ජපාන මැතිවරන ව්‍යාපාරය ජාතිකවාදය හා යුදවාදය තුල ගිල්වයි

Japanese election mired in nationalism and militarism

8 December 2012

දෙසැම්බර් 16 මැතිවරනය සඳහා ජපානය තුල ගෙනයනු ලබන උද්ඝෝෂනය, දේශපාලන සංස්ථාපිතය හරහා, විශේෂයෙන්ම චීනයට එරෙහිව එල්ල කෙරුනු, ජාතිකවාදය හා යුදවාදය දෙසට තියුනු හැරීමක් සලකුනු කර තිබේ. ජපාන දේශපාලනයේ දක්ෂිනාංශික හැරීම, ගෝලීය ධනවාදයේ දරුනු වන බිඳවැටීමේ ප‍්‍රතිවිපාකයක් ලෙස කම්කරු පන්තිය මුහුන දෙන අන්තරායන් පිලිබඳ අනතුරු ඇඟවීමකි.

කරුනු දෙකක් හැරීම සංඥා කරයි: සෙන්කකු/ඩිආ ඕයු දූපත් සම්බන්ධයෙන් චීනය සමග පවතින මතභේදය සහ ජපානයේ ඊනියා සාමවාදී වගන්තිය ඉවත් කරමින් හෝ සංශෝධනය කරමින් ව්‍යවස්ථාමය වෙනසක් සඳහා වන ඉල්ලීම්.

පාලක ජපාන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය (ඩීපීජේ) සැප්තැම්බරයේ දී එම දූපත් "ජනසතු කිරීම” මගින් චීනය සමග ආතතීන් හිතාමතාම අවුලුවාලීය. ප‍්‍රතිඵලය වී ඇත්තේ ජපාන හා චීන නාවික යාත‍්‍රා එකිනෙකාට තර්ජනාත්මකව භයංකර ලෙස ගැටුමක ඉස්මත්තෙහි සිටීමයි. විපාර්ශ්වික ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය (එල්ඩීපී) සහ දක්ෂිනාංශික ජපාන පුනස්ථාපන පක්ෂය (ජේආර්පී) යෝජනා කරන්නේ එම දූපත්වල නිත්‍ය ගොඩනැගිලි ඉදිකිරීම මගින් දැනට පවත්නා ආතති සහගත තත්වය තව දුරටත් උත්සන්න කිරීමටයි.

සිය දක්ෂිනාංශික ජාතිකවාදී අදහස් සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධ, එල්ඩීපී නායක ෂින්සො අබේ, "සාමූහික ස්වයං-ආරක්ෂක” කටයුතුවලට සහභාගි වීමට හැකිවන පරිදි "ස්වයං-ආරක්ෂක හමුදා” නිත්‍ය මිලිටරි හමුදාවක් බවට පරිවර්තනය කිරීමේ ව්‍යවස්ථාමය වෙනස සඳහා බල කිරීමේ විධික‍්‍රමයක් ලෙස, ජපානය අයිතිවාසිකම් කියන සියලු භූමි ප‍්‍රදේශ ආරක්ෂා කිරීම මත සිය උද්ඝෝෂනය යොමු කර ඇත. "සාමවාදී” වගන්තිය, මැද පෙරදිග එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුක්ත ආක‍්‍රමනකාරී යුද්ධවලට ජපානයේ සහභාගිත්වයට ද එනයින් ජපාන අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවන්ට ද බාධාවක් ලෙස කි‍්‍රයා කර ඇත.

ජේආර්පී නායක ෂින්ටාරෝ ඉෂිහාරා, දෙවන ලෝක යුද්ධයේ අවසානයෙන් පසුව එක්සත් ජනපදය විසින් සකස් කරන ලද "වාඩිලෑමේ” ව්‍යවස්ථාව මුලුමනින් ම ඉවත දැමීමක් ඉල්ලා සිටින අතර ජපානය තමන්ගේම න්‍යෂ්ටික අවි නිපදවීමට සලකාබැලිය යුතු බවට ද යෝජනා කර තිබේ. "විදේශ-විරෝධවාදයේ හා අතිධාවනකාරිත්වයේ” අන්තරායන් පිලිබඳ අනතුරු අඟවන සහ "වගකිවයුතු ආරක්ෂාවක්” වෙනුවෙන් පෙනී සිටින අතරම, අගමැති යොෂිහිකො නෝඩා මීට පෙර මිලිටරියේ ව්‍යවස්ථානුකූලත්වය සහතික කිරීමට අවශ්‍ය සංශෝධන සඳහා තර්ක කර තිබේ.

මෙම යෝජනා, ජපාන යුදවාදය පුනර්ජීවනය කිරීමේ ද 1930 ගනන්වල හා 1940 ගනන්වල ආසියාව පුරා ගෙන ගිය සිය යුද්ධවල දී ජපාන අධිරාජ්‍යවාදයේ භයංකර අපරාධ ප‍්‍රතික්ෂේප කිරීමේ ද අධිෂ්ඨානවත් ප‍්‍රයත්නයක් සමග බැඳී තිබේ. යුද්ධයෙන් මියගිය ජපාන සොල්දාදුවන් වෙනුවෙන් ගොඩනගන ලද කුප‍්‍රකට යසුකුනි සිද්ධස්ථානය නැරඹීමට යාම සහ ජපානයේ යුදකාලීන ඉතිහාසය පිලිබඳ "අසාධාරන” දැක්ම මුලුමනින්ම සංශෝධනය කිරීමක් ඉල්ලා සිටීම මගින් අබේ සිය න්‍යාය පත‍්‍රය ගැන සංඥා කලේය. එම ආස්ථානය වෙනුවෙන් පෙනී සිටීමේ දී එතරම් තියුනුභාවයක් නොගත්තත්, නෝඩා මීට පෙර, 2001 සහ 2006 අතර දී අගමැති තනතුර දැරූ කාලයේ දී ජුනිචිරෝ කොයිසුමී යසුකුනි සිද්ධස්ථානය නැරඹීමට ගිය ගමනක් ආරක්ෂා කලේය.

ආසියානු පැසිෆික් කලාපය තුල චීනයේ ආනුභාවයට වලකැපීමේ ආක‍්‍රමනකාරී එක්සත් ජනපද පරිශ‍්‍රමයක කොටසක් ලෙස, ඔබාමා පාලනාධිකාරය ජපානය තුල මෙම යුදවාදී ප‍්‍රවනතා හිතාමතාම දරිගන්වා ඇත. එක්සත් ජනපදයෙන් වඩා ස්වාධීන විදේශ පිලිවෙතක් හා චීනය සමග වඩා සමීප සබඳතා වෙනුවෙන් පෙනී සිටි ඩීපීජේ නායක යුකි ඕ හටොයමාට 2010 වසර මැදදී ඉල්ලා අස්වීමට බලකිරීමෙහිලා වොෂිංටනයේ කි‍්‍රයාකලාපය තීරනාත්මක විය. ඔහුගෙන් හිස්වූ අගමැති ධුරයට පත් වූ නඔටෝ කාන්, වහාම එක්සත් ජනපදය සමග සන්ධානයට සිය සහහෝගය සහතික කල අතර 2010 සැප්තැම්බරයේ දී සෙන්කකු/ඩිආඔයු දූපත් සම්බන්ධයෙන් චීනය සමග ප‍්‍රධාන රාජ්‍යතාන්ති‍්‍රක ගැටුමක නිරත විය.

වඩාත් අතිමූලිකව ගත් කල, කෙසේවෙතත්, ජාතිකවාදය හා යුදවාදය දෙසට ජපාන පාලක පන්තිය ගත් හැරීම රටේ ගැඹුරු වන ආර්ථික හා දේශපාලන අර්බුදයේ නිෂ්පාදිතයකි. චීනයේ ආර්ථික වර්ධන වේගය පහලබැසීමක්, යුරෝපයේ වැඩි ප‍්‍රදේශයක ආර්ථික පසුබැස්මක් හා එක්සත් ජනපදයේ අවිනිශ්චිත භාවයක් මධ්‍යයේ ජපානයේ වෙලඳ අතිරික්තය හිඟයක් බවට පරිවර්තනය වී තිබේ. දශක දෙකක් එකතැන පල්වීමේ පසුව, එරට ආර්ථිකය, තුන් වන කාර්තුවේ දී සියයට 3.5ක හැකිලීමක් සහිතව, යලිත් වරක් පසුබැස්මක් දෙසට ඇදී යයි.

ජපාන ධනවාදයේ ඓතිහාසික දුබලතාව -- එනම්, එය නිරතුරුවම අමු ද්‍රව්‍ය ආනයනය සහ අපනයන වෙලඳ පොලවල් මත බොහෝසෙයින් රඳා පැවතීම -- රටේ න්‍යෂ්ටික කර්මාන්තයෙන් විශාල කොටසක් වසා දැමීමට බල කල පසුගිය වසරේ භූමිකම්පාව හා සුනාමි "ති‍්‍රවිධ ව්‍යසනය” මගින් අවධාරනය කෙරී තිබේ. ආදේශක බලශක්ති ප‍්‍රභවයන් ලෙස තෙල් හා ගෑස් ආනයනය වෙලඳ හිඟයට ප‍්‍රධාන ලෙස දායක විය.

ජපාන ධනේශ්වරය සම්බන්ධයෙන් ගත් කල, යුදවාදයට හැරී ගැනීම, ආසියාවේ අධිපති අධිරාජ්‍යවාදී බලය ලෙස සිය තත්වය ඉහල දමාගනු පිනිස වන මංමුලාසහගත ප‍්‍රයත්නයකි. ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය බවට පත්වනු පිනිස පසුගිය වසරේ දී ජපානය ඉක්මවා ගිය චීනයේ නැගීම මගින් එය තර්ජනයට ලක්වේ. ජාතිකවාදය ඇවිලවීම කම්කරු පන්තියට එරෙහිව ද එල්ල වූවකි. එසේ වන්නේ, රටේ දැවැන්ත රාජ්‍ය නය ගැටලුවට මුහුන දෙනු වස් කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දැමීමට ඊලඟ ආන්ඩුව -- කුමන පක්ෂ විසින් එය තනනු ලැබුවත් -- සූදානම් වන තතු යටතේය.

ජපාන ධනවාදයේ වත්මන් අර්බුදයට ගැඹුරු ඓතිහාසික අනුනාදයන් පවතී. 1920 ගනන් මුල ටයිෂෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලෙස ප‍්‍රසිද්ධ කෙටි කාල පරිච්ඡේදය, යුදවාදයේ හා කම්කරු පන්තියට එරෙහි මර්දනයේ දක්ෂිනාංශික ජාතිකවාදී න්‍යාය පත‍්‍රයකට ඉක්මනින්ම ඉඩ දුනි. 1925 සාමය ආරක්ෂා කිරීමේ නීතිය සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින සියලු පක්ෂ තහනම් කොට වර්ජන හා විරෝධතා මර්දනය සඳහා මාවත සැකසීය.

අනතුරු හමුවේ ජපාන ආර්ථිකයේ පවත්නා අනාරක්ෂිතභාවය. 1929 වෝල් වීදියේ කඩාවැටීමෙන් හා ලෝක පරිමාන අවපාතය කඩාවැදීමෙන් පසුව අතිශය පැහැදිලි හා බලගතු ලෙස එලිදරව් විය. ජපාන අපනයන එක රැයකින් හරි අඩකින් කඩාවැටුනේ, පාලක කව තුල මංමුලාව ද යලි සන්නද්ධ වීමේත් විජිත අල්ලා ගැනීම, අන් සියල්ලටමත් වඩා චීනය තුල ප‍්‍රදේශ අත්පත් කරගැනීම, මගින් අර්බුදය ජයගැනීමේත් පරිශ‍්‍රමයක් ද අවුලුවාලමිනි. අධිරාජ්‍යයාගේ පිටුබලය ලද මිලිටරිය, 1931 දී මැංචූරියාව ද 1937 දී සමස්තයක් ලෙස චීනය ද ආක‍්‍රමනය කිරීම අරඹමින්, දේශපාලන ආධිපත්‍යය පවරා ගත්තේය. මහා නැගෙනහිර ආසියානු සම-සෞභාග්‍ය කලාපයක් සඳහා වූ යුදවාදී තන්ත‍්‍රයේ සැලසුම් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා සමග ගැටුනු අතර අවසානයේ 1941 දී පැසිෆික් යුද්ධයට තුඩු දුනි.

එක්සත් ජනපදයේ අනුග‍්‍රහය යටතේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජපාන ධනවාදයේ ප‍්‍රතිස්ථායිකරනය, ජපාන යුදවාදයට, යුද්ධයට හා සිය අයිතිවාසිකම් අහිමි කිරීමට සතුරු වූ නැවත නැගී සිටි කම්කරු පන්තිය තලාදැමීම මත රඳාපැවතුනි. කම්කරු පන්ති ව්‍යාපාරයේ පරාජය සම්බන්ධයෙන් ප‍්‍රධාන දේශපාලන වගකීම පැවරුනේ ජපාන කොමියුනිස්ට් පක්ෂය වෙතය. එය, එක්සත් ජනපද මැදිහත්වීම ජපානය තුල ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවය සිදු කරන බව කියාපාමින්, ඇමරිකානු මිලිටරි වාඩිලෑමට කම්කරුවන් යටත් කලේය.

යථා වසයෙන් ගත් කල, ජපානයේ පශ්චාත්-යුද කාලීන ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිරන්තරයෙන් ම පැවතියේ මන්ද-වර්ධිත තත්වයකය. ආර්ථික ප‍්‍රසාරනය සඳහා රාමුව සැකසූ එක්සත් ජනපද සන්ධානය මත පාදක වූ එල්ඩීපීය, එය පිහිටුවූ 1955 සිට 2009 දක්වා එක දිගටම පාහේ බලය දැරීය. මෙම පක්ෂය ජපානයේ යුදවාදී අතීතයෙන් කිසිදාක නොබිඳුනු අතර අබේගේ මුත්තනුවන් වූ, 1957 දී අගමැති බවට පත්, පූර්ව-යුද කැබිනට් මන්ඩලයේ සාමාජික, නොබුසුකේ කිෂි වැනි අය එයට ඇතුලත් විය. එල්ඩීපී ආන්ඩු ජපානයේ යුද අපරාධ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින සීමිත ආකාරගත ප‍්‍රකාශ පවා නිකුත් කලේ ඉතා අකැමැත්තෙනි.

වඩවඩා අස්ථාවර ලෝකයක් තුල සිය ආර්ථික හා මූලෝපායික අවශ්‍යතා ඉදිරියට ගෙනයනු පිනිස දේශපාලන උපකරනයක් නිර්මානය කරගැනීමට පාලක පන්තිය උත්සාහ කල තතු යටතේ, 1991 දී සෝවියට් සංගමයේ බිඳවැටීම, ශීතල යුද්ධය අවසන් වීම සහ මහා බලවතුන්ගේ එදිරිවාදුකම් යලි පැනනැගීම ජපාන දේශපාලනයේ ප‍්‍රතිව්‍යුහකරනයක් ගෙන ආවේය. 2008 දී ගෝලීය මූල්‍ය අර්බුදය පැනනැගීම පාලක කවවලට දැනුනු හදිසිභාවයට තවත් තල්ලුවක් දී තිබේ. 2012 මැතිවරනය තුල හැඩගැස්වෙමින් තිබෙන්නේ, ජපාන අධිරාජ්‍යවාදයේ වත්මන් අවශ්‍යතා සපුරාලීම පිනිස, 21 වන සියවසේ රූපාකාරයකින්, 1930 ගනන්වල ප‍්‍රතිගාමී දෘෂ්ටිවාදය හා විධික‍්‍රම පුනර්ජීවනය කිරීමකි.

යුද්ධය, ආර්ථික දුෂ්කරතා හා මර්දනය පමනක්ම ගෙන විත් ඇති ජපාන යුදවාදයට කම්කරු පන්තිය දක්වන දිගුකාලීන හා ගැඹුරටම කාවැදුනු විරුද්ධත්වයට ප‍්‍රකාශනයක් අත්පත් කරගැනීමට කිසිදු මාවතක් නැත. ඒ වෙනුවට පවතින්නේ, ජාතිවාදයේ ගිලී ඇති හා දේශපාලන සංස්ථාපිතයේ කොටසක් වන ජපාන කොමියුනිස්ට් පක්ෂය ඇතුලු, සියලු දේශපාලන පක්ෂවලින් ප‍්‍රගාඪ ලෙස විරසක වීමකි. යුද්ධය හා කප්පාදු පිලිවෙත් හැර දීමට අන් යමක් නැති බංකොලොත් ධනපති ක‍්‍රමයට අවසන් තිත තබනු පිනිස, ජපාන කම්කරුවන් සිය ජාත්‍යන්තර පන්ති සහෝදරසහෝදරියන් සමග ඒකාබද්ධ කිරීමට හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ලෙස අව්‍යාජ විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගිය යුතුය.

පීටර් සිමන්ඩ්ස්

Share this article: