එක්සත් ජනපදය, සිරියාවට එරෙහිව අරාබි සංගමය ගොනුකල තොරතුරු ඉල්ලා බලකරයි

US presses for Arab League finding against Syria

By Jean Shaoul, 9 January 2012

සිරියා‍ව තුල තම නිරීක්ෂකයන්ගේ දූත මෙහෙවර සාකච්ඡා කිරීමට 18දා කයිරෝවේ දී රැස්වූ අරාබි සංගමය‚ සියලු ම ප්‍රචන්ඩ ක්‍රියා වහා ම නැවැත්වීමටත් “ නිරීක්ෂකයින්ට නිදහ‍සේ කටයුතු කිරීමට ඉඩ ‍දෙන” ලෙසටත් ආන්ඩුවෙන් හා විරුද්ධ පාර්ශ්ව‍යෙන් ඉල්ලා සිටියහ. සිරියානු ආන්ඩුව හා විරුද්ධ පාර්ශවය එහි නිරීක්ෂකයන්ට “අඩම්තේට්ටම්” කර තිබුන ද සංගමය පසුගිය මාසයේ දී සිරියාව සමග එකඟ වූ පිලිවෙත්වලට අනුව ඉදිරියට යනු ඇතැ යි එය පැවසී ය.

ඔබාමා පරිපාලනය සහ සිරියානු ජාතික සභාව (එස්එන්සී) මෙන්ම, වොෂින්ටයේ පිටුබලය ලබන සිරියාව නිදහස් කර ගැනීමේ හමුදාව (එෆ්එස්ඒ) ද එම නියෝජිත කන්ඩායමේ “ බෙලහීනත්වය” ගැන කරන විවේචන දැඩි කරමින් පරීක්ෂනය එක්සත් ජාතීන් වෙත පැවරිය යුතු බව කියා සිටි පසුතලය යටතේ රැස්වීම පැවත්වුනි.

07දා දමස්කස්හි දී මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ප්‍රහාරයෙන් 26දෙනෙකු මියගොස් 63දෙනෙකු තුවාල ලැබූ අතර සිරියාව තුල පැතිර යන ප්‍රචන්ඩත්වය මධ්‍ය‍යේ එය පැවත්වුනි. පිපිරීම සිදුවූයේ පොලිසියක් අසල පිහිටි බස් නැවතුම්පලක ය.

“ත්‍රස්තවාදයේ මවු බිම වන ඇමරිකාවට අපි බිය නොවෙමු ” හා “ මහජනයාට හදිසි නීතිය අවශ්‍යයි” කියමින් වැලපුනු දහස් ගනනක් 07දා ආන්ඩුවේ අනුග්‍රහයෙන් පැවති අවමංගල කටයුතුවලට සහභාගී වූහ. බෝම්බ ප්‍රහාරය බටහිර ගැති විරුද්ධ පාර්ශ්වය විසින් සිදු කර ඇතැ යි ආන්ඩුවේ නිලධාරීහු කියති. ප්‍රවෘත්ති අමාත්‍ය අද්නාන් මහමුඩ්, පිපිරීම “මාස නවයක් තිස්සේ සිරියාව ඉලක්ක කර ගත් ත්‍රස්තවාදය හා ඝාතන මත පදනම් වුන ව්‍යාපාරයක ‍ කොටසක්” බව පැවසීය. ත්‍රස්තවාදය මැඩීමට “ අ‍යෝමය හස්තයක්” යොදා ගන්නා බව පවසමින් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ප්‍රකාශයක් නිකුත් කර ඇත.

විපක්ෂය අපකීර්තියට පත් කිරීමට සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ ආන්ඩුව විසින් බෝම්බ ප්‍රහාර සිදු කර ඇතැ යි බටහිර පිටුබලය ලබන සිරියානු විපක්ෂ බල‍වේග ප්‍රකාශ කලේ ය.

කයිරෝ රැස්වීමේ දී අරාබි සංගමය “අතපසුවීම්" සිදුව ඇති බව පිලිගත් අතර තමන් හිරකරුවන් නිදහස් කිරීමට හා නගරයෙන් යුද ටැංකි ඉවත් කිරීමට සමත් වී යයි පවසමින් නිරීක්ෂකයන්ගේ මෙහෙවර ආරක්ෂා කලේ ය. එය දැනට සිටින 163ක් වන නිරීක්ෂකයින්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට එකඟ වූ අතර “තමන් එක්සත් ජාතීන්ගේ තාක්ෂනික ආධාර අපේක්ෂා කරන බව ද පැවසී ය.”

06දා‚ සිරියාව පිලිබඳ අරාබි සංගම් කොමිසමේ සභාපතිත්වය දරන කටාර් අගමැති ෂීක් හමාද් බින් ජාසෙම් අල්-තානි‚ සිරියාවේ පවතින සිවිල් යුද්ධය හා සංගමයේ යෝජනා සමග අසාද් තන්ත්‍රයේ එකඟත්වය අධීක්ෂනය සඳහා එක්සත් ජාතීන්ගේ නියෝජිතයින්ගේ හා මානව හිමිකම් වි‍ශේෂඥයින්ගේ උදව් ඉල්ලා සිටියේ ය. ඔහු අරාබි සංගමයේ සාම සැලැස්මේ කොන්දේසි සිරියාව විසින් ක්‍රියාත්මක නොකරන බව ද “කාලය නාස්ති කිරීමට” නියාමකයන් සිරියාවේ සිටිය යුතු නැතැ යි ද පැවසුවේ ය. සිරියානු හමුදා නගරවලින් ඉවත්කර හෝ ඝාතන නතර කර ‍නැතැයි ද අල්තානී අවධාරනය කලේ ය.

කටුක භේදයන් සිදුව ඇතැයි පෙනී යන වාර්තා පලවීමෙන් පසුව‚ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අන්ඩක් ලෙස ක්‍රියා කිරීමේ දීර්ඝ ඉතිහාසයක් ඇති කටාර් රාජ්‍යයේ ඉල්ලීම, අරාබි සංගමය විසින් ප්‍රතික්ෂේප කලේය. එය, එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා දූත ‍ මෙහෙවරෙහි පාලනය උදුරා ගැනීමට වොෂින්ටන‍ය දරන වෑයමක් වන බව ඕනෑවටත් වඩා පැහැදිලි ය.

බලවේගයන්ගේ පෙල ගැසීම තවමත් වාර්තා වී නැති අතර‚ එය එක්සත් ජාතීන් යටතට ගැනීම සඳහා කෙරෙන ඉල්ලීම්, ගල්ප් කලාපයේ රාජාන්ඩුවල අවශ්‍යතාවය බව පෙනෙන්ට ඇත. පාලන තන්ත්‍ර ‍ වෙනස් කිරීම සඳහා වන වොෂින්ටන‍යේ ලැයිස්තුවට, පසු කාලයේ දී තමන් ද ඇතුල් කිරීමට ඉඩ ඇතැයි යන පසුතැවිල්ල අ‍නෙකුත් අරාබි රාජ්‍යයන්ට ඇත. ඔවුන්ගේ ගනන් බැලීම්වලට අයත් වන අනෙක් සාධකය නම්, ඕනෑ ම විදේශීය මැදිහත්වීමකට අරාබි ‍ලෝකය පුරා පැතිර පවත්නා විරෝධය යි. එක්සත් ජනපදය හා එහි මිතුරන් ගැන කියනු ම කව‍රේ ද?

කෙසේ නමුත්‚ මේ මාසයේ අවසානයට නිකුත් කිරීමට නියමිත අරාබි සංගමයේ වාර්තාව, අසාද් තන්ත්‍රය ගර්හාවට ලක් කරමින් එක්සත් ජනපදයට අවශ්‍ය කඩතුරාව සැපයීමට තවමත් ඉඩ තිබේ.

දූත මෙහෙවර එක්සත් ජාතීන්ට භාරදීමේ කටාර් යෝජනාව, ආන්ඩුව හා විරුද්ධ පාර්ශ්වයන් අතර ගැටුම් අවසන් කිරීමට හා ජාතික සංවාදයක් ඇරඹීමට ආරම්භයක් ලෙස සැකසුනු සිරියාව සමග ඇති කර ගත් ගිවිසුමේ ස්වභාවය මූලික වශයෙන් වෙනස් කිරීමට ඉඩ ඇත. සෞදි අරාබිය ආධිපත්‍ය දරන ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය (ජීසීසී) මුලින් සැලැසුම් කල හා පසුව අරාබි සංගමය විසින් පිලිගත් ගිවිසුම පරිදි, සියලු ම පාර්ශ්වයන් ගැටුම් අවසන් කල යුතු යයි ඉල්ලා සිටි අතර, රජයේ හමුදා නගරවලින් ඉවත් කිරීම‚ පසුගිය මාර්තු මාසයේ විරෝධතා පිපිරීමේ සිට අත්අඩංගුවට ගත් දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම‚ විරුද්ධ පාර්ශ්වය සමග සාකච්ඡා පැවත්වීම හා බහු පක්ෂ මැතිවරන පැවත්විම සිරියානු ආන්ඩු‍වෙන් එය කල ඉල්ලීම් අතර විය.

අරාබි සංගමයේ පෙර නොවූ විරූ පීඩනය හමුවේ ගිවිසුමට අත්සන් කිරීමට අසාද්ට බල කෙරුනි: ඒ අතර, එහි සමාජිකත්වය අත්හිටුවීම‚ ඇතැම් ගල්ෆ් තානාපතීන් දමස්කස්වලින් ඉවත් කර ගැනීම‚ ජ්‍යෙෂ්ඨ සිරියානු නිලධාරීන්ට හා බැංකුවලට එරෙහි තහංචි ආදිය විය. මේවා ඉදිරිපත් කර ඇත්තේ, කොටුවී ඇති සිරියානු ආර්ථිකය අඩපන කිරීම අරමුනු කර ගත් එක්සත් ජනපද‚ යුරෝපීය සංගම් හා තුර්කි සම්බාධක හා සිරියානු ආරක්ෂක හමුදා මනුෂ්‍යත්වයට එරෙහිව සිදුකල අපරාධ‚ එනම් වධ හිංසා‚ ලිංගික අතවර‚ සිරියානුවන් 4,000ක් ඝාතනය කිරීම හා මාර්තු මාසයේ සිට 14,000ක් අත්අඩංගුවේ රඳවා ගැනීම පිලිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාවන්හි චෝදනාවන්ට අමතර වශයෙනි.

ආරම්භකත්වය සාරාර්ථයෙන්ම එක්සත් ජාතීන්ගේ මෙහෙයුමක් බවට පරිවර්තනය කිරීමේ කටාර් යෝජනාව‚ එක්සත් ජනපදයට හා එහි හෙන්චයියන්ට ඉරානය හුදකලා කිරීම සඳහා ක්‍රියාත්මක කරමින් තිබෙන පියවරයන්හි කොටසක් ලෙස, සිරියාව තුල හීලෑ රූකඩයෙකු පිහිටුවීමට හමුදා මැදිහත්වීමක් නීත්‍යානුකූල කිරීමේ යෝජනාවක් ආරක්ෂක මන්ඩලය තුලින් ගෙන ඒම සඳහා මග හෙලි කර දිම අරමුනු කර ගැනුනි.

ආරම්භයේ පටන් ම අරාබි සංගමයේ සැලැස්ම ප්‍රයෝගයෙන් අසාද් කොටු කිරීමක් විය. එබැවින් රුසියාව බලපෑම් කරන තෙක්ම එය සමග එකඟවීමට ඔහු මැලිකමක් දැක්වී ය. සිරියාවේ දීර්ඝ කාලීන මිත්‍රයා වන රුසියාව මධ්‍යධරනී මුහු‍දේ තම එක ම නාවික කඳවුර ටාර්ටූස්වල පිහිටුවා ඇති අතර දමස්කස් සමග පුලුල් ආරක්ෂක හා ආර්ථික බැඳීම් ගොඩනඟාගෙන ඇත. එය සිරියාවට එරෙහිව ලිබියානු ක්‍රමයේ මැදිහත්වීමක් මග හැරීමට තැත් කරමින් සිටී. ඒ අතර ම අසාද් ඇද වැටුනහොත්‚ එරට තුල සිය මූලෝපායික උත්සුකයන් පවත්වාගෙන යාමේ හැකියාව සහතික කර ගැනීමට ද ක්‍රියා කරමින් සිටී.

ජනවාරි 2දා අරාබි සංගම් නිරීක්ෂකයින්, සිරියානු හමුදා ප්‍රධාන නගරවලින් ඉවත් කර ඉන් පිටත රඳවා සිටින බව වාර්තා කල විට ඔබාමා පරිපාලනය කෝපයට පත් විය. අරාබි සංගම් නිලධාරියෙකු වන අද්නාන්-කූදර්‚ “අරාබි සංගමයේ මැදිහත් වීමෙන් සැලකිය යුතු ප්‍රගතියක් ඇතිවී” තිබෙන බව පැවසී ය.

සංගමයේ ඉල්ලීම් ඉටුකිරීමට සිරියාව අසමත්ව ඇතැ යි ප්‍රකාශ කරමින් වොෂින්ටනය, කූදර්ගේ වාර්තාව තරයේ ප්‍රතික්ෂේප කල අතර, ආරක්ෂක මන්ඩලයේ මැදිහත් වීමක් කැඳවුම් කලේ ය. නිව් යෝර්ක්හි දී එක්සත් ජාතීන්ගේ ලේකම් බැන් කී මූන් සමග සාකච්ඡා කිරීමට කටාර් අගමැති කැඳවන ලදී. මෑත පෙරදිග කටයුතු පිලිබඳ සහකාර ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් සංගමයේ සති අන්ත රැස්වීමට පෙර, වඩාත් විවේචනශීලී වාර්තාවක් ලබාගැනීම සඳහා එයට බලකිරීම පිනිස කයිරෝවට පිටත් කෙරුනි.

වොෂින්ටන‍ෙය් උත්සුකය පරිදි දූත මෙහෙවරෙහි කාර්ය වනු ඇත්තේ, තුර්කි‚ කටාර් හා ජෝර්දාන් හමුදා විසින් මෙහෙයවෙන තුර්කි‚ ලෙබනන් හා ජොර්දාන් දේශ සීමා දිගේ සිරියාව ඇතුලත “ ආරක්ෂක ක්ෂේමභූමි” ආකාරයෙන් සිරියාවට එරෙහිව ජාත්‍යන්තර මැදිහත්වීමකට ගැලපෙන අරාබි ආවරනයක් සැපයීම යි. පසුගිය මාසයේ දී ජීසීසී ය, ජොර්දාන් හා මොරොක්කෝ රාජධානිවලට ඩොලර් බිලියන 5ක ආධාර දීමේ වැඩසටහනකට එකඟ විය. මෙම රටවල් දෙකෙන් එකක් වත් ජීසීසීයේ සාමාජිකයින් නොවේ.

වොෂින්ටනය, සිරියාවේ ජාතික සම්බන්ධීකරන කමිටුව (එන්සීසී) හා සිරියාව නිදහස් කිරීමේ හමුදාව (එෆ්එස්ඒ) තුල සංවිධානය වී සිටින විරුද්ධ පාර්ශවීය බලවේග හා සිරියානු ජාතික කවුන්සිලය (එස්එන්සී) අතර එකඟතාවක් ඇති කිරීමට උත්සාහ ගනිමින්, මුස්ලිම් සහෝදරත්වය විසින් අධිකාරය දරන එස්එන්සීය තුල කලහකාරී විරුද්ධ බලවේග සමග සාකච්ඡා කරමින් හා ඒවාට සහයෝගය දෙමින් සිටී. එස්එන්සී හා එෆ්එස්ඒ ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලා ඇති අතර එන්සීසීය එයට විරුද්ධ වී ඇත.

“අරාබි සංගමය හා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය අතර ඒකාබද්ධ උත්සාහයකින්, රටවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීමට හා තන්‍ත්‍රය තවදුරටත් බෝම්බ දැමීම හා ඝාතන සිදු නොකිරීම ගැන වග බලාගැනීමට හදිසි හා අත්‍යාවශ්‍ය පියවර සහතික කිරීමේ පලමු පියවර නියෝජනය කර යි” යනුවෙන් පවසමින් එස්එන්සීය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය පැතීමේ අරාබි සංගම් යෝජනාව පිලිගත්තේ ය.

Share this article: