තලවකැලේ වතු කම්කරුවෝ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ සසප උද්ඝෝෂනයට සහාය පල කරති

By Gaminee Karunatilaka, 9 January 2012

ශ‍්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය (සසප) දියත්කර ඇති උද්ඝෝෂනයේ කොටසක් ලෙස සසප සාමාජිකයන් කන්ඩායමක් ජනවාරි 01 දා තලවකැලේ හොලිරුඩ් වතුයායේ සංචාරය කලේය. එහි දී අපට හමු වූ කම්කරුවන් හා තරුනයෝ මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් එලෙස දහස් ගනනක් දේශපාලන සිරකරුවන් ලෙස රඳවා තබාගැනීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට පහරක් බව කියා සිටියහ. ඔවුන් නිදහස් කර ගැනීම සඳහා කරනු ලබන උද්ඝෝෂනයකට තමන් ඉතා උනන්දුවෙන් සහභාගී වන බව ද ඔවුහු තව දුරටත් පැවසූහ.

මිලිටරිය විසින් පවත්වාගෙන යනු ලබන සිර කඳවුරුවල මේ වන විට කිසිදු චෝදනාවක් නොමැතිව සිරගත කර ඇති දෙමල දේශපාලන සිරකරුවන් ප‍්‍රමානය 6,000ක් පමන වේ. ඔවුන්ගෙන් වැඩි බහුතරයක් දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි රාජපක්ෂ ආන්ඩුවේ යුද්ධයේ අවසන් අදිරයන් තුල දී ද එයින් ඉක්බිතිව ද "එල්ටීටීඊ සැකකරුවන්” ලෙස අත් අඩංගුවට ගැනුනු අයයි. දේශපාලන සිරකරුවන් මුදා ගැනීමේ සිය උද්ඝෝෂනයට සම්බන්ධිතව සසප ජනවාරි 08 දා තලවකැලේ නගරයේ පැවැත්වීමට නියමිත වූ ප‍්‍රසිද්ධ රැස්වීම සඳහා ගෙනගිය උද්ඝෝෂනයේ දී තලවාකැලේ වතු කම්කරුවන් හා තරුනයෝ සිය අදහස් දැක්වූහ.

තලවකැලේ නගරයට ආසන්න තලවකැලේ වත්තේ තලමුත්තු සුදාකර් සහ හොලිරුඩ් වත්තේ පී. චන්ද්‍රසේකරන් නැමති තරුනයන් දෙදෙනා මෙලෙස කිසිදු චෝදනාවක් නැතිව "එල්ටීටීඊ සැකකරුවන්” ලෙස 2010 ඔක්තෝබරයේ දී අත් අඩංගුවට ගෙන බදුල්ලේ සිර කඳවුරක රඳවා ඇත. එමෙන් ම නුවරඑලිය දිස්ත‍්‍රික්කයේ ම 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සුදාකර් ප‍්‍රදේශයේ ජනප‍්‍රිය තරුනයෙකි. ඔහුගේ මිතුරකු අප හා ප‍්‍රකාශ කලේ "කිසිම වරදක් කරලා නැති සුදාකර් අල්ලලා හිරකරලා. මේවා හරි අපරාධ. මෙයා කඳුරට ජනතා පෙරමුනේ (යූපීඑෆ්) නායකයකු වශයෙන් කටයුතු කලා.”

"ඒ පෙරමුනේ කිසිම අයෙක් මේ ගැන කතා කරලවත් නෑ. එච්චර විතරක් නොවෙයි. වෙනත් දේශපාලන සංවිධානවලින් හෝ පක්ෂවලින් මේ ගැන කිසිම සොයාබැලීමක් කරලා නෑ. ඒ වෙනුවෙන් කටයුතු කරන ඔබලාට අපි ඕනෑම සහයෝගයක් දෙනවා. ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය (ශ‍්‍රිලනිප), එක්සත් ජාතික පක්ෂය ( එජාප) මේ කවුරුවත් මේ ගැන මැදිහත්වීමක් කරලා නෑ. ඡුන්ද කාලෙට විතරක් ඒ අය අපි ගැන බලනවා කියනවා. දැන් කොහෙද කියලවත් දන්නෙ නෑ.

"සීඩබ්ලිව්සී වැනි වෘත්තීය සමිති කරන්නෙත් බොරු. අපට මොනව උනත් ඒ අයට ගානක් නෑ. ඉන්නවාද මැරිලද කියලවත් දන්නෙ නෑ. මේ වාගේ සෑම සමිතියක්ම මේ සම්බන්ධයෙන් නිහඬයි.”

රාජපක්ෂගේ ශී‍්‍රලනිප ඔහුගේ පාලක සභාගයේ ප‍්‍රධාන පක්ෂය ලෙස දේශපාලන සිරකරුවන් ලෙස දහස් සංඛ්‍යාත තරුනයන් රඳවා ගැනීම ඇතුලු කම්කරු පන්තියේ හා සෙසු පීඩිත ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි ප‍්‍රහාර කි‍්‍රයාවට දැමීමේ සෘජුව ම යෙදී සිටී. දෙමල කතා කරන වතු කම්කරුවන් අතර කි‍්‍රයාත්මක වන සීඩබ්ලිව්සී හා යූපීඑෆ්, ඒවායේ නායකයන් ඇමති ධුර දරමින්, ආන්ඩුවේ කොටස්කරුවන් ලෙස එම ප‍්‍රහාරයන්ට කෙලින්ම දායක වී තිබේ.

එජාප සහ ජවිපෙ රාජපක්ෂගේ වර්ගවාදී යුද්ධයට මුලුමනින්ම සහයෝගය දුන් අතර එමගින් දෙමල තරුනයන් අත් අඩංගුවට ගැනීමට පිටුබලය සැපයූහ. සුදාකර් යූපීඑෆ් තරුන සංවිධානයේ නායකයා විය. තමන්ගේ ම සංවිධානයේ ප‍්‍රමුඛ සාමාජිකයකුගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් වීම පවා අතහැර දැමීමට තරම් යූපීඑෆ් නායකත්වය රාජපක්ෂ ආන්ඩුව වර්ධනය කරන පොලිස්-රාජ්‍ය සැලසුම්වලට බැඳී ඇත.

estateසසප පති‍්‍රකාව කියවමින් සිටින තරුනියෝ

කම්කරු කාන්තාවක් වතු පාලකයන් කි‍්‍රයාවට දමා ඇති වැඩ වේගවත් කිරීම හමුවේ තමන් මුහුන දෙන කොන්දේසි විස්තර කලාය: "කලින් දිනකට නෙලිය යුතු තේ දලු ප‍්‍රමානය කිලෝග‍්‍රෑම් 18 වුනත් දැන් ඒක කිලෝ 20ක් කරලා. දවල් කෑමට ගෙදර එන්න තිබුනු අවස්ථාවත් දැන් නැතිකරලා.” අප දේශපාලන සිරකරුවන් ගැන ප‍්‍රශ්න කල විට ඇය ප‍්‍රකාශ කලේ "ඒක හරි අපරාධයක්, අහිංසක අය තමා හිර කරගෙන ඉන්නේ, කිසිම දේශපාලන පක්ෂයක් මේ ගැන සොයා බලන්නෙ නෑ. සීඩබ්ලිව්සී එකේ අය කොහොමටවත් සොයන්නෙ නෑ. අපේ ජීවිතවලට කිසිම ආරක්ෂාවක් නෑ කියලා වෙලාවකට හිතෙනවා. අපිවත් කොයි වෙලාවෙ අරන් යයිද දන්නෙ නෑ.”

අත් අඩංගුවේ සිටින සුදාකර් පිලිබඳව ඇය මෙසේ පැවසුවාය: "එයා හැමෝටම උදව් කරපු කෙනෙක්. ඉහල කොත්මලේ ව්‍යාපෘතියට විරුද්ධ උද්ඝෝෂනයේ මූලිකත්වය ගත් අයෙක්. එවැනි අයකු හිර කිරීමෙන් අපට ගොඩාක් පාඩු සිදුවුනා. ඉහල කොත්මලේ විදුලි බලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස හා ඉඩම් අහිමි වන ජනයාගේ උද්ඝෝෂන සංවිධානය කිරීම වැනි ආන්ඩුවේ පිලිවෙත්වලට විරුද්ධව කටයුතු කිරීම ඔහුව අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට හේතු වන්ට ඇත.”

estateමෙම කම්කරු කාන්තාව අබලන්වූ තම නිවස ඉදිරිපිට

හොලිරුඩ් වත්තේ 45 හැවිරිදි කම්කරු කාන්තාවක් ද අප හා කතා කලාය. වැඩුනු දරුවන් සිවු දෙනෙකුත් සමග තනි කාමරයකින් පමනක් සමන්විත ලැයිමේ තදබදව ජීවත් වීමට ඇයගේ පවුලට සිදුව ඇත. වතුකරය තුල හමුදා කඳවුරු ඉදිකිරීම ගැන ඇය අදහස් දැක්වූවා ය: "එහා පැත්තෙ ආමි කෑම්ප් එකක් දාලා. ඉතින් අපේ ගෑනු ලමයින් එතනින් යන්නේ, එන්නේ කොහොමද? ඒ අයට ඕනි දෙයක් කරන්න පුලුවන්. අපි මොකවත් කීවොත් අපට ගහලා අර ගඟට දායි. ඒ අයගෙ ආන්ඩුවනේ. වැස්ස කාලෙට වහලෙන් වතුර ගේ ඇතුලට වැටෙනවා. තහඩු දෙන්නේ නෑ. බොරුවට දෙනවා කියනවා. මේ ලයිමට වතුර බොන්න තියෙන්නෙ එක ටැංකියක්.” තමන් මුහුන දෙන රුදුරු කොන්දේසිවලට එරෙහිව ද වැඩි වැටුප් ඇතුලු සෙසු අයිතීන් වෙනුවෙන් ද වැඩිය හැකි වතු කම්කරු අරගලයන් මැඩීමේ එල්ලය ඇතිව ආන්ඩුව මෙලෙස වතුකරය තුල හමුදා කඳවුරු ඉදිකරයි.

පනස් අට හැවිරිදි දෙදරු මවක් වන තවත් කම්කරු කාන්තාවක් අප සමග මෙසේ කියා සිටියා ය. ”අපට තියෙන ලොකු ප‍්‍රශ්නයක් තමා වැසි දින වල මේ ගඟ පිටාර ගලනවා. අපේ ලයිම අඩි 4ක් පමන වැහෙනවා. එතකොට අපි හරි බයෙන් ඉන්නේ. ඡන්දෙ කාලෙට එන අය පොරොන්දු වෙනවා ඒවා විසඳන්න. ආයෙ මේ පැත්තෙ එන්නෙ නෑ.”

මේ රුදුරු කොන්දේසි වතුයායේ සෑම පවුලකට ම එකසේ බලපා ඇත. 50 වියැති කම්කරු කාන්තාවක් මෙලෙස ප‍්‍රකාශ කලාය: "මේ ලයිමේ පාරවල් නෑ. වතුර අවුරුදු 14ක් ම නෑ. වෙන වෙන විදියට සපයා ගන්නේ. සීඩබ්ලිව්සී කාරයින් ඡන්දෙ කාලෙට එනවා. ඡන්දෙ අරන් යනවා. ආයෙ ඒ අය හම්බවෙන්නේ නෑ.” රෝහල් පහසුකම් ගැන විමසූ කල ඇය මෙසේ කියා සිටියාය: "ඉස්පිරිතාලයක් තියනවා. ඒත් බෙහෙත් සල්ලිවලට. රුපියල් 250ක් දීලා අපි බෙහෙත් ගන්නේ.”

හතලිස් පස් හැවිරිදි කම්කරු කාන්තාවක් අප සමග මෙසේ පැවසුවාය: ”අපට වැසිකිලි නෑ. හරිම ප‍්‍රශ්නයක්, හරියට ගේකුත් නෑ. යුද්ධය නැවතුනා කියලා අපට මොකද උන හොඳේ. අපි හිතුවා හොඳවෙයි කියලා. කිසිම බඩුවක් ලාබෙට නෑ. අහස උසට ගිහින්. රු. 10,000ක් අරන් පොලට ගියොත් රු. 10 මල්ලකට බඩු ටිකක් ගේන්න පුලුවන්. ඉතින් මොකක්ද වෙලා තියෙන හොඳේ.” දේශපාලන සිරකරුවන් ලෙස තරුනයන් රඳවා තබා ගැනීම ගැන ද ඇය අදහස් දැක්වීය. "අපේ අහිංසක මිනිස්සු කිසි වරදක් නැතිව වහලා තියනවා.”

වතු කම්කරු පවුල් මුහුන දෙන ඉහත විස්තර කෙරුනු ආකාරයේ කොන්දේසිවලට විරුද්ධව ඔවුන් අතර නැගෙන වෛරය ගැන වතු පාලකයන් ද රාජපක්ෂ ආන්ඩුව ද හොඳින් දනිති. "එල්ටීටීඊ සැකකරුවන්” ලෙස හංවඩු ගසා දෙමල විරෝධී වර්ගවාදය ද අවුස්සමින් වතු කම්කරුවන් හා තරුනයන්, විශේෂයෙන් ඔවුනතර සිටින සටන්කාමී කොටස්, අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම වතුකරයේ ඇවිලෙන අරගල මැඩලීම ආන්ඩුවේ සූදානමේ කොටසකි.

Share this article: