යුරෝ අර්බුදයේ නව අදියරක්

A new stage in the euro crisis

26 July 2012

යුරෝ අර්බුදය පිලිබඳ නව සිරස්තල කියවන කල යමෙක් අත්දකින්නේ මායාකාරී හැඟීමකි. පසුගිය ග්‍රීෂ්මයේදී මෙන්ම වර්ගීකරන ආයතන සිය නය වර්ගීකරන පහත හෙලමින් ද ආන්ඩු බැඳුම්කරයන් සඳහා පොලී අනුපාත අහස උසට නගිමින් ද ඇති අතර ආන්ඩු නව කප්පාදු පියවර නිවේදනය කරමින් සිටියි. අර්බුදයේ නාභිය බවට පත්ව තිබුනු, ස්පාඤ්ඤයේ ආර්ථිකයෙන් පහෙන් එකක් පමන වන ග්‍රීසියේ තැන, දැන් ස්පාඤ්ඤයට හිමිව තිබේ.

බිලියන ගනන් ඇපදීම් හා යුරෝපීය මහ බැංකුව එන්නත් කල යුරෝ ට්‍රිලියන ගනන් මෙන්ම, එක් වටයකින් පසුව තවෙකක් වශයෙන් ක්‍රියාත්මක කල කප්පාදු පියවර හමුවේ පවා යුරෝව, පෙර කවර කලෙකටත් වඩා ආගාධයට සමිපවී තිබේ. "නොගිනිය හැකි පරිමානයේ විනාශයක් දෙසට යුරෝපය නින්දෙන් ඇවිද යන බව අපි විශ්වාස කරන්නෙමු.” මේ සතියේ පල කල වාර්තාවක යුරෝපීය අර්ථශාස්ත්‍රඥයින් 17 දෙනෙක් එසේ අනතුරු ඇඟවූහ.

නරක අතට හැරෙන අර්බුදය, තනිකරම දකුනු යුරෝපීය රටවල රාජ්‍ය නය ඉහල යාම කෙරෙහි වෙලඳපොලවල් දක්වන හුදු තාක්ෂනික ප්‍රතිචාරයක් ලෙස සැලකීම නිවට කමක් වනු ඇත. 25දා පලවූ ෆිනෑන්ෂල් ටයිම්ස් කතුවැකිය පවා මෙසේ පිලිගෙන තිබුනි. ස්පාඤ්ඤයේ රාජ්‍ය නය "යුරෝ කලාපයේ සාමාන්‍යයට වඩා බෙහෙවින් පහත්ය. සතියකට පෙර ස්පාඤ්ඤය පිලිබඳව තිබුනාට වඩා වෙනස් හැඟීමක් දැන් ඇතිකර ගැනීමට, යටින් දිවෙන ආර්ථික හේතු කිසිවක් ඇත්තේ නැත.” එසේ වුවත් දස වසරේ ස්පාඤ්ඤ බැඳුම්කර සඳහා පොලී අනුපාත සියයට 7 තීරනාත්මක සීමාව ඉක්මවා නැඟී ගියේය.

යුරෝව මත යෙදෙන ප්‍රහාරය පිටුපසින් මූලික පන්ති අවශ්‍යතාවන් ක්‍රියාත්මක වෙයි. කොටස් හුවමාරු හා මූල්‍ය වෙලඳපොලවල් මත අධිකාරය දරන ජාත්‍යන්තර මූල්‍ය කතිපයාධිකාරය, දෙවන ලෝක සංග්‍රාමයෙන් ඉක්බිතිව යුරෝපීය කම්කරු පන්තිය දිනාගත් සියලු සමාජ සහන සියල්ල වනසා දමන තෙක් අස්වැසීමක් නොලබයි. අධ්‍යාපනයට, සෞඛ්‍යයට, විශ්‍රාම සඳහා, රාජ්‍ය සේවා හා යටිතල පහසුකම් සඳහා ආන්ඩු වියදම් දරද්දී, වැටුප් හා කම්කරු අයිතීන් පිලිබඳව ඇතිකරගෙන තිබෙන සාමුහික ගිවිසුම්, ඔවුන්ගේ ඇස් හමුවේ දිස්වන්නේ තම ධනය මත පනවා තිබෙන අවජාතක බාධකයන් ලෙසය.

නිශ්චිත රටාවක් පිහිටුවා තිබේ. පලමුව වර්ගීකරන ආයතන රටක නය ගෙවීමේ හැකියාව පහත හෙලයි. එහි ප්‍රතිපලය වශයෙන් ඒවායේ නය වෙනුවෙන් ගෙවිය යුතු පොලී අනුපාත ඉහල නගියි. එම රට නය උගුලක සිරවන අතර ආධාර පතා යුරෝපීය සංගමය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත හැරෙයි. මෙම ආයතන මත අධිකාරය දරන්නේ ප්‍රධාන ජාත්‍යන්තර බැංකුය. ඒවා නය හිමියන්ගේ නය සහතික කරන අතර එම රට වෙනුවෙන් කුරිරු කප්පාදු වැඩසටහන් පටවනු ලබයි. රට ආර්ථික පසුබෑමකට මුහුන දෙන අතර නය එන්ට එන්ටම ඉහල නගියි. ඒ පිටුපසින් තව තවත් කප්පාදු නියෝග පැනවෙයි. ශුභ සාධක රාජ්‍යය විනාශ කරන හා කම්කරු පන්තිය නෂ්ට කරන තෙක් පසුබෑම උග්‍ර අතට හැරෙයි.

ග්‍රීසිය සමස්ත යුරෝපයටම යොදනු ලැබිය හැකි නිදසුනක් වනු ඇතැයි ලෝක සමාජවාදී වෙබ් අඩවිය නිරතුරුව අනතුරු ඇඟවීය. දැන් එලඹ ඇත්තේ ස්පාඤ්ඤයේ වාරයයි.

මේ සතියේදී මූඩීස් ආයතනය ජර්මනියේ (AAA) ඒ තුනේ වර්ගීකරනයෙහි පෙනුම රිනාත්මකයකට පහත හෙලීය. එය නෙදර්ලන්තය, ලක්සම්බර්ග් යන රටවල මෙන්ම යුරෝපීය මූල්‍ය ස්ථායිකරන පහසුකම් නමැති යුරෝපීය ඇපදීමේ අරමුදලේ දැක්ම ද බාල්දු කලේය. එය සලකුනු කරන්නේ කම්කරු පන්තියට එරෙහි ප්‍රහාරය ස්පාඤ්ඤ හෝ ඉතාලියානු දේශසීමාවන්ගෙන් නතර නොවන බවයි. යුරෝපය පුරා කම්කරු පන්තියේ ජීවන තත්වයන්, චීනය හා අනෙකුත් පහල වැටුප් ගෙවන රටවල මට්ටමට ඇද දමන තෙක් මූල්‍ය වෙලඳපොලවල් විරාමයක් නොගනු ඇත.

මෙම ප්‍රතිරෝධය ජයගැනීමට නම්, ස්පාඤ්ඤ කම්කරුවන් ග්‍රීසියේ සිදුවීම් පිලිබඳ පාඩම් ඉගෙන ගත යුතුය. එහිදී ද මිලියන ගනනක් යුරෝපීය සංඟම‍ෙය්, මූල්‍ය අරමුද‍ෙල් හා තමන්ගේම ආන්ඩුවේ කප්පාදු නිර්දේශයන්ට එරෙහිව සටන් වැදුනහ. යලි යලිත් රට අඩපන කල මහජන විරෝධතා හා මහා වැඩවර්ජන ඇති විය. එහෙත් ඔවුන් කිසිවක් දිනා ගත්තේ නැත.

පසුගිය දෙවසර පුරා ග්‍රීක ජනතාවගේ ජීවන තත්වයන් සියයට 50න් පමන පහත වැටී තිබේ. විරැකියාව වාර්තාගත මට්ටම් කරා නැඟුනි. දුප්පත්කම හා නිවාස නොමැතිකම පුපුරන සුලු තත්වයකට ලඟාවී ඇත. සමාජ තත්වයන් විනාශකාරී තැනක පවතියි. 2009 වසන්තයේදී බලයෙන් පහකරන ලද දක්ෂිනාංශික නව ප්‍රජාතන්ත්‍ර පක්ෂය යලි බලයට පත්ව තිබේ. දැන් ධනපති දක්ෂිනාංශය විසින් නායකත්වය දරන සභාග ආන්ඩුවේ "ජාතික එකමුතුව” පිලිබඳ තත්වය තුල රට හමුවේ, බංකොලොත් කම ලඹදෙමින් තිබේ.

මෙය සිදුවූයේ කෙසේ ද?

ත්‍රිත්වය ලෙස හඳුන්වන යුරෝපීය කොමිසම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා යුරෝපීය මහ බැංකුව අන කල පරිදි රුදුරු ලෙස කප්පාදු පියවර පැනවූ සමාජ ප්‍රතිසංස්කරන පොරොන්දු වෙමින් වසර තුනකට පෙර මැතිවරනය ජයගත් සමාජ ප්‍රජාතන්ත්‍ර පැසොක් පක්ෂය මත, පලමුවත් පරිපූර්නවත් වගකීම පවරෙයි. එහෙත් පැසොක් පක්ෂය තම අපරාධයන්හිදී බෙහෙවින් රැඳී සිටියේ, කම්කරුවන්ගේ විරෝධතා එක් දින වැඩ වර්ජන හා බෙලහීන විරෝධතාවන් තුල කොටු කරමින් ආන්ඩුව ආරක්ෂා කිරීමට හිතා මතාම කම්කරු පන්තියේ ප්‍රතිරෝධය රඳවා දියකර හැරීමට කටයුතු කල වෘත්තීය සමිති සංස්ථාපිතය මතය. කම්කරුවන්ගේ අරගලයක්, වෘත්තීය සමිති ග්‍රහනයෙන් මිදී වැඩකරන ජනතාවගේ පුලුල් කොටස් බලමුලු ගැන්වීමේ තර්ජනය එල්ල කල සෑම විටෙකම මෙම සමිති, එහි ගෙල සිරකර හුදෙකලා කිරීමට වැඩ කරමින් රජය එය තලා දමන තෙක් බලා සිටියහ.

අනෙක් අතට සමිති, සිරිසා නමැති රැඩිකල් වාම හවුලේ සිය අනුචරයින් හා එහි විවිධාකාර ව්‍යාජ වාම ආරක්ෂකයින් මත වාරු වූහ. කම්කරුවන් සමිති සංස්ථාපිතයට යටත් විය යුතුයයි අවධාරනය කරමින් ඔවුහු ඒවායේ පාවාදීම් වසං කලහ.

කප්පාදු පියවරයන්ගේ ප්‍රතිවාදියෙක් ලෙස පෙනී සිටිමින් සිරිසා, මෑත මැතිවරනවලදී රටේ දෙවෙනියට බලගතුම පක්ෂය බවට පත් විය. ඒ අතරම ඔවුන්, ග්‍රීසිය යුරෝ කලාපය තුල තබාගන්නා බවට මූල්‍යයේ ජාත්‍යන්තර අධිකාරීන්ට පොරොන්දු දෙමින් රටේ නය ආපසු ගෙවන බවට සහතික විය. ග්‍රීසිය යුරෝපීය සංගමයෙන් කැඩී වෙන්වීමට සිරිසා එක හෙලා විරුද්ධ විය.

එහි වාම කයිවාරු තිබියදීම සිරිසාව ග්‍රීක ධනේශ්වරයේ දේශපාලන ආසක්තයන් වැලඳගෙන සිටියි. පැසොක් හා නව ප්‍රජාතන්ත්‍රය සමග එහි මතභේද තනිකරම උපායාත්මකය. යුරෝපීය සංගමය විසින් අනවන කප්පාදු පියවර මගින් තම වරප්‍රසාදිත තත්වයට තර්ජනයක් වේයයි ද ඊටත් වඩා කම්කරු පන්තියේ ප්‍රතිරෝධයෙන් තර්ජනයට ලක්වේයයි ද කල්පනා කල ඉහල මධ්‍යම පන්තියේ කොටස් මත සිරිසාව වාරුවී සිටියි. කම්කරු පන්තියේ ප්‍රතිරෝධය දියකර මැඩීම සඳහා ධ‍ෙන්ශ්වරයට සිය සේවය සැපයීමට ඊට හිලව් වශයෙන්, තමන් සඳහා වාසිදායක ගිවිසුමක් ගසාගැනීම මගින් මෙම ස්ථර සිය වරප්‍රසාද රැකගැනීම කෙරෙහි බලාපොරොත්තු රැඳවූහ. සිරිසාහි යට තට්ටුව සමාජ විප්ලවයට පරම සතුරු, ග්‍රීක හා යුරෝපීය ධනවාද‍ෙය් ආරක්ෂකයින් වෙති.

කම්කරු පන්තියට සිය අයිතීන් හා තම අතීත සමාජ සහන රැකගත හැක්කේ වෘත්තීය සමිතිවලින් ද සිරිසා වැනි ව්‍යාජ වම්මුන්ගෙන් කැඩී වෙන් වෙමින්, සමාජවාදී හා ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක් වෙත හැරී නව විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීමෙන් පමනක් බව, ග්‍රීසිය පෙන්නුම් කර තිබේ.

යුරෝපීය සංගමය හා ධනවාදය ආරක්ෂා කරන අතර වාරයේ කප්පාදු පියවරයන්ට එරෙහිව සටන් වැදිය නොහැකිය. මූල්‍ය වෙලඳපොලවල අනසකට යුරෝපය යටත් කරන ප්‍රධානම මෙවලම යුරෝපීය සංගමයයි. බැංකුකරුවන්ගේ සංගමය හා එහි සංස්ථාපිත ධනේශ්වර ආන්ඩු පෙරලා දැමීමටත්, එක්සත් සමාජවාදී යුරෝපීය සමූහාන්ඩුවක් ගොඩනැගීමටත්, සමස්ත යුරෝපීය කම්කරු පන්තියම රැලි විය යුතුය.

පීටර් ෂ්වාස්

Share this article: