ලංකාවේ උසස්පෙල ප‍්‍රතිඵල අවුල් ජාලයට හේතුව ආන්ඩුවේ අධ්‍යාපන කප්පාදුවයි

Statement of the Socialist Equality Party and International Students for Social Equality (Sri Lanka), 3 January 2012

දෙසැම්බර් 25 දා ශී‍්‍ර ලංකාවේ විභාග දෙපාර්තමේන්තුව නිකුත් කල උසස්පෙල විභාග ප‍්‍රතිඵලයන්හි සාවද්‍යභාවය හා ව්‍යාකූලත්වය සිසුන්ගේ, දෙමාපියන්ගේ හා ගුරුවරුන්ගේ දැඩි කෝපයට ලක්ව තිබේ. ආන්ඩුවට එල්ල වන මහජන විරෝධය යටපත් කිරීමේ කපටි උත්සාහයක යෙදෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ ප‍්‍රශ්නය සොයා බැලීමේ නමින් තවත් කොමිසමක් පත් කර ඇත.

විභාගයට පෙනී සිටි තුන් ලක්ෂයක් වන සිසුන් කම්පනයට සහ අවිනිශ්චිතභාවයට ඇද දමමින් සිදු කෙරී ඇති අවුල නිදහස් අධ්‍යාපනය මරා දැමීමේ සාපරාධී කි‍්‍රයාවලියේ තවත් ප‍්‍රකාශනයකි.

ප‍්‍රථමයෙන්ම අර්බුදය ප‍්‍රකාශයට පත් වූයේ විභාග ප‍්‍රතිඵල නිකුත් කිරීම කල් පමා කිරීම ලෙසය. ප‍්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු දක්නට ලැබුනේ එය සාවද්‍ය සහ අවුල් සහගත බවය. වඩාත්ම සුදුසු අය විශ්වවිද්‍යාලයට තෝරා ගැනීමට යයි භාවිතා කෙරෙන Z ලකුන සලකන විට විෂය මට්ටමෙන් ඉතා ඉහල ලකුනු ලැබූවන් අවම Z ලකුනු ලබා ඇති බව ද සමහර විෂයයන් සඳහා ප‍්‍රතිඵල නිමාකර නැතැයි ප‍්‍රතිඵල ලේඛනයේ සඳහන්ව තිබූ බව ද වාර්තා විය.

රාජපක්ෂ ද අධ්‍යාපන ඇමැතියෝ ද බලධාරියෝ ද මෙම ප‍්‍රශ්නය මතුවීම ගැන විවිධ බොරු ගොතමින් එය හාරා අවුස්සන්නන්ට උද්ධච්ඡ පිලිතුරු දෙති. ප‍්‍රතිඵල නිකුත් කිරීමේ දී මොනම වරදක්වත් සිදුව නැතැයි මුලින්ම පැවසූ උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක වරද ඇස් පනාපිට තබද්දී, පුවත්පත් සාකච්ඡාවක දී ප‍්‍ර‍්‍රකාශ කලේ ජනාධිපති රාජපක්ෂ, අධ්‍යාපන ඇමැති බන්දුල ගුනවර්ධන ප‍්‍රභූ පැලැන්තියේ කොටස්වල උවමනාව මත බලපෑම් දැමීම නිසා ඉක්මනින් ප‍්‍රතිඵල නිකුත් කිරීමට යාමෙන් දෝෂ සිදු වූ බවයි.

දෙසැම්බර් 30 දා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී අධ්‍යාපන ඇමති ගුනවර්ධන අනෙක් පැත්තට සඳහන් කලේ ජනාධිපති රාජපක්ෂ ඇතුලු බලධාරීන් තමන්ගෙන් ඉක්මනින් ප‍්‍රතිඵල ඉල්ලූ නිසා එසේ කිරීමේ දී මෙම "වැරැද්ද” සිදු වී ඇති බවයි. සිසුන් කල යුත්තේ ජනාධිපති කොමිසන් වාර්තාව එනතෙක් බලා සිටීම යැයි ඔහු තව දුරටත් සඳහන් කලේය. විභාග කොමසාරිස් අනුර එදිරිසිංහගේ හේතු දැක්වීම වූයේ පරිගනක දත්ත ඇතුලු කිරීමේ දී දෝෂය සිදුව ඇති බවයි. ලක්ෂ සංඛ්‍යාත සිසුන්ගේ අනාගත අධ්‍යාපනය කෙරෙහි බලපාන අර්බුදය ගැන ආන්ඩුවේ සහ එහි හෙන්චයියන් වන ඉහල නිලධාරීන්ගේ තුව්ඡ නොතැකීම එවැනි ය.

වැඩෙන මහජන විරෝධය ආන්ඩුවට එරෙහිව යන්නක් බව දැනුවත් පාලක සභාගයේ ම කොටස්, එජාපය, ජවිපෙ ඇතුලු විරුද්ධ පක්ෂ, ගුරු සංගම්, සිසු සංගම් සහ ජන මාධ්‍යයන් එම මහජන විරෝධය වාෂ්ප කරනු වස් විවිධ ක‍්‍රමෝපායයන් යෝජනා කරති.

සිදුව ඇති වරදට වගකිව යුතු අධ්‍යාපන ඇමැති ඉල්ලා අස්විය යුතු යයි බල කරන එජාපය හා ජවිපෙ වහාම පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටිති.

නිමක් නැති කොමිෂන් සභා හා පාර්ලිමේන්තු විවාද සම්බන්ධයෙන් මහජන විශ්වාසය බිඳ වැටී ඇති තතු යටතේ ලංකා ගුරු සංගමය, ජවිපෙට අනුබද්ධ ලංකා ගුරු සේවා සංගමය හා ආන්ඩු ගැති අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය ආදී ගුරු සංගම් රැඩිකල් ස්වරූපයක් ආරූඪ කර ගනිමින් සමස්ත ප‍්‍රතිඵලය ම අහෝසි කොට පිලිතුරු පත් යලි විමර්ශනය කල යුතු යැයි ද නොඑසේනම් "මහා විරෝධතා ව්‍යාපාරයකට” යොමු වන බව ද නිවේදනය කර ඇත. මෙවැනි වෘත්තීය සමිති ගර්ජනා පිලිබඳව කිසිවෙකු විශ්වාසය නො තැබිය යුතුය. මෙම ගුරු සංගම් නුදුරු අතීතයේ දී කරමින් සිටියේ ගුරු වැටුප් වැඩි නොකල හොත් මහා සටනකට යන බවට වහසි බස් දොඩමින් තම ජීවන තත්වයන්ට එල්ල වන ප‍්‍රහාරයන්ට එරෙහිව ගුරුවරුන් අතර වැඩෙන නොසන්සුන්තාව වාෂ්පකර දැමීමයි.

ජවිපෙට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමය හා දැන් "ජන අරගල ව්‍යාපාරය”සමග පෙල ගැසී ඇති අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය ආන්ඩුවෙන් "සාධාරනය” ඉල්ලා විරෝධතාවල සිසුන් කොටු කිරීමේ යෙදී සිටිති.

ආන්ඩුවේ අසාධාරනයට ලක්ව සිටින තුන් ලක්ෂයක් වන සිසු සිසුවියන්ට ඔවුනගේ පිලිතුරු පත් යලි විමර්ශනය කොට සුදුසු ප‍්‍රතිඵල යලි නිකුත් කිරීම ආන්ඩුවේ වගකීමයි. තම අයිතිය සහතික කර ගැනීමට සිසුන් හා දෙමාපියන් ගෙනයන උද්ඝෝෂනයට සමාජවාදී සමානතා පක්ෂයත් එහි ශිෂ්‍ය සංවිධානය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝත් සහයෝගය දෙති.

එහෙත්, මෙම ආන්ඩුවෙන් සාධාරනය ඉටු වෙතැයි කිසිවෙකු බලාපොරොත්තු වීම මිථ්‍යාවකි. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව, අනෙකුත් ශුභ සාධන, ජීවන කොන්දේසි, රැකියා සහ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් පිලිබඳව ආන්ඩුවේ වාර්තාව ඒවා කප්පාදු කිරීම සහ පාගා දැමීමයි.

උසස්පෙල ප‍්‍රතිඵල අර්බුදය හුදෙකලා සිදුවීමක් නොවේ. මීට පෙර ද ප‍්‍රශ්න පත‍්‍ර සැකැසීමේ වැරැදි, ඒවා හොරෙන් පිට කිරීම සහ විභාග මනා ලෙස නොපැවැත්වීම දූෂනයන් ආදී චෝදනා විභාග කොමසාරිස් ඇතුලු නිලධරයට එල්ල වී ඇත.

ප‍්‍රතිඵල අවුල අතීත ආන්ඩු යටතේ සිදුවූ සහ වත්මන් ආන්ඩුව යටතේ උග‍්‍ර කෙරෙන අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පරිහානියේ ද අර්බුදයේ ද ප‍්‍රතිඵලයකි. කම්කරු පන්තිය ප‍්‍රමුඛ මහජන අරගලවලින් දිනාගත් නිදහස් අධ්‍යාපනය ඥානාන්විත සැලසුම්කරනයට සහ ප‍්‍රසාරනයට අවශ්‍ය මූල්‍ය හා අවශේෂ සම්පත් සම්පාදනයට මෙම ධනපති ආන්ඩු එකක්වත් ක‍්‍රියා කලේ නැත.

ඊට පටහැනිව, මේ ආන්ඩු කි‍්‍රයා කලේ කම්කරුවන් පීඩිතයන් බෙදා වෙන් කිරීම සඳහා යොදා ගත් විසකුරු අවි වන වර්ගවාදය සහ අනෙකුත් භේදයන් අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුලින් ද කඩා වද්දවමින් ප‍්‍රමිතිකරනය හා දිස්ති‍්‍රක් කෝටා ක‍්‍රමය හඳුන්වා දී සිසු විරෝධය ධනපති පන්තිය වෙත එල්ල වීම වලක්වා ගැනීමේ උපක‍්‍රම යොදා ගැනීමයි.

පසුගිය දශක තුනේ නිදහස් අධ්‍යාපනයට උග‍්‍ර වන්නාවූ ප‍්‍රහාරයක් එල්ල විය. මෙය දියුනු ධනපති රටවල සිට ලෝකයේ සෑම රටකම අධ්‍යාපනයට එල්ල වන ප‍්‍රහාරයකි. ධනපති ක‍්‍රමයේ අර්බුදය ගැඹුරුවන තත්වයේ දී අධ්‍යාපනයට, සෞඛ්‍යයට සහ අනෙකුත් මහජන ශුභසාධනයන්ට වෙන් කෙරෙන වියදම් කපා දැමීමට පමනක් නොව මූලිකව ම අධ්‍යාපනය සහ සෞඛ්‍යය ලාභ ගරන කර්මාන්ත බවට පත් කිරීමේ ප‍්‍රහාරය වේගවත් විය. දැන් ලෝක ධනවාදයේ අර්බුදය 1930 ගනන්වල කොන්දේසිවලට නැගෙමින් බිඳ වැටීමක් තුලට ගමන් කරද්දී ජාත්‍යන්තර මුල්‍ය ප‍්‍රාග්ධන අධිපතියෝ එහි බර කම්කරුවන් සහ පීඩිතයන් මත රුදුරු ලෙස පටවමින් සිටිති.

ලංකාවේ ධනපති පන්තිය බෙදුම්වාදී එල්ටීටීඊය සමග යුද්ධය අවුලුවා ගෙන දෙමල විරෝධී වර්ගවාදය විෂඝෝර ලෙස පැතිරුවේ ආර්ථික අර්බුදය කම්කරුවන් සහ පීඩිතයන් මතට හෙලීමටත් මහා ව්‍යාපාරිකයන්ගේ සහ විදේශ ආයෝජකයන්ගේ සූරාකෑම සඳහා වඩ වඩා කොන්දේසි සැකසීමත් ය. රාජපක්ෂ ආන්ඩුව යටතේ මෙම ප‍්‍රහාරය උග‍්‍ර කර ඇත්තේ යුද්ධය ද යුද්ධය මධ්‍යයේ වර්ධනය කර ගත් පොලිස් රාජ්‍ය ක‍්‍රම ද යොදා ගනිමිනි.

ආන්ඩුව මෙම වසරේ අයවැයෙන් මිලිටරියට වෙන් කර ඇති මුදල රජයේ මුලු වියදමෙන් සියයට 10.3 ක් වන අතර අධ්‍යාපනයට වෙන් කර ඇත්තේ සියයට 2.5 කි! රජයේ විශ්වවිද්‍යාල ද පාසැල් ද පිරිහෙලමින් පුද්ගලික පාසැල් හැදීමේ කොන්දේසි වඩ වඩාත් පුලුල් කරද්දී පුද්ගලික විශ්වවිද්‍යාල හැදීම නීතියෙන්ම සම්මත කරදීම සඳහා ආන්ඩුව දැන් පනතක් සූදානම් කරයි.

අධ්‍යාපනයේ සහ විභාගවල අර්බුද මතු වූ කල ඒවා ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ දෝෂ ලෙස අවලාද නැගීමට රාජපක්ෂත්, අධ්‍යාපන ඇමතියනුත් නිලධාරියෝත් කඩා පනිති. අධ්‍යාපනය කපා හෙලීමට විරෝධය පාන විට ඒවා තලා දැමීම සඳහා පන්ති තහනම්, අත් අඩංගුවට ගැනීම්, පොලිස් හා මැර ප‍්‍රහාරයට ලක් කිරීම් ඇතුලු පොලිස් රාජ්‍ය ක‍්‍රම මුදා හැරේ. අධ්‍යාපන අංශයේ ද අනෙකුත් රාජ්‍ය අංශවල මෙන්ම ප‍්‍රහාර ගෙනයාම සඳහා හෙන්චයියන් හා දූෂිතයන් රොත්තක් ආන්ඩුව විසින් ම පත් කර ගෙන ඇත.

විභාග ප‍්‍රතිඵල අවුලෙන් යලි සනාථ කෙරී ඇත්තේ අධ්‍යාපනය පරිහානිගතවීම හා අනෙකුත් කප්පාදු වැඩ පිලිවෙලවල් සම්බන්ධයෙන් විසඳුමක් රාජපක්ෂ ආන්ඩුවෙන් හෝ ධනපති පන්තියේ කවර හෝ කොටසකින් ලබා ගත නොහැකි බවයි. යූඇන්පීය, ජවිපෙ හා වෘත්තීය සමිති ඉල්ලා සිටින පරිදි ඇමති පුටු වෙනස් කිරීමෙන් ද ඊට විසඳුම් ලබා ගත නොහැකි ය. වෙනස් කල යුත්තේ ධනපති ක‍්‍රමය හා රාජපක්ෂ ආන්ඩුව ම යි. ඒ වෙනුවට, නිදහස් අධ්‍යාපනය ඇතුලු අයිතීන් ආරක්ෂා කල හැක්කේ සමාජවාදී වැඩපිලිවෙල කි‍්‍රයාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් පමනක් ම ය.

ධනපති ක‍්‍රමය තුල විසඳුම් සොයා ගත හැකියැයි පවසමින් එතුල සිර කරන ධනපති පක්ෂවලින් හා වෘත්තීය සමිති සංවිධානවලින් බිඳී සමාජවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීමට සිසුන්, ගුරුවරුන් සහ කම්කරුවන් පෙල ගැසෙන ලෙස සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ ඉල්ලා සිටින්නේ මේ කි‍්‍රයාමාර්ගය සඳහා සටන් කිරීමට ය.

ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් හැටියට ඉදිරිපත් කරන මෙම ඉදිරිදර්ශනය හැදෑරීමට යෙමු වන ලෙස ද සසප හා සසජාශි ගොඩ නැගීමට එක්වන ලෙස ද අපි ඉල්ලමු.

Share this article: