එක්සත් ජනපදය සහ එහි මැද පෙරදිග ඒජන්සි

The US and its Middle East proxies

14 January 2012

එක්සත් ජනපදය, තුර්කිය සහ ගල්ෆ් රාජ්‍යයෝ සිරියාව තුල මිලිටරි මැදිහත්වීමක් සූදානම් කිරීමෙහි කි‍්‍රයාකාරීව යෙදී සිටිති. ලිබියාවට එරෙහි නැටෝ බෝම්බ ප‍්‍රහාරවලට අනුමැතිය දීමට යොදා ගැනුනු උපක‍්‍රමය වූ, පියාසර තහනම් කලාපයක් ප‍්‍රකාශයට පත් කිරීමෙන් පටන් ගෙන, "සෘජු මිලිටරි මැදිහත්වීමක” "ලිබියානු ජවනිකාවක්” දෙසට එලඹෙන මාරුවීමක් පිලිබඳ සංයුක්ත සාක්ෂ්‍ය තමන් සතුව පවතී යයි රුසියානු ආරක්ෂක සේවා කියාපාති.

එහෙත් කර්නල් මුඅම්මර් ගඩාෆිගේ ලිබියානු තන්ත‍්‍රය පෙරලා දැමීම බෂීර් අල්-අසාද් සඳහා දැන් සැලසුම් කෙරී ඇති ඉරනම සමග සම්බන්ධ කිරීම, පියාසර තහනම් කලාපයකට එහා යයි. ලිබියාව වනාහි, කලාපයේ සිය ප‍්‍රධාන සගයන් දෙදෙනෙකු වන, ටියුනීසියාවේ ශයින් එල් ආබ්දීන් බෙන් අලි සහ ඊජිප්තුවේ හොස්නි මුබාරක් ඇද වැටීමට ප‍්‍රතිචාර වසයෙන්, කලාපයේ තෙල් සම්පත් මත සිය ආධිපත්‍යය තහවුරු කර ගැනීමේ එල්ලයෙන් යුක්තව, වොෂිංටනය විසින් කි‍්‍රයාවට දමන ලද ප‍්‍රතිප‍්‍රහාරයක ප‍්‍රථම ප‍්‍රධාන ප‍්‍රකාශනයයි.

ඉස්ලාම්වාදී බලවේග ආධිපත්‍යය දරන, එක්සත් ජනපදයේ කලාපීය සගයන්ගේ මූල්‍ය හා අවි සම්පාදනවලින් යැපෙන, ජාතික අන්තර්වාර මන්ඩලය (ටීඑන්සී), නම් වූ ඒජන්සියක් යොදා ගනිමින්, ගඩාෆි සෘජු මිලිටරි මැදිහත්වීමකින් පෙරලා දැමීමේ නැටෝවේ සැලසුම, එම ප‍්‍රතිප‍්‍රහාරයට ඇතුලත් විය. මෙය දැන් මැද පෙරදිග පුරා රටාවක් ලෙස මතුවෙමින් තිබේ.

ඊජිප්තුව තුලම, වොෂිංටනය, මුස්ලිම් සහෝදරත්වය සහ අතීතයේ දී ත‍්‍රස්තවාදීන් ලෙස හෙලා දැකීමට ලක් වූ සලාෆිවාදී කන්ඩායම් අතර පවා සන්ධානයක් ගොඩනැගෙමින් පවතී.

ඊජිප්තුවේ නව පාර්ලිමේන්තුව තුල ආධිපත්‍යය දරනු ඇති සහෝදරත්වයේ නිදහස හා යුක්තිය පිලිබඳ පක්ෂයට සහයෝගය දීම සඳහා යන "ඓතිහාසික මාරුවක්” ගැන ජනවාරි 3 දා නිව් යෝර්ක් ටයිම්ස් පත‍්‍රය සඳහන් කලේ ය. ඔබාමා පාලනාධිකාරයේ සාමාජිකයන් මෙය දකින්නේ "අරාබි වසන්තයේ නැගිටීම්වලින් අනතුරුව කලාපය පුරා ඉස්ලාම්වාදී පක්ෂ බලයට පැමිනීම ලෙස සැකසිය හැකි රටාවක් දෙසට තැබෙන ප‍්‍රථම පියවරක්” හැටියට යයි පුවත්පත ලිවීය. "වසරකට වඩා අඩු කාලයක් තුල දී ඉස්ලාම්වාදීන් මොරොක්කෝව, ලිබියාව, ටියුනීසියාව හා ඊජිප්තුව තුල වැදගත් කාර්ය භාරයන්ට උර දී තිබේ.”

සහෝදරත්වය සමග එක්සත් ජනපදයේ සබඳතා 1990 ගනන් තරම් ඈතට දිව යයි. එහෙත් එම සබඳතා වඩා ස්ථාවර බවට පත් වූයේ, සහෝදරත්වය, ලිබියාවෙන් පටන් ගෙන, එක්සත් ජනපද ආඥාවන් යටතේ වැඩ කිරීමට ඇති සිය සූදානම ඔප්පු කිරීමෙන් පසුව ය. 9/11න් පසුව ප‍්‍රකාශයට පත් කෙරුනු "ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” කාල පරිච්ඡේදය තුල දී, 1980 ගනන්වල ඇෆ්ඝනිස්ථානයේ දී පැවති ආකාරයෙන් ඉස්ලාම්වාදී කන්ඩායම් සමග විවෘත සබඳතා දිගටම පවත්වා ගෙන යාම දේශපාලනිකව කල නොහැකි දෙයක් විය. දැන් එය දේශපාලනිකව අත්‍යවශ්‍ය දෙයක් ලෙස සැලකෙයි.

ලිබියාවේ ජාතික අන්තර්වාර මන්ඩලයට මුස්ලිම් සහෝදරත්වයේ සහ ලිබියානු ඉස්ලාම් සටන් කන්ඩායම වැනි ඉස්ලාම්වාදීන්ගේ විශාල කොටසක් ඇතුලත් විය. කටාර්, එමිරේට්ස් හා ජෝර්දානය ප‍්‍රධාන "බිම් කොටස්” සපයමින් ගල්ෆ් රාජ්‍යවල පිටුබලය ඔවුන්ට පෙරලා ලැබුනු බවත් "එය නොමැතිව නිවැරදි ප‍්‍රතිඵලය සාක්ෂාත් කරගත නොහැකි වීමට ඉඩ තිබුනු” බවත් බි‍්‍රතාන්‍යයේ ආරක්ෂක කාර්ය මාන්ඩලික ප‍්‍රධානි ශී‍්‍රමත් ඩේවිඩ් රිචර්ඩ්ස් පිලිගෙන තිබේ.

කටාර් රාජ්‍යය හා කලාපය තුල සහෝදරත්වයේ සම චින්තකයන් විසින් සපයන ලද මුදල්වලට ස්තුති වන්නට, සහෝදරත්වය ලිබියාවේ නව ආන්ඩුව තුල සැලකිය යුතු කාර්ය භාරයක් ඉටු කිරීමට යන බවක් පෙනී යයි. එය සිරියානු ජාතික මන්ඩලය (එස්එන්සී) තුල අධිපති බලය ද වන අතර ඊටත් වඩා අපැහැදිලි සංවිධානයක් වන නිදහස් සිරියානු හමුදාව (එෆ්එස්ඒ) තුල ද ඊට සමාන ආනුභාවයක් එයට පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

සිරියාව තුල මැදිහත්වීම සූදානම් කෙරෙන්නේ තුර්කිය විසින් එස්එන්සී හා එෆ්එස්ඒ වෙත අනුග‍්‍රහය දැක්වීම හරහා ය. සිරියාව "ආගමික, නිකායික, වාර්ගික යුද්ධයක් දෙසට ගමන් කරන” බවට අගමැති ටයිප් එර්ඩෝගන් මේ සතියේ දී අනතුරු ඇඟවීය. තුර්කිය එවන් ගැටුමක් වලකාලීම පිනිස "නායක කාර්ය භාරයක් ඉටු කරනු” ඇතැයි ඔහු ප‍්‍රකාශ කලේය. යථා වසයෙන් ගත් කල, ෂියායිට් ඉරානය සමග සන්ධානගතව සිටින අලවයිට් ආධිපත්‍යයෙන් යුක්ත අසාද් තන්ත‍්‍රයට එරෙහිව සුන්නි කැරැල්ලකට අනුග‍්‍රහය දැක්වීම මගින් නිකායික ආතතීන් ඇවිලවීමේ යෙදී සිටින්නේ තුර්කිය යි.

සවුදි අරාබිය හා කටාර් දේශය එෆ්එස්ඒ භට කන්ඩායම් පුහුනු කිරීමේ යෙදෙන බවට ලැබෙන වාර්තා හමුවේ, ගල්ෆ් රාජ්‍ය සිරියාව තුල ඉතා සමීපව මැදිහත් වන බව පැහැදිලිය.

දේශපාලනිකව ගත් කල, සිරියාවේ සාමාජිකත්වය අත්හිටුවීමට අරාබි සංගමය ගත් තීන්දුව පාදක වූයේ සවුදි ආධිපත්‍යයෙන් යුක්ත ගල්ෆ් සහයෝගිතා මන්ඩලයේ යෝජනාවක් මත ය. එය සිදු වූයේ, "ඔබගේ වාරය එලඹෙනු ඇති බැවින් සිරියාව ආරක්ෂා කිරීම නතර කරන” ලෙසට කටාර් දේශය ඇල්ජීරියානු විදේශ ඇමතිට අනතුරු ඇඟවූ රැස්වීමක දී ය.

අරාබි සංගමයේ සිරියානු නිරීක්ෂන මෙහෙයුම අසාර්ථක ව්‍යායාමයක් බවට ප‍්‍රකාශ කිරීමේ ද ටි‍්‍රපොලි නගරයට බෝම්බ හෙලීම සඳහා මාවත සැකසූ "ආරක්ෂා කිරීමේ වගකීම” පිලිබඳ විධිවිධාන මත පාදකව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයේ යෝජනාවක් ඉල්ලා සිටීමේ ද ප‍්‍රයත්නයන්හි දී එක්සත් ජනපදය සමග දෛනික පදනමකින් සිය කටයුතු සම්බන්ධීකරනය කිරීමෙහි කටාර් හා සවුදි අරාබිය යෙදී සිටිති. ගල්ෆ් කලාපයේ මිලිටරි මෙහෙයුම් සඳහා මධ්‍යස්ථානයක් ලෙස කි‍්‍රයා කරන එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරක් කටාර් දේශය තුල පිහිටා ඇත. ඇෆ්ඝනිස්ථානය තුල සාකච්ඡාමය එකඟතාවක් සඳහා එක්සත් ජනපදය ගෙන යන ප‍්‍රයත්නයන්හි කොටසක් ලෙස තලිබාන් සංවිධානයට කාර්යාලයක් ලබා දීමට ද එය එකඟ වී තිබේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ එහි පූච්චානම්වලට පිටුපසින්, එක්සත් ජනපදය, ආඥාදායක තන්ත‍්‍රයන් විසින් සිදු කරනු ලැබ ඇති ව්‍යසනයන් පිලිබඳව මුලුමනින් ම නොතකා හැර ඇත. බොහෝ අවස්ථාවන්හි දී එක්සත් ජනපදය දශක ගනනාවක් තිස්සේ එවන් තන්ත‍්‍රයන්ට අනුග‍්‍රහය දක්වා තිබේ. එයට මග පෙන්වන මූලධර්මය වන්නේ, රුසියාවේ හා චීනයේ සගයන් වන ඉරානය හා සිරියාව හුදකලා කිරීම හා අස්ථාවර කිරීම මගින් රුසියාව හා චීනය කලාපීය ආනුභාවයෙන් ඉවත් කිරීමේ ප‍්‍රයත්නයන්ට පහසුකම් සලසාලන ව්‍යාපාරවලට සහයෝගය දීමයි. එක්සත් ජනපද නාවික හමුදාවේ පස් වන බල ඇනියේ මූලස්ථානය පිහිටා ඇති බහරේන් වැනි සිය සගයන්ට එරෙහි මහජන ව්‍යාපාර සම්බන්ධයෙන් ගත් කල, එවන් විරුද්ධත්වයන් තලා දැමීමට සවුදි හමුදාවන්ට ඉඩ දෙනු ලැබේ.

මෙම ප‍්‍රතිප‍්‍රහාරය ඉදිරියට ගෙන යා හැක්කේ, එක්සත් ජනපදයේ හිටපු ඒජන්තයන් වන ටියුනීසියාවේ බෙන් අලිට හා ඊජිප්තුවේ මුබාරක්ට එරෙහිව පැන නැගි මහජන ව්‍යාපාර පීලිපැන්නවීම හා ඒවා වොෂිංටනයේ අධිකාරිය යටතේ කි‍්‍රයාත්මක වන නායකත්වයන් යටතට යොමු කිරීම මගින් ම පමනි. ඊජිප්තුවේ මොහමඩ් එල් බරාඩෙයි වැනි ධනේශ්වර නායකයන් ද සීඅයිඒ ඒජන්තයන් ද ඩමස්කස් ප‍්‍රකාශනය වැනි තන්ත‍්‍රයේ හිටපු නිලධාරින්ගෙන් සමන්විත කන්ඩායම් ද ඒඑෆ්එල්-සීඅයි ඕ ආධිපත්‍යයෙන් යුක්ත ජාත්‍යන්තර කම්කරු සංවිධානය මගින් පාලනය කරනු ලබන "ස්වාධීන” යයි කියනු ලබන වෘත්තීය සමිති ද විසින් එයට තීරනාත්මක දේශපාලන ආවරනයක් සපයන ලදි.

මෙම බලවේග නිල වසයෙන් නම් කරන ලද "ප‍්‍රජාතන්ත‍්‍රවාදී විපක්ෂය” ලෙස ඔජ වඩවනු ලබන්නේ, ඔවුන්, සිරියාව වැනි පෙරලා දැමීම සඳහා ඉලක්ක කෙරුනු තන්ත‍්‍රයන්ට එරෙහිව ද ඊජිප්තු ජුන්ටාව වැනි සෙසු තන්ත‍්‍ර රැකගනු සඳහා ද ඉස්ලාම්වාදීන් සමග වැඩ කරන තතු තුලය.

මැද පෙරදිග සෑම සමාජ හා දේශපාලන ව්‍යාපාරයක්ම "අරාබි වසන්තයේ” මෑතම ප‍්‍රකාශනය ලෙස පින්තාරු කරන හිටපු වාමාංශික කන්ඩායම් තීරනාත්මක කි‍්‍රයාකලාපයක් ඉටු කරති. මෙම පදනම මත ලිබියාවට එරෙහි එක්සත් ජනපද නායකත්වයෙන් යුක්ත යුද්ධය පිටුපස පෙල ගැසීමෙන් පසුව, ඔවුහු දැන් සිරියාව තුල ද එම කටයුත්ත සඳහා සූදානම් වෙති.

සිරියානු ජාතික මන්ඩලයේ හා නිදහස් සිරියානු හමුදාවේ කි‍්‍රයා කලාපය ගැන අවිවේචනාත්මකව වාර්තා කිරීමෙන් පසුව, බි‍්‍රතාන්‍යයේ සමාජවාදී කම්කරු පක්ෂය (සකප), එස්එන්සී හා එෆ්එස්ඒ සංවිධානවල "සම්ප‍්‍රාප්තිය” "භයානක වර්ධනයක්” බව පිලිගත්තේ මේ මාසයේ දී ය. එස්එන්සී පසුගිය වසරේ අගෝස්තුවේ දී තුර්කියේ දී පිහිටුවන ලද අතර එය නියෝජනය කරන බලවේග ආරම්භයේ පටන් ම අසාද් විරෝධී ව්‍යාපාරයේ න්‍යාය පත‍්‍රය නිර්නය කිරීමෙහිලා මූලික කි‍්‍රයාකලාපයක් ඉටු කර තිබේ. එහෙත් "බටහිර හා බටහිර ගැති අරාබි තන්ත‍්‍රයන්ගේ කුමන්ත‍්‍රනයක්” පිලිබඳ සියලු කියාපෑම් "විකාර” සහ "මහජන ව්‍යාපාරයට එරෙහි අවලාද” ලෙස සකප තවමත් අවධාරනය කරයි.

අන් සියල්ලටමත් වඩා හිටපු වාමාංශික ප‍්‍රවනතාවන් විරුද්ධ වන්නේ, අසාද් පාලනය වැනි මර්දනකාරී තන්ත‍්‍රයන්ට මෙන්ම අසාද්ගේ අධිරාජ්‍ය-ගැති විරුද්ධවාදීන්ට ද එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලුගැන්වීමකට ය.

ටියුනීසියාවේ දී හා ඊජිප්තුවේ දී ඇරඹුනු විප්ලවවාදී සමාජ ආවේගය මැද පෙරදිග මහජනතාවට තවමත් ආවේශය සපයයි. එහෙත් ලිබියාවේ අත්දැකීම මගින් ඔප්පු වන්නේ, තමන්ගේ ම කි‍්‍රයාමාර්ගයකින් හා නායකත්වයකින් තොර වූ කල, කම්කරු පන්තිය තුල පවත්නා විරුද්ධවාදී මනෝගතිය යටපත් කොට බෙලහීන කොට දැමිය හැකිය, නැතහොත් සමහර විට වොෂිංටනයේ, ලන්ඩනයේ හා පැරිසියේ කලාපීය සූරාකන්නන් හා විශ්වාසවන්ත සගයන් ලෙස ස්වකීය තත්වයන් රැක ගැනීම තම අරමුන කොටගත් ප‍්‍රතිගාමී, අධිරාජ්‍ය-ගැති ව්‍යාපාර පිටුපස ගාල් කිරීම පවා කල හැකිය.

කලාපයේ දූෂිත තන්ත‍්‍රයන් පෙරලාදැමීම, කම්කරුවන්ට සමාජවාදී හා ජාත්‍යන්තරවාදී මූලෝපායක් සම්පාදනය කරනු පිනිස මැද පෙරදිග පුරා හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන් ගොඩනැගීම ඉල්ලා සිටී. අධිරාජ්‍යවාදී ආධිපත්‍යයට හා ධනපති සූරාකෑමට එරෙහි අරගලය තුල කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව ද මැද පෙරදිග පුරා හා ජාත්‍යන්තරව කම්කරු ආන්ඩු ගොඩනැගීම ද සඳහා සටන් වැදීම මගින්, කම්කරුවන් හා තරුනයෝ ආගමික හා ජනවාර්ගික රේඛා ඔස්සේ භේදයන් වැපිරීමේ සියලු ප‍්‍රයත්නයන්ට විරුද්ධ විය යුත්තාහ.

කි‍්‍රස් මාර්ස්ඩන්

Share this article: