සසප රබර්වතු කම්කරුවන් අතර උද්ඝෝෂනයේ යෙදෙයි

Sri Lankan SEP campaigns among rubber plantation workers

By our reporters, 4 August 2012

සැප්තැම්බර් 8 දා පැවැත්වීමට නියමිත පලාත් සභා මැතිවරනයේ දී කෑගල්ල දිස්ත‍්‍රික්කය සඳහා උද්ඝෝෂනයේ යෙදෙන සමාජවාදී සමානතා පක්ෂ (සසප) කන්ඩායමක් මේ සතියේ අඹදෙනිය රබර් වත්තේ උද්ඝෝෂනයක යෙදුනේ ය. සසප දේශපාලන මන්ඩල සභික ආනන්ද දවුලගල නායකත්වය දෙන අපේක්ෂකයන් 21ක ලැයිස්තුවක් සබරගමුව පලාතේ මෙම දිස්ත‍්‍රික්කයට තරග වදී.

කෑගල්ල රටෙහි වැවිලි කර්මාන්ත දිස්ත‍්‍රික්කවලින් ප‍්‍රධාන එකකි. 650,000ක් වන දිස්ත‍්‍රික්කයේ ජනගහනයෙන් -මෙයින් සියයට 20ක් පමන දරිද්‍රතා රේඛාවෙන් පහල ජීවත් වේ- වතු කම්කරුවන් 30,000ක් ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටිති.

කෑගල්ල නගරයේ සිට කිලෝමීටර 6ක් පමන දුරින් පිහිටි හෙක්ටාර 58ක් පමන විශාල අඹදෙනිය වත්තේ පවුල් 350ක් පමන ජීවත් වෙති. දෛනිකව රුපියල් 415ක පමන වැටුපක් ලබන වතු කම්කරුවෝ දිවයිනේ අඩුවෙන් ම වැටුප් ලබන කම්කරු කොට්ඨාශ අතරට අයත් වෙති.

රබර් වතු කම්කරුවෙකු සමග සසප සාමාජිකයෙකු පක්ෂයේ ප‍්‍රතිපත්ති සාකච්ඡා කරමින්

තේ හා පොල්වතු කම්කරුවන් මෙන්ම රබර් වතු කම්කරුවෝ ද ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුව අනවමින් සිටින කප්පාදු පියවර මගින් පහර කෑමට ලක්ව සිටිති. තෙල් හා ගැස් මිල ඉහල යාම සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහල නැංවීමට හේතු වී තිබේ. වැඩකරන ජනයා මත ඇතිවන බලපෑම අඩු තක්සේරු කරන උද්ධමන අනුපාතයේ නිල අගය පවා සියයට 9.8කට ලඟා වී තිබේ.

අඩු වැටුප් මට්ටම හේතුවෙන් අඹදෙනිය වත්තේ බොහෝ කාන්තා කම්කරුවෝ ගෘහ සේවිකාවන් ලෙස මැද පෙරදිග යාමට පුරුදුව සිටියහ. එහෙත් වඩ වඩා නරක අතට හැරෙන ලෝක ආර්ථික අවපාතය හේතුවෙන් එම රැකියා මූලාශ‍්‍රය ද හැකිලී ගොස් තිබේ. වත්තේ වැඩ සොයාගැනීමට නො හැකි වීම නිසා බොහෝ තරුන ජනයාට දෛනික රැකියා සොයා වෙනත් තැන්වලට යාමට බල කෙරී තිබේ. සමහර ගැහැනු ලමයි ඇඟලුම් කම්හල්වල රැකියාවලට යති.

උද්ඝෝෂන කන්ඩායම සමග කතාකල බොහෝ දෙනා තමන්ට රාජපක්ෂ ආන්ඩුව හෝ නිල විරුද්ධ පක්ෂ කෙරෙහි විශ්වාසයක් නැති බව කියා සිටියහ. හැල්මේ ඉහල යන ජීවන වියදම හා දරිද්‍ර ජීවන කොන්දේසි කෙරෙහි කෝපය පලකල ඔවුහු මෙම මැතිවරනයේ දී තමන් කිසිදු පක්ෂයකට ඡන්දය පාවිච්චි කිරීමට තීරනය කර නැතැයි කියා සිටියහ.

සසපයේ විප්ලවීය සමාජවාදී ක‍්‍රියාමාර්ගය හා අනෙකුත් පක්ෂවල වැඩපිලිවෙලවල් අතර වෙනස පැහැදිලි කිරීමට දීර්ඝ සාකච්ඡා අවශ්‍ය විය. සමස්ත දේශපාලන සංස්ථාපිතය කෙරෙහි පුලුල්ව පැතිරුනු කලකිරීමක් පවතී. සසප පෙනී සිටින්නේ ධනේශ්වර ක‍්‍රමය ප‍්‍රතිසංස්කරනය කිරීමට නොව ආර්ථිකය මහජන හිමිකාරීත්වය හා කම්කරු පන්තියේ ප‍්‍රජාතාන්ත‍්‍රික පරිපාලනය යටතේ ප‍්‍රතිව්‍යුහගත කිරීමේ පදනම මත ගොඩනගන සමාජවාදී සමාජ ක‍්‍රමයකින් එය විස්ථාපනය කිරීමට බව උද්ඝෝෂකයෝ පැහැදිලි කලවිට ඔවුන්ට අනුග‍්‍රහශීලී ප‍්‍රතිචාරයක් ලැබුනි.

කාන්තා කම්කරුවෙක් ඇය මුහුන දෙන තත්ත්වයන් විස්තර කලා ය: "කලින් මම මේ වත්තේ වැඩකලා. ඒ පඩියෙන් ජීවත් වෙන්න අමාරු හින්ද මම මැද පෙරදිග රස්සාවකට ගියා. එහේ මම ගෘහ සේවිකාවක් විදිහට අවුරුදු 14ක් වැඩකලා. අපේ ජීවිත හොඳ වෙයි කියල මම බලාපොරොත්තු වුනා. ඒත් ඒකෙනුත් මට පුලුවන් වුනේ ගේ අලුත්වැඩියා කරගන්නයි ගෙදරට ඕන බඩු ටිකක් ගන්නයි විතරයි. මම රට ඉන්දැද්දි මගේ මනුස්සය බීමට ඇබ්බැහි වෙලා මැරුන. දැන් මට මොකුත් ඉතුරුවක් වෙලා නැහැ.”

මැද පෙරදිග බලා යන කම්කරුවන්ව රැකියා නියෝජිත ආයතන හා හාම්පුතුන් විසින් සූරාකනු ලබන ආකාරය ඇය විස්තර කලා ය. ඒජන්සිය විසින් පොරොන්දු වූ වැටුප නො ලැබීම නිසා ඇයට කිහිප වතාවක් ම කරමින් සිටි රැකියාව අතහැර වෙනත් තැන්වල වැඩ සොයාගැනීමට බල කෙරුනි. "සවුදි අරාබියේ දී මට කිසිම විවේකයක්, හොඳ ආහාර හෝ උවමනා කරන බේත් ලැබුනේ නෑ”යි ඇය කීවා ය.

ඇයගේ බාල ම දියනිය සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිට පාසල් යාම අවසන් කලා පමනි. "හෙට එයාට ඇඟලුම් කම්හලක ඉන්ටර්වීව් එකක් තියෙනවා. මූලික පඩිය මාසෙට ම රුපියල් 11,000 යි. සේරම රුපියල් 15,000ක් විතර උපයා ගන්න පුලුවන් වෙයි. ඒ කම්හල්වල රස්සාව හරි අමාරුයි. අපේ ජීවිතවලට වඩා දරුවන්ගෙ ජීවිත වඩාත් නරක අතට හැරෙනවා. ජනාධිපතියි එයාගෙ ආන්ඩුවයි අපේ ජීවිත සමෘද්ධිමත් කලා කියල කියනවා. සමෘද්ධිය කොහොම වුනත් අපේ ජීවිත නම් විනාශ වේගෙන යනවා.”

අඹදෙනිය වත්තේ ලයින් කාමර

සංවාදය එකතු වූ ඇයගේ බෑනා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ දුෂ්කර කොන්දේසි ගැන විස්තර කලේ ය.

අරමුදල් කැපීම හේතුවෙන් ආසන්න රජයේ බෙහෙත් ශාලාවේ අවශ්‍ය තරම් බෙහෙත් හා පහසුකම් නො පවතී. ”දැන් මගේ පුතාට උන. බෙහෙත් ශාලාවේ සුදුසු බෙහෙතුයි දොස්තර මහත්තුරුයි නැති හින්ද පුද්ගලික තැනකින් බෙහෙත් අරන් දෙන්න මට රුපියල් 1,200ක් වියදම් වුනා.”

ජීවත්වීම වඩා අසීරු අතට හැරෙමින් තිබෙන බව ඔහු කීවේ ය. "කිරිපිටි පැකට් එකක් රුපියල් 300කට වඩා වැඩියි. හාල් කිලෝ එකක් රුපියල් 60 යි. මේ වගේ ජීවන වියදමක් එක්ක අපි කොහොමද ලමයින්ට කන්න දෙන්නෙ? ආන්ඩුව රට සංවර්ධනය වෙනව කියල කිවුවට අපිට ඒක දැනෙන්නෙ නෑ.”

බොහෝ කම්කරුවෝ වෘත්තීය සමිති කෙරෙහි විරුද්ධත්වය පල කලහ. "ජාත්‍යන්තර තරගකාරීත්වයේ” රැඳී සිටීම සඳහා කොඳු කැඩෙන වැඩ කන්දරාවන් පවත්වාගෙන යාම හා වැටුප් දරිද්‍රතා මට්ටමට කප්පාදු කිරීම ඉල්ලා සිටින ආන්ඩුව හා වතු සමාගම්වල කාර්මික පොලීසිය ලෙස වෘත්තීය සමිති ක‍්‍රියාත්මක වෙති.

ලංකා කම්කරු කොංග‍්‍රසය (සීඩබ්ලිව්සී), ලංකා ජාතික වතු කම්කරු සංගමය, කඳුරට ජනතා පෙරමුන හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු කොංග‍්‍රසය ඇතුලු සියලු වෘත්තීය සමිති කම්කරුවන්ගේ අරගලවලට විරුද්ධ වී ඒවා පාවාදී තිබේ.

තරුන වැඩ අධීක්ෂකයෙක් වෘත්තීය සමිති මෑත දී වතු කම්කරුවන්ගේ වර්ජනය පාවා දුන් ආකාරය විස්තර කලේ ය: "ගිය අවුරුද්දෙ රුපියල් 550ක දවස් පඩියක් ඉල්ලල වැඩ කරන අය ස්ට‍්‍රයික් කරපුවහම අපි ඒකට සහයෝගය දුන්න. ඒක හරි සාධාරන ඉල්ලීමක්. ඒත් විශේෂයෙන් සීඩබ්ලිව්සී එකයි අනික් සමිතියි සමාගම්වලට ජාත්‍යන්තර වෙලඳපොලේදි පාඩු වෙන හින්ද ඒගොල්ලො ඒක දරාගන්න බෑ කියල කම්කරුවන්ට කිවුව. ඒක පට්ටපල් බොරුවක්. ඒගොල්ලො බිලියන ගනන් ලාබ ගන්නව. මේ පාවාදීම්වලට හිලවුවට සමිති නායකයන්ට සමාගම්වලිනුයි ආන්ඩුවෙනුයි ප‍්‍රතිලාභ හම්බ වෙනව. දැන් කම්කරුවො හරි ම කේන්තියකින් ඉන්නෙ.”

පසුගිය දශක දෙක තුල වෘත්තීය සමිතිවලට කම්කරුවන් අතර පැවති පදනම ඛාදනය වී ඇතැ’යි තරුන වැඩ අධීක්ෂකවරයා කීවේ ය. කලින් සියලු ම කම්කරුවන් පාහේ, රාජපක්ෂ ආන්ඩුවේ හවුල් කරුවෙකු වන සීඩබ්ලිව්සීයේ සාමාජිකයෝ ය. "රාජපක්ෂ ආන්ඩුවේ හවුල් කරුවෙකු ලෙස සීඩබ්ලිව්සීය කම්කරුවන්ට විරුද්ධ ප‍්‍රහාරවලට වගකියන්න ඕන කියල කම්කරුවන් හිතනවා.” ඔහු කීවේය.

කොලඹ වරායේ වැඩ කරන 36 හැවිරිදි කම්කරුවෙක් වන නල්ලූ ආරුගර් 2009 දී අවසන් වූ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි ආන්ඩුවේ වාර්ගික යුද්ධය කාලයේ කම්කරුවන් මුහුන දුන් දුෂ්කරතා විස්තර කලේ ය: "පොලීසිය හරි මිලිටරිය හරි අත්අඩංගුවට ගනියි කියල බයේ අපි යුද්දෙ තියනකොට වත්තෙන් එලියට යන්න බය වුනා. කාටහරි හැඳුනුම්පත තිබුනෙ නැත්නම් දරුනු හිංසනයන්ට ගොදුරු වීමේ අවදානම තිබුනා” යයි ඔහු කීවේ ය. එම කොන්දේසි යටතේ කොලඹ වැඩ කිරීමට ඔහුට නො හැකි විය. "දැන් යුද්දෙ ඉවර හින්ද ඒ බය නැතුව ටවුමට යන්න පුලුවන්. ඒත් ඒ වෙනුවට අපිට වෙනත් යුද්දෙකට ඒ කියන්නෙ හැල්මේ ඉහල යන ජීවන වියදමට මුහුන දෙන්න වෙලා. ඒ හතුරා පරාද කිරීමේ විදිහක් මට පේන්නේ නෑ.”

ඉන් අනතුරුව පැවති සාකච්ඡාවේ දී, එක්සත් ජනපදය හා යුරෝපය ද ඇතුලුව ලෝකය පුරා කම්කරුවන් මුහුන දෙන ප‍්‍රහාරවල මූලය පවත්නේ ධනවාදයේ ගෝලීය බිඳ වැටීම මත බව සසප කන්ඩායම පැහැදිලි කලේ ය. මහජනතාවගේ දැවෙන අවශ්‍යතා සැපිරීමට සෑම රටක ම කම්කරුවන්ගේ බලය පිහිටුවීමේ අවශ්‍යතාව ගැන උද්ඝෝෂකයෝ තර්ක කලහ. වැඩිදුර කරුනු පැහැදිලි කරගැනීමට අගෝස්තු 5දා කෑගල්ලේ පැවැත්වෙන සසප ප‍්‍රසිද්ධ රැස්වීමට සහභාගි වන බව ආරුගර් කීවේ ය.

උද්ඝෝෂනය තුල දී සසප මැයි මාසයේ දී කැඳවුම් කල වතු කම්කරු සම්මේලනයේ අත්දැකීම් හා වැදගත් කම උද්ඝෝෂන කන්ඩායම පැහැදිලි කලේ ය. වතු කම්කරුවන් විසින් දියත් කරනු ලැබිය යුතු ප‍්‍රති-ප‍්‍රහාරයක අවශ්‍යතාව හා එම ප‍්‍රති-ප‍්‍රහාරයට මග පෙන්වන දේශපාලන ඉදිරි දර්ශනය සම්මේලනයේ දී සාකච්ඡා කරනු ලැබිනි. ප‍්‍රථම පියවර වන්නේ සමාජවාදී ක‍්‍රියාමාර්ගයක පදනම මත සමාගම්වලට හා ආන්ඩුවට එරෙහි ස්වාධීන ව්‍යාපාරයක් සඳහා පදනම දමන වෘත්තීය සමිතිවලට එරෙහි දේශපාලන කැරැල්ලක් හා ක‍්‍රියාකාරී කමිටු පිහිටුවීම යි.

Share this article: