එස්ඕපීඒ, පීඅයිපීඒ සහ අන්තර්ජාල නිදහස

SOPA, PIPA and the freedom of the Internet

19 January 2012

එක්සත් ජනපද කොන්ග‍්‍රසය විසින් දැන් සලකා බලමින් සිටින අන්තර්ජාල වාරන පනත් දෙකට එරෙහි පෙත්සම්වලට බදාදා දිනය තුල මිලියන සංඛ්‍යාත ජනයා අන්තර්ජාලය ඔස්සේ සිය අත්සන් තැබූහ.

එක්සත් ජනපද කොන්ග‍්‍රසය විසින් දැන් සලකා බලමින් සිටින අන්තර්ජාල වාරන පනත් දෙකට එරෙහි පෙත්සම්වලට බදාදා දිනය තුල මිලියන සංඛ්‍යාත ජනයා අන්තර්ජාලය ඔස්සේ සිය අත්සන් තැබූහ. මෙම පෙත්සම් කි‍්‍රයාත්මක වූයේ දහස් සංඛ්‍යාත වෙබ් අඩවි විසින් කරන ලද ඉල්ලීමකට ප‍්‍රතිචාරී වශයෙන් වන අතර විකිපීඩියා සහ රෙඩිට් ඇතුලු සමහර වෙබ් අඩවි තම විරෝධය පල කරනු වස් එදින වසා දමා තිබුනි.

මෙම විරෝධතා එල්ල කෙරුනේ එක්සත් ජනපද නියෝජිත මන්ත‍්‍රන සභාව තුල සහ සෙනේට් සභාව තුල පිලිවෙලින් සම්මත කිරීමට නියමිත අන්තර්ජාල ලිපි ලේඛන සොරකම් කිරීම නැවත්වීමේ පනත (SOPA-සොපා) ට හා බුද්ධිමය දේපොල ආරක්ෂා කිරීමේ පනත (PIPA-පිපා) ට එරෙහිවයි.

මෙම පියවරයන්හි ක්ෂනික ඉලක්කය බුද්ධිමය දේපොල නීති උල්ලංඝනය කරන්නන් විය හැකි අතර මෙයට දැඩි ලෙස පිටු බලය ලබා දෙනුයේ චිත‍්‍රපට සහ සංගීත නිශ්පාදකයන්ය. කෙසේ නමුදු, මෙම නීති පිටුපස ඇති වඩාත් මූලික ගාමකය වන්නේ අන්තර්ජාලය පාලනය කිරීම සඳහා එක්සත් ජනපදයට ඇති බලය සැලකිය යුතු තරමින් ප‍්‍රසාරනය කිරීමට අවශ්‍ය ව්‍යාජ නීතිමය සහ තාක්ෂනික යාන්ත‍්‍රනයක් නිර්මානය කර ගැනීමට එක්සත් ජනපද පාලක පන්තියට ඇති උවමනාවයි.

ඒවායේ අවසන් රූපාකාරය කුමක්ද යන්න කි‍්‍රයාත්මක කිරීමෙන් පසු නිර්නය වීමට නියමිත නමුත් සොපා සහ පිපා පනත් දෙකෙන්ම සමස්ත අන්තර්ජාල ක්ෂේත‍්‍රයට ම පිවිසීම මුලුමනින්ම වසා දැමිය හැකි උසාවි නියෝගයන් වෙබ් අඩවිවලට නිකුත් කිරීමේ බලය එක්සත් ජනපද නීතිපතිට පැවරේ. සෙවුම් යන්ත‍්‍ර සහ අනෙක් වෙබ් අඩවි, ප‍්‍රශ්නයට බඳුන්වන වෙබ් අඩවිවලට ඇති සබඳතා මුලුමනින්ම නවතා දැමීම ආවශ්‍යක කෙරෙන අතර පේපෑල් වැනි ආයතන ප‍්‍රශ්නයට බඳුන්වන වෙබ් අඩවිවලට කෙරෙන මූල්‍ය සැපයුම් කපා දැමිය යුතුය. වැරදිවලට හසුවන වෙබ් අඩවිවලට අභියාචන ඉදිරිපත් කිරීමේ කිසිම ඉඩකඩක් නොමැති අතර එහි අර්ථය වන්නේ ඒවාට කවර හෝ ඉදිරි කි‍්‍රයා දාමයකට ඉඩ නොදී නිදහස් භාෂනයේ මූලික අයිතිය උදුරා ගැනෙන බවයි.

ඒවායේ වත්මන් රූපාකාරයෙන්, පනත්වලට විරුද්ධව සැලකියයුතු තරම් සංගත අවශ්‍යතා බලමුලු ගැන්වී ඇත. මෙම සංගතයන් අතර ගූග්ල්, ෆේස්බුක් සහ ට්විටර් වැනි බිලියන ඩොලර් තාක්ෂනික සංගතයන් ද පවතී.

කොන්ග‍්‍රසයට ලියන ලද ලිපියක් මගින්, "පනත් මගින් ප‍්‍රකාශිත අරමුනුවලට, එනම් ‘මැරවර’ වෙබ් අඩවි සමග සටන් කිරීම සඳහා අතිරේක නීතිමය මෙවලම් සැපයීම” සම්බන්ධයෙන් සුවිසල් සමාගම්වලින් බොහොමයක් තම සහාය අවධාරනය කොට ඇත. කෙසේ නමුත්, ලිපියේ මෙසේ ද සඳහන්වේ: "කෙටුම්පත් කර ඇති පනත්වලට අනුව නීති ගරුක එක්සත් ජනපද අන්තර්ජාල සහ තාක්ෂනික සමාගම් නව අවිනිශ්චිත නීතිමය වගකීම්වලට, කි‍්‍රයාත්මකවීමේ පුද්ගලික අයිතීන්ට සහ වෙබ් අඩවි අධීක්ෂනය ආවශ්‍යක කෙරෙන තාක්ෂනික අවසරයකට අනාවරනය කෙරේ.”

සෙනෙට් සභිකයින් සංඛ්‍යාවක්, ප‍්‍රධාන වශයෙන් රිපබ්ලිකානුවන්, බදාදා කි‍්‍රයාවන්ට ප‍්‍රතිචාර දැක්වූයේ පූර්වයෙන් පනතට දුන් සහායෙන් ප‍්‍රසිද්ධියේ පල්ලම් බසිමිනි. පනතේ සංගත විවේචකයන්ගෙන් සමහරෙක් සන්සුන් කරවා ගැනීම සඳහා සම්මුතියක් සූදානම් කර ගනු වස් ජනවාරි 24 වනදාට නියමිතව තිබූ පනත සඳහා ඡන්ද විමසුම කල් දැමෙනු ඇත.

සොපා සහ පිපා කෙටුම්පත් කිරීම මුලුමනින්ම ද්විපාර්ශ්වීය කි‍්‍රයාවක් විය. ඩිමොක‍්‍රැටික් පක්ෂයෙන් පරිපාලිත සෙනේට් සභාව තුල ඩිමොක‍්‍රැටික් පක්ෂ සෙනේට් සභික පැටි‍්‍රක් ලීහි විසින් පිපා හඳුන්වාදුන් අතර සෙනේට් බහුතරයේ නායක හැරී රීඩ් ඡන්දය කල් දැමීමට එරෙහිව උද්ඝෝෂනයේ යෙදිනx.

ඔබාමා පරිපාලනය පාර්ශ්වයෙන් ගත් කල, අන්තර්ජාල නිදහසේ ආධාරකරුවකු ලෙස පෙනී සිටින ගමන්ම සොපා සහ පිපා හි මූලික ප‍්‍රතිපාදන සම්බන්ධයෙන් තම කැපවීම මෙම සතියේ යලි තහවුරු කලේ "එක්සත් ජනපද සීමාවන්ට ඔබ්බෙන් ආරම්භවන අන්තර්ජාලමය බුද්ධිමය දේපොල සොරකම් කිරීම්වලට එරෙහිව සටන් කිරීම සඳහා නීතිවේදීන්ට සහ හිමිකම් දරන්නන්ට නව නීතිමය මෙවලම් සම්පාදනය කෙරෙන මනා නීති පද්ධතියක් සම්මත කර ගැනීමට” ශපථ වෙමිනි.

ක්ෂනික ප‍්‍රතිඵලය කුමක් වුවද, ඇමරිකානු පාලක පන්තිය විසින් විවෘත සන්නිවේදනය සහ අන්තර්ජාල තොරතුරු පැතිරයාම බලගතු තර්ජනයක් ලෙස දකින අතර අන්තර්ජාලය තුල වඩාත් බලගතු පාලනයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය තල්ලුව ලබාදීම සඳහා එය ගැඹුරින්ම කැපවී ඇත.

වෙබ් අඩවි දියත් කිරීමට අවශ්‍ය පහසුකම් සපයන (web-hosting) සමාගම්වලට, මූල්‍යමය ගනුදෙනු සම්පාදකයින්ට සහ බුද්ධිමය දේපොල අයිතිය පිලිබඳ නීති උල්ලංඝනය කෙරෙන බවට සැක සහිත අයට සේවා සැපයුම නතර කිරීමට සැදී පැහැදී සිටින අනෙක් සංගතවලට නීතිමය රැකවරනය ප‍්‍රතිපාදනය කිරීම පනතේ වඩාත්ම වැදගත් කොටස් අතර පවතී.

මෙය, එහි සාරයෙන්ම, විකිලීක්ස් විසින් එක්සත් ජනපදයේ සාහසිකත්වය ලේඛන ගත කෙරුනු රහස් ලේඛනයන් නිකුත් කිරීමෙන් පසු එම සංවිධානයට එරෙහිව පසුගිය වසරේ දියත් කල උද්ඝෝෂනයේ නීතිප‍්‍රකාරවීමක් නියෝජනය කෙරේ. ඔබාමා පරිපාලනයේ පීඩනය යටතේ ඇමේසන් සහ පේපෑල් වෙබ් අඩවි ස්වෙච්ඡාවෙන්ම මෙම රහස් හෙලි කිරීමේ වෙබ් අඩවියට සේවා සැපයුම වසා දැමූහ. මෙය, විකිලීක්ස්හි නිර්මාපකයා වන ජූලියන් අසාන්ජ්ට එරෙහි අධිකරනමය කි‍්‍රයා දාමයන් සහ බ‍්‍රැඩ්ලි මැනින්ග්ට එරෙහි යුද අධිකරන කි‍්‍රයා දාමයන් ද අන්තර්ගත කොට ගත් ආන්ඩුවේ ආන්තික උද්ඝෝෂනයේ කොටසකි.

සොපා සහ පිපා කෙරෙහි බොහෝ තාක්ෂනික සමාගම්වල මූලධර්ම විරහිත ස්වභාවය ඉස්මතු කරමින් ඇමේසන් සහ පේපෑල් සමාගම් දෙකම පනතේ වෙනස්කම් ඇති කරන ලෙස ඉල්ලා අත්සන් තැබූහ.

මහජන විරෝධතා ඇවිලවීම සඳහා අන්තර්ජාලය යොදා ගැනීම වැලැක්වීම එල්ල කර ගනිමින් රාජ්‍යයන් විසින් කි‍්‍රයාවට දැමූ විවිධ පියවරයන් පසු ගිය වසරේ දැක ගත හැකි විය. ජනවාරියේ දී, එක්සත් ජනපදයේ පිටු බලය ලත් ඊජිප්තුවේ හොස්නි මුබාරක් තන්ත‍්‍රය එහි ඇද වැටීමට කෙටි කලකට පෙර, අන්තර්ජාලයට පිවිසීමේ සියලු මාර්ග වසා දමමින් පෙර නොවූ විරූ පියවරක් තැබීය. එම මාසයේ ම, ටියුනීසියානු ආන්ඩුව ෆේස්බුක් සහ වෙනත් සමාජ ජාලමය වෙබ් අඩවි අවහිර කිරීමට පියවර ගත්තේය. එක්සත් ජනපදය තමාගේ පැත්තෙන් මහජනතාවගේ චලනය සම්බන්ධයෙන් ඔත්තු බැලීම සඳහා ආක‍්‍ර‍්‍රමනශීලී ලෙස අන්තර්ජාලය යොදා ගනු ලැබීය.

අන්තර්ජාල නිදහසට එල්ල වී ඇති තර්ජනය, සමාජ විරෝධතා පුපුරා යාම සම්බන්ධයෙන් ඇමරිකානු පාලක පන්තියේ ප‍්‍රතිචාරය වන, ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට එල්ල කෙරෙන පුලුල් ප‍්‍රහාරයේ කොටසකි. පුරවැසි වන හෝ නොවන ඕනෑම අයෙක් චෝදනා එල්ල කිරීමකින් හෝ නඩු ඇසීමකින් තොරව දින නියමයක් නොමැතිව මිලිටරිය භාරයේ රඳවා ගැනීමේ නිල අවසරය ලබා දුන් ජාතික ආරක්ෂක අධිකාරිත්ව පනතට (NDAA) පසුගිය වසරේ ඔබාමා පරිපාලනය අත්සන් තැබීමෙන් මෙය කුලු ගැන්වින.

බදාදා දිනයේ විකිපීඩියා සහ අනෙකුත් වෙබ් අඩවි වසා දැමීම හේතුවෙන් පනතට විරුද්ධ වන ලෙස ඔවුනගේ කොන්ග‍්‍රස් නියෝජිතයනට ලිපි යැවීමට ඒවායේ පාඨකයන් දිරි ගැන්වින. කෙසේ නමුදු, අන්තර්ජාල නිදහස, අනෙකුත් සියලු ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් මෙන්, ප‍්‍රධාන පක්ෂ දෙකට හෝ ඒවා පාලනය කරන සංගතවලට හෝ ආයාචනය කිරීමෙන් සුරක්ෂිත කරගත නොහැක. එය රඳා පවත්නේ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම මතය.

එක්සත් ජනපද ආන්ඩුව සමග සමීපව වැඩ කරන සංගත කුඩා සංඛ්‍යාවක වැඩෙන සහ අධිකාරවත් භූමිකාව විකිලීක්ස්ට එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ගෙන් සහ සොපා සහ පිපා මත කෙරෙන විවාදයන්ගෙන් අවධාරනය විය. මෙම කරුන අන්තර්ජාල නිදහස කෙරෙහි දැවැන්ත අවදානමක් මතු කරයි. අන්තර්ජාලයේ තීරනාත්මක සමාජ අධස්ථ ව්‍යුහයක් ප‍්‍රධාන සංගත කීපයක් අතේ පැවතීමට ඉඩ දිය නොහැක. මෙම සම්පත් පුද්ගලික ලාභය සඳහා නොවන සමාජ අවශ්‍යතා සඳහා ධාවනය වන ප‍්‍රජාතන්ත‍්‍රීය පාලනයක් සහ පොදු අයිතියක් යටතට ගෙන ආ යුතුය.

ආන්ද්‍රේ ඩේමන්

Share this article: