ශී‍්‍ර ලංකාව: සසජාශිට එරෙහි ජන අරගල සිසු නායකයන්ගේ මැර තර්ජන නතර කරනු!

Statement of the International Students for Social Equality, 23 January 2012

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ශිෂ්‍ය සංවිධානය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) ජනවාරි 07 දා පේරාදෙනිය විශ්වවිද්‍යාලය තුල කල දේශපාලන මැදිහත් වීම කඩාකප්පල් කිරීමට එහි මහා ශිෂ්‍ය සංගමයේ නායකයන් එල්ල කල මැර තර්ජනය සසප හා සසජාශි තරයේ හෙලා දකී. ජවිපෙන් මෑතක දී බිඳී ගිය ජන අරගල ව්‍යාපාරය විසින් දැන් මෙහෙයවෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයට (අවිශිබම) මෙම ශිෂ්‍ය සංගමය සම්බන්ධ ය.

සසජාශි සාමාජිකයන් එදින සිසුන් හා සාකච්ඡා කලේ "විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනයට හා සිසු මර්දනයට එරෙහිව සටන් කිරීමට කම්කරු පන්තිය වෙතට හැරෙනු” සහ "උසස් පෙල ප‍්‍රතිඵල අවුල් ජාලයට හේතුව ආන්ඩුවේ අධ්‍යාපන කප්පාදුවයි” යන සිය ප‍්‍රකාශයන් දෙකකි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනයට විරුද්ධව ශිෂ්‍යයන් අතර බරපතල විරෝධයක් ඇවිලෙමින් පවතින තතු තුල, ශිෂ්‍ය සංගම් නායකයන් සසජාශි මැදිහත්වීම වැලැක්වීමට කි‍්‍රයා කිරීම අර්ථභාරීය. එය ඉදිරිපත් කල පිලිවෙතට හා විවේචනවලට මොනම අභියෝගයක් වත් කිරීමට සිසු සමිති නායකයන්ට හැකියාවක් නොතිබුනි.

මෙම ප‍්‍රකාශවලින් පෙන්වා දී තිබුනේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනය ඇතුලු නිදහස් අධ්‍යාපන අයිතියට ආන්ඩුව එල්ල කරමින් තිබෙන ප‍්‍රහාර ධනේශ්වර අර්බුදය කම්කරුවන් හා පීඩිතයන් මත පැටවීමේ කොටසක් වන බවයි. මෙම ප‍්‍රහාර පරාජය කල හැක්කේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙල ක‍්‍රියාවට දමන කම්කරුවන්ගේ සහ ගොවියන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට කරන අරගලයකින් පමනක් ම බව පෙන්වා දුන් සසජාශි ප‍්‍රකාශ, විරෝධතා මගින් ආන්ඩුවේ ප‍්‍රතිපත්ති වෙනස් කල හැකි යයි ශිෂ්‍ය සංගම් හා අවිශිබම නායකයන් ගෙනයන දේශපාලනයේ බංකොලොත්කම ද විවේචනයට බඳුන් කර තිබුනි.

මෙම දේශපාලන පිලිවෙත සිසුන් සමග සාකච්ඡා කිරීම ගැන කිපුනු ශිෂ්‍ය සංගමයේ ක‍්‍රියාකාරිකයෙක් සිය නායකයන්ට පැමිනිලි කලේ ය. සගයන් කීප දෙනෙක් කැටුව මෝටර් සයිකල්වලින් වහා එහි පැමිනි ශිෂ්‍ය සංගමයේ සභාපති මහේෂ් ලංකා "මහා ශිෂ්‍ය සංගමයේ අවසරයකින් තොරව මෙහෙ ශිෂ්‍යයන් සමග කථා කිරීමට තමුසෙලාට අයිතියක් නෑ” යයි පොලිස්කාර විලාසයකින් සසජාශී සාමාජිකයන්ට තර්ජනය කලේ ය. තමන් නීතියුක්ත දේශපාලන කි‍්‍රයාවක යෙදෙන බව සසජාශි සාමාජිකයන් තර්ක කල විට, ඔවුන් අත තිබූ පත‍්‍රිකා හා සඟරා ද උදුරා ගත් ශිෂ්‍ය නායකයෝ ආරක්ෂක අමාත්‍යාංශයේ රක්නා ලංකා ආයතනය විසින් සේවයේ යොදවා ඇති ආරක්ෂක භටයන්ට අප සාමාජියකන් වහා ඉවත් කරන ලෙසට පැමිනිලි කලේ ය.

මීට පෙර ද සසජාශී හා සසප දේශපාලනික මැදිහත්වීම් නතර කල හැටි මතක නැත්දැයි නරුම ලෙස සඳහන් කරමින් මහේෂ් ලංකා හා ඔහුගේ සගයෝ සසජාශි සාමාජිකයන්ට කායිකව පහර දෙන බවට ඉඟි කලහ.

මෙම සිසු සංගම් නායකයන් හා ඔවුන් සම්බන්ධ අවිශිබම, ජවිපෙ ප‍්‍රතිගාමී දේශපාලනයට සම්බන්ධව සිටියහ. ජන අරගල ව්‍යාපාරය අනුව යමින් අවිශිබම හා ශිෂ්‍ය සංගම් නායකයන් ජවිපෙන් බිඳුනේ "අලුත් දේශපාලන පිලිවෙතක්” ගෙන යන බවට ප‍්‍රකාශ දෙමිනි. ජන අරගල ව්‍යාපාරයේ මූලිකයන් වන පුබුදු ජයගොඩ, චමීර කොස්වත්ත ආදීන් ද අවිශිබම හිටපු හා දැන් සිටින නයකයන් වන උදුල් පේ‍්‍රමරත්න හා සංජීව බන්ඩාර වැන්නන් ද ජවිපෙන් බිඳුනේ එය තුල මොනම ප‍්‍රජාතන්ත‍්‍ර අයිතියක්වත් නැති බවට අ‍ඳෝනා නගමිනි.

එබඳු මවා පෑම්වලට ප‍්‍රතිකූලව, මොවුන් ජවිපෙ දේශපාලනයෙන් හා සිය ප‍්‍රතිවාදීන්ට එරෙහි මැර විධික‍්‍රම භාවිතා කිරීමෙන් බින්දු මාත‍්‍රයකින් වත් බිඳී නැති බව පේරාදෙනිය ශිෂ්‍ය සංගම් නායකයන්ගේ ක‍්‍රියාවලින් යලි තහවුරු කර ඇත.

මෙම පුද්ගලයන් නරුම ලෙස සඳහන් කල සසපට හා සසජාශිට කල එරෙහි මැර ක‍්‍රියාවලින් කිහිපයක් මෙසේ ය. 2005 ජනාධිපතිවරනයේ දී සසප අපේක්ෂකයා ලෙස එහි ප‍්‍රධාන ලේකම් විජේ ඩයස් ඉදිරිපත් කර ගෙන ගිය උද්ඝෝෂනය සඳහා පේරාදෙනිය විශ්වවිද්‍යාලය තුල සිදු කල මැදිහත්වීමක දී එය නතර කිරීමට කායිකව පහර දෙන බවට ඔවුහු සසප සාමාජිකයන්ට තර්ජනය කලහ. එම මැතිවරනයේ දී ජවිපෙ රාජපක්ෂ ජනාධිපති පුටුවේ ඉන්දවීමට දරදිය ඇද්දේ ය.

2007 දී සසජාශී විශ්වවිද්‍යාලය තුල සංවිධානය කල මාක්ස්වාදී පොත් ප‍්‍රදර්ශනය කඩාකප්පල් කිරීමට ජවිපෙට සම්බන්ධ ශිෂ්‍ය සංගම් නායකයෝ මෙබඳු ම මැර ක‍්‍රියාවක යෙදුනහ. එවක දී ජවිපෙ නායකයෝ, රාජපක්ෂ ආන්ඩුව දියත් කල යුද්ධයේ පෙරමුනේ ම සිංහල ස්වෝත්තමවාදී කසකාරයන් ලෙස සිටිමින්, යුද්ධයට එරෙහිව උතුරේත් දකුනේත් කම්කරුවන් හා තරුනයන් ජාත්‍යන්තරවාදී එකමුතුවකට ගෙන ඒමට සසප ඉදිරිපත් කල පිලිවෙතට රුදුරු ලෙස විරුද්ධ වූහ.

එම දේශපාලනය ම ජන අරගල ව්‍යාපාරය හා අවිශිබම තුලින් දැන් පෙරට යයි. දෙසැම්බර් 13 දා කොලඹ හයිඩ් පිටියේ ජන අරගල ව්‍යාපාරයේ ආරම්භක රැස්වීමේ දී එම සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් සසප හා සසජාශි පත‍්‍රිකා බෙදීමට හා මාක්ස්වාදී පොත් මේසයක් තබා ගැනීම වැලැක්වීමට තර්ජනාත්මකව මැදිහත් වූ බව මෙහිලා සඳහන් කල යුතු ය.

එදත් අදත් ජවිපෙ හා විසංමතික ජන අරගල කන්ඩායමේ ශිෂ්‍ය සමිති නායකයින් විශ්වවිද්‍යාල තුල ක‍්‍රියාත්මක වන්නේ දේශපාලන පොලීසියක් ලෙසයි. සිය පිලිවෙතට විරුද්ධවන්නන් සිසුන් සමග දේශපාලන සාකච්ඡාවක් ගෙන යෑමට හා ශිෂ්‍යයන්ට තමන් කැමති දේශපාලන වැඩ කටයුතුවල නිරත වීමට ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් පාගා දමන්නන් ලෙස ඔවුහු ක‍්‍රියාත්මක වෙති. රාජපක්ෂ ආන්ඩුවට තම ප‍්‍රහාර උග‍්‍ර කිරීම සඳහා පොට පාදා දෙන ප‍්‍රතිගාමී භාවිතාවක් වන නවක වදයට සහාය දීම අවිශිබම හා එහි මහා ශිෂ්‍ය සංගම් දිගටම ගෙනයයි.

ජන අරගල ව්‍යාපාරය සහ ඊට සම්බන්ධ අය දැන් අලුත් වෙස් මූනක් පැලඳ ගෙන ජවිපෙන් කැඩෙන්නන් හා තරුනයන් තම ව්‍යාපාරය තුල රුවා ගැනීමට තැත් කරන තතු යටතේ සසජාශී දේශපාලන මැදිහත්වීමට එරෙහිව වියරු වැටීම පුදුමයක් නොවේ. තමන්ගේ දේශපාලනය එලිදරව් කරමින් එය ගෙනයන සාකච්ඡාවක් සසජාශී වෙත සිසුන් ආකර්ශනය වීමට තුඩු දෙතැයි යන භීතියෙන් ශිෂ්‍ය සංගම් නායකයෝ පෙලෙති.

පේරාදෙනිය සරසවිය තුල ජනවාරි 07 වන දා සසජාශි සාමාජිකයන්ට විරුද්ධවූවන් අතර සිටි කලා පීඨයේ සිසු සංගමයේ හිටපු සභාපති මංගල ප‍්‍රදීප් ගුරුගේ කල ප‍්‍රකාශය ඔවුන්ගේ දේශපාලනය කදිමට හෙලිදරව් කරයි. "(කම්කරු) පන්තිය එක්ක වගේ නෙමේ, ශිෂ්‍යයෝ එක්ක කටයුතු කරද්දී නම් ශිෂ්‍ය සංගමයෙන් අවසර නො ගෙන බෑ,” යයි ඔහු හිස උදුම්මාගෙන සඳහන් කලේ ය.

මෙයින් ප‍්‍රකාශයට පත්වන්නේ විශ්වවිද්‍යාල සිසුන් කම්කරු පන්තියට ඉහලින් සිටින වෙනම ම සුවිශේෂි ජන ඛන්ඩයක් යයි වාගාලාප ඇදබාමින් ඔවුන් කම්කරු පන්තිය වෙත හැරීමෙන් වැලැක්වීමේ ජවිපෙ හා ජන අරගල දේශපාලනයයි.

නිදහස් අධ්‍යාපනයට පහර එල්ල කිරීම හා එය පුද්ගලීකරනය, ධනවාදී අර්බුදයේ ප‍්‍රතිඵලයක් ද ධනපති ලාභ ගැරීමේ ව්‍යාපාරයක් බවට අධ්‍යාපනය පත් කිරීමේ පියවරක් ද වෙයි. ධනපති බැංකු, ප‍්‍රධාන සමාගම් හා අනෙකුත් ව්‍යාපාරයන් කම්කරු පන්තිය යටතේ ජනසතු කරන සමාජවාදී වැඩපිලිවෙල ක‍්‍රියාවට දැමීම මගින් පමනක්ම ය අධ්‍යාපනය හා අනෙකුත් සමාජ වැඩපිලිවෙලවල් ද ඇතුලු කම්කරු-පීඩිත ජනයාගේ අයිතීන් ආරක්ෂා කරගත හැකි පරිදි ආර්ථිකය ප‍්‍රතිසංවිධානය කල හැක්කේ.

මෙම සංවිධාන මෑතක සිට "සමාජවාදය” යන වචනය තොරතෝංචියක් නැතිව හප කරන නමුත් ඔවුන්ගේ "සමාජවාදයත්” විද්‍යාත්මක සමාජවාදයත් අතර කිසිම සම්බන්ධයක් නැත. පසුගිය දශක ගනනාව තිස්සේ විරෝධතා ව්‍යාපාර තුල ශිෂ්‍යයන් හිරකර ඔවුන්ගේ ශක්තිය කම්කරු පන්ති නායකත්වයේ අර්බුදය විසඳීමේ අරගලය සඳහා සන්නද්ධ කිරීම වලක්වා නොමග යැවීමෙන් ධනපති පාලනය රැක ගැනීමට ඔවුහු සහාය දුන්හ.

1971 දී ජවිපෙ කම්කරු පන්තියෙන් වෙන් වු හුදකලා ගරිල්ලා අරගලයකට මදාවි ලෙස මෙහෙයවා සිසුන් ඇතුලු තරුනයන් ධනේශ්වර රාජ්‍යයේ දංගෙඩියට බිලි ගැනීමට මග පෑදීය. ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව 1988-89 ෆැසිස්ට් ප‍්‍රහාරවලට හැරෙමින් "පලමුව මව්බිම දෙවනුව පාසල” ආදී සටන් පාඨ ඔස්සේ තරුනයන් සිසුන් නො මග යැවීමට ජවිපෙ ක‍්‍රියාත්මක විය. ජවිපෙ සිය උද්ඝෝෂනවලට එක් නොවූ කම්කරුවන් ද සසප පෙරගමන්කරු වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) සාමාජිකයන් තිදෙනෙක් ඇතුලු දේශපාලන විරුද්ධවාදීන් ද ඝාතනය කලේ ය.

තමන් නිදහස් අධ්‍යාපනය රැක ගත්තේ යයි ප‍්‍රලාපයක් ද ජවිපෙ හා ජන අරගල ව්‍යාපාරය ඇදබායි. නිදහස් අධ්‍යාපනය ලංකාව තුල වැඩ කරන ජනතාව දිනා ගත්තේ 1940 ගනන්වල ට්‍රොට්ස්කිවාදී ඉන්දියානු බොල්ශේවික් ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි) සහ ලංකා සම සමාජ පක්ෂය ගෙන ගිය අරගලයන් තුලිනි.

1981 ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ආන්ඩුව ගෙන ආ අධ්‍යාපන ධවල පත‍්‍රිකාව හකුලා ගැනීම සඳහා බල කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරයට පමනක් ම හැකි වී යයි මිත්‍යා කථාවලින් ශිෂ්‍යයන් මුලා කිරීමේ ද මොවුහු යෙදී සිටිති. මෙය ද ප‍්‍රලාපයකි. සිසුන් හා කම්කරුවන් අතරින් පොදුවේ පැනනැගි විරෝධය හමුවේ ධවල පත‍්‍රිකාව අකුලා ගැනුන ද එහි වගන්ති තොගයක්ම පසුගිය දශකවල අනුප‍්‍රාප්තික ආන්ඩු විසින් ක‍්‍රියාත්මක කරනු ලැබීය.

සසප හා සසජාශි කම්කරුවන් ද ශිෂ්‍යයන් හා තරුනයන් ද අතර ජාත්‍යන්තර සමාජවාදය සඳහා ඔවුන් බලමුලු ගැන්වීමේ සටනේ අකලංක ඉතිහාසයක් දරා සිටිති. ලංකාව තුල ලසසප-කොප පාවාදීමෙන් අනතුරුව ධනපති පන්තිය දේශපාලන ප‍්‍රතිගාමිත්වය අවුස්සාලන තතු යටතේ පැනනැගි වත්මන් ජන අරගල ව්‍යාපාරයේ පෙරගමන්කරු වූ ජවිපෙ, කම්කරු පන්තිය ප‍්‍රතික්ෂේප කර සුලු ධනපති පන්තිය පදනම් කරගත් දේශපාලනයකින් පටන් ගෙන ධනපති දේශපාලන සංස්ථාපිතයට ගැටගැසී සිටී. ජන අරගල ව්‍යාපාරය වෙනස් රූපයකින් ගෙනයන්නේ මෙම දේශපාලනය ම යි.

සසප හා සසජාශි ගෙන යන දේශපාලන අරගලය මැර ක‍්‍රියා හා තර්ජනවලින් නතර කල නො හැකි ය. අප සංවිධානය සිසුන් අතර ජන අරගල ව්‍යාපාරයේ හා අවිශිබමයේ දේශපාලනයට එරෙහිව සිය අරගලය තීව‍්‍ර කරනු ඇත. සසජාශි, විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා සිටින්නේ, අවිශිබම හා එයට සම්බන්ධ පේරාදෙනිය සිසු සංගම් නායකයන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී මැර කි‍්‍රයාවලට එරෙහි වෙමින් සසජාශි ශාඛා පිහිටුවීමට එක්වන ලෙසයි.

Share this article: