වේල්සයේ ආකර ඛේදවාචකය හා ඩිකන්සියානු පන්නයේ සූරාකෑම කරා ආපසු යාම

The Welsh mining tragedy and the return to Dickensian-style exploitation

27 September 2011

වේල්සයේ ස්වොන්සී මිටියාවතේ ග්ලෙයිසන් පුද්ගලික ආකරයේ දී සිවුදෙනෙකු මරනයට පත්කරමින් සිදු වූ ඛේදවාචකයෙන් සති දෙකක් පමන ගත වී ඇති අතර පොලීසියේ හා සෞඛ්‍ය හා ආරක්ෂක විධායකයේ (එච්එස්ඊ) විමර්ශකයෝ එම මරනවලට හේතුව නීර්නය කිරීමට තවත් කල් වැඩි යයි කියා සිටිති. මෙම බොඳකර දැමීමේ අරමුන බි‍්‍රතාන්‍යය පුරා කම්කරු පන්තියේ අතීත සමාජ ජයග‍්‍රහන බිඳ දැමීමේ විපාකයක් ලෙස ප‍්‍රකෘතිමත් වී ඇති ඩිකන්සියානු පන්නයේ සූරාකෑම ආවරනය කිරීම යි.

සැප්තැම්බර් 15 දා පොලව යට පිහිටි ජල ධාරිතාවය රැඳවුම් බැම්ම කැඩී කම්කරුවන් වැඩකරමින් සිටි උමගට ගංවතුර ගැලූ විට චාල්ස් බ්රෙස්ලින් (අවුරුදු 62), ඩේවිඩ් පවල් (50), ගැරී ජෙන්කින්ස් (39) හා ෆිලිප් හිල් (45) මිය ගියහ.

අඟුරු ආකර සුවිශේෂී වසයෙන් අන්තරායකාරී යයි ප‍්‍රසිද්ධ අතර ග්ලෙයිසන්හි තත්ත්වය ද ඊට වෙනස් නො වේ. කන්දක එක් පසෙකින් හාරනු ලබන එය ප‍්‍රාදේශීයව සැලකෙන්නේ මර උගුලක් ලෙස ය. පතලේ රැකියාවල නිරත අතලොස්සක් වන කම්කරුවන්ගෙන් අත්දැකීම් සහිත පතල්කරුවන් හතර දෙනා ගල් අඟුරු හෑරීමට පුපුරන ද්‍රව්‍ය හා සවල් පාවිච්චි කරමින් අතිශයින් සීමිත අවකාශයක වැඩකරමින් සිටියහ.

වඩාත් කෙලින් කිවහොත් ඔවුන්ගේ මරන 1984-85 සමයේ වසරක් පුරා ඇදීගිය ආකර වැඩවර්ජනය පාවාදීමේ හා පරාජය වීමේ ද ඉන් පසුව ගල් අඟුරු කර්මාන්තයේ ඉතිරි කොටස් වසාදැමීමේ හා පුද්ගලීකරනය කිරීමේ ද ප‍්‍රතිඵලය යි.

එහෙත් ග්ලෙයිසන් කම්කරුවන් අග‍්‍ර ලෙස සූරාකෑම හා ඔවුන්ගේ ආරක්ෂාව සැහැසි ලෙස නො තකා හැරීම තුල දකුනු වේල්සයෙන් හා ආකර කර්මාන්තයෙන් ඔබ්බට යන අනුනාදයක් ඇත. එය බි‍්‍රතාන්‍යය තුල වැඩකරන ජනයාගේ සමාජ හා ජීවන තත්ත්වයන් කප්පාදු කරන ලද දශක තුනක් පිලිබඳව කතා කරයි.

දකුනු වේල්සය එක් කලෙක ලෝකයේ වඩාත් ම වැදගත් අල් අඟුරු ආකර ප‍්‍රදේශවලින් එකක් විය. 1913 දී වේල්සය ආකර 620ක කම්කරුවන් 232,000ක් සේවයේ යොදවමින් ලෝකයේ අඟුරු අපනයනයෙන් තුනෙන් දෙකකට වගකීවේ ය. එය වනාහි ව්‍යසන මගින් ආකර කම්කරුවන් නිතර මරනයට පත්වීම හා හානියට මුහුන දුන් එක්සත් රාජධානියේ පුද්ගලික කැනීමේ යුගය යි. 1851 හා 1920 අතර දකුනු වේල්සයේ අඟුරු ආකරවල ව්‍යසන 48ක් හා මරන 3,000ක් සිදු විය. වඩාත් ම ව්‍යසනකාරී අනතුර වූයේ මිනිසුන් 439 දෙනකු මරනයට පත්කරමින් සෙන්ඝෙනිඩ්හි යුනිවර්සල් ආකරයේ 1913 දී සිදු වූ අනතුර යි.

දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ගල් අඟුරු කර්මාන්තය ජනසතු කිරීමෙන් පසුව එක්සත් රාජධානිය තුල කැනීම් කටයුතු තරමක් ආරක්ෂාකාරී විය. අනවරත වැඩවර්ජනවලට මග පාදමින් දිගට ම වැටුප් කැපීම සිදුවුවත් ආත්ම විශ්වාසී කම්කරු පන්තිය සටන් කර නිවාඩු දින හා රෝගවලට ගෙවීම් දිනාගත්තේ ය. 1974 පෙබරවාරියේ දී ජාතික ආකර කම්කරු වැඩවර්ජනය විසින් එඩ්වඩ් හීත්ගේ කොන්සර්වටිව් ආන්ඩුව පෙරලා දැමීය.

1984 දී මාග‍්‍රට් තැචර්ගේ කොන්සර්වටිව් ආන්ඩුව වැඩවර්නයක් කුලප්පු කලේ බි‍්‍රතාන්‍ය කම්කරුවන් අතර වඩාත් ම සටන්කාමී කොටස් මත පරාජයක් පැටවීමට යි. ආකර කම්කරුවන් දැනසිටි ආකාරයට පතල් 20ක් වැසීමට නිවේදනය කල ආන්ඩුවේ සැලස්ම හුදෙක් ආකර කර්මාන්තය විනාශ කිරීමට පැවති තල්ලුවේ මුදුනත පමනි.

තම ආකර වැසීමේ සැලසුම කි‍්‍රයාවට දැමීමට තැචර්, ලේබර් හා වෘත්තීය සමිති නිලධරයේ බියගුලු කම හා ද්‍රෝහීත්වය මත විශ්වාසය තැබුවා ය. එම නිලධරයෝ වැඩවර්ජනය පුරා කම්කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කිසිදු අරගලයක් කිරීම ප‍්‍රතික්ෂේප කලහ. ලේබර් නායක නීල් කිනොක් පිකට්වැටවල් "ප‍්‍රචන්ඩ” යයි හෙලා දකින අතරතුර වෘත්තීය සමිති සම්මේලනය (ටීයූසී) සහාය පලකිරීමේ සියලු වර්ජන කි‍්‍රයාවලට එරෙහි විය

මෙම පාවාදීමට පාවඩ එලන ලද්දේ ආකර කම්කරුවන්ගේ ජාතික සමිතිය (එන්යූඑම්) හා එවකට එහි සභාපති වූ ආතර් ස්කාගිල් විසිනි. මෙම ද්‍රෝහීත්වයට එරෙහි අරගලයකට නායකත්වය දෙනවා වෙනුවට "ටීයූසීයේ මැදිහත් වීම හෝ සහයෝගය වෙනුවෙන් මෙම සමිතිය ඉල්ලීම් නො කරයි” යයි ප‍්‍රකාශ කරමින් ස්කාගිල් ටීයූසීයට රහසිගත ලිපියක් ලීවේ ය.

මෙය ස්කාගිල්ගේ ජාතිකවාදී කි‍්‍රයාමාර්ගයේ සහ තැචර් ආන්ඩුව හෙලා සමාජවාදී පිලිවෙත් මත පදනම් වන අව්‍යාජ කම්කරු ආන්ඩුවකින් එය විස්ථාපනය කිරීම ප‍්‍රතික්ෂේප කිරීමේ සමස්ත ප‍්‍රතිඵලය යි.

ආකර කම්කරුවන්ගේ පරාජය හමුවේ කොන්සර්වටිව් ආන්ඩුව කම්කරු පන්තියේ අනෙකුත් කොටස් එකින් එක ඉලක්ක කරගත්තේ ය. අද වනවිට එන්යූඑම් සමිතිය යන්තම් 1,700ක ලේඛනගත සාමාජිකත්වයකට පිරිහී ඇත.

මෙම අරගලය සමග ජීවත් වූ කම්කරුවන්ගේ පරම්පරාවට අමතරව අනෙක් බොහෝ දෙනා මෙම අත්දැකීම් පිලිබඳව නො දනිති. මෙය මෙසේ වන්නේ සරලව ම වසර 25ක කාලයක් ගතව තිබීම නිසා ම නො වේ.

ලේබර් පක්ෂය හා ටීයූසීය ගත්කල ආකර කම්කරුවන්ගේ පරාජය සමාජ ප‍්‍රතිසංස්කරන හා පන්ති සහෝදරත්වය පිලිබඳ එහි පැරනි පිලිවෙත් පුලුල් පරිමානයෙන් අත්හැර දැමීමට අවස්ථාව සම්පාදනය කර දුන්නේ ය. කොන්සර්වටිව් පක්ෂයට වඩා සැලකිය යුතු වෙනසකින් තොරව ටෝනි බ්ලෙයාර් යටතේ "නව ලේබර් පක්ෂය” මහ ව්‍යාපාරිකයන් පිලිගත් පක්ෂයක් ලෙස දියත් කල අතර එවකට ටීයූසී නායක ජෝන් මන්ක්ස් "වෘත්තීය සමිති හතුරු විරෝධතා දියත් කල දවස් අයිති අතීතයට යයි” ප‍්‍රකාශ කලේ ය.

ලේබර් පක්ෂය හා ටීයූසීය මෙලෙස මූල්‍ය කතිපයාධිකාරයේ හා සංගත කලමනාකරනයේ ඍජු උපකරන බවට පත්වීම ලෝක වෙලඳපොල මත බි‍්‍රතාන්‍ය ධනවාදයේ දුර්වල තරගකාරීත්වයට ලේබර් නිලධරය දක්වන දේශපාලන ප‍්‍රතිචාරය යි. පාලක ප‍්‍රභූව තම අර්බුදය විසඳීමට උත්සාහ කරන්නේ කාර්මිකහරනය හා උපරිම මූල්‍ය සමපේක්ෂනයට ඉඩ ලබාදීමට සමාජ සහන කැපීමෙන් ය. ඒ සඳහා එය කම්කරු පන්තිය විනයගත කිරීමට හා ඕනෑම විරුද්ධත්වයක් කඩාකප්පල් කිරීමට ලේබර් හා වෘත්තීය සමිති නිලධරය මත විශ්වාසය තබයි.

එහි විපාකයක් ලෙස වසරින් වසර වෘත්තීය අරගල හේතුවෙන් අහිමි වන දින ගනන නව අවමයකට ලඟා වූයේ වේල්සය වැනි පැරනි වැදගත් කාර්මික ප‍්‍රදේශ ඉහල විරැකියාව හා දරිද්‍රතාව විසින් ග‍්‍රහනයට ගත් මුඩු බිම් බවට පත්කරද්දී ය.

බහු ඌනතාවය පිලිබඳ වේල්ස් දර්ශකයට අනුව ඩෙන්බිග්ෂයර්හි රයිල් වෙස්ට් ටූ ප‍්‍රදේශයේ වැඩකරන වයසේ ජනයාගෙන් අඩකට වැඩි පිරිසක් (සියයට 56ක්) පැවැත්ම සඳහා සමාජ ශුභසාධන මත රැඳේ. එක් කලෙක රැඩිකල් හා සමාජවාදී සටන්කාමීත්වයේ මධ්‍යස්ථානයක් වූ මර්තීර් ටයිඩිල් ප‍්‍රාන්තය ජාතිකව වඩාත් නො සැලකිල්ලට ලක්වූ ප‍්‍රදේශවලින් ඉහලම සියයට 10ට අයත් වේ.

වේල්සයේ ලමුන්ගෙන් සියයට 14ක් දෙමව්පියන්ගෙන් එක් අයෙක් හා එක් ලමයෙකු සහිත පවුලකට පවුම් 7,000ක් හා ලමුන් දෙදෙනකු හා දෙමව්පියන් සහිත පවුලකට පවුම් 12,500ට අඩුවෙන් යයි අර්ථ දැක්වෙන ආන්තික දරිද්‍රතාවෙන් පීඩා විඳී. ග්ලෙයිසන් පතල හා පෝට් ටැල්බට් වානේ කම්හල පිහිටි ප‍්‍රදේශය වන නීත් පෝට් ටැල්බට් දිස්ති‍්‍රක්කයේ ලමුන් 4,000ක් ආන්තික දරිද්‍රතාවේ ජීවත් වෙති.

බ්‍රෙස්ලින්, පවල්, ජෙන්කින්ස් හා හිල් වැනි අයට එවැනි අන්තරාදායක කොන්දේසි යටතේ වැඩකිරීමට බලකල තත්ත්වයන් මේවා ය. සියලු ගනන් බැලීම්වලට අනුව පසුගිය වසර තුන පුරා මිල තුනෙන් එකකින් පමන ඉහල ගොස් ඇති භාන්ඩයක් වන දුම් නොමැති වටිනා ගල් අඟුරු කැනීමට ග්ලෙයිසන් ආකරය යලි විවෘත කරන ලද්දේ මෑතක දී ය.

සමාජ නො තකා හැරීමේ හා කාර්මික සූරාකෑමේ එම කොන්දේසි ම රටපුරා යලි යලිත් පුනර්කරනය වේ. 2006 අපේ‍්‍රල් මාසයේ දී පෝට් ටැල්බට් වානේ කම්හලේ දී සෙන්ටිගේ‍්‍රඩ් අංශක 1,400කට උනු වූ (විලීන) ලෝදිය කුටීරයකට ඇද වැටී 49 හැවිරිදි කෙවින් ඩවුනි නමැති වානේ කම්කරුවා මරනයට පත් විය. වැඩපලේ ධාරාඌෂ්මකයෙන් නිකුත්වූ වාෂ්පයෙන් ඩවුනි පලමුව අන්ධ භාවයට පත්වූ අතර ඒ හේතුවෙන් ඔහු ලෝදිය තුලට පැකිලී වැටීම සිදුවිය.

ධාරා ඌෂ්මකය ආරක්ෂිත රැකවරනයක් නොමැතිව තිබියේ වුවත් මේ මස පැවති මරන පරීක්ෂනයක දී ඩවුනිගේ මරනය "හදිසි අනතුරක්” නිසා සිදුවී යයි නිගමනය කරන ලදී. 2001 දී එම කම්හලේ ම පිපිරුමකින් ස්ටීවන් ගැල්ස්වර්ති (අවුරුදු 25), ඇන්ඩෲ හටින් (20) හා ලෙන් රැඩ්ෆෝඩ් (53) යන කම්කරුවන් තිදෙනා මරනයට පත්ව තවත් 12කට තුවාල සිදුවිය.

පෘතුගීසි චිප්බෝඩ් නිෂ්පාදකයෙක් වන සොනේයි සමාගමට අයිති මර්සයිඩ්හි කම්හලක දී ගින්නෙන් හානියට පත් කම්හලේ කොටසක් කඩා දමමින් සිටින අතරතුර 62 හැවිරිදි ජේම්ස් ඩෙනිස් කේ මරුමුවට පත්විය.

කේ ගේ මරනයට පසු එම කම්හලේ දී ම තෝමස් එල්මර් (27) හා ජේම්ස් බිබි (24) දැවැන්ත බිම්ගෙයකට ඇදවැටී දෙසැම්බර්යේ දී මරනයට පත් විය. පසුගිය දශකය තුල සොනේයි කම්හල පූර්ව සෞඛ්‍ය හා ආරක්ෂන විමර්ශන හතරකට ඉලක්ක වූ අතර ඒ සඳහා එය දඩ වසයෙන් ගෙවා ඇත්තේ පවුම් 132,000ක් පමනි.

කොන්සර්වටිව්-ලිබරල් ඩිමොක‍්‍රටික් සභාගයේ කප්පාදු පියවරවල විපාකයක් ලෙස එවැනි ව්‍යසන ඉහල යාම පමනක් සිදුවනු ඇත. ඒවාට එච්එස්ඊ අයවැය සියයට 35කින් කැපීම, "මධ්‍යම හා අඩු අවදානම්” කර්මාන්ත ස්වයං පරීක්ෂනයන්ට භාජනය කිරීම නැවැත්වීම හා වැඩපල තුවාලවීම් පිලිබඳ වාර්තා කිරීම අනතුර හේතුවෙන් සතියකට වඩා නිවාඩු ලබන අයට පමනක් සීමාවීම වේ.

තමන්ගේ ම ආරක්ෂාව සඳහා කම්කරුවෝ පන්ති අරගලයේ නව සංවිධාන ගොඩනැගීමට යලිත් වරක් යොමුවීම නො වැලැක්විය හැක. ඒවා ලේබර් හා වෘත්තීය සමිති නිලධරය සමග නිර්දය ලෙස ගැටෙනු ඇත. මෙම අරගලයේ සාර්ථකත්වය රඳා පවත්නේ කම්කරුවන් ධනේශ්වර පද්ධතියට හා එහි දේශපාලන ආරක්ෂකයන්ට එරෙහි සමහන් කල නො හෙන අරගලයක් මත පදනම් වන ජාත්‍යන්තරවාදී හා සමාජවාදී ඉදිරි දර්ශනයක් අනුගමනය කිරීම මත ය.

රොබට් ස්ටීවන්ස් හා ජුලී හයිලන්ඩ්