ඊජිප්තු විප්ලවය, මුස්ලිම් සහෝදරත්වය පක්ෂය සහ විප්ලවවාදී සමාජවාදීන්ගේ ක්ෂමාලාපකයන්

The Egyptian Revolution, the Muslim Brotherhood and the apologetics of the Revolutionary Socialists

By Jean Shaoul , 5 January 2012

පලමු කොටස

හොස්නි මුබාරක්ගේ ඇද වැටුමෙන් මාස නවයකට පසුව, ඊජිප්තු පාර්ලිමේන්තු මැතිවරනවල පලමු වට දෙකේ දී ඉස්ලාම්වාදී පක්ෂ ආසනවලින් බහුතරයක් ආරක්ෂා කර ගත්හ.

ඉරානය හා තුර්කිය හැරුනු කොට, මැද පෙරදිග අන් රටවලට වඩා සංඛ්‍යාත්මකව කම්කරු පන්තියක් හා ගම්බද දුගීන් සිටින ඊජිප්තුව, එම කලාපයේ වඩා වැදගත් වූත් බලපෑම් සහිත වූත් රටකි. මුබාරක් බලයෙන් පහ කර දමන ලද ඊජිප්තු ජනතාවගේ බලගතු ව්‍යාපාරය එහෙයින් ම එක්සත් ජනපද අධිරාජ්‍යවාදයටත් එහි කලාපීය මිත‍්‍රයන්ටත් දැවැන්ත පහරකි.

එසේ වුවත් ඊජිප්තුව, කම්කරුවන් දරිද්‍රතා වැටුප් සහ දේශපාලනික මර්දනයටත් යටත් කරන ලද ආඥාදායකත්වයක් හැටියට ම පවතී. පලමුව ජුන්ටාව ආරක්ෂා කිරීමට ක‍්‍රමානුකූල ව වැඩ කල ඉස්ලාම්වාදී පක්ෂ සමගත් දෙවනුව ජුන්ටාව පෙරලා දැමීමට කම්කරු පන්තිය විසින් ගනු ලබන ඕනෑ ම දේශපාලන අරගලයක් වලක්වන නාමිකව "ප‍්‍රජාතන්ත‍්‍රවාදී” වූත් වාමාංශික වූත් පක්ෂ සමගත් සන්ධාන ගත වීම මගින් "අරාබි වසන්තය” පටන් ගත් ව්‍යාපාරය කොල්ලකා හා නොමග යවනු ලැබ ඇත.

මැතිවරනය වූකලි බිලියනපතියන් අතලොස්සකගේ ද හමුදාවේ ද අන්තර්ජාතික බැංකු හා සංගතවල ද ආධිපත්‍යය ඊජිප්තුව තුල දිගට ම ගෙන යාම නීත්‍යානුකූල කරනු වස් සැලසුම් කරන ලද රැවටිල්ලකි. පෙබරවාරි මාසයේ මුබාරක් පෙරලා දැමූ කම්කරුවන්ගේ හා තරුනයන්ගේ විප්ලවවාදී නැගිටීම මගින් පසෙකට තල්ලු කල පක්ෂවලට මෙම කන්ඩායම් විසින් නිල වශයෙන් බලය පවරනු ඇත. මෙම පක්ෂ විප්ලවයේ මූලික ඉල්ලීම්වලට හතුරු ය: එම ඉල්ලීම් වනුයේ සමාජ සමානතාව, වඩා යහපත් ජීවන මට්ටම් සහ දේශපාලන නිදහස ය.

පලමු වටයේ ඡන්ද වැටුනේ සියයට 50කට යම්තම් වැඩියෙනි; දෙවන වටයේ සියයට 42කි. මුස්ලිම් සහෝදරත්වයේ නිදහස හා යුක්තිය පක්ෂය (එෆ්ජේපී) ඉන් සියයට 40ක් ඡන්ද ගත් අතර, සලාෆිස්ට්ස් අල්-නූර් පක්ෂය සියයට 24ක් ද, ලිබරල් ඊජිප්තියානු කන්ඩායම සහ අල් වාෆ්ඩ් පක්ෂ සියයට 14ක් හා සියයට 11 ක් ඡන්ද ලැබ ගත්තේ ය. මධ්‍යම පන්තික හිටපු වම්මුන්ගේ හා තරුනයන්ගේ පක්ෂවල රෙවලූෂන් කන්ටිනිව්ස් කන්ඩායම ලබා ගත්තේ යම්තම් සියයට 4කි.

පාලක සන්නද්ධ හමුදාවල උත්තරීතර කවුන්සිලය (එස්සීඒඑෆ්) ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන්ගෙන් පහෙන් හතරක් පත් කිරීමේ බලය තබා ගනිමින් ද නව ව්‍යවස්ථාවේ ඕනෑ ම කොටසක් සම්බන්ධයෙන් නිෂේධ බලය තබා ගනිමින් ද ඊජිප්තුවේ දේශපාලන ජීවිතය පාලනය කරන බවට සහතික වී තිබේ. වර්ජන හා විරෝධතා නීති විරෝධී කරමින් ද පසු ගිය මාස නවය තුල අත්අඩංගුවට ගෙන හමුදා අධිකරනයන්හි විනිශ්චයට 12,000ක් ජනයා භාජනය කරමින් ද මෙම කවුන්සිලය මුබාරක් යටතේ වර්ධනය කෙරුනු මර්දන හා හිංසන යන්ත‍්‍රනය මුලුමනින් ක‍්‍රියාවට නංවා ඇත.

එස්සීඒඑෆ් යේ 2011 ව්‍යවස්ථාදායක ප‍්‍රකාශනයට අනුව, ජුන්ටාව පහත සඳහන් දෑ සම්බන්ධව බලය සියතෙහි තබා ගනු ඇත: ව්‍යවස්ථා පුලුල් කිරීමට හෝ ඊට විරෝධය පෑම, රාජ්‍යය හා මහජන අයවැය සඳහා පොදු ප‍්‍රතිපත්ති නිකුත් කිරිම, මහජන මන්ඩලයට (පාර්ලිමේන්තුවට) සාමාජිකයන් පත් කිරීම, එහි සභා වාර කැඳවීමේ හා කල් දැමීම, ජාත්‍යන්තර ගිවිසුම්වලට එලඹීම හා ඊජිප්තු රාජ්‍යය වෙනුවෙන් විදේශ නියෝජනය කිරීම.

දැනට පාර්ලිමේන්තුවේ වැඩි ආධිපත්‍යයක් සහිත පක්ෂය වන මුස්ලිම් සහෝදරත්වය සමග එකට වැඩ කිරීමේ සම්බන්ධතාවක් ගොඩ නඟා ගැනීමට ජුන්ටාව අදහස් කරයි. එහි නායක මොහමඞ් බාදි සිය පක්ෂය, වඩාත් අන්තවාදී සලාෆිස්ට් අල්-නූර් පක්ෂය සමඟ සැසඳීමේ දී මධ්‍යස්ථ පක්ෂයක් ලෙස පෙන්නුම් කරමින් ජනරාල්වරුන්ගේ අවධානය දිනාගැනීමට සමත් ව ඇත. ඔහු ජුන්ටාව සමඟ වැඩ කිරිමට පොරොන්දු වී ඇත: "හමුදා කවුන්සිලය සමඟ පමනක් නොව, ඊජිප්තුවේ සියලු කන්ඩායම් සමඟ අප සහජීවනයෙන් ජීවත් විය යුතු ය, එසේ නැත්නම් අවසන් ප‍්‍රතිඵලය ශූන්‍ය වනු ඇත. පාර්ලිමේන්තුව, ආන්ඩුව හා හමුදා පාලක කවුන්සිලය යන මෙම බලයන් තුන අතර සමගි සන්ධානයක් ඇති වනු ඇත.”

එමතු නො ව, ජෙනරාල්වරුන් සමඟ ගනුදෙනුවකට එලඹෙනු වස් මිලිටරියේ සුවිශේෂ භූමිකාව ආරක්ෂා කිරීමට මුස්ලිම් සහෝදරත්වය කැමති බවට ලකුනු පහල වී තිබේ. ඊජිප්තුවේ පෞද්ගලික පුවත් පතක් වන අල්-ටාහ්රීර්ට අනුව, එෆ්ජේපී උප සභාපති එසාම් අල්-ඒරියන් "කලින් ව්‍යවස්ථාවල දීට වඩා ඉදිරියට එන ව්‍යවස්ථාව තුල විශේෂ තැනක් දැරීමට මිලිටරියට අයිතියක් ඇතැ” යි ප‍්‍රකාශ කර තිබේ. ඡන්දයෙන් පත් කෙරුනු සිවිල් අධිකාරියකට බලය පැවරීම දේශපාලනික අර්ථයෙන් ජුන්ටාව අතුරුදහන් වීමක් නොවිය යුතු බව ද ඔහු පවසා ඇත.

1928 බිහි වූ සහෝදරත්වය ඊජිප්තු ධනේශ්වරයේ බලගතු කන්ඩායමක් නියෝජනය කරයි. බටහිර බලපෑමට එරෙහි ශක්තිමත් පවුරක් ලෙසින් ද ධනේශ්වරයේ ප‍්‍රධාන පක්ෂය වන වාෆ්ඩ් පක්ෂයේ අනාගමික ජාතිකවාදයට විකල්පයක් වශයෙන් ද ඒ සියල්ලට ම වඩා රුසියානු විප්ලවයෙන් පසු කොමියුනිස්ට්වාදයේ නැඟීමට එරෙහි ආයුධයක් හැටියට ද සුන්නි- පාදක ඉස්ලාම්වාදය හැඩගැන්විය හැකි බව පිලිබඳ අදහස් සහෝදරත්වයේ ආරම්භකයා වූ හන්නා අල්-බන්නා වර්ධනය කලේය. ඔහු ෂාරියා නීතිය මත පදනම් වූ ඉස්ලාම් රාජ්‍යයකට; කැඳවුම් කල අතර පන්ති අරගලයට එරෙහි ප‍්‍රති බලයක් ලෙස ඉඩම් හිමියන්ගේ හා හාම්පුතුන්ගේ සාමූහිකවාදය හා පීතෘමූලිකවාදය වෙනුවෙන් පෙනී සිටියේ ය.

සහෝදරත්වය, ජාතික ව්‍යාපාරය තුල සමාජවාදී හා කොමියුනිස්ට් වාමාංශයේ- මෙහි බහුතරය යුදෙව්වන් විය- වර්ධනය වන බලපෑම සමඟ සටන් වැදීමට ආගමික කල්ලිවාදයන් ද යුදෙව් විරෝධය ද භාවිත කරමින් කම්කරු පන්තිය බෙදීමට කටයුතු කලේ ය. මෙය වඩාත් සුවිශේෂ ව කැපී පෙනුනේ වාර්ගික විවිධත්වයක් සහිත ඇලෙක්සැන්ඩි‍්‍රයා කාර්මික නගරයේ ය. සහෝදරත්වය විසින් එම නගරයේ කම්කරුවන් හා අනාගමිකයන් හට ප‍්‍රහාර එල්ල කිරීමෙන් කුප‍්‍රකට වූ පරිපූරක හමුදා කන්ඩායම් ජාලයක් ගොඩ නැගීය.

සහෝදරත්වය ජාතිකවාදය හා ආගම, ප‍්‍රතිගාමී සමාජ වැඩපිලිවෙලක් සමඟ බද්ධ කලේ ය. ගැහැනුන්ට ඉගෙන ගෙන වැඩ කිරීමට ඉඩ දුන් නමුදු ඔවුන් පිරිමින්ගෙන් වෙන් ව තැබීම අවශ්‍ය විය. ආගම සමාජ හා ආර්ථික ජීවිතයේ හරය විය යුතු විය. මේ අරමුන සඳහා සහෝදරත්වය පාසල්, සායන, කම්හල් හා පල්ලි ජාලයක් පිහිටුවීය.

එබඳු වැඩපිලිවෙලක් හා සම්භවයක් සහිත පක්ෂයක් අද දින ඊජිප්තුව මුහුන දෙන ගැඹුරු සමාජ ගැටලු විසඳීමට සමත් වන්නේ නැත. ඉස්ලාම්වාදීන්, ඔවුන්ගේ අධිරාජ්‍ය විරෝධී වාගාලාප තිබිය දී ම සත්‍ය වශයෙන් ම ඔබාමා පාලනය විසින් තමන් වෙත ආකර්ෂනය කර ගෙන ඇත. මැද පෙරදිග එක්සත් ජනපද විදේශ ප‍්‍රතිපත්තියේ -වඩාත් මෑතක දී ලිබියාවේ නේටෝ යුද්ධයේ හා සිරියාවේ දැනට දිග හැරෙන සිවිල් යුද්ධයේ දී හා ඉන් එහාට- ප‍්‍රධාන උපකරනයක් බවට ඔවුන් පත් ව තිබේ. වොෂින්ටනයේ ඉදිරිදර්ශනය අනුව, කම්කරු පන්තිය බෙදාලීම සඳහා කල්ලිවාදයන් ඇවිලවීම ඔවුන්ගේ භූමිකාවේ අඩුතම කාර්ය සිද්ධිය නො වේ.

මුබාරක් බලයෙන් පහවීමෙන් පසුව, මුස්ලිම් සහෝදරත්වයේ ඡන්ද පදනම් වැඩි වීමේ මූලික කාරනයක් නම් එයට නාමික වාම පක්ෂවලින් ලැබුනු සහයෝගයයි. මෙම පක්ෂ නම් ටාගැම්මු හා කරාමා ටාගැම්මු සමග ආබද්ධ වී ඇති ඊජිප්තියානු කොමියුනිස්ට් පක්ෂය ඇතුලු ස්ටැලින්වාදී කන්ඩායම් හා සියල්ලට ම වඩා විප්ලවවාදී සමාජවාදීන් (ආර්එස්)ය.

ආර්එස් පක්ෂය, බි‍්‍රතාන්‍යයේ සමාජවාදී කම්කරු පක්ෂය (එස්ඩබ්ලිව්පී) ඇතුලත් ජාත්‍යන්තර සමාජවාදී ප‍්‍රවනතාවේ පක්ෂවලටත් නිල නොවන පරිදි එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානයටත් (අයිඑස්ඕ) ජාත්‍යන්තර ව සම්බන්ධ ය. ඔවුන්ගේ සුවිශේෂ භුමිකාව වී ඇත්තේ කම්කරු පන්තිය ඉස්ලාම්වාදීන්, "ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්” හා ධනේශ්වරයේ අනෙකුත් කන්ඩායම්වලට යටත් වීම "එක්සත් පෙරමුනක්” ලෙස හඳුන්වමින් එය ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ භාවිතයක් ලෙසින් පවා විස්තර කිරීමත් මඟින් සහෝදරත්වයට ව්‍යාජ ට්‍රොට්ස්කිවාදී ආශිංසනයක් පුද කිරීම ය.

යථා වශයෙන්, ආර්එස් පක්ෂය කරන හැම දෙයක් ම ට්‍රොට්ස්කිගේ හතරවන ජාත්‍යන්තරය (1950 දී ජාත්‍යන්තර සමාජවාදීන් මින් කැඩී වෙන් විය) ඓතිහාසික ව පෙරට දැමූ පිලිවෙත් ප‍්‍රතික්ෂේප කිරීමක් වේ.

නොනවතින විප්ලව න්‍යාය විදර්ශනය කරන්නේ ඊජිප්තු ජනතාවට ජාතික ධනේශ්වරයේ කවර ම හෝ කන්ඩායමක් සමඟ සන්ධානගත වෙමින් අධිරාජ්‍යවාදී මර්දනයෙන් නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රික අයිතීන්, රැකියා හා සමාජ සමානතාව වැනි ඔවුන්ගේ කිසිදු මූලික අවශ්‍යතාවක් දිනා ගත නොහැකි බව ය. අධිරාජ්‍යවාදී යුගයේ දී, පීඩිත ජාතීන්ගේ මූලික ප‍්‍රජාතාත්ත‍්‍රික හා ජාතික කර්තව්‍යයන් -මේවා 17 හා 18 සියවස්වල ධනේශ්වරයේ නැඟීමත් සමඟ බැඳී පැවතුනු කර්තව්‍යයන් ය- සාක්ෂාත්කරනය කල හැක්කේ කම්කරු පන්තිය බලය අතට ගැනීමෙනි. පෙරලා මෙය කල හැක්කේ ජාතික හා ජාත්‍යන්තර ආර්ථිකයේ සකලවිධ සම්පත් කම්කරු පන්තියේ හා පීඩිත මහජනතාවගේ පාලනයට නතු කරන ලෝක සමාජවාදී විප්ලවයේ කොටසක් හැටියට පමනකි.

අයිඑස්ටී හා එහි රිකිල්ලක් වූ ආර්එස් පක්ෂය බොහෝ කලකට පෙර මෙම ඉදිරිදර්ශනය ප‍්‍රතික්ෂේප කොට ජාතික ධනේශ්වරයට අධිරාජ්‍යවාදයෙන් නිදහස අත්පත් කොට ගත හැකි යි ද ධනපති දේපල සම්බන්ධතා මත හා රාජ්‍ය පරිපාලනය මත පාදක වෙමින් ශක්‍ය හා සාරභූත වශයෙන් ස්වාධීන ආර්ථිකයක් වර්ධනය කල හැකි යි ද ප‍්‍රකාශ කලේ ය. ඉදිරි දශකයන් තුල සමාජවාදය සාක්ෂාත් කිරීමේ මොන යම් ඉඩක් හෝ ප‍්‍රතික්ෂේප කරමින් ඒ වෙනුවට අයිඑස්ටී ය ඓතිහාසිකව ස්ටැලින්වාදය හා ගැට ගැසුනු ඉදිරිදර්ශනයක් පෙරට දැමී ය. එය නම් සීමිත ප‍්‍රජාතාත්ත‍්‍රික ප‍්‍රතිසංස්කරන ලබා ගැනීම සඳහා ධනේශ්වර පක්ෂ සමඟ සන්ධානගත වීමයි.

ආර්එස් පක්ෂය ඔවුන් විසින් වර්නනා කෙරුනු, සහෝදරත්වයේ තරුන "ප‍්‍රතිසංස්කරන” පිල සමඟ සුවිශේෂ සමීප සම්බන්ධතාවක ප‍්‍රීතිය භුක්ති වින්දේ ය. සහෝදරත්වයේ කම්කරු පන්ති විරෝධය හා ධනවාදයට සහාය දැක්වීම තිබිය දී ම, ඔවුන් හුවා දැක්වීම පිනිස ආර්එස් පක්ෂය ඔවුන්ගේ සහෝදර පක්ෂයක් වූ බි‍්‍රතාන්‍ය එස්ඩබ්ලිව්පී යේ අඩිපාරේ ගියේ ය.

ඉරාකයට එල්ල කල එක්සත් ජනපද ගුවන් ප‍්‍රහාරවලට විරෝධය පෑමටත් 2000 සැප්තැම්බරයේ අල් ඇක්සා පල්ලි භූමියට ඒරියල් ෂැරෝන්ගේ ප‍්‍රකුපිත පෙලපාලියට පසුව පැන නැඟි පලස්තීනියානු ඉන්ටිෆාඩා නැඟිටීමට සහාය දැක්වීමටත් 1990 ගනන්වල අග භාගයේ සිට, එස්ඩබ්ලිව්පීය මෙම කන්ඩායම සමඟ සහයෝගී වීම ආරම්භ කෙරුනි. ආර්එස් පක්ෂය මෙම සන්ධානය යුක්තිසහගත කලේ ක‍්‍රිස් හාමන් ඔහුගේ The Prophet and the Proletariat (අනාගතවක්තෘ සහ කම්කරු පන්තිය) කෘතියේ පෙරට දැමූ සටන් පාඨයක් වන "ඇතැම් විට ඉස්ලාම්වාදීන් සමඟ, එහෙත් රාජ්‍යය සමඟ කිසිදා එකතු නොවී” යන්න භාවිත කරමිනි.

2001 වර්ෂයේ දී ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ එක්සත් ජනපද නායකත්වය සහිත යුද්ධයන්ට එරෙහිව පැන නැඟි යුද විරෝධී ව්‍යාපාරය ඊජිප්තුවේ පමනක් නොව ජාත්‍යන්තරව ම ඉස්ලාම්වාදීන් සමඟ සම්බන්ධතා සවිමත් කිරීමට දේශපාලන වාහකය සම්පාදනය කල අතර විශේෂයෙන් මැද පෙරදිග කලාපයේ ප‍්‍රධාන දේශපාලන ධාරාවට එස්ඩබ්ලිව්පී ය තිරසර ලෙස ඇතුල් කෙරුනේ ය. මෙම සන්තතියේ දී, එස්ඩබ්ලිව්පීයට සැලකිය යුතු මූල්‍ය ආධාරයන්ට ප‍්‍රවේශ වීමට හැකි විය.

එස්ඩබ්ලිව්පී ය, බි‍්‍රතාන්‍යයේ මුස්ලිම් සංගමය, බි‍්‍රතාන්‍යයේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය, න්‍යෂ්ටික අවිහරන ව්‍යාපාරය හා වඩාත් කුඩා ව්‍යාජ වාම පක්ෂ කිහිපයක් එක් ව තැනුනු යුද නැවැත්වීමේ සන්ධානය (එස්ටීඩබ්ලිව්සී) 2002 සිට 2008 දක්වා කයිරෝ නගරයේ වාර්ෂිකව පැවැත්වූ ඊජිප්තු යුද විරෝධී සම්මේලනවලට සහභාගී විය.

සහෝදරත්වය සහ අනෙකුත් ඉස්ලාම්වාදී පක්ෂ ප‍්‍රමුඛ දේශපාලන ප‍්‍රවනතා විය. යුද විරෝධී ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝර්ජ් ගැලොවේ සමඟ "රෙස්පෙක්ට් සභාගය” තුල දේශපාලන වශයෙන් සන්ධාන ගත වීමෙන් පසුව, එස්ඩබ්ලිව්පී ය නොයෙකුත් මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ මුදල්වලට අත පෑමට ඔහු සමඟ එක් විය. එයට හිලව්වට එස්ඩබ්ලිව්පී ය හා එයට අනුබද්ධ ආර්එස් වැනි පක්ෂ ගාසා හී හමාස් භූමිකාවත් ලෙබනනයේ හිස්බුල්ලා ව්‍යාපාරයත් අධිරාජ්‍යවාදයට "ප‍්‍රතිරෝධය පෑම” ගැන අවිවේචනාත්මකව වර්නනා කලේ ය. එහෙත් ඊජිප්තුවේ, ලෙබනනයේ, ඉරාකයේ හා සිරියාවේ කම්කරු පන්තිය බෙදාලීම සඳහා ඉස්ලාම්වාදීන් කල්ලිවාදය ඇවිලවීම ගැන කට හෙල්ලුවේ නැත.

එස්ඩබ්ලිව්පීයේ හා එස්ටීඩබ්ලිව්සී යේ න්‍යාය පත‍්‍රය මැද පෙරදිග ධනේශ්වරයේ උවමනාවන් සමඟ මුලුමනින්ම පෙල ගැසෙයි. ඇමරිකානු මිලිටරිවාදය මැඩපැවැත්වීමේ වාහකයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය පුනර්ජීවනය කර ගැනීමට ඕනෑ කල ජර්මානු හා ප‍්‍රන්ස අධිරාජ්‍යවාදයට සහාය දන්වනු පිනිස මෙම පක්ෂ යුද විරෝධී ව්‍යාපාරය දඩමීමා කර ගති.

කයිරෝවේ යුද විරෝධී සම්මේලන පැවැත් වුනේ ඉස්ලාම්වාදීන් විසින් ආධිපත්‍යය දැරූ සෝෂල් ෆෝරම් ව්‍යාපාරයේ සම්මේලනය සමගාමීව ය. ඉස්ලාම්වාදීන්ගේ ධනේශ්වර හිතවාදී වූත් කම්කරු පන්ති විරෝධී වුත් වැඩපිලිවෙල සඳහා එස්ඩබ්ලිව්පී, ආර්එස් හා එවැනි කන්ඩායම්වල සහභාගිත්වය දේශපාලන ආවරනයක් සම්පාදනය කලේ ය.

ආර්එස් පක්ෂය 2005 ජූනි මස වෙනසක් සඳහා ජාතික සන්ධානය (එෆ්එස්යූ) ගොඩ නැඟුවේ සහෝදරත්වය හා නිදහස් ශිෂ්‍ය සංගමය 2005 නොවැම්බර් මස ඒකාබද්ධ විරෝධතාවන්වලට සම්බන්ධ කර ගනු පිනිස ය. "එෆ්එස්යූව ක‍්‍රියාත්මක වන තැන්වල සහෝදරත්වය හා රැඩිකල් වාමාංශය අතර විශාල වර්ධනයක් දැක ගන්නට ලැබින” යි ආර්එස් පක්ෂය කයිවාරු ගැසුවේ ය.

වඩාත් තරුන, වඩාත් තත්කාර්යවාදී ලිබරල් ස්තරයක් ඉස්මතු වීම නිසා සහෝදරත්වයේ සංයුතිය හා ගතිලක්ෂන වෙනස් වී ඇතැ යි කියමින් ආර්එස් පක්ෂය සහෝදරත්වය හා නැවත මිත‍්‍රත්වයක් ඇති කර ගැනීම යුක්තියුක්ත කලේ ය.

යථා වශයෙන් මෙම "ප‍්‍රතිසංස්කරනවාදී” ස්තරයන් වූකලි වොෂින්ටනය හා ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රභූව සමඟ වඩාත් සමීප සම්බන්ධතාවක් සඳහා වඩාත් විවෘත ලෙස ආගමික සංකේත හා දෘෂ්ටිවාදයන් දරා සිටීම බාධාවකි යි සිතන ධනේශ්වරයේ ම කන්ඩායමකි. ඔවුන්ගේ ආදර්ශ මොඩලය වශයෙන් ඔවුන් පෙරට දමන්නේ තුර්කි අගමැති රෙක්සෙප් ටායිප් අර්ඩොගන් ගේ යුක්තිය හා සංවර්ධන පක්ෂය (ඒකේපී) යි. ව්‍යාපාරික ප‍්‍රභූව වෙනුවෙන් ඒකේපී ය මුලසුන ගෙන ඇති තුර්කියේ ව්‍යසනකාරී සමාජ කොන්දේසි ගැනත් තුර්කියේ හා ඉරාකයේ වෙසෙන කුර්දි ජනතාවට එල්ල කෙරෙන එහි මෘග ප‍්‍රහාරයන් ගැනත් පුවත්පත් කලාවේදීන්, මානව හිමිකම් ක‍්‍රියාකාරකයින් හා දේශපාලන විරුද්ධවාදීන් හිරඅඩස්සි ගත කිරීම ගැනත් ඔවුහු මුලුමනින්ම නොතකා හරිති.

2006 දී ලිබරල් හා ඉස්ලාම් බලවේග සමඟ නව සභාගයක් ඒකරාශි කිරීමේ ආර්එස් භූමිකාව ගැන ඇමරිකාවේ අයිඑස්ඕ සංවිධානය කයිවාරු ගැසුවේ මෙසේ කියමිනි: "සහෝදරත්වය ධනපති පන්තියේ උපකරනයක් යැයි ද හුදෙක් ම නව ලිබරල්වාදයේ සගයෙකු යැයි ද වැනි අදහස් අතිමූලික ව දරා සිටින ඇතැම් පැරනි මාක්ස්වාදී ස්තරයන්ගේ කල්ලිවාදී ආකල්ප වාමාංශය විසින් වැලඳ ගත හොත් මෙම සන්ධානය පවත්වා ගෙන යාම ඉතා අසීරු වනු ඇති බව කිව යුතු ව ඇත. එයින් මිදීම සඳහා සමාජවාදී විප්ලවවාදීන් ප‍්‍රධාන භූමිකාවක් ඉටු කලේ ය.” (අවධාරනය එකතු කෙරින)

මතු සම්බන්ධයි.

Share this article: