ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව ශ්‍රී ලංකාවේ එජාපයේ ව්‍යාජ විරෝධතාව

Sri Lankan UNP’s bogus opposition to IMF austerity program

By Saman Gunadasa, 12 March 2012

ගිය මාසයේ දී රජය විසින් ප්‍රකාශිත තෙල් සහ වෙනත් මිල ඉහල දැමීමට එරෙහිව ශ්‍රී ලංකාවේ විපක්ෂ එක්සත් ජාතික පක්ෂය (එජාප) මුලුමනින්ම නරුම වූ ව්‍යාපාරයක් දියත් කර ඇත. මහා ව්‍යාපාරිකයේ නියෝග ක්‍රියාවට දැමීමේ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පාගා දැමීමේ දිගු ඉතිහාසයක් සහිත එජාපය දැන් මහජනතාවගේ වීර‍යෙක් සේ පෙනී සිටී.

පසුගිය මාසයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව රුපියල අවප්‍රමාන කිරීමත්, තෙල්මිල සහ විදුලිබිල ඉහල දැමීම් සහ රාජ්‍ය වියදම් තවදුරටත් කපා හැරීම් නිවේදනය කලේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (ජාමූඅ) වෙතින් ආන්ඩුව ලබාගත් අවසන් වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 800ක් ලබා ගැනීමට හිලවු ලෙස මෙම පියවරයන් පැනවින.

ව්‍යාජ වාමවාදී නව සමසමාජ පක්ෂයේ (නසසප) සහ එක්සත් සමාජවාදී පක්ෂයේ (එසප) පිටුබලය සමගින්, මිල ඉහල දැමීමට එරෙහි විරෝධතා ධජය යටතේ, එජාප නායක රනිල් වික්‍රමසිංහ රට පුරා පෙලපාලි යමින් සිටී. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය අරබයා පාලක සංධානයට චෝදනා කරන අතරේ, ජාමූඅ කප්පාදු පියවරයන්ට සහයෝගය දෙන තමන්ගේ ප්‍රතිපත්තිය සඟවන්නට එජාපය උත්සාහ දරමින් සිටී.

මෙම කරුනට අදාලව, මෑතක දී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ආර්ථික විශේෂඥ හර්ෂ ද සිල්වා සහ ඇමති රංජිත් සියඹලාපිටිය අතර රජයේ මිල ඉහල දැමීම් පිලිබඳව පැවැත් වූ විවාදය සත්‍යය හෙලිදරව් කරන්නක් විය. පුලුල් ප්‍රචාරයක් ලබා දුන් මෙම විවාදය පෙබරවාරි 27 දා සිරස රූපවාහිනියෙන් විකාශය විය.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය රාජපක්ෂ ආන්ඩුවේ “උග්‍ර දූෂන“,“වැරදි මූල්‍ය කලමනාකරනය“, සහ “සාවද්‍ය මූල්‍ය පරිහරනයෙහි“ ප්‍රතිපලයක් ලෙස නිරූපනය කරන්නට, ද සිල්වා උත්සාහ කලේය. එතරම් මහන්සියකින් තොරව සියඹලාපිටිය ඔප්පු කරන්නට උත්සාහ කලේ රජය විසින් මේ ක්‍රියාත්මක කරන්නේ එජාපය තම පාලන කාලයේදී ක්‍රියාත්මක කල ප්‍රතිපත්තිවලට සමාන ක්‍රියාමාර්ග මිසක් වෙනකක් නොවන බවයි.

සියඹලාපිටිය, ජාමූඅ සහ ලෝක බැංකුව විසින් අනුමත කරන ලද හා එජාප රජය කම්කරු පන්තිය මත එල්ල කල ප්‍රහාරවල පදනම සකස් කල 2001 යලි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහනින් උපුටා ගත්තේය. එමගින් රාජ්‍ය අංශ රැකියා දහස් ගනනක කප්පාදු කිරීමත්, සහ සහනාධාර ඇතුලත් රජයේ වියදම් කපාහැරීමත් ඒ සමග ම පුද්ගලීකරනය හා වැටුප් කැටිකිරීම් ද ක්‍රියාත්මක කෙරින.

වැරදි මූල්‍ය ආර්ථික කලමනාකරනය හා සාවද්‍ය මූල්‍ය පරිහරනය පිලිබඳ සියලු කතා තිබිය දී, ජනාධිපති රාජපක්ෂ විසින් ක්‍රියාත්මක කරවමින් පවතින ජාමූඅ හි වර්තමාන කප්පාදු න්‍යාය පත්‍රයට දිගටම එජාපය සහයෝගය දෙන බව, ද සිල්වා පැහැදිලි කලේය. රජය විනිමය අනුපාතය කෘතිම ඉහල අගයක ර‍ඳවා තබා ගැනීම, විදේශ සංචිත විකුනා දැමීම, විශාල ප්‍රමානයේ ආනයන කිරීම් සහ දැවැන්ත නය ලබා ගැනීම් ගැන ද, ද සිල්වා පැවසීය.

රුපියල මීට පෙරාතුව අවප්‍රමාන නොකිරීම ගැන, ද සිල්වා ආන්ඩුව විවේචනය කලේය. පසුගිය වසරේ ජූලි සිට, ජාමූඅ රුපියල අවප්‍රමාන කිරීමට බලකරමින් සිට තිබුනු අතර තම වැඩසටහනට අනුගතවීමට රජයේ නො හැකියාව දක්වමින් නය වාරික දෙකක් ගෙවීම අත්හිටු වීය. රාජපක්ෂ ආන්ඩුව එම අවප්‍රමාන කිරීම ප්‍රමාද කලේ එයට විරුද්ධ නිසා නොව එමගින් ඇතිවන සමාජ බලපෑම හේතුවෙන් විරෝධතා පැන නැගීම් ගැන බය වීමෙනි.

මුද්‍රිත මාධ්‍යයට කතා කරමින් ද සිල්වා විවෘතව ම කප්පාදු වැඩපිලිවෙල ප්‍රශංසාවට ලක් කලේය. දි අයිලන්ඩ් පුවත්පතට අනුව, “රුපියල පා කිරීම (අවප්‍රමාන කිරීම), පොලී අනුපාත හා තෙල්මිල ඉහල දැමීම ආර්ථිකයට උදව් වනු ඇත,”යි ඔහු ප්‍රකාශ කලේය. “(රජයට) ඇති එකම විකල්ප මේවා නිසා මෙම ප්‍රතිපත්ති උදව් වනු ඇති බව” ඔහු එකතු කලේය. ඉහල පොලියට වානිජ නය ගන්නවාට වඩා ජාමූඅ න් අඩු පොලී නය ලබාගැනීම වැදගත් බව ඔහු අවධාරනය කලේය.

තෙල් සහ අනෙකුත් සහනාධාර ගැන එජාප ප්‍රතිපත්තිය පැහැදිලි කරමින්, තම පක්ෂය සහනාධාර දෙන්නේ, සියල්ලන්ටම නොව, විශේෂිත ඉලක්කගත කන්ඩායම්වලට බව, ද සිල්වා පැවසීය. සීමිත “ඉලක්කගත” ආධාර ජනගහනයේ ඉතා දුගීම කොටස් වෙත සපයමින් මිල සහනාධාර කපාහැරීම්වල බලපෑම වසන්කරන ජාමූඅ ප්‍රත්පත්තිය මේ සමග එක පෙලට සිටී.

ඒ සමග ම, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ අනෙකුත් රාජ්‍ය තීරන ගන්නන්ගේ පුද්ගලික දුර්වලතා විවේචනය කරමින් රටෙහි වඩාත් නරක අතට හැරෙන ආර්ථික අර්බුදයෙන් අවධානය වෙනතකට හරවන්නට එජාප නියෝජිතයා උත්සාහ දැරී ය. “ඔවුහු ආත්මාර්ථකාමී සහ ආත්ම කේන්ද්‍රීය ලෙස ආර්ථිකය කලමනාකරනය කලහ,” යි ඔහු ප්‍රකාශ කලේය.

ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලංකාවේ ආර්ථික සංතාප ලෝක ධනවාදයේ අර්බුදයේ කොටසක් මෙන්ම පංගුකරුවෙකි. වාදයේදී, ද සිල්වා සහ සියඹලාපිටිය දෙදෙනාම මෙම යථාර්තය වසන් කරන්නට උත්සාහ කලෝය.

2008 දී ලේමන් බ්‍රදර්ස් බිඳවැටීමෙන් පටන් ගත් ගෝලීය ආර්ථික කඩාවැටීම, ගැඹුරුවුන අතර එය සියලුම රටවලට පහර එල්ල කරමින් තිබේ. ලංකාවේ දී, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව එජාපය ද සහයෝගය දුන් වර්ගවාදී යුද්ධයට අරමුදල් සැපයීමට රජය විසින් ලබාගත් දැවැන්ත නය කන්දරාව රටෙහි අර්බුදය සංකීර්න තත්වයකට පත්කොට තිබේ.

ජාමූඅ වට්ටෝරු රටෙහි ආර්ථික දුෂ්කරතා තවත් දුරට නරක අතට හරවනු ඇත. තමන් විසින් පැටවුනු රාජ්‍ය වියදම් කප්පාදුව, අවප්‍රමාන කිරීම, සහ අනෙකුත් පියවරවල ප්‍රතිපලයක් ලෙස, ජාමූඅ රටෙහි ආර්ථික වර්ධන වේගය මුලින් ප්‍රකාශිත සියයට 7.5 ට වඩා අඩු අගයකට පසුගිය සතියේ දී සංශෝධනය කලේය.

නය අනුපාත ඒජන්සියක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නය අපේක්ෂා තත්ත්වය ධන තත්වයේ සිට ස්ථාවර තත්වය දක්වා අඩු කර ඇත. “දුර්වල බාහිර ද්‍රවශීලතාව, සෑහෙන තරම් ඉහල හා ඉහලයන බාහිර නය, මූලික මූල්‍ය දුර්වලතා, පරිවාරික ඉහල රාජ්‍ය නය හා පොලී බර“ හේතු ලෙස එමගින් පෙන්වා තිබේ.

අයවැය හිඟය සහ නය අඩුකිරීම වෙනුවෙන්, කම්කරුවන් හා දුගීන්ගේ සමාජ තත්වයන් තුලට බලගතු ප්‍රහාර එල්ල කරන්නට ගෝලීය මූල්‍ය වෙලඳපොලවල් විසින් ආන්ඩුව මතට එල්ල වන පීඩනය මෙම ප්‍රකාශනයෙන් අවධාරනය කෙරේ.

මිල ඉහලයෑම්වලට එරෙහිව විරෝධතා මඩින්නට රාජපක්ෂ ආන්ඩුව දැනටමත් පොලිස් රාජ්‍ය ක්‍රමවේදවලට යොමුවී තිබේ. මහජන විරෝධය, තමන් ආරක්ෂා කරන කොලඹ සංස්ථාපිතයට සහ ධනේශ්වර ක්‍රමයට අභියෝග නො කරන බවට වගබලා ගන්නා අතරේ, එජාප විරෝධතා කම්කරු ජනතාව අතර පුලුල්ව පැතිරෙන කෝපය ගසාකන්නට මාන බලමින් සිටී.

එජාපය බලයට පැමිනියහොත්, කම්කරුවන් සහ ග්‍රාමීය දුගීන්ට එරෙහිව සමාන ප්‍රහාරයන් අනුකම්පා විරහිතව කරගෙන යනු ඇත. මෙම දක්ෂිනාංශික පක්ෂය ඔසවා තැබීමෙන්, අනාගත එජාප ආන්ඩුවක් විසින් ක්‍රියාවට නංවනු ඇත්තා වූ වෙලඳපොල ගැති ප්‍රතිපත්ති සම්බන්ධව දේශපාලන වගකීම නසසපය සහ එසපය දරනු ඇත.

Share this article: