සම්මානනීය වෙන්වීමක් චිත‍්‍රපටය සහ ඉරාන ජනතාවගේ මනුෂ්‍යත්වය

The award-winning A Separation and the humanity of the Iranian people

By David Walsh, 30 March 2012

චිත‍්‍රපටයක් නැතහොත් යම් කලාකෘතියක් වෙනුවෙන් අප අපේ ඉදිරිදර්ශන කොලම කැප කරතොත් ඒ ඉතා කලාතුරෙකිනි. එසේවතුදු, ඉරාන සිනමාකරු අස්ඝර් ෆර්හාඩිගේ A Separation* (වෙන්වීමක්) චිත‍්‍රපටය, එය බිහි වන සන්දර්භයත් ඊට ම ආවේනික කුසලතාත් අතර පවතින සුසංයෝගය කරනකොටගෙන මෙයාකාරයෙන් බාර ගනු වටී. කීමට බොහෝ දෑ ඇති එම කලාකෘතියට, වර්තමාන තත්වය විසින් තියුනු හෘදයංගම බවක් හා සුවිශේෂ අදාලත්වයක් පැවරී ඇත.

එක්සත් ජනපද ආන්ඩුව හා එහි මිලිටරි ඔත්තු සේවා හස්තය, ඊස්රායල තන්ත‍්‍රයේත් එහි යුරෝපීය මිතුරන්ගේත් අනුදැනුම ඇතිව ඉරානයට එරෙහි හමුදා ක‍්‍රියාමාර්ගයක් දෙසට දයාවිරහිතව ගමන් කරමින් සිටී. මෙහි පූර්ව-නිමිත්ත ඉරාන න්‍යෂ්ටික වැඩපිලිවෙල යි.

එබඳු යුද්ධයක අර්ථය, ඉරාන ජනගහනයට සහ කලාපීය ජනතාවන්ට කිව නොහැකි තරම් දුක්පීඩා උරුම වීමකි. එය, ඊස්රායල වැසියන්, අමෙරිකානුන් හා යුරෝපීයයන් හට ද බලපාන්නා වූ පෘථිවි ගෝලීය පරිමාන ව්‍යසනකාරී විපාක උද්ගත වීමෙහි විභවයකින් ද යුක්ත වනු ඇත.

ජනාධිපති බැරැක් ඔබාමා, රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් හා ආරක්ෂක ලේකම් ලියොන් පැනේටා ඉරානයේ න්‍යෂ්ටික අභිප‍්‍රායයන් පිලිබඳව පදනම් විරහිත ප‍්‍රකාශ ක‍්‍රියාකාරී යන්ත‍්‍ර මෙන් විධිමත්ව නිකුත් කරනුයේ, හරියට, 2003 මාර්තු ඉරාක ආක‍්‍රමනයට ගැම්ම ගැනීමෙහිලා එක්සත් ජනපද ආන්ඩුව හා ජනමාධ්‍ය මගින් පතුරුවා හල "සමූහ නාශක අවි” පිලිබඳ ගනන් නැති බොරු ප‍්‍රචාර ගැන අපට අත්දැකීමක් නැතුවා මෙනි.

එම සංත‍්‍රාසමය අත්දැකීම, වඩා විනාශකාරී පරිමානයෙන්, ඉරානය තුල දී ලෝකයා නැවත වරක් අත්විඳිනු ඇති ද?

ඉරානයේ දුෂ්ට ක‍්‍රියා පිලිබඳ ප‍්‍රවෘත්ති වාර්තා නමැති ගිනි බෝම්බ දිනපතා ම පාහේ අමෙරිකානුන් මත හෙලනු ලැබේ: එක්සත් ජනපදයට හා ඊස්රායලයට එරෙහි එහි "තර්ජන”, එය ත‍්‍රස්තවාදයට දෙන සහයෝගය, එහි ප‍්‍රචන්ඩකාරී භූ-දේශපාලනික අභිප‍්‍රායයන් යනාදිය. ඉරාන ජනතාව මත්, ඔවුන් සිය ප‍්‍රචාරක කාර්යයන්ට සේවය කරන අවස්ථාවන්හි දී හැර – නිදසුනක් ලෙස, ඉහල මධ්‍යම පන්තික හරිත විපාර්ශ්ව ව්‍යාපාරය ගැන පවසන විට හැර, පින්තාරු කෙරෙනුයේ ආගමික ධර්මෝන්මාදයෙන් හා අමෙරිකානුන් කෙරෙහි අහේතුක වෛරයෙන් කුලප්පු වූ ආගන්තුක, එදිරිවාදී, නොමිනිස් සත්ව කොට්ඨාශයක් ලෙසිනි.

වෙන්වීමක් චිත‍්‍රපටය, ඉරාන ජීවිතයෙහි සැබෑ තතු අමෙරිකානුන්ට හා සෙසු බටහිර වාසීන්ට මුන ගස්වන විරල අවස්ථාවකි. අමෙරිකානු සිනමා කර්මාන්තයේ බොහෝ නිපැයුම් මෙන් නොව, මේ චිත‍්‍රපටය සෘජු ය, අව්‍යාජ ය. නිව් රිපබ්ලික් පුවත්පතේ සිනමා විචාරකයා හට, ෆර්හාඩිගේ කෘතිය සමඟ සසඳන විට, එම පොදු කතා වස්තුව ම විෂය කොට ගත් අමෙරිකානු චිත‍්‍රපට "බොල්, සෝබන හා ධන ප‍්‍රදර්ශනකාමී” ඒවා යයි පිලිගැනීමට බල කෙරුනි.

වෙන්වීමක් හි කේන්ද්‍රීය ගැටලූ ගැඹුරින් ම මානුෂික ය, තරයේ විශ්වසනීය ය. ටෙහෙරානයේ මධ්‍යම පන්තික අඹුසැමි යුවලක් දික්කසාදය අද්දර සිටිත්. සිය දියනිය ද කැටුව ඉරානයෙන් පිටවීමට බිරිඳ වන සිමින්ට වුවමනා වී ඇත. අල්සයිමර් රෝගයෙන් [අකලට මහලූව ස්මරන ශක්තිය දුර්වල වීම] පෙලෙන සිය පියාට ඇප උපස්ථාන කරමින් රට තුල ම රැඳී සිටීමට සැමියා වන නඩාර්ට බල කෙරී ඇත. පියා දැන් තම පුතා කවරෙකු ද කියාවත් නොදන්නා බව සිමින් පවසන විට නඩාර් පිලිතුරු දෙනුයේ "ඒත්, මම දන්නවා ඒ මගේ තාත්තා බව!” යනුවෙනි.

බිරිඳ සිය මව සමඟ විසීමට පිටත්ව යන විට, නඩාර් පියාගේ සාත්තුව පිනිස රාසෙයි නමැති කම්කරු පන්තික ස්ත‍්‍රියක මෙහෙකාර සේවයෙහි යොදවයි. රාසෙයි ගර්භනියකි. රැකියා විරහිතව සිටින ඇගේ සැමියා වන හොජැට් පසුපස නයකරුවෝ ලූහු බඳිත්. ස්වකීය සෞඛ්‍ය තත්වය හදිසියේ අයහපත් වීම නිසා වැඩ දිනය අතරතුර දී ම වෛද්‍යවරයෙකු හමු වීමට බල කෙරෙන රාසෙයි, ඔල්මාදයෙන් පෙලෙන මහල්ලා ඔහුගේ ඇඳ විට්ටමට බැඳ තබා පිටව යයි. නිවෙස වෙත එන නඩාර් තම පියාගේ එම ශෝචනීය ඉරියව්ව දැක කුපිත වෙයි. පෙරලා පැමිනි රාසෙයි සමඟ හබයක පැටලෙන ඔහු ඇය නිවෙසින් දොට්ට දමයි. අනතුරුව, අප දකින පරිදි, රෝහල්ගත වන රාසෙයි මල දරුවෙකු ප‍්‍රසූත කරන්නී ය. පඩිපෙලින් පහලට ඇද දැමීමෙන් කුස ඔත් බිලිඳාගේ ජීවිතය විනාශ කලේ යයි රාසෙයි සහ ඇගේ සැමියා නඩාර්ට චෝදනා කරත්.

කථාව දිගහැරෙන විට, ලමුන් ද ඇතුලුව හැම චරිතයක් ම දැරිය නොහැකි තරම් පීඩාවන්ගෙන් පෙලෙන්ට පටන් ගනී. වෙනස් විය යුතු දෑ වෙනස් කල විට, මේ නාටකය ම බොහෝ අමෙරිකානු පුරවර හා නගර ද ඇතුලු ගනන් නැති වෙනත් ස්ථානයන්හි රූගත කල හැකි ය.

වෙන්වීමක්, තීව‍්‍රතර ප‍්‍රතිවිරෝධතාවන්ගෙන් ගහන ඉරාන සමාජය පිලිබඳ චාටු බසින් තොර, යථාර්ථවාදී පින්තූරයකි. සියලු ජන කොට්ඨාශ අරබයා එය අවංක ය. ඒ අතර, හැම කේන්ද්‍රීය භූමිකාවක් ම – එකිනෙකට පටහැනි ප‍්‍රකාශ ගැන තීන්දු දීමට සිදු වන මහේස්ත‍්‍රාත්වරයා පවා සාධාරනවත් සානුකම්පිතවත් සැලකුම් ලබා ඇත. වරදකාරී බව හෝ නිර්දෝශී බව පිලිබඳව ඒ ඒ චරිතය තුල පවත්නා පුද්ගලික හැඟීමෙහි තරාතිරම් කෙමෙන් පසුබිමට මැකී යන අතර ඛෙදයෙහි අවසන් වගකීම පැහැදිලිව ම ප‍්‍රගාඪ සමාජාර්ථික ආතතීන් මත පැටවෙයි. කෙලවර, අන් තැනෙක දී මෙන් ම, වඩා ධනවත් යුවල තමන් අත ම වාසිය රඳවා ගනී.

වෙන්වීමක් හි රඟපෑම් අනර්ඝ ය – කිව යුතු දොසක් ඇත්තේ ම නැති තරම් ය. ෆර්හාඩිගේ චිත‍්‍රපටය, මෑත දශකයන්හි අත්‍යන්තයෙන් මානුෂීය ඉරාන සිනමා සම්ප‍්‍රදාය තුල ඉහලින් වැජඹෙන අතර එය අබ්බාස් කියරොස්තාමිගේ මිතුරාගේ නිවහන කොහි ද? (Where is the Friend’s Home? ), සමීප රූපය (Close-Up ) හා ඔලිව් රුප්පාව අතරින් (Through the Olive Trees ), ජෆාර් පනාහිගේ සුදු බැලූම (The White Balloon ) හා කැඩපත (The Mirror ) සහ වෙනත් කෘති ගනනාවක් සමඟ එක පෙලට සිටී.

වෙන්වීමක් චිත‍්‍රපටය නරඹන සහෘදයා හමුවේ අනාවරනය වනුයේ සංකීර්න වූත් බෙහෙවින් ප‍්‍රබුද්ධ වූත් සමාජයකි. එහි දෛනික ජීවිතය, සෘජුව ම කියතොත්, වත්මන් එක්සත් ජනපදය තුල පවතිනවාට වඩා ශිෂ්ට මං ඔස්සේ ඇදී යයි.

විදේශික පීඩනය පිලිබඳ දීර්ඝ, බිහිසුනු ඉතිහාසයක් සහිත රටකි, ඉරානය. 1953 දී, ප‍්‍රජාතන්තවාදී ලෙස බලයට පත් ඉරාන ආන්ඩුවට එරෙහිව අමෙරිකාව හා බි‍්‍රතාන්‍යය විසින් කුමන්ත‍්‍රනයක් සංවිධානය කෙරින. ඒ අනුව ස්ථාපිත දුර්දාන්ත ශා [මොහොමඩ් රේසා පාලවි] රාජ තන්ත‍්‍රය, 1979 දී බලයෙන් පහ කෙරෙන තෙක් ම බටහිර තෙල් සමාගම්වල ඕනෑඑපාකම් ආරක්ෂා කලේ ය.

"අමෙරිකානු ජනතාවගේ” නාමයෙන්, එක් හෝ තවත් පාරදෘශ්‍ය මුසාවාදයක් මත පදනම් වෙමින් ඉරානයට එරෙහි යුද්ධයක් ඉක්මනින් දියත් කෙරෙනු ඇති ද?

වෙන්වීමක් චිත‍්‍රපටයෙහි අප දකින වීදි, ගොඩනැගිලි හා මනුෂ්‍ය ජීවිත මත අමෙරිකානු මාරක බෝම්බ හා මිසයිල වරුසා ඉක්මනින් කඩාපාත් වෙයි ද? ඔබාමා, කැමරන්, සාර්කෝසි හා නෙතන්යාහුගෙන් සැදුම් ලත් අපරාධ රැහැන එහි මාවත පාදා ගනී ද? සිතා ගැනුම පවා දුෂ්කර වුව කටුක යථාර්ථය එය යි. පූර්න පරිමාන යුද්ධයකින් මෙපිට වුව, ආර්ථික සම්බාධක හා සෙසු ක‍්‍රියාමාර්ග මගින් ඉරාන ජීවිතය අහුරනු ලැබ තිබෙන අතර වෙන්වීමක් තුල නිරූපිත පරිපීඩනයන් මෝදු වීමෙහිලා ඒවා ඉවහල් වී ඇති බවට සැක නැත.

මේ ඇයි ද? එමගින්, මැදපෙරදිග බලශක්ති සැපයුම වෙත තමන්ට වැඩිතර යොමුවක් පාදා ගැනුමටත් ඒ සඳහා බාධකයක්ව ඇතැයි ඔවුන් සලකන පාලන තන්ත‍්‍රයක් අතුගා දැමීමටත් එක්සත් ජනපදයට හා එය පසුපස ඇදෙන කැනහිලුන්ට හැකි වන බැවිනි.

අමෙරිකානු මාධ්‍ය, උද්ගතව ඇති තත්වය පිලිබඳ විකෘත චිත‍්‍රයක් මවාපාමින් මහජනතාවන් අවිචාරය කරා කැඳවාගෙන යමින් සිටී. නිදසුනක් ලෙස, ගිනිය නොහැකි සංඛ්‍යාවක ඉරාක ජනයාගේ රුධිරය දැනට ම තම දෑත්වල තවරාගෙන සිටින සංස්කාරක මඬුල්ලකින් යුත් නිව්යෝර්ක් ටයිම්ස් පත‍්‍රය පසුගිය මාර්තු 28 දින එක්තරා ලිපියක් පල කලේ, ඔවුන්ගේ ලියවිලි හා ප‍්‍රකාශන තුල ඔත්තු සේවාවක් මගින් මෙහෙයවෙන මදාවිකමක් ගැබ්ව ඇතැයි යමෙකුට හැඟී යන පරිද්දෙනි. මේ පුවත්පත, පෙන්ටගනයෙහි හා සීඅයිඒ සංවිධානයෙහි ප‍්‍රචාරක හස්තය හැටියට අඩුවැඩි වශයෙන් "ස්වයංක‍්‍රීය ගුවන් නියමුවෙකු” මෙන් ක‍්‍රියාත්මක වන බැවින් දෙන ලද මොහොතක ලියැවෙන ලිපියක් එවැන්නක් ද නැද්ද යන්න නිශ්චිතව ම පැවසීම උගහට ය.

අදාල මාර්තු 28 දින ලිපිය, ඊස්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ආරක්ෂක ඇමති එහුඞ් බරක් අතර සමීප සබඳතාව පෙලගස්වමින් ඔවුන් ඉරාන යුද්ධය සැලසුම් කරන අයුරු පහදයි: "නෙතන්යාහු මහතාට අනුව,” අපට වැටහෙනුයේ, "ඉරාන න්‍යෂ්ටික අවියක් නාසි යුද යන්ත‍්‍රයේ සහ ස්පාඤ්ඤ ධර්මාධිකරනයේ 21වෙනි සියවස් තුල්‍යය වනු ඇති බව යි.” ඓතිහාසික නොතකා හැරීම සහ දූෂිත සදාචාරය මෙහි දී නව-විජිතවාදී උද්ධච්ඡකම සමඟ හාද වී ඇත.

කලාපය තුල දැනට ම න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධව සිටින එක ම බලය ඊස්රායලය බවත් එය දශක ගනනාවක් මුලූල්ලේ පලස්තීනුවන්ට හා සෙසු අරාබි ජනයාට එරෙහිව ප‍්‍රචන්ඩ වූත් මාරක වූත් ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නැඟූ බවත් ටයිම්ස් වාර්තාකරුට ගැටලූ උපදවන කාරනා නොවේ.

ඉරානයට එරෙහි ප‍්‍රහාරයක් "නස්පැත්තියක්” නිර්මානය කරයි ද? නෙතන්යාහුගේ සහ බරක්ගේ අදහස් උපුටා දක්වන ටයිම්ස් පත‍්‍රය එවැන්නකට ඇති ඉඩකඩ නිෂ්ප‍්‍රභ කරයි. යුදකාමී ඊස්රායල නායකයන් තර්ක කරන පරිදි, ”න්‍යෂ්ටික අවි සහිත ඉරානයක් ද, න්‍යෂ්ටික බලය වෙත ගමන් කිරීමට පෙර එරටට එල්ල කෙරෙන ප‍්‍රහාරයකින් සිදු විය හැකි හානිය ද යන තෝරා ගැනීම දෙන ලද කල්හි මේ දෙවැන්නට මනාප වීම වඩා යෝග්‍ය ය. ප‍්‍රති-ප‍්‍රහාරයක් එල්ල වෙතැයි ද ඔවුහු කියති; මිනිස් ජීවිත අහිමි වනු ඇති අතර දේපල විනාශ වනු ඇත. එහෙත්, මේ අතරින් අඩු නපුර අපරොක්තය බව ඔවුහු කියා සිටිති.” යම් හෙයකින්, ඉරානය ප‍්‍රති-ප‍්‍රහාර එල්ල කල හොත් ඊස්රායලයෙහි "ආරක්ෂාව” සඳහා ඉදිරිපත් වීමට තමන්ට වගකීමක් ඇති බව තොල් මතුරමින් එක්සත් ජනපදය තමන්ගේ ම ප‍්‍රහාරයක් දියත් කරනු ඇත.

මේ සියල්ලෝ – ඔබාමා තන්ත‍්‍රය හා ක්‍රොංග‍්‍රසය, ඊස්රායල රජය සහ එක්සත් ජනපද මාධ්‍ය මොන තරම් සාහසික අපරාධකරුවෝ ද!

එක්සත් ජනපදය තුල වෙන්වීමක් නැරඹූයේ සාපේක්ෂ වශයෙන් සුලූ පිරිසකි – ලක්ෂ කීපයකි. තවත් මිලියනයක් පමන ප‍්‍රන්සයේ දීත් ඊට අඩු පිරිසක් එක්සත් රාජධානියේ දීත් එය නැරඹූහ. මේ රාජ්‍යයන්හි ආන්ඩු කලාපීය බලයක් ලෙස සලකා ඉරානය විනාශ කිරීමට සැලසුම් කරමින් සිටී. ඒ වනාහි මෙතෙක් වර්ධනය කෙරී පවතින ඉතා ම බලගතු මාරක ආයුධ මගින් ඉරාන ජනගහනයට දෙනු ලබන දඬුවමක් ඉල්ලා සිටින්නා වූ කාර්යභාරයකි.

අමෙරිකානුන් ද යුරෝපීයයන් ද මේ චිත‍්‍රපටය නැරඹිය යුතුව ඇත. ඇකඩමි සම්මානය බාර ගනිමින් ෆර්හාඩි එය ඉරාන ජනතාව වෙත පිරිනැමුවේ ඒ වනාහි "සියලූ සංස්කෘතීන්ට හා සභ්‍යත්වයන්ට ගරු කරන, එදිරිවාදුකම් හා අමනාපකම් පහත් කොට සලකන ජනතාවකි” යනුවෙන් පවසමිනි. ඉරානය සමඟ යුද වැදීමට කෙරෙන තර්ජනයන්ට එරෙහිව සාමූහික විරෝධතාවක් ගොඩනැගිය යුතු ය. මිනිසුන්ගේ ඇස් පනාපිට සිදු කිරීමට සූදානම් වන මේ මහා අපරාධය නැවැත්වීමට හැකි හැම දෙයක් ම කල යුතුව තිබේ.

පරිවර්තනය: දර්ශන මේදිස්

*[ඉරානය තුල දීත් ඉන් පිටත දීත් මේ චිත‍්‍රපටය අවස්ථා රැසක දී සම්මානයට පාත‍්‍ර විය. ඉන් කීපයක් පමනක් සඳහන් කරතොත්, 2011 බර්ලින් ජාත්‍යන්තර සිනමා උලෙලේ දී එය හොඳ ම චිත‍්‍රපටය ලෙස රන් වලසා සම්මානයෙන් පිදුනු අතර හොඳ ම න,ලුවාට සහ නිලියට හිමි රිදී වලසා සම්මානද්වය ද හිමි කර ගති. අමෙරිකානු ඇකඩමි (ඔස්කාර්) සම්මාන උලෙලේ දීත් බි‍්‍රතාන්‍යයේ ස්වාධීන සිනමා උලෙලේ දීත් ඩබ්ලින්, වැන්කුවර් හා ඩෙන්වර් ජාත්‍යන්තර සිනමා උලෙලෙවල (සිනමා විචාරක කවයන්හි ත්‍යාගය) දීත් එය වසරේ හොඳ ම විදේශ චිත‍්‍රපටය ලෙස සම්මාන ලැබී ය. ඩර්බන් ජාත්‍යන්තර සිනමා උලෙලේ දී හොඳ ම චිත‍්‍රපටය හා තිර රචනාව ලෙසත් මෙල්බර්න් ජාත්‍යන්තර සිනමා උලෙලේ දී ජනප‍්‍රියතම විශේෂාංග චිත‍්‍රපටය ලෙසත් ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර සිනමා උලෙලේ දී හොඳ ම චිත‍්‍රපටය (ග්‍රෝන් ෆ‍්‍රී සම්මානය) ලෙසත් එය තෝරා ගැනින. හොංකොංහි ආසියානු සිනමා සම්මාන උලෙලේ දී හොඳ ම අධ්‍යක්ෂ, තිර රචක හා සංස්කාරක යන ත්‍යාග ත‍්‍රිත්වය ඊට හිමි විය - පරි.]

Share this article: