ලිබියාව තුල එක්සත් ජනපද-නේටෝ යුද අපරාධ

US-NATO war crimes in Libya

23 January 2012

කර්නල් මුවම්මර් ගඩාෆි බලයෙන් පහකල පසුගිය වසරේ යුද්ධය අවධියේ, එක්සත් ජනපදය, නේටෝව හා ඔවුන්ගේ බැල "කැරලි” හමුදා විසින් ලිබියාව තුල සිදුකරන ලද යුද අපරාධ පිලිබඳ සවිස්තර සාක්ෂි, පසුගිය සතියේ නිකුත් කරන ලද මැද පෙරදිග මානව අයිතීන් සුරකින සංවිධාන වාර්තාවකින් ඉදිරිපත් කර තිබේ. "ලිබියාවට ගිය සිවිල් සමාජයේ තොරතුරු රැස් කරන ස්වාධීන දූත කන්ඩායමක වාර්තාව,” මානව අයිතීන් පිලිබඳ පලස්තීන මධ්‍යස්ථානය හා ජාත්‍යන්තර නීති සහයෝගිතා සාමුහිකය සමග එක්ව මානව අයිතීන් පිලිබඳ අරාබි සංවිධානය විසින් පසුගිය නොවැම්බරයේදී ගෙනගිය පරීක්ෂනයක තොරතුරු ඉදිරිපත් කරයි.

යුද අපරාධ පිලිබඳව සාක්ෂි දරන්නවුන් මෙන්ම ට්‍රිපොලි, සාවියා, සිබ්‍රාටා, කොම්ස්, ස්ලිට්න්, මිස්රාටා, ටවර්ගා හා සර්ටි හි ලිබියානු නිලධාරීන් හා සාක්ෂිකරුවන් ද සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡා පදනම් කරගෙන වාර්තාව, බොහෝ මිනිසුන්ට මරන හා තුවාල සිදුකරමින් නේටෝව සිවිල් මධ්‍යස්ථාන ඉලක්ක කරගැනීම පිලිබඳ සාක්ෂි මුල්කරගෙන පරීක්ෂනයක් සඳහා කැඳවුම් කරයි. නේටෝවේ බෝම්බ හා මිසයිල මගින් ඉලක්ක කල සිවිල් මධ්‍යස්ථාන අතර පාසැල්, ආන්ඩුවේ ගොඩනැඟිලි, අඩුම තරමින් එක් ආහාර සැපයුම් මධ්‍යස්ථානයක් හා පෞද්ගලික නිවාස ද විය.

නේටෝවේ පිටුබලය ලත් ජාතික සංක්‍රමනීය කමිටුවේ (එන්ටීසී) "කැරලි” හමුදා, ගඩාෆි හිතවාදීන් බවට සැක කල අය මරාදැමීම, වධ හිංසා පැමිනවීම, පලවා හැරීම හා ඔවුන්ට එරෙහිව සිදු කල නොපනත්කම් පිලිබඳව ද වාර්තාව සාක්ෂි ගෙනහැර දක්වා ඇත. ටීඑන්සීයට හා එහි සංක්‍රමන ආන්ඩුවට පක්ෂපාතී හමුදා, බොහෝකොටම කලු පැහැති තවගාහි පදිංචිකරුවන් බලහත්කාරයෙන් පලවා හැරීම හා උප සහරානු සංක්‍රමනික කම්කරුවන් දඩයම් කිරීම ගැන එය විස්තර සපයයි.

චෝදනා හෝ නඩු නොමැතිව රඳවා සිටි සිරකරුවන්ට එකපිට දරුනු ලෙස පහර දීම, ගඩාෆිට පක්ෂපාතී සටන්කරුවන් තොග පිටින් මරා දැමීම හා "හිටපු සටන්කරුවන්ගේ බෙල්ල කපා මරාදැමීම ද ඇතුලු පලිගැනීමේ චේතනාවෙන් සිදු කල ඉවක් බවක් නැති ඝාතන” ගැන සාක්ෂි සහිත තොරතුරු පරීක්ෂකයින් විසින් ඉදිරිපත් කර තිබේ.

එක්සත් ජනපදය, ප්‍රන්සය, බ්‍රිතාන්‍යය හා ඔවුන්ගේ නේටෝ අපරාධකරුවන් ගෙන ගිය යටත් විජිත වර්ගයේ යුද්ධයක් සඳහා කඩතුරාව ලෙස යොදාගත්, මානව අයිතීන්හි හා ප්‍රජාතන්ත්‍රවාදයේ නිරුවත වාර්තාවෙන් හෙලිදරව් කරයි. මුවම්මර් ගඩාෆි විසින් කරනලද හිංසනකාරී කටයුතු වලින් සිවිල් ජනතාව ආරක්ෂා කිරීමට බව පවසමින් පසුගිය මාර්තුවේ දී ලිබියාවට ඉහල අහසේ "පියාසර තහනම් කලාපයක්” හා ආයුධ සැපයීමේ තහනමක් පනවන ලද 1973 දරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඬල යෝජනාව සැබවින්ම යොදාගනු ලැබුවේ, භූමියෙහි ක්‍රියාත්මකවූ "කැරලි” හමුදා හා සම්බන්ධීකරනය කල නිර්දය ගුවන් ප්‍රහාර එල්ල කිරීම පිනිස බව එය මනාව පැහැදිලි කරයි.

බෙන්ගාසි හා අනෙකුත් නගරවල ගඩාෆි විරෝධී උද්ඝෝෂන පැන නැගීමත් සමග ම, විපක්ෂ හමුදාවන්ට බටහිර රටවල මිලිටරි පුහුනුව මෙන්ම නේටෝ බලයන්ගෙන් හා අරාබි රටවලින් අවි ආයුධ ලැබෙන්ට පටන්ගත් බව වාර්තාව සඳහන් කරයි. ඊජිප්තුවේ මුබාරක් ඇදවැටීමෙන් පසුව පසුගිය පෙබරවාරියේ දී ගඩාෆිට එරෙහිව පැන නැඟි මහජන විරෝධය, අධිරාජ්‍යවාදයට ගැති සිවිල් යුද්ධයක් දියත් කිරීම සඳහා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ප්‍රන්සය හා ලිබියාව තුල ඔවුන්ගේ ඒජන්තයින් විසින් වහාම තම අත්අඩංගුවට ගත්තේය.

වාර්තාව සඳහන් කරන පරිදි, "දූත කන්ඩායමට ලබාගත හැකිවූ ඇසින් දුටු සාක්ෂි හා වෙනත් තොරතුරුවලින්, නිදසුනක් ලෙස ගඩාෆි හමුදා යටතේ පැවති නගර හා නාගරිකයන්ට පහරදීමේ දී, ආක්‍රමනික යයි ගුනාංගී කරනය කල හැකි විපක්ෂ හමුදා ක්‍රියාකාරකම්වල දී නේටෝවේ සහභාගිත්වය දැකිය හැකිය. එසේම සමහර ඉලක්ක එනම් ප්‍රාදේශීය ආහාර ගබඩාවක් වැනි දෙයක් තෝරාගැනීමේ දී, සිවිල් වැසියන්ගේ ආරක්ෂාව පිලිබඳ කාරනයට අදාලව එවන් ප්‍රහාර සැලකිල්ලට ගත් කල බැලූ බැල්මටම ප්‍රශ්න මතු කරයි.”

වාර්තාවෙන් කෙරෙන්නේ, රටේ තෙල් සම්පත් ඇමරිකානු හා බ්‍රිතාන්‍ය සමාගම් වෙත පවරන ලද හා එම බලවතුන් දෙදෙනාට ලිබියානු භූමිය මත දැවැන්ත මිලිටරි කඳවුරු පවත්වාගෙන යාමට ඉඩ සැලසූ ඉඩ්රිස් යන එම රටේ රූකඩ රජු යටතේ, වසර 43කට පෙර පැවති තත්වයන් කරා ඔර්ලෝසුව ආපසු කැරකවීමේ අරමුන සහිත මෘග ප්‍රහාරයක පින්තූරය, හැකිතාක් සුමටව ඉදිරිපත් කිරීම පමනි. සර්ටි නගරය සමතලා කිරීම හා ඉබාගාතේ ගඩාෆි මරා දැමීමෙන් කුලුගැන්වුන මහා පරිමාන විනාශය හා ඝාතන, එක්සත් ජාතීන්ගේ අනුමැතිය ලත් "මානව හිමිකම්” හා "සිවිල් වැසියන්ගේ ආරක්ෂාව” සඳහා වූ යුද්ධයක්ය යන ප්‍රකාශ අභූත වනවා පමනක් නොව, අමූලික කුපාඩිකමක් බව ද එමඟින් හෙලි කරයි.

ලිබියාවට කඩා පැනීම වනාහි, ලිබියානු දේශසීමාවේ පිහිටි දිගු ක‍ාලීන බටහිර ගැති රටවල් දෙකක් වන ටියුනීසියා හා ඊජිප්තු පාලන තන්ත්‍ර පෙරලා දැමුනු මහජන විප්ලවවාදී නැඟිටීම් කෙරෙහි එක්සත් ජනපදයේ හා යුරෝපීය අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රතිචාරය විය. මෙම අධිරාජ්‍යවාදී යුද්ධයේ අරමුන, රටේ තෙල් සම්පත් මත සම්පූර්න පාලනය පිහිටුවීමත් උතුරු අප්‍රිකාව හා මැද පෙරදිග සිසාරා වැඩී ගිය කම්කරු පන්ති අරගල පීලිපන්නවා මැඩපැවැත්වීමත්ය. එසේම, ගඩාෆි තන්ත්‍රය සමග සමීප ආර්ථික සම්බන්ධතා ගොඩනගාගෙන සිටි චීනයට හා රුසියාවට පහරක් එල්ල කිරීම ය.

යුද්ධය එම රට විනාශ කලේය. ගඩාෆි තන්ත්‍රයේ හිටපු නිලධාරීන්, අල් කයිඩාව සමග පවා සමහර බැඳීම් ඇති කොටස් ද ඇතුලු ඉස්ලාම්වාදීන් හා බටහිර ඔත්තුසේවා සමග සම්බන්ධ කොටස්වලින් සැදුම්ලත් වැනෙන සභාගයක් වන එන්ටීසීය ම ගනන් බලා ඇති පරිදි, යුද්ධයෙන් ජීවිත 50,000ක් විනාශ කල අතර තවත් 50,000කට තුවාල සිදු කලේය. එන්ටීසීයේ කොටස් අතර වර්ධනය වන අභ්‍යන්තර ගැටුම්, ප්‍රතිවාදී හා ප්‍රදේශීයව පදනම් වූ කල්ලි අතර පූර්න පරිමානයේ සිවිල් යුද්ධයක් සඳහා දොර විවර කරයි.

එලඹෙමින් තිබෙන සිවිල් යුද්ධයක් පිලිබඳ ටීඑන්සී සභාපති මුස්ටෆා අල් ජලීල්ගේ අනතුරු ඇඟවීම් මධ්‍යයේ, බෙන්ගාසිහි ටීඑන්සී මූලස්ථානයට කඩා වැදුනු පිරිස්, සංක්‍රමන ආන්ඩුව ඉල්ලා අස්විය යුතු බවට බලකර සිටියේ යන්තම් පසුගිය සතියේ ය. ඒ අනුව ටීඑන්සී නියෝජ්‍ය සභාපති අබ්දෙල් හෆීස් ගෝගා ඉල්ලා අස් විය.

එක්සත් ජනපද-නේටෝ යුද අපරාධ පිලිබඳ වාර්තාව මානව හිමිකම් පිලිබඳ වොෂින්ටනයේ හා නේටෝවේ කඩතුරාව අනුව තාලය අල්ලමින්, විවෘතව හෝ වක්‍රව ලිබියානු යුද්ධයට සහාය පුදකල "වාම” පක්ෂ, බුද්ධිමතුන් හා ශාස්ත්‍රාලිකයින්ගේ ද්‍රෝහිත්වය පිලිබඳව ද චෝදනා පත්‍රයකි. සමාජ ප්‍රජාතන්ත්‍ර, හරිත හා ජර්මානු වාම පක්ෂයේ හිටපු ස්ටැලින්වාදීන්ගේ පටන් ප්‍රන්සයේ නව ධනේශ්වර විරෝධී පක්ෂය හා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය වැනි ව්‍යාජ රැඩිකලුන් දක්වා වූ මෙම බලවේග අධිරාජ්‍යවාදී කඳවුරට තල්ලුවී ඇති ආකාරය ද මෙයින් සලකුනු කෙරෙයි.

බැරී ග්‍රේ

Share this article: