බීපී ඩීප්වෝටර් හොරයිසන් ව්‍යසනයෙන් දෙවසරකට පසුව

Two years since the BP Deepwater Horizon disaster

21 April 2012

මින් වසර දෙකකට පෙර ඊයේ මෙන් දිනයක, මෙක්සිකෝ ගල්ෆ්හි පිහිටි, බීපී සමාගම පවත්වා ගෙන ගිය, ඩීප්වෝටර් හොරයිසන් තෙල් ලිඳේ හටගත් පිපිරීමක්, කම්කරුවන් 11කගේ ජීවිත බිලිගෙන එක්සත් ජනපද ඉතිහාසය තුල පැවති දරුනුතම පාරිසරික ව්‍යසනය ඇති කල තෙල් පිටාරගැලීමක් මුදාහැරියේ ය.

තුන් මසකට ආසන්න කලකට පසුව එය අවසානයේ වසා දමන විට, පිපිරුනු ලිඳ තෙල් බැරල් මිලියන 4.9ක් මුදා හැර තිබුනේ එය එතෙක් සිදුව ඇති විශාලතම හදිසි අනතුරු තෙල් පිටාරගැලීම බවට පත් කරමිනි. එය ටෙක්සාස් සිට ෆ්ලොරිඩා දක්වා, ප‍්‍රාදේශීය ආර්ථිකයට ඩොලර් බිලියන සිය ගනනක අලාභයක් සිදු කලේය. මානව සෞඛ්‍යය හා සමුද්‍ර පාරිසරික පද්ධතිය මත ඇති කල බලපෑම දශක ගනනාවක් තිස්සේ පවතිනු ඇති අතර එහි ප‍්‍රතිවිපාක තවමත් මුලුමනින්ම නොදනී.

කෙසේවෙතත්, මේ වන තෙක්, එකදු විධායකයෙක් වත් -- බීපී සමාගමෙන්, තෙල් ලිඳ අයත් ට‍්‍රාන්ස් ඕෂන් සමාගමෙන් හෝ ලිඳේ කොන්ත‍්‍රාත්කරු වන හැලිබර්ටන් ආයතනයෙන් -- මෙම අපරාධයට වගකිව යුත්තෙකු බවට පත් කර නැති අතර දැවැන්ත තෙල් සමාගම තවමත් එක්සත් ජනපද ආන්ඩුවට කිසිදු දඩයක් ගෙවා නැත.

මේ අතරතුර බීපී සමාගම අති විශාල පරිමානයෙන් ලාභ ලබමින් සිටී. සමාගම, ඊට පෙර වර්ෂයේ ලැබූ ඩොලර් බිලියන 4ක අලාභය මකා ගනිමින්, 2011 දී ඩොලර් බිලියන 26ක ලාභයක් වාර්තා කලේය. තෙල් මිල ගනන් ඉහල යන සහ නව තෙල් ලිං කැනීමේ ව්‍යාපෘති ඉක්මනින්ම ඇරඹීමට යන තතු යටතේ, එය එලඹෙන වසරවල දී ඊටත් වඩා ඉහල ලාභ බලාපොරොත්තු වේ.

පසුගිය නොවැම්බරයේ දී, වෙරලාරක්ෂක අංශය, තෙල් පිටාරගැලීමේ සිද්ධියෙන් පසුව බීපී සමාගමේ පලමු මුහුදු තෙල් ලිඳ කැනීම සඳහා අනුමැතිය දුන්නේය. නිව් ඔර්ලියන්ස් සිට සැතැපුම් 250ක් නිරිත දෙසින් පිහිටි එය ඩීප්වෝටර් හොරයිසන් ව්‍යසනය සිදු වූ මැකොන්ඩෝ ප්‍රොස්පෙක්ට් තෙල් ලිඳට වඩා අඩි 1,000ක් ගැඹුරු වනු ඇත. සමාගම ආක්ටික් සාගරය ඇතුලු ඊටත් වඩා ඈත හුදකලා ප‍්‍රදේශවල තෙල් ලිං හෑරීමේ ප‍්‍රයත්නයන් ඉහල දමා තිබේ.

තෙල් පිටාරගැලීමෙන් සිය ජීවිකාවන් හා සෞඛ්‍යය බලපෑමට ලක් වූ 100,000ක් පමන වන ධීවරයන්, හෝටල් හිමියන් සහ සෙසු අය සමග, බීපී සමාගම, පසුගිය බදාදා ඩොලර් බිලියන 7.8ක එකඟතාවකට එලඹුනි. අලාභහානි වෙනුවෙන් එය වෙන් කල ඩොලර් බිලියන 20ක මුලු මුදල ගෙවීමට බීපී සමාගම පොලඹවාගත හැකි වනු ඇති බවට පවතින සියලු සමපේක්ෂන මෙම ගිවිසුම මගින් අවසානයකට ගෙනැවිත් තිබේ.

පිරිසිදු ජල පනත යටතේ. සමාගම ආන්ඩුවට ඩොලර් බිලියන 17කට සමාන දඩ මුදල් ගෙවිය යුතුය. තමන්ට ගෙවීමට සිදු වනු ඇත්තේ මීට වඩා අඩු මුදලක් බවට විශ්වාසයෙන් යුක්තව, සමාගම මෙම අරමුන සඳහා වෙන් කර ඇත්තේ ඩොලර් බිලියන 3.5ක් පමනි.

මෙතරම් ඉක්මනින් ලාභ ලබන තත්වයට පෙරලා පැමිනීමටත් ව්‍යසනයට තුඩු දුන් අන්තරායකාරී මෙහෙයුම් යලි ඇරඹීමටත් බීපී සමාගමට හැකියාව ලැබුනේ, ඔබාමා පාලනාධිකාරයේ කි‍්‍රයාවන් නිසා ය. තෙල් පිටාරගැලීමට පෙර, එම සිද්ධිය තුල දී සහ ඉන් අනතුරුව, එක්සත් ජනපද ආන්ඩුව කි‍්‍රයා කලේ මෙම දැවැන්ත තෙල් සමාගමේ නීතිඥයකු ලෙස ය.

සෙසු අනේක ව්‍යාපෘති මෙන්ම, බීපී සමාගමේ ඩීප්වෝටර් හොරයිසන් තෙල් කැනීමේ සැලසුම ද මුලින් බුෂ් යටතේත් පසුව ඔබාමා යටතේත් පැවති ආන්ඩු මගින් ඉක්මනින් සැලකිල්ලට භාජනය කරන ලදි. පාරිසරික බලපෑම පිලිබඳ අධ්‍යයනයකින් තොරව ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට සමාගමට අවසර දෙන ලදි. ඔබාමාගේ අභ්‍යන්තර ලේකම් කෙන් සලසාර්, ව්‍යාපෘතිය පමා කල හැකිව තිබූ නඩු තීන්දුවකට විරුද්ධ වීම සඳහා මැදිහත් විය.

ඩීප්වෝටර් හොරයිසන් ව්‍යාපෘතිය කාල සටහනට වඩා පමා වී කි‍්‍රයාත්මක වන තතු යටතේ, බීපී විධායකයෝ වියදම් කප්පාදු කිරීමටත් ආරක්ෂාව කැපකිරීමටත් හේතු වන සුවිශේෂී තීන්දු දුසිම් ගනනාවක් ම ගත්හ. කිසිදු ප‍්‍රශ්නයක් විමසීමකින් තොරව සමාගමේ සැලසුම්වලට අනුමැතිය දෙමින්, ආන්ඩුවේ නියාමකයෝ මේ තතු ඉදිරියේ අන්ධයන් මෙන් කි‍්‍රයා කලහ.

ව්‍යසනය හටගත් පසු, ධවල මන්දිරය සියලු පිරිසිදු කිරීමේ හා ප‍්‍රතිසාධන කටයුතු බීපී සමාගම අත තබමින්, සාක්ෂ්‍ය අපවේශනය කිරීමේත් ඒවා විනාශ කිරීමේත් ඉඩකඩ එයට ලබා දුනි. ආන්ඩුවේ නියාමක ඒජන්සි සහ වෙරලාරක්ෂක අංශය සමාගමේ නියම උපාංග බවට පරිවර්තනය කෙරුනු අතර, තෙල් පිටාරගැලීමෙන් පසු මාස ගනනාව තුල, සමාගමට ගල්ෆ් වෙරල ප‍්‍රදේශය මත්තෙහි නියම ආඥාදායක බලයක් ලෙස කි‍්‍රයා කිරීමට ඉඩ දෙන ලදි.

ආරම්භයේ පටන් ම, ඔබාමා පාලනාධිකාරය, මෙම ව්‍යසනය මුහුදේ තෙල් කැනීම පුලුල් කිරීමේ සිය අධිෂ්ඨානය මත කිසිදු ආකාරයක් බලපෑමක් නොකරනු ඇති බව පැහැදිලි කලේය. ඒ වන විටත් එකෙලොස් දෙනෙකුගේ ජීවිත බිලිගෙන තිබූ ව්‍යසනයෙන් දින තුනකට පසුව, ධවල මන්දිරයේ ප‍්‍රවෘත්ති ලේකම් රොබට් ගිබ්ස් මාධ්‍යවලට මෙසේ පැවසීය: "නිෂ්පාදනය ඉහල දැමීම අපට අවශ්‍යය.... සිදුව ඇති ප‍්‍රථම අනතුර මෙය යන්න පිලිබඳ මට සැක සංකා පවතී. එය අවසානය වනු ඇති බවට ද මට සැකසංකා පවතී.”

පිපිරීමෙන් පසුව සති ගනනාවක් තිස්සේ, ආන්ඩුව හා මාධ්‍ය, පිටාරගැලීමේ පරිමාව හා එහි ප‍්‍රතිවිපාක බොහෝ සෙයින් අවතක්සේරු කරමින්, ඒ පිලිබඳව බීපී සමාගම ඉදිරිපත් කල සාවද්‍ය හා එහිම වාසියට හේතු වූ තක්සේරු අවිවේචනීයව පිලිගෙන ඒවා ප‍්‍රචාරය කලහ. ව්‍යසනය පාලනය කිරීමට අවශ්‍ය කෙරුනු හදිසි පියවර ගැනීමෙන් විද්‍යාඥයන්, ඉංජිනේරුවන් හා සෙසු අය වලකාලීමෙහි ලා සාවද්‍ය තොරතුරු වැදගත් කි‍්‍රයාකලාපයක් ඉටු කලේය.

ව්‍යසනයේ පරිමාව සැඟවිය නොහැකි තරම් දැවැන්ත බවට පත් වූ කල, පාලනාධිකාරය බීපී සමාගම සහ එහි විධායකයන් ආරක්ෂා කිරීමට හතරගාතෙන් බඩගෑවේය. ව්‍යසනයේ බලපෑමට හසු වූ අයට කල යුතු ගෙවීම් අධීක්ෂනය කරනු පිනිස, බීපී සමාගමේ අනුමැතිය සහිතව, හිමිකම් පිලිබඳ "ස්වාධීන” නිසි බලධාරි කෙනත් ෆීන්බර්ග් පත් කරන ලදි. හිමිකම් සීමා කිරීමට ඔහු කි‍්‍රයා කරන කල, ඔහු ප‍්‍රකාශ කලේ තමන්ගේ පෙනී සිටීම ආයෝජකයන් සඳහා "උදව්කාරක සංඥාවක්” බවයි.

බීපී ව්‍යසනයට ආන්ඩුවේ ප‍්‍රතිචාරය මූල්‍ය අර්බුදයට එය දැක්වූ ප‍්‍රතිචාරයට සමාන විය. ලාභ පිටුපස වගවිභාගයක් නැතිව හඹායාම මගින් දුවවනු ලබන සංගත, ආර්ථිකය හා පරිසරය මත එක සේ විනාශය පටවති. ඔවුහු ආන්ඩුවේ ආරක්ෂාව ලබමින්, මුක්තියකින් යුක්තව සිය සාපරාධී කි‍්‍රයාකාරකම්වල යෙදෙති. අවසානයේ, ඔවුහු පෙරටත් වඩා මුදල් උපයති.

බීපී ව්‍යසනය සහ එහි පසුකාලීන ප‍්‍රතිවිපාක, ජීවිතයේ සියලු අංග වරප‍්‍රසාදිත ප‍්‍රභූ පැලැන්තියක ධන සමුච්චයට යටත් කරන, ධනපති ක‍්‍රමයට එරෙහි දෝෂාභියෝගයකි. සංගත හා මූල්‍ය වංශාධිපති පැලැන්තියක් විසින් දේශපාලනිකව මෙන්ම ආර්ථිකව ද ආධිපත්‍යය දරනු ලබන පද්ධතියක් සමග ශිෂ්ඨ සම්පන්න ජීවිතයේ අතිමූලිකව අවශ්‍යතා නොපෑහෙයි.

සංගතවල හා බැංකුවල බලය බිඳ නොදැමුව හොත්, සමාජයට බලාපොරොත්තු විය හැක්කේ මීටත් වඩා දැවැන්ත ව්‍යසනයන් ය. සත්තකින්ම ගත හොත්, ඉතිහාසයේ දරුනුම තෙල් පිටාරගැලීමේ අනතුරට යන්තම් වසරක් ඇවෑමෙන් දෙවන විශාලතම න්‍යෂ්ටික ව්‍යසනය වූ ජපානයේ ෆුකුෂිමා විනාශය සිදු විය. එපමනක් නොව, ගිය වසරේ දී තවත් සැලකිය යුතු තෙල් පිටාරගැලීමේ අනතුරු තුනක් -- චීනයේ, බ‍්‍රසීලයේ වෙරලට ඔබ්බෙන් සහ උතුරු මුහුදේ -- දක්නට ලැබුනි.

බීපී ව්‍යසනය සමාජවාදය සඳහා තර්කයකි. ගෝලීය, සංකීර්න හා අන්තර්-සම්බන්ධිත නවීන ජන සමාජය, ලාභ හා පුද්ගලික ධන සමුච්චය සඳහා වූ අහේතුක, අරාජික හා සමාජීයව ව්‍යසනකාරී පරිශ‍්‍රමයට තව දුරටත් යටත් කල යුතු නැත. සංගත පුද්ගලික අයිතියෙන් ඉවතට ගෙන සමස්තයක් ලෙස සමාජයේ ප‍්‍රජාතන්ත‍්‍ර පාලනය යටතේ තැබිය යුතුය.

ඇන්ඩෲ ඩෙමොන්

Share this article: