එක්සත් ජාතීන්ගේ ඡන්ද විමසීමෙන් අනතුරුව ඉන්දියානු-විරෝධී ප්‍රචාරක මෙහෙයුම උත්සන්න කරයි

Anti-Indian propaganda intensifies in Sri Lanka after UN vote

By Wasantha Rupasinghe, 20 April 2012

පසුගිය මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට (යූඑන්එච්ආර්සී) ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ එක්සත් ජනපදය පිටුබලය ලත් යෝජනාවට පක්ෂව ඉන්දියාව ඡන්දය පල කිරීමත් සමග ම කොලඹ දේශපාලන සංස්ථාපිතයේ කොටස් හා මාධ්‍යය ඉන්දියානු විරෝධී ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

යූඑන්එච්ආර්සී යෝජනාව ඉල්ලා සිටියේ, ශ්‍රී ලංකා ආන්ඩුව ම පත් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිෂන් සභාවේ (එල්එල්ආර්සී) විධි විධාන ක්‍රියාවට දමන්න යන අතිශය සීමිත ඉල්ලීම යි. එල්එල්ආර්සී වාර්තාවමත් සැලකූ කල එයින් බලාපොරොත්තු වූයේ, 2009 වසරේ අවසන් මාසවලදී බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) ‍එරෙහි සිවිල් යුද්ධයේදී සිවිල් වැසියන් දස දහස් ගනනක් මරා දමමින් මිලිටරිය විසින් සිදුකල සාපරාධයන්ට සුදු හුනු ගෑම යි.

තමන් විසින් වගකිව යුතුව තිබෙන යුද අපරාධ හා මානව හිමිකම් කඩකිරීම් පිලිබඳව කෙරෙන මොනයම්ම හෝ පරීක්ෂනයට කොලඹ ආන්ඩුව සතුරු ය. එය, යූඑන්එච්ආර්සී යෝජනාව රටට එරෙහි විදෙස් කුමන්ත්‍රනයක කොටසක් ලෙස සලකා ප්‍රතික්ෂේප කර තිබේ. දැන් මෙම විදෙස් විරෝධයට ඉන්දියානු-විරෝධී අඩයකුත් එක් කර ඇත්තේ තමන්ගේ ඡන්දයේ වැදගත්කම අඩුකර පෙන්වීමට නව දිල්ලිය දරන්නා වූ වෑයම තිබියදීත් ය.

යෝජනාව සඳහා ඉන්දියාවේ සහය වෙනසක් සලකුනු කරයි. 2009 වසරේදී, ශ්‍රී ලංකාවේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ සීමිත ජාත්‍යන්තර පරීක්ෂනයක් ඉල්ලා සිටි යෝජනාවකට එය විරුද්ධ විය. පසුගිය මාසයේ ඉදිරිපත් වූ යෝජනාවට ඉන්දියාවේ සහය පලකිරීම කිසිසේත්ම ශ්‍රී ලංකාවේ දෙමල සුලුතරයේ අයිතිවාසිකම් කෙරෙහි උපන් කැක්කුමක් නිසා සිදු කල එකක් නොව, ඒ වෙනුවට එයින් බලාපොරොත්තු වූයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ කෙරෙහි දකුනු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය තුල පැන නැඟි මහජන වෛරය සමනය කිරීමට ය.

එයට අතිරේක වසයෙන්, එක්සත් ජනපදය මෙන්ම, ඉන්දියානු ආන්ඩුවද යෝජනාව සලකන්නේ චීනයෙන් එය ඈත් කරගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට පීඩනය යෙදීමේ උපායක් වසයෙනි. චීනය කලාපීය ප්‍රතිමල්ලවයෙක් වසයෙන් ඉන්දියානු පාලක ප්‍රභූව විසින් සලකන අතර ඔවුහු දකුනු ආසියාව තුල මෙන්ම වොෂිංටනය සමඟ බැඳීම් ශක්තිමත් කර ගනිමින් සිටිති. මේ අතර එක්සත් ජනපදය බෙයිජිනයේ බලපෑමට එරෙහිව සටන් කිරීමට ඉන්දු-පැසිෆික් කලාපය පුරා ආක්‍රමනකාරී කඩා පැනීමක් සූදානම් කරමින් සිටී.

ශ්‍රී ලංකාවට හිතකර අයුරින් යෝජනාවේ වචන සැරබාල කිරීමට නව දිල්ලිය මැදිහත් වූවේ යැයි තර්ක කරමින් රාජපක්ෂකට ලිපියක් ලියූ ඉන්දියානු අගමැති මන් මෝහන් සිං ඔහුව සංසිඳුවීමට වෑයම් කලේය. සිංගේ අභිනය තිබිය දී ම, ඉන්දියාව කෙරේ ආන්ඩුවේ පිලිවෙත දැඩි කරන ලෙස අන්තවාදී සිංහල වර්ගවාදී ප්‍රවනාවන්ගෙන් එන පීඩනයන්ගේ බලපෑමට ආන්ඩුව යටත් වීමත් සමග දෙරට අතර ඉරිතැලීම උග්‍ර අතට හැරී තිබේ.

ඉන්දියාව යෝජනාවට පක්ෂව ඡන්දය පල කිරීම "කම්පනය දනවන්නක්" වු අතර "බරපතල හානියක් සිදු කරනු ලැබී" යැයි විදෙස් සබඳතා පිලිබඳ අමාත්‍ය ජී.එල්. පීරිස් ඩේලි මිරර් පුවත්පතට කීවේ ය. යෝජනාවට පක්ෂ වූ හෝ එයට ඡන්දය නොදී වැලකී සිටි රටවල් එසේ කරනු ලැබුවේ ඉන්දියාවේ ස්ථාවරය නිසායැයි ඔහු සඳහන් කලේය. එහෙත්, ආන්ඩුව ඉන්දියාව සමග අඛන්ඩව ම සහයෝගයෙන් කටයුතු කරනු ඇතයි ඔහු ප්‍රකාශ කලේය.

රාජපක්ෂමත් එක එල්ලේම ඉන්දියාවට චෝදනා එල්ල කලේ නැත. එනමුත්, ඔහු පුනරුච්ඡාරනය කලේ, කිසිම රටක ආඥාවන්ට ශ්‍රී ලංකාව නොනැමෙන බවයි. යෝජනාව සඳහා ඡන්දය දුන් අය ''ත්‍රස්තවාදයේ ප්‍රතිවිපාකයන්ට" මුහුන දෙනු ඇතැයි ඔහු අනතුරු ඇඟවීය.

අප්‍රේල් 3 හා 4 යන දිනවල ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව යූඑන්එච්ආර්සී යෝජනාව ගැන විවාද කලේය. ඉන්දියාවට එකටෙක කිරීම පිලිබඳ ඛනිජ තෙල් අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත අනතුරු ඇඟවීමක් කලේය. ත්‍රිකුනාමලයේ තෙල් ලිං සංකීර්නය ඉන්දියානු-පාලිත ලංකා-ඉන්දියන් තෙල් සමාගමට බදු දීම පිලිබඳ විවේචනය කල හෙතෙම එම බදු ගිවිසුම අත්සන් කිරීම පිලිබඳව එවකට එක්සත් ජාතික පක්ෂ-නායකත්වය දුන් ආන්ඩුවට දෙස් තැබුවේ ය.

පාලක සන්ධානයේ කොටස්කරුවෙක් වන සිංහල අන්තවාදී ‍ජාතික හෙල උරුමය ‍(ජේඑච්යූ) අතිශය කර්කශ අයුරින් විවේචනශීලි විය. "ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ඉන්දියාව ඉන්දු-ලංකා සබඳතාවන්ට මරනීය ප්‍රහාරයක් එල්ල කර තිබේ," ජේඑච්යූ නායක චම්පික රනවක අප්‍රේල් 8 වෙනි දින ද නේෂන් පුවත්පතට කීවේය.

බලශක්ති පිලිබඳ ඇමැතිවරයා වන රනවක එදිනම කලම්බුපේජ් වෙබ් අඩවියට කීවේ, ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 20ක් පමන දුරින් පිහිටි තමින්නාඩු වෙරල තීරයේ කූඩම්කුලම් ප්‍රදේශයේ රුසියානු සමාගමක් විසින් ඉදිකරමින් පවතින න්‍යෂ්ටික බලශක්ති බලාගාරයට එලැඹෙන්නාවූ ජාත්‍යන්තර පරමානුක බලශක්ති අධිකාරියේ සම්මේලනයේ දී ශ්‍රී ලංකාව විරුද්ධත්වය පල කරනු ඇති බවයි.

බලාගාරය අනතුරක් වෙනු ඇතයි යන කියමන ඉන්දියාව කෝපයෙන් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ශ්‍රී ලංකා ආන්ඩුව පසු බෑ අතර රනවකගේ ප්‍රකාශ වැරැදි ලෙස අර්ථකථනය කර ඇතැයි සඳහන් කරමින් අප්‍රේල් 12 වෙනි දින ප්‍රකාශයක් නිකුත් කලේය.

ඉන්දියන් විරෝධී පිලිවෙත විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන (ජේවීපී) විසින් ප්‍රතිරාව නංවා තිබේ. " 'ජාතික ප්‍රශ්නය' විසඳීමට ලංකාව දැරී කිසිදු පරිශ්‍රමයකදී ඉන්දියාව කිසිවිටෙක සහය දී නැති" බව ජේවීපී නායක සෝමවංශ අමරසිංහ ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශ ක‍ලේය.

ශ්‍රී ලංකාවේ පිලිවෙලින් බලයට පැමිනි සෑම ආන්ඩුවකට ම "ජාතික ප්‍රශ්නය"ට ලබා දීමට හැකිව තිබූ එකම ''විසඳුම" නම් දෙමල-විරෝධී වෙනස්කම් කිරීමත් දිග් ගැස්සවූ වර්ගවාදී යුද්ධයත් ය. ඉන්දියානු ආන්ඩුව, යුද්ධයට විරුද්ධ වීමෙන් බෙහෙවින් දුරස්තව එල්ටීටීඊ සංවිධානයට එරෙහිව කොලඹ ආන්ඩුවට සහය දී තිබේ. රාජපක්ෂ 2006 වසරේදී යුද්ධය යලි ආරම්භ කල විට, ඉන්දියානු ආන්ඩුව එයට දේශපාලනික සහය පිදුවා පමනක් නොව මිලිටරි සහයද සම්පාදනය කලේය.

එලෙස ම, යුද්ධයට "දේශපාලන විසඳුමක්" යෝජනා කරමින් තමිල්නාඩුවේ කෝපය මැඩපැවැත්වීමට ද නව දිල්ලිය වෙර දරා තිබේ. බලය බෙදීමේ පැකේජයක් සඳහා වන ඉන්දියානු යෝජනාව වනාහි වැඩකරන ජනයාගේ වියදමින් දිවයිනේ සිංහල හා දෙමල ප්‍රභූව අතර බලය-හුවමාරු කිරීමේ වැඩසටහනකට වැඩි දෙයක් නොවේ. කෙසේ නමුත්, සිංහල වර්ගවාදී ජේවීපිය දෙමල ජනයාට මොනයම්ම හෝ සහනයක් දීමට විරුද්ධව සිටී.

ශ්‍රී ලංකා මාධ්‍යය ද ඉන්දියානු-විරෝධී පසමිතුරුතාවට තඩි බෑම ආරම්භ කර තිබේ. මාර්තු 23 වෙනි දින ද අයිලන්ඩ් පුවත්පත ඉන්දියාවට බැන අඬ ගැසුවේ, එය "ශ්‍රී ලංකාවේ වියදමින්" ඉන්දියාවේ අභ්‍යන්තර දේශපාලනික ප්‍රශ්නවලින් ''ගැලවීයාමට" වෑයම් කරන්නේ ය යනුවෙන් කියමිනි. ඉන්දියානු දේශපාලඥයින් එල්ටීටීඊ සංවිධානයට "තමිල්නාඩුවල එහි මෙහෙයුම් උත්සන්න කිරීමට" අවසර ලබා දෙමින් සිටීම පිලිබඳව කතුවැකිය චෝදනා ක‍ලේය.

අප්‍රේල් 2 වෙනි දින, ද අයිලන්ඩ් පුවත්පත එහි ප්‍රධාන ලිපියේ සිරස්තලය තඩි අකුරෙන් පල කලේ, "කඩාකප්පල්කාරී ක්‍රියාවන්හි නිරතවීමට කොටි එල්ටීටීඊ ඉන්දියාවේ සිට පැමිනෙති," යනුවෙනි. 150ක පමන එල්ටීටීඊ සාමාජිකයන් පිරිසක් ලංකාවට පැමින තිබෙන බවත් "ඔවුන්ගේ ඉලක්කය [ශ්‍රී ලංකාවේ උතුරේ හා නැගෙනහිර] ප්‍රදේශයන්හි අවුල්කාරීබවක් නිර්මානය කරමින් දැන් සිදු කෙරීගෙන ප්‍රතිසංවිධාන ක්‍රියාදාමය කඩාකප්පල් කිරීමට හා එයට බාධා කිරීම"බවත් කියා පෑ පොලිස් කියාපෑම් ලිපිය උපුටා දැක්වීය.

මෙම කියාපෑම් "මුලුමනින්ම පදනම් විරහිත" යැයි ඉන්දියානු අභ්‍යන්තර කටයුතු ඇමැති පී. චිදම්බරම් ප්‍රතික්ෂේප කලේය. "තමිල්නාඩුව ද ඇතුලත්ව ඉන්දියාවේ කිසිම ස්ථානයක එල්ටීටීඊ කඳවුරු නැත"යි අප්‍රේල් 03 වෙනිදා ඔහු සඳහන් කලේය.

අප්‍රේල් 06 වෙනි දින "නාඳුනන පුද්ගලයින්" විසින් නැගෙනහිර පලාතේ මඩකලපුව නගරයේ ඉදිකර තිබූ මහත්මා ගාන්ධිගේ පිලිරුවක් ඇතුලුව තවත් පිලිම කීපයක් කුඩු පට්ටම් කර තිබින. ඉන්දියාව වහාම සිය සැලකිල්ල ඒ වෙත යොමු කලේය. ප්‍රහාරය පිලිබඳ ශ්‍රී ලංකා පොලිසිය පරීක්ෂන සිදු කරමින් තිබේය යනුවෙන් කියන අතර මෙය සිදුව පවතින්නේ සැමවිටම මුර පරීක්ෂාවන් සිදුකරන අධි ආරක්ෂක කලාපයක් තුල ය.

ඉන්දියානු-විරෝධී හා දෙමල-විරෝධී වර්ගවාදය ඇවිස්සීම මගින්, ආන්ඩුව උත්සහා දරමින් සිටින්නේ එය විසින් ක්‍රියාවට දමා ඇති කප්පාදු වැඩ පිලිවෙලේ බලපෑමට එරෙහිව වැඩෙමින් පවත්නා වෛරය හා නොසන්සුන්තාව භේද කිරීමට ය. ඉහල යන තෙල් මිල ගනන්වලට එරෙහිව ධීවරයින් හා ගොවියන් විසින් පලකල විරෝධතා දැක්වීම්වලට ඇමැතිවරුන් විසින් ප්‍රතිචාර දක්වා ඇත්තේ ඒවා රටට එරෙහි ''ජාත්‍යන්තර කුමන්ත්‍රනයක" කොටසක් ලෙස ලේබල් ගසමින් ය.

Share this article: