සමාජවාදී සමානතා පක්ෂය පලාත් සභා මැතිවරනයට තරග කරයි

Sri Lankan SEP to contest provincial council election

By the Socialist Equality Party (Sri Lanka), 24 July 2012

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සැප්තැම්බර් 8 දා පැවැත්වීමට නියමිත පලාත් සභා මැතිවරනයේ දී, සබරගමුව පලාත් සභාවේ කෑගල්ල දිස්ති‍්‍රක්කයට තරග කරයි. කරදරකාරී මැතිවරන නීති සැපිරීම සඳහා මැතිවරන කොමසාරිස් විසින් පිලිගෙන ඇති නාම යෝජනා පත‍්‍රයට දේශපාලන කමිටු සාමාජික ඒ.ආර්. දවුලගලගේ නායකත්වයෙන් අපේක්ෂකයන් 21 දෙනෙකුගේ සම්පූර්න ලැයිස්තුවක් සසප ඉදිරිපත් කලේ ය.

සබරගමුව පලාතේ දිස්ති‍්‍රක්ක දෙකින් එකක් වන කෑගල්ල දිස්ත‍්‍රික්කය තුල සිංහල, දෙමල හා මුස්ලිම් සම්මිශ‍්‍රනයක් සහිත 650,000 ජනගහනයක් ඇත. සැලකිය යුතු රාජ්‍ය සේවකයන් සංඛ්‍යාවක් මෙන්ම වතු කම්කරුවෝ සහ සුලු ගොවියෝ ද එහි වාසය කරති. නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, දිස්තික්කය තුල පදිංචි පවුල් සංඛ්‍යාවෙන් සියයට 18.4 ජීවත් වන්නේ දරිද්‍රතා රේඛාවෙන් පහලය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුට හිමි සුවිශේෂ විධායක බලතල උපයෝගි කර ගනිමින් නැගෙනහිර, උතුරුමැද සහ සබරගමුව පලාත් සභා ඒවායේ නිල කාලය අවසන් වීමට වසරකට පෙර අත්තනෝමතිකව විසුරුවා හරිමින් අලුත් මැතිවරනයක් කැඳවුම් කලේ ය. මෙම පලාත් සභා විසුරුවා ලීම සම්බන්ධව නිල වසයෙන් කරුනු පැහැදිලි කිරීමක් ආන්ඩුව විසින් කර නැත. දැනට මෙම පලාත් සභා තුනම පාලනය කරනු ලබන්නේ රාජපක්ෂගේ එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) විසිනි.

"කලින් කලට අපට මහජනයාගේ නාඩි වැටීම දැන ගැනීමට අවශ්‍යය” යයි ජනාධිපතිගේ සහෝදරයෙකු වන ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ ඩේලි මිරර් පත‍්‍රය සමග කල සම්මුඛ සාකච්ඡාවක දී සඳහන් කලේය. ආන්ඩුව මෙම මැතිවරන කෙක්කෙන් හෝ කොක්කෙන් දිනා ගැනීමට අදහස් කරන අතර අත්‍යවශ්‍ය භාන්ඩ සඳහා පවතින මිල සහන හා සෞඛ්‍යය, අධ්‍යාපනය ඇතුලු සමාජ සුබසාදන කපා හැරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නියමකරනු ලැබ ඇති කප්පාදු වැඩ පිලිවෙලට ලැබුන මහජන අනුමැතියක් ලෙස හුවාදැක්වීමට එම ජයග‍්‍රහනය පාවිච්චි කරනු ඇත.

පවතින සැබෑ තත්වය නම්, ආන්ඩුවට සහ ආන්ඩුවේ ප‍්‍රතිපත්තිවලට මහජනයාගේ විරුද්ධත්වය වර්ධනය වෙමින් තිබීම යි. තම ජීවන තත්වයන් හා මූලික ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් රැක ගැනීම සඳහා කම්කරුවන්, ගොවීන්, ධීවරයන්, රැකියා විරහිත තරුනයන් හෝ ශිෂ්‍යයන් විසින් රටේ කවර කොටසක හෝ මහපාරක කෙරෙන විරෝධතා උද්ඝෝෂනයකින් තොරව ගතවන දවසක් නැති තරම් ය. තෙල් ඇතුලු අත්‍යවශ්‍ය භාන්ඩ මිල දැවැන්ත ලෙස වැඩි කිරීම නිසා මහජනතාවට ජීවත්වීමට අතිශයින්ම දුෂ්කර තත්වයක් නිර්මානය කර තිබේ.

යුද්ධය අවසන්ව වසර තුනක් ගත වී ඇතත්, සාමය සහ සමෘද්ධිය ගැන රාජපක්ෂගේ පොරොන්දු පචයක් බව ඔප්පු වී ඇත. ආන්ඩුව මෙරට තුල ක‍්‍රියාවට දමමින් සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනය විසින් යුරෝපය හා ජාත්‍යන්තරව කි‍්‍රයාවට දමන ලෙස ඉල්ලා සිටිනු ලැබ ඇති රුදුරු වැඩ පිලිවෙලම ය. දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි ඔහුගේ යුද්ධය සඳහා ගෙවිය යුතු දැවැන්ත නය බර ගොඩ ගැසීමෙන් පසු, රාජපක්ෂ දැන් ගැඹුරුවන ආර්ථික අර්බුදයේ බර ද වැඩ කරන ජනතාවගේ කර මත පටවනු ලබයි.

ආන්ඩුවට තම කප්පාදු න්‍යාය පත‍්‍රය ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ක‍්‍රියාවට දැමිය නොහැකි ය. සිය වැටුප්, රැකියා හා ජීවන තත්වයන් රැක ගැනීමට කම්කරුවන් ප‍්‍රයත්න දරන විට දසක ගනනාවක සිවිල් යුද්ධය තුල ගොඩනගන ලද පොලිස්-මිලිටරි රාජ්‍ය උපකරන ඔවුන්ට එරෙහිව පාවිච්චි ‍ෙකරේ. පෙබරවාරි මාසයේ තෙල් මිල ඉහල දැමීමට විරෝධය පෑ ධීවරයන්ට පොලීසිය සිදු කල වෙඩි තැබීමෙන් ධීවරයෙකු මරනයට පත් විය. පසු ගිය මැයි මාසයේදී, වර්ජනයේ යෙදුන නිදහස් වෙලඳ කලාප කම්කරුවන්ට පොලීසිය එවැනිම ප‍්‍රහාරයක් එල්ල කලේ ය.

පසුගිය මැතිවරනවලදී මෙන්ම, රාජපක්ෂ සහ ඔහු වටා සිටින පාලක කල්ලිය එහි අපේක්ෂකයන්ගේ වාසියට, චන්ද මිලදී ගැනීමට හා විරුද්ධවාදීන් බිය ගැන්වීමට රාජ්‍ය සම්පත් නිසැකව ම උපයෝගී කර ගනු ඇත. එවැනි වැඩ කටයුතු දැනටමත් පටන් ගෙන ඇති බවට කැෆෙ සහ පැෆරල් යන මැතිවරන නිරීක්ෂන සංවිධාන කරුනු ඉදිරිපත් කර තිබේ.

ප‍්‍රධාන විරුද්ධ පක්ෂ කිසිදු ප‍්‍රගතිශීලි විකල්පයක් ඉදිරිපත් නොකරති. එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) එල්ටීටීඊය ට එරෙහි ආන්ඩුවේ වාර්ගික යුද්දයට සහයෝගය දුන් අතර එහි යුද අපරාධ සහ දෙමල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් මැඩලීම ආරක්ෂා කලහ. ඔවුන් කම්කරු පන්තිය වෙනුවෙන් කතාකරන බව ප‍්‍රකාශ කලත්, බලයේ සිටිය දී පක්ෂ දෙකම ධනපති පන්තිය විසින් ඉල්ලා සිටින ලද වෙලඳපොල ගැති න්‍යාය පත‍්‍රය ක‍්‍රියාවට දැමූහ.

අපිලිවෙලට පලාත් සභා මැතිවරන පැවැත්වීම පිලිබඳව ආන්ඩුව හෙලා දකින එජාපෙ සහ ජවිපෙ එහි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී විධික‍්‍රම විවේචනය කරන්නේ ආන්ඩුවේ පිලිවෙත් සමග ඔවුන්ට මූලික මතභේද නැතිකම ගැන අවධානය යොමුවීම වැලැක්වීමට පමනි. 1978-1994 අතර එහි පාලන කාලය තුල දී සිවිල් යුද්ධය පටන් ගත් එජාපය, වෙලඳපොල ගැති ප‍්‍රතිව්‍යුහකරනය ආරම්භ කලේය. ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එය කුප‍්‍රකටය.

එජාපෙට සහ ජවිපෙට ප‍්‍රජාතන්ති‍්‍රකයන් සහ වැඩ කරන ජනතාවගේ ආරක්ෂකයන් ලෙස මවා පෑමට හැකිවී ඇත්තේ මධ්‍යම පන්තික හා ව්‍යාජ රැඩිකල් සංවිධාන වන නව සම සමාජ පක්ෂයේ (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂයේ සහයෝගය නිසා පමනි. මෙම දක්ෂිනාංශික පක්ෂයට ප‍්‍රගතිශීලි විශ්වසනීයත්වයක් ලබා දීමේ තැතක් ලෙස නසසපය හා එසපය විරෝධතා ව්‍යාපාරවලදී එජාපය සමග බද්ධ වී සිටිති.

එජාප, නසසප, එසපෙ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුන (ප‍්‍රජපෙ) සහ කලින් එල්ටීටීඊයේ පාර්ලිමේන්තු හොරනෑව වූ දෙමල ජාතික සන්ධානයේ එකතුවක් වන ඊනියා ඒකාබද්ධ විපක්ෂය උතුරු පලාත් සභා මැතිවරනයට ප‍්‍රමුඛත්වය දෙන ලෙස රාජපක්ෂගෙන් ඉල්ලා තිබේ. එවැනි ඡන්දයක දී උතුරේ මර්දනකාරී මිලිටරි වාඩිලාගනීම ලිහිල් කිරීමට රාජපක්ෂට බලකෙරෙනු ඇතැයි යන සාවද්‍ය පදනම මත ඉදිරිත් කෙරුනු එම ඉල්ලීම ආන්ඩුව විසින් ප‍්‍රතික්ෂේප ‍ෙකරුනි.

මෙම මැතිවරනයේ දී සමාජවාදී විකල්පයක් සඳහා සටන් කරන එකම පක්ෂය සමාජවාදී සමානතා පක්ෂය පමනි. වැඩකරන ජනතාවගේ දැවෙන සමාජ ප‍්‍රශ්නවලට විසඳුම් කෑගල්ල දිස්ති‍්‍රක්කයේ සීමා තුල තබා ශ‍්‍රී ලංකාවේ දේශසීමා ඇතුලතවත් ඇත්තේ නැත. වඩ වඩා නරක අතට හැරෙන ගෝලීය ධනවාදයේ වර්තමාන අර්බුදය 1930 ගනන්වල මහා අවපාතයෙන් පසු එලඹි ගැඹුරුතම අර්බුදය යි. එය විසින් නව යුද්ධ, විරැකියාව සහ දුප්පත්කම නිර්මානය ‍කෙ‍ෙරන අතර ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් මත ප‍්‍රහාරය තීව‍්‍ර කෙරේ. කම්කරු පන්තියට එහි මුලික අයිතීන් රැක ගත හැක්කේ, ලාබ පද්ධතිය අහෝසිකරන සැලසුම්ගත සමාජවාදී ලෝක ආර්ථිකයක් තහවුරු කිරීමේ ඒකාබද්ධ ප‍්‍රහාරයක් සඳහා එ්කාබද්ධ වීම මගින් පමනි.

කම්කරු පන්තියේ එකමුතුව තහවුරු කල හැක්කේ, සකලාකාර ජාතිකවාදයන්ට හා වාර්ගිකවාදයන්ට විරුද්ධව සටන් වැදීමෙනි. දෙමල ජනතාවට එරෙහි කොලඹ ආන්ඩුවේ යුද්ධයට විරුද්ධවීමේ හා මූලික ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් ආරක්ෂා කිරීමේ සසප දිගුකාලීන වාර්තාවේ අර්ථභාරය එයයි. කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා අරගලය තුල සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන් ඒකාබද්ධ කර බලමුලු ගැන්වීමටත්, නාගරික සහ ගම්බද දුගීන් ඒ වටා පෙල ගැස්වීමටත් සසප සටන් කරයි.

පොහොසත් අතලොස්සකගේ නොව, පලල් බහුතරයකගේ සමාජ අවශ්‍යතාවයන් සැපිරීම සඳහා සමාජය උඩ සිට පහලට ප‍්‍රතිසංවිධානය කිරීමේ සමාජවාදී ප‍්‍රතිපත්තිවල පදනම මත සමාජවාදී සමානතා පක්ෂයේ අපේක්ෂකයන් කම්කරු පන්තියේ අරගල තුල මැදිහත් වනු ඇත. ශී‍්‍ර ලංකා - ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සටන ජාත්‍යන්තර හා දකුනු ආසියානු එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා අරගලය සමග මුලුමනින්ම බද්ධව තිබේ.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන සසප, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ එහි සහෝදර පක්ෂ සමග එකාබද්ධව, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය ඉදිරිපත් කරයි. අපගේ මැතිවරන ව්‍යාපාරයට කි‍්‍රයාශීලීව සහයෝගය දෙන ලෙසත් අපගේ අපේක්ෂකයන්ට ඡන්දය දෙන ලෙසත්, අන් සියල්ලටමත් වඩා විප්ලවවාදී පක්ෂයට බැඳීමට ඉල්ලුම් කරන ලෙසත් කම්කරුවන්, ගොවීන්, තරුනයන් හා ශිෂ්‍යයන්ගෙන් සසප ඉල්ලා සිටී.

Share this article: