වෘත්තීය සමිති සහ කූපර් ටයර් හා කැටපිලර් ලොකවුට් කිරීම්

The unions and the lockouts at Cooper Tire and Caterpillar

24 January 2012

එක්සත් ජනපදයේ ඔහියෝ ප‍්‍රාන්තයේ ෆින්ලේහි කූපර් ටයර් කම්කරුවන් සහ කැනඩාවේ ඔන්ටාරියෝ ප‍්‍රාන්තයේ ලන්ඩන්හි කැටපිලර් සමාගමේ ඉලෙක්ට්‍රො-මෝටිව් ඩීසල් කම්හලේ කම්කරුවන් ලොකවුට් කිරීම පිලිවෙලින් නව වන හා සිවු වන සතිවලට ලඟා වෙද්දී, එම කම්කරුවන් අතර කි‍්‍රයාත්මක වන වෘත්තීය සමිති මෙම අරගල හුදකලා කොට ඒවායේ පරාජය සහතික කිරීමට හිතාමතාම වැඩ කරමින් සිටිති.

එක්සත් ජනපදයේ දී, එක්සත් වානේ කම්කරු සමිතිය (යූඑස්ඩබ්ලිව්), සති අන්තයේ අර්කන්සාස් ප‍්‍රාන්තයේ ටෙක්ෂාර්කානාහි කූපර් ටයර් කම්හලේ කම්කරුවන් 1,500ක් ආවරනය කරන වසර හතරක තාවකාලික ගිවිසුමකට එලඹුනේ ය. සමාගමේ ප‍්‍රශංසාවට ලක් වූ මෙම පියවරේ එල්ලය වන්නේ, කූපර්හි ප‍්‍රධාන එක්සත් ජනපද කම්හල් දෙකේ කම්කරුවන්ගේ මොන යම් හෝ ඒකාබද්ධ අරගලයක් වැලැක්වීමයි.

යූඑස්ඩබ්ලිව්හි සහයෝගය ඇතිව ෆින්ලේ කම්කරුවන් තලාදැමීමේ සිය හැකියාව ගැන විශ්වාස සහගතව සිටින, කූපර්, තමන් ඔහියෝ කම්හලෙන් යන්ත‍්‍ර සූත‍්‍ර ඉවත් කරගැනීම අරඹන බව නිවේදනය කලේය. එය කම්හල මුලුමනින්ම වසාදැමීම දෙසට ගැනෙන ආරම්භක පියවරකි.

සමාගම ඉල්ලා සිටි දැවැන්ත සහන ඔවුන් ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසුව, නොවැම්බර් 28 දා 1,050ක් වූ ෆින්ලේ කම්කරුවෝ ලොකවුට් කෙරුනි. සමිති විසින් ඔවුන් වර්ජන දීමනාවකින් පවා තොරව, අතහැර දමා ඇත්තේ, සොච්චම් ආහාර මුද්දර සලාක මත යැපීමට ඔවුන්ට බල කරමිනි.

අර්කන්සාස්හි යූඑස්ඩබ්ලිව් ශාඛාවේ සභාපති ඩේවිඩ් බූන්, කූපර් සමාගමට ඉමහත් ලෙස ප‍්‍රශංසා කරමින්, සාකච්ඡා "අතිශයින්ම වෘත්තීය ආකාරයකින් සිදු කෙරුනු" බව ද ගිවිසුම "ප‍්‍රජාවට ආඩම්බර විය හැකි" එකක් බව ද ප‍්‍රකාශ කලේය. ගිවිසුමේ විස්තර හෙලි කොට නැති අතර සමිති බලාපොරොත්තු වන්නේ බ‍්‍රහස්පතින්දා පැවැත්වෙන ඡන්ද විමසීමක දී එය කම්කරුවන් මත බලාත්කාරයෙන් පැටවීමටයි. එහෙත් ෆින්ලේ කම්කරුවන් තව දුරටත් හුදකලා කරන මොන යම් හෝ ගිවිසුමක් ටෙක්ෂාර්කානා කම්හලේ කම්කරුවන්ගේ වැටුප් හා සේවා කොන්දේසි විනාශ කිරීම සඳහා මාවත සැකසීමට පමනක් හේතු වනු ඇත.

ඔන්ටාරියෝ ප‍්‍රාන්තයේ ලන්ඩන්හි දී, කැනේඩියානු මෝටර් රථ කම්කරු සමිතිය (සීඒඩබ්ලිව්) සති අන්තයේ රැලියක් සංවිධානය කල අතර එය සේවය කලේ කැටපිලර් සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන ඉලෙක්ට්‍රො-මෝටිව් කම්කරුවන්ගේ වැටුප් සියයට 50කට වැඩි ප‍්‍රමානයකින් කප්පාදු කිරීමට ඉදිරිපත් කර ඇති ඉල්ලීමට එරෙහිව මොන යම් හෝ බැරෑරුම් අරගලයකට සීඒඩබ්ලිව්හි විරුද්ධත්වය ප‍්‍රදර්ශනය කිරීමට පමනි.

ලොකවුට් කිරීමට ලක්ව සිටින කැනේඩියානු කම්කරුවන්ට ලැබෙන පුලුල් මහජන සහයෝගය ද සටන් කිරීමට එම කම්කරුවන් තුල පවත්නා අධිෂ්ඨානය ද, කොන්සර්වෙට්ව් අගමැති ස්ටීවන් හාර්පර් ඇතුලු, කම්කරු පන්තිය මත එල්ල කරන ප‍්‍රහාර අධීක්ෂනය කරන, ආන්ඩුවේ නිලධාරින්ට සීඒඩබ්ලිව් යොමු කරන බංකොලොත් ආයාචනාවන්ට තියුනු ලෙස ප‍්‍රතිකූලව සිටී. සහන පිලිබඳව සාකච්ඡා කරනු පිනිස "කේවල් මේසයට යලි පැමිනීමට" තමන් කැමැත්තෙන් සිටින බව සීඒඩබ්ලිව් නිලධරයන් පැහැදිලි කර තිබේ.

යූඑස්ඩබ්ලිව් හා එක්සත් මෝටර් කම්කරු සමිතිය විසින් ප‍්‍රචාරනය කරනු ලබන ඇමරිකානු ජාතිකවාදයට සමාන්තරව, සීඒඩබ්ලිව් නිලධරයෝ කැනේඩියානු ධජය පොරවාගෙන "පලමුව කැනේඩියානු රැකියා" යනුවෙන් සඳහන් පුවරු බෙදා හැරියහ. එහි එල්ලය වන්නේ කැනඩාවේ ආන්ඩුවට හා සංගත ප‍්‍රභූවට කම්කරුවන් යටත් කිරීම සහ දේශ සීමාවෙන් ඔබ්බෙහි සිටින කම්කරුවන් සමග මොන යම් හෝ ඒකාබද්ධ අරගලයක් වැලැක්වීමයි.

යූඑස්ඩබ්ලිව් හා සීඒඩබ්ලිව් සමිතිවල කි‍්‍රයා විශ්වීය කි‍්‍රයාදාමයක ප‍්‍රකාශනයෝ ය. එක්සත් ජනපදයේ, කැනඩාවේ හා ජාත්‍යන්තරව, නිල වෘත්තීය සමිති කම්කරු පන්තියේ අවශ්‍යතා ආරක්ෂා කරන සංවිධාන ලෙස කි‍්‍රයාත්මක වීම බොහෝ කලක් තිස්සේ නතර කොට තිබේ.

ගැඹුරු වන ආර්ථික අර්බුදයක හා කම්කරු පන්තියට එරෙහි දැවැන්ත සංගත ප‍්‍රහාරයක කොන්දේසි යටතේ, සමිති, වැටුප් කප්පාදුවලට එරෙහිව වර්ජන කැඳවීමේ අතිමූලික පියවරක් ගැනීම පවා ප‍්‍රතික්ෂේප කරමින්, හිතාමතාම, හාම්පුතුන්ට මූලිකත්වය අතහැර දමා ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස, සමාගම් වඩ වඩා ලොකවුට් කි‍්‍රයාවට දැමීම මගින් කම්කරුවන්ගේ ප‍්‍රතිරෝධයට ප‍්‍රතිකි‍්‍රයා දක්වමින් සිටිති.

ෆින්ලේ හා ලන්ඩන් කම්හල්වලට අමතරව, කැනඩාවේ ක්විබෙක් ප‍්‍රාන්තයේ රියෝ ටින්ටෝ කම්කරුවන්ට ද එක්සත් ජනපදයේ මිනසෝටා, උතුරු ඩැකෝටා හා අයිඕවා ප‍්‍රාන්තවල ඇමරිකන් කි‍්‍රස්ටල් සීනි කම්කරුවන්ට ද එරෙහිව ලොකවුට් කි‍්‍රයාත්මක වෙමින් පවතී. මෙම ප‍්‍රපංචය පිලිබඳව අදහස් දක්වමින්, සඳුදා නිව් යෝර්ක් ටයිම්ස් හි ලිපියක් මෙසේ සටහන් කලේය: "වර්ජන සංඛ්‍යාව මීට දශක දෙකකට පෙර පැවති වාර්ෂික මට්ටමෙන් යන්තම් හයෙන් එකකට පහල බැස තිබේ."

ටයිම්ස් මෙම අත්‍යසමාන කාරනාවට හේතුව ලෙස දක්වන්නේ සමිති නායකත්වයේ ද්‍රෝහිත්වය නොව, සමිති සාමාජිකත්වය පහල බැසීමයි (එය සම්බන්ධයෙන් එම ලිපිය කිසිදු පැහැදිලි කිරීමක් කරන්නේ ද නැත). "තමන් වර්ජනය කල හොත් තම වැටුප ද සමහර විට තමන්ව නිත්‍ය වසයෙන්ම විස්ථාපනය කිරීමට අලුතෙන් කම්කරුවන් බඳවා ගැනීම හමුවේ තම රැකියා ද අහිමි වනු ඇතැයි බොහෝ කම්කරුවන්ට බියක් පවතී” යයි තිර ලෙස පැවසීම දක්වා එම ලිපිය ගමන් කරයි. එනම්, යථා වසයෙන් ගත් කල, වර්ජන කි‍්‍රයා මුලුමනින්ම පාහේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් කම්කරුවන්ට ම බැනවැදීමයි.

කම්කරුවන් අතර සටන් කිරීමට පවත්නා කැමැත්තේ කිසිදු අඩුවක් නැත. වර්ජන පහල බැසීමට හේතු වී ඇති මූලික සාධකය නම් වෘත්තීය සමිති සංගත කලමනාකරනයට ඒකාග‍්‍රවීමයි. සමිති, සමාගම්වල ලාභදායිත්වය ඉහල දැමීමට සහ කම්කරුවන්ගේ වැටුප් හා සේවා කොන්දේසි කප්පාදු කිරීමට සෘජුවම බැඳුනු ආර්ථික හා ආයතනික අවශ්‍යතා වර්ධනය කරගෙන තිබේ. සමාගම් වඩා "තරඟකාරී" කරනු පිනිස අඩු වැටුප් හා ප‍්‍රතිලාභ ද වඩා රුදුරු සේවා කොන්දේසි ද භාර ගැනීමට ස්වකීය සාමාජිකයන්ට බල කල යුතු බවට යූඑස්ඩබ්ලිව් හා සීඒඩබ්ලිව් යන දෙගොල්ලම එකඟ ය.

සමිතිවල කි‍්‍රයාකලාපය ධනපති ලාභ ගරන පද්ධතියට ඔවුන්ගේ පරිපූර්න සහයෝගය සමග බැඳී පවතී. මෙය වනාහි හෆින්ටන් පෝස්ට්හි මෑත දී පල වූ තීරු ලිපියක් තුල, යූඑස්ඩබ්ලිව් සභාපති ලියෝ ජෙරාඩ් විසින් අවධාරනය කරනු ලැබූ කාරනාවකි. කූපර් ටයර්හි නිලධාරින් ද ඇතුලු, සංගත ප‍්‍රධාන විධායක නිලධාරින්ගේ කෑදරකම පිලිබඳ හිස් වාගාලාපවලින් යුක්ත ඡේද කිහිපයකට පසුව, ජෙරාඩ් මෙසේ අවධාරනය කිරීමට හදිසි විය: "මෙය නිදහස් ව්‍යවසාය හෝ ධනවාදය පිලිබඳ විවේචනයක් නොවේ."

2012 වසරේ දී ධනවාදී අර්බුදය ගැඹුරු වීම ලොව පුරා පන්ති ගැටුම්වල කිසිදු අඩුවක් නොකරනු ඇත. කෙසේවෙතත්, කම්කරු පන්තියේ විවිධ කොටස්වල අරගල සාර්ථක කල හැක්කේ, මෙම අරගල පොදු කි‍්‍රයාමාර්ගයක -- විවිධ සංගතවල හා විවිධ රටවල සීමාවන් ඉක්මවා යන කි‍්‍රයාමාර්ගයක -- පදනම මත ඒකාබද්ධ කරන තාක් දුරට පමනි.

එමෙන්ම, සිය රැකියාවන්ට වැටුප්වලට සහ සිය සියලු මූලික සමාජ අයිතීන්ට එරෙහි ප‍්‍රහාරයන්ට විරුද්ධව ආරක්ෂා වීමේ කම්කරු පන්තියේ ප‍්‍රයත්න, ධනපති හිමිකරුවන්ගේ හා සමපේක්ෂකයන්ගේ තුනී ප‍්‍රභූවක් ධනවත් කරලීමට සියලු සමාජ අවශ්‍යතා යටත් කිරීම මත පදනම් වූ, ලාභ ගරන ක‍්‍රමය සමග සෘජු ගැටුමකට කම්කරු පන්තිය තල්ලු කරයි.

කම්කරු පන්තියට පවතින එකම විකල්පය වන්නේ, ආර්ථික හා සමාජ ජීවිතය මත පවත්නා සංගත-මූල්‍ය ප‍්‍රභූවේ ග‍්‍රහනය බිඳිනු පිනිස සිය දැවැන්ත කාර්මික හා සමාජ ශක්තිය බලමුලූගැන්වීමයි. බැංකු සහ සංගත පුද්ගලික හිමිකරුවන් අතින් මුදාගෙන ඒවා ජනසතු කොට ප‍්‍රජාතාන්ති‍්‍රකව පාලනය වන පොදු ආයතන බවට පත් කල යුතු ය. මෙම අරගලය සඳහා පවත්නා වෘත්තීය සමිති වැදගම්මකට නැති වනවා පමනක් නොව ඒවා එයට මුලුමනින්ම හානිකරය.

කම්කරුවෝ මෙම කම්කරු හවුල් සමාගම්වලින් බිඳී වර්ජන, පෙලපාලි, කම්හල් වාඩිලාගැනීම් හා සාමුහිකව ප‍්‍රතිරෝධය දැක්වීමේ සෙසු කි‍්‍රයාවන් සංවිධානය කරනු පිනිස, කම්කරු බලය සඳහා සටන් වදින මහජන සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමට ද සම්බන්ධිත, සාමාන්‍ය කම්කරුවන්ගෙන් සමන්විත අව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නව අරගල සංවිධාන ගොඩනගා ගත යුතු ය.

ජෝශප් කිෂෝර්

Share this article: