එක්සත් ජනපදය පර්සියානු බොක්ක කලාපයෙහි යුද්ධයක තර්ජනය මතු කරයි

US threatens war in the Persian Gulf

31 December 2011

ඉරානය සම්බන්ධයෙන් එක්සත් ජනපදය ගෙන තිබෙන යුදකාමී ආස්ථානය, පර්සියානු බොක්ක කලාපයෙහි යුද්ධයක් කරා සිදු වන අන්තරායකර ලුහුටා යාමකට මග පාදමින් පවතියි. තෙල් වෙලඳාමට සම්බාධක පැනවීමකට සමාන නීතියකින් ටෙහෙරානය ප‍්‍රකෝප කල එක්සත් ජනපදය, හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දමමින් එකටෙක කල හොත් මිලිටරි ක‍්‍රියාවන්ට පිවිසෙන්නෙමැයි ඉරානයට තර්ජනය කරමින් සිටියි.

වොෂින්ටනයට මුක්කුව දෙමින් සහ ඉරාන පාලන තන්ත‍්‍රයට අපවාද නගමින්, මාධ්‍යය වහා ම ගින්නට පිදුරු එක් කලේ ය. බ‍්‍රහස්පතින්දා (29 වෙනිදා) නිව් යෝක් ටයිම්ස් පුවත්පතෙහි පල වුනු කතුවැකියක්, පර්සියානු බොක්ක අවහිර කිරීම සඳහා ඉරානය දරන ඕනෑ ම ප‍්‍රයත්නයකට එරෙහිව මිලිටරි ක‍්‍රියාවන්ට පිවිසෙන බවට ඔබාමා පාලනාධිකාරය කල තර්ජනයට පූර්න සහාය පල කලේ ය. "මෙය වූකලි න්‍යෂ්ටික ආයුධ අත්පත් කර ගනු දැකීමට කිසි ම රටකට වුවමනා නොකරන ආන්ඩුවකි” යි ප‍්‍රකාශ කල කතුවැකිය, "සාහසිකත්වය සහ ජාත්‍යන්තර නීතියට අවමන් කිරීම" සම්බන්ධයෙන් ඉරානය හෙලා දුටුවේ ය.

න්‍යෂ්ටික සහ මිලිටරි මධ්‍යස්ථාන විනාශ කිරීම සඳහා ඉරානයට පූර්ව-භංග ප‍්‍රහාරයක් එල්ල කල යුතු යැයි එක්සත් ජනපදයෙහි සහ ඊස්රායලයෙහි පාලක කව කරන කෑ මොර දීම ප‍්‍රකාශයට පත් කරමින්, මාධ්‍යයේ අනෙක් කොටස් තවත් පියවරක් ඉදිරියට ගියේ ය. "න්‍යෂ්ටික තර්ජනයකින් ආරක්ෂාව සලසා ගත්” ඉරාන තන්ත‍්‍රයකින් මතු විය හැකි අන්තරායන් පිලිබඳව අනතුරු ඇඟවීමට හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් පැන නැග තිබෙන ආතතිය ගසා කෑ වෝල් ස්ටී‍්‍රට් ජර්නල් කතුවැකිය අවසන් වූයේ, "ඉරානය නතර කිරීම සඳහා දැන් ක‍්‍රියා කිරීම වඩා හොඳ යැ"යි පවසමිනි.

නරුමකම විස්මය දනවයි. ඇෆ්ඝනිස්ථානයට සහ ඉරාකයට එරෙහිව ආක‍්‍රමනකාරී යුද්ධ කර ගෙන ගිය සහ ලිබියාවේ නේටෝ බෝම්බ දැමීමට සහාය දුන් එක්සත් ජනපදය, ඉරාන මහ බැංකුව සමග ව්‍යාපාරික කටයුතුවල යෙදෙන ඕනෑ ම විදේශීය සමාගමකට දැඩි දඬුවම් පමුනුවන බවට තර්ජනය කරමින් සහ එලෙස ඉරාන තෙල් අපනයන සැබෑවට ම අවහිර කරමින් දැන් හිතාමතා සහ සාහසික ලෙස පර්සියානු බොක්ක කලාපයෙහි ආතතීන් ඉහල නංවමින් සිටී. ටෙහෙරානය ප‍්‍රතිචාර දක්වා ඇත්තේ, දැනට මත් බිඳෙනසුලු තම ආර්ථිකය කඩා පාත් කරනු ලබනු ඇති ආර්ථික යුද ක‍්‍රියාවකට ය යන්න එතරම් විස්මයට දනවන කරුනක් නො වේ.

එක්සත් ජනපදය සහ ඊස්රායලය, ඉරානයේ න්‍යෂ්ටික සහ මිසයිල වැඩ සටහනට එරෙහිව පරිගනක වයිරසවලින්, බෝම්ම දැමීම්වලින් සහ ඝාතනයන්ගෙන් සමන්විත නීච සැඟවුනු යුද්ධයක දැනට මත් යෙදී ගෙන සිටී. මෙම නීති විරෝධී කඩාකප්පල් කිරීම් සහ ඝාතන ක‍්‍රියාවන්ගෙන් ඕනෑ ම එකක්, මිලිටරිමය ගැටුමක් කරා වේගයෙන් ලුහුටා යාමකට තුඩු දිය හැකි ය. එක්සත් ජනපදය තමන්ගේ ම සවිස්තර යුද සැලසුම් කෙටුම්පත් කර ගෙන ඇතිවා පමනක් නො ව, පර්සියානු බොක්ක කලාපය තුල සිටින තම මිත‍්‍ර පාක්ෂිකයන් ඉරානයට එරෙහි කිරීමට ද අදහස් කරයි. මෑත ම එෆ්-15එස්ඒ යුද ගුවන් යානා 84ක් ද ඇතුලුව සෞදි අරාබියට කල ඩොලර් බිලියන 30ක දැවැන්ත අවි විකිනීමකට, බ‍්‍රහස්පතින්දා ධවල මන්දිරය අතිමහත් මාධ්‍ය ප‍්‍රසිද්ධියක් ලබා දුන්නේ ය.

ඉරාන "න්‍යෂ්ටික තර්ජනය” සම්බන්ධයෙන් ගත් කල, 2003 දී ඉරාකයට කල සාපරාධී කඩා වැදීම යුක්ති සහගත කිරීම සඳහා යොදා ගත් සමූලඝාතන අවි පිලිබඳ මුසාවන් යලි සිහියට නගා ගැනීම අත්‍යවශ්‍ය ය. කොන්ග‍්‍රසයේ ද්විපාක්ෂික සහාය ඇතිව ක‍්‍රියා කරන ඔබාමා පාලනාධිකාරයේ ක‍්‍රියා පිලිවෙල කිසි සේත් ඉන් වෙනස් නැත. ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවමින් සිටින බවට ජාත්‍යන්තර පරමානු බලශක්ති ඒජන්සියේ නව ප‍්‍රධානියා වන යුකියා අමානෝ කරන ප‍්‍රකාශවලින් සහාය ලැබ, අඩමාන සහ පැරනි "සාක්ෂි” හිතාමතා ම විකෘත කරනු ද අතිශයෝක්තියට නංවනු ද ලැබේ. ටෙහෙරානය කරන ප‍්‍රතික්ෂේප කිරීම් තනි මතයට ඉවත දමනු ලැබේ.

මැද පෙරදිග පවතින න්‍යෂ්ටිකව සන්නද්ධ එක ම රාජ්‍යය වන, ආක‍්‍රමනකාරී යුද්ධ සම්බන්ධයෙන් කුප‍්‍රකට සිය මිත‍්‍ර පාක්ෂික ඊස්රායලයට සහාය දෙන අතරතුර, ඉරානයේ න්‍යෂ්ටික වැඩ සටහන් අවසන් කිරීමක් ඉල්ලා සිටිමින් වොෂින්ටනය පෙන්නුම් කරන අතිනින්දිත කුහකත්වය පිලිබඳව මාධ්‍යය නිහඬ ය. ප‍්‍රකටව පෙනෙන පක්ෂග‍්‍රාහී ප‍්‍රතිපත්තියෙන් අවධාරනය වන්නේ, ඇෆ්ඝනිස්ථානයෙහි සහ ඉරාකයෙහි යුද්ධ "ත‍්‍රස්තවාදය” සහ සමූලඝාතන අවි පිලිබඳව නොවූවාක් මෙන් ම, ඉරානය සම්බන්ධයෙන් ඔබාමා පල කරන යුදකාමය ද "න්‍යෂ්ටික තර්ජනය” පිලිබඳව නොවන්නක් බව යි.

රටවල් තුනට ම එරෙහි එක්සත් ජනපද ආක‍්‍රමන පොලඹනු ලැබුවේ, කලාපය පුරා තම ආධිපත්‍යය ශක්තිමත් කර ගැනීම සඳහා ඇමරිකාවට දිගු කලක් තිස්සේ පැවති අභිලාෂයෙනි. ඉරානය සතුව තමන්ට ම අයත් දැවැන්ත තෙල් සහ ගෑස් සංචිත තිබෙනවා පමනක් නො ව, එය මැද පෙරදිග සහ මධ්‍යම ආසියාවේ බලශක්ති සම්පත්වලින් පොහොසත් ප‍්‍රදේශ අතර මූලෝපායාත්මක සම්බන්ධකම ඇති කරන රටක් ද වේ. 1979 දී සිය මිත‍්‍ර ෂා මොහොමඩ් රේසා පාලවි බලයෙන් පහ කිරීමෙන් පසුව ටෙහෙරානය තුල පිහිටුවා ගත් ඇමරිකානු ආධිපත්‍යය අහිමි කර ගැනීමට එක්සත් ජනපදය කිසි දා එකඟ වී නැත. බුෂ් පාලනාධිකාරය ඉරානයට එරෙහි වඩා ආක‍්‍රමනකාරී පියවරයන්ට සහාය දීමෙන් වැලකුනේ ඇමරිකානු මිලිටරිය ඉරාක සහ ඇෆ්ඝනිස්ථාන මඩ වගුරෙහි එරුනු නිසාම පමනි.

තම මූලෝපායාත්මක සහ ආර්ථික අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි කලාපය යලි හැඩ ගැස්වීම සඳහා, දැන් ඔබාමා පාලනාධිකාරය මැද පෙරදිග දේශපාලනික නැගිටීම් ගසා කමින් සිටී. ලිබියාවෙහි ගඩාෆි බලයෙන් පහ කල එක්සත් ජනපදය සහ එහි මිත‍්‍ර පාක්ෂිකයෝ-තුර්කියෙන් සහ සෞදි අරාබියෙන් සහාය සහ ආයුධ ලබන විරුද්ධවාදී සුන්නි කන්ඩායම්, ඉරානයට හිතවත් සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ තන්ත‍්‍රය පෙරලා දැමීම සඳහා මහජන අතෘප්තිය ගසා කමින් සිටින-සිරියාව සම්බන්ධයෙන් ද ඊට සමාන විධික‍්‍රම යොදා ගනිමින් සිටිති. අසාද්ට එදිරි විරුද්ධ පාර්ශ්වය දැන් ලිබියාවට එරෙහි නේටෝ යුද්ධයට සමාන විදේශීය මිලිටරි මැදිහත් වීමක් සඳහා බල කරමින් සිටී.

අසල්වැසි ඉරාකයේ දී, එක්සත් ජනපදය සහ කලාපය තුල සිටින එහි මිත‍්‍ර පාක්ෂිකයෝ, ටෙහෙරානයට හිතවත් ෂියාවාදී පාර්ශ්වයන් මත යැපෙන මලිකි ආන්ඩුවට එරෙහි නිකායවාදී සතුරුකම් මොලවමින් සිටිති. ඉරාක ආන්ඩුව ඉරානයෙන් ඈත් කර ගැනීම සඳහා පීඩනය යෙදීමේ සහ අවශ්‍ය වන්නේ නම් යලි ආන්ඩුව වෙනස් කිරීමේ උපායක් වශයෙන් වොෂින්ටනය සුන්නිවාදීන් මත යැපෙන ඉරාකියා සන්ධානය ගසා කමින් සිටී. එමෙන් ම, තම ඒකාධිපති තන්ත‍්‍රයන්ට එරෙහිව නැගෙන දේශපාලනික විරුද්ධත්වය මර්දනය කිරීම සඳහා සෞදි අරාබිය ඇතුලු පර්සියානු බොක්ක කලාපයෙහි මිත‍්‍ර පාක්ෂිකයන් යොදා ගන්නා මර්දනකාරී පියවරයන් පිලිබඳව, එක්සත් ජනපදය සචේතනික නිහඬතාවක් පවත්වා ගෙන යයි.

එක්සත් ජනපදය සමග සමගි වීමට එක් වතාවකට වැඩියෙන් පරිශ‍්‍රම දරා තිබිය දීත්, මැද පෙරදිග තුල ක‍්‍රියාත්මක මෙම කූටෝපායන්හි අවධානය ප‍්‍රධාන වශයෙන් ම යොමු වී ඇත්තේ, ඇමරිකානු අභිලාෂයන්ට පවත්නා ප‍්‍රධාන බාධාව ලෙස වොෂින්ටනයෙහි සැලකෙන ඉරාන තන්ත‍්‍රය වෙත යි. 2009 දී-බොහෝ දුරට ඉරාන ඉහල මධ්‍යම පන්තියේ වරප‍්‍රසාදිත කොටස්වලින් සැදුම් ලත් ව්‍යාපාරයක් වුනු-අසාර්ථක "හරිත විප්ලවයට” සහායක් වශයෙන් ජාත්‍යන්තර විසංවාද ගොනුවක් සංවිධානය කිරීමෙහිලා ඔබාමා පාලනාධිකාරය කේන්ද්‍රීයව ම හවුල් වූවේය. දැන් දූලි පිස ලා එක්සත් ජනපද මිලිටරි සැලසුම් යලි අතට ගනිමින් පවතියි.

යම් මොහොතක අනපේක්ෂිතව කලත්, නිර්දය ලෙස ආතතීන් තීව‍්‍ර කිරීම හැම විට ම ගැටුම ඉක්මන් වීමේ අනතුර මතු කරයි. එක්සත් ජනපදයේ පමනක් නො ව රුසියාව සහ චීනය වැනි ප‍්‍රධාන ප‍්‍රතිවාදීන්ගේ ද භූ දේශපාලනික ගනන් බැලීම්වලට තීරනාත්මක රටක් වන ඉරානයට එරෙහි යුද්ධයක්, මානව වර්ගයාට විනාශකාරී ඇඟවුම් සහිත වඩා පුලුල් කලාපීය සහ ජාත්‍යන්තර ගැටුමක් බවට වර්ධනය වීමේ අවදානම නො වැලැක්විය හැකි ලෙස ම පවතියි.

ඇමරිකානු මිලිටරිවාදය පුපුරා යාම පසුපස පවතින ගාමක බලවේගය නම්, දැන් වඩ වඩා නරක අතට හැරෙන ගෝලීය ආර්ථික අර්බුදය නිසා උග‍්‍ර වෙමින් තිබෙන එක්සත් ජනපදයේ ආර්ථික පරිහානිය යි. බංකොලොත් ලාභ ක‍්‍රමය සහ එහි යල් පිනූ ජාතික රාජ්‍ය පද්ධතිය පෙරලා දමා සැලසුම්ගත ලෝක සමාජවාදී ආර්ථිකයකින් එය විස්ථාපනය කිරීමෙන්, නව සහ වඩා භයංකර යුද්ධ තුලට ලුහුටා යාම වැලැක්විය හැකි එක ම සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තිය යි.

පීටර් සිමන්ඩ්ස්

Share this article: