ඇමරිකානු ප්‍රජාතන්ත්‍රයේ බිඳ වැටීම

The collapse of American democracy

12 March 2012

සතියකට පෙර එක්සත් ජනපදයේ නීතිපති එරික් හෝල්ඩර්, ඇමරිකානු පුරවැසියන් ඝාතනය කිරීම සඳහා රහසිගතව නියෝග දීමට ජනාධිපතිවරයා සතු අයිතිය අවධාරනය කරමින් කථාවක් පැවැත්වීය. ඊනියා “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” ගෙනහැර දක්වමින් ඔහු කියා සිටියේ, මීට පෙර කවරදාකවත් අවධාරනය කර නොමැති මෙම බලය ජනාධිපති සතු යුද්ධ ප්‍රකාශ කිරීමේ අයිතිය යටතේ නීත්‍යානුකූල වන අතර එය අධිකරනයේ විමර්ශනයට බඳුන් වන්නේ නැති බවය.

නීති විරෝධී ඝාතනයන් සඳහා නියෝග දීමට ජනාධිපති සතුව ඇති බලය, ත්‍රස්තවාදී සැකකරුවන් පැහැරගෙන යාම හා නඩු නොවිමසා සිවිල් හෝ මිලිටරි බන්ධනාගාරයන්හි අනියමිත කාලයකට ඔවුන් රඳවා ගැනීම ද ඇතුලු බලතල මාලාවක එක් කොටසක් බව හෝල්ඩර් අවධාරනයෙන් කියා සිටියේය. “අපගේ දේශසීමාවන් තුල රැඳී සිටින” ත්‍රස්තවාදීන් ගැන සඳහන් කරමින් ඔහු අවධාරනය කලේ, මාරක බලය යොදාගැනීමට ආන්ඩුවට ඇති අයිතිය “ඇෆ්ගනිස්ථානයේ යුදපිටිවලට සීමා නොවන” බවයි.

පොලිස් රාජ්‍ය බලතල පිලිබඳ මෙම අවධාරනයට ව්‍යවස්ථාමය ටීකාවක් සැපයීමට උත්සාහ දරමින් හෝල්ඩර්, මෙම අරුම පුදුම ප්‍රකාශය ද කරයි. “යුක්ති ධර්මයේ ක්‍රියාදාමය හා අධිකරන ක්‍රියාදාමය එකම හා එයම නොවන අතර, ව්‍යවස්ථාව සහතික කරන්නේ යුක්ති ධර්මයේ ක්‍රියාවලිය මිස අධිකරන ක්‍රියාවලිය නොවන්නේය.”

මෙම කථාව, පසුගිය වර්ෂයේ යේමනයේ දී එක්සත් ජනපද පුරවැසියන් තිදෙනෙකු ඉලක්ක කොට මරා දැමීම සඳහා නීතිමය තර්කයක් සම්පාදනය කිරීමට ආන්ඩුව වෙත යෙදුන පීඩනයට දැක්වෙන ප්‍රතිචාරයක් විය. අල් කයිඩා නායකයෙකු බව සඳහන් කෙරුනු අන්වර් අල් අව්ලාකි, සමීර් ඛාන් නම් තවත් එක්සත් ජනපද පුරවැසියෙකු සමග ඩ්‍රෝන් මිසයිල් ප්‍රහාරයකින් මරා දැමුනි. දෙසතියකට පසුව අව්ලාකිගේ 16 හැවිරිදි පුත් අබ්දුල්රහමන් අව්ලාකි තවත් ඩ්‍රෝන් ප්‍රහාරයකින් මරා දමන ලදී.

එක්සත් ජනපද ආන්ඩුවට සිය පුරවැසියන් තොග පිටින් ඝාතනය කිරීම සඳහා ඇති අයිතිය හුවාදක්වමින් කරන ලද එවන් වගකීම් විරහිත හා අසාමාන්‍ය කථාවක්, තියුනු වාද විවාදයන්ට හා දේශපාලන සාකච්ඡාවකට ලක්වන මාතෘකාවක් වනු ඇතැයි යමෙකු සිතිය හැකිය. සැබෑව නම් මාධ්‍ය හා දේශපාලන සංස්ථාපිතය එය මුලුමනින්ම නොතකා හල බවය. ප්‍රවෘති වැඩසටහන් ජාලයන් තුනෙන් එකක්වත් එය සඳහන් නොකලේය. කථාව වාර්තාකල ප්‍රමුඛ ප්‍රවෘති පත්‍ර ලිපි ඇතුල් පිටුවලට යවා තිබුනි.

පසුගිය 13දා එනම් හෝල්ඩර්ගේ කථාවෙන් දිනකට පසුව ඔබාමා වසරේ සිය පලමු ධවල මන්දිර පුවෘත්ති සමුලුව පැවැත්වීය. එකදු වාර්තාකරුවෙක්වත් කථාව පිලිබඳව ඔබාමාගෙන් විමසුවේ නැති අතර ජනාධිපති ඝාතන පිලිබඳ ප්‍රශ්නය මතු කලේ ද නැත.

දශක හතරකට පමන පෙර දන්ඬන බදු විගනනයන් හා නීති විරෝධී ලෙස දුරකථන සංවාදයන්ට හොරෙන් ඇහුන්කන් දීමට නියෝග කිරීම මගින් “බලය අයුතු ලෙස පරිහරනය කිරීම හා පුරවැසියන්ගේ ව්‍යවස්ථාපිත අයිතිය උල්ලංඟනය කිරීම” පිලිබඳව ව්‍යවස්ථාදායකයේ අධිකරන කමිටුව රිචඩ් නික්සන්ට එරෙහි දෝෂාභියෝගයට ඡන්දය දුන් තැන් පටන්, කොතෙක් දුරට ඇමරිකානු ප්‍රජාතන්ත්‍රය ජරපත්වී ඇත් ද යන්න පිලිබඳ මිම්මකි මෙය.

අද දවසේ ආඥාදායක බලතල පවරාගැනීම, නීති විරෝධී ලෙස පුරවැසියන් ඝාතනය කරන ලෙස නියෝග කරන තැනකට පත්ව තිබිය දී පවා දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීම කෙසේ වෙතත් එම ප්‍රශ්නය විවාදයකට හෝ මාතෘකාව වී නැත.

නීතිපතිගේ කථාව ගැන මතයක් පල කිරීමට නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රයට සතියක කාලයක් ගත විය. හෝල්ඩර්ගේ මූලික තර්කය අනුමත කරන අතර එහි දැවැන්ත මෙන්ම පැහැදිලි ව්‍යවස්ථාමය ඇඟවුම් කවරක් හෝ මඟහරින 11දා පලකල කතුවැකියක, මතුකර තිබුනේසුලු හා පරිපාටිමය ස්වභාවයේ විරෝධතාවන් පමනි.

“සම්ප්‍රධායික යුද්ධයක අවධියේ සම්ප්‍රධායික සතුරාට එරෙහිව හෝ සම්ප්‍රධායික නොවන යුද්ධයන්හිදී සම්ප්‍රධායික නොවන සතුරාට (අවධාරනය ඈඳිනි) එරෙහිව මාරක බලය යෙදීම සඳහා ජනාධිපතිට අයිතියක් තිබීම” යනුවෙන් ටයිම්ස් සඳහන් කරයි. මෙය වනාහි, “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” හා එම කඩතුරාව යටතේ ඇමරිකානු අධිරාජ්‍යවාදී අවශ්‍යතාවන්ට සතුරුව යන අය මරා දැමීමට තමන්ට අයිතියක් ඇති බවට එක්සත් ජනපද ආන්ඩුව කරන ප්‍රකාශ එහැම පිටින්ම අනුමත කිරීමකි.

“අධිකරනයේ මැදිහත්වීමකින් හෝ නිරීක්ෂනයකින් හෝ ජනතාව‍ කෙරෙහි වගකීමකින් තොරව ඇමරිකානු පුරවැසියෙකු ඝාතනය කරන ලෙසට නියෝග කිරීමේ නීතිමය බලය ප්‍රකාශ කල ප්‍රථම ජනාධිපති බවට පත්ව ඇත්තේ,” ජනාධිපති ඔබාමා බව පුවත්පත පිලිගනියි. හෝල්ඩර් යුක්තිධර්මයේ ක්‍රියාවලිය හා අධිකරනමය ක්‍රියාවලිය අතර බෙදුම් කඩනයක් අඳින ප්‍රශ්නය පිලිබඳව කථාකරන පුවත්පත මෙසේ ලියයි. “පොලිසිය, පැමිනිලිකරු, ජූරිය, විනිශ්චයකරු හා අලුගෝසුවා ලෙස විධායකයේ රහසිගත කටයුතු, යුක්තිධර්මයේ ක්‍රියාවලියෙහි ප්‍රතිවාදය වන්නේය.”

එහෙත් ටයිම්ස් පත්‍රයට අනුව, සාමාන්‍යයෙන් එක්සත් ජනපද පුරවැසියන් ව්‍යවස්ථා විරෝධී ලෙස නිරීක්ෂනය කිරීමට සම්බන්ධ වන විදේශ බුද්ධි හා නිරීක්ෂන අධිකරන‍ෙය් (එ‍ෆ්අයිඑස්ඒ) ස්වභාවයට අනුව නව රහස්‍ය අධිකරනයක් ගොඩනැඟීම මගින් මෙම ගැටලුව පහසුවෙන් විසඳාගෙන යුක්ති ධර්මයේ ක්‍රියාවලිය යලි ස්ථාපිත කල හැකිය. එය වනාහි රාජ්‍ය ඝාතනයන් සඳහා අධිකරනමය වහන්තරාවක් සම්පාදනය කිරීමකි. “එ‍ෆ්අයිඑස්ඒ අධිකරනය වේගයෙන් ක්‍රියාත්මක වන අතර වරෙන්තුවක් ඉල්ලීම අහක දමන්නේ කලාතුරකිනි” යනුවෙන් සඳහන් කරමින් නව ස්ටාර් චේම්බර් (1641දී අහෝසි කරන ලද, කිරීටයේ අවශ්‍යතාවන්ට බලපාන ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කල ඉංග්‍රීසි අධිකරනයකි) අධිකරනයක් “ත්‍රස්තවාදියෙකුට පහර දීම අඩාල නොකරනු” ඇති බවට තර්ක කරමින් මෙම කාරනය ගැන සඳහන් කරන විට, ව්‍යවස්ථාපිත අයිතීන් කෙරෙහි පුවත්පතේ නරුම හා සතුරු ආකල්පය මනාව විදහා දැක්වේ. ඔබාමාගේ ප්‍රතිපත්ති, ව්‍යවස්ථා විරෝධී හා ව්‍යවස්ථාව සංරක්ෂනය කර ආරක්ෂාකොට සුරකින බවට ජනාධිපතිගේ කැපවීම පිලිබඳව ඔහුගේ තනතුරෙහි දිව්රුම උල්ලංඝනය කරන බව පුවත්පත් ලිපියෙහි කොතැනක හෝ පැහැදිලිව සඳහන් නොවේ. පස්වන සංශෝධනය මගින් නඩු නොමැතිව රඳවා තැබීම, වධ බන්ධන හා නීති විරෝධී ඝාතන වැනි දේ සැකයකින් තොරව නීති විරෝධී කර තිබේ. “නීති‍යෙහි යුක්ති ධර්මයේ ක්‍රියාවලියකින් තොරව, කිසිදු පුද්ගලයෙකු, ජීවිතය, නිදහස හෝ දේපල අහිමි කිරීමකට ලක් නොකල යුතුය” යන එහි නිරෝදාඥාව ඇති තරම් පැහැදිලිය.

යේමනයේ දී එක්සත් ජනපද පුරවැසියන් තිදෙනෙකු මරා දැමීම සඳහා පාදක කරගත්තා යයි පවසන අධිකරන දෙපාර්තමේන්තුවේ ලියවිල්ල ප්‍රසිද්ධ කරන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටිමින් කතුවැකිය නිමාකර තිබේ. “එවන් ඉතා වැදගත් තොරතුරු ජනතාවගෙන් වසං කරමින් බුෂ් මහතා තැබූ බිහිසුනු නිදසුන ඔබාමා මහතා විසින් ද අනුගමනය කල යුත්තේ ඇයි දැයි අපට සිතාගත නොහැකිය.” යනුවෙන් පුවත්පත කයිරාටික ලෙස ලියා ඇත.

මෙය වනාහි, ව්‍යවස්ථාව ඉරා දැමීම වැනි බාරදූර ප්‍රශ්න සම්බන්ධයෙන්, පුද්ගල චරිත අදාල කරගත්, නොගැඹුරු මට්ටමක සැලකීමක් සහිත, ප්‍රවිෂ්ටයකි. යථාර්තයේ දී නම් එවන් වර්ධනයන් සිදුවිය හැක්කේ, ගැඹුරට විහිදෙන ඓතිහාසික හා සමාජ ක්‍රියාවලීන්ගේ ප්‍රතිපලයක් වශයෙන් පමනි. පසුගිය දශකය තුල ව්‍යවස්ථාමය ආරක්ෂාවන් හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් පිලිබඳ සමස්ත මන්දිරය ම බිඳ වැටී තිබෙන මවිත කරවන වේගය පෙන්නුම් කරන්නේ, මෙම ක්‍රියාවලිය මුල්බැස තිබෙන ඇමරිකානු සමාජයේ යටින් දිවයන ප්‍රතිවිරෝධයන්ය.

එක්සත් ජනපදය පාලනය කරනු ලබන්නේ, මහජනතාවගේ අති මූලික සමාජ අවශ්‍යතාවන් සමග ප්‍රචන්ඩ ලෙස ගැටෙන පැවැත්මකින් යුත්, කුවේර තන්ත්‍රයක් විසිනි. එහි අවශ්‍යතාවන් ඉදිරියට ගෙනයනු ලබන සමාජ ප්‍රතිවිප්ලවය සමග නීතිමය ප්‍රතිවිප්ලවය අත්වැල් බැඳගෙන ඇත.

අධිරාජ්‍යවාදය “හිසේ සිට දෙපතුලට ම ප්‍රතිගාමී” වන බවට ‍පලකල ලෙනින්ගේ ආප්තෝපදේශය, මිලිටරිවාදයේ හා යුද්ධයේ පැතිරයාම, රැකියා හා ජීවන තත්වයන්ට එල්ල කරන ප්‍රහාර, රාජ්‍ය මර්දනය කෙරෙහි නැඹුරුව හා පාලනයේ ආඥාදායක රූපාකාරයන් මගින්, දිනක් දිනක් පාසා තහවුරු කෙරෙමින් තිබේ. අද දවසේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කල හැක්කේ, සමාජවාද‍ය සඳහා සටන තුල කම්කරු පන්තියේ මහා බලමුලු ගැන්වීම සමගින් පමනි.

බැරී ග්‍රේ

Share this article: