ශී‍්‍ර ලංකාවේ සසප වතු කම්කරු සමුලුවක් කැඳවුම් කරයි

Sri Lankan SEP calls plantation workers’ congress

By the Socialist Equality Party (Sri Lanka), 27 March 2012

මූලික ප‍්‍රජාතන්තී‍්‍රය හා සමාජ අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා සමාජවාදී වැඩ පිලිවෙලක් සාකච්ඡා කොට සම්මත කර ගැනීමට මැයි 20 වන දා පැවැත්වීමට නියමිත වතු කම්කරු සමුලුවට තම නියෝජිතයන් සහභාගි කරවන ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) ව්‍යාපාරය දිවයින පුරා තේ, රබර් සහ පොල් වැවිලිකරයේ කම්කරුවන්ට හා තරුනයන්ට කැඳවුම් කරයි.

ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව, තම ජාත්‍යන්තර සගයන් මෙන්ම, ජීවන කොන්දේසි මත පෙර නොවූ විරූ ප‍්‍රහාරයක් එල්ල කරමින් සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ඉල්ලීම් මත ජනාධිපති මහින්ද රාජපක්ෂ රුපියල අවප‍්‍රමානය කල අතර, අත්‍යවශ්‍ය සමාජ සේවාවන් මෙන්ම ඉන්ධන, විදුලිය සහ අනෙකුත් ද්‍රව්‍යයන්ට සලසා තිබූ මිල සහනාධාර ද කපා දැමුවේය.

කම්කරු පන්තියේ වඩාත්ම පීඩිත ස්තරයන් නියෝජනය කරන සහ අඩුම වැටුප් ලබන්නන් අතරට වැටෙන වතු කම්කරුවන්ට මෙයින් දරුනු ලෙස පහර වැදුනි. දෛනික පදනමේ වැටුප් ලබන ඔවුන්, පාලකයාගේ කැඳවුම මත වැඩ දීම සහ නොදීම තීන්දු කෙරෙන්නාවූ ද වතුයායෙන් සැපයෙන සීමිත සේවාවන් සහ අප‍්‍රසන්න නිවාස මත යැපීමට සිදුවන්නාවු ද තත්වය විසින් වඩාත් අසරන තත්වයකට ඇද දමනු ලබයි.

නරක අතට හැරෙමින් පවත්නා ගෝලීය ආර්ථික අර්බුදයේ බර කම්කරුවන්ගේ කොඳු මත පැටවීමට ආන්ඩු විසින් මාන බලන තත්වය යටතේ ලොව පුරා කම්කරුවන් සමාන ප‍්‍රහාරයන්ට මුහුන දෙමින් සිටී. සෑම රටකම කම්කරු ජනයා සහ තරුන තරුනියෝ ඔවුනගේ අති මූලික ප‍්‍රජාතන්ත‍්‍රීය සහ සමාජ අයිතීන් විනාශ මුඛයට ඇද දැමීම එල්ල කර ගත් සමාජ ප‍්‍රතිවිප්ලවයකට මුහුන දී සිටිති.

මෙම ප‍්‍රහාරයන්ට එරෙහිව දැනටමත් ඇරඹී ඇති කම්කරු පන්තික ප‍්‍රතිරෝධයන් මැද පෙරදිග, උතුරු අපි‍්‍රකාව, යුරෝපය, එක්සත් ජනපදය සහ ලෝකයේ අනෙකුත් කොටස්වල පසු ගිය වසරේ පැන නැගි මහජන අරගලයන්ට තුඩු දුනි. ඊජිප්තුවේ දී මෙය එක්සත් ජනපද පිටු බලය ලද ආඥාදායක හොස්නි මුබාරක් ඉවතට ඇද දැමීම දක්වා ගමන් කලේය. කෙසේ නමුදු මෙම ආරම්භක අරගලයන්හි දී පැරනි සංවිධාන - දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති - විවිධ පෙර-වම්මුන් ගේ සහයෝගයෙන් එම විරෝධතාවන් සහ වර්ජනයන් ධනේශ්වර පාලනයට අභියෝග නොකෙරෙන සීමාවේ රඳවා ගැනීමට සහතික විය.

සසප සහ සසජාශි මෙම සුමුලුව කැඳවනු ලබන්නේ, තම රැකියා, වැටුප් සහ ජීවන කොන්දේසි රැක ගැනීම සඳහා ශී‍්‍ර ලාංකික කම්කරුවන්ගේ අරගලයක් දියත් කිරීම සඳහා අවශ්‍ය කෙරෙන තීරනාත්මක දේශපාලනික ප‍්‍රශ්නවලට ආමන්ත‍්‍රනය කෙරෙන සාකච්ඡාවක් සඳහා ය. වතු කම්කරුවන් සඳහා තීරනාත්මක වන්නේ තම අරගල නැවත නැවතත් පාවා දෙනු ලබන වෘත්තීය සමිතිවලින් සම්පූර්නයෙන් බිඳී වෙන් වීමයි.

පසු ගිය අපේ‍්‍රල් මාසයේදී මෙම වතු කම්කරු වෘත්තීය සමිති, ආන්ඩුවේ උවමනාවට අනුව, සොච්චම් වැටුප් වැඩි කිරීමකට හිලව් ලෙස වසර දෙකකට වැඩ වර්ජන නතර කිරීමේ වගන්තියකට කම්කරුවන් බැඳ තබන සාමූහික ගිවිසුමකට වැවිලි සමාගම් සමග කඩිමුඩියේ අත්සන් තැබූහ. දෙසැම්බරයේ දී, මෙම සමාගම් විසින් දලූ නෙලන්නන් දිනකට නෙලිය යුතු දලූ ප‍්‍රමානය කිලෝ ග‍්‍රෑම් 2 කින් ඉහල නංවමින් ගිවිසුම බලහත්කාරී ලෙස උල්ලංඝනය කලහ. මෙම ඉලක්කයන් සැපයීමට අසමත් වන කම්කරුවන්ගේ දෛනික වැටුප අඩකින් කපා හැරේ. ඵලදායිතාව සඳහා වන එලැඹුමේ දී අවසාන ප‍්‍රතිඵලය වනුයේ මසක් තුල වැඩ කිරීමට ලැබෙන දින ප‍්‍රමානය අඩු වීමයි.

ආන්ඩුව සහ වෘත්තීය සමිති, හාම්පුතුන්ගේ මෙම නීති විරෝධී කි‍්‍රයාව ඉදිරියේ දෑස් වසා සිටියහ. කෙසේ නමුදු, කොටියාගල වත්තේ කම්කරුවන් පෙරටු කොට ගත් වතු කම්කරුවෝ තම අයිතීන් රැක ගනු වස් සටනට පිලිපන්හ. වැලිඔය වත්තේ කම්කරුවන් ද එයට එකතු වූ විට වතු කලමනාකාරිත්වය විසින් කුප‍්‍රකට පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවූ අතර එමගින් අරගලය ක්ෂනිකව වර්ජනයක් බවට පත් විය.

ප‍්‍රධාන වෘත්තීය සමිතිය වන ලංකා කම්කරු කොන්ග‍්‍රසය (සීඩබ්ලිව්සී) වර්ජනයට විරුද්ධ වෙමින් කම්කරුවන් බිය වැද්දීම සඳහා හාම්පුතුන් සහ පොලීසිය සමග සහයෝගී විය. වැලිඔය වර්ජනය පැතිර යාමේ තර්ජනය මතු වෙත්ම, ආන්ඩුව විසින් කම්කරුවන් හමුවීම සඳහා ඇමතිවරුන් දෙදෙනෙකු - මහින්දානන්ද අලුත්ගමගේ සහ ආර්. රාධාකි‍්‍රෂ්නන් - පිටත් කර යැවීය. රාධාකි‍්‍රෂ්නන් යනු වර්ජනයට සහභාගි වූ වෘත්තීය සමිතියක් වන කඳුරට මහජන පෙරමුනේ (යූපීඑෆ්) නායකයා ය.

වැඩ ප‍්‍රමානය වැඩි නොකරන බවට සමාගම එකඟ වූ බව පවසමින් වැලිඔය කම්කරුවන්ට බොරු කියූ අලුත්ගමගේ සහ රාධාකි‍්‍රෂ්නන් වර්ජනය නතර කරන ලෙස ඉල්ලා සිටියහ. ආන්ඩුව සමග නැතහොත් විපක්ෂය සමග සන්ධාන ගත වූ සියලුම වෘත්තීය සමිති ක්ෂනිකව එක පෙලට සිට ගනිමින් කාර්මික කි‍්‍රයාව නතර කිරීමට කැඳවුම් කලහ.

වැලිඔය කලමනාකරු ක්ෂනිකව සහකාර කම්කරු කොමසාරිස් සහ වෘත්තීය සමිති නිලධාරීන් හමු විය. තම සමාගම වැඩ ඉලක්කයන් අඩු කිරීමට කිසි විටෙක එකඟ නොවූ බව පැවසූ ඔහු අපේ‍්‍රල් සිට පාඩු සමනය කර ගැනීම සඳහා වැඩියෙන් වැඩ කිරීම අත්‍යවශ්‍ය බවට තර්ක කලේය. කොමසාරිස් විසින් නව ඉලක්කයන් අනුමත කල අතර සමිති නිලධරය එය පිලිගත්තේය. නව ඉලක්ක කි‍්‍රයාත්මක කිරීමට පෙර කලමනාකාරිත්වය විසින් ඔවුන් විමසිය යුතු බවට පමනක් සඳහන් කෙරින.

මෙම පාවා දීම මගින් මතුකර පෙන්වන එකම කරුන වන්නේ තම වියදමෙන් ලාභ සහ ඵලදායිතාව වර්ධනය කර ගැනීම ඒකාබද්ධව නිර්දය ප‍්‍රහාරයක් දියත් කරන ති‍්‍රත්වයකට - ආන්ඩුව, කලමනාකාරිත්වය සහ සමිති- කම්කරුවන් මුහුන දෙන බවයි.

වැටුප් සහ රැකියා කොන්දේසි සම්බන්ධයෙන් ගෙන ගිය අතීත අරගලයන්හි දී ද වෘත්තිය සමිති මෙවන්ම ද්‍රෝහී කි‍්‍රයා කලාපයන් ඉටු කර ඇත. 2006 දී, දැවැන්ත වර්ජන ව්‍යාපාරයක් මධ්‍යයේ, එම වර්ජනය බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව ගෙන ගිය යුද්ධයට බාධා කරන්නේ යැයි ජනාධිපති රාජපක්ෂ චෝදනා කල විට වෘත්තීය සමිති ඊට එකඟ විය. 2009 දී, දස දහස් සංඛ්‍යාත කම්කරුවන් සෙමෙන් වැඩ කිරීමේ උද්ඝෝෂනයක යෙදුනු අතර එය පාවා දීම සඳහා සීඩබ්ලිව්සීය හාම් පුතුන් සමග ගිවිසුමක් අත්සන් කලේය. යුපීඑෆ් සහ අනෙකුත් සමිති එය දිගට ම ගෙන යාම සඳහා සහාය දෙතැයි පැවසුව ද එය හුදෙක් කාර්මික කි‍්‍රයාව නතර කිරීම සඳහා කම්කරුවන්ගේ විරෝධය මෙල්ල කරනු වස් කරන ලද්දකි.

වතු කම්කරුවන්ට එරෙහි ප‍්‍රහාරයේ තවත් කොටසක් වන්නේ පසු ගිය නොවැම්බර් අය-වැයෙන් රාජපක්ෂ නිවේදනය කල වැවිලිකරයෙන් හෙක්ටයාර 37,000 ක් කඩා වෙන් කොට සුලු වගා කරුවන්ට බෙදා දීමේ සැලසුමයි. මෙය දහස් සංඛ්‍යාත කම්කරුවන්ගේ රැකියා විනාශ කොට ඔවුන් සහ දරු පවුල් එම වතුවලින් පලවා හැරීමේ පියවරකි. මෙහි පලමු ඉලක්කය විය හැක්කේ පාඩු ලබන්නේ යැයි කියනු ලබන රජයට අයත් ජනවසම වතු යායන්ය.

වෘත්තීය සමිතිවල ද, විපක්ෂ ජනතා විමුක්ති පෙරමුනේ සහ නව සමසමාජ පක්ෂයේ හිටපු රැඩිකලුන්ගේ පිටුබලය ලබන ආන්ඩුව කියා පාන්නේ කම්කරුවන්ට සහ කුඩා තේ කට්ටිවලින් ලාභ ඉපැයීමේ හැකියාව ලබන ගම්බද දුගීන්ට මෙම සැලසුම යටතේ සෙත සැලසෙන බවයි. නමුත් යථාර්ථයේදී මෙය සැලසුම් කර ඇත්තේ දෙමල වතු කම්කරුවන් කඩා බිඳ විසුරුවා ඔවුන් ඉඩම් සඳහා පොර බදන ගම්බද සිංහල දුගීන්ට එරෙහිව පිහිටුවීමට සහ සංචාරක හෝටල්, පුද්ගලික රෝහල් සහ සරසවි ගොඩ නැගීම සඳහා ආයෝජකයන්ට සුවිසල් ඉඩම් කොටස් ලබා දීමටත් ය.

සසප සහ සසජාශි විසින් මෙම සමුලූව කැඳවනු ලබන්නේ වතු කම්කරුවන්ගේ ප‍්‍රති ප‍්‍රහාරයක් පිලිබඳවත් එය සිදු කෙරෙන්නේ කිනම් දේශපාලනික ඉදිරි දර්ශනයක් මත ද යන්න පිලිබඳවත් සාකච්ඡා කිරීමට යි.

එවන් වැඩ පිලිවෙලක් පදනම් විය යුත්තේ, ශී‍්‍ර ලංකාව පුරා සිටින කම්කරුවන් දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තර පන්ති සොහොයුරු සොහොයුරියන් සමග එකමුතු කිරීමේ සටන මතය. වෘත්තීය සමිතිවල සහාය සහිතව වැවිලි සමාගම් විසින් දරිද්‍රතා මට්ටමේ වැටුප් සහ රුදුරු කොන්දේසි සාධාරනිකරනය කරන්නේ ශී‍්‍ර ලංකාවේ තේ නිශ්පාදන වියදම ඉන්දියාව, චීනය සහ කෙන්යාව සමග තරගකාරී විය යුතුයැයි පවසමිනි. එම රටවල කම්කරුවන්ට ද පවසනු ලබන්නේ මෙයම ය.

මෙම නිමක් නැති ජීවන මට්ටම් සහ කොන්දේසි පහත හෙලීමට විරුද්ධ විය හැකි එකම මග වන්නේ ලාභ පද්ධතිය අවසන් කිරීම එල්ල කර ගත් පොදු සමාජවාදී වැඩ පිලිවෙලක් වටා කම්කරුවන් ඒකාබද්ධ කිරීම යි. එවන් එකමුතුවක් සිදු කල හැක්කේ, කම්කරු ජනයා බෙදා වෙන් කිරීම සඳහා පාලක පන්තීන් විසින් ප‍්‍රවර්ධනය කෙරෙන සියලූ ආකාරයේ ජාතිකවාදයන්ට සහ ස්වෝත්තමවාදයන්ට එරෙහි දේශපාලනික අරගලයක් දියත් කිරීමෙනි.

මෙහිදී ධනපති පන්තියේ සියලුම කොටස්වලින් - රාජපක්ෂ ආන්ඩුවෙන් සහ සියලු විරුද්ධ පක්ෂයන්ගෙන්, එමෙන්ම සීඩබ්ලිව්සී සහ යූපීඑෆ් ඇතුලු අනෙකුත් වෘත්තීය සමිතිවලින් - කම්කරු පන්තිය දේශපාලනිකව ස්වාධීන කර ගැනීම සඳහා සටන් කිරීම අත්‍යවශ්‍ය කෙරේ. මෙම කවර හෝ පක්ෂයක් ජාමූඅ හි වෙලඳපොල හිතකාමී න්‍යාය පත‍්‍රයට විරුද්ධ නැත. සීඩබ්ලිව්සී ය සහ යුපීඑෆ් ජාමූඅ ඉල්ලීම් කි‍්‍රයාවට දමන ආන්ඩුවේ කොටස්කරුවන් ය. අනෙකුත් වෘත්තීය සමිති සන්ධාන ගතව සිටින්නේ බලයේ සිටිය දී කම්කරු පන්තියේ සමාජ තත්වයට ගැඹුරින් පහර එල්ල කල දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය සමග යි.

මුලික ප‍්‍රජාතන්තී‍්‍රය සහ සමාජ අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා අරගල කි‍්‍රයා මාර්ගයක් වර්ධනය කර ගැනීමට වෘත්තීය සමිතිවලින් ස්වාධීන වූ කි‍්‍රයකාරී කමිටු ගොඩ නගන ලෙස සසප සහ සසජාශි කැඳවුම් කරයි. වෘත්තීය සමිති මැරයන්ගේ සහාය සහිතව සිදු කෙරෙන පොලීසියේ සහ මිලිටරියේ ප‍්‍රචන්ඩ මැදිහත්වීම්වලට එරෙහිව මෙම කි‍්‍රයාකාරී කමිටු තමාගේ ම ආරක්ෂක නියාමකයන් සංවිධානය කර ගැනීම සඳහා පියවර ගත යුතුය.

වතු කම්කරුවන්ගේ දේශපාලනික සටනකට පදනම ලෙස සසප සහ සසජාශි පහත දැක්වෙන ක්ෂනික ඉල්ලීම් යෝජනා කරයි:

*සියලු වතු කම්කරුවන්ට පුරවැසි අයිතිය !

*ජීවන වියදම් දර්ශකයට අනුව සැකසුනු රුපියල් 30,000 ක මාසික වැටුපක් !

*වැඩ ප‍්‍රමානය වැඩි කරනු එපා !

* සැමට ශීලාචාර නිවාස, සෞඛ්‍ය සහ අධ්‍යාපන පහසුකම් !

පුද්ගලික ලාභය සඳහා ධාවනය වන, වැවිලිකරයේ ධනේශ්වර හිමිකාරිත්වය යටතේ මෙම මූලික ඉල්ලීම් මුලුමනින්ම සාක්ෂාත් කර ගැනීම කල නොහැක්කකි. කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතේ සුවිසල් වතු ජනසතුකරනය සඳහා සසප හා සසජාශි උද්ඝෝෂනයේ යෙදේ.

සමාජවාදී වැඩපිලිවෙලක් කි‍්‍රයාත්මක කරනු වස් කම්කරුවන්ගේ සහ ගොවියන්ගේ ආන්ඩුවක් සඳහා වූ සටන තුල වතු කම්කරුවන් කම්කරු පන්තියේ අනෙකුත් කොටස් දෙසට ද සිය ජීවන තත්ත්වයන් ප‍්‍රහාරයට ලක්ව ඇති පීඩිත ගම්බද ජනයා දෙසට ද හැරිය යුතුය. ධනවත් සුලුතරයකගේ ලාභය සඳහා නොව, කම්කරු ජනයාගේ මූලික සමාජ අවශ්‍යතා සපුරනු වස් සමාජය ඉහල සිට පහලට යලි හැඩ ගැන්විය යුතුය. දකුනු ආසියානු සහ ජාත්‍යන්තර සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශී‍්‍ර ලංකා සහ ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා සසප සහ සසජාශි සටන් වදී.

කම්කරු පන්තියේ මූලික අයිතීන් ආරක්ෂා කිරීමේ අත්‍යාවශ්‍ය අරගලය වර්ධනය කිරීම තුල, මෙම මූලික දේශපාලන ප‍්‍රශ්න පිලිබඳව වතු කම්කරු සමුලුවේ දී කෙරෙන සාකච්ඡාව තීරනාත්මක වනු ඇත. අපි කම්කරුවන්ට සහ තරුනයන්ට අවධාරනය කොට සිටිනුයේ සසප හා සසජාශි සමග සබඳතා ගොඩනගා ගනිමින් සමුලුව ගොඩනැගීමේ උද්ඝෝෂනයට කි‍්‍රයාකාරීව සම්බන්ධ වන ලෙසයි.

Share this article: