යුරෝපීය සංගමයේ සැබෑ මුහුනුවර

The real face of the European Union

6 April 2012

යුරෝපය පුරා සිදුවන ජීවන තත්වයන් කාබාසිනියා කිරීමත්, අනාගත බලාපොරොත්තු පිලිබඳ අශුභවාදයත්, මීට පෙර සාමකාමී කාලයක අත් නොදුටු දේය. මෙය, ධනපති යුරෝපීය සංගමය, විශේෂයෙන්ම එහි වෘත්තීය සමිති හා පැරනි වාම පක්ෂවල ක්ෂමාලාපකයින් පිලිබඳව ද විනාශකාරී චෝදනාවකි.

රෝම ගිවිසුම් අනුමත කරමින් සිය අත්තිවාරම දමාගත් යුරෝපීය සංගමය මෙම මාර්තු 25දා එහි 55වන සංවත්සරය සැමරීය. පස් වසරකට පෙරාතුව යුරෝපීය සංගමය සංවත්සර උත්සව සලකුනු කල විභූතිය හා සැනකෙලි ස්වභාවය සමග සසඳන කල මෙවර දක්නට ලැබුනේ ව්‍යාජ ස්වරූපයකි. මෙම අවස්ථාවේ දී මහාද්වීපයේ දේශපාලන පක්ෂ හා රාජ්‍ය නායකයෝ වෘත්තීය සමිති නායකයින් ද සමග ජර්මනියේ අගනුවර වන බර්ලිනයට රැස්වී එකිනෙකාගේ පිට කසාගන්නා හා ශුභ පතාගන්නා නාඩගමක් දක්නට ලැබුනි.

බීතෝවන්ගේ ප්‍රමෝදයේ ගීත කාව්‍යයේ (ඕඩි ටු ජෝයි) තාලයට අනුව රැස්ව සිටි නියෝජිතයෝ ෂැම්පේන් පානය කරමින් තෙමේම සමරා ගත්හ. මෙම අවස්ථාව වෙනුවෙන් සකස් කල ලියවිල්ල මෙසේ සඳහන් කලේය. "සියවස් ගනනාවක් තිස්සේ යුරෝපය, බලාපොරොත්තුවේ සාමයේ හා අවබෝධයේ අදහසක් දරා සිටියේය. එම බලාපොරොත්තුව ඉෂ්ට වී තිබේ. යුරෝපීය යලි එකමුතුව, සාමය හා සෞභාග්‍යය යථාර්තයක් බවට පත්කිරීමට සමත්වී තිබේ.”

යුරෝපීය සංගමය බර්ලින් ප්‍රකාශය මෙසේ ද සඳහන් කරයි. "සාමය හා නිදහස, ප්‍රජාතන්ත්‍රය හා නීතියේ පාලනය, අන්‍යොන්ය ගරුත්වය හා වගකීම් බෙදාගැනීම, සෞභාග්‍යය හා ආරක්ෂාව, ඉවසීම හා සහභාගීත්වය, යුක්තිය හා සහයෝගිතාවය වෙනුවෙන් අපි වෙහෙස වෙමු”

"සාමය, සෞභාග්‍යය හා සහයෝගිතාවය” සහතික කිරීම කෙසේ වෙතත් යුරෝපීය සංගමය, යුරෝපයේ වැඩකරන ජනතාවට වඩ වඩාත් විනාශකාරී ප්‍රතිවිපාක අත්කර දෙන ප්‍රතිගාමී උගුලක් ලෙස හෙලිදරව්වී තිබේ. මෙම තක්සේරුව මහාද්වීපය පුරා මෑතකදී ඇතිවූ සිදුවීම් මාලාවකින් සලකුනු කෙරී ඇත.

03දා 77 හැවිරිදි විශ්‍රාමිකයෙක් මහ දවල් ග්‍රීසියේ ජාතික පාර්ලිමේන්තුව අබියස දී සියදිවි නසා ගත්තේය. තමාට වෙඩිතබා ගැනීමට පෙර ඩිමිත්‍රි ක්‍රිස්ටව්ලාස්, දෙවන ලෝක සංග්‍රාමය අවධියේ ෆැසිස්ට් ජර්මන් ආක්‍රමනික හමුදාවන් සමග එක්ව කටයුතු කල ග්‍රීක තන්ත්‍රය, ඇතන්ස්හි වත්මන් ආන්ඩුව සමග සසඳන සියදිවි නසාගැනීමේ ලිපියක් ලියා තිබුනි.

ක්‍රිස්ටව්ලාස් මුහුනපෑවේ ලක්ෂ ගනන් ග්‍රීක පුරවැසියන් මුහුන දෙන ඉරනමට ය. සිය මුලු ජීවිත කාලය පුරා ‍ෙඖෂධ වේදියෙකු ලෙස කටයුතු කර තිබුනු ඔහුගේ විශ්‍රාමික දීමනාව ග්‍රීක ආන්ඩුවේ අයවැය ප්‍රතිසංස්කරන මගින් උදුරාගෙන තිබුනි. සිය ලිපියේ ඔහු මෙසේ ලියා තිබුනි. "මට සාධාරනය සොයාගත නොහැකිවන තාක් දුරට මගේ ජීවිතය අවසන් කර ගැනීම හැරෙන්නට කල හැකි වෙනත් දෙයක් නැත. ආහාර සඳහා කුනු ගොඩවල් ඇවිස්සීමෙන් මගේ දරුවන්ට බරක් වීමට පෙර මා එසේ කල යුතු විය.”

ඔහු තම ලිපිය අවසන් කර තිබුනේ, ඉතාලියේ ෆැසිස්ට් නායකයාට මෙන්ම වත්මන් ග්‍රීක දේශපාලන පැලැන්තියට ද එවැනිම ඉරනමක් අත්වනු ඇතැයි අනාවැකියක් පල කරමිනි. "අනාගතය පිලිබඳ බලාපොරොත්තුවක් නොමැති තරුනයින් කිසියම් දිනෙක ආයුධ අතට ගෙන, 1945දී ඉතාලි වැසියන් මුසෝලිනීට කලාක් මෙන් ද්‍රෝහීන් අල්ලා සින්ටැග්මා චතුරස්‍රයේ දෙපයින් එල්ලනු ඇත.”

එදින ම කාලයක් තිස්සේ රැකියාවක් නැතිව සිටි 38 හැවිරිදි ඇල්බේනියානුවෙක්, ක්‍රීට් දූපතේ දෙමහල් ගොඩනැඟිල්ලක බැල්කනියෙන් බිමට පැන දිවි නසාගත්තේය. ප්‍රදේශීය මාධ්‍ය ජාලයන් සඳහන් කලේ, ඔහුගේ සියදිවි නසාගැනීමට හේතුව මූල්‍ය දුෂ්කරතා බවයි.

යුරෝපීය සංගමය, යුරෝපීය මහ බැංකුව හා ජාත්‍යන්තර අරමුදල විසින් නිර්දේශිත දරුනු කප්පාදු පියවරයන්ගේ ප්‍රති විපාක වශයෙන් ග්‍රීසියේ විශ්‍රාමික දීමනා සාමාන්‍ය වශයෙන් සියයට 40න් කපාහැර තිබේ. රටේ විරැකියා අනුපාතය වන සියයට 21 යුරෝපයේ ඉහලම මට්ටමයි. වසර කිහිපයකට පෙර ග්‍රීසිය යුරෝපයේ පහලම සියදිවි නසාගැනීම් වාර්තා වූ රටයි. පොලිස් වාර්තා අනුව මෙම අනුපාතය පසුගිය දෙවසරක කාලය තුල දෙගුනයක් වී තිබේ.

ජීවන තත්වයන් විනාශවීම හා අනාගත බලාපොරොත්තු සුන්වීම ග්‍රීසියට පමනක් සීමා වූවක් නොවේ.

මේ සතියේ 03දා 78 හැවිරිදි කාන්තාවක් සිසිලියේ සිය මහල් නිවාසයෙන් බිමට පැන දිවි නසා ගත්තාය. ඇය මෑතක දී දැනුම්දී තිබුනේ තම මාසික විශ්‍රාම වැටුප යුරෝ 800 සිට 600 දක්වා අඩුකර ඇති බවයි. ලැයිස්තුව දිගට ඇදෙයි...

02දා පින්තූර රාමුකරන්නෙක් රෝමයේදී ගෙල වැල ලා ගෙන මිය ගියේය. ඔහුගේ සියදිවි නසාගැනීම් ලිපියේ ඉහවහා ගිය ආර්ථික දුෂ්කරතා ගැන සඳහන්ව තිබුනි. ඔහුගේ මරනයට පෙරාතුව උතුරු ඉතාලියේ දිවි නසාගැනීමේ උත්සාහයන් දෙකක් වාර්තා විය. මෙම වෙන් වෙන් සිදුවීම් දෙකේදී ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනම සිරුරට ගිනිතබාගෙන දිවි නසාගැනීමට උත්සාහ කලහ. දරුනු පිලිස්සුම් තුවාල ලත් දෙදෙනාම ලියා තිබූ සටහන් දෙකක කියා තිබුනේ ආන්තික මූල්‍ය දුෂ්කරතා සිය ක්‍රියාවන්ට හේතුවූ බවය.

යුරෝපීය සමාජ අර්බුදය වැඩිහිටි කම්කරුවන්ට හා විශ්‍රාමිකයින්ට පමනක් බලපා ඇති දෙයක් ද නොවේ. සමස්ත පවුල්වල ද තරුනයින්ගේ ද අනාගත බලාපොරොත්තු එන්ට එන්ටම මූල්‍ය ප්‍රභූ පැලැන්තියේ තුනී වරප්‍රසාදිත කොටසක් විසින් නියම කරනු ලබන "මූල්‍ය ස්ථාවරත්වය” හා "ශුභසාධන ප්‍රතිසංස්කරන” වෙනුවෙන් පුදකරනු ලබයි. ලෙ මොන්ඩෙ පුවත්පතේ මෑත වාර්තාවකට අනුව, දස දහස් ගනන් ඉතාලි දරුවන් තම පවුල්වලට සහාය වනු පිනිස වැඩක් සොයාගැනීමට කලින්ම පාසැල් හැරයති. පැයකට යුරෝවක් හෝ ඊටත් අඩු ගානක වැටුපකට පැය දොලහක් වැඩ කරන දස වසරක් වයසැති ලමුන් ගැන එහි සඳහන් විය.

දුප්පත්කම හා ආන්තික සමාජ ධ්‍රැවාන්තගතවීම, සමස්ත මහාද්වීපයම වෙලාගෙන ඇත. දැනට බෙහෙවින්ම යල්පැන ඇති 2009 සඳහා නිකුත්කර ඇති නවතම යුරෝපීය සංගමයේ සංඛ්‍යා ලේඛනවලට අනුව, ස්පාඤ්ඤය හා ග්‍රීසිය යන බටහිර යුරෝපීය රටවල ජනගහනයෙන් සියයට 20කටත් වඩා ජීවත් වන්නේ දුප්පතුන් ලෙසය. ලැට්වියාව, ලිතුවේනියාව, රුමේනියාව හා බල්ගේරියාව වැනි නැගෙනහිර යුරෝපීය රටවල් ගනනාවක මෙම අනුපාත ඊටත් වඩා වැඩිය.

මෙම සියලු රටවල් යුරෝපීය සංගමය හා ජාමූඅ විසින් අනවන දැවැන්ත කප්පාදු පියවරයන්ගේ ගොදුරු බවට පත්ව තිබේ. සමාජ අර්බුදයේ සෘජු ප්‍රතිපලය වශයෙන් පසුගිය වසර දහය තුල රුමේනියාවේ ජනගහනය සියයට 12න් පහත වැටී ඇත. ඒ පහත වැටෙන ජීවන අපේක්ෂා, පිරිහෙන උපත් අනුපාත හා විදේශයන්හිදී අනාගතයක් සොයන තරුනයන්ගේ විගමනය යන හේතුවල සම්මිශ්‍රනය නිසාවෙනි. එවැනිම ජනගහන මට්ටම්වල පහත වැටීමක් බල්ගේරියාව හා ලැට්වියාවෙන් ද වාර්තා වෙයි. යුරෝපයේ හදවතෙහිම පවත්නා ජර්මනිය හා ප්‍රන්සය සම්බන්ධයෙන් ද දුප්පත්කම හා සමාජ ධ්‍රැවාන්තගතවීම නාටකාකාර ලෙස වැඩී යාමක් පෙන්නුම් කරයි.

මහාද්වීපය පුරාවට ජීවන තත්වයන්ගේ කාබාසීනියාව හා අනාගත බලාපොරොත්තු සුන්වීම සාමයේ අවධියක දී පෙර නොදැකිය හැකිවූ දෙයකි. එය ධනවාදී යුරෝපය හා විශේෂයෙන්ම වෘත්තීය සමිති හා පැරනි වාම පක්ෂයන්හි එහි ක්ෂමාලාපකයින් සම්බන්ධයෙන් විනාශකාරී චෝදනාවක් වන්නේය.

මේ සතිය තුල ඩිමිත්‍රි ක්‍රිස්ටව්ලාස්ගේ දිවි නසාගැනීමට තුඩු දුන් අපේක්ෂා භංගය හුදෙක් ඔහුගේ ආර්ථික ගැටලු මගින් පමනක් විස්තර කල නොහේ. වැඩකරන ජනතාවට හා ඔවුන්ගේ පවුල්වලට එවන් බැරෑරුම් ගැටලු පවා ජයගැනීමේ හැකියාව ඇත. ඒ, ඔවුන් වෙනුවෙන් සටන් කිරීමට සූදානම් පක්ෂයක් හෝ සංවිධානයක් තමන් පිටුපස සිටින්නේයයි ඔවුන්ට දැනෙන්නේ නම් පමනි. එහෙත් වත්මන් තත්වය තුල අඩුවකට ඇත්තේ ද එය ම ය.

තවමත් තමන් කම්කරු පන්තියට බැඳී ඇතැයි නාමිකව හෝ සලකන එම සියලු සංවිධාන කාලයකට පෙරදීම විරුද්ධ කඳවුරට මාරුවී ඇත. යුරෝපීය වෘත්තීය සමිති හා ඔවුන්ගේ ව්‍යාජ වාම නියෝජිතයින් වන ග්‍රීසියේ සිරිසා, ජර්මනියේ වාම පක්ෂය හා ප්‍රන්සයේ එන්පීඒ වැනි සංවිධානයන්ට වඩා අද දිනයේ යුරෝපීය සංගමයේ හා එහි ප්‍රතිපත්තීන්ගේ තිරසාර සහචරයින් ඇත්තේ නැත. ප්‍රතිසංස්කරන හා "සමාජයීය යුරෝපයක්” පිලිබඳ ඔවුන්ගේ සියලු වාචාලයන්, යුරෝපීය සංගමයේ නිලධරයට හා බුද්ධි මන්ඬල වලට ද බ්‍රසල්ස්හි බලපෑම් දමන්නන්ට ද බැඳී ඇති ඔවුන්ගේ පෙකනි වැල වසං කිරීමට දරන හුදු ව්‍යායාමයක් පමනි.

වර්තමානයේ මහාද්වීපය වෙලාගත් සමාජ ව්‍යසනයට ඇති එකම විකල්පය, යුරෝපය පුරාම කම්කරු පන්තිය, වෘත්තීය සමිති නිලධරයට හා එහි සහචරයන්ට එරෙහිව බලමුලු ගන්වමින් කම්කරුවන්ගේ ආන්ඩු ගොඩනැඟීමයි. එවන් ආන්ඩු, බැංකු විසින් අනවනු ලබන කප්පාදු හා නය ආපසු ගෙවීමේ වැඩ සටහන් අහෝසි කරමින් ද යුරෝපීය සංගමයේ හා එහි සියලු ආයතන වෙතින් ඉවත් වෙමින් ද පුලුල් ජනතා අවශ්‍යතා සපුරාලීම මත පාදක වන අව්‍යාජ ප්‍රජාතන්ත්‍ර විකල්ප ක්‍රියාවලියක් පනගන්වන යුරෝපීය එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් ගොඩනැංවීමට සටන් වදිනු ඇත.

ස්ටෙෆන් ස්ටේන්බර්ග්

Share this article: