‍්‍රතාන්‍යය අසල්වැසි සුඩානය ආක‍්‍රමනය කලේ රට පුරා පැතිර පැවති වහල් වෙලඳාම මැඩ පැවැත්වීමේ මානුෂීය ධජය යටතේ ය.

ඇල්ජීරියාව, චැඩ්, නයිජර් සහ ටියුනීසියාව තුල ක‍්‍රෑර විජිතවාදී පාලනයක් ගෙන යාමේ දිගු ඉතිහාසයක් ප‍්‍රන්සය සතු ය. 1940 ගනන්වල දී සහ 1950 ගනන්වල දී ඇල්ජීරියාවේ පාලන බලය රැක ගනු වස් එය දිගු, ලේ වැකි යුද්ධයක් ගෙන ගියේ ය. වධබන්ධන පැමිනවීම, පලි ගැනීම සහ තොග ගනනින් ඝාතනය කිරීම පිලිබඳව ප‍්‍රන්ස හමුදා අපකීර්තියට පත් වූයේ එසමයෙහි ය. ප‍්‍රන්ස පාලනයට එරෙහි අරගලයේ දී ඇල්ජීරියානුවන් මිලියන 1.5ක් තරම් විශාල සංඛ්‍යාවක් ඝාතනය වුනු බවට පශ්චාත් විජිතවාදී ආන්ඩුව තක්සේරු කලේ ය.

ඉතාලිය ලිබියාව ද යටත් කර ගත්තේ ය. එය සිය ආක‍්‍රමනය යුක්ති සහගත කලේ "ශිෂ්ටාචාරවත් කිරීමේ” මෙහෙයුමක් යැයි කියමිනි. ඉතාලි පාලනය ඇරඹුනු තැන් සිට දෙවන ලෝක යුද්ධයේ දී ඉතාලි හමුදාව අන්ත පරාජයට පත් වීම දක්වා කාලය තුල දී ලිබියානු ජනගහනයෙන් අඩක් ඝාතනය කෙරුනහ, සාගතයෙන් මිය ගියහ, නැත හොත් පිටුවාහල් කෙරින. ඉතාලි පාලනයට පෑ ප‍්‍රතිරෝධය ක‍්‍රමානුකූල ගුවන් බෝම්බ ප‍්‍රහාරවලට මුහුන දුන්නේ ය. 1930 දී 100,000ක් ජනයා-මොවුන්ගෙන් වැඩි දෙනා එඬේර ජීවිතයක් ගත කල අය ය-රැඳවුම් කඳවුරුවල කොටු කෙරුනහ. යටත් පිරිසෙයින් ඔවුන්ගෙන් අඩක් වත් ඒවායේ දී මිය ගියහ.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව මේ රටවල් සියල්ල ම නාමිකව නිදහස ලැබුව ද කලින් සිටි විජිතවාදී බලවත්තු මතු වී ආ විවිධ ජාතිකවාදී තන්ත‍්‍ර හරහා වක‍්‍රව සිය ආර්ථික සහ මූලෝපායාත්මක අවශ්‍යතා රැක ගත්හ. නව විජිතවාදී මැදිහත් වීම්වලට දොර හැර ඇත්තේ අධිරාජ්‍යවාදී ආධිපත්‍යය අවසන් කිරීමට හෝ මහජනතාවන්ගේ දැවෙන සමාජ අවශ්‍යතාවන් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රාර්ථනාවන් සපුරා ලීමට අධම ධනේශ්වර ජාතිකවාදයේ අසමත් වීම හේතු කොට ගෙන ම ය. 1930 ගනන්වලින් මෙපිට දරුනු ම ආර්ථික අර්බුදයට මුහුන දී සිටින එක්සත් ජනපද, යුරෝපා බලවතුන් හා චීනය, රුසියාව වැනි නැගී එන බලවතුන් යන මේ සියලු දෙනා යෙදී ගෙන සිටින්නේ අප‍්‍රිකාවෙහි, මැද පෙරදිග සහ ජාත්‍යන්තරව ආධිපත්‍යය තකා තම සතුරන්ට එරෙහිව කරන වියරු නව තරගයක ය.

ලිබියානු චාරිකාව අතරතුර දී සර්කොසි ප‍්‍රන්සයේ ඊලඟ "මානුෂීය මෙහෙයුම” පිලිබඳව පවා ඉඟි කලේ ය. "සිරියාවටත් යම් දිනක නිදහස් රටක් විය හැකි යි ප‍්‍රාර්ථනා කරන අයට” තම සංචාරය කැප කිරීමට කැමති බව ඔහු කියා සිටියේ ය. බි‍්‍රතාන්‍යය සමග රහසේ ඇති කර ගත් සයික්ස්-පිකොට් ගිවිසුමේ කොටසක් ලෙස පලමු වන ලෝක යුද්ධයෙන් පසුව සිරියාවේ සහ ලෙබනනයේ පාලනය ප‍්‍රන්සයට වෙන් කෙරින. එම ගිවිසුම යටතේ කලින් පැවති ඔටෝමන් අධිරාජ්‍යය අධිරාජ්‍යවාදී බලවතුන් දෙදෙනා අතර කැබලි කෙරින. "සිරියාවේ ජනයා පීඩාවට පත් කරන අය” තම කාලය අවසන් වී ඇති බව වටහා ගත යුතු යැයි ප‍්‍රකාශ කරමින් තුර්කි අගමැති එර්ඩොගන් පසු දා තරවටුවක් කල බව අමතක නොකල යුතු ය.

පීටර් සිමන්ඩ්ස්