සමාජවාදී සමානතා පක්ෂයට අත නොතබනු!

යාපනයේ සසප සාමාජිකයින් ආරක්ෂා කරනු!

Hands off the SEP! Defend SEP members in Jaffna!

By the Socialist Equality Party (Sri Lanka) , 31 January 2012

සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සමාජවාදී සමානතා පක්ෂය (සසප) සංවිධානය කල ප්‍රසිද්ධ රැස්වීමට තහංචි පැනවීම, රාජපක්ෂ ආන්ඩුවේ ඉහලම මට්ටමෙන් ගත් තීන්දුවකි.

සියලු දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිහස් කරන ලෙස ඉල්ලා සමාජවාදී සමානතා පක්ෂය (සසප) ගෙන යන උද්ඝෝෂනයේ කොටසක් ලෙස, 29දා යාපනයේ පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් වලක්වන ලදී. සසපයට ශාලාව නොදෙන ලෙස, රැස්වීමට පෙර දිනයේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් වීරසිංහම් ශාලාවේ කලමනාකරනයට දැනුම් දී තිබුනි.

යාපනයේ දේශපාලන කටයුතුවල යෙදීමේ සිය මූලික ප්‍රජාතන්ත්‍ර අයිතියට එල්ල කල මෙම බරපතල පහර තරයේ හෙලා දකින සසප, සියලු ම වැඩකරන ජනතාවන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට තර්ජනයක්ව ඇති ආන්ඩුවේ මෙම දේශපාලන තහංචි හා මර්දනයට විරුද්ධ වන ලෙස කම්කරුවන්, තරුනයින් හා බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටියි.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් උසිගන්වන ලද මෙම තහනම ක්‍රියාත්මක වූයේ, සැලසුම් කෙරුනු රැස්වීමේ පෝස්ටර් අලවමින් සිටිය දී 26දා හමුදා භටයින් දෙදෙනෙක් රසේන්දිරන් සුදර්ශන් හා මුතුලිංගම් මුරුගානන්දන් යන සසප සාමාජිකයින්ගෙන් ප්‍රශ්න කිරීමේ සිද්ධියෙන් අනතුරුව ය. මිලිටරි බුද්ධි අංශය විසින් නීති විරෝධී ලෙස රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් පසුව මිලිටරියට සම්බන්ධ පුද්ගලයෙකු විසින් ඔවුන්ට ශාරීරිකව පහර දුන්නේය. (“ශ්‍රී ලංකා හමුදාව යාපනයේ සසප සාමාජිකයින්ට එරෙහිව ප්‍රචන්ඩ ක්‍රියා උසිගන්වයි” යන ජනවාරි 28 දින ලිපිය කියවන්න WSWS.org සිංහල වෙබ් අඩවිය)

සසප ජනවාරි 05දා, මුදල් ගෙවා කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ශාලාව වෙන් කරවා ගෙන තිබුනි. පවත්නා නීතියට අනුව ශාලාවක් තුල රැස්වීමක් පැවැත් වීමට, පොලිසියෙන් හෝ වෙනත් බලධාරියෙකුගෙන් අවසර ගැනීමක් අවශ්‍ය වන්නේ නැත. එහෙත් 28දා, ශාලාව පාලනය කරන දිස්ත්‍රික් සමුපකාර මන්ඩලයේ සභාපති ආර්. රාජරාම්, ආරක්ෂක අමාත්‍යාංශය රැස්වීම සඳහා ඉඩ නොදෙන ලෙස තමන්ට උපදෙස් දී ඇති බව සසප සාමාජිකයින්ට දැනුම් දුන්නේය. විරුද්ධ පක්ෂවලට හා “බෙදුම්වාදයට” සහාය දෙන කන්ඩායම්වලට ශාලාව කුලියට නොදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය හා උතුරු පලාත භාර ජනාධිපති කාර්ය සාධන බලකාය විසින් මන්ඩලයට නියෝග කර ඇති බව ද ඔහු වැඩි දුරටත් පැවසීය.

මිලිටරිය විසින් යාපනයේ සසප සාමාජිකයින්ගේ තොරතුරු රැස්කරන බවට පක්ෂය සාක්ෂි සොයාගෙන තිබෙන අතර, සසපට එරෙහි දඩයමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවට එය තවත් සලකුනකි. දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව ගෙනගිය ආන්ඩුවේ දිග් ගැස්සුනු වර්ගවාදී යුද්ධය අවධියේ, මිලිටරි ඔත්තු සේවා හා එයට අනුබද්ධව ක්‍රියාත්මක වූ පැරා මිලිටරි සන්නද්ධ කන්ඩායම් වෙත, සිය ගනන් මිනිසුන් පැහැරගෙන යාම හා අතුරුදහන් කිරීම පිලිබඳව චෝදනා එල්ල වී තිබේ. මෑත මාසවල දී මෙම ක්‍රියාවලිය උතුරු ප්‍රදේශයේ යලි පන ගන්වනු ලැබ ඇත.

මෙම වර්ධනයන් පෙන්නුම් කරන්නේ, සසප රැස්වීම කඩාකප්පල් කිරීමේ තීරනය ගෙන ඇත්තේ ආන්ඩුවේ ඉහලම තැන්වලින් බවයි. සාරාර්ථයෙන්ම උතුරු පලාත පවතින්නේ මිලිටරි පාලනයක් යටතේය. එහි ආන්ඩුකාරවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත් කරන ලද උතුරේ හිටපු හමුදා ආඥාපතිය. ආන්ඩුකාර වරයා හා උතුරේ වත්මන් ආඥාපති පලාතේ සෑම ප්‍රමුඛ “සිවිල් පරිපාලන” රැස්වීමකට ම සහභාගී වෙති.

පක්ෂය “බෙදුම්වාදයට” සහයෝගය දෙන බවට කෙරෙන ඕනෑම ඇඟවුමක් සසප විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි. දිවයිනේ උතුරු හා නැ‍ගෙනහිර ධනේශ්වර ඊලම් රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටි, පරාජය කරන ලද එල්ටීටීඊයේ හා අනෙකුත් කන්ඩායම්වල ඉදිරිදර්ශනයට එරෙහිව පක්ෂය එක දිගට උද්ඝෝෂනය කර තිබේ. අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු විසින් දශක ගනනාවක් තිස්සේ උත්සන්න කරන ලද දෙමල විරෝධී වෙනස්කම් කිරීම් හේතු කොට ගෙන, දෙමල බෙදුම්වාදය බිහිවූ බව වටහා ගනිමින් සසප, දෙමල සුලුතරයේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කල හැක්කේ, සමාජවාදය සඳහා කම්කරු පන්තිය විසින් කරන අරගලයක කොටසක් ලෙස පමනක් බව අවධාරනය කලේය.

දෙමල සුලුතරයට එරෙහි වාර්ගික වෙනස්කම් කිරීමට මෙන්ම, උතුර හා නැ‍ඟෙනහිර ප්‍රදේශවල 1983දී දියත් කල යුද්ධයට ද විරුද්ධ වීමේ දිගු වාර්තාවකට, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව ලෙස සසප ද එහි පෙර ගමන්කරු වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) ද හිමිකම් කියයි. සිංහල හා දෙමල කතාකරන කම්කරුවන් ඒකාබද්ධ කිරීමේ මෙම අරගලයහි කොටසක් ලෙස සසප, උතුරෙන් හා නැගෙනහිරෙන් ශ්‍රී ලංකා හමුදා කොන්දේසි විරහිතව ඉවත් කල යුතු බව කියා සිටියි.

ශ්‍රී ලංකා හා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් ගොඩනැඟීම සඳහා සිංහල හා දෙමල කම්කරුවන්ගේ එකමුතුව වෙනුවෙන් සසප දෘඩතර අරගලයක යෙදී සිටියි. මෙම අරගලය පාදක වන්නේ ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගය මතයි. වැඩිම කොටසක් දෙමල තරුනයින් වන සියලු දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කල යුතු යයි සසප ගෙනයන උද්ඝෝෂනය, සමස්තයක් ලෙස වැඩකරන ජනතාවගේ ම ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීමේ කොටසක් වන්නේය.

සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා සසප අරගලය පිලිබඳව රාජපක්ෂ ආන්ඩුව මනාව දැන සිටියි. රාජපක්ෂගේ මෙන්ම අ‍ෙනකුත් ධනපති අපේක්ෂකයින්ගේ දක්ෂිනාංශික ප්‍රතිපත්ති හෙලිදරව් කරමින් සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස්, 2005 හා 2010 ජනාධිපතිවරන දෙකෙහිදී ම පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරග වැද තිබේ.

මෙම මූලධර්මාත්මක අරගලය නිසා සසප-විකොස, 26 වසරක සිවිල් යුද්ධය අවධිය තුල බල‍ෙය් සිටි ආන්ඩු විසින් දඩයමට ලක්කර ඇතුවාක් මෙන්ම එල්ටීටීඊයේ බෙදුම්වාදී ව්‍යාපෘතියට එරෙහිවීම නිසා එහි ප්‍රහාරයන්ට ද මුහුනපා ඇත. පසුගිය 26දා මිලිටරි‍ය විසින් පහරදීමට ලක් කල සුදර්ශන් ද ඇතුලු සසප සාමාජිකයින් සිව් දෙනෙක් එල්ටීටීඊය විසින් 1998 දී සිරගත කරනු ලැබීය. එල්ටීටීඊය විසින් ඔවුන් සිව්දෙනා නිදහස් කරන ලද්දේ, ලෝක සමාජවාදී වෙබ් අඩවිය දියත් කල දෘඩතර උද්ඝෝෂනයකින් පසුව පමනි.

යුද්ධය අවසන්වී තෙවසරකට ආසන්න කාලයක් ගෙවී ගොසිනි. රාජපක්ෂ ආන්ඩුව පොරාන්දු වූ පරිදි උතුරට, නැ‍ගෙනහිරට පමනක් නොව දකුනට ද “විමුක්තියක්” හෝ “සාමයක්" ලඟාකරදී නැත. උතුරු හා නැඟෙනහිර ජනතාව මිලිටරි වාඩිලෑමකින් කොටුකර තිබෙන අතර ආන්ඩුව, මෙරට හා ජාත්‍යන්තර ආයෝජකයින් සඳහා කලාපය ලාභ ශ්‍රම තටාකයක් බවට හැරවීමට සූදානම් වෙයි.

මර්දන කොන්දේසිවලට එරෙහිව වර්ධනය වන මහජන නොසන්සුන්තාව හමුවේ ආන්ඩුව එන්ට එන්ටම කැලඹීමට පත්වෙමින් තිබේ. උතුරු හා නැ‍ගෙනහිර පලාත්වල, දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) වැනි දෙමල ධනපති පක්ෂ ජනතාව අතර බෙහෙවින් අපකීර්තියට පත්ව ඇති බව ආන්ඩුව හොඳින් ම දනියි. දකුනේදී කම්කරුවන්, ගොවීන් හා තරුනයින්, ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනවන කප්පාදු පියවර ක්‍රියාවට දැමීමට ප්‍රතිරෝධය දක්වති.

මේ මාසය මුල පැවති රැස්වීමක දී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, එල්ටීටීඊය යලි හිස එසවිය හැකි තත්වය හමුවේ "අපගේ ජාතික ආරක්ෂාවට වඩාත් යථා ශඛ්‍ය තර්ජනය වන්නේ, මහජන නැඟිටීම් මගින් ටියුනීසියාව, ඊජිප්තුව හා ලිබියාව වැනි රටවල් දේශපාලන වෙනස්කම් ඇතිකරගත් ආකාරය දකින නිශ්චිත කන්ඩායම්, අස්ථාවරත්වයක් නිර්මානය කිරීමට දරන උත්සාහයයි.” යනුවෙන් පැවසීය.

ආන්ඩුවේ භීතිය, දිගහැරෙන ජාත්‍යන්තර අරගල මෙරටෙහි ද ප්‍රතිරාවය දනවනු ඇතැයි යන්න පිලිබඳව ය. ගැඹුරු වන ගෝලීය ආර්ථික අර්බුදයේ බලපෑම හමුවේ ආන්ඩුව ආර්ථික ගොහොරුවක එරෙමින් සිටියි. එන්ට එන්ටම කිසිදු ප්‍රජාතන්ත්‍ර මවාපෑමක් හෝ පවත්වාගත නොහැකිව සිටින ආන්ඩුව, අත්හදා බැලීමේ තෝතැන්නක් ලෙස සහමුලින්ම උතුරේ පවත්වාගෙන යන මිලිටරි පාලනය ද ඇතුලු යුද්ධය අවධියේ වර්ධනය කල පොලිස් රාජ්‍ය ක්‍රමෝපායන් දෙසට හැරෙමින් සිටියි.

ජනාධිපති රාජපක්ෂ, ආරක්ෂක ලේකම් හා ආන්ඩුවේ අනෙකුත් නායකයෝ, සිංහල හා දෙමල කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයන් වැලැක්වීම පිනිස දෙමල විරෝධී ප්‍රකෝපකරන අවිස්සීමේ මංමුලාසහගත උත්සාහයක නිරත වෙති. ඔවන්ගේ මන්තරය වන්නේ, “එල්ටීටීඊ ත්‍රස්තවාදය” යලි හිස ඔසවන බවත්, “ජාතික ආරක්ෂාව” තර්ජනයට ලක්ව ඇති බවත්ය. පසුගිය මාස කිහිපය තුල මිලිටරිය, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමටත් අතුරුදහන් වූවන් පිලිබඳ පරීක්ෂන පවත්වන ලෙසටත් උද්ඝෝෂනය කරන ඕනෑම විපක්ෂ කන්ඩායමක් බියගැන්වීමේ වෑයම උත්සන්න කර තිබේ.

සසප සිය ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල කරන ප්‍රහාර ලිහිල්ව ගන්නේ නැත. සිය ජාත්‍යන්තර සමචින්තකයින්ගේ ද සහාය ඇතිව පක්ෂය තම අයිතීන් ආරක්ෂා කිරීමේ සටන වැඩකරන ජනතාව වෙත ගෙන යයි. කම්කරු පන්තියේ ද පීඩිත ජනතාවන්ගේ ද ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීමේ පුලුල් අරගලයක කොටසක් ලෙස අපගේ මූලික දේශපාලන අයිතීන් ආරක්ෂා කිරීමේ උද්ඝෝෂනයට සහාය දෙන ලෙස අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

Share this article: