හොන්ඩුරාස් බන්ධනාගාරයේ ගින්න: ධනවාදයේ අපරාධයක්

Honduras’s prison inferno: A crime of capitalism

18 February 2012

රෝහල් ගත කල තවත් සිරකරුවෙකු තෙවන මට්ටමේ පිලිස්සුම් තුවාලවලින් මිය ගිය බව නිවේදනය කිරීමත් සමග, පෙබරවාරි 14 දා මධ්‍යම හොන්ඩුරාස්හි කොමයගුවා බන්ධනාගාරය දවා දැමූ භයංකර ගින්නෙන් සිදුවූ ජීවිත හානිය පිලිබඳ නිල සංඛ්‍යාව සිකුරාදා 356 දක්වා ඉහල ගියේය.

මෙම දැවැන්ත ඛේදවාචකය පිලිබඳ තොරතුරු වඩවඩා එලිමහනට පැමිනෙත්ම, වඩාත් පැහැදිලි වන්නේ, මිය ගිය අය රාජ්‍යය විසින් සංවිධානය කරන ලද ජනඝාතනයක ගොදුරු බවයි. එනම්, හොන්ඩුරාස්හි මෑත ඉතිහාසය තුල එවන් ලේවැකි කි‍්‍රයාකලාපයක් ඉටු කර ඇති මිලිටරි ඝාතක කල්ලි විසින් ඔවුන් වෙඩි තබා මරා දැමුවාක් මෙන් නිසැකව එසේ පැවසිය හැකිය.

පලමුව විදුලි පරිපථයේ ලුහුවත්වීමක් නිසා ගින්න හටගත් බවක් පැවසූව ද පසුව සිරකරුවකුගේ දුම්වැටියකින් මෙට්ටයකට ගිනි ඇවිලීමෙන් එය සිදු වූයේ යයි කියන ලදි. එහෙත් බන්ධනාගාරයෙන් පැනයාමක් සැලසුම් කිරීම වෙනුවෙන් එහි ප‍්‍රධානියාට අල්ලස් දුන් පොහොසත් සිරකරුවන් සම්බන්ධිත කුමන්ත‍්‍රනයක් වසං කරනු පිනිස එහි නියාමකයන් විසින් ගින්න සිතාමතා ඇති කරන ලදැයි සඳහන් වාර්තා බ‍්‍රහස්පතින්දා එලිමහනට පැමිනියේ ය. හොන්ඩුරාස් බලධාරින් එම බන්ධනාගාරයට අනුයුක්ත කර තිබූ නිලධාරින්ගේ බැංකු ගිනුම් පරීක්ෂා කරන බව වාර්තා වේ.

තමන් ගින්නෙන් බේරී පලා යාමට උත්සාහ කරද්දී තමන්ට වෙඩි තැබූ බව දිවි ගලවා ගත් සිරකරුවන් වාර්තා කර තිබේ. මල සිරුරුවල වෙඩි උන්ඩවලින් ඇති වූ තුවාල තිබේ දැයි පරීක්ෂා කරන ලෙස ද ගින්නට ගොදුරුවූවන් හඳුනාගැනීමේ අසීරු අධිකරන වෛද්‍ය කර්තව්‍යයේ යෙදී සිටින අයගෙන් ඔවුන් ඉල්ලා ඇත.

ගින්නට ප‍්‍රතිචාර දැක්වූ ගිනි නිවන භටයන් ද වෙඩි තැබීමක් සිදු වූ බවට සාක්ෂ්‍ය දරා තිබේ. ඔවුන්ට ඇමතුමක් දුන්නේ ගින්න ඇරඹී මිනිත්තු 20ක් ගතවීමෙන් ද පසුව ය. කැඳවීම කොට මිනිත්තු 10කටත් වඩා අඩු කාලයක දී ඔවුන් එහි ලඟා වූවත්, තමන්ටත් වෙඩි වැදෙයි දැයි ඇති වූ බිය නිසා බන්ධනාගාරය ඇතුලට යාමට ඔවුන්ට නොහැකි වූ බැවින් වටිනා කාලයක් නාස්ති විය. ඔවුන් ගින්න නිවීම ආරම්භ කරන විට, කිසිවෙකු හෝ බේරාගැනීමට නොහැකි තරමට කාලය ඉක්ම ගොස් තිබුනි.

නියාමකයන් සිර කුටිවල දොරවල් විවෘත නොකිරීම මගින් අගුලු දැමූ කුටි තුල සිරකරුවන් පිලිස්සී මිය යාමට සැලස්වූ බවට සිරකරුවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ චෝදනා කරති. ඔවුන් වගකීමක් ඇතිව කි‍්‍රයා කොට තිබුනා වුවත්, සිරකරුවන් 852ක් ගලවාගැනීම සංවිධානය කරනු පිනිස බන්ධනාගාර භූමිය ඇතුලත ඇත්තටම සිටියේ නියාමකයන් දෙදෙනෙකු පමනි. හදිසි අවස්ථාවක දී බන්ධනාගාරයෙන් සිරකරුවන් පිටතට ගෙන යාමේ සැලසුමක් නොතිබූ බව ද බලධාරින් පිලිගෙන තිබේ.

කොමයගුවා බන්ධනාගාරයේ රඳවා සිටි අයගෙන් සියයට 60කට ආසන්න ප‍්‍රමානයක් කිසිදු අපරාධයක් සම්බන්ධයෙන් වරදකරුවන් කෙරී නැති බවත් ඔවුන් එක්කෝ නඩු විභාග බලාපොරොත්තුවෙන් සිටි අය හෝ නැතිනම් ශරීරයේ පච්චයක් තිබීම හැර වෙනත් සාක්ෂ්‍යයක් නැතිව පුද්ගලයන් රඳවා ගැනීමට පොලීසියට අවසර දෙන රුදුරු නීති යටතේ මැර කල්ලිවල සාමාජිකයන් ලෙස සැක පිට සිරගෙදරට තල්ලු කෙරුනු අය බවත් හොන්ඩුරාස් ආන්ඩුව පිලිගෙන ඇත.

පෙරදකින ලද ව්‍යසනයක් පැවතියේ නම්, කොමයගුවා බන්ධනාගාරයේ ව්‍යසනය එවැන්නකි. 2004 දී, මීට සමාන ගින්නක් හොන්ඩුරාස් හි දෙවන විශාලතම නගරය වන සැන් පේද්‍රො සුලා හි බන්ධනාගාරයේ සිරකරුවන් 107ක් බිලි ගත් අතර ඊට පෙර වසරේ දී, කැරිබියන් වෙරලේ නගරයක් වන ලා සීබා අසල එල් පෝර්වෙනිර් සිර ගෙදර සිදු වූ ජනඝාතනයක දී සිරකරුවන් 66ක් හා ඔවුන් බැලීමට පැමින සිටි කාන්තාවන් තිදෙනෙක් මිය ගියහ.

2010 තරම් මෑතක දී, මානව හිමිකම් පිලිබඳ අන්තර්-ඇමරිකානු කොමිසම නිකුත් කල වාර්තාවක්, හොන්ඩුරාස් බන්ධනාගාරවල පවත්නා දරුනු කොන්දේසි ගැන චෝදනා කරමින්, ඒවා ගැන අවධානය යොමු කිරීමට හදිසි කි‍්‍රයාමාර්ග ගත යුතු යයි ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ ය. එතැන් පටන්, හොන්ඩුරාස් ආන්ඩුව කර ඇත්තේ, එම කොන්දේසි තවත් දරුනු වීමට ඉඩ සැලැස්වීම පමනි. ඒ දුසිමක් පමන වන රටේ පාලක පවුල්, ජාත්‍යන්තර බැංකුකරුවන් හා හොන්ඩුරාස් හි එකලස් ශ‍්‍රම වහල් කඳවුරු නැත හොත් මැක්විලාඩොරාවල අඩු වැටුප් ශ‍්‍රමය සූරාකන අන්තර්-ජාතික සංගත සඳහා ලාභ ඉහල දමනු පිනිස වැටුප් හා සමාජ කොන්දේසි කපා දමමින්, එකකට පසුව තවෙකක් වසයෙන් කප්පාදු වැඩපිලිවෙලවල් කි‍්‍රයාවට දැමීමට හොන්ඩුරාස් ආන්ඩුව කි‍්‍රයා කරන තතු යටතේ ය.

ඕනෑම රටක බන්ධනාගාරවල පවතින කොන්දේසි එම රට තුල පවත්නා සමාජ කොන්දේසි පිලිබඳ නිවැරදි දර්ශකයකි. හොන්ඩුරාස් තුල ඒවා පිලිබිඹු කරන්නේ, ලෝකයේ පවතින වඩාත්ම අසමානතාවයෙන් යුක්ත සමාජ අතරින් එකකි. හයිටි දේශයට පසුව බටහිර අර්ධගෝලයේ පවතින දෙවන දරිද්‍රතම රට වන හොන්ඩුරාස් හි ජනගහනයෙන් සියයට 60ක් දරිද්‍රතාවයේ ගිලී සියයට 30ක් විරැකියාවෙන් ද පෙලෙන අතර එරට පාලනය කරනු ලබන්නේ, ඉඩම් හිමියන්ගෙන්, කර්මාන්තකරුවන්ගෙන් හා මූල්‍ය සම්පාදකයන්ගෙන් යුක්ත පටු කතිපයාධිපත්‍යයක් විසිනි.

මෙම ජනඝාතනයට ජාත්‍යන්තර මාධ්‍යයේ ප‍්‍රතිචාරයට, හොන්ඩුරාස්හි මිනීමැරුම් අනුපාතිකයට ද මත් ද්‍රව්‍ය වෙලඳාමේ කි‍්‍රයාකලාපයට ද කෙරෙන සැඳහුම් නොවැලැක්විය හැකි ලෙස ම ඇතුලත්ව තිබේ. එරට මිනීමැරුම් අනුපාතිකය ගෝලීය සාමාන්‍යය වන ලක්ෂයකට 6.9ට සන්සන්දනාත්මකව, ලක්ෂයකට 82.1ක් වෙමින් ලෝකයේ නරක ම අගයයි.

කෙසේවෙතත්, මුලුමනින්ම පාහේ සඳහන් නොකෙරෙන කාරනාව නම්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් ශත වර්ෂයකට වැඩි කාලයක් තිස්සේ පීඩනයට පත් කිරීම සමග සමීපව බැඳී පවතින හොන්ඩුරාස් හි රාජ්‍ය ප‍්‍රචන්ඩත්වයේ දිගු හා ලේ වැකි ඉතිහාසයයි.

20 වන සියවසේ මුල් දශක තුන තුල දී එක්සත් ජනපද මැරයින් භට හමුදා විසින් හත් වතාවක් ආක‍්‍රමනය කරන ලද හොන්ඩුරාස්, නිකරගුවාවට එරෙහි "කොන්ට‍්‍රා” යුද්ධය සඳහා යොදා ගැනුනු සීඅයිඒ සංවිධානයේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස එරට සේවය කල, 1980 ගනන්වල දී පුලුල්ව පැතිරුනු රාජ්‍ය ඝාතනවල, වධබන්ධනවල හා මර්දනයේ තෝතැන්නක් විය. ලතින් ඇමරිකාව තුල විශාලතම එක්සත් ජනපද මිලිටරි කඳවුර වන සෝටෝ කැනෝ ගුවන් හමුදා මධ්‍යස්ථානය තවමත් එරට තුල පවතී. එම කඳවුර මෙම සතියේ කොමයගුවා හි මියගිය අයගේ සිරුරු බහාලීම සඳහා මලු 400ක් හොන්ඩුරාස් බලධාරින්ට සැපයී ය.

රටේ දූෂිත හා ප‍්‍රතිගාමී ආයතන ද පාලක ප‍්‍රභූව ද හැඩ ගස්වනු ලැබ ඇත්තේ එක්සත් ජනපදයේ පිටුබලය ලද දීර්ඝ මිලිටරි කුමන්ත‍්‍රන මාලාවක් මගිනි. එයින් මෑතම කුමන්ත‍්‍රනය සිදු වූයේ ඔබාමා පාලනාධිකාරයේ අත්‍යවශ්‍යක පිටුබලය සහිතව මීට යන්තම් වසර දෙකහමාරකට පෙර ය.

රටේ වත්මන් ජනාධිපති පෝර්ෆිරියෝ ලොබෝ, 2009 ජූනි කුමන්ත‍්‍රනයේ ලේවැකි කි‍්‍රයාකලාපය නීතියුක්ත කරගැනීමට සමත්ව ඇත්තේ, එහි නායකයන් සියලු දෙනාටම පරිපූර්න මුක්තිය සහතික කරමිනි. 2009 දී හොන්ඩුරාස් හමුදා භටයන් විසින් නිදන ඇඳුම පිටින්ම ජනාධිපති මන්දිරයෙන් පිටතට බලාත්කාරයෙන් තල්ලූ කරගෙන යන ලද බලයෙන් පහ කෙරුනු හිටපු ජනාධිපති මැනුවෙල් සෙලායා, වත්මන් තන්ත‍්‍රය සමග සිය සාමය ඇති කරගෙන තිබේ. ජනතාවාදී පූච්චානම්, වෙනිසියුලාවේ චාවේස් සමග පහසුවේ සන්ධානයක් හා අවම වැටුප් වැඩි කිරීමක් හේතු කොටගෙන සිය පන්තියේ උදහසට ලක් වූ ධනවත් ඉඩම් හිමියකු වන සෙලායා, ආන්ඩුවේ නීතියුක්ත භාවය අනුමත කරමින් ද "ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ” ගුනාංග වර්නනා කරමින් ද පසුගිය මැයි මාසයේ දී ලොබෝ සමග ගිවිසුමක් අත්සන් කලේය.

කෙසේවෙතත්, හොන්ඩුරාස් වැඩ කරන ජනතාවට නම්, කොමයගුවා හි සිරකරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන් දක්වන ලද සාපරාධී පිලිකුල, මාධ්‍යවේදීන්, වෘත්තීය සාංගමිකයන්, මානව හිමිකම් කි‍්‍රයාකාරකයින්, කම්කරුවන්, ගොවියන් හා සෙසු අය ඝාතක කල්ලි අතින් ඝාතනය වීම දිගටම සිදු වන ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සැබෑ ස්වභාවය පිලිබඳ නිවැරදි දර්ශකයකි.

හොන්ඩුරාස් හි බන්ධනාගාරයේ ජනඝාතනය සම්බන්ධයෙන් නැගෙන තියුනු ජනතා කෝපයේ ප‍්‍රගාඪ මුල් පවතින්නේ, ප‍්‍රතිරෝධය දැක්වීමෙහි ලා හොන්ඩුරාස් කම්කරුවන්ට පවත්නා අධිෂ්ඨානය තුල ය. කොමයගුවා හි ජනඝාතනය මගින් යලිත් වරක් පෙන්නුම් කෙරෙන්නේ, පන්ති පීඩනය අවසන් කොට සමාජවාදී සමාජයක් ගොඩනැගීමේ අරගලය තුල හොන්ඩුරාස් හි හා ඇමරිකානු මහාද්වීපය පුරා කම්කරු පන්තිය ස්වාධීනව බලමුලුගැන්වීමට පිටින්, ජීවත් වීමට සුදුසු කොන්දේසි, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සහ අධිරාජ්‍යවාදී ආධිපත්‍යයෙන් නිදහස සහතික කර ගැනීම කල නොහැකි බවයි.

බිල් වෑන් ඕකන්

Share this article: