දකුනු අප්‍රිකාවේ ඒඑන්සීයට වසර සියයක්: ධනේශ්වර ජාතිකවාදය පිලිබඳ ශේෂපත්‍රයක්

South Africa’s ANC at 100: A balance sheet of bourgeois nationalism

11 January 2012

දකුනු අප්‍රිකාවේ අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ සියවස් සැමරුම ඒඑන්සීයේ සහ ඒ හා සමාන ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරවල ස්වභාවය හා ඉරනම පිලිබඳ ශේෂපත්‍රයක් සඳහා උචිත අවස්තාවක් සම්පාදනය කරයි.

2012 දී පිහිටුවන ලද ඒඑන්සීය, මෙම ව්‍යාපාරවලින් පැරනිම එකකි. එය උද්වේගය ලබා ගන්නේ ඊටත් වඩා පැරනි ඉන්දියානු ජාතික කොන්ග්‍රසයෙනි. දකුනු අප්‍රිකාවේ වර්නබේදවාදී පාලනය අවසන් කිරීමේ සාකච්ඡාවලදී වැදගත් භූමිකාවක් ඉටුකල එය පසුගිය 18 වසර තුල රටේ පාලක පක්ෂය වුයේ ය.

බොහෝ දෙනෙකු මරනයට පත් වූ හෝ සිරගත කල හා බෙහෙවින් සන්නද්ධ ආරක්ෂක හමුදාවලට එරෙහිව රටේ කලු ජාතික නගරවල කම්කරුවන් හා තරුනයන් වීරෝදාර ලෙස සටන් කල දකුනු අප්‍රිකාවේ මුර්ග වර්නබෙදවාදී පාලනයට විරුද්ධ අරගලයේ දිගු ඉතිහාසයෙන් නව විස්වසනීයත්වයක් දිනා ගැනීමේ උත්සාහයට ඒඑන්සීය විසින් සියවන සංවත්සරය යොදාගෙන ඇත.

නමුත් රටකින් පසු රටක බලයට පත්ව ඇති ධනේශ්වර ජාතිකවාදී හෝ 'ජාතික විමුක්ති' ව්‍යාපාරයන් මෙන්ම, ඒඑන්සී නායකත්වය ද අරගලයට එලඹී ජනතාවගේ අභිමතාර්ථයන් සාක්ෂාත් කිරීම වෙනුවට, අධිරාජ්‍යවාදී කන්ඩායම්වලට හා ජාතික ධනපති පීඩකයන්ට ඔවුන්ගේ අන්තර්ග්‍රහනය වීම ශක්තිමත් කර ගැනීම සඳහා හුදෙක් ම ජනතාවගේ පරිත්‍යාගයන් ගසාකෑවේය. එමගින් බහු-මිලියන ව්‍යාපාරිකයන් බවට පත්වූ විමුක්තියේ අද්වකාත් වරුන්ගේ සංඛ්‍යාව සුලුපටු නොවේ.

වසර සියයකට පෙර ඒඑන්සීය පිහිටවූ බ්ලුම්ෆොන්ටෙයින් නගරයේ ජන සමුහයකට කල විනාඩි 90 ක පිලිවෙලක් නැති කතාවේ දී, දකුනු අප්‍රිකානු ජනාධිපති ජාකොබ් ෂූමා ඒඑන්සී යේ ඉතිහාසය ගැන කතා කිරීමට සෑහෙන කාලයක් ගත් නමුදු, රටේ ජනගහනයෙන් විසාල බහුතරයක් තවමත් ජීවත් වන පීඩාකාරී කොන්දේසි වෙනස් කිරීම සඳහා සංයුක්ත යෝජනා කිසිවක් ඉදිරිපත් නොකල තරම් ය.

දසක දෙකකට ආසන්න ඒඑන්සී පාලන කාලය තුල සිදුවී ඇත්තේ මෙම කොන්දේසි වඩාත් නරක අතට හැරීම පමනි. වාර්ගික වර්න බේදවාදී පාලනය අවසන් වී ඇති නමුදු, ධනවත් ප්‍රභූව හා කම්කරු-පීඩිත මහ ජනතාව අතර අගාධය වර්ධනය වී ඇත. ගිනි සංගුනකය මගින් මනිනු ලබන සමාජ අසමානතාව, නැමීබියාව හැරුනු විට, මේ මිහිතලය මත අන් කිසිදු රටකට වඩා අද දකුනු අප්‍රිකාවේ බෙහෙවින් නරක අතට හැරී තිබේ. ජනගහනයෙන් සියයට 70 ක් ම ජීවත් වන්නේ දරිද්‍රතා රේඛාවෙන් පහල ය. නිල විරැකියා රේට්ටුව සියයට 25 ක් පමන වන නමුත් වඩාත් යථාර්ථවාදී තක්සේරුවට අනුව එය සියයට 40 ට ආසන්න ය.

පැරනි සුදු පාලක ප්‍රභූව හා ඒඑන්සී යේ ඉහල නායකත්වයේ හා වෘත්තීය සමිති නිලධරයේ ස්තරයක් දැවැන්ත ධනයක් පොදිගසා ගෙන තිබෙන බව ඊනියා "නිදහස් වෙලඳපොල ප්‍රතිසංස්කරන" මගින් සහතික කොට ඇත. ඩොලර් මිලියන 275 වත්කම් ඇති ජාතික පතල් කම්කරු වෘත්තීය සමිතියේ හිටපු නායක සහ ඒඑන්සී යේ මහ ලේකම් සිරිල් රමාෆොසා වැනි පුද්ගලයින් ඒඑන්සීය බලයට පත් වීමෙන් පසු ආරම්භ කල "කලු ආර්ථික බලගැන්වීමේ" පිලිවෙතේ ප්‍රධාන ප්‍රතිලාභීන් බවට පත් විය.

ඒඑන්සීය "දුෂනය හා කෑදරකම විසින් කා දැමුනු, බලය සඳහා උනුන් ඇනකොටා ගන්න හා කොල්ලකාරී ආසාව හා බුද්ධිමය හිස්බවේ මාරක එකතුවක්" බව අප්‍රිකානු ඉතිහාසඥ අචිලි බෙම්බේ විසින් උචිත ලෙස විස්තර කර තිබේ.

ඒඑන්සීයේ නීති විරෝධීභාවයේ හා සන්නද්ධ අරගලයේ දීප්තිමත් කාලපරිච්චේදය කෙරෙහි සියවස් සැමරුම යොමුවීම මගින් පාලක පක්ෂයට අද දින මෙම කැත යතාර්ථයෙන් පහසු දුරස්ථ වීමකට අවකාශ ලැබෙනු ඇති මුත්, මෙම පරිහානියේ බීජ ව්‍යාපාරය ආරම්භයේ සිටම පැවැති අතර හඳුනා ගත හැකි ද විය.

ඒඑන්සීය උපත ලැබුවේ සුදු අධිරාජ්‍යවාදී යටත්විජිත අල්ලා ගැනීම්වලට එරෙහි ගෝත්‍රික ජනයාගේ දිග්ගැස්සුන අරගල පරාජයට පත්වීමේ හා කලු බහුතරය පීඩාවට පත් කිරීමේත් ඔවුන්ගේ ඉඩම් කොල්ල කෑමේත් පොදු වේදිකාවක් මත බෝයර්වරුන් අතර සිටි එහි පැරනි විරුද්ධවාදීන් සමග බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් එකතු වීමේ සන්දර්භය තුල ය. එය නැගී එන කලු මධ්‍යම පන්තියේ නියෝජිතයෙක් ලෙස තමන්ව ඉදිරිපත් කර ගත්තේය. සුදු පාලකයන් සහ කලු කම්කරුවන් හා පීඩිතයන් අතර සංවාදයේ අතරමැදියෙකු ලෙස තමන්ව ඉදිරිපත් කර ගනිමින් අධිරාජ්‍යවාදයේ අනුග්‍රහය අපේක්ෂා කලා මිස එය පරාජය කිරීමට උත්සාහ කලේ නැත.

එය බලයට පත්වුවහොත් සමාජවාදය හඳුන්වා නොදෙන බවත්, ඒ වෙනුවට "ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ රට තුල, යුරෝපීය නොවන ධනේශ්වරයට තන්ගේ ම නමටත්, මෝල්වලට හා ෆැක්ටරිවලටත් හිමිකම් කීමේ අයිතිය ලැබෙන අතර පෙර කවර දාවත් නොවූ ආකාරයට වෙලඳාමට හා පුද්ගලික ආයතනවලට වාසිදායක හා සශ්‍රීකත්වයේ අවස්තාවන් ලබාදෙන බව" පොරොන්දුවෙමින් 1956 දී නෙල්සන් මැන්ඩෙලා ඒඑන්සීයේ අරමුනු සම්පින්ඩනය කලේ ය. කලු කම්කරු ජනයාගේ වියදමෙන් මෙම දර්ශනය එහි පරිපුර්නත්වය අත් කර ගෙන තිබේ.

ඒඑන්සීය, 1960 සිට ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය සමග සන්ධානගතව විප්ලවය හා පන්ති අරගලය ගැන වාචාල කතා දෙඩවූ නමුත් නැගී එන කලු ධනේශ්වරය බල ගැන්වීමේ සහ පොහොසත් කිරීමේ මැන්ඩෙලා ගේ ඉදිරිදර්ශනය එහි මුලික ක්‍රියාමාර්ගය ලෙස පැවතුනි. ස්වෙටෝ හා සෙසු කලු නගරවල නැගීටීම්වලින් රට පාලනය කල නො හැකි තත්වයක් උද්ගත වූ විට ඇන්ග්ලෝ-ඇමරිකන් සංගත විසින් මෙහෙයවන ලද සුදු පාලක ප්‍රභූව පහලින් එන විප්ලවවාදී අභියෝගය මැඩපැවැත්වීම හා ඔවුන්ගේ ධනය සහ දේපොල රැක ගැනීමේ අරමුන ඇතිව වර්න බේදවාදී පාලනය සාමකාමීව අවසානයකට ගෙන ඒමේ සහ නිලවශයෙන් බලය මාරු කිරීමේ සාකච්ඡා ආරම්භ කලේ ය. මැන්ඩෙලා සහ ඒඑන්සීය එයට උපකාර කලේ ය.

දකුනු අප්‍රිකාවේ ඔහුගේ අනුගාමිකයන්ට 1935 දී ලියු ලිපියක දී මෙසේ ලියොන් ට්‍රොට්ස්කි අනතුරු ඇඟවී ය. "කොන්ග්‍රසය (ඒඑන්සී) ට තමන්ගේම ඉල්ලීම් සාක්ෂාත් කර ගැනීමට නොහැකි වන්නේ එහි හරයක් නැති, වැනෙනසුලු පිලිවෙත නිසාය."

මෙම අනතුරු ඇඟවීමේ දූරදර්ශි භාවය ඔප්පු විය. ආසියාවේ, අප්‍රිකාවේ, ලතින් ඇමරිකාවේ සහ මැද පෙරදිග, ඉන්දියානු කොන්ග්‍රස් පක්ෂයේ සිට පලස්තීන විමුක්ති සංවිධානය හා සන්දිනිස්තා දක්වා සෙසු සියලු ධනේශ්වර හා ජාතිකවාදී විමුක්ති ව්‍යාපාර මෙන්ම ඒඑන්සීයේ ගමන් මග, ට්‍රොට්ස්කි විසින් ඔහුගේ නොනවතින විප්ලවන්‍යායේ දී වර්ධනය කරන ලද මුලික ඉදිරිදර්ශනය සනාත කර ඇත.

අධිරාජ්‍යවාදයට බැඳී සිටින හා කම්කරු පන්තිය කෙරෙහි බියවන, පීඩිත රටවල ධනේශ්වරය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලයක් ගෙන යාමට හා අධිරාජ්‍යවාදී ආධිපත්‍යය අවසන් කිරීමට ඓද්‍රීයව ම අසමත් බව ට්‍රොට්ස්කිගේ ඉදිරිදර්ශනය තහවුරු කලේ ය. මෙම කාර්යයන් සාක්ෂාත් කල හැක්කේ, ලෝක පරිමානව ධනවාදය පෙරලා දැමීමේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගලයේ කොටසක් ලෙස පීඩිත මහ ජනතාවට නායකත්වය දෙමින්, බලය සියතට ගන්නා හා සමාජවාදී විප්ලවය සඳහා පෙරට යන කම්කරු පන්තියට පමනි.

ඒඑන්සී යේ සියවන උපන් දිනය සැමරුවේ ලෝක ධනවාදයේ අර්බුදය විසින් තල්ලුව සපයනු ලබන පන්ති අරගලය දකුනු අප්‍රිකාව තුල යලි මතුවීමක ඇඟවුම් වර්ධනය වීම මධ්‍යයේ ය. දකුනු අප්‍රිකානු කම්කරු පන්තිය අනිවාර්යයෙන්ම ඒඑන්සී ආන්ඩුව හා එය නියෝජනය කරනු ලබන බහු- මිලියන ධනපතීන්, අන්තර්ජාතික බැංකු හා සංගත සමග ගැටුමකට එලඹෙනු ඇත. අවශ්‍ය කරනු ලබන්නේ, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය, සමානතාව හා සමාජවාදය සඳහා සටන් වදින ජාත්‍යන්තරවාදී සහ සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් වූ කම්කරු පන්තික නව නායකත්වයකි. එනම්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ දකුනු අප්‍රිකානු ශාඛාවක් ගොඩ නැගීම ය.

බිල් වෑන් ඕකන්

Share this article: