ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය සසප රැස්වීමට තහංචි පනවයි

Sri Lankan defence ministry blocks SEP meeting

By K. Ratnayake, 23 February 2012

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් මත තවත් පැහැදිලි ප‍්‍රහාරයක් එල්ල කරමින්, හලාවත නගරයේ ෂර්ලි කොරයා ශාලාවේ පැවැත්වීමට නියමිතව තිබු ප‍්‍රසිද්ධ රැස්වීම තහනම් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය හලාවත නගර සභාව මෙහෙය වුයේ ය. ආන්ඩුව තෙල් මිල ඉහල දැමීමට එරෙහිව ධීවරයන්ගේ හා එම පවුල්වල ඇවිල ගිය විරෝධතාවන්හි දී වයඹ දිග වෙරල තීරයේ පිහිටි හලාවත මුල් තැනක් ගත්තේ ය. 23 දා පැවැත්වීමට නියමිතව තිබුනු සසප රැස්වීමේ මාතෘකාව වූයේ, "ධීවර අරගලය ජයගැනීමට සමාජවාදී වැඩපිලිවෙලක්” යන්නයි.

ධීවරයන්ගේ විරෝධතා මැඩලීම සඳහා යොදවන ලද පොලීසියට ශාලාව වෙන් කොට ඇති බැවින් සසපට ශාලාව භාවිතා කල නො හැකි බව හලාවත නගර සභා නිලධාරීන් පැවසූවේ ය. මෑත සතිවල සසප රැස්වීම් කඩාකප්පල් කිරීම සඳහා තිරයට පිටු පසින් ආරක්ෂක අමාත්‍යාංශය ක‍්‍රියාත්මක වූ දෙවන වතාවයි මේ.

සියලු දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කිරීම සඳහා සසප ගෙන යන උද්ඝෝෂනයේ කොටසක් ලෙස ජනවාරි 29 දා පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම නවතා දැමීමට යාපනයේ වීරසිංහම් ශාලාවේ කලමනාකාරීත්වයට ආරක්ෂක අමාත්‍යංශය බල කලේය. මිලිටරිය යාපනයේ සසප සාමාජිකයින්ට එරෙහිව ප‍්‍රචන්ඩත්වය යොදා ගත්තේ ය. (බලන්න, සමාජවාදී සමානතා පක්ෂයට අත නොතබනු! සසප සාමාජිකයින් ආරක්ෂා කරනු! හා ශී‍්‍ර ලංකාව: ආරක්ෂක අමාත්‍යංශයට සසප යැවූ විවෘත ලිපිය)

හලාවත රැස්වීම සඳහා ශාලාව සතියකට පෙර සසප සමාජිකයන් විසින් වෙන් කරගෙන තිබු නමුත් ඉන් පසු දිනවල එම ශාලාව හා භූමිය පොලිස් නිලධාරින් විසින් අත්පත් කොට ගෙන තිබුනි. ශාලාවේ රැස්වීම පැවැත්විය හැකි ද යන්න පිලිබඳව සොයා බැලීමට සසප සමාජිකයෝ නගර සභා බලධාරීන් හමුවී විමසීම් කලහ. නගර සභාවේ සභාපති හමු වීමෙන් පසු ශාලා වෙන් කිරීම් අංශය භාර නිලධාරිවරයා සසප සාමාජිකයන්ට ප‍්‍රකාශ කලේ 21 දා හවස් වන විට පොලීසිය ඉවත් වන බැවින් කිසිදු ගැටලුවක් නො මැති බවයි.

කෙසේ වෙතත් 22දා ශාලාව අවට රැස්වීමේ පෝස්ටර් ඇලවීමෙන් පසුව "පොලීසියේ ප‍්‍රයෝජනය සඳහා ශාලාව අවශ්‍ය වන බව ආරක්ෂක අමාත්‍යංශය අපට දැනුම් දී ඇති බැවින් ශාලාව ලබා දිය නො හැකි බව” දන්වා දුරකථන ඇමතුමක් ඉහත නිලධාරිවරයාගෙන්ම සසප සාමාජිකයන්ට ලැබුනේ ය. සසපට රැස්වීම සඳහා ඉදිරි දිනයක් ලබා දිය හැකි බව එම නිලධරයා ප‍්‍රකාශ කලේ ය. නගර සභාව පාලනය කරන්නේ පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභිකයින් විසිනි.

නගර සභාවේ ප‍්‍රකාශය ප‍්‍රලාපයකි. පොලීසිය අඟහරුවාදා වන විට ශාලාවෙන් ඉවත්ව ගොස් තිබුනි. ප‍්‍රදේශයේ ධීවරයන් හා කම්කරුවන් අතර සසප ගෙනයන දේශපාලන මැදිහත් වීම වැලැක්වීම, රැස්වීම සඳහා ශාලාව භාවිතා කිරීම අහුරාලීමේ ඇත්ත කාරනයයි. පසුගිය දින කීපය පුරාවට සසප එහි පිලිවෙත් කෙරෙහි වැඩෙන උනන්දුවක් සහ සහයෝගයක් දිනා ගෙන තිබුනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග ක‍්‍රියාවට නගමින් පෙබරවාරි 11 දා ආන්ඩුව සියයට 50 කින් පමන තෙල් මිල ඉහල දැමීමෙන්, ධීවර කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වූ අතර ධීවරයන්ගේ, විශේෂයෙන් වයඹ දිග වෙරල තීරයේ, විරෝධතා පුපුරා ආවේ ය. එතැන් සිට, ධීවරයෝ උද්ඝෝෂන පවත්වා, මුහුදු යෑම වර්ජනය කරමින් තෙල් මිල පෙර මට්ටමට ගෙනෙන ලෙසට බල කලහ.

පෙබරවාරි 15 දා පොලිස් විශේෂ කාර්ය බලකාය (එස්ටීඑෆ්) හලාවත වැල්ලේ දහස් ගනනක ධීවරයන්ගේ උද්ඝෝෂනයකට ජීව උන්ඩ භාවිතා කරමින් කල වෙඩි තැබීමකින් වර්නකුලසූරිය ඇන්ටනි ප‍්‍රනාන්දු එතැන දී ම මරනයට පත් වූ අතර තවත් තුන් දෙනෙක් තුවාල ලැබී ය. ආන්ඩුව ජනතාව බිය වැද්දීම සඳහා දහස් ගනනක පොලිසීය සමගින් හමුදාව ද ප‍්‍රදේශය පුරා සීරුවෙන් තැබී ය. ධීවරයින් හා ඔවුන්ගේ පවුල් තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් සටන් කිරීම වැලැක්වීම සඳහා ප‍්‍රදේශයේ කතෝලික පූජකවරු ක‍්‍රියාශ‍්‍රිලීව මැදිහත් වූහ.

තම තරුන සහෝදරයා ඝාතනය කිරීමට හා ආන්ඩුවේ නවතම කප්පාදු පිලිවෙත්වලට එරෙහිව සිය කෝපය පල කිරීම සඳහා දස දහස් ගනනක් ධීවරයෝ, කම්කරුවෝ සහ අනෙකුත් ගම්බද දුගී ජනයා ඇන්ටනිගේ අවමගුලට සහභාගී වූහ.

දිලිඳු ධීවරයන්ට එරෙහි ආන්ඩුවේ ප‍්‍රහාරය පිටුපසින් ඇත්තේ කුමක් ද යන්න පැහැදිලි කල එකම පක්ෂය සසප පමනි. මෙම කප්පාදු, ජාමුඅ විසින් ඩොලර් මිලියන 800 ක් වන පමා වූ නය වාරික මුදාහැරීම සඳහා හිලව්වට ඉල්ලා සිටින ඒවා ය. සියලු අත්‍යවශ්‍ය භාන්ඩවල මිල පිම්මේ ඉහල යාමට තුඩු දුන් රුපියල අවප‍්‍රමානය කිරීම, ඉන්ධන, බස් ගාස්තු හා විදුලිබල ගාස්තු ඉහල දැමීම සහ රජයේ වියදම් කැපීම මීට ඇතුලත් ය.

ජාමූඅ පිලිවෙත් ක‍්‍රියාත්මක කිරීමට එකඟ වී සිටින ගමන් ම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවල එම පිලිවෙත්වලට එරෙහිව වර්ධනය වන විරෝධය සම්බන්ධව ද දැනුවත්ව සිටී. පෙබරවාරි 18 දා කොලඹට ආසන්න කඩවත නගරයේ පැවති රැස්වීමක දී රාජපක්ෂ කියා සිටියේ කිසිවෙකුට ආන්ඩුව පෙරලීමට තමා ඉඩ නො දෙන බවයි.

විශේෂයෙන්ම ධීවරයන්ගේ විරෝධතා හා පාරවල් අවහිර කිරීම් ගැන සඳහන් කරමින් ඔහු ප‍්‍රකාශ කලේ: "ජනතාව විසින් පත් කරගත් ආන්ඩුව පෙරලා දැමීමට ජනතාව පාරට බැසිය යුතු යයි දැන් සමහර කොටස් කියා සිටිනවා. ජනාධිපති එලවා දමන එක එතරම් පහසු වෙන්නේ නෑ.” ප‍්‍රතිගාමී දේශපේ‍්‍රමයට ආයාචනා කිරීමේ උත්සාහායක නිරත වෙමින් ඔහුගේ පාලනය පෙරලා දැමීමේ විදේශ කුමන්ත‍්‍රනයක් තිබෙන බව ද ඔහු පැවසූවේ ය.

ජනාධිපතිගේ සහෝදරයා වන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද වර්ග වාදය ඇවිස්සී මේ උත්සායක යෙදුනේ ය. මෑත විරෝධතා පිලිබඳව සඳහන් කරමින්: "ප‍්‍රතිගාමී වූ එවැනි දේවල් හමුවේ අපි පස්සට යාම නිෂ්ඵලය. දැඩි කැප කිරීමකින් එල්ටීටීඊය (දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය) පරාජය කිරීමෙන් පසුව, රට යලි එවැනි තත්වයකට ගමන් කරන්නේ නම් එය නිෂ්ඵල කි‍්‍රයාවකි. ඒකට ඉඩ දෙන්න අපිට පුලුවන් කමක් නැත.

ධීවර විරෝධතාව, අයිස් කන්දේ තුඩක් පමනි. රට පුරා කම්කරුවන් අතර අතෘප්තිය වර්ධනය වෙමින් තිබේ. පෙබරවාරි 17 දා වතුකරයේ වෘත්තීය සමිති ගනනාව ක් එක් දින සංකේත වර්ජනයක් කැඳවා තිබුනි. මෙම පියවරේ සීමා සහිතකම් තිබිය දීම දස දහස් සංඛ්‍යාත කම්කරුවෝ වර්ජනයට සහභාගී වූහ. කොලඹ රාජ්‍ය අංශයේ කම්කරුවන් හා හෙදියන් සේ ම මාතලේ දිස්ත‍්‍රික්කයේ සුලු වී ගොවීන් විරෝධතාවයේ යෙදුනු අතර මේ සතියේ දී 15,000 ක සරසවි අනධ්‍යන කම්කරුවන් වැටුප් ඉල්ලීම් මුල් කරගෙන වර්ජනයේ යෙදීමට නියමිත ය. මේවා ඉදිරියේ දී පැමිනීමට නියමිත පන්ති අරගල පිලිබඳ පෙර ඇඟවුම් වෙති.

මෙම වතාවරනය මැද රාජපක්ෂ ආන්ඩුවේත් රාජ්‍ය යාන්ත‍්‍රනයේත් ඉලක්කයක් බවට සසප පත් වීම පුදුමයක් නොවේ. සසප හතර වන ජාත්‍යන්තරයේ ජත්‍යන්තර කමිටුවේ ශ‍්‍රී ලංකා ශාඛාව යි. සමාජවාදී ජාත්‍යන්තරවාදය මත පදනම්ව කම්කරු පන්තිය ගම්බද දිලිඳු ජනයා හා සන්ධාන ගතව ආන්ඩුවේ ප‍්‍රහාරවලට අභියෝග කිරීමටත් පරාජය කිරීමටත් ශක්‍ය ඉදිරිදර්ශනයක් සම්පාදනය කරන එකම පක්ෂය එය යි.

කර්තෘ මෙම ලිපියත් නිර්දේශ කරයි :ආන්ඩුවේ මිල ඉහල දැමීම්වලට විරුද්ධ වනු

Share this article: