ලෝක ආර්ථිකය තවත් ප්‍රධාන පසුබෑමකට මුහුන දෙයි

World economy set for another major downturn

By Nick Beams, 19 January 2012

2008 වසරේ ලේමන් බ්‍රදර්ස් බැංකුව බිඳ වැටීමෙන් පසුව හටගත් අර්බුදය පරයා යෑමේ ශක්‍යතාව සහිත අර්බුදයක් ලෝක ආර්ථිකය වෙලාගනු ඇතැයි යන දැක්මෙන් යුත් අනාවැකියක් ලෝක බැංකුව විසින් පලකොට තිබේ. එම අනතුරු ඇඟවීම, ඊයේ නිකුත් කල බැංකුවේ ගෝලීය ආර්ථික බලාපොරොත්තු පිලිබඳ වාර්තාවට ඇතුලත්ය.

මෙම අනාවැකි එක්සත් ජාතීන්ගේ වාර්තාවක ද පිටුබලය ලබා ඇත. 2011දී නිමැවුමේ වර්ධනය “සැලකිය යුතු තරම්” පහත වැටීමත් සමඟ ගත් විට ලෝක ආර්ථිකය “තවත් ප්‍රධාන පහත වැටීමක් අද්දර වැනෙමින්” තිබෙන අතර 2012 හා 13 වසරවල “රක්තහීන වර්ධනයක්” පමනක් අපේක්ෂා කරන බව එය කියා සිටියි.

යුරෝ කලාපීය මූල්‍ය අර්බුදය ගැඹුරු වීමට පටන්ගැනීමත් සමග, 2011 අගෝස්තුවේ පටන් ආර්ථික බලාපොරොත්තු සැලකිය යුතු ආකාරයකින් නරක අතට හැරෙමින් තිබෙන බව ලෝක බැංකුව පෙන්වා දෙයි. නය පැහැර හැරීමක් පිලිබඳ භීතිය ඇඟවුම් කරන, සීඩීඑස් ලෙස දන්නා නය පැහැර හැරීමේ අවදානම වෙනුවෙන් තබන ඇපකරයන්ගේ පොලිය, ඊනියා නැඟීඑන ආර්ථිකයන් මත ඇතිකරන මූලික බලපෑම ඉහල යමින් තිබේ.

එහෙත් එකම සලකුන මෙය පමනක්ය යන්න නොවේ. වාර්තාව මෙසේ පවසයි. “සංවර්ධනය වෙමින් පවතින රටවල වසංගතය පුලුල් ලෙස මුල්බැස තිබේ. ජූලි අවසානයේ පටන් සංවර්ධනය වන රටවල වෙලඳපොල අගය සියයට 8.5න් පහත වැටී තිබේ. මෙය සමග බැඳී කොටස් වෙලඳපොලවල ඉහල ආදායම් ලබන අගැයීම් සියයට 4.2න් පහත වැටීමෙන් පසුව, ගෝලීය දල දේශීය නිෂ්පාදිතය (දදේනි) සියයට 9.2න් හෙවත් ඩොලර් ට්‍රිලියන 6.5ක ධන පරිහානියකට තුඩු දුන්නේය.”

ඊටත් වඩා වැදගත් වන්නේ, පසුගිය වසරේ දෙවන භාගය තුල ආයෝජකයින් සිය මුදල් ඉවත්කර ගැනීමත් සමග සංවර්ධනය වන රටවල් තුලට ප්‍රාග්ධන ගැලීම් තියුනු ලෙස පිරිහී යාමයි. “සංවර්ධනය වන රටවලට දල ප්‍රාග්ධන ගලනය 2011 දෙවන අර්ධය තුල බිලියන 170 දක්වා කඩා වැටුනි. එය 2010 එම කාලයටම ලැබුනු බිලියන 309ක ප්‍රමානයෙන් සියයට 55ක් පමනි.”

වාර්තාවට අනුව පූර්වයෙන් බලපෑමට හසු නොවුනු සංවර්ධනය වන හා ඉහල ආදායම් මට්ටම් සහිත අනෙකුත් රටවලට යුරෝපීය මූල්‍ය අර්බුදය පැතිර යද්දී, “ලෝක ආර්ථිකය අවදානම් අඩියකට මුහුනපා සිටියි”

ලෝක ආර්ථික වර්ධනය පිලිබඳව සය මසකට පෙර ලෝක බැංකුව කල තක්සේරුව “සැලකිය යුතු තරමකින් කප්පාදු කර” තිබේ. එය දැන් අපේක්ෂා කරන්නේ ගෝලීය ආර්ථිකය 2012 වසර තුල සියයට 2.5න් හා 2013 තුල සියයට 3.1න් වර්ධනය වන බවයි. එය කලින් පුරෝකථනය කර තිබුනේ දෙවසර සඳහා ම සියයට 3.6ක වර්ධනයකි. සියයට 3ට අඩු කුමන අනුපාතයක් හෝ සමස්තයක් වශයෙන් ගත් ලෝක ආර්ථිකය සඳහා පොදුවේ ගනන් ගැනෙන්නේ පසුබෑමක් ලෙස ය. යුරෝපය දැන් අවපාතයක ගිලී ඇති අතර ඉහල ආදායම්ලාභී රටවල අපේක්ෂිත වර්ධනය සියයට 1.4ක් පමනි.

මෙම දුබල ප්‍රතිපල පවා සාක්ෂාත් වීමට ඉඩක් නැත. “යුරෝපයේ පසුබෑමත්, දියුනුවන රටවල මන්දගාමී වර්ධනයත්, අපේක්ෂා කරනවාට වඩා එකිනෙක කෙරෙහි ප්‍රති බලපෑමක් ඇති කල හැකිය.” එහි ප්‍රතිපල වශයෙන් වඩාත් නරක ප්‍රතිපල හා “වෙලඳපොල විශ්වාසය යලි ගොඩනැඟීමේ උත්සාහයන් සංකීර්න කරයි.” ඒ සමග ම, “අනෙකුත් ඉහල ආදායම් ලබන රටවල උග්‍ර නයගැතිකම හා වර්ධනයේ පහත් ප්‍රවනතාව මගින් නියෝජනය කරන මධ්‍යම කාලීන අභියෝගය නොවිසඳනු ලබන අතර හදිසි අහිතකර කම්පනයන් ද ජනිත කල හැකිය.”

මෙහි ප්‍රතිවිපාක, 2008 සැප්තැම්බරයෙන් පසුව ගෝලීය මූල්‍ය පද්ධති‍ය බිඳ දැමූ ක්‍රියාවලියට ද වඩා විනාශකාරී වනු ඇත.

මෙහොතකට සමහන් කරනු ලැබුව ද, ප්‍රාග්ධන වෙලඳපොලවල් ඊටත් වඩා පුලුල් ලෙස කැටිකිරීමේ හා පරිමාවෙන් ලේමන් අර්බුදයට සමාන අර්බුදයක අවදානම ඉතිරිව තිබේ. විශේෂයෙන්ම හිඟ හා ඉහල ආදායම් සහිත රටවල කල් පිරුනු නය වෙනුවෙන් අරමුදල් සම්පාදනයට මූල්‍ය වෙලඳපොලවල කැමැත්ත සැක සහිතය. තව තවත් රටවල් එවන් මූල්‍ය සම්පාදනයෙන් තමන් වියෝකර ඇති බව දැනගැනීමත් සමග අන්ලාන්තික් සයුර දෙපස පෞද්ගලික බැංකු හා අනෙකුත් මූල්‍ය ආයතන වඩාත් පැතිරුනු මූල්‍ය අර්බුදයක් විසින් ගිල නොගනු ඇතැයි සහතිකයක් නැත.”

වෙනත් වචනවලින් කිවහොත්, ලෝකය පුරා ආන්ඩු පසුගිය තෙවසර තිස්සේ බැංකුවලට හා මූල්‍ය ආයතනවලට පුදකරන ලද ඩොලර් ට්‍රිලියන ගනන් තිබියදී ද කිසිවක් විසඳී නැතිය යන්නයි. ගෝලීය ආර්ථිකය ඕනෑම මොහොතක විනාශයකට ඇද වැටිය හැකිය. මෙය සලකුනු කරන්නේ, 2008 අර්බුදය, පසුව ප්‍රකෘතිමත් වන වාරිකව ඇතිවන පහත වැටීමක් නොව, බිලියන ගනන් මිනිසුන්ගේ රැකියාවන්ට හා ජීවන තත්වයන්ට තර්ජනය කරන ලෝක ධනේශ්වර ආර්ථිකයේ බිඳ වැටීමක ආරම්භය පමනක්ය යන කාරනයයි.

වාර්තාව මෙසේ පවසයි. “ප්‍රධාන අර්බුදයක වාතාවරනය තුල, පහත බැසීම 2008/09ට වඩා දිගු විය හැකිය. මක්නිසා ද යත්, බැංකු පද්ධතියට ඇප දීමට හෝ 2008/09 අවධියේ සිදුකල තරම් දුරට ඉල්ලුම උත්තේජනය කිරීම පිනිස මුදල් සම්පත්, ඉහල ආදායම්ලාභී රටවල් සතුව නොතිබීමයි. මූල්‍ය ක්ෂේත්‍රයේදී සංවර්ධනය වන රටවල් සතුව උපාමාරු දැමීමට යම් ඉඩක් පැවතිය හැකි නමුත් විශේෂයෙන්ම මූල්‍ය හිඟ පියවීමේ අරමුදල් සිඳී ගිය තත්වයක දී ඒවාට වියදම් කැපීමට බල කෙරෙනු ඇත.”

සෑම විටම පාහේ ගෝලීය ආර්ථික තත්වයේ දර්ශකයක් වන ලෝක වෙලඳාම තුල යුරෝපීය මූල්‍ය අර්බුදයේ බලපෑම දැකගත හැකිය. “ප්‍රධාන කොටම යුරෝපීය ආනයන වාර්ෂික අනුපාතයකට අනුව සියයට 17න් පිරිහී යාම තුල පිලිබිඹුවූ ආකාරයට” 2011 ඔක්තෝබරයෙන් අවසන්වූ මාස තුන ඇතුලත වාර්ෂික අනුපාතයකට අනුව වෙලඳ පරිමාව සියයට 8න් හැකිලී යාම ගැන වාර්තාව සඳහන් කරයි.

ඊනියා දියුනු වෙමින් පවතින රටවල අපනයන පසුගිය වසරේ තුන්වන කාර්තුව තුල සියයට 1.7ක වාර්ෂික අනුපාතයකින් වැටුනු අතර නොවැම්බරයේ ද එම වැටීම දිගටම සිදු විය. වසරේ පලමු භාගය තුල අපනයනයේ වේගවත් වර්ධනයකට පසුව තියුනු ලෙස සිදුවූ හැකිලීම නිසා වැඩියෙන්ම බැට කෑ රටවල් අතර දකුනු ආසියානු රටවල් විශේෂ ය. නැ‍ගෙනහිර ආසියාවෙන් කෙරෙන නිර්යාත අංක දෙකේ වාර්ෂික අනුපාතයකින් පහත වැටුනි. යම් තරමකට මෙම පිරිහී‍ම කෙරෙහි තායිලන්තයේ ගංවතුර තත්වය බලපෑ නමුත් යුරෝපීය හා අනෙකුත් ඉහල ආදායම්ලාභී කලාපයන්හි වෙලඳපොලවල හැකිලීම ඒ තත්වය තුල නිසැකව ම ප්‍රකාශිතව තිබුනි.

ලෝක බැංකුවේ ප්‍රධන අර්ථශාස්ත්‍රඥ ජස්ටින් ලිෆූ ලිවු, චීනය තවමත් දීප්තිමත් ලක්ෂ්‍යයක්ව පවතින බව කියා සිටියේ ය. වර්ධනය සියයට 9.1ක් වූ පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ එරට ප්‍රකාශිත වර්ධන අනුපාතය සියයට 8.4ක අඩු මට්ටමක් සලකුනු කරනු ලැබුව ද එය තවමත් සාපේක්ෂව ඉහල අගයකි. “චීනයට එහි වර්ධනය එලෙසින් පවත්වාගත හැකි නම් එය ලෝකයට ශුභ දායකය. එය, භාන්ඩ වෙලඳපොලවලට හා අනෙකුත් රටවල වර්ධනයට රුකුලක් වනු ඇත. ලෝක පරිමාන පසුබෑම චීනයේ අපනයන වෙලඳපොලට අහිතකර ලෙස බලපෑ හැකි නමුත් “ආර්ථිකය උත්තේජනය කිරීමෙහිලා උපාමාරු දැමීමට, සාපේක්ෂව විශාල ඉඩක් ඇති ” ලෝකයේ අවම නයගැති ආන්ඩුවලින් එකක් එය වන බව ඔහු පැවසීය.

චීන ආර්ථිකයේ තත්වය හා ආන්ඩුව ද මූල්‍ය අධිකාරීන් ද මුහුනපා ඇති වැඩෙන ගැටලු පිලිබඳව මෑතක දී බීජිනයෙන් පලවූ වාර්තාවල දෘෂ්ටිය අනුව සලකන කල එවන් ප්‍රකාශ සොහොන් බිම පසුකරන තෙක් උරුවම් බෑමකට සමානකම් දක්වයි.

මෙම සතියේදී චීන ආන්ඩුව නිවේදනය කලේ, 2011 අවසන් කාර්තුවෙහි වර්ධන අනුපාතය වාර්ෂික අනුපාතයකට අනුව කාර්තු දහයකට පසු වාර්තාවූ පහතම අගය වූ සියයට 8.9ක් බවයි. 2011 සමස්ත වර්ධනය වූ සියයට 9.2, චීනය ලේමන් බිඳවැටීමේ ආනිසංශ අත්විඳි 2009න් පසු දුබලම මට්ටම බවයි.

සංඛ්‍යාලේඛන පිලිබඳ ජාතික බියුරෝවේ ප්‍රකාශකයෙක් පැවසුවේ, 2012 වර්ෂය “සංකීර්නත්වයේ හා අභියෝගයේ” වසරක් වන බවයි. ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය වාර්තා කලේ, ඔහුගේ ප්‍රකාශ “අඳුරු, පරස්පර විරෝධී හා දරුනු යන අදහස් දනවන” බවයි.

චීනයේ දේපල බුබුල පිලිබඳ අධ්‍යයනයක් නිමාකල වහාම වාගේ බාර්ක්ලේස් බැංකුවේ ප්‍රධාන අර්ථශාස්ත්‍රඥ හුවාන් යිපින් එම පුවත්පතට පවසා තිබුනේ, විශාල උත්තේජක පැකේජයක හැකියාව බෙහෙවින් අඩුය, මන් ද යත් ආන්ඩුව තවමත් අවසාන පැකේජයේ බලපෑම් සමග පොර බදමින් සිටින නිසාය. “චීනයේ පලාත් ආන්ඩු නය බරින් මිරිකී සිටින අතර පසුගිය වසර කිහිපය තුල විශේෂයෙන්ම නිවාස ක්ෂේත්‍රයේ, දැවැන්ත වත්කම් බුබුලුවලට හේතු කාරකවූ නයෙහි අසාමාන්‍ය ප්‍රසාරනයක් අත් විඳීය. අධි ආයෝජනය ද මූලික කනස්සල්ලක් වී ඇති අතර මේ සියලු ගැටලු, අතීතයේදී අනෙකුත් දියුනුවන ආර්ථිකයන්හි බිඳවැටීමට දායක වී තිබේ.” ඔහු එසේ පැවසීය.

සිය පාලනයට අභියෝග එල්ල වීම වලක්වා ගැනීමටත්, සමාජ ස්ථාවරත්වය පවත්වා ගැනීමටත් අඩුම වශයෙන් සියයට 8ක වත් වර්ධනයක් අවශ්‍ය වන බවට ආන්ඩුව ගනන් බලා තිබිය දී චීනය, මූලික සමාජ හා දේශපාලන ප්‍රතිවිපාක ජනනය කල හැකි දරුනු ආර්ථික අර්බුදයකට මුහුන දී සිටියි. ඉහල මිල ගනන් හා චීනයට කරන තම භාන්ඩ අපනයන පරිමාව මගින් මූල්‍ය අර්බුදයේ සම්පූර්න බලපෑමට හසුව සිටින කැනඩාව, ඕස්ට්‍රේලියාව හා බ්‍රසීලය වැනි භාන්ඩ අපනයන කරන රටවල් කෙරෙහි ද යම් දුරකට සැලකිය යුතු ප්‍රතිවිපාක ඇතිකල හැකිය.

Share this article: