වෝල් ස්ටී‍්‍රට් සමපේක්ෂකයෝ බිලියන ගනනින් සාක්කුවල දමා ගනිති

Wall Street speculators continue to rake in billions

6 March 2012

මූල්‍ය අර්බුදය පැනනැගීමෙන් වසර තුනහමාරකට පසුව, එම කඩාවැටීමට වගකිව යුතු වෝල් ස්ටී‍්‍රට් සමපේක්ෂකයෝ, තවමත් කි‍්‍රයාත්මක වන ආන්ඩුවේ ඇපදී ගලවා ගැනීමේ වැඩසටහන්වලින් ද ඔවුන්ගේ අපරාධ පිලිබඳව තත්වාකාරයෙන් පවත්නා මුක්තියෙන් ද වාසි ලබන අතර ම, ඩොලර් බිලියන ගනනින් තම සාක්කුවල පුරවා ගැනීම දිගටම කරගෙන යති.

පසුගිය සතියේ දී ෆෝබ්ස් සඟරාව විසින් පල කරන ලද සමීක්ෂනයකට අනුව, ඉහලම ආදායම් ලබන හෙජ් අරමුදල් කලමනාකරුවන් 40 දෙනා පසුගිය වසරේ දී ඩොලර් බිලියන 13.2ක ඒකාබද්ධ මුදලක් උපයා ගත් අතර, ඔවුන්ගෙන් ඉහල ම 10 දෙනාගේ සාමාන්‍ය ආදායම ඩොලර් මිලියන 200කට වැඩි විය.

ලෝකයේ විශාලතම හෙජ් අරමුදල වන බි‍්‍රජ්වෝටර් ඇසෝසියේට් ආයතනයේ ප‍්‍රධානි රේමන්ඩ් ඩලියෝ, ඩොලර් බිලියන 3ක් උපයා ගත්තේය. දෙවන තැන ගත්තේ ඩොලර් බිලියන 2.1ක් ඉපැයූ රෙනයිසන්ස් ටෙක්නොලොජීස් ආයතනයේ ජේම්ස් සයිමන්ස් ය. තුන් වැන්නා වූයේ ඩොලර් බිලියන 2ක් සාක්කුවේ දමා ගත් ප‍්‍රසිද්ධ සංගත කොල්ලකරුවකු වන කාල් ඉකන් ය.

ඩලියෝගේ වැටුප නිවාස උනුසුම් කිරීමේ වැඩසටහන් වෙනුවෙන් ෆෙඩරල් අයවැයෙන් මේ වසරේ වෙන් කෙරුනු මුදල වන ඩොලර් බිලියන 3.5ට ආසන්න වසයෙන් සමාන ය. ඔබාමා පාලනාධිකාරය, දුගී ජනයා ශීතලෙන් මුදවා ගැනීම සඳහා "මුදල් නොමැති” බව පවසමින් 2010 සිට මේ වැඩසටහනෙන් ඩොලර් බිලියන 1.5ක් කප්පාදු කර තිබේ.

මහා අවපාතයෙන් පසුව මේ වන තෙක් පැවති දරුනුම ආර්ථික අර්බුදය නොතකා මූල්‍ය පරපුට්ටන්ට සාක්කු පුරවාගැනීමේ දිගටම යෙදීමට ඉඩ සලසා ඇති ආන්ඩුවේ පිලිවෙත් පිලිබඳ මනා නිදසුනක් වන්නේ, ඇමරිකන් ඉන්ටර්නැෂනල් ගෘප් (ඒඅයිජී) නමැති දැවැන්ත රක්ෂන සමාගමයි. බැංකු ඇප දී ගලවා ගත් අවස්ථාවේ බදුගෙවන්නන්ගේ මුදල්වලින් ඩොලර් බිලියන 182.3කට වැඩි මුදලක් ලබාගත් මෙම සමාගමට පසුගිය වසරේ දී ඩොලර් බිලියන 17.7ක හදිසි බදු සහනයක් ලැබුනු බව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ඇන්ඩෘ රොස් සෝකින් පසුගිය සතියේ වාර්තා කලේය.

නය පැහැරහැරීම්වලින් ආරක්ෂා කරන ගිවිසුම් තුල සමපේක්ෂනය කිරීමේ මෙම සමාගමේ අතිශය ලාභදායි ව්‍යාපාර කටයුතු මූල්‍ය කඩාවැටීම සම්බන්ධයෙන් කේන්ද්‍රීය කි‍්‍රයාකලාපයක් ඉටු කලේය. හදිසි බදු සහනය 2011 හතර වන කාර්තුවේ ඩොලර් බිලියන 19.8ක ලාභයක් වාර්තා කිරීමේ හැකියාව මෙම සමාගමට ලබා දුනි. "බදු සහනය වැදගත් වන්නේ හුදෙක් එහි ප‍්‍රමානය නිසා පමනක් නොවේ” යයි සෝකින් ලිවීය. "එය වනාහි, භාන්ඩාගාරය 2008 දී ඒඅයිජී සහ ගැටලුවලට මුහුන දුන් තවත් සමාගම් ගනනාවක් වෙනුවෙන් ඒකපාර්ශ්වීයව වෙනස් කල නීතියක ප‍්‍රතිඵලයකි.”

එම බදු සහනය ඒඅයිජී සමාගම මේ වසරේ දී සියලු බදුවලින් නිදහස් කරන අතර බොහෝ විට ඊලඟ දශකය සම්බන්ධයෙන් ද එසේ වීමට ඉඩ ඇත. 2009 පටන් මේ දක්වා කොටස් ගිවිසුම්වලින් ඩොලර් මිලියන ගනන් ලබා ගෙන ඇති සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි රොබර්ට් එච්. බෙන්මොස්චෙ ඇතුලු, ඒඅයිජී විධායකයන්ට හා අලෙවිකරුවන්ට සිය ප‍්‍රතිලාභ ඉහල දමාගැනීමට එය ඉඩ සලසනු ඇත.

2009 දී, මෙම ආයතනයේ ඩොලර් මිලියන ගනනක ප‍්‍රතිලාභ මහජන කෝපය අවුලුවා ලූ කල, ඔබාමා, බදුගෙවන්නන්ගේ මුදලින් ඇපදී ගලවා ගැනීමට ලක් වූ වෝල් වීදියේ ආයතනවල විධායක නිලධාරින්ට ගෙවන වන්දි සීමා කිරීමේ කොංග‍්‍රස් මන්ඩලයේ පනත් නතර කිරීමට මැදිහත් විය.

ඔබාමා පාලනාධිකාරය ගෝලීය අර්බුදයේ ඇවිලීම ඉක්මන් කල සංගත අපරාධකරුවන්ට මූල්‍යාධාර සැපයීමේ දිගටම යෙදී සිටිනවා පමනක් නොව, ඔවුන්ගේ කි‍්‍රයාවන් වෙනුවෙන් නඩු විභාගයන්ට ලක්වීමෙන් ඔවුන් ආරක්ෂා කිරීමට ද එය කි‍්‍රයා කර තිබේ. මෙම සුදුහුනු ගෑම කෙතරම් නම් කැත මට්ටම්වලට ගොස් ඇත්දැයි කිය තොත්, මහජන වෛරය සමනය කරනු පිනිස අඩු ගනනේ සංකේත නෛතික පියවර හෝ ගන්නා ලෙස දේශපාලන සංස්ථාපිතය තුල කිහිප දෙනෙක් ඉල්ලා තිබේ.

මූල්‍ය අර්බුදයේ හේතු පිලිබඳව විමර්ශනය කරන ප‍්‍රධාන රජයේ ආයතන දෙකෙන් එකක් වන මූල්‍ය අර්බුද විමර්ශන කොමිසමේ නායකත්වය දරන පිල් ඇන්ජෙලිඩස්, පසුගිය සිකුරාදා නිව් යෝර්ක් ටයිම්ස් පත‍්‍රයට ලියූ අදහස්-කතුවැකි තීරු ලිපියක් තුල, ඔබාමා පාලනාධිකාරය මූල්‍ය අපරාධකරුවන් ගැන විමර්ශනයත් ඔවුන්ට අභිචෝදනා ඉදිරිපත් කිරීමත් ප‍්‍රතික්ෂේප කිරීම ගැන පැමිනිලි කලේය.

ඔහු සැබෑ තතු මෙසේ සාරාංශගත කලේය: "සිටිගෲප් හා බෑංක් ඔෆ් ඇමරිකා වැනි සමාගම්වලට එරෙහි මූල්‍ය වංචා පිලිබඳ චෝදනා, වරදක් කල බවට කිසිදු පිලිගැනීමකින් තොරව, සොච්චම් වන්දි ගෙවීම් මගින් බේරුම් කරනු ලැබ තිබේ. වටිනාකම කඩා වැටුනු උකස්කර සහ උකස්කරවල පිටුබලය ලබන සුරැකුම්පත් නිර්මානය කොට, ඒවා ගොනුවලට සකස් කොට ඩොලර් ටි‍්‍රලියන ගනනකට විකුනා දැමූ සමාගම් මෙහෙය වූ විධායකයෝ බොහෝ සෙයින් කිසිදු දන්ඩනයකින් තොරව යහතින් සිටිති.”

ඇන්ජෙලිඩස්ගේ කොමිසම, වටිනාකම කඩා වැටුනු උකස්කරවල පිටුබලය ලබන සුරැකුම්පත් නිර්මානය හා අලෙවිය සම්බන්ධිත පුලුල් වංචාවන් හා සාපරාධී කි‍්‍රයා විස්තර කරන දීර්ඝ වාර්තාවක් පසුගිය වසරේ දී පල කලේය. මෙය නිවාස බුබුල පුපුරා යාමට ද එක්සත් ජනපද හා ජාත්‍යන්තර මූල්‍ය වෙලඳ පොලවල් කඩාවැටීමට ද තුඩු දුනි.

සෙනෙට් කමිටුව ද ඊට සමාන වාර්තාවක් පල කලේය. වාර්තා දෙකම සුවිශේෂ සුරැකුම්පත් හා නිශ්චිත විධායකයන් ගැන සඳහන් කල අතර, ඇන්ජෙලිඩස් ලියූ පරිදි, "වාර්තා දෙකම නීතිය උල්ලංඝනය කිරීමේ විභවයන් ගැන අධිකරන දෙපාර්තමේන්තුවට දැනුම් දුනි.”

ඔබාමාගේ අධිකරන දෙපාර්තමේන්තුව එයට ප‍්‍රතිචාර දැක්වූයේ කිසිවක් නොකිරීමෙනි. මාධ්‍ය විසින් වාර්තා දෙකම යට ගසන ලදි.

"මේ වසරේ ද පසුගිය වසරේ ද අපි වාර්තාගත ලාභ ලැබූ අතර ඊලඟ වසර හෝ දෙක තුල අප වාර්තාගත ලාභ නොලැබුව හොත් මට නින්දා වේවා.” යනුවෙන් පසුගිය සතියේ පැවති ආයෝජක සම්මන්ත‍්‍රනයක දී ප‍්‍රකාශ කිරීමට ජේපීමෝර්ගන් චේස් ප‍්‍රධාන විධායක නිලධාරි ජැමී ඩිමොන්ට හැකිවීම එතරම් පුදුමයක් නොවේ.

මෙම කරුනු, ප‍්‍රධාන පක්ෂ දෙක ම ඇතුලුව, සමස්ත දේශපාලන පද්ධතිය මත ම මූල්‍ය වංශාධිපති පැලැන්තිය පවත්වා ගෙන යන ආඥාදායකත්වය පිලිබඳ තව දුර සාක්ෂියකි. නිව් යෝර්ක් ෆෙඩරල් රිසර්ව් ආයතනයේ හිටපු සභාපති හා වත්මන් භාන්ඩාගාර ලේකම් තිමොති ගේත්නර් ඇතුලු, වෝල් වීදියේ ප‍්‍රධාන පුද්ගලයන්ගෙන් පිරී ඇති, ඔබාමා පාලනාධිකාරය මත් මෙම කතිපයාධිපත්‍යයේ උපකරනයකි.

සුපිරි ධනවතුන් සමාජය කොල්ලකෑමට අවසන් තිත තැබීමටත් සිය මූලික සමාජ අයිතීන් --ශිෂ්ඨ සම්පන්න වැටුපක් ලැබෙන රැකියා, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, නිවාස, සුරක්ෂික විශ‍්‍රාමික දිවියක් -- ආරක්ෂා කරගැනීමටත් කම්කරු පන්තිය සමත් වන්නේ, ඔබාමා පාලනාධිකාරයට, වෝල් වීදියේ පක්ෂ දෙකට සහ පාලක ප‍්‍රභූවට එරෙහිව සිය ශක්තිය බලමුලු ගැන්වීමෙන් පමනි. ඔබාමා පාලනාධිකාරය හා වෝල් වීදියේ පක්ෂ දෙක ආරක්ෂා කරන්නේ පාලක ප‍්‍රභූවේ අවශ්‍යතාවන් ය. මෙයින් අදහස් කරන්නේ, මූල්‍ය කතිපයාධිපත්‍යයේ ග‍්‍රහනය බිඳින. ඔවුන්ගේ ධන සම්පත් අස්වාමික කරන සහ සංගත හා බැංකු කම්කරු පන්තියේ පොදු අයිතිය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතේ තබන සමාජවාදී කි‍්‍රයාමාර්ගයක් සඳහා සටන් වැදීමයි.

ඇන්ඩෘ ඩාමොන්

Share this article: