ගුවන්තනාමෝ: එක්සත් ජනපදයේ වධ බන්ධන හා හිංසනය පිලිබඳ දශකයක්

Guantánamo: a decade of US torture and repression

13 January 2012

වොෂින්ටනයේ “ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධයේ” පලමු සිරකරුවන්, මත්කර, මුහුනු ආවරන යොදා දම්වැලින් බැඳ කියුබාවේ ගුවන්තනාමෝ නාවික කඳවුරට රැගෙන ආ තැන් පටන් මේ සතිය වන විට දස වසරක් ඉකුත්වී ගොසින්ය. දශකයකට පසුව ද එම අපකීර්තිමත් වධ කඳවුර විවෘතව පවතින අතර එහි සාපරාධී කටයුතු කොන්ග්‍රසය හා ජනාධිපති බරක් ඔබාමා විසින් එක්සත් ජනපද නීති සංග්‍රහයට ඇතුල්කර තිබේ.

“සතුරු සටන්කරුවන්” ලෙස සලකනු ලැබූ පුද්ගලයින් සිරගතකොට තැබීමේ විශේෂ අරමුන සහිතව බුෂ් පාලනය මෙම රැඳවුම් මධ්‍යස්ථානය පිහිටුවන ලදී. එම හැඳින්වීම සොයාගනු ලැබුවේ, එක්සත් ජනපද ව්‍යවස්ථාව යටතේ අපරාධ චෝදනාවන්ට ලක්වූවන් ලෙස හෝ ජිනීවා ප්‍රඥප්තිය යටතේ යුද සිරකරුවන් ලෙස, ඔවුන්ට පවතින කුමන හෝ අයිතියක් අහිමිකිරීම පිනිස ය. බුෂ්ගේ අධිකරන දෙපාර්තමේන්තුව තීන්දු කලේ, නාවික කඳවුර කුමන හෝ ඇමරිකානු නීතියකට හසු නොවන පිටස්තර ප්‍රදේශයක පිහිටා තිබෙන බැවින්, එහි රැඳවියන්ට තමන් සිරගතකොට තැබීම පිලිබඳව නීතිමය රැකවරන පැතිය නොහැකි බවට ය.

එක්සත් ජනපද මිලිටරිය හා බුද්ධි අංශ විසින් වටලා, ලෝකයේ නන් දෙසින් ගුවන්තනාමෝ වෙත ඇදගෙන එනු ලබන අයට එරෙහිව වධ බන්ධන හා යුද අපරාධ සිදුකල බවට වගකිවයුතු තන්ත්‍රයක් වෙනුවෙන් නියම වාතාවරනය සකසා දීම සඳහා මෙම වැඩපිලිවෙල සැලසුම් කරනු ලැබින.

චූදිතයාගේ උගුරෙන් පහලට රෙදිකෑලි ඔබා හුස්ම හිරවන පරිදි ඔහුගේ මුඛය හා නාසය වසා ටේප් පටි අලවන ලද, ජලප්‍රතිකර්මයට හා වියලි ප්‍රතිකර්මයට ඔවුන් ගොදුරු කරන ලදී. ඔවුන් සිවිලිමෙහි එල්ලා දුෂ්කර තත්වයක තබන ලද අතර පහර දීමෙන්, වීදුරු කටු හා කටු කම්බිවලින් වධයට ලක්කල අතර, දිගු කාලසීමාවක් ආන්තික උෂ්නත්වයක අඳුරේ තැබීම මගින් ඔවුන් නිදාගැනීමෙන් වලක්වන ලදී. රැඳවියන්ගේ ආත්ම විශ්වාසය බිඳීම පිනිස ලිංඟික අතවරයන්ට භාජනය කල අතර ඔවුන්ගේ ආගම නිතර අපහාසයට ලක් කරනු ලැබීය.

උපවාසයේ යෙදෙමින් වධ බන්ධනයන්ට විරෝධය පල කල අයගේ ආමාෂයට නාසයෙන් හා මුඛයෙන් ඇතුල් කල ප්ලාස්ටික් බට මඟින් බලහත්කාරයෙන් ආහාර යවා දැඩි පීඩාවන්ට බඳුන් කරන ලදී.

මිනිසුන් මැරෙන තෙක් වධ දීම ද සියදිවි නසාගන්නා තැනට පත්කිරීම ද ඇස් පෙනීම නැතිව, අංඟ විකල කර, වසර ගනනාවක් එසේ දුන් වධ වේදනා නිසා මානසිකව විනාශයට පත්කරන ලදී.

එක්සත් ජනපද ආන්ඩුවේ ම වාර්තාවන්ට අනුව සිරකරුවන්ගෙන් සියයට 92කටම ත්‍රස්තවාදය හෝ අල් කයිඩාව සමග මෙලෝ සම්බන්ධයක් තිබී නැත. එහෙත් බුෂ් පාලනය දිගින් දිගටම කියා සිටියේ ගුවන්තනාමෝහි සිරගතකොට සිටින මිනිසුන් 775 දෙනාම “නරකිනුත් නරක” මිනිසුන් බවයි. සිරගතකලවුන්ගෙන් සියයට එකකටත් අඩු සංඛ්‍යාවක් වූ පුද්ගලයින් 7 දෙනෙක් පමනක් කුමන හෝ අපරාධයකට දඬුවම් ලබා තිබුනි. අති මහත් බහුතරය, ත්‍රස්තයට එරෙහි එක්සත් ජනපද යුද්ධයට ගොදුරුවූ අහිංසකයින්ය. ඔවුන්, පකිස්ථානයට හා ඇෆ්ගනිස්ථානයට කප්පම් දීමෙන් හෝ ජාතිකත්වය හා ආගම හේතුකොටගෙන පමනක් ම වෙනත් තැන්වල වීදිවලදී අල්ලා ඇදගෙනවිත් ඇමරිකානුවන්ට විකුනන ලද අයයි.

ජාත්‍යන්තරව ගුවන්තනාමෝ යන නම, එක්සත් ජනපද මිලිටරිවාදයේ, සාපරාධිත්වයේ හා ආක්‍රමනකාරිත්වයේ සංකේතයක් බවට පත්ව තිබේ. ධවල මන්දිරයේ සිය තෙවන වසර ගත කරන ඔබාමා, 2008දී පත්කර ගත්තේ, බුෂ් පාලනය යටතේ වසර ගනනාවක් ගෙන ගිය ආක්‍රමනකාරී යුද්ධ, මූලික ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල කල පුලුල් ප්‍රහාර හා පිලිකුල් සහගත ලෙස යොදාගත් වධ බන්ධන කෙරෙහි පැවති ඉමහත් මහජන කෝපයට ආයාචනය කරමින් “වෙනසක්” සඳහා දුන් ඔහුගේ පොරොන්දුවට පින්සිදු වන්නටය.

පලමු අප්‍රිකානු-ඇමරිකානු ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති පත්කර ගැනීමෙන්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ එම අත්‍යවශ්‍ය ප්‍රතිපත්තීන්ම ගෙනයන අතර, විදේශයන්හි දී වොෂින්ටනයේ ප්‍රතිරූපය ඔප්නංවා ගැනීම, ඇමරිකානු පාලක ප්‍රභූවේ බලාපොරොත්තුව ලෙස පැවතුනි.

සිය පාලනයේ කොටසක්ව පවතින බව කියා පෑ වෙනස සංකේතවත් කිරීමට ඔබාමා බලපොරොත්තු වූයේ, වෙනත් කිසිදු තනි ක්‍රියාවකට වඩා සිය පාලනයේ පලමු වසර තුලම ගුවන්තනාමෝව වසා දමන බවට කල ආයාචනයෙනි. ගුවන්තනාමෝව “ඇමරිකානු ඉතිහාසයේ කනගාටුදායක පරිච්ඡේදයක්” බවත් එය වසා දැමිය යුතු බවත් ඔහු කියා සිටියේය.

2009 නොවැම්බරයේ දී පාලනාධිකාරය සිය අවසන් දින වකවානු අනුව කටයුතු නොකරන බවත්, ගුවන්තනාමෝ වසා දැමීම 2010 අනියමිත දිනයකට කල් තබන බවත් ප්‍රකාශ ක‍ෙල්ය.

ඔබාමාගේ පොරොන්දුව කිසි විටෙකත් සංකේතාත්මක තත්වයෙන් ඔබ්බට නොගියේය. පසු කලෙක ඔහුගේ පාලනය හෙලිදරව් කල පරිදි, නඩු නොමැතිව අනියමිතව රඳවා තැබීම, අසාමාන්‍ය රැඳවීම් හ‍ා වධ හිංසා පිලිබඳව කුප්‍රකට වූ ගුවන්තනමෝව තුල සිදු කෙරුනු භාවිතාවන් එය කිසි කලෙකවත් හෙලා දුටුවේ නැත. හුදෙක් එම මධ්‍යස්ථානය වාසා දැමීමට තීරනය කලේ එවැනි ම සාපරාධී මෙහෙයුම් වෙනත් තැනක පවත්වාගෙන යාමේ බලාපොරොත්තුවෙන් පමනි.

සත්තකින්ම ආන්ඩුව “ගුවන්තන‍ාමෝ උතුර” ආරම්භ කිරීමේ සැලසුම් සූදානම් කල අතර එහිදී රැඳවියන් කියුබාවේ සිට එක්සත් ජනපදයේ බන්ධනාගාරයක් වෙත මාරුකර හරිනු ලැබ දිගටම චෝදනා හෝ නඩු නොමැතිව රඳවා තැබෙනු ඇත.

ඔබාමා පාලනය, සිය පූර්වගාමීන් තම පාලන කාලයන්හි සිදුකල වධදීම් හා අනෙකුත් අපරාධ මත ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කෙරෙන ඕනෑම නඩුවකින් ඔවුන් දැඩි ලෙස ආරක්ෂා කරන අතර, දහස් ගනනක් ගුවන්තනාමෝ තත්වයන් යටතේ ඇෆ්ගනිස්ථානයෙහි බග්රම් හා වෙනත් රහසිගත සීඅයිඒ වධකාගාරවල තබාගනු ඇත.

2011 ජනවාරියේ දී ඔබාමා, ගුවන්තනාමෝ රැඳවියන් එක්සත් ජනපදයේ එවන් කඳවුරු වෙත මාරුකර යැවීම තහනම් කල හා බන්ධනාගාරය වසා දැමීම කඩිනමින්ම වලකා දැමූ මිලිටරි අරමුදල් සඳහා බලය පැවරීමේ නීතියකට අත්සන් තැබීය. දෙමසකට පසුව ධවල මන්දිරය, ගොතන ලද නඩු විමසීම මිලිටරි කමිටු ඉදිරියේ යලි ඇරඹිම සඳහා නියෝගයක් පැනවීය. ඔබාමාගේ විධායක නියෝගය, අනියමිතව රඳවා තැබීම සිය පාලනයේ නිල ප්‍රතිපත්තිය බවට පත්කරනු ලැබීය.

ඉන් පසුව, පසුගිය වසරේ දෙසැම්බර් 31දා ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනතට ඔබාමා සිය අත්සන යෙදූ අතර එයට, පුරවැසියන් මෙන්ම පුරවැසියන් නොවන්නන් ද චෝදනා හා නඩු නොවිමසා අනියමිතව මිලිටරි භාරයේ රැඳවීම නීතිගත කරන ප්‍රතිපාදන ඇතුලත් වන්නේය. මෙම පියවර එක්සත් ජනපද ව්‍යවස්ථාව, අයිතිවාසිකම් ප්‍රඥප්තිය හා සියවස් ගනන් පැරනි හබෙයාස් කෝපුස් ආඥා වැනි රටේ නීති සංග්‍රහ අවශ්‍යයෙන්ම පසෙකට දමමින් මිලිටරි පොලිස් ආඥාදායක පියවර නීතිය බවට පත් කරයි. ගුවන්තනාමෝහි තවමත් පුද්ගලයින් 171 දෙනෙක් රඳවා සිටියි. ඉන් දොලොස් දෙනෙක් පසුගිය දස වසරම එහි ගතකර ඇති අතර කුමන හෝ වරදකට දඬුවම් කර ඇත්තේ එක් අයෙකුට පමනි. ඔවුන් දිගටම රඳවා තැබීම අපරාධයක් වන අතර වහාම ප්‍රතිකර්මයක් ඉල්ලා සිටියි. එයට, ඔවුන් එසේ රැඳවුමට යවන ලද හා එහි රඳවාගෙන වධ හිංසා පැමිනවූ අය වගකීමට යටත් කිරීම ද ඇතුලත්ය.

එය කිසිසේත්ම, පූර්ව පාලනය යටතේ සිදු කල නිම නොකල යම් කටයුත්තක් විසඳීම පිලිබඳ කාරනාවක් නොවේ. බුෂ් පාලනය යටතේ අරඹා තිබුනු පොලිස් රාජ්‍ය ක්‍රමෝපායන් වෙතට වඩා තියුනු ලෙස හැරී ගැනීම හා ඒවා තවදුරටත් පවත්වාගෙන යාම වනාහි, හුදෙක් එක් පක්ෂයක හෝ එක් දේශපාලන දර්ශනයක නිර්මානයක් නොවන අතර, ඇමරිකානු ධනවාදයේ ගැඹුරට මුල් බැසගත් ප්‍රතිවිරෝධයන්ගේ ප්‍රතිපලයකි.

සියල්ලටත් වඩා, ඒවා ඉදිරියට තල්ලු වන්නේ, ධන‍ෙය් හා දේශපාලන බලයේ ඒකාධිකාරය දරන, ජනගහනයේ ඉහලම සියයට එකක් වන ධනවත් තුනී ප්‍රභූ කොටසක් හා සිය ආදායම, රැකියා හා ජීවන තත්වයන් අනවරත ප්‍රහාරයකට ලක්ව ඇති බව දැක ගන්නා දේශපාලනිකව ඡන්ද බලය අහිමි කරන ලද වැඩකරන ජන සමූහයක් අතර පෙර නොවූ විරූ ධ්‍රැවාන්තගත වීම මගිනි.

අද දිනයේ ඇමරිකාව තුල පවතින සමාජ අසමානතාවයේ මට්ටම්, කිසියම්ම හෝ අව්‍යාජ ප්‍රජාතන්ත්‍ර ක්‍රියාවලියක් සිදු නොවිය හැක්කක් බවට පත් කරයි. සමාජ විරෝධතාවේ හා පන්ති අරගල‍ෙය් නැඟීමට තුඩු දී ඇති දිග්ගැස්සුනු ආර්ථික අර්බුදය මධ්‍යයේ පාලක ප්‍රභූව, සිය වරප්‍රසාද හා බලය රැකගැනීම සඳහා රාජ්‍ය මර්දනයේ පෙර නොවූ විරූ ක්‍රමවේදයන් කරා වඩ වඩාත් තල්ලු වෙමින් සිටිති.

ඔබාමාගේ ධවල මන්දිරය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග, ඇමරිකානු කම්කරු පන්තියට එරෙහිව යෙදීම සඳහා ගුවන්තනාමෝ වර්ගයේ සාපරාධී ක්‍රමවේදයන් එක්සත් ජනපදය තුලට ම ගෙන ඒමේ තර්ජනය මතු කරයි.

ගුවන්තනාමෝ සමග බැඳී තිබෙන සමස්ත මර්දනකාරී ක්‍රමවේදය ම අහෝසිකර දැමීම ද ඇතුලු ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීම කල හැක්කේ, දේශපාලන බලය ගැනීමේ අරගලය තුල කම්කරු පන්තිය සිය ස්වාධීන ශක්තිය බලමුලු ගන්වමින්, ලාභය නොව මානව අවශ්‍යතා සපුරාලීම පිනිස ආර්ථිකය ප්‍රති සංවිධානය කිරීම තුල ධනවාදය අවසන්කර දැමීමෙන් පමනි.

බිල් වෑන් ඕකන්

Share this article: