ශිෂ්‍ය නයෙහි පිපිරීම

The student debt explosion

14 March 2012

මාර්තු 05දා නිව් යෝර්ක්හි ෆෙඩරල් රිසර්ව් බැංකුව ප්‍රකාශයට පත්කල සිසුන් පිලිබඳ වාර්තාවක්, එක්සත් ජනපදයේ තරුනයින් මුහුන දෙන සමාජ ව්‍යසනය ඉස්මතු කර තිබේ.

විරැකියාව, පහත වැටෙන වැටුප් හා ඉහල නඟින උපකාරක ගාස්තු මධ්‍යයේ ද්වීතීයික හා උසස් අධ්‍යාපනයේ නියැලෙන සිසුන් වඩ වඩාත් සිය නය ගෙවාගත නොහැකි තැනකට ඇද දමා තිබේ. වාර්තාවට අනුව සිසු නය ලබාගත් අයගෙන් හතරෙන් එකකටත් වැඩි සංඛ්‍යාවකගේ නය ආපසු ගෙවීම ප්‍රමාද වී ඇත. එය ඊට පෙර සිදුකල සමීක්ෂනයන් පෙන්නුම් කල සියයට 15ට වඩා ඉහල ප්‍රමානයකි.

එක්සත් ජනපදයේ සිසු නය හතු පිපෙන්නාක් මෙන් ඉහල නැඟී, මෝටර් රථ නය ගැනීම් ඩොලර් බිලියන 730ක ද ක්‍රෙඩිට් කාඩ් නය බිලියන 693ක ද මට්ටම පසුකර බිලියන 870කට ලඟාවී ඇත. තව ද, අනෙකුත් වර්ගවල නය හා සසඳන කල සිසු නය සංකේන්ද්‍රනය වී ඇත්තේ ජනගහනයේ කුඩා කොටසක් තුලය. එක්සත් ජනපදයේ ජනගහනයෙන් සියයට 80ක් ක්‍රෙඩිට් කාඩ් නයකරුවන් වන නමුත් කල්පසුවූ සිසු නය ඇත්තේ සියයට 15ක් අතර පමනි. සිසු නය ගැතියෙකුගේ සාමාන්‍ය අගය ඩොලර් 23,300ක් වන අතර පුද්ගලයින් මත පැටවී ඇති බර ඉමහත්ය.

උපකාරක අධ්‍යාපනයේ පැතිරීමත් සමග සිසුන් මත පැටවෙන නය බර ද වැඩිවෙයි. සිසු නය පිලිබඳ ව්‍යාපෘතියට අනුව, 2010 උපාධිධාරී ශ්‍රේනියේ සිසු නය සාමාන්‍යය ඩොලර් 25,250ක් වූ අතර එය, 2006 තිබුනු 19,646ට වඩා සියයට 29ක වැඩිවීමකි. ඒ අතර. උපාධිධාරීන්ගේ වැටුප් පහත වැටී ඇත. ආර්ථික ප්‍රතිපත්ති ආයතනය විසින් පසුගිය සතියේදී ප්‍රකාශයට පත්කල වාර්තාවකට අනුව, අවුරුදු 23-29 වයස් කාන්ඩයේ පිරිමි උපාධාධිධාරීන්ගේ පැයක ආදායම පසුගිය දස වසර තුල සියයට 11න් වැටී ඇත.

තරුනයින්ගේ සමස්ත පරම්පරාවක්ම තැලෙන නය බරෙන් පීඩාවට පත්ව ඇති අතර ඔවුන්ගේ අනාගතය සිසු නය ජාවාරමෙන් බිලියන ගනන් උපයන වෝල් වීදියේ බැංකුවලට උකස් තබා ඇත. යහපත් වැටුප්, උසස් අධ්‍යාපනයෙන් පසුව ලබාගන්නා උපාධිය හෝ විශේෂ පුහුනුව මත රැකියා සුරක්ෂිත භාවය රැඳී ඇතැයි බලාපොරොත්තු වන අද දිනයේ තරුනයින්ගේ තත්වය ඛේද ජනක වී ඇත.

නය පැහැර හැරීම් ඉහල යත්ම නය අයකර ගැනීම කෙරෙහි දක්වන බැංකුවල ප්‍රතිචාරය වඩාත් නිර්දය වී තිබේ. බැංකුව වාර්තා කරන පරිදි, ඔවුන්ගේ සමීක්ෂනයට ලක්වූ, බංකොලොත් භාවය පිලිබඳව මැදිහත්වන නීතිඥයින්ගෙන් තුනෙන් දෙකකගේ ම අදහස වී ඇත්තේ, පසුගිය වසර එක හමාර තුල සිසු නය හිමියන් නය අයකර ගැනීමේදී වඩාත් ආක්‍රමනකාරී වී තිබෙන බවයි.

රැකියා පිලිබඳව විශ්ව විද්‍යාල උපාධිධාරීන් මුහුන දෙන තත්වය අසතුටුදායක වන අතර එවැන්නක් හෝ නොමැති අයගේ තත්වය වඩාත් නරක අතට හැරී තිබේ. විශ්ව විද්‍යාල උපාධියක් නොමැති පිරිමින්ගේ වැටුප් 1979 වසරේ පටන් සියයට 25.3න් වැටී ඇති බව ආර්ථික ප්‍රතිපත්ති පිලිබඳ ආයතනයේ අධ්‍යනයකින් හෙලිවී ඇත.

ජනාධිපති ඔබාමා විසින් කඩකල ඔහුගේ බොහෝ මැතිවරන පොරොන්දු අතරින් එකක් සිසුන්ට නය සහන සැපයීමේ පොරොන්දුවයි. ඔබාමා, සිසුන් මත පැටවී ඇති ඉමහත් නය බන්ධනය ඉවත් කිරීම කෙසේ වෙතත්, එය ලිහිල් කිරීමට පවා කිසිවක් කර නැත.

තමන්ගේ දෙවන ජනාධිපතිවරන ව්‍යාපාරය ආරම්භ කල 2011 වසර අවසානයේ ඔහු නිවේදනය කල නාමික පියවර, එනම්, ෆෙඩරල් ආන්ඩුවේ නය සඳහා ආදායම පදනම් කරගත් ආපසු ගෙවීමේ විකල්පය සියයට 15 සිට 10 දක්වා අඩුකිරීමේ පියවර පවා ආවරනය කරන්නේ, සිසු නය ගැතියන්ගෙන් අල්පයක් පමනි. බැංකු නය ඉන් ඉවත් කර ඇති අතර නය පිලිබඳ මූලධර්මය ලිහිල් කිරීමට කිසිවක් කර නැත. ශිෂ්‍ය ආධාර එක දිගට පහත වැටීමට කිසිදු පිලියමක් ඔහු විසින් ගෙන ඇත්තේ ද නැත.

අනෙක් සෑම ප්‍රශ්නයක දී මෙන්ම මෙහිදී ද ඩිමොක්‍රටිකයින් හා රිපබ්ලිකානුවන් බැංකුවල ලාභය හා බලය සමග ගැටෙන කිසිදු පියවරක් ගැනීම ප්‍රතික්ෂේප කරති. පුලුල් තරුන සමූහයන්ගේ අනාගතය පිලිබඳ ඕනෑම බලාපොරොත්තුවක්, බැංකුවල ලාභ පිපාසාව හා මූල්‍ය ප්‍රභූ පැලැන්තියේ වාසිය වෙනුවෙන් බිල්ලට දී තිබේ.

සමාජ ක්‍රමයක සෞඛ්‍ය සම්පන්න කම පිලිබඳ පැහැදිලි ම දර්ශකය වන්නේ, එය තරුනයින් වෙනුවෙන් සපයන අනාගතයයි. පහත් වැටුප් සහිත රැකියා සමග එකට යාව ඇති නිමක් නැති යුද්ධ හා වැඩෙන දේශපාලන මර්දනය, විරැකියාව හෝ ආවෘත අන්තයක් මිස ‍අන් කිසිවක් පිලිගැන්වීමෙහිලා අසමත් වත්මන් ක්‍රමය, පෙන්නුම් කරන්නේ ධනවාදයේ පරිපූර්න අසාර්ථකත්වයයි.

තරුනයින් දරිද්‍රතාවයට හෙලීම වනාහි සමස්තයක් ලෙස වැඩකරන ජනතාවට එරෙහිව කරගෙන යන සමාජ ප්‍රතිවිප්ලවයේ කොටසකි. යහපත් අනාගතයක් සඳහා වන සටනේදී තරුනයින් සිය ඉරනම සමස්ත කම්කරු පන්තියේම ඉරනම සමග දැනුවත්ව සම්බන්ධ කල යුතු අතර සමාජවාදී මහජන ව්‍යාපාරයක් ගොඩනැංවීමේ අරගලය පෙරට ගත යුතුය.

ඔබාමා හා මහා ව්‍යාපාරිකයේ පක්ෂ දෙකටම එරෙහිව 2012 මැතිවරනයේදී සමාජවාදී සමානතා පක්ෂය මැදිහත් වන්නේ මෙම ව්‍යාපාරය ගොඩනැගීමටයි. ජෙරී වයිට් හා ෆිලිස් ෂරර් අපගේ ජනාධිපති හා උප ජනාධිපති අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්ව සිටින අතර ඔවුන් ඉල්ලා සිටින්නේ සිසු නය සියල්ල වහාම අහෝසි කරන ලෙසයි.

අපගේ ක්‍රියාමාර්ගය, යහපත් වැටුපක් හා සුරක්ෂිත රැකියාවක් සහතික කරන අධ්‍යාපනය වනාහි, මූලික සමාජ අයිතියක් බව ප්‍රකාශ කරයි. ප්‍රාථමිකයේ පටන් උසස් අධ්‍යාපනය දක්වා සෑම පුද්ගලයෙකුගේම අධ්‍යාපන අයිතිය කිසිදු අයකිරීමකින් තොරව සුරක්ෂිත කල යුතුය.

මෙම මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා, බැංකු හා සංගත ජනසතු කිරීම ද ඒවා වැඩකරන ජනතාව විසින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලනය කරන පොදු ආයතන බවට පත්කල යුතු බව ද අපි කියා සිටිමු. පෞද්ගලික ලාභය සඳහා නොව සමාජ අවශ්‍යතා සන්තර්පනය කිරීම පිනිස ආර්ථික ජීවිතය තාර්කික හා මානුෂික ලෙස සංවිධානය කිරීමට මේ මගින් පදනම දමන අතර සමාජ සමානතාවය පිහිටුවනු ලබයි.

අප තරුනයින්ගෙන් ඉල්ලා සිටින්නේ, මෙම ක්‍රියාමාර්ගය සඳහා සටනට එලඹෙන ලෙසත් ජෙරී වයිට් හා ෆිලිස් ෂරර් ගෙනයන උද්ඝෝෂනයට ක්‍රියාකාරීව එක්වන ලෙසත්ය.

ඇන්ඩෘ ඩැමොන්

Share this article: